සුරක්ෂිත හෙට දිනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
Posted on October 14th, 2014

මාධ්‍ය අංශය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

සුරක්ෂිත හෙට දිනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ජාතියට දායාද කෙරේ
•    විවෘත කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින්
•    අ.පො.ස. උ/පෙ සමතුන්ට පාඨමාලා තුළින් මෙරට මෙන්ම පිටරටද රැකියා අවස්ථා

කර්මාන්ත ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ සංවර්ධනයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පරමාණු ශක්ති අධිකාරිය මඟින් නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මුල්ගල් තැබූයේ 2011 ඔක්තෝබර් මස 07 වනදාය. එම අපේක්ෂාව සඵල කරමින් ආර්ථීක සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් සහ විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය දැයට දායාද කිරීම අද(14) පස්වරු 2.00 ට යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ, නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය බිහිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුවන සීග්‍ර සංවර්ධනයට සුවිශාල ශක්තියක් ලබාදිය හැකි බවයි. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් මෙම සේවාව වෙනුවෙන් පුහුණු කිරීම හා එම සේවා ලබාදීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ පුහුණු හා සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම මෙහි ඇති සුවිශේෂීත්වයකි. බොහෝ කලක් සිහිනයක්ව පැවති න්‍යෂ්ටික තාක්ෂණයේ යහපත් යොදාගැනීමක් වන නිර්විනාශක පරීක්ෂණ ක්‍රමවේදය රටේ ස්ථාපිත කිරීම වෙනුවෙන් කැපවූ සියළුම දෙනාටද අමාත්‍යවරයා සිය ස්තුතිය පුදකර සිටියේය.

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සීග්‍ර දියුණුවක් දැන් රටේ ඇතිවී තිඛෙන  බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. දැනුම් කේන්ද්‍රීය ආර්ථීකයක් රටේ ගොඩනැගීම වෙනුවෙන් චම්පික රණවකයන් දියත් කරන ව්‍යාපෘති ඉතා සුවිශේෂී බවත්, ඒවා කාර්යක්ෂමව සහ ඵලදායී මට්ටමෙන් පවත්වාගෙන යාමට එතුමන් කටයුතු කිරීම ඇගයිය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. මතු පරපුරේ තාක්ෂණික අවශ්‍යතාවය වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය ඉතා වැදගත්වන බව ද එතුමන් පෙන්වා දුන්නේය.

නිෂ්පාදිත භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහාත් අඛණ්ඩව සිදු කරන පරීක්ෂා කිරීම් සඳහාත් සේවාවන් පවත්වාගෙන යන අතරතුර සිදු කරන නඩත්තු කිරීම් සඳහාත් කර්මාන්ත ක්ෂේත්‍රයේ බහුල වශයෙන් නිර්විනාශක පරීක්ෂණ යොදා ගැනෙන අතර නිර්විනාශක පරීක්ෂණ යනුවෙන් හඳුන්වන්නේ ද්‍රව්‍යවලට කිසිදු ආකාරයක හානි කිරීමක් සිදු නොකොට ඒවා පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයකි. විදුලිබල, ගුවන්යානා, රසායනික, රබර්, යන්ත්‍ර සුත්‍ර, නැව්, යකඩ, බොයිලේරු, උස් ගොඩනැගිලි, මෝටර් රථ, තෙල්, ගෑස්, ඉන්ධන ගවේෂණ, මහාමාර්ග, සිවිල් ඉංජිනේරු, වෑද්දුම් යන ක්ෂේත්‍රයන් සඳහා මෙම තාක්ෂණය බහුල වශයෙන් යොදා ගත හැකි වන අතර මෙම සේවාවන් වඩා දියුණු කිරීම, ඉහල ප්‍රමිතිය තහවුරු කිරීම හා එමගින් නිෂ්පාදන ජාත්‍යන්තරව පිළිගත් මට්ටමට ගෙන ඒම මෙමගින් සිදුකෙරේ. ඉහත සඳහන් ක්ෂේත්‍රයන්හි අයිතිකරුවන් සහ එම සේවකයින්, රටෙහි සිටින රැකියා විරහිත තරුණ තරුණියන් මෙන්ම සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඉඩ සැලසෙන මහජනතාව මෙහි සේවාලාභීන් බවට පත්කිරීම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ අපේක්ෂිත ප්‍රතිලාභයන් වේ.

ඉහල ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය හා නිෂ්පාදන ධාරිතාවය ඉහලනැංවීම, අනපේක්ෂිත ලෙස කර්මාන්ත ශාලාවල නිෂ්පාදන නතර කිරීම් සහ ඒවායේ යන්ත්‍රවල නිරන්තර අලූත් වැඩියාවන් අවම කිරීම යනාදිය සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම මගින් නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය රටෙහි ජාතික අවශ්‍යතාවයන් කෙරෙහි ඝෘජුවම සම්බන්ධ වන අතර, පුහුණු ශ්‍රම සම්පත ඉහල නැංවීම මෙන්ම රැකියා විරහිත භාවය අවම කිරීම සහ විදේශ ආදායම ඉහල නැංවීමෙන්ද ඒ සඳහා දායක වෙයි. අ.පො.ස. උ/පෙ විභාගය විද්‍යා විෂය ධාරාවෙන් සමත් තරුණ තරුණියන්ට නිර්විනාශක පරීක්ෂණ සම්බන්ධ පාඨමාලා වලට සහ අදාල විභාග වලට සහභාගී වී අවශ්‍ය සහතික ලබාගැනීමට මේ ඔස්සේ හැකිවන අතර තරුණ පරපුර සදහා මෙරට මෙන්ම පිටරටද රැකියා අවස්ථා උදාකර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress