කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (3)
Posted on October 20th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

විදේශ අමාත්‍යංශයට අබ සරණයි

    පසුගිය කොටසේ (අංක දෙක) ක්‍ෂේණුකා සෙනෙවිරත්න ඇගේ ඉංග්‍රීසි කඩුවෙන් ඇය යටතේ ඉන්නා ගමෙන් ආ නිලධාරීන්ට කොටන එක ගැන සඳහන් කලෙමි. කළුසුද්දන් කියන්නේ කවුරුන්‌ද කියා හඳුනා ගැනීමේදී විදේශ අමාත්‍යංශය නමැති කළුසුද්දන්ගේ දූපතෙන් බොහෝ කරුණු, උදාහරණ, ලබාගත හැකිය. විදේශ සේවා නියුක්ති කාර්‍ය්‍යාංශය විසින් අරාබි රටවලට යන දුප්පත් මිනිසුන් වෙනුවෙන් පුදුම ජරමර, විකාර කරගෙන යන නිසා ඒ ගැන මිසක් විදේශ අමාත්‍යාංශය ගැන මෙතෙක් හාමුදුරුවරුන්ගේ අවධානයට යොමු වූයේ නැත. මේ ලඟදී රාවය එහි ගියවිට එහි සභාපති “අපිත් හොඳ බෞද්ධ පවුල් වල අය” කියා කයියක්ද ගැසුවේය. විදේශ කටයුතු අමාත්‍යංශයේ සර්‍පයින් හා පරපෝෂිතයින් යනුවෙන් 2008 මාර්තු 7 දින අයිලන්ඩ් පත්තරයට මා ලියූ ලිපියක් මෙහිදී මගේ මතකයට එන්නේ සජින් වාස් ගුණවර්‍ධන නමැති ඕ ලෙවල් වත් පාස් නැති නුසුදුසු මිනිහෙක්, රෝඩ්ස් ස්කොලර් ජී එල් පීරිස් ඇමති නම් පඹයා සමග (ඔහු කොටි බාලසිංහම් ඇමතුවේ හිස් එක්‌ෂලන්සි කියා ය)ලංකාවට කරන හානිය මේ දවස්වල වාර්‌තාවූ නිසාය.

    විදේශ අමාත්‍යංශය ආණ්ඩුකාරයාගේ බංගලාවට අල්ලපු වත්තේ සිට ලංකාව තුල ක්‍රියාත්මකවූ තවත් දූපතක් වැනි විය. රජු/රැජින 1948 පසුත් ලංකාවේ රජු වූ නිසාත්, කොමන්වෙල්ත් එක හරහා ඒ මඟින් විදේශ සේවා/තානාපති සහාය ලබා ගත හැකි වූ නිසාත්, එය කෙලින්ම රටේ අගමැති යටතේ තිබූ නිසාත්, එහි පියුන් රක්‍ෂාව හැර අනිත් හැමදේටම සිංහල භාෂාව වැඩක් නොවූ නිසාත්, මහා භාණ්ඩාගාරයට වඩා බලයක් හා නිදහසක් විදේශ කටයුතු අංශයට ලැබිණ. කොළඹ හතේ පවුල්වල දුවලා පුතාලාටත්, වෙනත් වරප්‍රසාදලත් පවුල් වල හා සිවිල් සේවා නිලධාරීන් ගේ දරුවන්ටත් එය ක්‍ෂේම භූමියක් විය. මේ ස්වභාවය මිසිස් චන්ද්‍රිකා ගේ කාලය වන විට “යාළුවන් හා හොර අඹුවන්” (ෆ්රෙන්ඩ්ස් ඇන්ඩ් මිස්ට්‍රසස්) සිටින තැනක් බවට පෙරලින. හමීඩ්ලා, කදිරගමාර්ලා වැනි අයට මේ තත්‌වය වෙනස් කිරීමට හැකියාවක් නැත. ලංකාවට එන සාරෙක් නායකයින් නවතින හෝටල් වල ටොයිලට් හරියට පිරිසිදුවට තිබෙනවාද කියා චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින්ම ගිහින් ඒවා චෙක් කලේ එවැනි දෙයක් ගැනවත් මේ නිලධාරීන් ගැන ඇයට විශ්වාසයක් නොතිබුණ නිසාය.

    ලංකාවේ ඉතිහාසය, භූගෝල විද්‍යාව තබා උම්මග්ග ජාතකය හෝ කමතක් කියන්නේ කුමක්ද කියා වත් නොදන්නා අතිශයින්ම ක්‍රිස්තියානීවු මෙම බලකොටුව හා තානාපති සේවය කෙසේ හෝ ජාම් බේරා ගෙන රැකී සිටියේ බාහිර බලපෑම් බරපතල නොවූ නිසාය. ප්‍රභාකරන්ගේ කාලයේදි මෙම බලකොටුව කල දේවල් හා නොකල දේවල් අනුව සිතනවිට එය ප්‍රභාකරන්ගේ විදේශ අමාත්‍යංශයක් සේ විය. තමරා කුනණායගම් විසින් නොබෝදා හෙලිකල පරිදි ජිනීවා වල ලංකා තානාපතිගේ නිල නිවස පවා කොටි ත්‍රස්තවාදීන් විසින් රහස් කැමරා, විද්‍යුත් ශ්‍රවණ මයික්‍රෝෆෝන් සවිකර ඔත්තු ලබාගෙන ඇත. මේ අනුව තානාපති බාත්‌රූම් එකට යන වේලාව පවා කොටි ත්‍රස්තවාදීන් දැන සිටියේය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ අධීක්‍ෂණ මන්ත්‍රී නමැති ගුන්ඩුව නිසා මේවායේ වෙනසක් සිදුවී නැති බව මින් පෙනේ. ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා කුඩු ජාවාරම් සැක කරුවෙක් හා මිනී මැරුම් සැක කරුවෙක් වූ අතර, සජින් වාස් ගොන් වස්සෙක් පමණක් නොවීය. ඔහු විදේශ අමාත්‍යංශය උඩුකුරු යටිකුරු කලේය. ඔහු සම්බොඩීස් පිරිස (70ක් පමණ පරණ නිලධාරීන්) අළුත් සයිබීරියාවකට යවා නොබොඩීස් පිරිසක් සම්බොඩීස් කලේ ය (නුසුදුසු පුද්ගලයින් ඇතුලට ගෙන ඒමය).

    මෙසේ ලංකාවට ලැබුණේ ඉඟුරු වෙනුවට මිරිස් ය. අළුත් සම්බොඩීස් සෙට් එක පරණ සම්බොඩීස් කළුසුද්දන්ටද වඩා සවුත්තු කබල් පිරිසක් විය. සමහර මේ කසිකබල් අළුත් සම්බොඩීස්ලාට ක්‍රිස් නෝනිස් වැනි අයෙක්ව දෙවියෙක් මෙන් පෙනිණ. ලන්ඩන් වල සිට අවුරුදු 30 කට වඩා කාලයක් ලංකාව ප්‍රභාකරන්ගෙන් බේරා ගැනීමට ස්වෙච්චාවෙන් සේවය කල ඩග්ලස් වික්‍රමරත්නගේ පාදයේ දූවිලි වලටවත් මේ ක්‍රිස් නෝනිස් හෝ ක්‍ෂෙණුකා සෙනෙවිරත්න යන ක්‍රිස්තියානීන් දෙන්නාම නොවටී. එහෙත් ඔවුන් ඩග්ලස්ට කලේ වෙනස්කම්, හතුරුකම් මය. සිංහලේ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන විමල් එදිරිවීර ද ලන්ඩන්වල සිට අවුරුදු 30 ක සිටම සිංහල ජාතියට සේවය කරන්නේය. සජින් වාස් ට හා ජී එල් පීරිස් ට වටින්නේ රෝසි සේනානායකගේ එංගලන්තයේ ඇඳුම් මැහුම් කලාව ඉගෙන ගත් දුව වැනි අය වය. මහින්ද රාජපක්‍ෂ විසින් මිසිස් බී ගාවට ගෙන යන තුරු මංගල සමරවීර ලන්ඩන්වල කලේ ද මේ විලාසිතා මැහුම් කලාවය.

    මෑත ඉතිහාසයෙන් උදාහරණ උපුටා ගෙන පෙන්වා දීමට මා උත්සාහ කරන්නේ විදේශ සේවය සිංහල බෞද්ධයින්ට හැමදාම හතුරෙක්ව (එසේ නැත්නම් මිතුරෙක් නොවී)සිටි බව පෙන්වීමය. ලංකා සිවිල් සේවය මෙන්ම ලංකා විදේශ සේවයද වැඩිම වුනොත් තෙම්පරාදු බෞද්ධයින් කිහිප දෙනෙක් සිටි කළුසුද්දන්ගේ ඒජන්සි හවුස් එකක් විය. එහි අභ්‍යන්තරයේ වෙන දේ වල ගැන සෙසු අයට දැනගන්නට නොලැබේ. නෝනිස්-සජින් වාස් සිද්ධියෙන් එලිවූ පරිදි ඉඳහිට පිටවෙන බලාපොරොත්තු නොවූ සිද්ධි වලින් අපට එහි අභ්‍යන්තර ක්‍රියා ගැන පින්තූරයක් ලැබේ. යම් සිද්ධියක් එලිවූ විට ඒ වටා වෙනත් කරුණු අනුමාන කල හැකිය.

නියම සිංහලයෙක් වූ විල්මට් ඒ පෙරේරා (1905-73)
   
    චීනයට ලංකාවෙන් 1957 දී යැවූ ප්‍රථම තානාපතිවරයා විල්මට් පෙරේරා ය. ලංකාවේ එම තනතුර සඳහා ඔහුට වඩා සුදුස්සෙක් නොවීය. රබර් රජා ගේ පුතා, සුද්දන් සමඟ කරට කර සතුන් දඩයමේ ගිය තරුණයා, 1934 දී රයිගම් කෝරළයේ ග්‍රාම සංවර්‍ධන සමිති ආරම්භ කල පුද්ගලයා, ශාන්ති නිකේතනයට සමානව ශ්‍රී පාලි නම් කලා ආයතනයක් (හොරන) පිහිටවූ පුද්ගලයා, 1935 සමසමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජික, මaaෝ සේතුන් සමඟ මිත්‍ර සම්බන්‌දය, 1952 චීන-ලංකා රබර්-හාල් ගිවිසුම ඇතිකර ගැනීමේදී කල සේවය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම, මේ විල්මට් පෙරේරා ගේ සුදුසුකම් ය. සිය පියාගේ හදිසි අභාවය නිසා ඔහු ලන්ඩනයේ ඉගෙනුම අතහැර ලංකාවට ආවේ පියාගේ දේපල බලා ගැනීමටය. රත්නසිරි වික්‍රමනායක ද මේ අකාරයට ආපසු ලංකාවට ආ හොරන තරුණයෙකි.

    මෙම තානාපතිවරයා ඉල්ලා සිටි එකම දෙය නම් ඔහු තෝරාගත් පුද්ගලයෙකු ඔහුගේ කාර්‍ය්‍යාලයට චීනයට ගෙන්වා ගැනීමය. මෙම ඉල්ලීම කාලයක් තිස්සේ කොළඹ කන්තෝරුවේ රස්තියාදු වුනත් ඉල්ලීම ඉටු නොවීය. අන්තිමේ විදේශ අමාත්‍යංශයේ දරදඬු ක්‍රියාපිලිවෙල ගැන කලකිරුණු ඔහු තානාපතිධූරයද අතහැර දැම්මේය. රටේ අගමැතිටවත් නිලධාරී බලය මර්‌ධනය කල නොහැකි විය.

    මහාචාර්ය ඩබ්ලිව් එස් කරුණාරත්න (ඇමෙරිකාව), එදිරිවීර සරච්චන්ද්‍ර (පැරිස්), ගුනපාල මලලසේකර (රුසියාව-1957) මෙසේ ලංකා විදේශ සේවා නිලධාරීන් නොවූ තානාපති වරුය. තානාපති කියන්නේ රටේ නායකයාගේ පුද්ගලික නියෝජිතයාටය. මේ නිසා ලෝකයේ බොහෝ තානාපතිවරු දේශපාලකයාගේ මිත්‍රයෝ ය. එසේ වුවත් ලංකාවේ මෙන් නොව අනිත් රටවල තානාපති කාර්‍ය්‍යාලවල ස්ථිර, වෘත්තීය පුහුණුවක් ලද කාර්ය මණ්ඩල සිටී. එම තනතුරු සුදුසු කම උඩ මිස ඇමතිගේ රියදුරාගේ නංගීගේ පුරුෂයා යනාදිය උඩ දෙන ඒවා නොවේ. උඩ තානාපති ලෙස ඉන්නේ ගොනෙක් වුනත් ඔහුට තානාපති කාර්‍ය්‍යාලයේ කටයුතු බකල් කරන්නට ඉඩක් නොලැබේ.

    ලී අයකෝකා ක්‍රයිස්ලර් මෝටර් රථ සමාගම බංකොලොත් වී යාමෙන් ද බේරාගත් ප්‍රසිද්ධ ඇමෙරිකන් පුරවැසියෙකි. ඔහුව ඇමෙරිකාවේ ජනාධිපති තරඟයට පවා යෝජනා විය.  ඔහු කුඩා කාලයේ ඉතාලියේ සිට ඔහුගේ දෙමව්පියන් සමඟ ඇමෙරිකාවට ඇවිත් ඉංග්‍රීසි ඉගෙන ගත් කෙනෙකි. මේ නිසා පසු කලක, රොනල්ඩ් රීගන් ජනාධිපති අවධියේ, ඉතාලියේ ඇමෙරිකන් තානාපති වශයෙන් යාමට ඔහුට ආශාවක් ඇතිවිය. ඒ ගැන වැඩිදුර සොයා බැලීමේදී ඔහුට දැනගන්නට ලැබුණේ තානාපති වශයෙන් ඔහුට කරන්නට සිදුවන්නේ රිපබ්ලිකන් පක්‍ෂයේ ලොක්කන්, ධනවතුන් විනෝදය හෝ බිස්නස් සඳහා ඉතාලියට ආවිට ඔවුන්ට ආව තේව කිරීම බවය. මේ සඳහා සමහර විට ඔහුගේම මුදල් පවා වියදම් කිරීමට සිදුවන බවය. ඔහු තානාපති නොවීමට තීරණය කලේ ය.

    රටක නායකයෙකුට බුද්ධිමත්‌ව හා අසීමිත කෑදරකමින් තොරව ක්‍රියා කලොත් තානාපතීන් පත් කිරීමේ බලයෙන් ලොකු ප්‍රයෝජන ලබාගත හැකිය. උදාහරණයක් වශයෙන්, දකුණු අප්‍රිකාවේ ඇපාර්තීඩ් ආණ්ඩුවට විරුද්ධව ලෝකය පුරාම විවේචන හා ආර්ථික සම්බාධක පැනවෙමින් පැවති කාලයේ ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂය පස්ස ගසමින් සිටියේ ය. එහෙත් රොනල්ඩ් රීගන් කල එක් දෙයක් නම් ඉතා උස කළු ජාතිකයෙක්ව එරටට ඇමෙරිකන් තානාපති ලෙස යැවීමය. මේ නිසා ඔහු මුණගැසෙන විට පී ඩබ්ලිව් බොතාට, අහස දිහා බලනවා මෙන් උඩ බැලීමට සිදුවිය.  එය හාස්‍ය ජනක කාරණයක් ලෙස මාධ්‍යවල වාර්තා විය. මහ රැජිනගේ නියෝජිතයාට වරක් ඉඩි අමින් මෙවැනි දෙයක් කලේය. ඉඩි අමින් සිටි කූඩාරමට ඇතුල් වීම සඳහා තිබුණේ  බිම දිගාවී ඇතුල් විය යුතුවූ විවරයකි.
  
    සමහරු සිතන්නේ බණ්ඩාරනායක මහතා ගුණපාල මලලසේකර මහතාව රුසියාවට එහි ප්‍රථම ලංකා තානාපති වශයෙන් 1957 දී යැව්වේ ඔහු මතු කරණ සිංහල බෞද්ධ ප්‍රශ්න වලින් ගැලවීමේ උපායක් වශයෙන් කියා ය. සුද්දන් හා කළුසුද්දන් ඩී එස් සේනානායකට පාර සාදා දීමට සර් ඩී බී ජයතිලක මහතා ඉන්දියාවට තල්ලු කර දැම්මා වගේය. බණ්ඩාරනායක මහතාවද මෙසේ තනතුරක් දී ලංකාවෙන් පිටකර යැවීමට සුද්දන් ට්‍රයි කලා කියා මා අසා ඇත.

    මලලසේකර මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නියෝජිතයා වශයෙන් ගිය විට විදේශ සේවා නිලධාරීන් ක්‍රියා කල ආකාරය ලැජ්ජාශීලිය. එවකට (1961-63)එහි දෙවෙනියා වශයෙන් සිටි නිලධාරියා පින්තු මොරගොඩය (මිලින්ද මොරගොඩගේ පියා).  මලලසේකර මහතා එහි සභාපති තනතුරට තරඟ කල විට ඔහුට පක්‍ෂ හා විපක්‍ෂ යයි සිතන රටවලට චන්දය ඉල්ලා යවන ලද වෙනස් ආකාරයට පිලියෙල කරන ලද ලිපි නිලධාරීන් විසින් වැරදි රටවලට යවන ලදී. උදාහරණයක් වශයෙන් රුසියාවට යැවිය යුතු ලිපිය කැනඩාවට හෝ ඇමෙරිකාවට යැවීම! ඔහු පැරදීම පුදුමයක්ද?

    1992 මැයි 15දා ගොබචාව් ඇමෙරිකාවේ කොන්ග්‍රස් එක ඇමතූ දවසේ ඇමෙරිකාවේ සිටි ලංකා තානාපති කරගත් විනාශය මේ රචනාව ලියන මේ මොහොතේදීත් මට මැවී පෙනේ. එය ඩෑන් රාදර් විසින් කල සී බී එස් ජාතික රුපවාහිනි සජීවී විකාශනයෙන් මුළු ලෝකයම දැක්කේය. ආසියානු පෙනුමක් ඇති ත්‍රීපීස් සූට් එකක් ඇන්ද මිනිහෙක් පොලිස් බැරිකේඩ් එක පසුකර ඇතුලට යාමට තැත් කල විට පොලිස් නිලධාරියා එය වැලැක්වීය. එවිට ඔහු බලෙන් ඇතුල් වීමට සැදුවේ ය. පොලිස් නිලධාරියා ඔහුගේ බෙල්ලෙන් අල්ලා එලියට තල්ලු කර දැම්මේ ය. මෙවිට සද්ද නොකර ගෙදර යනවා වෙනුවට මේ ත්‍රීපීස් මිනිහා කලේ පොලිස් කාරයා ලගට ගොස් “මම ලංකාවේ තානාපති, නුබේ නම කුමක්ද?” කියා ඇසීමය. ඔහු එසේ නොකරන්නට ඔහු කවුද කියා ලෝකයම දැනගන්නේ නැත.  මේ අවස්ථාවේදී ඩෑන් රාදර් පොලිස් නිලධාරියාගෙන් ඇසුවේ, “ඔහු කියනවා ඔහු ලංකාවේ තානාපතිය කියා, ඔහුට යන්න නොදුන්නේ ඇයි?” කියාය. “ඔහු ඔහුට ඒමට නියමිත කාලයට වඩා පැය දෙකකටත් වඩා ප්‍රමාදයි, අපට නියෝග කර තිබෙන්නේ පැය දෙකකට පසු කිසිම කෙනෙකුට ඇතුල්වීමට නොදෙන ලෙසයි.” මේ තානාපතිකාරයා හිතුවේ ඇමෙරිකාවේ පොලිසිය ලංකාවේ පොලිසිය වගේ කියා විය යුතුය. මේ තානාපති කවුද? ඔහුට ලංකාවෙන් දුන් දඬුවම කුමක්ද?

    ඒ කාලයේ ලංකාවේ තානාපතීන් කලේ තමන්ගේ ලමයින්ට පිටරට ඉගෙන ගන්නට අවස්ථාවක් ඒ මඟින් පාදා ගැනීම මිස රටට සේවය කිරීමක්ද? දැන් කාලයේ තානාපති කාර්‍ය්‍යාලවල (මා දන්නේ ඇමෙරිකාව ගැනය) අයගේ නෑයින් කරන්නේ බේබිසිටින් කර හෝ සල්ලි හම්බ කිරීමය. දැන් කාලයේ තානාපතිකම් ගන්නේ සල්ලි හම්බකර ගන්නට මොනයම් හෝ බිස්නස් මඟක් පාදා ගැනීමට හා ලමයින්ට උගන්වා ගන්නටය. ගාම්ණී ජයසූරිය මහතා 1987දී ජේ ආර් විසින් මන්ත්‍රීන් ගෙන් ගත් දිනයක් නැති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් නොකල එකම මන්ත්‍රී වූවා වගේ කළුනික වැනි යහපත් මහත්ම මහත්මීන් මේ අතර සිටිය හැකිය. එවැනි මා දන්නා එක් පුද්ගලයෙක් නම් ආචාර්ය අයිවන් අමරසිංහය. වියට්නාම් තානාපති වශයෙන් ඔහු ගියේ ඔහුගේ ගාල්ලේ රිච්මන්ඩ් කොලේජ් මිත්‍රයාවූ මහින්ද රාජපක්‍ෂගේ ඉල්ලීමට රටට සේවයක් කිරීමට සිතා ගෙනය. තමන්ගේ ලන්ඩන් නුවර නිදහස් ජීවිතය හා දරු පවුලෙන් වෙන්ව ඔහු වියට්නාමයේ සැපයක් වින්ඳේ නැත.

    මේ රචනා මාතෘකාව මගේ හිතට ඒමට එක් කරුණක්වූයේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී 2014 අගෝස්තු 6දා කල කතාව යූ ටියුබ් එකෙන් දැකීමය. එය දුටු විට රට ගැන ඇතිවන්නේ බලවත් සන්තාපයකි. බාගෙන කෑම හා ඉහගෙන කෑම අතර ඇති වෙනසය. තානාපතිවරු 49 න් 35 ක්ම දේශපාලන හා නෑ හිතවත්කම් උඩ දුන් පත්වීම් ය. අයිවන් ගැන මා දන්නා දේ අනුර කුමාරට දැනගැනීමට විධියක් නැත. නමුත් ඔහු කරන චෝදනාව ආණ්ඩුවට මඩ ගැසීමක් නොවන්නේ සාධාරණ සීමා ඉක්මවා තානාපති සේවය පක්‍ෂ දේශපාලන බත් කඩයක් කර ඇති නිසාය. නුසුදුසු පුද්ගලයින් තානාපතීන් කර පිටරට සමාගම්වලට ඩොලර් දී ලියුම් සදා ගැනීම, නිලධාරීන් 156 න් 70 ක් පමණ සයිබීරියාවක තැබීම, කැන්බරා වල කාර්‍ය්‍යාලයේ 20 න් 19 ක්ම දේශපාලන පත්වීම් වීම රට තමන්ගේ බූදලයක් සේ සිතා ක්‍රියාකිරීමටත් වඩා භයානක වන්නේ මේ අය ඒ තනතුරුවල සිට රටට නැති අපකීර්තියක්ද ගෙන එන නිසාය.

    විදේශ සේවය කළුසුද්දන්ගෙන් පිරී තිබු තැනක් විය. දැන් සිදුවන්නේ සීමිත කළුසුද්දන් පිරිසක් නුසුදුසු පුද්ගලයින්ගෙන් එය පුරවා ගෙන රට විනාශ කිරීමය. අඩු තරමින් තමන්ගේ රක්‍ෂාව බේරා ගත යුතු නිසාවත් , ස්ථිර නිලධාරීන් රක්‍ෂාව ටික දුරකටවත් නම්බුකාර ලෙස ඉටු කරයි. නමුත් ගොනා වලන් බිඳිනවා මෙන් ගොන්නුන්ට රාජ්‍ය ආයතන භාර දුන් විට ඒවායේ ස්ථිර නිලධාරීන් කරගෙන සිටි හොඳ වැඩ ටික වත් හරියට නොකර බලවත් කලකිරීමෙන් කාලය මරමින් සිටී. මහ බැංකුවට කබ්‌රාල් දමා සිදුවූයේ මෙය බව නිසැකය. මෙවැනි ක්‍රියාවල ආනිසංශ රටට දැනෙන්නේ කලක් ගතවීය. විදේශ අමාත්‍යංශයට කල හානියේ විපාක දැන් දෙයාකාරයකින්ම යුරෝපා සංගමයෙන් එලිවිය. මාළු තහනම හා කොටි ත්‍රස්තවාදයට තිබූ තහනම ඉවත් කිරීම මේ දෙකය. බොදු බල සේනාවේ වචන වලින් කියනවා නම් තානාපති සේවය හරහා ලංකාවට අබ සරණයි.  

2 Responses to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (3)”

  1. Nanda Says:

    “සජින් වාස් ගුණවර්‍ධන නමැති ඕ ලෙවල් වත් පාස් නැති නුසුදුසු මිනිහෙක්, රෝඩ්ස් ස්කොලර් ජී එල් පීරිස් ඇමති නම් පඹයා සමග (ඔහු කොටි බාලසිංහම් ඇමතුවේ හිස් එක්‌ෂලන්සි කියා ය)ලංකාවට කරන හානිය මේ දවස්වල වාර්‌තාවූ නිසාය.”

    – when you write like this, I have to take a deep breadth and reach a skilful state of mind to read it. It is a challenge.

    Who is responsible for this horrible new “low” ?

    It brings to my mind the time I spent with my friends of a HC in Singapore. They were ordinary people, came up from the rank, not Kalu Suddas.

  2. Nanda Says:

    “තානාපතිවරු 49 න් 35 ක්ම දේශපාලන හා නෑ හිතවත්කම් උඩ දුන් පත්වීම් ය. අයිවන් ගැන මා දන්නා දේ අනුර කුමාරට දැනගැනීමට විධියක් නැත. ”

    – මා දන්නා දේත් අනුර කුමාරට දැනගැනීමට විධියක් නැත.

    This means actual number is more than 35.

    But because MR defeated LTTE we must worship him. He must be Allah then.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress