රට්‌ටු කියන අය වැය කතා
Posted on February 7th, 2015

තරංග රත්නවීර Courtesy Divaina
බස්‌ ගාස්‌තු අඩුවෙන තරමට බස්‌වල සෙනග පිරෙනවා… ඒත් ඩීසල් අඩු කරන තරමට බස්‌ ගාස්‌තු අඩු කරන්න බස්‌ කාරයින්ට බෑ…
බස්‌ ගාස්‌තු අඩුවුනාට ඒ වාසිය මගී අපිට ලැබෙන්නෙ නෑ… කොන්දොස්‌තර මාරු සල්ලි මාටිය හනවා…
ත්‍රී විල් දුවලා එදා වේල හොයාගන්න අපට ඉන්ධන අඩුවුනා කියලා කෙටි දුර මිල අඩු කරන්න අපහසුයි…
ප්ලේන්ටිය රුපියල් දහයට දෙන්න පුලුවන්… එත් අනික්‌ කඩ අඩු කරලා නැති නිසා මටත් අඩු කරන්න බෑ….

අලුත් ආණ්‌ඩුවේ සහන මල්ල ලිහිනි. ජනතාවාදී අයවැයක්‌ බව පවසමින් අයෙක්‌ සතුටු වන අතරේ ‘මාස තුනේ කොත්තමල්ලි සහන මල්ලක්‌’ කියා තවත් අයෙක්‌ කියති. එහෙයින් අපි කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සංචාරය කරමින් පාරිභෝගිකයන්, මගී ජනතාව, බස්‌ රියෑදුරන්- කොන්දොස්‌තරවරුන් සහ වෙළෙඳ ව්‍යාපාරිකයන් සමග අයවැය සහන ගැන කතාබහ කළෙමු.

ප්‍රථමයෙන් අපි බස්‌ ගාස්‌තු සංශෝධනය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේද කියා විමසා බැලීමට මගීන් සහ බස්‌ කොන්දොස්‌තරවරුන් හමුවට ගියෙමු. බොහෝ මගීහු අඩු කළ බඩු මිල ගැන සතුටින් කතා කළහ. එහෙත් එය තවමත් සාමාන්‍ය ජනතාව අතරට යැම ප්‍රමාද වීම ගැන ඔවුහු මැසිවිලි නැගූහ. බස්‌ ගාස්‌තු අඩු කිරීම ගැන බස්‌ රියෑදුරන් සහ කොන්දොස්‌තරවරුන් කතා කළේ ද තරමක්‌ කණස්‌සලෙනි.

‘මේ බස්‌ එකෙන් බැස්‌සට පස්‌සෙ අපිත් මගී ජනතාව. ඒ නිසා බස්‌ ගාස්‌තු අඩු වෙනවට අපිත් කැමතියි. ගාස්‌තු අඩු වෙන තරමට බස්‌වලට පිරෙන සෙනඟත් වැඩි වෙනවා. ඒත් ඩීසල් මිල අඩු වුණා කියලා අපිට ලොකු වාසියක්‌ නෑ. ඩීසල් මිල අඩු වුණාට ටයර්, වාහන අමතර කොටස්‌වල මිල අඩු කරලා නෑ. ඒ දේවල්වල මිලත් අඩු වුණා නම් අපිටත් වාසියක්‌ වෙනවා. අපේ පඩියත් ටිකක්‌ වැඩි වෙනවා…’ කොළඹ නුවර සුඛෝපභෝගී බස්‌ රථයක කොන්දොස්‌තරවරයකු වන ජයන්ත එසේ කීවේය.

‘අපි මාස්‌ පඩි කාරයො නෙමෙයි. අපිට ලැබෙන්නේ කොමිස්‌. මගීන්ගෙන් බස්‌ එක පිරුණොත් අපේ අතමිට සරු වෙනවා. බස්‌ ගාස්‌තු අඩු වෙන කොට අපිට ලැබෙන කොමිස්‌ එකත් අඩු වෙනවා… ඒත් අපි කියන්නෙ බස්‌ ගාස්‌තු තව අඩු වෙන්න ඕනා. ඒ එක්‌කම අනිත් දේවල්වලත් මිල අඩු කරන්න ඕනා…’ ජයන්තගෙ කතාවට එසේ අඩු වැඩි එකතු කළේ ඇඹිලිපිටිය කොළඹ සාමාන්‍ය බස්‌ රථයක රියෑදුරෙකු වන ලලිත් සේනානායකය.

ලලිත්, ජයන්තලා බස්‌ ගාස්‌තු අඩු වීම ඔවුන්ට ආවාසි යෑයි කීවද මගීන් වැඩි පිරිසකගේ පොදු මතය වූයේ ඩීසල් මිල අඩුවීමේ තරමට බස්‌ ගාස්‌තු අඩු වි නැති බවයි. එමෙන්ම අඩු බස්‌ ගාස්‌තුවෙන් ඉතුරු වන රුපියල, දෙකවත් මගීන්ට නොලැබෙන බවය. මගීන් කියන කතාවේ යම් සත්‍යතාවක්‌ ඇත. අද උදේ මම කාර්යාලයට යැමට පිටකොටුවෙන් කඩවත බස්‌ රථයකට ගොඩ වී එහි කොන්දොස්‌තර අතට රුපියල් විස්‌සක්‌ දී ස්‌ටේඩියම් එකට ටිකට්‌ එකක්‌ ඉල්ලුවෙමි. බස්‌ ගාස්‌තු සංශෝධනයත් සමග ස්‌ටේඩියම් එක අසළට රුපියල් දොළහකි. එහෙත් එම බස්‌ රථයේ කොන්දොස්‌රවරයා සන්තකයේ මාරු සල්ලි නැතයි කියා විස්‌සෙ ඉතුරුව ලෙසට මට දුන්නේ රුපියල් පහකි. රුපියල් තුනක්‌ම මට පාඩුය. දවස ‘මුස්‌පේන්තු’ කරගැනීමට නොහැකි නිසා මම බස්‌ කොන්දොරවරයා සමග වාද කරන්නට නොගියෙමි.

‘ඒක කරන්නේ ළඟ සෙක්‌ෂන්වල බස්‌ රථ කොන්දොස්‌තරවරු… අපේ බස්‌ රථවල ගොඩක්‌ම යන්නේ දිනපතා යන මිනිස්‌සු. අපි උදේට එන්නේ ඔෆිස්‌ ටයිම් එකට. සමහර මගීන් අනූ පහෙ ටිකට්‌ එකට අපිට දෙන්න අනූවයි. අසූ අට ටිකට්‌ එකේ මගීන් අපිට අනූවක්‌ දෙනවා. රුපියල් දෙක ඉල්ලන්නෙ නෑ. ඒක අපේ සුහදත්වය…’ ඇඟ බේරාගැනීමේ අදහසින් ඇඹිලිපිටිය කොළඹ බස්‌ රථයේ ලලිත් එසේ කියමින් සිනාසුනේය. අප අතර ඇති කෙටි නිහඬියාවත් සමග අපගේ කතාබහට සවන් යොමු කර සිටි මගියෙක්‌ බලහත්කාරයෙන්ම කතාවට එකතු වෙමින් සමස්‌ත බස්‌ කර්මාන්තයට අඩපාලි නැගුවේය.

‘තෙල් මිල රුපියල් දහයකින් වැඩි කරනකොට අවම බස්‌ ගාස්‌තුව රුපියල් දෙකකින් විතර වැඩි කරනවා. ඒත් ඩීසල් මිල රුපියල් විසි හයකින් අඩු කරනකොට බස්‌ ගාස්‌තු අඩු වෙන්නේ 8% කින්… මේක පුදුම සුත්‍රයක්‌. මගී ජනතාව සූරගෙන කන්න දාපු සූත්‍රයක්‌. අය වැයෙන් මොනව අඩු වුණත් වැඩක්‌ නෑ. ඒකෙන් අපිට ලැබෙන්නේ සොච්චමයි. දැන් මම හෝටලයකින් බනිස්‌ ගෙඩියක්‌ කලා තේ එකක්‌ බිව්වා. පරණ ගානම තමයි. ප්ලෙන්ටිය රුපියල් පහළොවයි… බනිස්‌ ගෙඩිය රුපියල් 30 යි. ඒ වුණාට බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති මෙච්චර අඩු කළා අච්චර අඩු කළා කියලා පම්පෝරි ගහනවා. කෝ අඩු වෙලා නෑනේ. පිටි මිල අඩු වුණා… මාස දෙකක්‌ ඇතුළතදී ගෑස්‌ මිල රුපියල් 800 කින් අඩු වුණා… තෙල් මිල අඩු වුණා… ඔය විදිහට බලනකොට බනිස්‌ ගෙඩියක්‌ රුපියල් විස්‌සකට විතර දෙන්න පුළුවන්… ප්ලෙන්ටියක්‌ රුපියල් අටකට විතර දෙන්න පුළුවන් ඒත් එහෙම වෙන්නේ නෑනේ…’ හෝමාගම සරත් මුණසිංහ අයවැයේ තවත් පැතිකඩක්‌ ඉස්‌මතු කළේය.

පසුගිය කාලයේ අවස්‌ථා කිහිපයකදීම පිටි මිල වැඩි වීමට සාපේක්‍ෂව බේකරි නිෂ්පාදනවල මිල වැඩි විය. එහෙත් බේකරි ව්‍යාපාරය සඳහා අත්‍යවශය භාණ්‌ඩ කිහිපයක්‌ වන පිටි, සිනී, ගෑස්‌, තෙල් මිල සහ තවත් භාණ්‌ඩ රැසක්‌ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ විට බේකරි නිෂ්පාදනවල මිල ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය යුතුය. එහෙත් හෝමාගම සරත් කියන විදිහට එම වාසිය පාරිභෝගිකයන්ට ලැබී නැත. එක කඩේක බනිස්‌ ගෙඩිය රුපියලකින් අඩු වෙනකොට තව ආපනශාලාවක සත පහකින්වත් අඩු වී නැත. පාන් ගෙඩිය එක තැනක රුපියල් හතරකින් අඩු කරනකොට තව කඩේක රුපියල් පහකින් අඩු කර ඇති බවත් අපට වාර්ථා විය. මේ කොළඹ හෝටල්වලට පමණක්‌ සීමා වුණු දෙයක්‌ නොවේ රටේ හැම ප්‍රදේශයකම සිදු වන විපර්යාසයකි. හෝටල් කෑමවල මිල ගණන් සංශෝධනය වී ඇතිදැයි පැහැදිළිවම තහවුරු කරගැනීමේ අදහසින් අපි පිටකොටුවේ හෝටලයකට ගොඩ වී බනිස්‌ සහ ප්ලෙන්ටි දෙකක්‌ මිලට ගත්තේය. පරණ මිල ගණන්ම නිසා අපි ඒ ගැන වෙළෙඳසල්හිමියාගෙන් ප්‍රශ්න කළේය.

‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරලා කියලා මම දන්නෙත් අද… අපේ කඩවලට බඩු දාන තැන්වලින් තවම මිල අඩු කරලා නෑ. ඇත්තටම දැන් ප්ලේන්ටියක්‌ රුපියල් දහයට දෙන්න පුළුවන්…’

”ඉතිං ප්ලෙන්ටි මිල අඩු කරලා නෑනේ…” අපි ඔහුට අතුරු ප්‍රශ්නයක්‌ යොමු කළෙමු.

”අනිත් අය අඩු කරලා නැති නිසා අපිත් අඩු කළේ නෑ…” ඔහුගේ කතාව අපූරුය.

“බේකරි නිෂ්පාදනවලට වැඩියෙන්ම ගන්නේ පිටි මාජරින්. පිටි අඩු වුණාට මාජරින්වල මිල අඩු වුණෙ නෑ. ඒ නිසා බේකරි නිෂ්පාදනවල ලොකු වෙනසක්‌ වෙන එකක්‌ නෑ…’ අපේ රටේ මිනිස්‌සුන්ට කොපමණ දුන්නත් මදිය. පිටකොටුව මිහිඳු මාවතේ හෝටල හිමිකරුවකු වන ඉන්දික නැවත වරක්‌ අපට එය සිහිපත් කර සිටියේය.

”මිනිස්‌සුන්ගේ අත්‍යවශ්‍ය භාණ්‌ඩෙ හාල්. ජනතාවට දැනෙන මිලකින් හාල් අඩු කරන්න ඕනා. හාල්මැස්‌සො… තුනපහ අඩු වෙලා වැඩක්‌ නෑ… ගෑස්‌ මිල අඩු වුණා කියලා අපිට කෑම මිල අඩු කරන්න බෑ. හාල් ගණන්… එළවළු කපුරු වගෙයි. මාළු, මසුත් මිල වැඩියි. කිරි පිටි, සිනි අඩු වුණ නිසා තේ කඩවල මිල ගණන් අඩු කරන්න පුළුවන්. ඒත් අපිට කෑම මිල අඩු කරන්න බෑ… එළවළු මිල, හාල් මිල වැඩි වුණ කියලා අපි කෑමවල මිල වැඩි කළේ නෑ. ඒ පාඩුව අපි විඳගත්තා. දැන් අපිට පොඩි ලාභයක්‌ තියෙනවා… ඉදිරියට හාල් මිල අඩු වෙලා එළවළු මිල අඩු වුණොත් කෑම මිල අඩු කරනවා…’ ගුණසිංහපුර මාතර රතුකැකුළු බත් කඩේ උදිතගේ කතාව සාධාරණය. මෙරට ජනතාවගේ ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්‌ඩය හාල්ය. එහෙත් මෙවර අයවැයෙන් වීවලට පාලන මිලක්‌ ලබා දුන්නද හාල් ගැන කතා කළේම නැත. බත් කන මිනිසුන්ට ඒ අඩුපාඩුව හොඳට දැනනි. එහෙත් ‘මස්‌ රාත්තලම’ ඉල්ලා සිටීම මනුස්‌ස ගතියක්‌ නොවන බැවින් හාල් ප්‍රශ්නය අළු යටට ගියේය.

හාල් ප්‍රශ්නය එසේ යට ගැසෙද්දී එළවළු මිල ගණන් ඇවිස්‌සීමට අපි පිටකොටුව මැනිං මාර්කට්‌ටුවට ගියෙමු. බඩු මලු අත රැදි මිනිසුන්ගේ මුවග ද සිනාවෙන් බර වී තිබිණි. වෙළෙඳුන්ගේ උස්‌ හඬින් ඇසෙන්නේ එළවළු මිල ගණන් අඩු වී ඇති බවය. ‘තෙල් මිල අඩු වුණු නිසා එළවළු මිල අඩු වෙල ඇති…’ මමත් ඡායාරූප ශිල්පී බෝගොඩත් එසේ කතා කරමින් බඩු විකුණන වෙළෙඳුන්a අතරින් රිංගමින් මැනිං මාර්කට්‌ටුවේ වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණී හල්දුම්මුල්ල අසළ නතර වීමු.

‘එළවළු මිල ටිකක්‌ අඩු වෙලා නේද…’ අපි ඔහුට පැනයක්‌ යොමු කළෙමි.

‘පහුගිය සති කිහිපයට වඩා ගොඩක්‌ම අඩු වෙලා…’

‘ඩීසල් මිල අඩු වුණු නිසා වෙන්න ඇති…’ අපි ප්‍රශ්න පත්තරය පෙරළුවෙමු.

ඩීසල් මිල අඩු වුණා කියලා එළවළු මිල අඩු වැඩි වෙන්නේ නෑ. එළවළු මිල වෙනස්‌ වෙන්නේ ඉල්ලුම සැපයුම න්‍යය මත. උඩහා එළවළු අස්‌වැන්න සරු කාලෙට මිල අඩු වෙනවා. සොබාධර්ම විරසක වෙලා කොරටු විනාශ වුණොත් එළවළු මිල වැඩි වෙනවා. පහුගිය කාලේ වුණේ ඒකයි. දවස්‌ හතළිස්‌ පහෙන් පහට එළවළු අස්‌වැන්න නෙළනවා. දැන් ආයෙමත් හොඳ අස්‌වැන්නක්‌ ලැබෙමින් තිබෙනවා. අනිත් එක තමයි යාපනේ එළවළු දඹුල්ලට ඇවිල්ලා තියෙනවා. ලබන සතිය වෙනකොට එළවළු මිල තවත් අඩු වෙනවා. ඒ තෙල් මිල අඩු වෙච්ච නිසා නෙමෙයි. ලැබෙන එළවළු අස්‌වැන්න වැඩි වෙන නිසයි…’

ඔහුගේ කතාවෙන් අපට හැඟෙන්නේ එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ ධාවනය වන්නේ ඩීසල්වලින් නොව වතුරෙන් බවය. එසේ නොවෙන්න ඩීසල් මිල අඩු වන විට ප්‍රවාහන ගාස්‌තු අඩු වේ. ඊට සාපේක්‍ෂව එළවළු මිලෙත් යම් අඩු වීමක්‌ විය යුතුය. තෙල් මිල අඩු වීම එළවළු මිලට පමණක්‌ නොව භාණ්‌ඩ හා සේවා බොහෝමයක මිල අඩු වීමට ප්‍රධාන සාධයකි. එහෙත් ‘දුප්පතාගේ හිතවතා’ යනුවෙන් හඳුන්වන ත්‍රිරෝද රථ ගාස්‌තුව ද තවමත් අඩු වී නැත.

‘පෙට්‌්‍රල් අඩු වුණා… ඒත් පාට්‌ස්‌ මිලයිනෙ… දුර හයර් නම් කීයක්‌ හරි අඩු කරන්න පුළුවන්… ඒත් ළඟ හයර් අඩු කරන්න බෑ…’ ප්‍රදේශ කිහිපයකදී ත්‍රිරෝද රථ රියෑදුරන්ගෙන් අපට දැනගන්න ලැබුණෙ එවැනි අදහසකි.

‘මිනිස්‌සු ආණ්‌ඩුවෙන් ඉල්ලුවේ සහන… පුළුවන් විදිහට ආණ්‌ඩුව සහන දීලා තියෙනවා… අපිත් දුප්පත් මිනිස්‌සු. ඒත් පෙට්‌්‍රල් අඩු නිසා හයර් ගාස්‌තු අඩු කරන්න ඕනා. මම නම් පනහට ගිය හයර් එකට දැන් ගන්නේ හතළිහයි… 10% කින් ත්‍රිරෝද හයර් ගාස්‌තු අඩු කළා…’ පිටකොටුවේදී හමු වූ ත්‍රිරෝද රථ රියෑදුරෙකු වූ ධනපාල උඩවත්ත එසේ මානුෂීය හඬිකින් කතා කළේය.

භාණ්‌ඩ මිල වැඩි කිරීම දැනුම් දුන් සැනින් ක්‍රියාත්මක වන ව්‍යාපාරික ප්‍රජාව මිල අඩු කිරීම ඔවුන් නොදන්නා බවත් විවිධ කතා කියන්නේය. වෙළෙඳ ව්‍යපාරිකයන් පොහොසත් කිරීමට අයවැය සහන ලබාදී ඵලක්‌ නැත. එය සැබෑ ජනතා අයවැයක්‌ වීමට නම් රටේ සෑම පුරවැසියකුටම සමව බෙදි යා යුතුය. එහෙත් බොහෝ ප්‍රදේශවලින් දැනගන්න ලැබෙන ආකාරයට අයවැයෙන් ලබාදුන් සහන තවමත් සමාන්‍ය ජනතාව අතරට ගොස්‌ නැත.

2 Responses to “රට්‌ටු කියන අය වැය කතා”

  1. ranjit Says:

    UNP never supported the previous Govt in any occasion.They always voted against them on every issue in the Parliament. They never participated in any of the development work. What they did was boycott every important function and blaming the Govt just for the sake of putting pressure on the rulers. This whole budget was a farce which no one have got any benefit. We understand why the Opposition voted for that but next time they shouldn’t do that on any issues because we are the Opposition and should not support them at any circumstances. S.L.F.P should stand with the other Opposition parties in every issue not with the corrupt Govt of UNP although the President is S.L.F.P Boss.
    We will vote only to S.L.F.P. headed by the Former President Mahinda Rajapksa if not for any other leader from S.L.F.P not MY3 headed S.L.F.P. So the Opposition S.L.F.P must decide soon which way they go and who will be there leader.

    Regarding the food prices nothing new to say.Still we get everything for the old prices. Vegetables are high as usual even at Sunday Pola. I bought Egg Roti & Egg Hoppers yesterday and it was RS,40 for one Egg Roti and RS 30 for one Egg Hopper. so show me the Yahapalanaya low price desk. It was all cheating and misguiding the public as usual by the UNP traitors. They tell one thing and do another. From the President to the lowest in this Yahapalana Govt are all liars and thieves. Let’s get them out before they cheat us more.

  2. NAK Says:

    After ruducing the diesel prices they took one whole week to reduce thebus fares giving the bus owners a bonus at the expense of the commuter.
    Reduction of fuel prices is not a championing feat of this jahapalnaya,but world fuel prices have hit the rock bottom and looks like will stay there for some time.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress