71 කැරැල්ල 30 කොටස
Posted on February 6th, 2011

වෛද්‍ය රුවන් එම් ජයතුංග

බුලට් මහින්ද හෙවත් නීතිඥ මහින්ද ජයවර්ධන- 71 විත්ති ලිවීමේදී අනිවාර්යයෙන්ම බුලට් මහින්ද චරිතය පිළිබඳව ලිවිය යුතු බව දැනමුත්තෝ පෙන්වා දුන්හ. ඔහු පිළිබඳව හැඳින්වීම කළ පුද්ගලයා බුලට් මහින්ද ගැන කියුවේ හිරේ කඩාගෙන පනින යකඩයා වැනි චරිතයක් ලෙසටය. මෙම අපුරු පුද්ගලයා සමඟ සංවාදයේ යෙදීමට මට ආශාවක් ඇති විය. එහෙත් මා ඔහුට දුරකථනයෙන් ඇමතූ මුල වතාවේදි ඔහු කරුණු කථා කිරීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ‘ඔය පත්තරකාරයෝ ඇවිල්ලා එක එක විකාර ලියාගෙන යනවා’ ඔහු නෝක්කාඩු ස්වරයකින් පැවසීය. මා පත්තරකාරයෙකු නොවන බවත් නමුත් පත්තර වලට ලිපි ලියන්නෙකු බව හා 71 කැරැුල්ලේ අප‍්‍රකට අත්දැකීම් පිළිබඳව පොතක් ලිවීමට අදහස් කරන බව කීමෙන් පසුව ඔහුගේ යම් බුරුලක් ලැබිනි. මහින්ද වෘත්තියෙන් නීතිඥයෙකි. එම නිසා උසාවි නොයන දිනකදි ඔහුව මුණ ගැසීම සඳහා කිහිප දවසක් දුරකථනයෙන් ඇමතුවෙමි. අවසානයේදි බුලට් මහින්ද හෙවත් නීතිඥ මහින්ද ජයවර්ධන මහතා මා ඔහුගේ කාර්යාලයේදි මුණ ගැසීමට එකඟ විය. පහත දැක්වෙන්නේ බුලට් මහින්ද මට පැවසූ කථාවයි.

 මගේ ගම් පළාත හලාවත. මගේ සීයා කරවිට ප‍්‍රදේශයේ ආරච්චි කෙනෙක්. පියා ව්‍යාපාරික වැඩ වල නිරතව හිටියා. ඔහු නිවෙසට පැමිණියේ සතියකට වරක්. කුඩා කාලයේ සිටම මා අසාමාන්‍ය දඟකාරයෙක්. පාසලේත් කට්ටි පනිනවා. අනික් සිසුන් සමඟ ගහගන්නවා. හලාවත ටවුමේ රස්තියාදු වෙනවා. සාමාන්‍ය පෙළ දක්වා මගේ අධ්‍යාපනය කුණාටු මුහුද වගේ. මම පාසල් 7කට ගියා. හලාවත ආනන්ද, සෙන්ට් මේරිස්, මාදම්පේ සෙන්ට‍්‍රල් යනාදි වශයෙන් ආරවුල් හා පැමිණිලි නිසා බොහෝ පාසල් වලින් පවා අස් කළා. මම මාදම්පේ සෙන්ට‍්‍රල් එකට ඇතුළු උනහම මගේ මාමා එහි උප විදුහල්පති. මාමා මාරුවක් ඉල්ලගෙන ගියා මූ ඉස්කෝලේ මදාවිකම් කරන කොට මගේ සායමත් යනවා කියලා.

 පන්තියෙ වැඩ වලට උනන්දුව නොයෙදුවාට මම ගණිතයට දක්ෂයි. පාසලෙන් කට්ටි පැනලා හලාවත බස් ස්ටෑන්ඞ් එකේ රස්තියාදු ගහලා විභාගයට කිසිම දෙයක් පාඩම් නොකර ගිහින් ලිව්වට මම තමයි ගණිතයට පංතියේ වැඩිම ලකණු ගත්තේ. මම ආශ‍්‍රය කලේ මගෙ පවුලෙ තරාතිරමට නොගැලපෙනවා යැයි සැලකූ පුද්ගලයන්. අපේ ඥාතින් ඒ අයගේ ගෙවල් වලට මම යනවාටවත් කැමැත්තක් දැක්වූයේ නැහැ.

 1969 කාලයේ මට අවුරුදු 15 විතර ඇති. හලාවත බස් ස්ටෑන්ඞ් එකේ හිටියා ටොෆි කමල් කියලා පුද්ගලයෙක්. කමල් ඛදඩැ පැල ණසිි පැ කියන ටොෆී ස්ටෑන්ඞ් එකේ වික්කා. එයා අමුතුම අදහස් තිබූ කෙනෙක්. අපි දැනගෙන හිටියේ නැහැ කමල් ජ.වි.පෙ දේශපාලන වැඩ වලට සම්බන්ධ බව.

 කමල් වැඩිහිටියකු උනත් අපේ හිත මිත‍්‍රයෙකු බවට පත් වුනා. මචං කියලා කථා කරපු කමල් පස්සේ අපිට සහෝදරයා කියලා කථා කරන්න පටන් ගත්තා. අපි ටවුන් එකේ ලෙඩ දාගත්තම අපිට අවවාද කරනවා.කමල් හමුවෙන්න විවිධ අය ආවා. කමල් සමහර වෙලාවට මාවත් අරගෙන දැදුරු ඔය පැත්තට යනවා. කමල් ඒ අය එක්ක කථා කරන කං මම සිගරට් එකක් උරනවා. මම මුලදි හිතුවේ කමල් හොර බඩු ජාවාරමක් කරනවදෝ කියලා. ඒත් පස්සේ මට තේරුණා මට නොතේරෙන දේශපාලන වැඩ ගැන මේ අය කථා කරනවා. කමල් වටේ තව පිරිස හිටියා. ඒ අයට පිටින එන කෙනෙක් දේශපාලන පන්ති කරනවා දැදුරු ඔය ඉවුරේ කැලෑ රොද වල. මාව මේ පන්ති වලට ගත්තේ නැහැ. මට පැවරුනේ කට්ටිය සාකච්ඡුා කරන කොට ඈතින් ඉඳං පොලිසිය හෝ පිටස්තරයෙක් එනවද කියලා බලන්න.

 මේ සෙල්ලමට මගේ හිත ඇදී ගියා. එතන රහස් පරීක්ෂක ත‍්‍රිල් එකකුත් තියනවා. කමල්ට අපි සැම දෙනෙක්ම කැමතියි. කමල් තමයි. අපේ කොළු නඬේට හිටි නායකයා. ගාමිනී ෆොන්සේකා වගේ නයිලෝන් බැනියම ඇඳලා කමල් ස්ටෑන්ඞ් එකට එනවා එතකොට අපිත් එතනට රොක් වෙනවා.

 පාසලේ මම ලෙඩක් දාගෙන මාව ඉස්කෝලෙන් අයින් කලා. ඒ පාර මාව දැම්මා කුලියාපිටිය සෙන්ට‍්‍රල් එකට. තාත්තා සුමානයකට සැරයක් ගෙදර එන කොට අම්මා මගේ වැරදි ලැයිස්තුව ලියලා තාත්තාගේ අතට දෙනවා. කාලයක් යන කොට තාත්තාට මට ගහන එකත් එපා උනා. කබර හමට තලනවා වගේ නිසා වෙන්න ඇති.

 කුලියාපිටිය සෙන්ට‍්‍රල් එකේ මටම ගැලපෙන පාසල් මිතුරෙක් මට මුණ ගැසුනා. එයාගේ නම රාජසිරි තිලකරත්න. අපි දෙන්නා පාසලේ මදාවියෝ. කට්ටි පනිනවා සිගරැුට් බොනවා. කොල්ලන්ට ගහනවා. රාජසිරිත් ගණිතයට දක්ෂයා. අපි දෙන්නා පාසලේ අංක එක මදාවිකම් අතින් හා ගණිත දැනුමෙන්. රාජසිරි තිලකරත්න මට දවසක් කිව්වා අමුතු ජනතා ව්‍යාපාරයක් ගැන. මට මතක් උනා. කමල්ගේ රහස් පන්ති. මම කිව්වා මම හලාවතදි ඒවා කලා කියලා. දැන් රාජසිරිට තවත් සතුටුයි. තකට තක මාත් ඉන්නවා. මම පන්ති පහ කළා.

 මට පන්ති කෙරුවේ හලාවත වනසිංහ ගුණරත්න. ටොෆි කමල්ට ගොතයක් තිබුන නිසා එයා දේශකයෙකු ලෙස ඉදිරියට ආවේ නැහැ. කමල් කලේ සංවිධාන කටයුතු. කමල් දවසක් කිව්වා නුවර එළි යමු අපේ ව්‍යාපාරයේ නායකයාව අත්අඩංගුවට අරගෙන නුවරඑළි උසාවියට ඉදිරිපත් කරනවා කියලා අපි කෝච්චියේ නුවර එළියට ගියා. උසාවිත් ගියා. ආපසු එන ගමනේදි තාර ටින් එකකුයි බුරුසුවකුයි අරගෙන කෝච්චිය නවත්තන නවත්තන ස්ටේෂන් වල සටන් පාඨ ලියනවා.

 මමයි රාජසිරියි පාසලේ විද්‍යාගාරය කඩලා සල්ෆියුරික් අම්ලය අඩංගු බෝතල් ගෙනාවා. මේ සල්ෆියුරික් අම්ලය භාවිතා කලේ ටින් බෝම්බ හදන්න. මම හලාවත ප‍්‍රදේශයේ උනාට ධර්මසේකර විජේවීර ගැටුම නිසා කුලියාපිටියේ ප‍්‍රදේශයේ නායකයා ඉවත් කලා. ප‍්‍රනන්ද  තමයි කුලියාපිටියේ හිටියේ. ප‍්‍රනන්ද  ධර්මසේකරගේ මිනිහෙක් කියලා තමයි රාවය තිබ්බේ. ඒත් ප‍්‍රනන්ද  දක්ෂ කරාටේ කාරයෙක්. යෝග ව්‍යායාමත් කළා.

 ප‍්‍රනන්ද  ඉවත් කිරීමෙන් පසුව කුලියාපිටියේ වැඩ වලට දාන්න කෙනෙක් හිටියේ නැහැ. ප‍්‍රනන්ද  එක්ක හැප්පෙන්න හැමෝම බයයි. ප‍්‍රනන්ද  අපේ කොකු කඩනවා. අපිට සී.අයි.ඒ. කියලා හැම තැනම ලේබල් ගහනවා. ප‍්‍රනන්ද  එක්ක කරට කර ඉන්න දැම්මේ මාව. මම කුලියාපිටියේ ප‍්‍රදේශයේ නායක රණස්ගල්ලේ ගුණදාසට සම්බන්ධ කරා. ප‍්‍රනන්ද  මාත් එක්ක ආරෝවට ආවේ නැහැ. මම, රාජසිරි තිලකරත්න ඇතුළු පිරිස ආයුධ එකතු කළා. අපි නොරෝච්චෝලේ ප‍්‍රදේශයෙන් අළුත් තුවක්කු හයක් මිළට ගත්තා. මේ තුවක්කු පෙට්ටි කරේ තියාගෙන රැුයක මුන්නේස්වරම් වෙලේ සිට කුලියාපිටය වෙල දක්වා කැළෑ පාරවල් වලින් අපි තුන්දෙනෙක් ආවා.

 1971 අපේ‍්‍රල් 5 දින අපිට නියමව තිබුනේ කුලියාපිටිය පොලිසියට පහර දෙන්න. අපේ 40ක විතර කණ්ඩායමක් හිටියා. රණස්ගල්ලේ ගුණදාස තමයි ප‍්‍රහාරය මෙහෙයවන්නට හිටියේ. අපි ගුණදාස එනකං බලාන හිටියා. ගුණදාස ආවේ නැහැ. මේ අවස්ථාවේදි මම තීරණය කළා ප‍්‍රහාරයට නායකත්වය දෙන්න. අපි මහ ? පොලිසිය දෙසට ගමන් කළා.

 අපේ පිරිසේ කට්ටියක් හා ආයුධ එක්ක ලොරියක හිමිහිට පිටි පස්සෙන් ආවා. මමයි කිහිප දෙනෙකුයි යාර 50 විතර ඉදිරියෙන් ආයුධ සහිතව පයින් ගියා. පොලිසියට අනපේක්ෂිත ප‍්‍රහාරයක් දීමටයි අපේ සැලසුම. හදිසියේම අඳුර කපාගෙන ජීප් එකක් ආවා. ජීප් එකේ ආපු පොලිස් කණ්ඩායම ලොරිය ගැන සැක හිතිලා ලොරියට වෙඩි තිබ්බා. වෙඩිල්ලක් ලොරිය ඇතුලේ හිටපු අපේ සාමාජිකාවකගේ කකුලේ වැදුනා. ජීප් එක වෙඩි තියන ගමන් නොනවත්වා ඉදිරියට ධාවනය උනා. ජීප් එක ලොරියට වෙඩි තියාගෙන අපව පසු කරගෙන ඉදිරියට යනකොට අපි ජීප් එකට වෙඩි තිබ්බා. අපෙ පිරිස වෙඩි තැබීම නිසා කුලියාපිටිය පොලිසියේ ඉන්ස්පෙක්ටර් රණසිංහ මැරුණා. අපි ඒ බව දන්නේ පසුවයි. ජීප් එක නොනවත්වාම කුලියාපිටියට පොලිසියට ධාවනය උනා.

 මේ බලාපොරොත්තු නොවූ සිදුවීම නිසා අනපේක්ෂිත ප‍්‍රහාරය කිරීම අපහසු බව මට තේරුණා. දැන් ජීප් එක ගිය වහාම කුලියාපිටියේ පොලිස් නිලධාරින් අවි අරගෙන සූදානම් වෙනවා. අපිට තිබ්බේ සීමිත තුවක්කු ප‍්‍රමාණයක්. මම මෙහිදි උපායක් හිතුවා. කුලියාපිටිය පොලිසියට පහර දීමට පෙර පොලිස් බැරැුක්කයට ගිහිල්ලා පොලිස් නිලධාරින්ගේ භාර්යාවන් අත්අඩංගුවට අරගෙන ඔවුන් ප‍්‍රාණ ඇපකාරයෝ ලෙස පොලිසියට ගෙන ගොස් කුලියාපිටියේ පොලිස්භටයන් යටත් කරගෙන ආයුධ ගන්න.

 අපි පොලිස් බැරැුක්කයට ගියා. කවුරුවත් එතන නැහැ. ඔක්කොම ගෑණු ටික පොලිසියට දුවලා ආරක්ෂාවට. කුලියාපිටිය පොලිසියට පහර දීමට බැරි උන නිසා අපි තීරණය කළා කුලියාපිටියේ වැවගම ප‍්‍රදේශයේ කඳවුරක් හදන්න. මේ වෙන කොට පිරිස 200 විතර එකතු වෙලා අපි පාරවල් වලට බාධක දැම්මා. ගස් හරහාට කපා දැම්මා. ප‍්‍රදේශයේ පාලම පුපුරවන්න ඩයිනමයිට් දැම්මත් එය නිසි අයුරු කිරීමට අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අපේ තාක්ෂණික දැනුම අඩුයි. පාලම පිපිරුනේ නැති නිසා අන්තිමට පෙට‍්‍රල් දාලා ලී පාලම ගිනි තිබ්බා.

 කුරුණෑගල පොලිසියට පහර දෙන්න ලොරියක් එක්ක කණ්ඩායමක් යැව්වා. ඒ ලොරිය පස්සේ නාරම්මලදි පොලිසියෙන් වෙඩි තියලා අල්ලගෙන. 1971 අපේ‍්‍රල් 6 දා උදේ අපි සී.ටී.බී. බස් එකක් බලෙන් අල්ලගෙන කුරුණෑගලට ගියා. කුරුණෑගලපොලිසියට ගහන්න. කුරුණෑගල පොලිසියට පහර දීම අසාර්ථක බව කුරුණෑගල සාමාජිකයන් අපිට කිව්වා. මම දැක්කා මිනි දෙක තුනක් පොලිසිය ලඟ වැටිලා තියනවා. තව සාමාජිකයෙක් ලයිට්කනුව උඩ වයර්වල පැටලිලා. කනුව උඩ නැගලා බෝම්බ ගහන්න ගියාම ඔහුට පොලිසියෙන් වෙඩි තියලා. මිනිය ලයිට් කම්බි වල පැටලිලා.

 අපි යළිත් කුළියාපිටිය අපේ කඳවුරට ආවා. මේ කඳවුර පිහිටලා තිබුනේ කුළියාපිටිය ටවුන් එකේ ඉඳලා සැතපුම් 15 විතර දුරිනුයි. අපි එන අතර මග ලවුඞ්ස්පිකර් බැඳලා ගම් වාසින්ට කථා කරගෙන ආවෙ. අපි ඒ ප‍්‍රදේශයේ බලය අල්ලලා තිබ්බේ. අපිට ආරංචියක් ආවා අසල ආඬිගම වත්තේ සුද්දට තුවක්කුවක් තියනවා කියලා. මම කිහිප දෙනෙක් සමඟ ?ක වත්තට ගියා. අපි යනකොට සුද්දා හමුදා භට පිරිසක් වත්තට ගෙන්නගෙන. මම බංගලාව ලඟට යනවාත් එක්කම මම සිටි පැත්තට වෙඩි තිබ්බා. මගේ දකුණු අතට වෙඩි වැදුනා. වෙඩි පාර කාගෙන මම වැටිලා වෙඩි තියපු දිහාට වෙඩි තියන්න ගත්තා.

 මගේ ලඟ තිබුනේ ඩබල් බැරල් තුවක්කුවක්. උන්ඩ බෙල්ට් එකක් ශරීරයෙ පටලවාගෙන හිටියා. මගෙ අතින් ලේ ගොඩාක් ගියා. ඒ නිසා මම ක‍්‍රම ක‍්‍රමයෙන් පසුපසට බඩගාගෙන ගියා. ආඩිගම වත්ත පසුකරලා ටිකක් දුර යනකොට පොඩි ගෙයක් දැක්කා. මම ඒ ගෙදර දෙසට බඩගාගෙන ගියා. මා සමඟ ගිය කට්ටිය විසිරිලා කවුරුවත් පේන්න හිටියේ නැහැ. මම ගෙදර ආසන්නයට එන කොට බංගලාවේ හිටපු 50 ක් විතර පිරිසක් පස්සෙන් ආවා. ඒ අය ටෝච් ගහ ගහ මාව හොයනවා.

 මාව දැකලා එක් අයෙක් රයිෆල් එක එල්ල කළා මගේ ඔළුවට. මම ලඟ තිබ්බා රේඩියෝ වෑල්ව් එකක් නිල ඇඳුමේ සාක්කුවේ. මේක බෝම්බයක් වගේ මම තැන තැන ගෙනියනවා මිනිස්සු බය කරන්න. මම මේ වෑල්ව් එක අතට අරගෙන ඒ අය දෙසට විසිකරන්න හදන කොට පිරිස පැනලා දිව්වා. මම ඒ අවස්ථාවේ ගෙට රිංගුවා. මම ගේ ඇතුලට යන කොට මගෙ බෙල්ල පැත්තට රයිෆල් උන්ඩයක් වැදුනා.

 ඒ ගෙදර අය මාව කඳවුරට ගෙන ගියා. එහිදී මගේ තුවාල වලට බේත් කරන්න දොස්තර කෙනෙක් ගෙන්නුවා. මට කතා කර ගන්න බැහැ. අපේ‍්‍රල් 29 දක්වා මාව ගෙවල් වල තියාගෙන ප‍්‍රතිකාර කළා. දැන් හමුදාව ප‍්‍රහාර එල්ල කරනවා. අපේ බලය බිඳෙනවා. මාව ගෙදරක රඳවලා තිබ්බා. ඒ ගෙදර මැදිවියේ කාන්තාවක් හිටියා. එයා මගේ තුවාල වලට බෙහෙත් කළා. පොලිසිය ගෙවල් ගිනි තියනවා ඒ නිසා මාව තියා ගන්න ගිහින් අන්තිමට හමුදාවෙන් හා පොලිසියෙන් මම හිටපු ගෙදර වට කරා. මම දුර්වලයි ඒත් මම තුවක්කුව මානගෙන හිටියා. ඉස්සරවෙලාම එන කෙනාට වෙඩි තියන්න.

 එලියේ හිටපු පිරිස එකපාරටම ගෙදර ඇතුලට ආවේ නැහැ. උඩට වෙඩි තිබ්බා  පොකුරු වැලක්. මට තේරුණා තව මොහොතකින් මාව මරණ බව. ඒ වුනත් මම මරාගෙන මැරෙන මානසිකත්වයෙන් වගේ තුවක්කුව දොර දෙසට මානගෙන හිටියා. ඒ ගෙදර හිටපු අම්මා මට කන්නලව් කරා තුවක්කුව අත ඇරලා යටත් වෙන්න කියලා. ඒ අම්මාගේ පුතාත් අපිට එකතු වෙච්ච කැරළිකාරයෙක්. අම්මා කිව්වා පුතේ දැන යටත් වෙන්න. නැත්තං පොලිසිය ගෙදරට ගිනි තියලා අපිවත් මරලා දමයි.

 මම තුවක්කුව මම හිටපු ඇඳේ වියනට දැම්මා. එතකොට එලියේ හිටපු පිරිස ඇවිල්ලා මාව අල්ලගත්තා. මාව පොලිස් ජීප් එකේ බොනට් එකෙ බැඳලා ගම වටේ ගෙනිච්චා. ඊට පස්සේ කුලියාපිටිය පොලිසියට ගෙනිච්චා. කුලියාපිටිය පොලිසිය මම තුවාල වෙලා වැතිරිලා ඉන්න කොට පොලිස්කාරයන්ගේ බිරින්දෑවරු ඇවිල්ලා මට කෙල ගැහුවා මූ නේද අපිව අත්අඩංගුවට ගන්න සැලසුම් කලේ කියලා. අපේ පිරිස අතින් මැරුණු ඉන්ස්පෙක්ටර් රණසිංහගේ බිරිඳත් හිටියා. එයා ඈත ඉඳන් මා දිහා බලාගෙන කිව්වා මොකටද මේවා කලේ කියලා. මට කෙල ගහන්න ආවේ නැහැ.

 කුලියාපිටිය පොලිසිය පිටිපස්සේ ලොකු වලක් කපලා අත්අඩංගුවට ගත් අයට වෙඩි තියලා මරලා පුච්චනවා. මාව වල ලඟට ගෙනිච්චා. මාව මරන්න හදලා ඒක නැවතුනේ දිස්ත‍්‍රික් නඩුකාර වල්ගම්පාය මහත්තයා නිසා වෙන්න ඇති. එයා මාව කුලියාපිටිය පොලිසියට ගෙනා බව දැනගෙන පොලිසියට කථා කරන්න ඇති.

 මාව මීගමුව රිමාන්ඞ් බන්ධනාගාරයට දැම්මා. එහේ දවස් දෙක තුනක් විතර තියාගෙන වැලිකඩ බන්ධනාගාරයට ගෙනාවා. මට බන්ධනාගාර රෝහලෙ ප‍්‍රතිකාර කළා. වැඩිපුර ප‍්‍රතිකාර කෙරුවේ ජාතික රෝහලේ උගුර. කන නාසය අංශයෙන්. මේ ප‍්‍රතිකාර වලින් මට කෙලින් ඉන්න පුළුවන් විදිිහට පණ ආවා. මේ කාලයේ වැලිකඩ හිර ගෙදර ජේලර්ලා හිරකාරයන්ට හිතුනු හිතුනු වෙලාවට ගහනවා. කථා කරන්නෙ අසභ්‍ය වචන වලින්. දවසක් ආහාර ගන්න පෝලිමේ ඉන්න කොට ගාඞ් කෙනෙක් මට හේතුවක් නැතිව බැට්න් එකෙන් ගැහුවා. මම පැන්න ගමන් ගාඞ්ට ගහගෙන ගහගෙන ගියා. පෝලිමේ හිටියා කෑගල්ලේ රාහුල. රාහුලත් ජේලර්ට ගැහුවා. අනෙක් ජේලර්ලා අපිව වට කරන කොට මම අතට ගත්තා කුස්සියේ ලිපට පිඹින යකඩ බටය. තොපි එකෙක් කිට්ටු වෙන්න එපා මම තොපිව බාවනවා මම යකඩ පොල්ල අරගනෙ වැනුවා. ජේලර්ලා ඈත් උනා. පස්සේ බන්ධනාගාර එස්.පී. ජෝඞ්න් ඇවිල්ලා පුතා පොල්ල අහකට දාන්න කියා කරුණාවෙන් කිව්වා. ජෝඞ්න් පප්පාගේ කීමට මම යකඩ පොල්ල අත ඇරියා. ජෝඞ්න් ඇත්තටම පියෙක් වගේ. මගේ මරුමුස් ගති අඩු වෙන්න ජෝඞ්න්ගේ ආශ‍්‍රයත් හේතු වෙන්න ඇති.

 ඒ සිද්ධියෙන් පස්සේ ගාඞ්ලා අපිට හිරිහැර කිරීම නැවැත්තුවා. කැරැුලිකරුවන්ට මම ගැන යම් ගරුත්වයක් ආවා. මගේ ඇෙඟ් තිබූ උන්ඩ පාරවල් දැකලා දේව බන්ඩාර සේනාරත්න මට බුලට් මහින්ද නම පටබැන්දා. මාව සුමාන දෙකකට සැරයක් විතර ජාතික රෝහලේ උගුර කන නාසය අංශයට ගෙනියනවා. ගෙනියන්නේ මාංචු දාලා මුර පිට. මාව බැලූවේ තරුණ දෙමළ දොස්තර නෝනා කෙනෙක්. එයාගේ කාමරයට මාව ගෙනියනකොට මාංචු ගලවනවා. ඒත් ගාඞ්ලා දොර ලඟ රැුකගෙන ඉන්නවා. මම ඩොක්ට එක්ක කථා කරන්නෙ ඉංග‍්‍රීසියෙන්. මම ඇහුවා වතුර ටිකක් බොන්න පුළුවන්ද කියලා. දොස්තර නෝනා මම ටැප් එක පෙන්නුවා. මට ටැප් එක දිහාට යන ගමං කාමරයේ ජනේලයෙන් ටක් ගාලා එලියට පැන්නා. දොර ලඟ හිටපු ගාඞ්ලාට මොකවත් හිතා ගන්නවත් බැරි උනා.

 මම එදා පනින බවට තීරණය කරගෙන හිටියේ. ඒ නිසා අන්තිම විසිට් එකේ අයියාට මේ ගැන කියලා තිබ්බා. එයා මෝටර් සයිකල් එකකින් නොරිස් කැනැල් එක ගාව මෝටර් සයිකලයත් තියාගෙන හිටියා.

 මම ජනේලෙන් පැනලා රෝහලේ වාට්ටු මැද්දෙන් දුවලා එලියට ගියා. අපි කථා කර ගත්ත තැන අයියා හිටියා. මම මෝටර් සයිකල් එකේ නැගුපු වහාම අයියා මීගමුව පැත්තට බයිසිකලය පැදෙව්වා. අයියා සමග කථාවේදි මට තේරුණා පවුලේ අය මාව ගෙදර රඳවාගන්න සැලසුම් කරන බව. අපි දැන් මීගමුවටත් කිට්ටු කරලා. මම අයියාට කිව්වා වහාම කොළඹ යන්න  ඕනෙ නැත්තං මම දැන් කොළඹ බස් එකක නගිනවා කියලා. මගේ තර්ජනය නිසා අයියා ආයෙත් කොලඹ දිහාට මෝටර් සයිකලය පදවන්න ගත්තා.

 මම වැලිකඩ ඉන්න කොට කළුබෝවිල චන්න පෙරේරා එක්ක යාළු උනා. චන්න කරාටේ කළුපටිධාරියෙක්. කැරැුල්ලේදී රත්මලාන පොලිස් කොට්ඨාශයේ හිටපු නායකයෙක්. රිමාන්ඞ් එකේ ඉන්න කොට මිනිහා මට කියලා තිබ්බා උඹ වැලිකඩින් පැන්නොත් අපේ ගෙදර පලයං උඹට  ඕන උදව්වක් කරයි කියලා. අපි කළුබෝවිල චන්න පෙරේරොගේ ගෙදරට ගියා. ඒ ගෙදර අයට විස්තර කිව්වහම මාව නාවල ගෙදරක නැවැත්තුවා. මගේ තාම සුව නොවුන තුවාල වලට ප‍්‍රතිකාර කරන්න පොතුවිල කියලා යූනානී   වෛද්‍යවරයෙක් ගෙන්නුවා. දොස්තර පොතුවිල කෝට්ටේ නගර සභාවේ සභාපති. අපි දෙන්නා කථාවෙන් කථාවෙන් යාළු උනා. මට සිටින තත්වය වටහාගත්ත දොස්තර පොතුවිල මාව එයාගේ ගෙදරත් නවත්ත ගත්තා.

 පොතුවිලගේ අල්ලපුගෙදර සී.අයි.ඞී. එකේ ලොක්කෙකු වෙච්ච ටිරල් ගුණතිලක මහත්තයා හිටියා. ටිරල් ඒ දවස් වල පිටරට ගිහිල්ලා. ගෙදර සුද්ධ පවිත‍්‍ර කරන්න දොස්තර පොතුවිලට යතුර දීලා ගිහිල්ලා තිබ්බේ. මම පොතුවිලගෙන් යතුර අරගෙන සමහර දවස් වලට ටිරල් ගුණතිලකගෙ ගෙදරත් ඉන්නවා සී.අයි.ඞී. එකට හිතා ගන්නවත් බැරි වෙන්න ඇති. කුළියාපිටියේ සටන් නායකයෙක් රහස් පොලිසියේ ටිරල්ගේ ගෙදර ඉන්නවා කියලා.

 1971 දෙසැම්බර් විතර මම ගෙදර ගියා. තාත්තා මා හට වැඩිදුර ප‍්‍රතිකාර කරන්න ඉන්දියානු දොස්තර කෙනෙක් ලඟට යැව්වා. මේ ඉන්දියානු දොස්තර ඉස්සර ලංකාවේ හිටපු කෙනෙක්. මගේ පියාගේ මිත‍්‍රයෙක්. නම ඩොක්ටර් රාජා.

 මම ඉන්දියාවට ගියේ මාළු බෝට්ටුවක. දකුණු ඉන්දියාවේ ඉඳං නවදිල්ලියට ගියා. මම ඉන්දියාවේ මාස 2 1/2 විතර කාලයක් ප‍්‍රතිකාර ලබා ගත්තා. මම යළිත් දනුෂ්කොඩි වලින් වෙල්වැටිතුරේට ආවා. උතුරේ ඉන්න කාලේ මට උදවු කලේ ද්‍රවිඩ මිතුරන්. ඒ අය අපේ පවුලේ ඥාතීන් වගේ. මම යළිත් කොළඹ ඇවිල්ලා හැංගිලා හිටියා. මට ආරංචි උනා බෝල සමරේ විල්පත්තුවේ ඉන්නා බව.

 මම විල්පත්තු ගියා සමරේ මුණ ගැහෙන්න. විල්පත්තුවේදි අපේ තව පිරිසක් එක්ක සුදු කන්දට ගියා. එතන අපේ අය 30 විතර හිටියා. සන්නද්ධව. මට සුදු කන්දේදි ඉලූක් සහෝදරයා මුණ ගැසුනා. කැලේ ජීවිතය අපහසුයි. කෑම හිඟයි. අපිට අවශ්‍ය උනා සාමාජිකයන්ට කන්න දෙන්න, ගෙවල් කුලියට ගන්න. වාහන කුලියට ගන්න මුදල්. මුදල් සෙවීම සඳහා මංකොල්ල කෑම් කිහිපයක් කරන්න අපිට සිදු උනා.

 මම ඉලූක්. කැප්ටන් සෙනෙවි. ප‍්‍රදේශීය බැංකු කැඩුවා. සමූපකාර කැඩුවා. කෑගල්ලේ ඥානේ මල්ලී දක්ෂ රියදුරෙක්. එයා තමයි වාහනය එලෙව්වේ. ඉලූක් වෙහෙසට පත් නොවන. බය නැති, ධෛර්යවන්ත පුද්ගලයෙක්. තීරණාත්මක වැඩ වලදි අවදානමට වැඩිපුර කර ගහන්නේ ඉලූක්. හොඳට බර උස්සන්න පුළුවන්. අපි අපේ පැවැත්මට මංකොල්ලකෑම් කලාට ඊට පස්සේ අපිට ගොඩාක් වරදකාරි බව දැනෙනවා. සමහර මංකොල්ලකෑම් වලින් පස්සේ මටයි ඉලූක් සහෝදරයාටයි ඇඬෙනවා අපි මොනවද මේ කරන්නේ කියලා.

 කැප්ටන් සෙනෙවි හමුදාවේ හිටපු කෙනෙක් නොවෙයි. එයාට නිකං කැප්ටන් කියලා අපේ අය කිව්වේ. කැප්ටන් සෙනෙවි 88 භීෂණයේදි ත‍්‍රීකුණාමලේදී මැරුං කෑවා.

 අපි දඩයම් කලේ කලාතුරකින්. බත් කෑවා. සමහර විට හාල් මිටිය කරේ තියාගෙන හැතැප්ම 20 විතර පයින් කැලේ ඉඳං අපේ පිරිස හිටපු රහසිගත තිප්පලට එනවා. බූට්ස් දාගෙන, රයිෆල් එක අරගෙන කැලේ ඇවිදිනවා. වඳුරෙකුට වෙඩි තිබ්බොත් හොද්දක් හදනවා. ඒක බත් එක්ක කනවා. සීනි කැලේට සුඛෝපබෝගී කෑමක්. සීනි හා ප්ලේන්ටි ලැබුනේ ඉතා කලාතුරකින්. මම ඉඳලා හිටලා කොළඹ ගිහිල්ලා එන කොට සක්කර එහෙම ගේනවා. වරක් නූඞ්ල්ස් ගෝනියක් ගෙනාවා. විල්පත්තු යන කොට නූඞ්ලස් කුඩු බවට පත් වෙලා.

 ඥානේ කෑගල්ලේ සරත් විජේසිංහගේ මල්ලි. හොඳට වාහන එලවනවා. මම ඥානේ මල්ලිව නිතර එලියට අරගෙන ගියා. රාජංගනේ ගුණරත්න හෙවත් ටික්කා තවත් චරිතයක්. ගුණරත්නට රයිෆලර් එක අතේ තියන් පීනන්න පුළුවන් ඉතා වේගයෙන්.

 අපේ හාල් පරණ වෙනකොට අපි ඒ හාල් වැඩිපුර උයනවා. එතකොට වැඩිපුර බත් කෑමේ තරඟ තියනවා මේකට කිව්වේ කේඑ තරඟ කියලා. මම දවසක් බත් කෝප්ප 21 එක දිගට කෑවා. සුදු කන්දේ දීඝජන්තුවාටත් හොඳට කන්න පුළුවන්.

 දවසක් මම ඒකනායකයි ගරුසිංහයි සුදු කන්දේ සාකච්ඡුාවකට ගෙන්න ගත්තා. ඒ ගොල්ල හැංගිලා හිටපු හුරුළු වැව ආශ‍්‍රිත ප‍්‍රදේශයට ගියා. දවස් 6-7 විතර තැනින් තැන නැවතී නැවතී පයින්ම ගියේ. ගරුසිංහගේ ෂොට් ගන් එක නිතරම සූදානමෙන් තියාගන්නේ. දවසක් මමයි ගරුසිංහයි යනකොට තුවක්කුව වැරදිලා පත්තු වෙලා උණ්ඩය මගේ කණ අසලින් ගියා.

 ගරුසිංහගෙ ඇෙඟ් ඉන්නෝ වගයක් ආවා. මේ ඉන්නෝ මුළු ඇෙඟ්ම පැතිරුණා. එක දවසක් මමයි ගරුසිංහයි කන්තලේ ගෙදරකට ගියා. ගේ අයිතිකාරයා අපිව දැකලා බය උනා. ගම්මු අපිව දකියි කියලා ගේ ඇතුලේ කාමරයකට අපිව දැම්මා. අපිට සද්ද නොකර ? වෙනකං කාමරයේ ඉන්න කිව්වා. මෙ කාමරයේ අපිට කරන්න දෙයක් නෑ වහල දිහා බල බලා ඉන්න කොට අපි දැක්කා ඇඳ යට ගෝනියක් තියනවා. ඒ ගෝනිය ඇතුලේ ඉදිච්ච පේර. මමයි ගරුසිංහයි මුළු දහවල් දවස පුරා අර පේර ගෝනියම කෑවා. දවස් දෙක තුනක් ගියේ නැහැ ගරුසිංහගේ ඇෙඟ්  හිටපු ඉන්නෝ හැළුණා. මට හිතෙන්නෙ පේරවල ඉන්නන්ට ප‍්‍රතිරෝධි යමක් තිබ්බා.

 මෙහෙම අපි කැලෑවේ යම් කාලයක් හිටියා. දවසක් මම තවත් සගයෙක් එක්ක හබරනට ආවා. අපි ගිය ප‍්‍රදේශය ජන ශුන්‍ය තැනක් රේල් පාර විතරයි තියෙන්නේ. ඈතින් කෝච්චියක් එනවා. අපි ගහකට මුවා වෙලා කෝච්චිය යන තෙක් හිටියා. ඒ කෝච්චියේ විදේශ සංචාරකයෝ කණ්ඩායමක් යනවා. එක් සංචාරකයෙක් කෝච්චියේ ජනේලෙන් යමක් විසිකළා. කෝච්චිය ගියාට පස්සේ අප ඒ විසිකරපු දේ මොකක්ද කියලා බැළුවා. ඒක කාඞ් බෝඞ් වලින් හදපු කෑම පෙට්ටියක්. ඒකේ අඩක් කාපු අයිසිං කේක් කෑල්ලක් හා අන්නාසි පෙත්තක් තිබුනා. බඩගින්නේ හිටි අපිට මේක අමෘතයක් වගේ. මම අන්නාසි කෑල්ල කන කොට මගේ ඔළුවේ විදුලියක් කෙටුවා වගේ යම් අදහසක් ගලාගෙන ගියා. මට තේරුණා මම කොච්චර ශිෂ්ඨ සමාජයෙන් ඈත් වෙලාද කියලා.

 ඒ වගේම දවසක් මහ ඔයේදී සුදු  ඇඳගෙන කිරි කොකුන් වගේ පාසල් ලමයි කණ්ඩායමක් මගේ නෙත ගැටුනා. මට ඒ අවස්ථාවේදි සිහි උනා සමාජය හා මා අතර ඇති දුරස්ථ බව.   දැන් අපේ ජීවිතත් කැලෑවක් වෙලා.

 මේ කාලයේ දි ඉලූක් පොලිස් අත්අඩංගුවට පත් උනා. ඉලූක් නැතිවීම අපිට විශාල පාඩුවක් අපේ කැලේ හිටපු පිරිස තැන් තැන් වලට විසිරිලා ගියා. තුන්දෙනා හතර දෙනා වගේ කුඩා කණ්ඩායම් කැලේ තැනින් තැන. මම නව සබඳතා හදාගන්න පැණිදෙනියට ආවා. පේ‍්‍රමපාල මේ වෙන කොට පේරාදෙණිය පැත්තේ කරක් ගහනවා. මම. පේ‍්‍රමපාල, ජෝජ් එකට හමු උනා. අපි සාකච්ඡුා කලා ඉදිරියේ දි කල යුත්ත පිළිබඳව.

 අපිට වැඩි දවසක් එකට ඉන්න ලැබුනේ නැහැ. පොලිස්කාරයෝ විස්සක් විතර අපි හිටපු ගෙදර වට කළා. අපිට කරන්න දෙයක් නෑ. අපි යටත් උනා. අපිට මාංචු දැම්මේ දෙන්නා දෙන්නා වශයෙන්. මගේ එක අතකුයි ජෝජ්ගේ අතකුයි එකට තියලා මාංචු දැම්මා. වෙඩි වැදිච්ච පසුව මගේ එක අතක ස්නායුවක් මැරිලා. ඒ නිසා වේදනාවකින් තොරව මට අල්ල බටයක් වගේ රෝල් කරන්න පුලූවන්. මම අපිව එලියට ගන්න කං හිටියා. අපිව ජීප් එක ලඟට ගෙනියන කොට මම සුරුස් ගාලා අත උණ්ඩි කරලා ගලවගෙන ජෝජ් එක්ක පැන්නා.

 මට ඉදිරියේ අඩි 20-30 ප‍්‍රපාතයක් තිබ්බා. යට කසෙල් ගස් මම කෙසෙල් පඳුරු ඉලක්ක කර ගෙන ප‍්‍රපාතයට පැන්නා. ඒ එක්කම මාත් එක්ක ජෝජ්ජුත් පැන්නා. මම පනින අවස්ථාවේ වටේ හිටපු පොලිස්කාරයෝ අපිට වෙඩි තිබ්බා. සමහරු අතේ සබ් මැෂින් තුවක්කු තිබ්බා. මම වැටෙන කොට කෙසෙල් පඳුරක් බදා ගත්තා. ජෝජ් වැටුනා ළිඳකට. මම දුවන්න උත්සාහ කළා. ඒත් දුවන්න බැහැ. ඇෙඟ් ලේ. මගේ දකුණු කකුලට වෙඩි වැදිලා. මම බඩගාන්න ගත්තා. කකුලෙන් ලේ විදිනවා. මට වැඩි දුරක් බඩගාන්න ලැබුනේ නැහැ. පොලිසිය මාව යළි අල්ලා ගත්තා.

 මගේ තුවාල සරං පටි වලින් බැඳලා පොලිසියට ගෙනාවා. මගෙන් ප‍්‍රශ්න කරන කොට කකුලේ තුවාලෙන් ලේ පාරක් විද්දා සීලිමට. මගේ තුවාල බරපතල නිසා මාව රෝහල් ගත කළා. මට වැඩිදුර ප‍්‍රතිකාර ලබා දුන්නේ කොළඹ මහ ඉස්පිරිතාලේ. මම හිටියේ දෙවන තට්ටුවේ වාටටු කාමරයක. මගේ අතට මාංචුව දාලා අනෙක් මාංචුව ඇඳේ යකඩ පොල්ලට . මට හැරෙන්නවත් බෑ. කකුලේ ප්ලාස්ටරයක් දාලා. සුමාන දෙක තුනක් ගියා. මම තීරණය කළා පළා යන්න.

 දවසක් උදේ 3ට විතර මගේ ගාඞ් වැසිකිලියට ගියා. මම මාංචුව අතෙන් පන්න ගත්තා. ඇඳෙන් බිමට බැහැලා අමාරුවෙන් කොර ගහ ගහ කාමරේ ජනේලේ ලඟට ගියා. මම හොඳ කකුල ජනෙල් පඩිය උඩ තියලා වෙර අරගෙන ජනේලෙන් පැන්නා. දෙවන තට්ටුවේ ඉඳං පහලට

අඩි තිහක් විතර ඇති. ඒ අතර පොඩි පළයක් තියනවා උළු වලින් හදපු මම හිතන්නේ වාහන නවත්තලා තියන්න හදපු ආවරණයක්. මම ඒ පළය උඩට වැටුනා. වැටීමට උළු කැඩුනා. මම එතනින් යළිත් බිමට පැන්නා. වැටෙන කොට බිමට තිබ්බේ හොඳ කකුල. මම හැකි ඉක්මනට නැගිටගත්තා. මගේ මුළු ඇඟ පුරාම සිරිම් තැලීම්. ප්ලාස්ටර් එක දාපු කකුලේ වේදනාව එනවා. ඒ අතරවාරයේ සද්දෙට මුරකාරයෝ කලබල වෙලා මගේ පැත්තට දුවගෙන ආවා.

 මම ඉක්මනට පාරට පැන ගත්තා. ලඟ නවත්තලා තිබ්බ මොරිස් මයිනර් ටැක්සියක් මම ටැක්සිකාරයට තර්ජනය කරලා ටැක්සිය අරගෙන ගියා. දොස්තර පොතුවිලගේ ගේ ලඟට. මම ටැක්සියෙන් බැහැලා ගියා. බයට පත් වෙච්ච ටැක්සිකාරයාට වාහනය යළි ස්ටාට් කරගන්නත් බැහැ.

 මම ගෙවල් අතරින් මුවා වෙලා ගිහිල්ලා දොස්තර පොතුවිලගේ ගෙදරට ගියා. මාව දැක්ක පොතුවිල පුදුම උනා. ඉක්මනට මාව ආරක්ෂිත තැනකට ගෙනියලා. මාස දෙකක් විතර වෙදකං කලා. කකුල මදක් සුව උනාම මම යළිත් පැරණි සගයන් සොයාගෙන කන්තලේ කැලේට ගියා. මාව දැක්ක අපේ පැරණි සාමාජිකයෝ බය උනා. එක්කෙනෙක් හිතුවා මම අවතාරයක් කියලා කට්ටියක් හිතුවා මාව සී.අයි.ඞී එක නිදහස් කරලා ගිවිසුමක් පිට අනෙක් අය දඩයම් කරන්න කියලා. කොහොම නමුත් ඒ අය පසුව තේරුම් ගත්තා මම අත්අඩංගුවෙන් පැන ගිය විත්තිය.

 යළිත් අපි පැරණි කැලෑ ජීවිතය පටන් ගත්තා. සාමාජිකයෝ විසිරිලා නමුත් වරින් වර හමුවෙනවා. මම කැලේ එහෙ මෙහෙ ගියේ බූට්ස් දාගන. පතුරම් පටිය හා තුවක්කුව අරගෙන. අවට ගම් වල කරක් ගැහුවේ සරම ඇඳලා ඔළුවේ තුවායක් බැඳගෙන. අහන අයට මම කිව්වේ කැලෑවේ ලී බිස්නස් කරනවා කියලා. මගේ අතේ නිතරම මල්ලක් තියනවා මේකේ කලිසමයි කමිසයකුයි දාගෙන හිටියේ සැකයක් හිතුනොත් මුල්ලකට යනවා වෙස් මාරු කර ගන්නවා.

 වතාවක් මම ගියා ඒකනායක හා ගරුසිංහ හමු වෙන්න. මේ අය ඈත කැලේ හේන් වල හිටියේ. ඒ අය හමුවෙලා ටික දවසක් ඉඳලා මම යලි එන්න පිටත් උනා. මට කැලෑවෙ ඉඳලා තාර පාර හමු à·€à·â