කොන්කිස්තදෝස්: අවරෝධයන කරන ලද වේදනාත්මක මතකය  
Posted on December 25th, 2014

  වෛද් රුවන් එම් ජයතුංග 

 කොලට් සේනානායක හා නාරද කරුණාතිලක  යනු  එක්තරා ආකාරයක විවාදාත්මක ලේඛකයන් දෙපළකි. ඔවුන් ඉතිහාසය හදාරති. අප සැමදෙනා දන්නා සංස්කරණය කරන ලද ඉතිහාසයෙන් එහාට ගොස් ඉතිහාසකරුවන් විසින් සඟවන ලද හෝ කාලයේ වැළි තලාවෙන් යටවී තිබෙන ඉතිහාසය මතුකර ගනිති. ඔවුන් දෙදෙනා විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද “කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම” ග්‍රන්ථය සැඟවී ගිය ඉතිහාසය පෙන්වා දීමකි.  

  ඇතැම් විට සත්‍ය වේදනා හා අලාභහානි ඇතිකරවයි. එම නිසා සැබෑ සත්‍යට වඩා මිනිසා සත්‍යයේ ඡායාව පමණක් ග්‍රහණය  කරගනිමින් වේදනාකාරී  රුදුරු සත්‍යය අවරෝධනය කරයි. මෙය පොදු මානසික තත්ත්වයකි. නමුත් සැබෑ ඉතිහාසය බැහැර කිරීම මගින් අප වර්තමානයද අසත්‍ය මායාවක් බවට පත් කරගන්නෙමු. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක විසින් සම්පාදනය කරන් ලද “කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම”  වෙනස් කරන ලද හෝ අවරෝධයන කරන ලද ඉතිහාසය යළි මතුකර ගැනීමට කරන ලද ප්‍රයත්නයකි. මෙම “කොන්කිස්තදෝස් ග්‍රන්ථය ආගම්වාදී හෝ එවැනි අන්තවාදී කෝණයකින් යුතුව නොව විචාරාත්මක බුද්ධියකින් කියවිය යුතු ග්‍රන්ථයකි.  

 යේසුස් ක්‍රිස්තුස් නැමැති ඒ උතුම් ධාර්මික පුද්ගලයා කුරුස ගසේ ඇණ ගසා මරා දැමීමෙන් පසුව මතුවූ ක්‍රිස්තියානි පුනරුදය තමන් ගේ බලය පැතිරවීමට මෙවලමක් කර ගැනීම සඳහා නොයෙකුත් පුද්ගලයන් සහ ආයතන ඉතිහාසයේ විවිධ අවස්ථාවල මතු විය​. එම පුද්ගලයන් , ආයතන සහ රාජ්‍ය මගින් ක්‍රිස්තියානි ධර්මය ප්‍රචලිත කිරීම සඳහා ගත් හිංසාජනක ක්‍රියා මාර්ග වලින් මිනිසුන් දස දහස් ගනනක් මරු දුටුහ​. මෙය ඉතිහාසයේ සදාතනික කළු පැල්ලමකි.   

 ක්‍රිස්තියානි ආගම යනු මුල් කාලයේ පීඩිත ජනයාගේ ආගමක් වූ බව ෆෙඩරික් නීට්ශේ විසින් කියා තිබේ. නමුත් පීඩිත ජනයාගේ ආගම පසු කාලයක බලලෝභීන් විසින් පීඩක  ආයුධයක් කර ගැනීමේ මෙහෙයුම් වලින් ඉතිහාස පොත පිරී තිබේ. උදාහරණයක් ලෙස Spanish Inquisition හෙවත් ස්පාඤ්ඤයේ 1478 දී ස්ථාපිත කරන ලද  කතෝලික විනිශ්චය සභා  මගින් විවිධ ආගමික චෝදනා මත  සාපරාධී ලෙස මිනිසුන් අති විශාල පිරිසක් වධයට ලක් කිරීම මෙන්ම මරා දැමීමද සිදු කරන ලදි. මේ හැර  යුරෝපයේ පැතිරී ගිය මායාකාරියන් / මායාකරුවන් දඩයම් කිරීම  (witch hunt  ) මගින් පණ පිටින් මිනිසුන් පුළුස්සා දමන ලදි. මේ වින්දිතයන් අතර මානසික රෝගීහුද වූහ​. මානසික රෝගීන් පවා සාතන් ගේ ඒජන්තයන් කියමින් පුළුස්සා දැමීමට යුරෝපයේ ක්‍රිස්තියානි බලධාරීන් ක්‍රියා කළහ​. නමුත් මේ කාලයටත් පෙර ලංකාවේ බුද්ධදාස වැනි රජවරුන් රෝහල් තනා මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ බවට සාධක තිබේ. ​. එවැනි අතීතයක් තිබූ සමාජයක් යුරෝපීය මුහුදු කොල්ලකරුවන් විසින් යටිකුරු කරන ලද අන්දම කොන්කිස්තදෝස් පෙන්වා දෙයි.  

 යටත් විජිත යුගය එන විට පල්ලියේ ආශිර්වාදය සහිතව යුරෝපීය මුහුදු කොල්ලකරුවන් අසියාවේ , අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රටවල් රිසි සේ කොල්ල කන ලදි. එසේම දේශීය ජනයා ජන ඝාතනයන්ට ලක් කරන ලදි.  අවශේෂ ජනයා ක්‍රිස්තියානියට හරවා ගැනීම සඳහා මිශනාරීන් විසින් විවිධ උපක්‍රම අනුගමනය කළහ​. 

 මිශනාරීන් විසින් ඕස්ටෙ‍්‍රලියාවේ , ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව වසූරිය රෝගීන් ගේ රෙදිපිළි පවා බෙදා දීමෙනි. ඉන්පසු අදිවාසීන් ගේ දරුවන් නේවාසික පාසල් වලට ගාල් කොට ඔවුන්ට ක්‍රිස්තියානී දහම කවනු ලැබීය​. මෙම නේවාසික පාසල් වලදී මිශනාරීන් විසින් ළමුන් ලිංගිකවද අපයෝජනය කරන ලද බව පසුකාලීන සාක්ශි මගින් හෙලි වී තිබේ.  

 මෙම ක්‍රියාවලිය ලංකාවේ සිදු කරන ලද ආකාරය “කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම” ග්‍රන්ථය පැහැදිළි කරයි. එය ඉතාම වේදනාකාරී සිදුවීමකි.  ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් ජෙනරාල් අසවේදෝ වැන්නවුන් දේශීය ජනයා සංහාරයට ලක් කිරීම​, කිඹුලන්ට විසි කිරීම​, බිළිඳුන් උඩ දමා කඩුව ඇල්ලීම , සිංහල තරුණයන්ට තමන් ගේ මව්වරු ප්‍රසිද්ධියේ දූෂණය කිරීමට බල කිරීම  වැනි හිංසක ක්‍රියා මගින් ආගමට හරවා ගන්නා ලදි. වර්තමාන සිංහල කතෝලික ජනතාව තම මුතුන් මිත්තන් ලක් වූ හිංසනය ගැන දන්නේ ඉතාම අල්ප වශයෙනි.  

  සිංහල ජනතාව අතර පමණක් නොව දමිල ජනතාව අතරද පෘතුගීසීන් ආගම ප්‍රචාරය සඳහා යොදා ගන්නා ලද්දේ මෙවැනි අන්දමේ භීෂණයකි. යාපනය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් මහතා විසින් පෙන්වා දෙන ලද අන්දමට යාපනයේදී  පෘතුගීසීන් විසින් දමිල ජනතාව ආගමට හරවා ගැනීමට කල ජන සංහාරය  තවමත් දමිල ජනතාවගේ සාමූහික අවිඥානයේ තැන්පත් වී තිබේ.     

 “කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම”  ආවේගශීලීව නොව විචාර බුද්ධියෙන් කියවිය යුතු පොතක් බව  අවසාන වශයෙන් සටහන් කරමි.  

One Response to “කොන්කිස්තදෝස්: අවරෝධයන කරන ලද වේදනාත්මක මතකය  ”

  1. cwije Says:

    දෙවියන් විසින් ක්‍රිස්තියානීන්ට ලංකාව අහිමිකිරීම
    චන්ද්‍රසිරි විජයවික්‍රම

    දැනට අවුරුදු 500 කට පෙර කෲර හා අමානුෂික ලෙස කතෝලික ලබ්ධිය ලංකාවේ පැතිරවූ ආකාරය ගැන අද ලංකාවේ ජීවත්‌වන දුප්පත් සිංහල කතෝලිකයින්ට හා සිංහල බෞද්ධයින්ට නිරවුල් දැනුමක් නැත. එපමණක් නොව මේ වන විට කතෝලික පල්ලිය ලෝකයේ විවිධ රටවලදී මුහුණ පාමින් සිටිනා අර්බුද ගැනද ඔවුන් දන්නේ නැත. මීට හේතුව පුදුම ආකාරයේ මාධ්‍ය නිශ්ශබ්දතාවයක්, මුකවාඩම් දමා ගැනීමක්, අපක්‍ෂපාතව, මධ්‍යස්ථව ක්‍රිස්තියානි තොරතුරු නොසැපයීමේ කූට සැලැස්මක්, පුද්ගලික මෙන්ම පොදු රාජ්‍ය ඒජන්සි විසින් අනුගමනය කිරීමය. නමුත් මේ රට යටත් විජිතයක්ව සිටි කාලයේ සිට මේ දක්වාම, ලංකාවේ ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය බුද්ධාගමේ පන්සල් හා භික්‍ෂූන් වහන්සේ සම්බන්‌ධයෙන් අනුගමනය කරන්නේ මීට හාත්පසින්ම වෙනස් –මඩ ගැසීමේ — ප්‍රතිපත්තියක් ය. 1964 පුවත් පත් කොමිෂන් සභා වාර්‌තාවේද මේ ගැන සඳහන් කර තිබුණත් එයින් පලක් නොවීය. එය, 1948 න් පසුවද, ලංකාවේ පාලනය, ක්‍රිස්තියානී හා ක්‍රිස්තියානිකරණයට ගොඳුරුවූ කළුසුද්දන් පිරිසකගේ ග්‍රහණයට හසුවී තිබීමේ ප්‍රතිපලයකි.

    ක්‍රිස්තියානී ලබ්ධියේ ආරම්භය පිළිඹඳ මෙම අතීත විස්තර හා එහි වත්මන් ඇදහීම් වෙනත් ආගම් හා සංස්කෘති වලින් කොපි කරගත් බව ක්‍රිස්තියානි හා බෞද්ධ සිංහල ජනයා දැනගත් විට ඔවුන් අතර දැනට වඩා හිතකර සංහිඳියාවක් ගොඩනැඟෙනු නිසැකය. මෙය බෞද්ධයින් හා හින්දුන් අතර සම්බන්‌ධතාවය වැඩිදියුණු කරනවා වැනිම උත්සාහයක් වන්නේය. නිදසුනක් වශයෙන් දුප්පත් කතෝලික සිංහලයින් යුද භටයින් ලෙස රට බේරා ගැනීමේ යුද්ධයට සහභාගි වුවත්, කොළඹ කතෝලික කාඩිනල්වරයා ප්‍රමුඛ පෝසත් ක්‍රිස්තියානි සංවිධානය රට බෙදීමේ මුල් පියවර වන පෙඩරල් ක්‍රමයම 1949 සිටම අනුමත කරමින් සිටී. උතුරු හා නැඟෙනහිර පලාත් දෙමල නිජ භූමිය යන චෙල්වනායගම් මිථ්‍යාව කාඩිනල් දැඩිලෙස අනුමත කරයි. අතීතයේදී සිංහල බෞද්ධයින් විසින් දුප්පත් සිංහල කතෝලිකයින් උදෙසා කර ඇති පරිත්‍යාග දැනගත් විට ඔවුන් දෙකොටස අතර ඇති ළඹැඳියාව තවත් ත්‍රීව්‍ර වනු නිසැකය. මෙය සිංහල ජාතියේත්, රටේත් අභිවෘධියට හේතුවන්නේම ය.

    මෙම පරමාර්‌ථය නිතරම සිතේ ඇතිව පොත් ලියා ඇති ලේඛකයින් දෙදෙනෙක් වන කොලට් සේනානායක හා නාරද කරුණාතිලක විසින් අළුතෙන්ම මුද්‍රණය කරණ ලද, “කොන්කිස්තදෝස්: ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානියට මුල පෑදීම” (බෝධි සභාව, 2014) යන කෘතිය ඉතාමත් කාලෝචිත වන්නේ, රෝමයේ වටිකන් පල්ලියේ ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ රටක බෞද්ධ ජනාධිපති කෙනෙක් විසින් තම රටට සැපත්‌වන ලෙස ඔහු ලඟටම ගොස් කල ආයාචනය පිළිගෙන පෝප්තුමා 2015 ජනවාරි මැද ලංකාවට ඒමට නියමිත නිසාය. ඒ ආ විට ජෝෂප් වාස් නම් 1550ස් ගණන්වල ලංකාවට ආ ඉන්දියන් ගෝවේ පූජකයෙක්ව ලංකාවෙන් පහලවුණ ප්‍රථම කතෝලික සාන්තුවරයා ලෙස නම් කිරීමටද නියමිතය. උඩරට පැවති දිගුකාලීන නියඟක් ධාරානිපාත වර්‍ෂාවකින් නිම කරවීම ඔහු කල එක් හාස්කමකි!

    පෝප්තුමා විසින්, කතෝලික පෘතුගීසීන් විසින් ලංකාවේ සිදුකල අමානුෂික මිනිස් සංහාර වලට, එතුමා මීට පෙර වෙන රටවලදී කලා මෙන් ලංකාවේදීද මෙරට බෞද්ධයින්ගෙන් සමාව ගතයුතු යයි පෝප් කෙනෙකු ලංකාවට ආ සැම වේලාවේදීම කෙරෙන ඉල්ලීම මෙවරද ඉදිරිපත්වී ඇත. ඒ ගැන කොළඹ තරුණ ක්‍රිස්තියානි සංවිධානය විසින් කියා ඇත්තේ පෘතුගීසින් කල සංහාර ගැන සමාව දිය යුත්තේ පෘතුගාලයේ පෘතුගීසී අගමැති මිස පෝප් විසින් නොවේය කියා ය. ලංකාවේ මුස්ලිම් සංවිධානයක්ද මෙම ක්‍රිස්තියානි සංවිධානයේ මතය අනුමත කලේය. ලෝකයේ මුස්ලිම් ආක්‍රමණ ඉතිහාසයද එවැනි මිනිස් ඝාතන හා දේපල සංහාර වලින් පිරි ඉතිහාසයක් නිසා මෙය එක වර්‍ගයේ කුරුළ්ලන්ගේ රංචු ගැසෙනවා වැනිය. කොලට් හා නාරද ඉතා සරල භාෂාවෙන් පෙන්වා දෙන්නේ පෘතුගීසී සංහාර කතෝලික පල්ලියේ උවමනාවට කල කතෝලික ආක්‍රමණ බවය.

    මෙම සංහාර කොතරම් දරුණු වූවාද යත් ඒ කාලයේ සිටි කතෝලික ලේඛකයෙක් කියා සිටියේ මේ ක්‍රියා නිසා කුරිරු කතෝලික පෘතුගීසීන්ට ලංකාව තබා ගැනීමට ඉඩ නොදී දඬුවම් කිරීමට දෙවියන්වහන්සේ තීරණය කලාය යනුවෙනි (45 පිටුව). ප්‍රසිද්ධියේ පිරිමි දරුවන් ලවා ඔවුන්ගේම මව්වරුන් දූෂණය කරවීම කතෝලික ලබ්ධියට නොෙන අයට දුන් එක් දඬුවමක් විය. විදේශ රටවල් යටත් කර ගැනීමට ගිය පෘතුගීසි හා ස්පාඤ්ඤ භටයින් ජාතික වීරයන් ලෙස කොන්කිස්තදෝස් හෙවත් ජයග්‍රාහයකයෝ, රටවල් ජයගත්තෝ යනුවෙන් හැඳින්වුවත්, ඔවුන් ලංකාවේ හැඳිවූයේ මුහුදු කොල්ලකරුවන් ලෙසය. කොලට් හා නාරද ඔවුන්ගේ කෘතියට දී ඇත්තේ මේ නමය.

    සංවිධානාත්මකව යම් ක්‍රිස්තියානි කොටසක් විසින් කරගෙන යන ව්‍යාපාරයක් නම් ලංකාවේ ක්‍රිස්තියානි ලබ්ධිය ආරම්භවූයේ 1505 දී නොව සීගිරි මුගලන් රාජ කාලය තරම් ඈතකදී යන කතාවය. අනුරාධපුරයේ හමුවු කේරළ කුරුසය ලංකාවට ආ වෙළෙන්ඳන් ගෙන ආ දෙයක් මිස ඒ උඩ ඒ කාලයේ සිටම ලංකාවේ ක්‍රිස්තියානි ජන සමාජයක් තිබුණා යයි තර්‍ක කිරීම දුප්පත් කතෝලිකයින් හා බෞද්ධයින් නිරපරාදේ නොමඟ හැරීමකි. ඉන් ඒත්තු ගැන්වීමට තතනන්නේ ක්‍රිස්තියානි ලබ්ධිය ආරම්භවූයේ මිනිස් ඝාතන සංහාර හරහා 1505 දී සිට නොව ඈත අතීතයේ අනුරාධපුර යුගයේ දීමය කියා ය (කොලට් හා නාරද, පෙරවදන).
    යුරෝපයෙන් පිට ක්‍රිස්තියානි ආගම තිබුණායයි 1505 කාලයේදී විශ්වාස කලේ ඉතියෝපියාවේ ප්‍රෙස්ටර් ජෝන් රජු යටතේය. යුරෝපීයයින් 1407 දී ඉතියෝපියාවටත් ඉතියෝපියන්වරු 1306 දී යුරෝපයටත් ගොස් ඇත. ඉතියෝපියාවේ සිටිනවා යයි කියන ක්‍රිස්තියානි රජු හා එකතුව මුස්ලිමුන්ට විරුද්ධව සටන් කිරීම (කුරුස යුද්ධ) පෘතුගීසි අභිප්‍රාය විය. එසේ නම් ඉතියෝපියාවට අමතරව අනුරාධපුරයේත් ඈත අතීතයේ සිට ක්‍රිස්තියානි ජනාවාස තිබුණානම් ඒ බවද ඒ කාලයේ සඳහන් වනවා නිසැකය.

    කොලට් හා නාරදගේ කෘතිය මාතෘකා 20 ක් යටතේ අප බොහෝ දෙනා නොදන්නා තොරතුරු ඉදිරිපත් කර ඇත. පාඨකයාට පහසුවෙන් වටහා ගත හැකි කෙටි විස්තරයක් එක් එක් මාතෘකාවට අඩංගු කර ඇත. මෙම මාතෘකා පහතින් සඳහන් ආකාරයට කොටස් හයකට බෙදා ඇත.

    1. පාප්තුමාගෙන් වරම් ලැබූ මුහුදු මංකොල්ලකාරයෝ
    2. පෘතුගීසි සහ පරංගි දේවගැතිවරු
    3. මරියා වන්‌දනාව
    4. ජෙසුයිට්ස් දේවස්ථානයේ මිලිටරි හමුදාව
    5. දේවගැති ප්‍ර‌ැන්සිස් සේවියර්
    6. කතෝලික දේවගැතිවරුන්ගේ නව තාක්‍ෂණය

    මාලදිවයිනෙන් බුද්ධාගම විනාශකර එය අල්ලාගත් මොහමදිකයන් මෙන් රජ පවුල් හරහා ලංකාව අල්ලා ගැනීම පෘතුගීසි උපාය විය. දොන් ජුවන් ධර්‍මපාල ලංකාවේ ප්‍රථම හා එකම කතෝලික රජු විය. දෝන කතිරිනා උඩරට රජු කිරීම ඊලඟ අවස්ථාවය. එහෙත් ඔවුන් පුහුණුකල දොන් ජුවන්ට සිංහල බෞද්ධකම මතුවීම නිසා ලංකාව කතෝලික රටක්වීම වැළකුණි. විමලධර්‍මසූරිය නමින් රජවී රට ජාතිය බේරාගත්තේ මේ දොන් ජුවන් ය.

    කතෝලික අධිකරණය තම ලබ්ධියට නොහැරෙන අයට දඬුවම් කිරීම සඳහා යොදාගත් ක්‍රමය විය. ඉන්කියුසිසaaෝ නම් මේ කතෝලික ආගමික උසාවි පිලිම වන්‌දනා කරණ මිනිසුන්ට දරුණු වධ දෙන ලද්දේ කතොලික ආගමට නොහැරුණු නිසාය. කොට්ටේ රජු භුවනෙකබාහු ගැන ප්‍ර‌ැන්සිස් සේවියර් පූජකයා පෘතුගාල රජුට දන්වා ඇත්තේ ඔහු විශ්වාසකල නොහැකි රජෙකු බවත් ඒ නිසා කතෝලික ආගම පැතිරවීමට වඩා බලවත් ලෙස, දරුණු ලෙස ක්‍රියාකලයුතු බවත් ය. 1594 දී ලංකාවට ආ ජෙරනිමෝ අසවේදු මෙසේ ඇරඹුණ කෲර ක්‍රියාකලාපයේ යක්‍ෂයෙක් වැනි විය.

    මේ ක්‍රිස්තියානි සංවිධානය පැතිරවූ මෙවැනිම තවත් විකෘති අදහසක් නම් සිංහල අළුත් අවුරුද්ද සිංහල කතෝලිකයින්ට අයත් නැත, ඔවුන්ගේ අවුරුද්ද ජනේරුව යන්නය. මෙසේ කතෝලිකයින් සිංහලයින් නොවේ යයි ව්‍යංගයෙන් කීම ඓතිහාසිකව සිංහල බෞද්ධයින් සිංහල කතෝලිකයින්ට පෙන්වූ මිත්‍රශීලීභාවය අමතක කර දැමීමකි. උදාහරණයක් වශයෙන් අනාගාරික ධර්‍මපාලතුමා කියා සිටියේ සිංහල ජාතිය ගොඩනඟා ගැනීම සඳහා ක්‍රිස්තියානී හා බෞද්ධ දෙකොටසම එකමුතුව ක්‍රියාකල යුතු බවය (පෙරවදන). මෙහි සත්‍යතාවය එලිවූයේ ප්‍රභාකරන්ගේ හා පසුකාලීනව මුස්ලිම් ෂාරියා/වහබි ප්‍රහාර වලට ක්‍රිස්තියානී හ බෞද්ධ යන සිංහල දෙකොටසම එකසේ ලක්වූ විටය.

    පෘතුගීසීන් තෝම්බු ක්‍රමය යොදාගත්තේ ඒ මඟින් ආගම පැතිරවීමටය. ක්‍රිස්තියානි වන අයට ඉඩකඩම් දීමත්, බෞද්ධයින්ගෙන් බදු අයකිරීමත්, විවාහ රෙජිස්ටර් කිරීමත් මේ මඟින් සිදුවිය. පෘතුගාලයේ අනාථවූ ගෑණුන් ගෙනැවිත් ලංකාවේ ප්‍රාදේශීය නායකයින්ගේ පුත්තුන්ට විවාහ කරවා දෙන ලදී. ඒ සඳහා ලොකු ඉල්ලීමක් රටතුල තිබිණ! විවාහය පල්ලියේ කල නිසා උපදින දරුවන් ඉබේම කතෝලික විය.

    මුහුදුබඩ ප්‍රදේශයේ තිබූ සියළුම විහාර ස්ථාන, පිරිවෙන්, දේවාල (මුන්නේශ්වරම පැගෝඩාව, දෙවිනුවර නාථ දේවාලය) පෘතුගීසීන් විසින් විනාශකර ඒ ඉඩම්වල කතෝලික පල්ලි ගොඩනැඟීම හෝ කතෝලිකයින්ට බෙදාදීම කරණ ලදී. පත්තිනි දේවාල මරියා වන්‌දනා ස්ථාන බවට පෙරලීමේ හොඳම නිදසුන මඩු පල්ලිය ය. මුලදී හෙලා දකින ලද පිලිම වන්‌දනාව, පැගෝඩා, පත්තිනි වන්‌දනාව අන්තිමේදී කතෝලික වන්‌දනා ක්‍රම බවට පෙරලීම කොලට් හා නාරද පෙන්වා දේ. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පතිනියවූ පත්තිනි දේවිය කොපිකර, මරියා මාතාව සුරුපී දෙවඟනක ලෙස පෙන්වීම ක්‍රිස්තියානි ආගම බුද්ධාගමෙන් කොපිකර ගන්නා ලද ජනප්‍රිය අදහසකි. මේ ආකාරයට දායක සභාව, කිතුනු සංඝ, සසුන, හිමිපාණෝ, පින්දීම, දානය, අසපුව, පැවිදි, ආරණ්‍යය, වැඩමකිරීම යනාදී බෞද්ධ වචන කොපිකරමින් පවතී. කුස්තන්තීනු හටන කන්නි මරියා ලෝකය රකින්නේය යනුවෙන් බයිබලයට පටහැනි මතයක් ඉදිරිපත් කරයි (56-57 පිටු)

    කොළඹ සිට පුත්තලම දක්වා දිගටම දක්නට ලැබෙන්නේ කතෝලික පිලිම වන්‌දනාවයයි කොලට් හා නාරද පෙන්වා දේ. කටුනායක ගුවන් තොටුපලේ සිට ආ විදේශිකයින් (අධිවේගී මාර්‍ගයට පෙර) ලංකාව කතෝලික රටක් කියා සිතුවේ මේ නිසාය. 1547 දී පෝප් විසින් ප්‍ර‌ැන්සිස් සේවියර්ගේ උපදෙස් උඩ නිකුත්කල බුල්ලාවට අනුව “පිලිම වන්‌දනාකරුවන්ගේ පැගෝඩා (විහාර) පෙරලා දැමීම, පොත්පත් ගිනි තැබීම, පූජකයින් (හාමුදුරුවරු) පුළුස්සා දැමීම, මිසදුටුවන් නසමින් ආගම පැතිරවීම” ආගමික රාජකාරි විය. එහෙත් අද කතෝලිකයින් පිලිම වන්‌දනාවේ පමණක් නොව පල්ලි ඇතුලේ යක් බෙර ගැසීම පවා කරයි.

    මන්නාරම පෘතුගීසි බලකොටුවේ කෝට්ටේ, සීතාවක හා මහනුවර රජපවුල්වල අය බෝඩිම් කර (සිරකර) තබාගෙන ජෙසුයිට් පූජකවරුන් යටතේ ක්‍රිස්තියානීකරණයට ලක් කල හැටි එහි අරක්කැමියෙකුව සිටි ලේඛකයෙක්වූ පේදුරු ද බැස්තෝ විසින් ලියූ විස්තර ක්වේරෝස් පියතුමාට කියවීමට ලැබිණ (එස් ජී පෙරේරා පාදිලිතුමා විසින් මේවා කොපිකර ඇත). ඒ අනුව පේදුරු කියා ඇත්තේ පෘතුගීසීන් ලංකාවේ කල මහා සංහාරය නිසා දෙවියන් ඔවුන්ට දඬුවම් කර ලංකාව ඔවුන්ට අහිමිකල බවය (45 පිටුව).

    ජෝෂප් වාස් හා ප්‍ර‌ැන්සිස් සේවියර් මෙහිදී වැදගත් නම් දෙකකි. සේවියර් පැරිසියේ පල්ලියක මිලිටරි සංවිධානයක් පිහිටුවාගත් ස්පඤ්ඤ ශිෂ්‍යයින් හත් දෙනාගෙන් එක් අයෙකි (62 පිටුව). කතෝලික ආගම බේරා ගැනීමට හා පතුරවා හැරීමට බිහිකල මේ සංවිධානය වත්මන් කාලයේ ත්‍රස්තවාදී සංවිධානයක් වැනිය. දිනකට 20,000 ක් කතෝලික ආගමට හැරවීම දිව්‍යමය (මැජික්) බලයක් තිබුණා යයි කියන සේවියර් ලංකාවටද පැමිණ ඇත. අසවේදු මිනිසුන් කිඹුලන්ට දමා බලා සිටීම, ගැහැණුන්ගේ පියයුරු ගැලවීම කලේ මේ සේවියර්ගේ ඝාතන ක්‍රමයේ කොටසක් වශයෙනි. සේවියර් චීනයට යමින් සිටියදී වයස 46 දී උන රෝගයකින් (වසූරිය?) 1552 දී මිය ගියේය. ඔහුගේ සේවය නිසා ඔහුව 1625 දී ශාන්තුවරයෙක් ලෙස පෝප් විසින් නම් කරන ලද නමුත් ඉන්දියාවේ හින්දූන් ඔහුව සැලකුවේ මුහුදු කොල්ලකාරයෙකු ලෙසය. පෝල්ට පසු ඉතාමත් සාර්‌ථක ලෙස අස්වැන්න නෙලාගත් දේවගැතිවරයා ඔහු යයිද වාර්‌තාවේ (71 පිටුව).

    1978දී පමණ ඇරඹුණ ජෝෂප් වාස් නම් ගෝවේ උපත ලැබූවා යයි කියන (ඔහු කොචින්හි උපන අයෙකි) පූජකයා ශාන්තුවරයෙක් කිරීමේ ව්‍යාපාරය, 2015 ජනවාරි මස ලංකාවේදී සිදුවීමට නියමිතය. යාචකයෙකු සේ වෙස්වලාගෙන ලංකාවට පැමිණි ඔහු ඔත්තුකාරයෙකු සේ සැකයට පත්වී පසුව දෙවන විමලධර්‍මසූරිය රජු විසින් අභයදානය දෙන ලද්දෙකි (67 පිටුව). ලංකාව ආපසු පෘතුගීසීන්ට ලබාගැනීම සඳහා කටයුතු කිරීමට ගෝවේ සිට කරණ ලද උත්සාහයට එක්වූ ඔහුට යේසුතුමාට මෙන් නොපෙනී අතුරුදහන් වීමේ බලයක් තිබුණා යයි කියවේ.

    ආසියාවේ රටවල් අතරින් වැඩියෙන්ම ක්‍රිස්තියානිකරණයවූ රට ලංකාවය. එහෙත් අවුරුදු 500 කට පසුව ලංකාවේ කතෝලික ආගමට හරවා ගෙන ඇත්තේ සියේට 6 කට අඩු පිරිසකි. දහනායක, ප්‍රේමදාස හා විජේතුංග යන තිදෙනා හැරෙනවිට අන් හැම ලංකා අගමැති/ජනාධිපති කෙනෙක්ම මව/බිරිය/පියා ක්‍රිස්තියානිවූ අයය. මේ නිසා ලංකාවේ මහානායකවරුන්ගේ එකමුතු කියමනකට වඩා බලයක් කාඩිනල්ට ලංකාවේ ඇත.

    බෞද්ධයා කාරුණික වන්න වන්න ක්‍රිස්තියානි බා ගැනීම තීව්‍ර වෙමින් පවතී (83 පිටුව). අතීතයේදී අනුරාධපුර ශුද්ධ නගරය මුස්ලිම්, දෙමල හා ක්‍රිස්තියානි මිසදුටුවන්ගෙන් බේරා ගැනීමට බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍රතුමාගේ 1901 දී ඇරඹූ සටන නිසා ඔහු හිරගෙදර (වසදී?) මිය යැමට සිදුවිය. ඔහුට විරුද්ධව බෞද්ධ විරෝධී පුරාවිද්‍යා කොමසාරිස් එච් සී පී බෙල් ශාක්‍ෂි දුන්නේය (105 පිටුව).

    කතෝලික ආගම දේශීයකරණය කල යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුකූලව මිස හරහට සිට නොවේ (97 පිටුව). උදාහරණයක් වශයෙන් “අල්ලා” යන ඉස්ලාම් වචනය ක්‍රිස්තියානි ආගම විසින් භාවිතා නොකල යුතුයැයි මැලේසියාවේ උසාවියක් තීන්දු කලේය. සිංහල කවි සම්ප්‍රදාය පල්ලිය විසින් කොපිකල යුත්තේ සුහදශීලී අන්‌දමට මිස ආක්‍රමණශීලී ලෙස නොවේ. අලගියවන්න මුකවැටිතුමා බෞතීස්මවී කුස්තන්තීනු හටන ලිව්වාද යන විවාදය මෙහිදී සඳහන් කල හැකිය (101 පිටුව). මෙය සිංහල කවියට වස දමා කවි ලිවීමක් සේය.

    සෙනරත් පරණවිතාන මහතාගේ යේසු බුද්ධා කතාව තවත් එවැනි සිද්ධියකි. මුගලන් රජුගේ කාලයේ සිට දකුණු ඉන්දියාවෙන් ක්‍රිස්තියානීන් පැමිණ ඇතැයි ඔහු පැවසුවේය. බුදුහාමුදුරුවන් ලංකාවට වැඩම කිරීමද ඔහු සැකකරයි. ප්‍රෙස්ටර් ජෝන් ඉතියෝපියාවේ සිටියා මෙන් ඉන්දියාවේ හා ලංකාවේ සිටි ක්‍රිස්තියානී ජනාවාස එකල යුරෝපය නොදැන සිටියේ කෙසේද? ඔහු මිය ගොස් නොබෝ දිනකින් ඔහුගේ ක්‍රිස්තියානි වැන්ඳඹුව රුපියල් 30,000 කට දෙමල ව්‍යාපාරිකයෙකුට ඔහුගේ පුස්තකාලය වෙන්දේසි කලේය. මෙහි තිබූ පන්සල්වලින් ලබාගත් වටිනා ඉතිහාසය අද කා ලඟද? තවත් ක්‍රිස්තියානියෙකුවූ ලෙස්ටර් ජේම්ස් පීරිස්, සීගිරි කාශ්‍යප චිත්‍රපටිය මඟින් පරනවිතාන අදහස් ප්‍රචාරය කලේය (108 පිටුව).

    සිංහල කතෝලිකයින්, සිංහල බෞද්ධ පවුලේම කොටසක් වශයෙන් සිතිය යුතු කාලය පැමිණ ඇතැයි පෙන්වාදීම කොලට් හා නාරදගේ අභිප්‍රායවී ඇත. මේ සඳහා බොහෝ අප නොදන්නා කරුණු ඔවුන් අප ඉදිරියේ තබා ඇත. තොරතුරු සඟවනවා වෙනුවට තොරතුරු එලිදරව් කල යුතුය. උදාහරණයක් වශයෙන් ගෝවේ වල කොන්කානි ක්‍රිස්තියානි සරණාගතයින් නම් සංවිධානය, ෆැන්සිස් ක්‍ෂේවියර් සාන්තුවරයාගේ යයි කියමින් අවුරුදු 500 ක් තිස්සේ වන්දනාමාන කරන මෘත දේහය ගෝවෙන් ඔහු උපන් රටවන ප්‍රංශයට යවන ලෙස ඉල්ලා සිටින්නේ ක්‍ෂේවියර් විසින් කොන්කානින්ගේ මුතුන් මිත්තන්ට අවුරුදු 500 කට පෙර කරණ ලද කෲර සංහාර දැනගැනීමෙන් පසුවය.

    මෙම මෘත දේහය ලංකාවේ ජීවත්වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ (1409-1491) දේහය කියා පැවසෙන්නේ රාහුල හාමුදුරුවන් සුවිශේෂ බෙහෙත් තෙලක් සදා බිව් නිසා ය. ලංකාවේ ඇල්පිටිය අසල අම්ඹන, ඉඳුරුගිරි ගුහාවෙන් සොරාගත් එම දේහය මුහුදින් චීනයට ගෙන යන අතර ක්‍ෂේවියර් පාචනය රෝගයෙන් මිය ගිය බවත්, ඉන්පසු දේහය ක්‍ෂේවියර්ගේ දේහය සේ ගෝවට ගෙනා බවත් කියැවේ. දැනට ගෝවේ ඇති දේහයේ එක අතක් නැති අතර, ඒ අත 1949 මැයි 27දා ජපානයේ වටිකන් තානාපති විසින් පරමාණු බෝම්බය දැමූ නාගසාකි නගරයේ කතෝලික පල්ලියේ තැන්පත් කරන ලදී. ඩී එන් ඒ පරීක්‍ෂණයක් මඟින් මෙම නාගසාකි හා ගෝවා මෘත ශරීර කොටස් කාගේද යන්න තීරණය කල හැකි නිසා ලංකාවේ ආණ්ඩුව මෙම ඉල්ලීම යුනෙස්කෝවට ඉදිරිපත් කල යුතුය. එය යුරෝපීය නොව ආසියානු ජාතිකයෙකුගේ නම් එය රාහුල හාමුදුරුවන්ගේ නොදිරණ දේහයය.

    ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණක් වසරකට ඩොලර් බිලියන් 170 ක් ඩොනේෂන්ස් වශයෙන් වටිකන් කතෝලික පල්ලියට ලැබුණත් චැරිටි වශයෙන් වටිකන් වලින් ආපසු දෙන්නේ ඉන් සියේට 2.7 පමණය. මේ ධන සම්භාරය ටැක්ස්වලින් නිදහස් ය. ලංකාවේ පල්ලිවලින්‌ද මෙසේ වාර්ෂිකව වට්කන්වලට ඩොනේෂන් යවයි. ලංකාවේ දුප්පත් කතෝලිකයින් මෙම තොරතුරු දැනගත යුතුය.

    පාදිලිවරුන් විසින් කුඩා ළමයින් හා ගැහැණුන් සමඟ ලිංගික අපචාරයේ යෙදීම, ඒ බව දැන දැනත් සඟවා ක්‍රියාකිරීම නිසා ඇමෙරිකාවේ කතෝලික කාඩිනල්වරු විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. වන්දිගෙවීමට සිදුවූවා පමණක් නොව පල්ලිවලට එන ජනයා ශීඝ්‍රයෙන් අඩුවිය. මේ නිසා ආසියානු රටවල ප්‍රචාරක කටයුතු ගැන පල්ලිය අවධානය යොමු කර ඇත. එය හරියට සිගරැට් දුම්කොළ ඇමෙරිකාවේ තහනම්වූ විට සිගරැට් කොම්පැනි චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, අප්‍රිකාවට ගියා වගේය.

    සිද්ධාර්‍ථ කුමාරයා යසෝදරා දේවිය හා විවාහව සිටියා වගේ ජේසුස්තුමාද මැග්ඩලින් හා විවාහව සිටි බවත් ඔවුන්ට දරුවන් දෙන්නෙක් සිටි බවත් දැන් පුරාවිද්‍යාත්මක ශාක්‍ෂි මඟින් එලිවී ඇත. මෙසේ නම් ඔහු ඉන්දියාවට හෝ ටිබැටයට ගොස් බුද්ධාගම ඉගෙනගත්තා යන කතාවද සත්‍යවීමට ඉඩ ඇත.
    සාංචියේ යුදෙව් ජාතිකයින් සිටි බවටත්, මිහිදු-සංඝමිත්තා වරුන් සංචියේ සිට ආ යුදෙව් ජාතිකයින් වියහැකි බවටත් අදහස් කොලට් හා නාරද සඳහන් කර ඇත. මෙසේ නම් ජේසුතුමාද සාංචිවල යුදෙව් ජාතිකයින් සමඟ විසුවා විය හැකිද? ඔහු මහායාන බුද්ධාගමේ බෝධිසත්ව අදහස් උපුටා ගත්තා විය හැකිය. මෙම ප්‍රවෘත්ති සිංහල කතෝලිකයා හා සිංහල බෞද්ධයා ලංකරවන්නේය.

    ජේසුස් තුමාගේ “බෞද්ධකම” යුරෝපීය රිවීල්ඩ් ආගමක් (දෙවිකෙනෙක් විසින් එලිකල) බවට පෙරළුවේ කවුද? තෙම්පරාදු සිංහලයින් වෙනුවට, දෙමල හා මුස්ලිම් අන්තවාදීන්ගෙන් බේරීමට සිංහලයා එකමුතු කිරීමට හේතුවන්නේය. බෞද්ධයින්ගේ මංගල දැන්වීම් වලදී ආගම වැදගත් කරුණක් ලෙස හුවා දක්වන්නේ නැතිබව ඔවුන්ගේ නම්‍යශීලි බව පෙන්වන්නකි. කොලට් හා නාරදගේ පොත කියවීමෙන්, පෝසත් පල්ලියේ බලපෑමෙන් ගැලවී මෙම නම්‍යශීලී ගුණය වඩා ගැනීමට දුප්පත් සිංහල ක්‍රිස්තියානි ජනයාට ශක්තියක් ලැබෙනු නිසැකය.

    අන්‍ය ආගම්වලට හිංසා නොකිරීම යනු සර්‍වාගමික පූට්ටුවක් නොවේ. දෙවියන් මවා දුන් ආගමක් (භක්තිය) හා චතුරාර්ය සත්‍යය-ආර්ය අෂ්ටාංගික මාර්‍ගය මත පදනම්වුණු (හේතු-ඵල ධර්‍මය) බුද්ධාගම අතර එකගෙයි කෑමකට ඉඩක් තිබිය හැකිද? මක්කම ඇතුළු සව්දි අරාබියේ පල්ලි අතීත බෞද්ධ සිද්ධස්ථාන යයි ශාක්‍ෂි දැන් මතුවෙමින් පවතී. සිල්ක් මාවත ඔස්සේත්, මුහුදිනුත් ඉන්දියාව, කාශ්මීරය, කන්‌දහාර්, ටිබැට් හා චීනය සමඟ අරාබි, ඊශ්‍රායෙල්-ග්‍රීක-රෝම සමාජ දිගටම සම්බන්‌ධතා පවත්වාගත් නිසා බුද්ධාගම මේ ප්‍රදේශවල ප්‍රචලිතව පවතින්නට ඇත. දැනට එකිනෙකා මරාගන්නා ඉස්ලාම්-ක්‍රිස්තියානි ලබ්ධීන්ට බුද්ධාගමෙන් ලබාගත හැකි සේවය කුමක්ද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress