ජාතික පර්යේෂණ හා සංවර්ධන සැළැස්මට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් විමසයි
Posted on August 21st, 2014

මාධ්‍ය අංශය  තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

පර්යේෂණ වලින් ආර්ථීකයට ලැබුණ ප්‍රතිදානය කුමක්ද යනුවෙන් අද සමහරුන් ප්‍රශ්න කරති. මෙයට පිළිතුරක් ලෙස තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව පස් අවුරුදු සැලැස්ම සකස් කර තිබේ. මෙය ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථීකයට දක්වන දායකත්වය කොපමණද යන්න වසරින් වසර මැන බැලීමට කටයුතු කරන බව අමාත්‍ය චම්පික රණවක මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හමුවේ ප්‍රකාශ කළේය.

රටට අත්‍යාවශ්‍ය සේවා ක්ෂේත්‍ර 10 ක් හඳුනාගනු ලැබූ අතර, ඒ ක්ෂේත්‍ර සඳහා මැදිහත්විය යුතු තාක්ෂණයන් පිළිබඳව තීරණය කර මේ සම්බන්ධයෙන් කමිටු ගණනාවක් මේ වන විට පත්කර ඇත. එහි ක්ෂේත්‍ර 10 ක් හා මැදිහත්වීම් 10 තෝරා ගනු ලැබු අතර ක්‍රියාකාරකම් 100 ක් ඇතුලත්ය. මේ ක්‍රියාකාරකම් 100 ට සිය දෙනෙක් පත්කොට මූලික හඳුනාගැනීමක් සිදු කළ අතර එම හඳුනාගැනීම් විද්‍යාඥයින්ට ඉදිරිපත් කොට ඔවුන්ගේ අදහස්ද ලබාගනු ලැබීය.

මේ සම්බන්ධ සාකච්ඡාවන් තව දුරටත් ඉදිරියට ගෙන යන අතර එහි එක් අවස්ථාවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය මහාචාර්යවරුන් සමඟ ඔවුන්ගේ අදහස් මේ සඳහා ලබාගැනීමට කටයුතු කරන අතර පුළුල් පරාසයක පිරිස් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් මාසයේ මෙය විධිමත් සැලැස්මක් ලෙස අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීම අපගේ අරමුණ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් ඉන්දියාවෙත් අප දියුණු යැයි සලකන බටහිර රටවලත් මෙවැනි සැලසුම් දස අවුරුදු හා පස් අවුරුදු ලෙස සකස් කරනු ලබන අතර ඒවා පක්ෂ භේදයෙන් තොරව බොහෝ විට අනුමත වී ක්‍රියාත්මක වේ. ඒ සඳහා ඒ රටවල සිටින විද්‍යාත්මක ප්‍රජාව බොහොම සක්‍රීයව දායක වෙයි. නමුත් අපේ රටේ එවැනි සම්ප්‍රදායක් නොමැති නිසා ඒ සම්ප්‍රදාය අළුතෙන් ආරම්භ කිරීමට හා ලංකාව තුළ විද්වත් ප්‍රජාවගේ හඬට ඉඩක් ඇතිවන ලෙස කටයුතු කිරීමට මෙම සැලැස්ම ඔස්සේ අවධානය යොමුකොට තිබේ. දේශපාලනය අද බොහෝ දුරට පටු ඉල්ලීම් මත ක්‍රියාත්මක වන අතර එහිදී පුළුල් ක්‍රියාවලියක් පිළිබඳව තිබෙන අදහස යටපත් වේ. ආර්ථීකයේ, සමාජයේ හරවත් ඉදිරිගමන් මඟ පිළිබඳව එහිදී සොයා බැලීමක් සිදු නොවන අතර විද්වත් ප්‍රජාවක් විසින් රටේ ඉදිර ගමන සම්බන්ධයෙන් තීන්දු ගැනීම කළ යුතුය. මේ එයට මුල පිරීමකි.

ආසන්න වශයෙන් අද වන විට විවෘත ආර්ථීකය ලබාගෙන අවුරුදු 40 ක් ගෙවීගොස් තිබේ. මේ කාලය තුළ අපට මොණවද ලැබිල තියෙන ජයග්‍රහණ ? මොනවද අපි අත්පත් කරගෙන තියෙන්නෙ ? මේ අවුරුදු 40 තුල අපි යම්කිසි ආකාරයක ගමන්මගක නිරත වූයේ නම් අද වන විට එහි හැකියාවන් අඩුවී ගොස් ඇත. වාසිදායක තත්ත්වයන් සියල්ල අපෙන් ඉවත්වී ගොස් ඇත.

අපේ රට අවුරුදු 14 ක් මැදි ආදායම් රටක් ලෙස ගමන් කර තිබේ. දැන් අප ගමන් කළ යුත්තේ තිරසර ක්‍රියාමාර්ගයකටයි. ආර්ථීක වර්ධනය පමණක් මේ සඳහා ප්‍රමාණවත් නොවන අතර පරිසර තිරසර භාවය කෙරෙහි අප ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු වේ. අපේ ජල පද්ධතිය, වායු ගෝලය, පස විනාශ කරමින් සිදුවන සංවර්ධනයක්  අපට අවශ්‍ය නැත. මේ පිළිබඳව අවධානයක් යොමු කරමින් සංවර්ධන සැලසුම් සකස් කිරීම අද සිදුකළ යුතුව තිබේ.

දුප්පත් පොහොසත් පරතරය, විරැකියාව අද යම් තරමක් දුරට ජය අරගෙන තිබේ. නමුත් සමාජ අසහනය ප්‍රබලව ඉස්මතු වී තිබේ. මේ පිළිබඳව අප මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු අතර සමාජ අසහනයට විසඳුමක් අත්‍යාවශ්‍ය වී තිබේ. ඒ සඳහාද ආයෝජන සැලැස්මේදී අවධානය යොමුකොට තිබේ. තිරසර ආර්ථීක වර්ධනය, සමාජ අසමානතාව තුනීවීම, පරිසරය සුරක්ෂිතවීම යන කරුණු තුන මත තිරසර සංවර්ධනයක් ගොඩනැගිය යුතු බව  මෙම ආයෝජන සැලැස්මේදී විශේෂිතකොට තිබෙන අතර මේ සඳහා වෘත්තීයවේදීන් මැදිහත් වියයුතු වේ.

ජයවර්ධනපුර, කැළණිය, කොළඹ, මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ මේ වන විට සාකච්ඡා කොට ඇති බවත් ඒ සඳහා අචාර්යවරුන්ගේ ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress