කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (2)
Posted on October 12th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

වලාකුළක් ලණුවකින් බැඳ ගත හැකිද?

    1494 දී හයවෙනි ඇලෙක්සැන්ඩර් නම් පෝප් විසින් යුරෝපයේ කතෝලික රටවල් දෙකකට (ස්පාඤ්ඤයට හා පෘතුගාලයට) මුළු ලෝකයම බෙදා වෙන් කරදීම කළුසුද්දන්ගේ සම්භවයේ ආරම්භය ය. සුද්දන් කලේ තමන්ට දර දිය අදිනා හා ඔත්තු සපයන පිරිසක් අල්ලාගත් රටවල බෝකරවා ගැනීමය. සුද්දන්ගේ ආධිපත්‍යයෙන් සටනක් කර ගැලවුන සුදු නොවු ප්‍රථම යටත් විජිතය, අද බලවත් සේ අහේනියට පත්‌ව ඇති හේති කියන බටහිර කොදෙව් රටය. මෙම කොටසේ ඒ ගැන ලියන බව කලින් කිව්වත්, කළුසුද්දෙක් කියන්නේ කවුද යන්න තෝරා බේරා ගන්නට කරණ ව්‍යායාමය හරියට වලාකුළක් අල්ලා හිර කර තබා ගන්නට හදනවා වගේ නිසා ඒ ගැනම තවදුරටත් තරක් වීමට මට සිතිනි.

     යුරොපියනයිෂේෂන්, ඇමෙරිකනයිෂේෂන් වගේ කළුසුදුකරණයද ක්‍රියාදාමයක් (බ්ලැක්වයිට්ස් ආ නොට්, දේ බිකම්) හා එක්තරා මානසික සංයුතියකි (මෙන්ටල් ස්ටේට්). මේ නිසා, උදාහරණයක් වශයෙන් සිංහල බෞද්ධයින්ගේ පැත්තෙන් බලනවිට, නිර්‌ව්‍යාජ සිංහලයෙකුගේ සිට උග්‍ර කළුසුද්දෙක් දක්වා විහිදීයන අඛන්ඩ මිනුම් දණ්ඩක් (දර්‍ශකයක්) මෙහිදී යොදාගත යුතුව තිබේ. මෙසේ යමෙකුට මෙම මානසික මට්ටම් මාලාව (කන්ටිනුවම්), එෆ් ආර් සේනානායක, ඩී බී ජයතිලක, ගාමිණී ජයසූරිය, එෆ් ආර් ජයසූරිය, ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා ගෙන් පටන් ගෙන සර් ඔලිවර්, සර් ජෝන්, රෝසි සේනානායක, දයාන් ජයතිලක, ජෙහාන් පෙරේරා, පාකියසෝති යනාදී අයගෙන් අවසාන කලහැකිය. සෙසු හැමදෙනාම මේ  දෙකොටසට හා ඒ අතරතුර ස්ථානයකට වැටේ.

    මෙම මාතෘකාව ගැන මනා අවභොධයක් ලබා ගැනීමට නම් එය හා පොර බැදිය යුතුමය. දැනට කලකට පෙර කාර්ලෝ ෆොන්සේකා විසින් බුද්‌ධදාස (හේවාවිතාරණ) හා (කේ එන් ඕ) ධර්‍මදාස යන දෙන්නාගෙන් කළුසුද්දෙක් කියන්නේ කවුද කියා ප්‍රශ්න කලා පත්තරේක තිබුණා මට මතක් වුනේ මේ අතරතුරේදී ය. කාර්ලෝ යන්න කරෝලිස් කියාත් හර්‍මන් යන්න හරමානිස් කියාත් ගැමියන් විසින් සිංහලට හරවා ගත්තේ සුද්දන් විසින් සිංහලේ, සිලෝන් කලා වගේය. සමහරු කෙනෙකුගේ නම දිහා බලා ඔහු කළුසුද්දෙක් යයි අනුමාන කරන ගතියක්ද තිබුණි. ධර්‍මපාලතුමා හා පියදාස සිරිසේන මහතා සුද්දන්ගේ නම් අතහැර ආර්ය සිංහල නම් තබන ලෙස මිනිසුන්ට ඉගැන්වුයේ ය. සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් යන නම 1899 දී මහමුදලි සොලමන් බණ්ඩාරනායක තම පුතාට තෝරා ගත්තේය. ඒ වසරේම උපන් මගේ පියාට දමා ඇත්තේ ගිල්ටන් දොන් මානිස් කියාය. මවගේ නම දෝන බේබි මනම්පේරී ය. නමුත් ඔවුන්ගේ දරුවන් හයදෙනාටම ආර්ය සිංහල නම් දැම්මේ ධර්‍මපාල-පියදාස සිරිසේන යුගයේ බලපෑම නිසාය.

    නමුත් සමහර යමක් කමක් තිබූ,කට්ට හෝ අවස්ථාවාදී හෝ ශූක්‍ෂම දෙමව්පියන් දෙපැත්තම ෂේප් කරගන්නට ක්‍රිස්තියානි හා බෞද්ධ නමක් බැගින් නම් දෙකක්ම දැම්මේය. ආනන්ද එඩ්වර්ඩ්, චන්ද්‍රා රිචඩ් එවැනි උදාහරණය. මා දන්නා පුද්ගලයෙකුගේ නම සිරිල් බණ්ඩා රත්නායක විය. ඔහු අවස්ථාවට අනුව සිරිල් හෝ බණ්ඩා යන නම ටෙලිෆෝන් කතා වලදී පාවිච්චි කරණවා මා දැක ඇත, අසා ඇත. මෙහිදී මට සිතෙන්නේ දෙමව්පියන් දමන නම නිසා යමෙකු කළුසුද්දෙක්ද කියා තීරණය කල නොහැකි බවය. නමුත් යමෙක් එය මෙම සිරිල්/බණ්ඩා උදාහරණයේදී මෙන් ප්‍රයෝජනයට ගන්නවා නම් ඔහු ගැන සැකයක් මතුවීම සාධාරණ නොවේද? සිංහල භාෂාව කුස්සියේදීත්, ඉංග්‍රීසි භාෂාව පිටතදීත් කතා කරණ කාලයක් පමණක් නොව විශ්ව විද්‍යාලයේ සිංහල භාෂාවත් ඉංග්‍රීසියෙන් ඉගැන්වූ කාලයක්ද විය. මේවා ගැන පසුව විස්තර වශයෙන් විමසා බැලිය හැකිය.

ක්‍ෂේණුකා සෙනෙවිරත්නගේ රංගනය

    කළුසුද්දන් නිසැකව යොදා ගන්නා කැත උපක්‍රමයක් නම් යමෙකුට ඉංග්‍රීසි කතා කරන්නට හා ලියන්නට පුළුවන් ද යන කාරණය ය. අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී 2014 අගෝස්තු 6 දා කියා සිටියේ ක්‍ෂේණුකා නම් (ඇය පිටරට ඉගෙනගත් ක්‍රිස්තියානිකාරියකි) විදේශ ලේකම්වරිය, ඇය යටතේ වැඩ කරණා නිලධාරීන්ට ඉංග්‍රීසි හරියට බැරිය කියා හිරිහැර කරණ බව හා අවමානයට ලක් කරණ බවය. මාවෝ සේතුං, හෝචිමින්, හිට්ලර්, හෝ ඇමෙරිකාවේ ජෝර්ජ් බුෂ් හරියට ඉංග්‍රීසි කතා කලාද? චතුර ලෙස ඉංග්‍රීසි හෝ ප්‍රංශ කතා කිරීමත්, යමෙකුගේ බුද්ධියත් අතර සම්බන්ධයක් නැත. ඩයානා කුමරියට චාල්ස් කුමාරයා හා විවාහයට පෙරත් පසුවත් ඉංග්‍රීසි ටියුෂන් දීමත්, 1948 නිදහස ලබාගත් පෙබරවාරි 4 දා බණ්ඩාරනායක මහතා දුන් ස්තුති කතාවට එංගලන්ත රජුගේ නියෝජිතයා පවා වසී වීමත් ඒ දෙන්නාගේ බුද්ධි මට්ටම හා සම්බන්ධ නැත.

    නමුත් ඉංග්‍රීසි භාෂාව මේ ආකාරයට ඒ මඟින් අනිත් අයට හීනමානයක් දිය හැකි යයි සිතමින් යොදවා ගන්නේ කළුසුද්දන් ය. දයාන් ජයතිලක නම් ක්‍රිස්තියානි මාක්ස්වාදී මැදි වයසේ පුද්ගලයා ඔහුගේ ප්‍රතිවාදීන්ට විරුද්ධව බොහෝ විට කියන්නේ ඉංග්‍රීසි හරියට ලියන්න ඉගෙන ගන්නය කියාය. මෙසේ කිරීමෙන් ඔහුට ව්‍ර‌ැද්ධව එල්ල වන තර්‍ක වලින් ලිස්සා යෑමට හැකිවේ ය කියාද ඔහු සිතයි.

    එසේ නම් නීති විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයයි තීරණය කල කට්ටිය කළුසුද්දන් ද? සිංහල මාධ්‍යය නිසාම විශ්ව විද්‍යාලයට යාමට ඉඩක් ලැබී ඒවාට ගිහින් දැන් ඒවායේ ගුරුවරු වී ඉන්නා අය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයයි යෝජනා පාස් කර ගන්නේ මොලේ නරක් වී ඇති නිසාද නැත්නම් කළුසුද්දන් නිසාද? සිදුවිය යුත්තේ මව් භාෂාවෙන් ඉගෙන ගන්නා ගමන් ඉංග්‍රීසි භාෂාවෙන් පොත් කියවීමට දැනුමක් ලබා ගැනීමය, ලබා දීමය.

    ඉංග්‍රීසි ඉගෙන ගැනීම බයිසිකල් පදින්න හෝ පීනන්න ඉගෙන ගන්නවා වගේ දෙයකින් ඔබ්බට ගෙන ගොස් කරේ තබා ගන්නේ හීනමානයකින් පෙලෙන පිරිසකි. මේ අය ඉංග්‍රීසි ගැන පමණක් නොව උදේ නැගිට රෑ නින්දේදී පවා කරන, දකින හැම දෙයක්ම යුරෝපය (දැන් දැන් ඇමෙරිකාව) උතුම් ය ඉහලය යන ආකල්පයෙන් ජීවත් වන අයය. මෙවැනි පුද්ගලයින්ට ලංකාවේ නම සිංහලේ කියා වෙනස් කිරීම, 1815 තිබූ කොඩිය ජාතික කොඩිය කිරීම යනු විහිළු කතාය.

    අජන්තා මෙන්ඩිස් ට ඉංග්‍රීසි බැරි නිසා ලංකාවේ ක්‍රිකට් කීර්තියට උපරිම ලාභයක් ලබා ගැනීමට නොහැකිවූවා යයි කෙනෙක් අයිලන්ඩ් පත්තරේට ලියූ විට “ක්‍රිකට් වලට භාෂාවක් නැත,” “ක්‍රිකට් වල භාෂාව කුමක්ද?” කියා පිලිතුරු දෙකක්ම ලිව්වා දැන් මට මතකය (2008 අගෝස්තු 2, 22 අයිලන්ඩ්). ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉංග්‍රීසි අනිවාර්ය කිරීමට ඔහු යෝජනා කලේය! මෙම කාසියේ අනිත් පැත්ත නම් අත්තනගල්ලේ පව්ලිස් අප්පුහාමි (උක්කු බණ්ඩා) ගේ කතාවය. ජේ පී ඔබේසේකර විනෝදයට රත්මලානේ ගුවන් යානය පදවන එක් දිනයකදී එහි සිටි කොට ගවුම් ඇඳගත්, ටෙනිස් රැකට් රැගත් ගැහැණු ළමයි තිදෙනෙක් දැක තමා සමඟ අනිත් සීට් එකේ ඉඳගෙන ගුවන් රයිඩ් එකකට එන මෙන් ඔවුන්ට සරදමක් කලේය. ඉන් එක නිර්භීත කෙල්ලෙක් ඊට ඉදිරිපත් විය. අවසානයේ ඔහු ඇයව කසාද බැන්ඳා ය කියා මා අසා ඇත.

    පව්ලිස් අප්පුහාමි ගේ කතාව මීට වඩා චමත්කාර ජනකය. ඔහු ඉංග්‍රීසි කතා නොකරන, කෝට් එක හා සරම අඳින, කොණ්ඩය බඳින, ගුවන් යානා එලවූ එකම සිංහලයා විය. 1952 අගෝස්තු මස ඔහු ඒ සඳහා බලපත්‍රයක් ගන්නට පුහුණුවීමේ පාසැලට ගිය විට ඉන්ස්ට්‍රක්ටර් ඔහුගෙන් ඇසුවේ, “කොණ්ඩය බැඳලා ප්ලේන් එලවන්නේ කොහොමද?” කියාය.  1905 දී උපන් ඔහු බස් මුදලාලි කෙනෙක් විය. 1953 ඔක්තෝබර් 5 දා අංක 139 දරණ ප්‍රයිවට් පයිලට් ලැයිසම ප්‍රවාහන ඇමති සර් ජෝන් ගේ අත්සනින් ඔහුට ලැබුණි.

    මේ උක්කු බණ්ඩා නියම සිංහලයෙක් විය. මෙම චරිතය කළුසුද්දෙක් කියන්නේ කවුද යන්න හඳුනාගැනීමේදී අපට ප්‍රයෝජනවත් වේ. ධර්‍මපාලතුමා ඔහුගේ දිනපොත තබා ගත්තේ ඉංග්‍රීසියෙන් කියා අමරදාස ප්‍රනාන්දු නම මාක්ස්වාදියා චෝදනා කලේය. බණ්ඩාරනායක මහත්තයා ගෑරුප්පුවෙන් කිරිබත් කෑවා කියා ද කතාකරන අය සිටිති. කිරිබත් හා ගෑරුප්පුව අතර නෑකමක් හෝ තරහක් හෝ තිබිය යුතුද? දත් බුරුසුවක් හෝ හුළු අතු වෙනුවට ටෝච් එකක් පාවිචිචි කිරීමේ වරද කුමක්ද? කුඩා කාලයේ සිටම සුදු නැනී ලා විසින් හැදූ ඔහු කළුසුද්දෙක් නොවීය. අනිත් ලන්ඩන් ගිය සියළුම දෙනා වගේ ඔහු සුද්දියෙක් බදාගෙන ලංකාවට නාවේ මේ නිසාය. ඔහුට හීන මානයක් නොවීය.

    ඔහුගේ ඥාති දියණියකවූ යැස්මීන් ගුණරත්න බණ්ඩාරනායකලා ගැන ලියූ පොතේ (රිලටිව් මෙරිට්ස්, 1986) මා දුටුවේ ඇගේ මව වූ ජැමෙයිකා ඉන්දියානු කාන්තාවට (නම- එස්තර්) සිංහල දේශාණුරාගයෙන් ඔහු කතාකල හැටිය. එය අව්‍යාජය ය. අනික් අතට එස්තර් ට එවැනි හැඟීමක් නොවූ අතර දිනක් ඇගේ සැමියා (බණ්ඩාරානායක) ගෙදර එන විට ඔහු දුටුවේ භාර්‌යාව වූ එස්තර් වලව්වේ සේරම පරණ පොත් පත් මිදුලට දමා ගිනි මැලයක් කර ඇති බවය. සුප්‍රිම් කෝට් නඩුකාරයෙක් වූ තම සැමියාගේ පියා එකතුකල වටිනා දුර්ලභ පොත් පත් ගෙදර ඉඩකඩ අසුරන භාධකයක් ලෙස සැලකූ ඇය ඒවා ගෙයින් ඉවත් කලේය! මාක්ස්වාදීන්ට මෙන් ඇයටද දුටුගැමුණු රජතුමා ගඩොල් මෝඩයෙක් වූවා විය හැකිය. අනිත් අතට ඇය විදේශ කාන්තාවකි. ටිබැට් ජාතික එස් මහින්ද හිමියන්, සිංහල ගී ගායනා කල ජී එස් බී රානි පෙරේරා ද විදේශ වලින් ආ අය විය. රානි, කැළණියේ ආර් එස් පෙරේරා (කථානායක) ගේ පවුල බුද්ධාගමට හැරෙව්වේ ය.

    මෙහිදී පෙනී යන කරුණක් නම් සමහරු අහිංසක, නූගත් කළුසුද්දන් විය හැකි බවය. එස්තර් ට ලංකාව ගැන, සිංහල බෞද්ධයින් ගැන තරහක් තිබුණේ නැත. බණ්ඩාරනායක මහතා ගෑරුප්පුවෙන් කිරිබත් කෑවේ බොරු ෂොක් එකට හෝ ආරූඩ කරගත් හීනමානයකින් හෝ නොවේ. අවස්ථාවට අනුව මා ද ඇඟිලි වෙනුවට ගෑරුප්පුව බොහෝ විට ප්‍රයෝජනයට ගන්නේ ඉන් ගත හැකි ප්‍රායෝගික වාසි නිසාය. නමුත් නීති විද්‍යාලයට ඉංග්‍රීසි ගෙන ඒම, විශ්ව විද්‍යාලයට එය ගෙන ඒමට යෝජනා කිරීම, සිංහල ක්‍රිකට් ඉංග්‍රීසි ක්‍රිකට් කිරීම (ක්‍රිකට් එංගන්තයෙන් ආවේ ඉංග්‍රීසියෙන් නොවේ, බෝලයක් හා පිත්තකින් ය) නොදන්නාකම නිසා නොව කුහක කම හෝ හීනමානය හෝ නිසාමය. මිසිස් චන්ද්‍රිකා කිව්වේ විදේශ අමාත්‍යංශය කාමුකයින්ගේ සාප්පුවක් කියාය. මට නම් පෙනෙන්නේ එය කළුසුද්දන්ගේ බලකොටුවක් කියාය. කළුසුද්දන්ගේ ක්‍රියා කලාපය ගැන හොඳ අවභොධයක් මේ මඟින් අපට ලබාගත හැකිය.

මීලඟ කොටස- කළුසුද්දන්ගේ බල කොටුව, විදේශ කටයුතු අමාත්‍යාංශය

3 Responses to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (2)”

  1. Nanda Says:

    කළුසුද්දා ගේ ප්‍රධාන ලක්ශනයක් නම් බටහිර රටවල සැපපහසුවට තදින්ම ආශා කිරීමයි. ලංකාවත් ඒතත්වයට පත් උනා නම් සිංහල ජනයාට හෙන ගැහුවත් උන්ට කමක් නැත​. ලොකු පාරවල් තිබේ නම්, ඒවා හදනවුන්ගෙන් පගා ගසා දුප්පත් ජනයා ගසා කන අධමයා උන්ට රජ්ජුය​.

  2. Nanda Says:

    මගේ අදහස අනුව මොලේ ඇති කිසිවකු කවදාවත් කලු සුද්දකු නොවෙනු ඇත​. ප්‍රතිලෝම වශයෙන්ද එය සත්‍යයකි. බුධ්ධාගමේ උපන් මොලය ඇත්තෙක් කිසිදිනෙක කලු සුද්දකු නොවනු ඇත​.

  3. Nanda Says:

    බොහෝ කලු සුද්දන් බුධ්ධාගමේ අගය නොදැන එයට අගව්‍ රව කරති. ගරහති. නිර්වාණය යනු දිවිනසා ගැනීමකයි කියති. මේ මෝඩයින් කර්මය සහ කර්ම ඵල විස්වාස නොකොට අපා ගත වනු නියතයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress