71 කැරැල්ල -11 කොටස
Posted on November 3rd, 2010

වෛද්‍ය රුවන් එම් ජයතුංග

 විරාජ් ලක්ප‍්‍රිය ප‍්‍රනාන්දු

 1971 අපේ‍්‍රල් කැරැුල්ලේ 17 වන විත්තිකරු වූ විරාජ් ලක්ප‍්‍රිය ප‍්‍රනාන්දු මහතා විදේශගතව ජීවත් වෙයි. ඔහුව සම්මුඛ සාකච්චාවක් සඳහා සම්බන්ධ කර ගැනීම අසීරු වුයේ ඔහුගේ දුරකථන අංකය හෝ විද්‍යුත් තැපැල් අංකය ඔහුගෙ සමකාලිනයන්ද නොදැන සිටි නිසාවෙනි. අවසානයේදී මට උපකාරයට පැමිණියේ ගුවන් නියමුවෙකු වන එල්මෝ ජයවර්ධන මහතා විසිනි. ඔහු මට විරාජ් ප‍්‍රනාන්දු ගේ විද්‍යුත් තැපැල් අංකය ලබා දුන්නා පමණක් නොව මගේ පොත පිළිබඳව මූලික අදහසක්ද ඔහුට ලබා දුන්නේය. ඉන් ක්ෂණික ප‍්‍රතිචාරයක් ලැබුණු බව කිව යුතුමය.

 දින දෙකක් වැනි සුළු කාලයක් ඇතුලත මට විරාජ් ප‍්‍රනාන්දු මහතා ගෙන් විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලැබිණි. තමාගේ 71 මැදිහත්වීම වැරදි සහගත හා විකෘති කරමින් අයුවි කොමිසම ක‍්‍රියා කොට ඇති බවත් ඉන් පසුව ඒ සී අලස් සහ රොහාන් ගුණරත්න ඔවුන්ගේ පොත් වල මා ගැන සදොස් ලේඛන උපයෝගි කර ගෙන 71 කැරැල්ල පිළිබඳව ලියා තිබෙන බවත් විරාජ් ප‍්‍රනාන්දු මහතා මට පෙන්වා දුන්නේය.

 තමා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරය ඉයන් වික‍්‍රමනායක වෙනස් කළ බවත් අමාත්‍ය ෆීලික්ස් ඩයස්ගේ උවමනාව පරිදි එම කට උත්තරය සුසිල් සිරිවර්ධනට එදිරිව පාවිච්චි කළ බවත් විරාජ් ප‍්‍රනාන්දු පැවසීය.

 මම විජේවීරගෙ ව්‍යාපාරයේ සාමාජිකයෙක් නොවේ. කොටින්ම කියනවනං මම පන්ති 5 වත් කරපු අයෙක් නෙවෙයි. සුසිල් සිරිවර්ධන නිසා තමයි මම විජේවිර සමග සාකච්චාවලට ගියේ. සුසිල් සිරිවර්ධන අවංක හා හිත හොඳ මිනිහෙක් ඔහු විජේවීර තුළ තිබූ කැපවීම කෙරෙහි වශී උනා. නමුත් දේශපාලන වශයෙන් විජේවීර පිළිබඳව විශ්ලේෂණාත්මකව සිතීමට සුසිල්ට හැකියාවක් තිබුනේ නැහැ.

 මම එංගලන්තෙ සිටි කාලයේ රැඩිකල් තරුණයෙකු බව ඇත්තයි. වියට්නාම් යුද්ධයට විරුද්ධව රැස්වීම් අප එහිදි සංවිධානය කළා නමුත් කිසිම දේශපාලන සංවිධානයක් හරහා නොවෙයි. මට මහවැලියේ වැඩ කරන සමයේ සුසිල් ගෙන් දැන ගන්නට ලැබුනා මාක්ස්වාදී තරුණ ව්‍යාපාරයක් ගැන. මම මාක්ස්වාදය ගැඹුරින් හදාරා තිබූ නිසා මෙම ව්‍යාපාරයේ සාමාජිකයන් හමු වීමේ ස්වභාවික ආශාවක් ඇති උනා. මේ වෙන කොට සුසිල් සිරිවර්ධන තමාගේ ගෝලයෙකු වූ පොඩි ලකී හෙවත් ලක්ෂ්මන් මුණසිංහ හරහා ව්‍යාපාරයේ නායකයන් හමුවී තිබුනා.

විජේවීර ඇතුළු ඔහුගේ දෙවන පෙළ නායකයන් අපට ඔවුන්ගේ නියම නම් පවා හෙළි කළේ නැහැ. විජේවීර තමාව හදුන්වා ගත්තේ ජයන්ත ලෙසටයි. උයන්ගොඩ පෙනී සිටියේ සෙනෙවිරත්න නමින්. ඔවුන් මාව විශ්වාස නොකරන්නට ඇති. ඒත් මගේ විදේශ සබඳතා ව්‍යාපාරයේ දියුණුවට යොදා ගන්න ඔවුන්ට අවශ්‍ය කෙරුනා නිසැකයි.

 මේ වන කොට මම වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් විජේවිරගේ ව්‍යාපාරය ගැන යම් අධ්‍යයනයක් කර තිබුනා. ඒ වගේම මට ආරංචි උනා ඔවුන් අරමුදල් සොයා ගැන්මට මංකොල්ලකෑම් කළ බව. මට අවශ්‍ය උනා මෙම ව්‍යාපාරයේ නිසි මාක්ස්වාදී පීල්ලකට ගෙන එන්න. මම ඔවුන් නිවැරදිව කටයුතු කළ යුත්තේ කෙසේද කියා දිර්ඝ ලිපියක් ලිව්වා. මම බලාපොරොත්තු උනා ඔවුන් මගේ මගපෙන්වීම අනුව නිසි මාක්ස්වාදී පදනමකට එන බවට.

 වරක් සිසිල් චන්ද්‍ර අපව රැගෙන ගියා ටී.ඞී. සිල්වාගේ ගෙදරට. එහි රෝහණ විජේවීර හිටියා. ඔහු මාත් සුසිල් සිරිවර්ධන සමගත් කථා කළා. විජේවීරට අවශ්‍ය උනා අපව විශේෂයෙන් මාව ඉම්ප්‍රෙස් කරන්න. ඔහු දීර්ඝ වශයෙන් අපට දේශනා කරා. සුසිල් මෙම දේශනයෙන් වශී වුනත් මට එය නීරස හෑල්ලක් උනා. ඒ නිසා මම ඊට බාධා කරමින් කථා කළා.

මම විජේවීරට කිව්වා ඔබලා මාක්ස්වාදයට අනුකූලව ක‍්‍රියා කරනවා නම් මට පුළුවන් ඔබලාට අන්තර්ජාතික වශයෙන් සබඳතා ගොඩ නගා දෙන්න. මම මෙය පැවසුවේ හිතට එකඟවයි. මට අවශ්‍ය කලා මගේ අන්තර්ජාතික සබඳතා යොදා ඔවුන්ව නිසි මඟට ගේන්න. මා හරහා අන්තර්ජාතික සබඳතා ඇති කරගැනීම විජේවීර සතුටින් අපේක්ෂා දෙයක්.

 මෙය සිදු වුනේ 1970 සැප්තැම්බර් මාසයේ විතර. මම එතකොට අවුරුදු 28 ක දුර්දර්ශීව කටයුතු නොකළ තරුණයෙක්. මම කිව්වා අන්තර්ජාතික සබඳතා මම හදලා දෙනවා. නමුත් ඔබලා වෙනස් විය යුතු බව.

 විජේවීර මට කිව්වා සහෝදරයා ඉස්සෙල්ලාම යන්න මාලදිවයිනට. එහේ 5 කන්ඩායමක් හදන්න පෝස්ටර් ගහන්න. මෙය මම අපේක්ෂා නොකළ දෙයක්. මම කිව්වා මොකටද මාලදිවයිනේ පෝස්ටර් ගහන්නේ? එතකොට විජේවීර කිව්වා යන්න සැන්සිබාරෙට හම්බුවෙන්න කරුමේව. මම කිව්වා කියන්න  ගිහිල්ලා ආධාර ඉල්ලන්න.  ඊට පස්සේ විජේවීර කියන්න ගත්තා බෙංගාලයට හා කේරලයටත් යන්න අපිට සැඟවෙන්න තැන් සොයාගන්න.

 මෙහිදී මට ප‍්‍රශ්නය ආවා විප්ලවය කරනවා නම් සැඟවෙන්න තැන් සොයන්නේ ඇයි කියලා. නමුත් මම කථා කලේ නැහැ. ඉන්පසුව කිව්වා එංගලන්තයට ගියාම දොස්තරලා 8ක් ලෑස්ති කරලා මෙහාට ගේන්න විප්ලවේදි තුවාල වන අයට බේත් කරන්න කියලා.

 අවශ්‍ය ආයුධ ගැන විස්තර කිව්වේ මෙහෙමයි. අත් බෝම්බ 50 000, ඔටෝමැටික් රයිෆල් 5000, ඔටෝමැටික් පිස්ටල් 5000 වෙඩි නොවදින කබා, හෙල්මට් ගේන්න. ඔටෝමැටික් පිස්ටල් ගැන කියන ගමන් විජේවීර දකුණු අතේ දබර ඇගිල්ල නවලත් පෙන්නුවා. මම පෙන්වලා දුන්නා මේ වගේ ආයුධ ගැනීම ප‍්‍රවාහනය ඉතා අසීරු බව. ඒ වගේම සල්ලි කෝ කියලත් ඇහුවා. විජේවීර කිව්වා ගංජා හේනකට පොල්ලත් තියලා ගංජා අරගෙන බඩු ගෙනාවාම ගංජා වලින් ගෙවමු කියලා. මම මේ අදහස අභියෝග කළා එතකොට කිව්වා දැනට රුපියල් ලක්ෂයක් සොයා ගත හැකි බව. 1970 කාලයේදී රුපියල් ලක්ෂයක් කියන්නේ විශාල මුදලක් ඒත් ඔටෝමැටික් රයිෆල් 5000 ක් සඳහා රුපියල් ලක්ෂය දුන්නොත් එක රයිෆලයක් රුපියල් 20 වගේ පොඩි ගානක්. මම ඇහුවා

රුපියල් 20 කට රයිෆල් එකක් ගන්න පුලූවන් වෙයිද? යනුවෙන් ඊට විජේවීර දුන් පිළිතුර තමයි  ඕකට ඩියුටි නෑනේ ඒ නිසා රුපියල් 20 කට ගන්න පුළුවන්. මේ අනුව මට තේරුනා විජේවීරට ආයුධ පිළිබඳ දැනුමක් නැති බව.

 මම පසුව කිව්වා සුසිල්ට මට මේ ව්‍යාපාරය ගැන බලාපොරොත්තු නෑ, මං එංගලන්තෙට යනවා කියලා. සුසිල් මාව ධෛර්යමත් කළා. අපි දෙන්නාට මේ අයව වෙනස් කරන්න පුලූවන්. අපි ඒක කළ යුතුයි. මේ නිසා මම අන්තර්ජාතිකව සබඳතා බලන්න පොරොන්දු උනා. නමුත් ආයුධ ගේන එක මට තේරුනේ විහිලූවක් වගේ. මීට පෙර ඒ කියන්නේ 1970 ජුලි වලදි වනාතමුල්ලේ ඔස්මන්ලා ගෙදරට වරක් මම ගියා බෝම්බ තාක්ෂණය පිළිබඳ දේශනයකට. වනාතමුල්ල ප‍්‍රාථමික බෝම්බ හැදීමට ප‍්‍රකට ප‍්‍රදේශයක්. එදා මගේ මතකයේ හැටියට විජේ කියලා පුද්ගලයෙක් තමයි ටින් බෝම්බ හැදීම ගැන විස්තර කළේ. මේක ප‍්‍රාථමික නොදියුනු ක‍්‍රමයක් බව මට හිතුනා. මම ඒන්සයික්ලෝපිඩියා බි‍්‍රටැනිකා විශ්ව කෝෂයේ කියවා තිබූ පරිදි ඇමෝනියම් නයිටෙ‍්‍රට් මිශ‍්‍රණ යොදා ගෙන පුපුරන ද්‍රව්‍ය හදන්න පුළුවන් අයුරු ගැන කියෙව්වා. මෙම සිද්ධියත් නඩුවේදී මට එරෙහිව යොදා ගත්තා.

 මම යලිත් එංගලන්තයට ගියේ මගේ උවමනාවට මගේ මුදල් වලින්. මම ගියේ විජේවීරට අන්තර් ජාතික සබඳතා තනා දෙම්දෝ නොදෙම්දෝ දෙගිඩියාවෙන්. සුසිල්ගේ බලවත් ඉල්ලීම නිසා පිටරටදි කාට හරි මා කතා කරන්නම් කියා මා හිතුවා. ඒත් ආයුධ ගේන්න මට තුන් හිතකවත් උවමනාවක් තිබුනේ නැහැ. ඉයන් වික‍්‍රමනායක මගේ ප‍්‍රකාශ විකෘති කරලා එවැනි චිත‍්‍රයක් පෙන්නුවා නඩුවේදි. 

 මම ගමන් කරපු ගුවන් මාර්ගය වැටී තිබුනේ යේමනය හරහා. මේ කාලේ ජෝර්දානයේ හුසේන් රජතුමා පලස්තීන සටන්කාමීන් ජෝර්දානයයෙන් පිට කරවලා. ඔවුන් යේමනය ඊජිප්තුව වැනි රටවල හිටියා. මම යේමනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දෙවන ලේකම්  ඕමාර් යන පුද්ගලයා මුන ගැසුනා. ඔහු එම රටේ උසස් නිලයක් දැරූ අයෙක් නෙවෙයි. මම ලියපු ලිපියකට ඔහු අත්සන් තබා ඔහුගේ මුද්‍රාව තිබ්බා. එම ලිපියේ සිංහල අනුවාදය වුනේ ඔබලාගේ විප්ලවයට අපෙන්

සුභ පැතුම්, අපිට එවිය හැකි ආධාර පිළිබඳව සොයා බලන්නෙමු. එය යථා කාලයේ දැනුම් දෙන්නෙමු යනුවෙන්. යේමනයෙන් කැටපෝලයක්වත් ලැබුනේ නැහැ.

 යලිත් ලංකාවට මම ආවේ මාස ගානකට පසුව. මම විජේවිර හා ඔහුගේ සගයන් මග ඇරියා. ඔවුන්ගේ න්‍යායේ තර්කානුකූල බවක් මට පෙනුනේ නෑ. එම නිසා මම අයින් උනා. ඒ ඇරත් ව්‍යාපාරය මා කෙරෙහි දැක්වූයේ අප‍්‍රසාදයක්. මම ප‍්‍රශ්න අහනවා. ඒ නිසා මාව බාල්දි කේස් එකක් ලෙසට සලකන්න ඇති. ප‍්‍රශ්න අසන්නන්ට ව්‍යාපාරය තුළ තැනක් නැහැ. ඔවුන් ඔත්තුකාරයන් කඩාකප්පල් කාරයන් ලෙසට ලේබල් වෙනවා. එකවර පොලිස් ස්ථාන වලට පහර දීලා බලය අල්ලනවා කියූ කථාව මම අභියෝගයට ලක් කළා. මම ඇහුවා පොලිස් ස්ථාන අල්ල ගත්තම හමුදාව නිකං ඉදීද? හමුදාව එනවා. එතකොට විජේවීර කිව්වා ජනතාව ඉදිරියට ඇවිල්ලා අපි වෙනුවෙන් පපුව දෙනවා.

 මේ නිසා මට විප්ලවය ගැන තිබුනේ ලාමක විශ්වාසයක්. මම යලිත් ලංකාවට ඇවිල්ලා මහවැලි ව්‍යාපාරය ආශ‍්‍රිතව මහකණුමුල්ලේ මරදංකඩවල කිට්ටුව රැකියාව කළා. මාව අත්අඩංගුවට ගැනීමට මගෙ නිවසට පොලිසිය ආවේ 1971 මැයි මාසයේ. අසාර්ථක කැරැල්ලෙන් පස්සේ පොලිසිය මා සොයා එන බව මම දැන හිටියා. ඒ නිසා අම්මාට මම කියලා තිබ්බේ පොලිසිය ආවොතින් මගේ මහකණුමුල්ලේ ලිපිනය දෙන්න කියලා. ඒ අනුව මොරටුව මහ ගෙදරට ගිය පොලිසිය මව විසින් දුන් ලිපිනය අනුව මා සොයා මහකණමුල්ලට ආවා.

 මාව අත්අඩංගුවට ගැනීමට ආ කැකිරාව පොලිස් නිලධාරීන්ට තේරුනා මම විශේෂ පන්තියක සැක කාරයෙක් බව. මට කිසිම හිංසාවක් කළේ නැහැ. මාව රිමාන්ඞ් කූඩුවට පවා දැම්මේ නැහැ. ? පොලීසිය මට නිදා ගැනීමට මෙට්ටයක් පවා දුන්නා. කැකිරාව පොලීසියේ සිට අනුරාධපුරයට මාව ගෙන ගියා. ජීප් රථයේදී කොස්තාපල්වරු පිරිසක් මට පහර දුන්නා . සිගරැට් වලින් පිච්චුවා. ඔවුන් එසේ කළේ ඔවුන් තුළ තිබු පර පීඩික ආශාව නිසා ඔවුන් මම ගැන දැන හිටියේ නැහැ. ඔවුන් මට පහර දුන්නත් මම කිසිම දෙයක් කළේ නැහැ. නිහඩව හිටියා. එය ඔවුන් තේරුම් ගත්තේ මම තදයෙකු ලෙසටයි. ගැහුවට මූට තේරෙන්නෙවත් නෑනේ කියමින් ඔවුන් මට තව තවත් පහර දුන්නා. මෙවර මට පණිවිඩය තේරුනා. ඉන් පසු ගහන හැම පහරකටම බුදු අම්මෝ යනුවෙන් කෑ ගැහුවා. එවිට ඔවුන්ගේ පර පීඩා ආශාව අඩුවී පහර දීම නැවතුනා.

 සී.අයි.ඞී. මූලස්ථානයේදී සර්නි විජේසූරිය, හා ජෙගනාදන් යන නිලධාරීන් මගෙන් ප‍්‍රශ්න කළා. ඔවුන් මට පහර දීමක් කලේ නැහැ. හොඳට සැලකුවා. එය ඇතැම්විට ප‍්‍රශ්න කිරීමේ අංශයක් වෙන්න ඇති. මම ලංකාවේදී ව්‍යාපාරය ගැන තිබූ ගනුදෙනු හැර විදේශ වලදි සිදුවීම් අලලා පිටු 25 ක ප‍්‍රකාශයක් ලියා දුන්නා. මෙම ප‍්‍රකාශයෙන් පසුව මා ඉදිරියට ටි. ඞී. සිල්වා ගෙනාවා.මගෙන් ඇහුවා අදුනනවාද කියලා. මම ප‍්‍රකාශ කළා ඔහුව දැකලා නැති බව. එවිට ටී.ඞී සිල්වා මම ඔහුගේ ගෙදරට ආ බවත් විජේවීර සමග කථා කළ අයුරුත් රාත‍්‍රි භෝජනයට සහභාගි වූ අන්දමත් කියා හිටියා. රහස් පොලිස් නිලධාරින්ට මම ලංකාවේ සබදතා සැ`ගවූ බව තේරුණා.

 ඒ වගේම යම් යම් කට උත්තර වල මම විජේවීරව කතරගම දෙටගමුවේ හමුවූ ආකාරය. මේ නිසා මම ඇත්ත තත්වය කිව්වා. ලංකාවේදි සිදු වූ දේ පවා කිව්වා. මගේ කට උත්තරය ඉයන් වික‍්‍රමනායක කියවා ඔහු ඇතැම් ස්ථාන මැකුවා සමහර තැන් වලට කරුණු එකතු කළා. සමහරක් තැන් නොතකා හැරියා. එ වගේම ජෙගනාදන් ඇතුළු අනෙක් නිලධාරින්ටත් බලපෑම් කරා මගේ ප‍්‍රකාශයේ යම් යම් ස්ථාන වලදී වෙනස් කරන ලෙසට.

 ෆීලික්ස් ඩයස් හා සුසිල් සිරිවර්ධන අතර තිබූ පවුල් අර්බුධය නිසා ෆීලික්ස්ට ඔහු හිර කරන්න අවශ්‍ය උනා. ඔහු ඉයන් හරහා මගේ කට උත්තරය වෙනස් කරමින් ඊට අනුකූල වන ලෙසට ක‍්‍රියා කළා.

 මම විජේවිරගේ න්‍යායන් වලට එකග වූ අයෙක් නෙවෙයි. ඉන්දියානු ව්‍යාප්තවාදය මම ගෙඩි පිටින් ගිල්ලේ නැහැ. මම ආයුධ ගේන්න තුන් හිතකින්වත් හිතුවේ නැහැ. නමුත් නඩුවේදී පෙන්නලා දුන්නේ මම තදබල පාක්ෂිකයෙක් විදේශ සබඳතා තිබුනේ මා හරහා. මම ආයුධ ගේන්න විදේශගත වූ අයෙක් ලෙසට.

 නඩුව පැවැත්වූ අවස්ථාවේ නඩුකාරයන්ට විජේවීරව ජෝකර් කෙනෙක් වෙලා හිටියේ. ඔහුගෙ ලාමක න්‍යායන්ට ඔවුන් හිනා උනා. නමුත් අන්තිම දිනයේ විජේවීර කළ කථාවට මුළු උසාවියම ගල් ගැසුනා. විනිශ්චයකරුවන් මෝහනයට පත් වී ඔහුට සවන් දුන්නා. මෙය විජේවීර සතුව තිබූ දක්ෂතාවක්. එය gifted ability ලෙස මම දකිනවා. ඔහුගේ දේශනයෙන් පසු පියසිරි කුලරත්න උසාවිය ඇමතුවා. පියසිරි විජේවීරගේ කතාවේ තිබූ හිස් තැන් විවේචනය කළා නමුත් විනිශ්චයකරුවන්ගේ හිත් පියසිරිගේ කථාවට වෙනස් කරන්න ලැබුනේ නැහැ. ඔවුන් පවා විජේවිරට වශී උනා.

 හිරේදි මම පොත පත කියෙව්වා. වැඩිපුර හිටියේ තනියම. පියසිරි හා ලාල් පරාක‍්‍රම සමගත් නිතර කතා කළා. වරක් විජේවීර අපි සැම දෙනා වතුර ගන්න බාල්දියට ඔහුගේ දත් බුරුසුව දැම්මා. මම එවිට විරෝධය පා ඔහුට බැන වැදුනා. එහිදි ලක්ෂ්මන් මුණසිංහ මට පහර දීමට පවා ආවා. ඔහුගේ අන්ධ අනුගාමිකයන් ඔහුව දුටුවේ දෙවියෙක් වගේ.

 මාව නිදහස් කළේ 1976 දෙසැම්බර් වල. නිදහස් වූ දින පත්තරේ මුල් පිටුවේ විශාල අකුරින් පළ උනා ‘විරාජ් ප‍්‍රනාන්දු නිදහස්’ යන හෙඩිම. එය දුටු මගේ මිතුරෙක්, මට කොළඹ ඩොක්යාඞ් එකේ රැකියාවකට ආරාධනා කළා.

 මට රජයේ ආයතනයක් වූ ඩොක්යාඞ් හි රැකියාවක් ලැබුනා. මේ අනුව මට වැටහුනා රජය පවා දැන හිටියා මට විජේවීර සමග විශාල ගනුදෙනුවක් නොතිබු බව එසේම මට නඩුවේදි ලැබුනේ වසර 2යි. එවකට හිටි නීතිපති වික්ටර් තෙන්නකෝන් පවා දැන හිටියා මගේ නිර්දෝශී භාවය පිළිබඳව. එසේම මම ආයුධ ප‍්‍රවාහනය නොකල බව. එසේම ඔහුට තේරුනා ඉයන් ෆීලික්ස්ගේ අවශ්‍යතා. යම් හෙයකින් මා ආයුධ ගනුදෙනු කළ අයෙක් නම් මට රජයේ රැකියාවක් ලැබෙනවාද? වසර 2 වැනි අඩු කාලයක් දෙනවාද?

 2003 දි මට අහම්බෙන් සී.අයි.ඞී එකේ හිටපු නිලධාරි ජෙගනාදන් මහතා හමු උනා. ඔහු මාව හ`දුනා ගත්තා. ඔහු තුළ මා දුටුවා යම් වරදකාරි හැගීමක්. අතීතය ගැන මට දැන් පසුතැවිල්ලක් නැහැ. මට අවශ්‍ය කළේ

විජේවීර ගේ ව්‍යාපාරය නිවැරදි මගට ගන්න. මම අසාර්ථක උනා. මගේ ප‍්‍රකාශ විකෘති කෙරුනා. නමුත් යලි වසර 37 හෝ 38 පසුව යළි මම ප‍්‍රකාශ නිවැරදි කොට ලෝකයාට දීමෙන් පලක් තිබේද? එය ලෝකයේ සංවර්ධනයට, මනුෂ්‍ය සංහතියට කරන බලපෑම අල්පයි. එය මට සිදුවූ පෞද්ගලික පාඩුවක් ලෙස මම දකිනවා. අතීතය යළි හරි ගස්සන්න බැහැ.එය මට අවශ්‍යත් නැහැ. දැන් මට වයස අවුරුදු 66යි. මම විශ‍්‍රාමික තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කැනඩාවේ.

 මහමරක්කලගේ විජේපාලද සිල්වා

 18 වන විත්තිකරු මහමරක්කලගේ විජේපාලද සිල්වා බලපිටියේ පදිංචිකරුවෙකි. වරායේ ලේත් මැෂින් ක‍්‍රියාකරුවෙකු වූ ඔහු පිලපිටියේ කම්මලක චිනච්චට්ටි බෝම්බ නිපදවීය. විජේපාල ද සිල්වා මහ නඩුවේ විත්තිකාරයෙකු වීම පිළිබඳව ඇතැමෙකු විමතිය පළ කරති. ඔහු චිනට්ටච්චි කවර නිෂ්පාදනය කළා මිසක දේශපාලනික වශයෙන් ව්‍යාපාරය සමඟ සම්බන්ධව නොසිටි බව කියවේ.

 විජේපාලද සිල්වා මහතා මට 2009 අපේ‍්‍රල් 5 දින කොළඹ මහවැළි කේන්ද්‍රයේදී හමු විය. අපගේ කෘතිය පිළබඳව කළ හැදින්වීමකින් පසුව එයට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දීමට විජේපාල ද සිල්වා මහතා එකඟ විය. 71 කැරැල්ලට තමන් සම්බන්ධවූ ආකාරය ඔහු පැවසුවෙ මෙසේය.

 මම වරායේ වාත්තු වැඩ කළා. 1970 දි විතර තමයි වික්ටර් අයිවන් හරහා සම්බන්ධ උනේ. මම පන්ති 2 විතර කරලා තියෙනවා ගැඹුරු දේශපාලන දැනුමක් සොයාගෙන ගියේ නැහැ. කැරැල්ල සඳහා චීනට්ටටච්චි අත් බෝම්බ 10 000 විතර අවශ්‍ය බව ගනන් හදා තිබුනා. අපි පිලපිටියේ වැඩපොලක් කෝෂ හැදුවා. එක චීනට්ටච්චි කෝෂයක් අඹ ගෙඩියක් තරම් ඇති. දිනකට 300-400 වගේ මහන්සි වෙලා හැදුවා.

 ලොකු අතුලගේ සබ`දතාවක් හරහා ආනන්ද පෙරේරා වැඩ පොලේ ගෝලයෙක් හැටියට ආවා. ආනන්ද පෙරේරා නුවර කිංස්වුඞ් එකේ ශිෂ්‍යයෙක් ඔහුට රසායන විද්‍යාව පිළිබඳ හොද දැණුමක් තිබ්බා. අපි මාස 7-8 විතර දිනකට පැය 18-19 අතර කාලයක් පුරා මහන්සි වෙලා පිලපිටිය වැඩපොලේ චිනච්චට්ටි කෝෂ හැදුවා. සෑම දිස්ත‍්‍රික්කයකටම මේවා බෙදා හැරියා. පුපුරන ද්‍රව්‍ය පිරවීම කළේ ඒ ඒ දිස්ත‍්‍රික්වල. එහිදී දුර්වලතා සිදු වුනා. ඒ නිසා බෝම්බ ගොඩාක් පිපුරුවේ නැහැ.

 කැරැල්ල දවසේ මට නිශ්චිත වැඩක් පවරලා තිබුනේ නැහැ. මම කොළඹ ඒ මේ අත ගියා. කඩවත පොලීසිය ල`ග දැක්කා වෙඩි වැදිලා මැරිලා හිටපු මිල්ටන්ව. මිල්ටන්ගේ මිනිය කෙසෙල් අත්තකින් වහලා තිබුනා. ඇතැම් අයගේ කට උත්තර නිසා පොලිසිය මාව සොයන්න ගත්තා. ඒ නිසා මම සැඟවුනා. රේණුකා හෝටලය හදන කොට මම ඒ බිල්ඩිං සයිට් එකේ වැඩ කළා රහසිගතව.

 මාව අත්අඩංගුවට ගත්තේ 1971 අගෝස්තු මාසයේදි. නඩුවේ දී  මට අවුරුදු 12 ක සිර දඬුවමක් ලැබුනා. නිදහස් වෙලා ඇවිල්ලා ජීවත් වෙන්න මාර්ගයක් තිබුනේ නැහැ. 1997 දි පමණ යළි වරායේ රැකියාව ලැබුණා. අද මම විශ‍්‍රාමිකයෙක්. එදා සහ අද දිහා බැලූවම සමාජය වෙනස් වෙලා. 71 දි මම කළේ ඒ යුගයට අවශ්‍ය දෙයක් කියලා මට හිතෙනවා.

 නිහාල් ආනන්ද පෙරේරා

 මහ නඩුවේ 19 වන විත්තිකරු නිහාල් ආනන්ද පෙරේරා අද ජීවත් වෙන්නේ ලෙසෝතෝ වලය. Quantity surveyor වරයෙකු ලෙස සේවය කරන ඔහු 71 දි ශිෂ්‍ය අංශයේ කටයුතු කරන ලදි. නඩුවේද ඔහුට බරපතල වැඩ ඇතිව වසර 5 ක සිර දඬුවමක් ලැබුනි.

 මීලඟ කොටස බලාපොරොත්තු වන්න

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2015 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress