ඡන්දයට හමස් පෙට්ටියෙන් එලියට ගන්නා සිංහලයා
Posted on December 16th, 2014

– දිල්රුක් කන්නන්ගර

 සර්වජන ඡන්ද බලය (1931) ලබාදීමට පෙර කිසිදු දේශීය නායකයෙකු සිංහල ජනතා අභිමතාර්ථ කෙරෙහි කිසිදු තැක්මක් පල නොකළහ. රාජ්‍ය මන්ත්‍රණ සභා ධූරීන් බ්‍රිතාන්‍ය පාලනයට ආවඩනු මිස ජනීජනයා නොතැකූහ.

 නිදහස් අධයාපනය සැමට ලබාදීමෙන් තම පොල් වත්තේ පොල් කඩන්නන් නැතිවන බව පැරණි තාලේ දේශපාලකයකු විසින් කීම කදිම උදාහරණයකි. එහෙත් සර්වජන චන්ද බලය (1931) සමඟ  එය වෙනස්වන්නට විය. දේශපාලකයන් මහජනතාවට ඇහුම්කන්දෙන තත්වයට නිහතමානී වූහ.

 එනමුත් යලි එය ටිකෙන්ටික වෙනස්වනට වූයේ කාටත් නොදැනෙන ලෙසය. අද දේශපාලකයන්ට මහජාතිය මතක් වන්නේ ඡන්දයක් ලං වූවිට පමණි.          

 2010 සිට 2015 දක්වා කාලය තුල රාජ්‍ය තන්ත්‍රය දෙමල දුක්ගැනවිලි සහ දෙමල අභිමතාර්ථ සඳහා අති විශාල කාලයක් සහ මුදලක් යට කළේය. සිංහල දුක්ගැනවිලි සහ අභිමතාර්ථ හමස් පෙට්ටි ගත විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා දෙමල අන්තවාදී ඉල්ලීම් සිය ගණනක් රජය වෙත එල්ල කල අතර ඉන් බොහෝමයක් දැනටමත් ලබා දී හමාරය.

 මාර්තුවෙන් මාර්තුවට ජීවත් වන්නා වූ ආණ්ඩුවට එසේ වීම පුදුමයක් නොවේ. පුදුමය නම් විලි ලජ්ජා නැතිව ආණ්ඩුව සහ පොදු අපේක්ෂකයන් සිහලුන් හමස් පෙට්ටියෙන් ඇද තව වසර හයකට රජවීමට අකටයුතු කිරීමයි. ඡන්දයට මාසයක් තියා සිංහල ප්‍රමුඛ ජනතාවට නොයෙක් ආර්ථික වාසි දීමට දේශපාලකයෝ උත්සුක වෙති. තෙල් මිල, ගෑස්‌  මිල, හාල් මිල සහ කිරිපිටි මිල පහල දමන්නට ආණ්ඩුව කටයුතු කරන අතර, රැකි රක්ෂා, ශිෂ්‍යත්ව, යතුරු පැදි, සහන ණය, වැඩි පොළී ඉතිරුම් ගිණුම්, බස් රථ සහ නව දුම්රිය සේවා වැසි වස්සන්නට විය.

 මාසයක් වැඩකර වසර හයක් රජකිරීම උන් සැමගේ උත්සාහයයි. සිහලුන් එක දෙයක් සිහි තබා ගතයුතු වන්නේය. එනම් ඡන්දයට පසු ඔවුන් යලිත් හමස් පෙට්ටි ගත වන බවයි. එමනිසා ඡන්දයට පෙර සියලු සිංහල අයිතිවාසිකම් සහ සිංහල ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගතයුතු වන්නේය. හිස් ඡන්ද පොරොන්දු වලින් තෘප්තිමත් නොවී, අයිතිවාසිකම් දිනා ගත යුතුය. නොඑසේ නම් බොරු පොරොන්දුකාරයින්ට ඡන්දය නොදිය යුතුය. ලොකුම බොරුව කියා දිනන දේශපාලකයා වෙනුවට හොඳම නායකයා පත්කර ගනිමු. රටට අවශ්‍ය කරන්නේ යුධ අපරාධ හමුවේ මළ මූත්‍ර පහවන නායකයෙකු නොව රටත් මහජාතියත් කරපින්නාගෙන උඩුගං බලා පිහිනන ජනහිතකාමියෙකි. එකී ජනහිතකාමියා පත් කර ගැනීමට මහජාතිය අසමත් වූ තැන සිංහලය තවත් වසර හයකටවත් හමස් පෙට්ටි ගතවනු නොඅනුමානය.  

One Response to “ඡන්දයට හමස් පෙට්ටියෙන් එලියට ගන්නා සිංහලයා”

  1. Christie Says:

    I very much appreciate your idea. The Sinhalese rights are never brought up. Sinhalese have the right to freedom from Indian imperialism and colonialism. Since the arrival of Indians under the British guns from 1792 the Sinhalese are disappearing. Now they lumped as Sri Lankans.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress