නව ඖෂධ පනත, ආණ්ඩුව ඖෂධ සමාගම්වලට යවපු පෙම් හසුනක්
Posted on June 27th, 2014

පුබුදු ජයගොඩ- පෙරටුගාමී සමාජවාදී පක්ෂය

අලූතෙන් ඉදිරිපත් කර ඇති ඖෂධ උපකරණ හා විලවුන් නියාමන අධිකාරි පනත් කෙටුම් පත ආණ්ඩුවට සහ ඖෂධ සමාගම් අතර හුවමාරු වූ පෙම් හසුනක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ දේශපාලන සභික පුබුදු ජයගොඩ මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේ අද (26) රාජගිරිය එම්.ඞී.ඞී.ආර්. ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදීය. නව පනත සේනක බිබිලේ ප‍්‍රතිපත්තිවලට අනුව සකස් කරන බව කීවත්, එය හා සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය අතර කිසිඳු සම්බන්ධයක් නැතැයි මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ විය. 

පහත දැක්වෙන්නේ එහිදී ඉදිරිපත් වූ අදහස් කිහිපයකි,

‘‘ ඖෂධ ජාවාරම අනෙක් සියළු ජාවාරම් අභිබවා ලාභගන්න ජාවාරමක්. ෆෝචූන් 500 සමාගම් අතර තිබෙන ඖෂධ සමාගම් 10 ඉතිරි සමාගම් 490 ම ගන්නා ලාභයට වඩා ලාභ ගන්නවා. එහෙම ලාභ ගන්නේ මිල අඩු ඖෂධ විවිධ වෙළඳ නාම වලින් වැඩි මිලට විකුණලා. ඇමොක්සිලීන් විවිධ වෙළඳ නාම 118 කින් ලංකාවේ තියෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ අවසර දී තිබෙන්නේ වර්ග 4 ට පමණයි. ලංකාවේ ඇමොක්සලීන් කරලක් රුපියල් 3.50 සිට රුපියල් 30 දක්වා විවිධ මිල ගණන්වලට විකුණනවා. මෙත්කොමීන් ඖෂධය ශත 90 සිට රුපියල් 23 දක්වා මිලගණන්වලට තියෙනවා. ඒ කියන්නේ ශත 90 ට දෙන්න පුළුවන් පෙත්තට රු 23 ක් ගන්නවා. ඒ විදියටයි ඖෂධවලින් ලාභ ගන්නේ අලූත් පනතේ මේවා පාලනය කරන්න කිසිම ප‍්‍රතිපාදනයක් නෑ. ඖෂධවල මිල පාලනය ගැන එකම බෙහෙත අධික මිල ගණන්වලට වෙනත් වෙළඳ නාමවලින් විකුණන එක වළක්වන්න ඖෂධ සමාගම් වල තැරව්කරුවන් රෝහල්වලට පැමිණ වෛද්‍යවරු හමුවීම නවත්වන්න පනතේ ප‍්‍රතිපාදන නෑ. 

මේ පනතේ රෝගීන් ගැන ආදරයෙන් ලියවුන එක වගන්තියක් වත් නැති වුණාට පිටුවක් පිටුවක් පාසා සමාගම් ගැන පේ‍්‍රමය උතුරා යනවා. මේ පනතේ 35(1)  වගන්තිය යටතේ ඖෂධ නාමයට අමතරව වෙළඳ නාමයත් ලියන්නත් අවසර දී තිබෙනවා. එය මෙතෙක් ලංකාවේ තිබුණු නීතියක් ආපස්සට හැරවීමක් ඖෂධ ලියාපදිංචියට අයදුම් පතක් යොමු කරලා, ඒක මගදී ඉල්ලා අස්කර ගන්නත්් සමාගම්වලට ඉඩදීලා තිබෙනවා. එහෙම කරන්නේ රසායනාගාර පරීක්ෂණයේදී ඖෂධය බාලයි කියලා තහවුරු වෙලා. අසාදු ලේඛන ගත වෙන්න ගියොත් එක නවත්වන්න සමාගම්වලට අයදුම් පත ඉල්ලා අස්කර ගන්න පුළුවන්. කලින් බාල ඖෂධ කියලා ඔප්පු වෙලා ලියාපදිංචි අහෝසි වූ ඖෂධවලට නැවත ලියාපදිංචි වෙන්න අවස්ථාව හදලා තියෙනවා. ඖෂධ සාම්පලයක් අත්අඩංගුවට ගෙන මාස 3 ක් ඇතුළත හෝ රසායනාගාර වාර්තා ලැබී මාසයක් තුල නඩු පවරන්න බැරි වුණොත් නැවත නඩු පවරන්න බෑ කියලා වගන්තියක් තියෙනවා. මාසයක් තුළ නඩු පවරන්න නම් ඖෂධ අධිකාරියට නීතිඥ සමාගමකුත් අනුබද්ධ කරන්න වෙනවා. මේ වගන්තිය දාලා තියෙන්නේ බාල ඖෂධ හදන සමාගම්වලට නඩු වැටෙන එක නවත්තන්න. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව තමන්ටම නඩු දාගන්න හදපු අවස්ථාත් තියෙනවා. ඖෂධයක ලියාපදිංචිය අවලංගු වී සතියක් ඇතුළත එය සමාගමට දැනුම් දිය යුතු යැයි වගන්තියක් තියෙනවා. සතියකුත් දැනුම් දෙන්න බැරි වුණොත් සමාගම්වලට අධිකාරියට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. සමෘද්ධි නියාමක තමන්ම ගස් බැඳ ගන්නවා. හාමුදුරුවරු තමන්ටම ගහ ගන්නවා. අළුත්ගම මුස්ලිම් ව්‍යාපාරිකයෝ තමන්ගේම කඩය ගිනි තියා ගන්නවා කියන ආණ්ඩුව තමන්ටම නඩු පවර ගන්න පටන් අරන් වගේ. 

මේ පනතේ සමහර තැන් විහිළු සහගතයි. පනතේ 110 වගන්තියේ, ඖෂධ ගැන කියද්දී මිනිසුන් හා සතුන් කියලා කියනවා. මේකට සතුන් අදාළ වෙන්නේ කොහොමද? කොහේ හරි තියෙන වගන්ති ටිකක් අඩුම ගානේ කියවන්නේවත් නැතිව කොපි කරලා හදපු පනතක් මේක. රූපලාවන්‍ය ද්‍රව්‍ය විකුණන තැන් ලියාපදිංචි කරන්න  ඕන කියලා තියෙනවා.  ඕනම සිල්ලර කඩයක තියෙන ක‍්‍රීම් වර්ග විලවුන් වර්ග මේ වර්ගයට ඇතුළත් වන නිසා තේ කඩ බේකරි ඇරෙන්න, ඉතිරි හැම එකක්ම ලියාපදිංචි කරන්න වෙයි. නියාමන අධිකාරිය ඇතුළට ඖෂධ සමාගම්වල තැරව්කරුවෝ රිංගන එක වළක්වන්න, අධිකාරියේ සමාජික ධූර කාලයට වසර 5 කට පෙර සහ පසු ඖෂධ සමාගමක සේවය කරන එක තහනම් කරන්න නීතියක් පනවන්න කියලා යෝජනාවක් තිබුණා. මේකේ ඒ මුකුත් නෑ. අධිකාරිය නඩත්තු කරන්න අනුග‍්‍රාහකයන්ගෙන් මුදල් ගන්න පුළුවන් කියලා තියෙනවා. කවුද මේ අනුග‍්‍රාහකයෝ? අන්තිමේදී අධිකාරිය ඖෂධ සමාගම්වල මුදලින් යැපෙන සමාගම්වලින් වැටුප් ගන්න සේවකයින් සිටින සමාගම්වල රූකඩයක් වීම වළක්වන්න බෑ. 

නවලිබරල් ධනවාදය යටතේ සෞඛ්‍යය වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙන්නේ. අපේ ලෙඩ වගේම ලෙඩ වෙන්න තියෙන බයත් ජීවිතයට ඇති ආදරයත් විකුණලා ලාභ හොයනවා. මේ ආණ්ඩු ජාවාරම්කරුවන්ගේ ආණ්ඩු මිස ජනතාවගේ ආණ්ඩු නෙවෙයි. රතුපස්වල ප‍්‍රශ්නය ආවම ධනපතියගේ පැත්ත අරන් ජනතාවට වෙඞ් තිබිබා. ඖෂධ පනත හදනකොට යන්නේ සමාගම්වල පැත්්තට මිස ජනතාවගේ පැත්තට නෙවෙයි. මේ ආණ්ඩු ධනපති ආණ්ඩු කියලා ජනතාව තේරුම් ගත යුතුයි. මේ ඖෂධ පනත සංශෝධනය කරලා වැඩක් නෑ. ඒක සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි. ඖෂධ පනත විතරක් නෙවෙයි. සෞඛ්‍ය සේවයේ හැම ප‍්‍රශ්නයක්ම විසඳන්න වෙන්නේ මහජන බලයක් ගොඩ නඟලා.’’  

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress