ඒ අයගේ ප‍්‍රශ්න වෙනුවට පීඩිතයාගේ ප‍්‍රශ්න වේදිකාවට කැඳවන්න ඕන
Posted on June 17th, 2014

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව

1994 දී ‘‘දාහත් අවුරුදු සාපය පලවා හැරීම’’ඓතිහාසික කාර්යභාරය ලෙස ප‍්‍රකාශ කර ජනතාව රැුවටූ බවත් 2005 දී ‘‘ඉස්සෙල්ලා කොටියා ඉවර කරීම’’ප‍්‍රශ්නය ලෙස ගෙන ජනතාව රැවටූ බවත් මේ මොහොතේ ‘‘මහින්දව එලවීම’’ප‍්‍රධාන කාර්යය ලෙස ගෙන ජනතාව රවටමින් සිටින බවත් පාලකයන්ගේ ප‍්‍රශ්න වෙනුවට මේ රටේ පීඩිතයාගේ ප‍්‍රශ්නය වේදිකාවට කැඳවිය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ප‍්‍රකාශ කරයි. ඔහු මේ බව ප‍්‍රකාශ කලේ ‘බොනපාට් ලොකුද? – අපේක්ෂකයා පොදුද? – අපේක්ෂාව සුදුද?’යන මැයෙන් ඊයේ කොළඹ (16) මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි. 

 ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම විධායක ජනාධිපති ක‍්‍රමයට ලඝු කළ නොහැකි බවත් මේ මොහොතේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට විධායක අගමැති ක‍්‍රමයක් ගැන හා පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති කෙනෙක් පත් කිරීම ගැන ඇතැමුන් සාකච්ඡුා කරමින් සිටින බවත් ඔවුන්ට වැදගත් වන්නේ මිනිස්සුන්ගේ නිදහස වෙනුවට ‘‘බැටන් එක චේන්ජ්’’කරගන්න ප‍්‍රශ්නය බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 ‘බොනපාට් ලොකුද? – අපේක්ෂකයා පොදුද? – අපේක්ෂාව සුදුද?සම්මන්ත‍්‍රණයඅමතමින් දුමින්ද නාගමුව කළ කතාවේ සම්පූර්ණ සාරාංශයක් පහතින් දැක්වේ.

 අප ජීවත්වන සමාජයේ මුහුණ දෙමින් ඉන්න ප‍්‍රශ්න පිළිබඳව විග‍්‍රහයක් හැම දෙනාටම තියෙනවා. සමාජයක් විදිහට අපි මේ තත්වය තේරුම් ගන්න  ඕන. අපි ඉන්නේ තීරණාත්මක මොහොතක. ආගම්වාදය, ජාතිවාදය නැවතත් හිස ඔසවලා තියෙනවා. ජනාධිපතිවරණය, පොදු අපේක්ෂකයා, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා නැවතත් හිස ඔසවලා තියෙනවා. මේ මොහොත පීඩිත පන්තියට වැදගත්. මොකද හැංගි හැංගි වෙස් බැඳපු අයට දැන් එළියෙ නටන්න වෙලා තියෙනවා. තමන්ගේ න්‍යාය පත‍්‍රය හෙළිකරන්න වෙලා තියෙනවා. අපි ගත කරන්නේ නවලිබරල් ධනවාදයේ දෙවන ඉනිම. ප‍්‍රථම කාර්තුවේ ජේ. ආර් ‘ධාර්මිෂ්ඨ සමාජයක්’ගැන කතා කළා. 94දී චන්ද්‍රිකා මේ ධනවාදයට ‘මානුෂික මුහුණුවරක්’දෙන්න කතා කළා. රනිල් ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ගෙනාවා. යුද්දෙන් පස්සේ ඒකේන් ලැබුණු දේශපාලන බලය පාවිච්චි කරල තමයි නවලිබරල් ධනවාදයේ දෙවන ඉනිම පටන්ගත්තේ. මේ රටේ පීඩිතයින්ට ඉදිරිපත් කරල තියෙන වැඩ පිළිවෙල මොකක්ද?

1999  මොන්සැන්ටෝවේ ව්‍යාපෘතියක් ආවා. බීජ අයිතිය බහුජාතික සමාගම් වලට පවරන්න. ඒක සම්පූර්ණ කරන්න තමයි, ජනාධිපතිවරණෙන් පස්සේ එන්න තියෙන බීජ පනත අරගෙන එන්නේ. මේ පනත යටතේ වාණිජ අරමුණ සඳහා අවසරයක් නැතිව බීජ හුවමාරුව තහනම් කරනවා. කවුරුහරි බිත්තර වී පිනට දෙන්න හදනව නම් මේ පනත එයාලට අදාළ නෑ. මේකට අනුව බීජ දන්සැල් දෙන්න පුළුවන්. 

20 අවුරුදු සැලැස්ම යටතේ ලංකාවේ කෘෂිකර්මාන්තයේ ගැටළු ලෙස අඳුනාගෙන තියෙන්නේ ඉඩම් වල ද්‍රවශීලතාව අඩුවීම. ඒ ඉඩම් වේගයෙන් වෙළඳපළට නිකුත් කරන්න තමයි අවසර පත‍්‍ර හදන්නේ. මේක තමයි අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් වල උවමනාව. ලෝකේ 60%කට වඩා ආහාර නිෂ්පාදනය කරන්නේ සුළු ගොවියෝ. එය නිෂ්පාදන අයිතිය බහු ජාතික අතට ගැනීම තමයි. 

 මේ දවස් වල සූදු පනත ගැන කතා කරනවා. සංචාරකයට අවශ්‍ය විදිහට නීත්‍යානුකූල අවස්ථා හදලා දෙනවා. හෝටල් කර්මාන්තය පටන් ගන්නවා. සමහරු සුදු පනත් වලට විරුද්ධ වෙනවා මේක සිංහල බෞද්ධ රාජ්‍ය කියලා. මේකට විරුද්ධ වෙන්න  ඕන ඒ නිසා නෙවයි මේක අලූතෙන් මිනිස් දුවිලි නිර්මාණය කරන නිසා .මේ ගේන සංවර්ධන ප‍්‍රශ්නය ඒකයි. මේ වැඩ පිළිවෙල ඇතුලේ අධ්‍යාපනය සෞඛ්‍ය ඉතුරු වෙලා තියෙන හැම දෙයක්ම විකුණනවා. මේ ගමන නිකන් යන්න බෑ. මේ ප‍්‍රතිසංස්කරණ නිකන් හදන්න බෑ මේකට මර්ධනය  ඕනේ.ජේ.ආර් 1977 දී මේ ප‍්‍රතිපත්තියට රට මාරු කරද්දී ඒකට දේශපාලන වැඩපිළිවෙලක් හැදුවා. ඒක තමයි විධායක ජනාධිපති ක‍්‍රමය මේ පවතතින සමාජ ආර්ථික ක‍්‍රමය පාලක පන්තියේ උවමනාවයි. ඒක ප‍්‍රශ්න හදන්න එක එක උගුල් හදනවා. මහින්ද රාජපක්ෂගේ පාලනය අවසන් කළ යුතුයි ඒ ගැන සැකයක් නැහැ. නමුත් ඒකට ඉදිරිපත් උත්තර මොනවාද? 

එකක් තමයි රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රජාත‍්‍රන්තවාදය. රනිල් වික‍්‍රමසිංහ හරිම ප‍්‍රජාතන්ත‍්‍රවාදීලූ. ලිබරල්වාදීලූ. හැබැයි ඒ වික‍්‍රමසිංහ තමයි 88 89 කාලයේ බටලන්ද වධකාගාරය පවත්වගෙන යන්න මූලික වුණේ. මේ 88 සංහාරයට වග කියන්න  ඕනේ පුද්ගලයො. දැන් නිදහස් අධ්‍යාපනය ගැන කථා කරනවා. හැබැයි අපි දන්නවා ඒ වික‍්‍රමසිංහම තමයි 1981 ධවල පත‍්‍රිකාව අරගෙන ආවේ. ඒ ඔක්කොම අමතක කරලා වික‍්‍රමසිංහව පින්තාරු කරනවා විසඳුම ලෙස. අපි කියනවා යූඑන්පී එකෙයි ශ‍්‍රී ලංකා එකෙයි තියෙන එකම වෙනස නව ලිබරල් ධනවාදය කරගෙන යන්නේ සරම ඇදගෙනද කලිසම ඇදගෙනද කියන එකයි.

අද ජනතා විමුක්ති පෙරමුණ රෝහණ විජේවීර සහෝදරයා පක්ෂ නායකයා විදිහට ඉද්දී ඉදිරිපත් කරපු විප්ලවීය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පැත්තකට විසි කරලා අපේ දැක්ම කියල එකක් ඉදිරිපත් කරල තියෙනවා. අපේ දැක්මට අනුව දැන් අලූත් සටන් පාඨයක් තියෙනව. නිෂ්පාදකයාට වැඩි ලාභ කම්කරුවාට වැඩි වැටුප් කියල. අපි කියනව දන්න මාක්ස්වාදය පාවිච්චි කරල කියන්න කියලා කම්කරුවාට වැටුප් වැඩි කරන ගමන් ධනපතියගෙ ලාභ වැඩි කරන්නේ කොහොමද කියලා. මේ අපේ දැක්මෙ තියෙනවා නව ලිබරල් ධනවාදයට අදාල බොහෝ අංග. ධනපති ආයෝජකයින්ට අවුරුදු පහක් යනකම් බදු සහන දෙන්න මෙයාලා පොරොන්දු වෙනවා. පෞද්ගලික රෝහල් වලට යන්න තියෙන අයිතියක් ගැන කථා කරනවා. බිමල් රත්නායක පහුගිය දවසක යූඑන්පී එකෙනුයි ශ‍්‍රී ලංකා එකෙනුයි කැඩිල එන අය එක්ක එකතු වෙලා සන්ධානයක් හදන එකක් ගැන කථා කරලා තිබුණා. මේකෙන්ම පේනවා අද ජවිපෙයි මේ අයයි ගමන් කරන පාර එකයි කියලා. එකතු වෙලා සන්ධාන හදන්න පුලූවන් වෙන්නෙ ඒ නිසා. ඒ පැත්තටයි මේ පැත්තටයි මෙහෙම පනිනන පුලූවන් වෙන්නේ ප‍්‍රතිපත්ති වල වෙනස ඇකී මැකි යනකොට. 

මේ අතර පොදු අපේක්ෂක කථාවක් අපි ඉස්සරහට ඇවිත් තියෙනවා. පොදු අපේක්ෂකයා ගැන තියෙන එක එක රහස් සාකච්ඡු වල කථා කරන්නේ මොනවාද? ධීවරයින්ගෙ ගොවින්ගේ කම්කරුවන්ගේ ප‍්‍රශ්නද? නැහැ. අතනින් කීයක් ගලවනවද? ඒ ගලවන්න කීයක් වියදම් කරනවද?  ඕව තමයි රහස් සාකච්ඡු වල කථා කරන්නෙ. ඉස්සෙල්ලා බලනවා පූට්ටු කරගන්න පුලූවන් කවුද කියල. ඊට පස්සෙ තමා ප‍්‍රතිපත්ති ගැන කථා කරන්නෙ. 

 අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. මේ ප‍්‍රශ්නය සම්බන්ධයි සමාජ ආර්ථික ක‍්‍රමයට. ලාභ ගැනීම උවමනා නව ලිබරල් ධනවාදී ක‍්‍රමය පවත්වගෙන යද්දී ඒක කරගෙන යන්න මර්ධනය අවශ්‍ය කරනවා. උදාහරනයක් විදිහට අද ශිෂ්‍ය ව්‍යාපාරයට මර්ධනය එන්නේ ඔවුන් අධ්‍යාපන පුද්ගලිකකරණයට විරුද්්ධව සටන් කරන නිසා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම විධායක ජනාධිපති ක‍්‍රමයට ලඝු කරන්න පුලූවන්ද? විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට විධායක අගමැති ක‍්‍රමයක් ගැන කථා කරනවා. පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති කෙනෙක් පත් කරමු කියලා කියනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා තිබෙන අරගලය මේ කියන පටු සීමා වලට ලඝු කරන්න දෙන්න බැහැ. මිනිස්සුන්ගේ නිදහස වෙනුවට මේ අයට වැදගත් වෙන්නෙ බැටන් එක චේන්ජ් කරගන්න ප‍්‍රශ්නය. 

මේ උන්නැහෙලා හැමදාම කියන කථාව ඒගොල්ලන්ගේ ප‍්‍රශ්නය කලින් අරගෙන සැබෑ ප‍්‍රශ්න හෙට ගමු කියන එක. 1994 දී දාහත් අවුරුදු සාපය පලවා හැරීම ඓතිහාසික කාර්යභාරය කීවා. ඒක කරලා අනිත් ප‍්‍රශ්න ගැන හිතමු කියලා කීවා. 2005 දීත් උනේ මේක. ඉස්සෙල්ලා කොටියා ඉවර කරලා පස්සේ ප‍්‍රශ්න ගැන කථා කරමු කියලා කීවා. මිනිස්සුන්ගේ ප‍්‍රශ්න, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන ප‍්‍රශ්න සේරම පැත්තකට දාල ප‍්‍රභාකරන්ගේ බෙල්ල කපන එකයි කාර්යය කියලා කීවා. දැන් අද ආයෙත් මහින්දව එලවන එකයි ප‍්‍රධාන වැඬේ අනිත් ඒවා පස්සෙ හිතමු කියල කියනවා. අපි කියනවා ඒ අයගේ ප‍්‍රශ්න වෙනුවට අපේ ප‍්‍රශ්නය මේ රටේ පීඩිතයාගේ ප‍්‍රශ්නය අපි වේදිකාවට කැදවන්න  ඕනෙ. හැම තීරණාත්මක මොහොතකදීම අපේ ප‍්‍රශ්නය පීඩිතයාගේ ප‍්‍රශ්නය යට ගහලා වෙන වෙන ප‍්‍රශ්න උඩට ගන්නවා. 

ඉතිහාසය ඇතුලෙ දැන් අවස්ථාව ලැබිල තියෙනව ධනපති පංතියෙ එක එක නියෝජිතයෝ වෙනුවට පීඩිතයාට වේදිකාව උරුම විය යුතු. පීඩිතයා වේදිකාවට එන්න  ඕනේ. පීඩාවට පත්වූ මිනිස්්සු සංවිධානය විය යුතුයි. අද රටට අවශ්‍ය දේශපාලනය ඒක. එක එක නායකයො වෙනුවට තමන්ගේ පංතිය වේදිකාවට කැ`දවන දේශපාලනය අවශ්‍යයයි. මේ නෙලන යුගයක් නෙමෙයි. වපුරන යුගයක්්. ඒ ස`දහා අපේ පක්ෂය සූදානම් විය යුතුයි. සමහරු අහනවා අපිට කියන්නේ සමාජවාදය එනකම් ඉන්නද කියලා.අපි කියනවා සමාජවාදය එන කම් ඉන්න  ඕනෙ නැහැ. කුෂ්ට රෝගයක් හැදිලා ඉන්න කෙනෙක්ට ඒකට බෙහෙත හිමාලයේ තියෙනවා කිවුවොත් හිමාලය තමන් ලගට එනකම් ඉන්නවද? හිමාලය හොයාගෙන යනවද? ඒ නිසා සමාජවාදය එනකම් ඉන්න දෙයක් නැහැ. අපි සමාජවාදය ගොඩනගන්න  ඕනෙ. ඒ වෙනුවෙන් සටන් කරන්න  ඕනේ. හැම මොහොතකම කල යුතු දේශපාලනයක් තියෙනවා. ධනේශ්වර විකල්පය වෙනුවට වමේ විකල්පය ගොඩනගමු කියන කාරණය අපි අවධාරනය කළ යුතුව තිබෙනවා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress