කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (7)
Posted on November 5th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

රෙදි ගැලවීම නිසා යටගවුමෙන් ඉන්නා කඳු!
(නොහොත් මීරියබැද්ද නාය ගියාද නැත්නම් නාය යැව්වද?)
    කොස්ලන්දේ මීරියබැද්ද නාය යාම හා කළුසුද්දන්ගේ හැසිරීම අතර සම්බන්‌ධයක් තිබේද යන්න විමසා බැලීම කාලෝචිතය කියා සිතේ. එය කළුසුද්දන්ගේ ආධිපත්‍යය පෙන්වන නිදසුනක් සේ පෙනේ. (මෙම රචනා කොටස ලිවීම ආරම්භ කලාට පසුව ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර විසින් නොවැම්බර් 3 දා මාධ්‍ය හමුවකදී කල ප්‍රකාශනයක් (විඩියෝ පටයක්) ගොසිප් ලංකා වෙබ් අඩවියේ (නොවැම්බර් 4) පලවිය. ඒ අනුව මේ ලයින් ගෙවල් කන්ද උඩ සදා ඇත්තේ සුද්දන්ගේ කාලයේ ය. සුද්දන් කල මේ වැරදි හදා ගන්නට අපට එකවර බැහැ, ඒ සඳහා කාලයක් ගතවනවා යයි ඔහු කියා සිටියේය. 1948 සිට නොව වතු ජනසතුව කල 1972 සිට 2014 දක්වා කාලය මේ වැරදි නිවැරදි කරගන්නට නොසෑහුණේ කළුසුද්දන් නිසා නොවේද බව මේ ඇමතියා විසින්ම දැන් එළිදරව් කරදී ඇත. මෙම මීරියබැද්ද කෙසේ වෙතත් දැන් මෙන් කඳු බුල්ඩෝසර් කිරීමේ මනසක් සුද්දන්ට නොවීය. දුම්‍රිය පාරට, තේ වත්තේ බංගලාව හැදීමට කඳු කැපුවත් ලයින් කාමර සඳහා නාය යාමේ අවදානම ඇති කඳු යොදාගැනීමට තරම් සුද්දා මෝඩ නොවීය. ඉන් පාඩු වන්නේ ඔහුටම නිසාය. මේ නිසා ඇමතියාගේ චෝදනාව මෝඩ කතාවකි.)

    සුද්දන්ගේ වැරදි ගැන කතා කිරීමත්, සුද්දන්ට අයුතු චෝදනා කිරීමත් පටලවා නොගත යුතුය යන රීතිය මෙම රචනා ලිවීමේදී මම අනුගමනය කරමි. ලංකාවේ ස්වභාව සෞන්‌දර්යය ඉතා ඉතා ඉහල අන්දමින් භුක්ති වින්ඳේ සුද්දන් ය. තම තේ වත්තේ ලිප්ටන්ස් සීට් එකේ ඉඳගෙන ලිප්ටන් නම් සුද්දා, පැහැදිලි අහස ඇති දිනවලදී ලංකාවේ මුහුද හතර පැත්තෙන්ම දුටුවේය. මෙය වරදක් යයි කියන්නට පුළුවන් ද? දැරනියගල පැත්තේ එක පාරක් තේ වත්තකින් කෙළවර වේ. මේ වත්තේ සුද්දාගේ බංගලාවට පෙනෙන දර්‍ශනය මෙසේ ය. උදේ වරුවේම ඈතින් පෙනෙන සමනල කන්ද හවස දෙක පමණ වනවිට වළාකුළු වලින් වැසී යාමට පටන් ගනී. තුන හතර වන විට වර්‍ෂාවෙන්  ප්‍රදේශය වැසී යයි. මේ සුද්දා මෙසේ ජීවත් වූ එකත් දැන් කාලයේ හොරෙන් නමුනුකුල වැනි රක්‍ෂිතවල හොර සල්ලිකාරයින් (දේශපාලක හොරුන් හා ඔවුන්ගේ හෙංචයියලා) හොර බංගලා සැදීමත් අතර විශාල වෙනසක් ඇත.
 
    එංගලන්තයේ ලන්ඩන් පත්තරයක් විසින් ප්‍රථම වරට ලංකාවේ තේ වතු වල වසන කම්කරුවන්ගේ දුෂ්කර ජීවිතය (ඔවුන්ව සූරාකෑම ගැන) ගැන වාර්තා කලේ තේ වතු ආණ්ඩුව විසින් ජනසතු කලාට පසුවය. 1867 සිට 1971-72 වන තුරු තිබුණේ සුද්දන් සඳහා සුද්දන්ගේ වතුවල නිපදවූ ඔරේන්ජ් බ්‍රෝකන් පෙකෝ වැනි ඉස්තරම් වර්‍ගයේ තේකොළය. දුප්පත් සිංහලයාට බීමට සිදුවූයේ පැක්ටේරියේ බිම අතුගා එකතු කල තේ ඩස්ට් (කුඩු) ය. තේ වතු ජනසතු කල පසු තේ වතුවල කොන්‌දොස්තරලා වූයේ බස් කොන්‌දොස්තරලාය. අනිත් හැමදේම මෙන්ම දේශපාලකයින් නුසුදුසු පුද්ගලයින්ගෙන් තේ වතු පිරවූවේය. මොවුන් විද්‍යාත්මකව හා ශාස්ත්‍රාණුකූලව එතෙක් කරගෙන ගිය සුද්දන්ගේ තේ වතු පාලන ක්‍රමය සහමුළින්ම බකල්කර දැම්මේය.

    1977 දී ජේ ආර් බලයට ඇවිත් බංකොලොත් වෙමින් පවතින ජනසතුකල තේ වතු ආපසු විකිණීමේ ක්‍රමයක් ආරම්භ කලත් ඒවා අළුතින් අල්ලාගත් කළුසුද්දන් ඉතා කෙටි කලකින් උපරිම ලාභයක් ලබා ගන්නා හැටි මිසක් සුද්දන්ගේ කාලයේ වගේ දුර දිග බලා සැලසුම් කිරීමේ ක්‍රමයක් නොවීය (සුද්දන් වුනත් ජනසතු වේය යන සැකය නිසා 1956 ට පසුව තේ වතු නඩත්තු කිරීමට ධනය යෙදවීම අතපසු කලා කියා කියැවේ). මේ දැන් සිදුවන නාය යෑම් එම හැසිරීමේ ඍජු ප්‍රතිඵලයක් නෙවේද? තේ වතුවල ඇති රුස්ස ගස් කපා විකුණා හිඟ සේවක අර්‍ථසාධක අරමුදල් ගෙවීමට තීරණය කලා වගේ තේ වතු වල උඩින් ඇති කෑලෑ රැක ගැනීමට කිසිම තැකීමක් මේ හොරුන් කලා යැයි සිතිය හැකිද? කඳුවල ඇඳුම් වන කැලෑ කපා දමා කඳු යටගවුමෙන් තැබීම ගැන ධර්‍මසිරි සෙනෙවිරත්න විසින් ලංකාවෙබ් අඩවියේ ලියා ඇත. හුදෙක් තම වාසියම බලමින් රටට හෙනගැහුවත් කමක් නැතැයි සිතන අයට ක්ළුසුද්දන් යන ලේබලය දීම උචිතය කියා මට  සිතේ.

    වනාන්තර පෘතුවියේ පෙනහළුය කියා කියන්නේ ඒවා වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් උරා ගෙන ඔක්‍ෂිජන් පිට කරන නිසාය. මෙවැනි සිතීමක් තබා අඩු ගණනේ තේ වත්ත නාය යන එක ගැන හිතාවත් ක්‍රියා නොකරන්නේ ඒවා දැන් අයිතිකර ගෙන සිටින්නේ සිංහල බෞද්ධයින් නොවන නිසාම නොවේ. මිනිසා, මිනිසා සූරා කෑම කළුසුද්දන් අනුගමනය කරණ රීතියක් නිසාය. ලයින් වල ඉන්නා මිනිසුන් ගේ ජීවිත ඔවුන්ට වැදගත් නැත. නාය යෑමේ අවදානම ගැන ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය කලින් දෙවරක්ම දැනුම් දී තිබියදීත් ඒවා ශතපහකටවත් ගණන් ගෙන නැත්තේ ඒ නිසා නොවේද? සුද්දන් කැලෑ නොකපා ඉතුරුකලේ වැස්සෙන් සිදුවන පාංශු ඛාදනය වලක්වා ගැනීමටත්, තේ වත්තේ තිබෙන දියපාරවල් රැක ගැනීමටත් ය. අධික වර්‍ෂාව පවතින ප්‍රදේශවලදී කැලෑ ඇත්තටම රෙද්දක් ඇන්ඳාවගේය. එකපාරටම වතුර ගලා යා නොදී පසට උරා ගෙන එහි පිටවී යාම ප්‍රමාද කරයි. සමනොල කඳු වැටි ප්‍රදේශය තේ වතු වලට එලිකිරීමෙන් බේරුණේ ශ්‍රී පාද ලාංචනය නිසාය. එසේ නොවන්නට මහවැලි, කැළණි, කළු හා වලවේ ගංඟා හිඳී ගොස් ඒවා ලංකාවට නැතිවී යන්නටද ඉඩ තිබුණි. 

කැටැස්ට්‍රොපික් තියොරි ඔෆ් ප්ලෑනින්

    ලෝකයේ වෙන රටවල නම් ආණ්ඩු/පාලකයින් අතීතයෙන් පාඩම් ඉගෙන ගනී.  මෙයට කියන්නේ කැටැස්ට්‍රොපික් තියොරි ඔෆ් ප්ලෑනින් කියාය. මේ අතින් ලෝකයේ හැම රටකම වගේ සිදුවන්නේ එකම සෙල්ලම මය. මේ අනුව සුළු කොටසක් පාලන බලය අල්ලා ගෙන එයට ප්‍රජාතන්ත්‍රවාදය කියා නමක් දී, අනිත් පොදු ජනතාව සූරාගෙන කෑමට අවශ්‍ය නීති පනවා ගෙන, ඒ නිති ක්‍රියාවේ යෙදවීමට නිතියේ ආධිපත්‍යය (රූල් ඔෆ් ලෝ) කියා නමක් දී, තම පන්තියේ යහතින් වැජඹීමේ අදහසින් සංවර්‍ධන සැලසුම් ක්‍රියාවට නංවයි. මෙසේ සැලසුම් කලත් නොසිතූ ප්‍රශ්න මතුවිය හැකිය. උදාහරණයක් වශයෙන් තෙල් ගෙන යෑමට සැදූ තනි ටැංකියේ නැවක් මුහුදු වෙරළ ආසන්නයේදී ගල්පරයක වැදී කැඩී යාමෙන් පරිසරයට විශාල හානියක් සිදුවිය. ඒ නිසා ඉන් පසුව එවැනි නැව්වල බඳ ටැංකි දෙකකින් (ඩබල් හල් ටෑන්කර්ස්) සමන්විත කිරීමට නීති පනවන ලදී. ඩී ඩී ටී, ඊයම්, ඇස්බැස්ටෝස්, තැලිඩොමයිට්, ඒජන්ට් ඔරේන්ජ් යනාදියේ හානි දැනගත් පසු ඒවා තහනම් කරණ ලදී.

    ආහාර පාන වල වස විස, මස් මරණ තැන්වල අපිරිසිදුකම් ආදිය නිසා බරපතල මිනිස් හානි සිදුවන බව දැනගත් විට ඒවා වැලැක්වීමට ඇමෙරිකාව වැනි රටවල අළුතින් නීති පනවන ලදී. භූමි කම්පාවලට ලක්වන ප්‍රදේශවල ගොඩනැඟිලි සැදීමේදී අනුගමනය කලයුතු දැඩි නීති පැණවීම නිසා කැලිෆොර්නියාව වැනි ජනපදවල සිදුවන හානි අවම කරගෙන තිබේ. ලංකාවේ මෙවැනි ස්වභාවික ආපදා අවම කර ගැනීමේ පියවර ගෙන තිබේද? හානිය වූ විට සහනාධාර දීම මිස, හානි වැලැක්වීමේ හෝ හානි අවම කර ගැනීමේ ප්‍රතිපත්ති ලංකාවේ දේශපාලක ක්‍රමයේ ක්‍රියාත්මක වේද? අඩු තරමින් අළුතෙන් හදන පාරක් වත් ප්‍රමිතියට අනුව හැදෙනවාද? ඇමෙරිකාවේ පාරක් හෝ පාලමක් බාල ව්ධියට හැදුවොත් කොන්‌ත්‍රාත්කාරයාට සිදුවන්නේ ඒවා යළි අළුතෙන්ම සදා දීමටය. මේ නිසා හොරකිරීමක් සිදුවන්නේම නැත.

    එක්තරා උසකට ඉහලින් කඳුකපා එලිකිරීම තහනම් කල නීතියක් සුද්දන් ව්සින් පණවන ලදී. මේ නිති අද කෙසේ ක්‍රියත්මක වෙනවාද යන්න ප්‍රශ්නයක් වන්නේ දේශපාලකයින් විසින් මුදලට, වාසියට මේ නිති කඩකිරීම නොදැක්කාවගේ හැසිරීමය. බොහෝ විට එසේ නීති කඩකරන්නේ දේශපාලකයාගේ ලඟම ඥාතීන් විසින් ය. ඉන්දියාවේ බොහෝ පාරවල පේව්මන්ට් ප්‍රසිද්ධ වැසිකිළි වැනිය. ලංකාවේ තත්‌‌වය එතරම්ම සවුත්තු නුවුනත් පාරේ කාරා කෙළ ගැසීම, පාරට කුණු දැමීම සිහිපත් කරන්නේ ට්‍රැජඩි ඔෆ් ද කොමොන්ස් යන මිනිස් හැසිරීමය. පොදු සම්පත්– මුහුදු වෙරළ, ගංඟා, වැව්, පොදු ජලාශ, පිරිසිදු වාතය, ජලය, තණබිම්, රාජ්‍ය වනාන්තර, පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන– පුද්ගලික අයිතිය යටතේ නැති නිසා ඒවා දූෂණය කිරීම, සූරාකෑම, කොල්ලකෑම හෝ හොරකම් කිරීම වැලැක්වීමට කෙනෙක් ඒ ස්ථානවල නැත. ආණ්ඩුවේ පඩි ලබන මුරකාරයෙක් සමහරවිට සිටියත් එය කාර්යක්‍ෂම නැත. පොදු සම්පත් සූරා ගැනීමෙන් යම් පුද්ගලයෙකුට කෙටි කාලයේ දී වාසියක් ලැබුණත්, දිගුකාලයේදී ඒ පුද්ගලයාද ඇතුළු පොදුවේ හැම දෙනාම විශාල පාඩුවක් විඳියි. යම් දුඟඳ හමන විලක්, ඇලක් දකින විට එහි පිටිපසින් ඇත්තේ මේ ආකාරයේ ආත්මාර්‍ථකාමී මිනිස් හැසිරීමය.

    කොස්ලන්ද නාය යාමද මෙවැනි කැත ක්‍රියාදාමයක ප්‍රතිපලයකි. තේවත්ත මිලදී ගත් කොම්පැනියේ අරමුණ හැකි ඉක්මණින් උපරිම ලාභයක් ලබා ගැනීම මිස තේවත්තේ හෝ එහි වැඩකරණ මිනිසුන්ගේ දිගුකාලීන යහපත නොවේ. මෙහිදී මගේ මතකයට එන්නේ 1971 කාලයේ ජේ වී පී එකේ පන්ති පහෙන් එකකට අයත් වූ තේ වතු නැවත කැලෑ බවට පෙරලීමේ කතාවය. මෙම යෝජනාවම ඒ කාලයේ පත් කල තේ කොමිශන් සභා වාර්තාවේ කර තිබුණි. කොස්ලන්දේ මෙම ස්ථානයේ තිබූ නාය යෑමේ අවදානම එහි ජීවත්වූ මිනිසුනුත්, ආණ්ඩුවේ නිලධාරිනුත්, තේවත්තේ අයිතිකාර කොම්පැනියත් කල් තියා දැන සිටියේය.  ජිනදාස කටුපොත හිටපු විද්‍යොදය භූගෝල විද්‍යා මහාචාර්යවරයා අසන ආකාරයට මීරියබැද්ද නාය ගියාද, නාය යැව්වද යන්න මතක් කරන්නේ සෝම හාමුදුරුවන් අපවත් වුනාද, අපවත් කලාද වගේම ප්‍රශ්නයකි.

    ධනවත්, බලවත් සුළු කොටසක් වන පාලක පන්තිය තමන්ට ජීවත්වීම සඳහා ඉස්තරම්, අලංකාර ස්ථාන සොයා ගනී. ගල් අඟුරු ඉන්‌ධන ලෙස පාවිච්චි කල නගරයේ නොයෙක් පැක්ටරි වලින් අහසට යන විෂවායුවෙන් ධනවත් අය බේරුණේ ඒ පැක්ටරි දෙසට හුලං හමායන පැත්තේ තිබෙන උස කඳු ගැටවල බංගලා හදා ගැනීමෙනි. පැක්ටේරිය පසුකර ගෙන හුළඟට මුහුන දෙමින් පහත් බිම්වල තිබුණේ දුප්පත් කම්කරු නිවාස පෙලවල් ය. පෝසත් මිනිසුන් ඉන්නා ස්ථානවලට කෘතිම හෝ ස්වාභාවික අනතුරක් එල්ල වනවා නම් පෝසත් අය තම දේශපාලන බලය යොදවා එම අනතුර අවම කිරීමට ප්‍රතිකර්‍ම සොයා ගනී. ග්ලෝබල් වෝර්මින් නිසා මුහුදේ ජල මට්ටම ඉහල යන නිසා ඕලන්දයේ වෙරලාසන්නව වසන ධනවත් ජනයා ඊට නොයෙක් ප්‍රතිකර්‍ම යොදා ගනිමින් සිටී. එක් විසඳුමක් නම් පාවෙන බංගලාවල් සදා ගැනීමය. බංග්ලා දේශයේ ජනයාට බංගලා නැත. ඔවුන් කරන්නේ වලක් හාරා ඒ පස් ගොඩ උඩ පැලක් අටවා ගෙන ගංවතුරෙන් බේරීමය. පායන මාස හය තුලදී හාරපු වල වතුර ටැංකියක් වී මාළුවන් හදන තැනක්ද වේ. කොස්ලන්ද මිනිසුන්ට හා කොම්පැනියට දෙපාරක්ම දැනුම් දුන්නා, මිනිසුන්ට ආරක්‍ෂාව සඳහා යන තැන් පෙන්වා දී තිබුණා යන කතා කුහක කළුසුද්දන්ගේ කතාය. අඩු ගණනේ සුදුසු තැන්වල ඉඩම් කට්ටි වෙන්කර බෙදා දී අත්තිවාරමවත් දමා දීම කොම්පැනියේ වගකීමද, රජයක මැදිහත් වීමේ වගකීමද?

    ලංකාවේ අද දක්නට ලැබෙන ප්‍රභාකරන් කාලයේ වගේම භයානක යුද්ධ නම් පරිසර දූෂණය, පගාව, අන්ත දරිද්‍රභාවය හා විනය හා සදාචාරාත්මක පරිහානියය. ගම, වැව හා දාගැබ යන ත්‍රිත්වය මත අතීත ලංකා සමාජය ගොඩ නැගී තිබුණි. වැව් බැඳි රටට මහවැලි ගංඟාව ඩොලර් උඩින් ගෙන යාමේදී පැරණි ඇලවල් බුල්ඩෝසර් කල බූරු තරුණ ඉංජිනේරුවන් දැන සිටි ලංකා ඉතිහාසයක් හෝ භූගෝලයක් නැත. දැන් ඔවුන් දන්නා වකුගඩු රෝගයක්ද නැත. ඔවුන්ව මෝඩයින් ලෙස පාවිච්චීකල දේශපාලකයින්‌ද දැන සිටි කෙන්ගෙඩියක් නැත. ඊට කලින් සිටි සිවිල් සේවකයින් හා විශ්ව විද්‍යාල ගුරුවරු ද ඉංග්‍රීසි කටගාගත් කළුසුද්දන් විය. හම්බන්තොට වරාය හෝ මත්තල ගුවන් තොටුපල හොඳ අදහස් ය. නමුත් වරායේ ගල මුලදීම නොකැඩීම හා ගුවන් යානා වලට කොළඹින් බව්සර් වලින් තෙල් ගෙනයාම ගොන් නිලධාරීන් එහෙයියන් වීම නොවේද? බොරු ශොබනයට වැඩේ ඉක්මණට කර විවෘත කර ගැනීම නිසා දැන් සිදුවී ඇත්තේ කුමක්ද?

    1950 ගණන්වල හෝ 1970 ගණන්වල නොව දැන් 2014 දී වත් රටේ අනාගතය ගැන නොසිතීම ඛේදජණකය. පහසුවෙන් විසඳිය හැකි ඉතා සරළ ප්‍රශ්න බලවත් අර්බුද, කොටි වල්ග, කරගෙන දඟලන්නේ මේ පාලක පිරිස් හා යූ එන් පී, ජේ වී පී රැළ කළුසුද්දන් නිසා නොවේද? උදාහරණයක් වශයෙන් 1832 න් පටන් ගත්, ලංකාව කෘතිම පලාත් නමයකට බෙදීම දිවයිනේ භූගෝල විද්‍යාවට අනුව නොගැලපෙන බව මේ කළුසුද්දන්ට නොතේරෙන්නේ කුමක් නිසාද? ග්ලෝබල් වෝර්මින් නිසා තවත් තීව්‍ර වී ඇති ගංවතුර, නියඟ, ජල හිඟය, පිරිසිදු ජල හිඟය, වාරිමාර්‍ග ජලය වස විසෙන් දූෂිත වීම (වකුගඩු රෝගය), නගර වල හා පැක්ටරි වල කැලි කසළ වලින් ජලය රැක ගැනීම, භුගත ජල සම්පත හිඳීයාම හා නායයෑම් යන අර්බුද වලට මුහුණ දීම සඳහා කල යුතු වැදගත්ම දෙයක් නම් ලංකාවේ කුඩාම සිවිල් පරිපාලන ඒකක (ග්‍රාම සේවක නිලධාරී වසම්) ජලය මත පදනම් කරගෙන නැවත මායිම් බෙදීම නොවේද?

    ලංකාවේ කිසිම කෙනෙක්, හොර දේශපාලකයින් රැළ හෝ අතුරැලියේ රතන හෝ මාදුළුවාවේ සෝභිත හෝ බොදු බල සේනාව හෝ චම්පික රණවක, උදය ගම්මන්පිල හෝ විමල් වීරවංශ ලාට මේවා නොපෙනෙනේ කුමක් නිසාද? 4,004 ක් වූ ග්‍රාම සේවා කොට්‌ඨාශ සංඛ්‍යාව 14,000 ක් දක්වා ආර් ප්‍රේමදාස වැඩි කලේ මොන පදනමක් යටතේද? ලෝකයේ කිසිම රටක මෙවැනි ඔල්මාද ක්‍රියාවක් සිදුව නැත. මේ නිසා මේවා ජලය-පරිසරය (ඉකොලොජි) ආශ්‍රිතව නැවත බෙදිය යුතු නොවේද? 14,000 ක් කිරීමෙන් මහජනයාට යහපතක් සෙතක් සැලසුනාද, ඒ මඟින් යූ එන් පී හෙංචයියලාට රක්‍ෂා දීම හැර.  නිව් සීලන්තයේ සිවිල් පාලන ඒකක බෙදීම මෙසේ ගංගා නිම්න අනුව කල යුතු යයි නීතියෙන් නියම කර ඇත. වැසි ජලය පොළොවට වැටීමේදී ගස් කොලන් වල (වනාන්තර) ඇති වටිනාකම අති විශාල නිසා ගම් මට්ටමින්ම ගස් කැලෑ රැක ගැනීමද වැදගත් ය.

    ලංකාවේ අතීත සිවිල් පාලන ත්‍රිත්වය වුයේ ගම-වැව-දාගැබ ය. වැව් බැඳි රට අවුරුදු දහස් ගණනක් පැවතියේ ඒ නිසාය. වැව හෝ යම් ජලාශයක්, ගඟක්, ඔයක්, ඇලක් ගමේ ආර්ථික කේන්ද්‍රස්ථානය විය. දැන් කාලය වනවිට ලිඳක් වුවද කුඩා ගමක පණ නාළිය විය හැකිය. මෙම ආකාරයට ග්‍රාම සේවා වසම් අළුතින් මායිම් කිරීම දැන් රටේ පවත්නා බලගතු ප්‍රශ්න දෙකකටද විසඳුම් සපයයි. එකක් නම් වෙනම රටවල් ඉල්ලන දෙමල (වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රකාශනය) හා මුස්ලිම් (ඔළුවිල් ප්‍රකාශනය) අන්තවාදය ය. රටේ සිවිල් පාලන ඒකක ඉකොලොජි අනුව බෙදීමෙන් භාෂාව (දෙමල) හෝ ආගම (ඉස්ලාම්) අනුව බිම් ඒකක ගැන සිතීමට ඇති අවකාශය නැතිවේ.

    මෙසේ ග්‍රාම සේවක ඒකක ගංඟා නිම්න අනුව (ජලය/පරිසරය) මායිම් කිරීමෙන් කල හැකිවන තවත් දෙයක් නම් ලංකාවේ ගංඟා මධ්‍යම කඳුකරයේ සිට රට වටේට ගලන ආකාරය ගැන කිසිම තැකීමක් නොකර, හුදෙක් සුද්දන්ගේම වාසිය සඳහා කරන ලද පලාත් නවයේ බෙදුම ඉවත් කර අළුත් ආකාරයේ පලාත් හතකට දිවයින බෙදිය හැකිවීමය. මෙසේ ගංඟා නිම්න හතකට බෙදූ විට සෑම පලාතකටම මුහුදු මූණතක්ද ලැබෙනවා පමණක් නොව, පලාත් වල ප්‍රමාණයද බොහෝ දුරට එක සමානව පවතී. දැන් පවතින ආකාරයේ දිස්ත්‍රික්ක ඕනෑ නම් නිම්න හතේ බෙදුම නිම්න 25 ක් වනසේ බෙදිය හැකිය. එපමණක් නොව පාර්ලිමේන්තු චන්ද කොට්‌ඨාශද එසේ බෙදා ගත හැකිය. මීට හේතුව මතුපිට ගලා යන ජලය දිය උල්පත, දිය පාර, ඔය, ඇල, දොළ, ගංඟාව යනාදී වශයෙන් විශාල ගංඟා නිම්න හතක් වශයෙන් මුහුදට වැටෙන නිසාය. ලංකාවේ විනාශය වන 13-ඒ යටතේ ඇති කල පලාත් සභා ක්‍රමය අහෝසි කල යුතු එය ලංකාවේ විනාශයට හේතුවක් වී ඇති සවුත්තුම සුදු අලියෙක් වීම නිසා පමණක් නොවේ. 13-ඒ අනුව ලංකාවේ උතුර හා නැඟෙනහිර ඓතිහාසික දෙමල නිජ භූමියක් කියා ව්‍යවස්ථාවෙන්ම පිලිගෙන ඇති නිසාය.

    සිංහල මිනිසුන්ට, විශේෂයෙන් සිංහල බෞද්ධයාට, ටැමිල්නාඩ් හා ලෝක දෙමල බලවේගය ගැන ඇති බිය නැතිකිරීමට නම් උතුරු, නැඟෙනහිර, මලය රට යනාදී ලෙස
සිතීමට හා ක්‍රියාකිරීමට ඇති ඉඩ නැති කිරීමය. දැන් අළුතෙන් ඇති තවත් තර්‍ජනයක් නම් ඉස්ලාම් ෂාරියා භීතිය හා අම්පාරේ ඉස්ලාම් පරිපාලන ඒකකයක් ඉල්ලීමය. දැන් පවතින නායයාම් කතාව ඉදිරියේ මෙම තර්‍ජනවලට 21 වෙනි සියවසේ විසඳුම ඉකොලොජි අනුව සිතීම නොවේද? වර්‍ග සැතපුම් 25,332 වන ලංකාවේ ඉන් පහෙන් එකක් (5,066) නායයෑමේ අවදානමට ලක්වී ඇතැයි නිල වශයෙන් වාර්තා වේ.  දිත්‍රික් 25 න් 10 ක් මීට අසුවී ඇත (බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරaෙළිය, රත්නපුර).

    මේ ආකාරයට ඉකොලොජි/භූගෝල විද්‍යාව අනුව සිතීමේ තවත් ප්‍රයෝජනයක් නම් ලංකාවේ දැන් සිදුවී ඇති සමාජ-සදාචාර-විනය හා යුක්තිය ධර්‍මයේ සොදා පාළුව සියේට 50 කින් වත් අඩුකිරීමට ඉකොලොජි අනුව මායිම් කරගත් අළුත් ග්‍රාම සේවක කොට්‌ඨාශ ක්‍රමය යොදාගත හැකි වීමය. එය කල හැකි වන්නේ ජන සභා සංකල්පය ඊට බද්‌ධ කිරීමෙනි. සෑම ග්‍රාම සේවා ඒකකයකම පක්‍ෂ දේශපාලන ක්‍රමයෙන් තොරව චන්දයෙන් තෝරා ගත් කමිටුවකට බලය පැවරීමය. මේ මඟින් මහජනයා දැන් මුණපානා බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලබාගත/ලබාදිය හැකිය. සංහිඳියා කොමිසම යෝජනා කලේද ගම් මට්ටමින් කරන ඩිවොලූෂන් එකක් නොවේද? දැන් අළුතින්ම කොමන්වෙල්ත් ලේකම් ජෙනරාල් කියන්නේත් “තිරසර” (සස්ටේනබල්) ඩිවොලූෂන් එකක් දෙන ලෙසටය. කලින් රොබට් බ්ලේක්ලා, මන් මෝහන්සිංලා කිව්වේ මීනින්ෆුල් ඩෙවොලූෂන් ඕනෑ බවය.

    මහින්ද චින්තනය පොතේ සඳහන් වූ ජන සභා වෙනුවට, ඒ වෙනුවෙන් කල ප්‍රාථමික සූදානම් වීම (ජන සභා ජෙනරාල් කෙනෙක් පවා පත්කර) වෙනුවට හදිසියේම දිවි නැඟුමක් පාත්වූයේ ලංකාවේ අවාසනාවටය. මෙවැනි නැඟුම් වල ඉරණම මීට පෙර රැඟුම් වලට වූ ඉරණම මය. නිලධාරීන් ලවා කොස් දෙල් ගස් හිටවා ගොඩ ආ රටක් ලෝකයේ නැත. දිවි නැඟුමට පෙර සිටි සමෘධි නිලධාරීන් ක්‍රියා කලේ එම සේවය ඇති කලේ මහජනයාට සේවය කිරීමට නොව, සමෘධි නිලධාරී කියා කොටසක් ඇති කර ඔවුන්ව නැලවීමට කියාය. මෙය ප්‍රේමදාස 10,000 කට ග්‍රාම සේවක රක්‍ෂාවල් දීමට ක්‍රියා කලා වගේ මය. බොහෝ දෙනා නොදන්නා දෙයක් නම් ජන සභා වලට සමාන ගැමි දිරිය නම් වැඩ සටහනක් ඉතාමත් සාර්‍ථකව ලංකාවේ ගම් රැසක ක්‍රියාත්මක වෙමින් තිබුණ බවය. මේවා හොර දේශපාලකයින්ට වහ කඳුරු වගේ වූයේ ගැමි දිරිය පක්‍ෂ දේශපාලකයාට තහනම් ගසක් වූ නිසාය. ගැමි දිරිය ගම්වල ජනයා තීරණ ගත්තේ දේශපාලකයාගේ ඇඟිලි ගැසීමෙන් නිදහස් වය.

    මේ ගැමි දිරිය ලංකාවේ දෙමල ජන ප්‍රදේශ වලටත් ගෙන ගියා නම් අද ලංකාව වෙනස් ලංකාවක් ය. නියම ඩෙවොලූෂන් එය වන නිසාය. ඒබ්‍රහම් සුමන්තිරන්ලාට, විග්නේශ්වරන්ලාට හෝ රට කඩන්නට බලන රටේ හෝ පිටරට පිරිසට දැන් දත නියවන්නට හා නියාළු වන්නට රාජපක්‍ෂ ජනාධිපති වරයාට සිදුවී තිබෙන්නේ මෙවැනි පුදුම හැසිරීම් නිසාය. ගැමි දිරිය කඩා කප්පල් කලේ බැසිල් රාජපක්‍ෂ විසින් පමණක්ද නැත්නම් එය ලලිත් වීරතුංග, පී බී ජයසුන්දර, අජිත් කබ්‌රාල් ප්‍රමුඛ කළුසුද්දන්ගේ කල්ලියක ශූක්‍ෂම ප්ලෑනක්ද යන්න මට සිතෙන්නේ මෙම ගැමි දිරිය අදහස නිර්‍මාණය කල හා ක්‍රියාවේ යෙදවූ කිහිප දෙනාව මම පුද්ගලිකව දන්නා නිසාය. දෙමල ප්‍රදේශ පාලම්, පාරවල්. ලයිට් කණු වලින් පිර වූවත්, යලි රට කැඩීමේ තර්‍ජනය ව්‍යවස්ථාව, නීතිය හරහා බෝම්බය වෙනුවට පෑනෙන් මතුවීම හිඟන්නාගේ තුවාලය නැවත අළුත් කර ගැනීමක් වගේ සේ පෙනේ.

2 Responses to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (7)”

  1. Senevirath Says:

    දිගට හරහට මෙහෙම තමය් දෙන්න ඕනෙ බටහිර මිෂනාරි අධ්‍යාපනය විසින් බිහිකළ කළු සුද්දෝ මොට්ටපාලයෝ රටට මහා විනයක්

  2. Senevirath Says:

    කළු සුද්දෝ වගේම හින්දු බෞධ්ධයොත් ඉන්නවා ඊයේ අගමැති ගිහින් ඉන්දියාවේ කෝවිලකට පහුගිය දවසක ජනපති ගියා . තිසරණ හැර වෙන සරණක් නැත කියන්නේ පන්සලේදී විතරය් මුන් ඔක්කොම හොරු පාවාදෙන්නෝ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress