සර් අයිවොර් ජෙනිංන්ස්ගේ නෝනා ගේ උපන් දින තෑග්ග
Posted on February 7th, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම

1776 ජූලි මාසයේ 4 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය ලෙස තෝරා ගත්තේ ජූලි 2 දා වන විටත් නිදහස් ප්‍රකාශනය ගැන ජනපද 13 එකඟතාවයකට පැමිණ නොතිබීමය.  වාද විවාද අවසන්ව එය ප්‍රසිද්ධ කිරීම සඳහා මුද්‍රණාලයට යැවුවේ ජූලි 4 වෙනිදාය. මා දන්නා කරුණක් නම් 1826 ජූලි 4 වෙනිදා ජෝන් ඇඩම්ස් හා තෝමස් ජෙෆර්සන් යන ඇමරිකාවේ දෙවැනි හා තුන්වැනි ජනාධිපතිවරු දෙදෙනා පැය ගණනක පරතරයක් තුල (කලින් ජෙෆර්සන්) මිය ගිය බවය. දෙදෙනාම මළේ ඔවුන් ඇමෙරිකාවේ නිදහස් ප්‍රකාශනය අත්සන් කර හරියටම අවුරුදු පනහකට පසුවය.

 
   මෙය මට මතක වුනේ ලංකාවේ නිදහස් දිනය ලෙස පෙබරවාරි 4 වෙනිදා තෝරා ගත්තේ ඒ දිනය ජෙනිංස් නෝනාගේ හෝ සෝල්බරි සාමිගේ නෝනාගේ උපන් දිනය නිසා යයි කට කතාවක් තිබෙන නිසාය. රුක්මන් සේනානායක හෝ රවි ජයවර්ධන හෝ එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුත් රනිල් හෝ සමහර විට මෙහි ඇත්ත නැත්ත දන්නවා විය හැකිය. ලන්ඩන් වල වසන කෙනෙකුට මේ දෙන්නාගේ උපන් දින සොයා දැනගැනීමට පුලුවන් කම තිබේ.
 
 මෙම කතාව සත්‍යයක්ද නැද්ද යන්නට වඩා වැදගත් වන්නේ එවැනි කතාවකට ලියලා යෑමට ලැබුනු පසුබිමය. කට කතාවක් වුවත් පැලවෙන්නේ ඊට සාධාරණ ඉඩ කඩක් තිබුනොත් පමණය. ඔලිවර් ගුනතිලක, ඩී. ඇස්. සේනානායක වැනි අය සුද්දන්ගේ පිටවල් කසාත්, සුද්දෝ මේ දෙන්නා වැනි අයගේ පිටවල් කසාත් ඔවුන්ගේ රටට ඊනියා නිදහසක් ලබා ගත්තේය. 1948 වන විට සුද්දන් හා කළු සුද්දන් එකතුව ලංකාවල් දෙකක් සදා ගෙන තිබුනි. ඉංග්‍රීසි කතා කරන, සුද්දාගේ පිටි පස්ස ඉඹීමට කැමති අය සිටින කොළඹ ලංකාව හා සිංහල හා දෙමළ කතා කරන නූගත් මිනිසුන් ජීවත්වන පිටිසර ලංකාව ඒ රටවල් දෙකය. අවුරුදු පනහකට හැටකට පසුව “කොළඹට කිරි අපිට කැකිරි” කියා කිව්වේ මේ ලංකා දෙක ගැනමය. “කොළඹට දෙන දේ අපටත් දෙනු” කියා කරුණා අම්මාන්  කැටි කර දැක් වූයේ ද මේ ලංකා දෙකේ කතාවමය.
 
 මෙම ලංකා දෙකේ කතාවට තවත් පැත්තක් ඇත. සර් ඩී.බී ජයතිලක ලංකාවේ පලවෙනි අගමැති වුනා නම් ලංකාවේ ඉතිහාසය වෙනස් වන්නට තිබුනා ය කියා බලංගොඩ ආනන්ද මයිත්‍රී මහනාහිමි වරක් කිව්වේය. අෆ්. ආර්. සේනානායක රටේ සිටි නියම නායකයා යයි මගේ පියා නොයෙක් වර මට කියා ඇත. 1948 නිදහස් දිනයේ දී නිදහසේ අරමුන දුක අවම කිරීමත් සතුට උපරිම කිරීමත් (කර්ටේල් සොරෝ-එන්හැන්ස් හැපිනස්) ය කියා ඩී.ඇස්. සේනානායක කියා ඇතැයි අප අසා ඇත. පසු ගිය අවුරුදු 62 තුල සිදුවුනේ කුමක්ද යන්න කොළඹට කිරි-අපිට කැකිරි යන කියමනෙන් හා 1962 කුමන්ත්‍රනයෙන් හා 1971 තරුන කැරැල්ලෙන් පෙනී ගියේය. ලංකා දෙකට කැමති අය තවමත් ඕනෑතරම් සිටින බව ඔල්මාදයෙන් ක්‍රියා කරන සරත් ෆොන්සේකාගේ චන්දයට පසු කුමන්ත්‍රණ යෙන් ද පැහැදිලි වේ.
 
 සර් අයිවෝර්, ඩී.ඇස් ලාගේ ඉෂ්ට දේවතාවා විය. ලංකා බෞද්ධ සම්මේලනයේ නියෝජිතයින් (මහාචාර්‍යාය ගුනපාල මලලසේකර) අවුරුදු 450 ක් තුල විදේශ ක්‍රිස්තියානි බලවේග විසින් සිංහල ජාතියට කල අසාධාරණ කම් ගැනත්, ඒ සම්බන්ධව රජයට ඇති වගකීම හා යුතුකම් ගැනත් ඩී. ඇස් ට කීමට ගිය විට සර් අයිවෝර් ගේ නීති උපදේශ මත ඩී. ඇස් දන්වා සිටියේ “ආණ්ඩුව සරණං ගච්ඡාමි” කියා බුද්ධාගමේ නැති බවය. ව්‍යවස්ථාවක් වශයෙන් 1947 ව්‍යවස්ථාව හොඳම එවැන්න බව මඟේ අදහසය.  එහි ඇති 29 වෙනි වගන්තිය සිංහල බෞද්ධයින්ට හානි නොවන ලෙස යොදා ගන්නට නොහැකි වුනේ කළු සුද්දන් නිසා මිස සුද්දන් නිසා නොවේ. මැලයාසියාවේ ,ඉන්දියාවේ හා ඇමෙරිකා වේ ද කල පරිදි සිංහල බෞද්ධයින්ට සිදුවූ  අවුරුදු 450 ක අයුක්තිය, අසාධාරණය, දුෂ්ට සැලකිල්ල නිවැරදි කිරීමට 29 වගන්තිය බාධාවක් නොවේ. එය කළු සුද්දන් දුන් බොරු උත්තරයක් පමණය. මෙම නිවැරදි කිරීම ඉන්දියාවේ සුප්‍රීම් කෝටි එකෙන් පහදා දී ඇත්තේ “ඩ්ස්ක්‍රිමිනේශන්  විත් රීසන්” කියාය. 
 
 පෙබරවාරි 4 ජෙනිංන්ස් ගේ නොව සමහර විට සෝල්බරි සාමිගේ නෝනාගේ උපන් දිනයද කියා මට සැකයක් ඇතිවන්නේ ලංකාවේ සිදුවූ ලොකුම ප්‍රථම දූෂණය සෝල්බරි විසින් ඩඩ්ලි ට අගමැති කම දීම නිසාය. ඔහුට ලංකාවේ ආණ්ඩුකාර කම දීම ගැන අපට විරුද්ධවීමට විශේෂ හේතුවක් නැත්තේ කාට හෝ එය දියයුතු නිසාය. මෙවැනි බලවත් අසාධාරණ කම් කීපයක්ම සුද්දන් කළු සුද්දන් සමග හවුල්ව කලේය. ධර්මපාල තුමාට කල හිරිහැර හා සර්. ඩී. බී. ජයතිලකව ඉන්දියාවට තැපැල් කර හැරීම මෙවැනි උදාහරණ දෙකකි. සර් ජෝන් ව සපා කන බල්ලා සේ යොදවා ගෙන ඩී. ඇස්. ලා ,සර් ඔලිවර් ලා හා ජේ. ආර් ලා බන්ඩාරණායක මහතා ට පලා බෙදීම ද තවත් එවැනි දෙයකි. මේවායින් රටට සිදුවූයේ විපතක් මය.
  ටැන්සානියාවේ ජනාධිපතිවූ ජුලියස් නියරේරේ කිව්වේ සුද්දන් යටත් විජිත වලට නිදහස දුන්නේ වගකීමෙන් තොරව පාලනය තවදුරටත් ගෙන යාමටය. ඉන්දියාව දෙකට කඩාවිනාශ කලේය. ඒ දෙරටේමත්, සෙසු යටත් විජිත වලත්, ලංකාවේත් සුද්දන් කලේ ඔවුන්ට බැලමෙහෙකම් කරන පන්තියක් පැල කර හොද තවානක් ද දමා දී යෑමය. හැකි හැම විටම මිනිස් කොටස් කොටවා යෑම ද සුද්දන් කලේය. යටත් විජිත නොදියුනුව පවතින්නේ මේ උපාය මාර්ග නිසාය. අද ලංකාවට විරුද්ධව සුද්දන්ගේ පිටිපස ඉඹිමින් ඩොලර් කොමිස් (පගා?) ගන්නා අය ගැන හොදින් සොයා බැලුවොත් ඔවුන්  ගේ සම්භවය සුද්දන් දේවත්වයෙන් සැලකූ දෙමව් පියන්, නෑදෑයින් ගෙනි.  නම, ආගම, සිතුම් පැතුම් සියල්ලම බටහිරට ආ වැඩීමය. උදාහරණයක් වශයෙන් සර්වෝදයේ ද රක්‍ෂාවක් කරනා ඩොලර් වලින් දීමනා ලබන ජෙහාන් පෙරේරාට මේ මෑතක් වනතුරුම තිබූ ලොකුම ප්‍රශ්නය නම් ඔහු පුතා සමඟ ටෙනිස් ගසා හවස ගෙදර යනවිට පාර වල් වසා තිබෙන නිසා ඇතිවන ප්‍රමාදයය!
 
 ලේ බිඳක් වත් නොහෙලා සුද්දන්ගෙන් නිදහස ලබා ගත්තාය, ලබා දුන්නාය යන කතා වල සත පහක වත් වටිනා කමක් නැත. සුද්දන් එය භාර දී ගියේ තව දුරටත් සූරා කෑම කරගෙන යෑමට ඉඩදෙන පිරිසක් කොළඹ සිටිය නිසාය. එංගලන්තයේ මෙන් සීතල නිසා නොව සුද්දා එසේ කරන් නිසාම, ගිනිගහන අවු කාෂ්ටකයේ ටයි-කෝට්-කබා-තොප්පි දමා ගෙන, සුද්දාට ද වඩා හොඳින් ඉංග්‍රීසි කතා කරමින් ලංකාවේ නිදහස් ලබා ගත් අවස්ථාව 1960 ගනන් වලදී පැට්‍රිස් ලුමුම්බාට සුද්දන් කල දේ මගේ සිහියට නැගේ. බෙල්ජියම කලේ කොන්ගෝව සූරා කෑමය.  නිදහස දී යෑම මිස කල හැකි දෙයක් නොවීය. බෙල්ජියන් රජු කොන්ගෝවට ඔවුන් කල සේවය ගැන බොරු පුරසාරම් දොඩන විට අවුරුදු තිහක පමන ඉතා ලාබාල වයසේ සිටි ලුමුම්බාට තරහ ඉහවහා ගියේය. රටේ අළුත් අගමැති වශයෙන් දීමට ඔහු ලියා ගෙන සිටි කථාව වෙනුවට  බෙල්ජියම තම රටට කල විනාශය පෙන්වා දුන් ලුමුම්බා රජුටත් ඔහුගේ පිරිසටත් වහාම අකුලාගෙන් තමාගේ රටින් පිටවයන් ලෙස දැනුම් දුන්නේය.
 
 බෙල්ජියම් රජු සෙසු සුදු අධිරාජ්‍ය වාදීන් ද හවුල් කරගෙන, කොන්ගෝවෙන්ම ඉත්තෙක් යොදවා ගෙන (මොබුටු) ඉතා පහත් අන්දමට ඉතා ඉක්මනින්ම ලුමුම්බා මරවා දැම්මේය.  මෙහිදී මධ්‍යස්ථව ක්‍රියා කිරීමට ඉදිරිපත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඩැග් හැමර්සල් වද අධිරාජ්‍යවදී සුදු රටවල් විසින් ඝාතනය කලා කියා සෙසු අප්‍රිකා රටවල මතය විය. මොබුටු අවුරුදු තිහක් පමන කාලයක් බටහිර ගැත්තෙක් ලෙස ඒකාධිපති පාලනයක් ගෙන ගියේය. කොන්ගෝව ස්වභාවික සම්පත් වලින් පිරුනු රටක් වුවත්, අද ද එරට යුද්ධ කරන දුප්පත් කම ඉහ වහා ගිය අවාසනාවන්ත ප්‍රදේශයකි. සූරා කෑම තවදුරටත් ගෙනයෑමට ඩිගෝල් ව්සින් යෝජනා කල සංවිධානයට බැඳීමට ප්‍රතික්‍ෂේපකල, ඩිගෝල්ට තම රටෙන් පිට වීමට සැලසූ අප්‍රිකාණු ගිනියා රටට දෙන සියලුම ආධාර කපා හැර එම රට බංකොලොත් කිරීමට ඩිගෝල් ක්‍රියා කලේය. අද භූමි කම්පාවක් නිසා මහත් ව්‍යාසනයකට ලක් ව සිටින හේති රටේ හිටපු අගමැතිව කුමන්ත්‍රණයක් කොට රටින් පිටුවහල් කලේ රටට කල හානිකල ප්‍රංශ වතු කොම්පැනි වලින් ඔවුන් ගෙවීමට එකඟවූ එහෙත් නොගෙවූ ඩොලර් මිලියන් 500 ඉල්ලා සිටීම නිසාය.
 
 සුද්දන්ට පන්දම් අල්ලන අය අදද හැම තැනම සිටින බවට උදාහරණයක් පේරාදෙනියේ ශිෂ්‍ය නිවාසයකට ජෙනිංන්ස්ගේ නම දීමට අදාල කලබගෑනියෙන් පෙනී ගියේය.  ඔහුගේ නම සැමරීම කෙලෙහිගුණ සැලකීමක් බව ඇත්තය. නමුත් හදිසියේ කලබලයේ ඒ වේලාවේ එය කීරීමට ඕනෑ වුනේ කාටද? අරුනාචලම්, රාමනාදන්, මාර්ස්, ජේම්ස් පීරිස්, මාර්කස් ප්‍රනාන්දු, ජයතිලක, සංඝමිත්තා, විජේවර්ධන, අක්බාර් යන නම් අතරට ජෙනිංන්ස්ට කලින් අනාගාරික ධර්මපාල නම නොතේරුවේ කවුද?  එම නම තෝරා ගත්තානම් ජේ.වී.පී. කාරයින්ට කලබල ඇති කරන්නට ද අවස්ථාවක් දනොලැබෙන්නට තිබුණි. දැන් කාලයේ ඇමතිලාට පන්දම් අල්ලන බොරුකාර විශ්ව විද්‍යාල උප කුලපතිලා වැහිවැහැලා ඇත. තමන්ගේ මව වත් රජකමට සුදුසු යයි නොසලකන චාල්ස් කුමාරයාව 50 නිදහස් දිනයට ලංකාවට ගෙන්නුවේ තමන්ගේ අනාගත බෑනා ලන්ඩන් වල සුද්දෙක් වීමට ඉඩ ඇති බව චන්ද්‍රිකා අක්කාට දැනුන නිසාද? විහාර පන්සල් වල් කඩා විනාශ කර ඒ වායින් බලකොටු හා පල්ලි සැදූ අස්වේදු ලා ලංකාවට ඇවිත් අවුරුදු 500 සමරන්නට කොළඹට එන ලෙස ලිස්බන් නගරයට ආයාචනා කළේ රනිල් මල්ලීය. අයි.එස්.ජී.ඒ හා පී. ටොම් ගෙනාවේත් මේ අයමය.
 
 නිදහස විනාශ කල කළු සුද්දන් අතරට මාක්ස්වාදීන්ද බෙහෙවින් වගකිව යුතුය. කොළඹ සිටි දෙමළ ක්‍රිස්තියානි බෙදුම් වාදීන් ද ඊට හවුල් විය. 1931 රාජ්‍ය මන්ත්‍රන සභාවට තේරී පත්වූ අයගේ නම් දිහා බලනවිට ඉන් බොහෝ දෙනෙක් කළු සුද්දන් විය. මෙම දේශපාලන කල්ලියට සිවිල් සේවකයින් ද එකතු විය. සිවිල් සේවකයින්ට ලොකු මුදලාලි ලාගේ දුවලා කසාද බැඳ දීම ඒකාලයේ සිදුවූ අපූරු ක්‍රමයකි. මේ පිලිඹද හොදම උදාහරණය නම් ඉතිහාසය ප්‍රථම පන්තියේ සාමාර්ථයක් විශ්ව විද්‍යාලයෙන් ලබා පසුව සිවිල් සේවා විභාගය සමත් වූ රොනී ද මෙල්ට, පානදුරේ බස් මුදලාලි කෙනෙක් වූ ලියෝ ප්‍රනාන්දු තමන්ගේ දුව ව කසාද බන්දවා දීමය.  සිවිල් සේවයට තෝරා ගත් අයගේ ලැයිස්තුව පලවන තුරු මුදලාලි ලා බලා සිටිය බව කියැවේ.
 
 සුදු අධිරාජ්‍ය වාදීන් විසින් යටත් විජිත වලට දුන් හීන මානය (හියුමිලියේෂන්) අවුරුදු 550 ක් පරණය. 2009 අප්‍රේල් මාසයේදී මිලිබෑන් හා ප්‍රංශ විදේශ ඇමති හරහා මහින්ද හා ගෝඨාභය රාජපක්‍ෂ දෙදෙනා බටහිර ට මෙම හීනමානය ආපසු හරවා යැවුවේය. මුළු ලෝකයේම සෙසු පරන යටත් විජිත මේ ක්‍රියාව නිසා බලවත් ලෙස සතුටටත් කුතුහලයටත් පත්වී සිටී. මෙම අළුත් වුන ජාතික අභිමානය තව දුරටත් වර්ධනය කිරීමත් එය රටේ සංවර්ධනය සඳහා යොමු කරවීමටත් ජනාධිපතිතුමාට පුළුවන. එය ආරම්භ කල යුත්තේ නිදහස් දිනය සුදු නෝනා කෙනෙකු ගේ උපන් දිනයෙන් මැයි මස 18 දාට වෙනස් කිරීමය.
 
 ලංකාවේ නිදහස් දිනය ලෙස මැයි මාසයේ 18 දා තෝරා ගත යුතුය කියා මට සිතෙන්නේ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනයා දුකෙන් හා මරනයෙන් ඇත්ත වශයෙන්ම නිදහස් වූයේ එදින නිසාය. 1948 දී නිදහස ලැබුවේ කොළඹ සිටි ඉංග්‍රීසි කතා කල විස්කි බිබී හැම් බේකන් කෑ සුද්දන්ගේ පන්දන් කාර පිරිසය. 2010 මැයි 18 නිදහස් වූයේ බෝම්බ වලින් මිය යමින් සිටි අරණායක ගොවියන් මෙන්ම නැගනහිර මුස්ලිම් පල්ලි වල් මිය ගිය මුස්ලිම් ජාතිකයින් දය. එපමනක් නොව ලංකාව විදේශ බලවේග පරාජය කලේ ද එදාය. කොළඹ සිටින කළු සුද්දන් පරාජයකලේ ද එදාය. මෙම තීරණය ගැනීමට මහජන බලය ලබා දී ඇති එකම නායකයා ද මහින්ද රාජපක්‍ෂය. මේ ගැන ඔහුට අල්ප මාත්‍ර හෝ යම් චකිතයක් ඇත්නම් අප්‍රේල් මාසයේ පැවත්වෙන පාර්ලිමේන්තු මැතිවරනයේ දී මෙය මහජනාට ඉදිරිපත් කිරීමට ඔහුටටත් රටටත් කදිම අවස්ථාවක් උදාවී ඇත.
 
 1948 දී නිදහස් දිනය දා යාපනයේ කලු කොඩ් දැමූ අය ද විය. කොළඹ දෙමළ නායකයින් සුද්දන්ට බැගෑපත් වූයේ නිදහස නොදී තවදුරටත් ඉන්නා ලෙසය. ප්‍රභාකරන් ගෙන් ලංකාව නිදහස් කරගත් විට දෙමළ ජනයා සිංහ කොඩි දමා යාපනය සැරසු අන්දම මේ සමඟ සසඳා බැලිය යුතුය. ඔවුන් එය කලේ මිලිටරි එක එසේ අණකල නිසා නොවේ. සම්බන්ධන් ටත්, මනෝ ගනේශන් ටත් මෙය මතක් කර දීමට කෙනෙක් නැද්ද? “රජුනි, අපව ගලවා ගන්න” යැයි ඇඩූ දෙමළ කාන්තාව ගේ ටෙලිවිෂන් මුහුණ දැන් බොරු කාර දේශපාලකයින් වන හකීම්ට, රනිල්ට, සෝමවංසට, මනෝ ගනේශන්ට හුදෙක් වියරු වැටුන ගැහැනියකගේ විහිලු ක්‍රියාවක් ද? බෙදුම් වාදය ගැන කතා කිරීම ඉන්දියාවේ දී තහනම් මෙන් ලංකාවේ දීද තහනම් කල යුතුව ඇත.
 
 අද රාත්‍රී (පෙබරවාරි 4) බී.බී.සී ටෙලිවිෂන් වාර්තාවට අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් භාගයක්ම මහජන මුදල් හොර කම් කර අසුවී ඇත. ඩොලර් මියන 1.5 ක් ඔවුන් ට ආපසු රජයේ ගිනුමට බැර කරන ලෙස අණ කර ඇත. මේ කාරනයෙන් පෙනෙන්නේ පගාව දූෂණය නැති කල යුතු නමුත් එය හදිසියේ කල නොහැකි බවය. මිනිසා තුල දෙවියා මෙන්ම යක්‍ෂයාද වසන බවත්, “නපුරු දුදනන්ගෙ සිය ලඟෙහිම විෂය” යන සුභාෂිතයේ කවියත් අප අමතක නොකල යුතුය. මේ නිසා ඒ සඳහා ක්‍රම සොයා ගන්නා අතර ඊට කලින් කල හැකි ගතානුගතික නොවන ක්‍රියා කීපයක් මෙසේය.
 
1. සුද්දන් අටවා දී ගිය පලාත් නවය වෙනුවට ලංකාවේ ඇති ප්‍රධාන ගංඟා ද්‍රෝනි හතට අනුව පලාත් හතකට ලංකාව බෙදීම
2. ලංකාවේ ගම් සභා හැකි සෑම විටම ස්වභාවික මායිම් අනුව හඳුනා ගැනීම
3. ප්‍රේමදාස මහතා කල මෝඩ ක්‍රියාවක් වන 14,000ක් කල ග්‍රාම සේවක වසම් සංඛාව නැවත 4,000 හෝ සධාරණ ගනනකට අඩුකිරීම හා ඒ වායේ මායිම් ද ස්වභාවික මායිම්  වලට අනුරූප කිරීම,
4. ලංකාවේ අගනුවර රජ රටට නැවත ගෙන යෑම සලකා බැලීම සඳහා කොමිසමක් පත් කිරීම
5. මහජනයා විසින් තිස්ස විතාරන සර්ව පාක්‍ෂික කමිටුවට එවන ලද ආණ්ඩුක්‍රම සංශොධන යෝජනා අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කමිටුවට දැන්වීම
6. පාසැල්වල සිංහල හා දෙමළ ඉගැන් වීම
 
 පාරවල්. පාලම්, විදුලිය වැනි යටිතල පහසුකම් වගේම ඉතා වැදගත් යටිතල වර්ගයක් ලෙස ඉහත සඳහන් 1-6 ක්‍රියා පෙන්වා දිය හැකිය. මහින්ද රාජපක්‍ෂ මහතා මේවා කිරීමට ඉදිරිපත් නොවන්නේනම් එය කල හැකි වෙන කෙනෙක් ලංකාවේ පහල වෙතැයි සිතිය නොහැකිය.    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2010 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress