නව ඖෂධ පනතේ මෝරුන් රිංගන හිල්
Posted on February 16th, 2015

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර  මහලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.

වෘතීය සමිති නායකයෙකු ලෙස සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තියට පක්‍ෂව ප‍්‍රභල හඩක් නැගූ පුද්ගලයෙකු අද සෞඛ්‍ය ඇමතිවරයා බවට පත්වී ඇත. එය ඉතා සතුටුදායක තත්වයකි. එහෙත් එතුමා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගන්නේ ඒ වන විටත් ඉදිරිපත්ව තිබූ පනත් කෙටුම්පතටම බව වාර්තාවේ. එදා 2005 වසරේ දී ජාතික ඖෂධ ප‍්‍රත්පත්තිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඒ තුලින් සේනක බිබිලේ ප‍්‍රතිපත්ති පිළබිඹු නොවන බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල විය. නමුත් එම ප‍්‍රතිපත්තිය පිළිබදව පලදායී හා විවෘත සංවාදයක් ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළේය. එපමණක් නොව විරෝධතා නොසලකා එම ප‍්‍රතපත්තිය මත පදනම්ව පනතක් ඉදිරිපත් කිරීමට 2007 වසරේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනුණි.

ඉන් පසුව එම ප‍්‍රතිපත්ති සංශෝධනය කෙරුන බව කියවුනත් එම සංශෝධිත ප‍්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ මහජනයාට ඉදිරිපත් කෙරුනේ නැත. එය ජනාධිපතිවරයාට පමණක් ඉදිරිපත් කෙරුනු බව වාර්තා විය. ඒ අතර ඉතා රහසිගතව කිසිදු විද්වත් සංවාදයක් හෝ මහජන සහභාගීත්වයෙන් තොරව සකස්වූ පනත් කෙටුම්පත 2014 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිනි. ඒ අතර තුර කාලයේදී එම කෙටුම්පත නීති සම්පාදක දෙපාර්තමේන්තුවේ දී අතුරුදහන් වී නැවත සොයාගත් බවට ද චා්දනා එල්ල විය. කිසිම අවස්ථාවක එම කෙටුම්පතේ සිංහල පිටපතක් අමාත්‍ය මණ්ඩලයට හෝ මහජනයාට ඉදිරිපත් නොවීය. එම පනත් කෙටුම්පත බිබිලේ ප‍්‍රතිපත්ති මත පදනම් නොවන බවට සහ ඊට ඖෂධ සමාගම් අත් දෙකම ඔසවා සහාය පලකරනු ඇති බවට චෝදනා එල්ල විය. ඒ අනුව ඊට ප‍්‍රතිචාර ලෙස විද්වත් කමිටුවකින් නැවත නිර්දේශ ලබාගන්නා බවට වාර්තා පල විය. නමුත් එම සංශෝධන මොනවාද යන්න මහජනයා නොදන්නා අතර ඒවා නීති කෙටුම්පත් අංශ වලට හෝ නැවත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වූ බවක් වාර්තාවී නැත. ඒ අනුව පාර්ලිමේන්තුවේ දී යම් සංශෝධන ඉදිරිපත් කිරීමේ අරමුණින් ඒ වන විට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව පිළිගත හැක. ගරු රාජිත සේනාරත්න මහතා සද්භාවයෙන් යම් සංශෝධන ගෙන එන බවට සැකයක් නැතත් එම පනත් කෙටුම්පතේ පවතින ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය දුර්වලතා එවැනි සුළු සංශෝධන වලින් නිවැරදි කළ හැකි යයි කල්පනා කිරීම මුලාවකි. එම නිසා දින 100 අවසන් වීමට පෙර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අරමුණ සහිතව අදාල සංශෝධන පිළිබ`දව හදිසි සමාජ කථිකාවක් ඇතිකිරීම රාජිත සේනාරත්න අමාත්‍යතුමාගේ යුතුමතකි.නමුත් පනත සකස් කිරීමට මුල්වූ ඉහල නිලධාරීන් අතලොස්ස සහ ඔවුන් පිටුපස සිටියා යයි කියනු ලබන ඖෂධ සමාගම්වල නියෝජිතයින් ඊට ඉඩ ලබාදෙනු ඇත්ද යන්න පැහැදිලි නැත. එමනිසා පනත පිලිබද නව වටයකින් මහජන සංවාදයක් ඇතිකිරීම ජනමාධ්‍යවල යුතුකමකි.

සේනක බිබිලේ ප‍්‍රතිපත්ති වලට අනුව පනත තුල වැඩි අවධානයක් යොමු විය යුත්තේ ඖෂධ වල ගුණාත්මක භාවය තහවුරු කිරීමට අදාළ ප‍්‍රතිපාදන වලටය. එහිදී ලියාපදිංචිය ලබා දීමේ දී සැලකිල්ලට ගන්නා කරුණු සහ පටිපාටිය මෙන්ම භාවිතා වන ඖෂධයක ගුණාත්මක භාවය බි`ද වැටුනු අවස්ථාවල ගනු ලබන ක‍්‍රියා මාර්ග ඉතා වැදගත්වේ. එම නිසාම ඖෂධ සමාගම් සෑම විටම උත්සාහ කරන්නේ එම නීතිමය ප‍්‍රතිපාදන දුර්වල තත්වයක තබා ගැනීමටය. පැරණි පනත යටතේ ඖෂධ දස දහස් ගණනක් ලියාපදිංචි කිරීමට සමාගම් වලට හැකි වන්නේ සහ ගුණාත්මක තත්වයන් බිද වැටීම් බහුලව සිදුවෙද්දී ලියාපදිංචිය ආරක්‍ෂාකර ගැනීමට හැකිවන්නේත් එම දුර්වලතා නිසාය. එම දුර්වලතා නිසා අද වෛද්‍ය සැපයුම් අංශ වලට සිදුව ඇත්තේ කසල ගොඩකට අත දමා ඉදිකටුවක් සොයන්නාසේ විශාල ඖෂධ ලයිස්තුවකින් තත්වයෙන් ඉහල ඖෂධ සොයා ගැනීමටය. එම තත්වය වැලැක්වීම සදහා ඖෂධ ලියාපදිංචි කිරීමේ දී ලියාපදිංචිය ලබා දිය යුතු උපරිම කාල සීමාව, අන්තර් කාලීන ලියාපදිංචිය අනිවාර්ය කිරීම, ගුණාත්මක තත්වය බිදවැටීම්වල ඉතිහාසය දැඩි ලෙස සැලකිල්ලට ගැනීම, තත්වය බිද වැටීම් අසාදු ලේඛනගත කිරීම සහ එම තොරතුරු මහජනතාවට දැනගැනීමට සැලැස්්වීම ආදී ප‍්‍රතිපාදන පනතට ඇතුලත් කළ යුතුය. නමුත් පවතින පනතේ එම ප‍්‍රතිපාදන පැහැදිලිව ඇතුල්කොට නැත. ඒවා රෙගුලාසි මගින් පනවන බවට තර්ක කල හැකි වුවත් එවැනි වැදගත් දේ පනත ම`ගින්ම නියම කළ යුතුවේ. එයට හේතුව පසු කලෙක රෙගුලාසි හදන අවස්ථාවල අදාල පාර්ශව එම සිදුරු වලින් රිංගා යාමට ඉඩ ඇති බැවිනි.

පනතේ 37 වන වගන්තිය මගින් ගුණාත්මක තත්වය බිද වැටීමක් සිදු වූ විට අදාළ ඖෂධ පිළිබදව එම අවස්ථාවේ ගත යුතු පියවර සදහන් වී ඇත. නමුත් එම බිදැටීම් අසාදු ලේඛන ගත කිරීමට හෝ ඒ මගින් ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලියට සිදුවිය යුතු බලපෑම ට අදාළ ප‍්‍රතිපාදන සලසා නැත. යම් ඖෂධයක් භාවිතයෙන් ඉවත් කළ විට ඒ පිළිබදව මහජනයා දැනුම්වත් කළ යුතු වූවත් බිදවැටීම් වල ඉතිහාසය හෝ සමස්ථ අසාදු ලේඛනය පවත්වා ගැනීම හෝ එය ජනතාවට දැක බලා ගත හැකි ආකාරය පිළිබදව පනතේ ප‍්‍රතිපාදන සලසා නැත. පනතේ 51 වන වගන්තියෙන් ෙඖෂධයක ලියාපදිංචිය අත්හිටුවීමට හෝ අවලංගු කිරිමට ප‍්‍රතිපාදන සපයා ඇතත් එහිදී ගුණාත්මක තත්වය බිදවැටීම් සැලකිල්ලට ගත යුතු ආකාරය සදහන් වන්නේ නැත. එවැනි විශාල සිදුරු දෙස ඖෂධ සමාගම් ඉතා සතුටින් බලා සිටින බවට සැකයක් නැත. එම ගැටළුව විසදීම සදහා ඖෂධයක තත්වය බිදවැටුනු විට ගත යුතු පියවර සහ එම තොරතුරු මහජනතාවට දැනගැනීමට සැලැස්වීම, ඊට අදාළ පැමිණිලි ලබා ගැනීම සහ එම බි`දවැටීම් වල ඉතිහාසය ලියාපදින්චියේදී සැලකිල්ලට ගත යුතු ආකාරයට අදාලව සුවිශේෂී ප‍්‍රධාන වගන්තියක් පනතට ඇතුලත් කළ යුතුය. ඊට අමතරව නව පනත ක‍්‍රියත්මක වීමේදී පැරණි පනත යටතේ ලියාපදිංචිවූ ඖෂධ නව නිර්නායක යටතේ නැවත ලියාපදිංචි කළ යතු බවටද ප‍්‍රතිපාදනයක් ඇතුලත් කළ යුතුය. එසේ නොවන්නේනම් පැරණි කසල ගොඩ නව පනත යටතේත් ඇවිස්සීමට සිදුවනු ඇත.

සේනක බිබිලේ ප‍්‍රතිපත්ති අනුව ඖෂධයක ගුණාත්මක තත්වයකට ලබා දෙන වැදගත්කමට සමාන වැදගත්කමක් සබුද්ධික භාවිතයට ද ලබාදිය යුතුය. ඊට වෛද්‍යවරුන් සබුද්ධික ලෙස නිර්දේශ කිරීම, සබුද්ධික මිල දී ගැනීම සහ සබුද්ධික පරිබෝජනය යන සියල්ල අයත්වේ. නමුත් ‘‘සබ්ද්ධික භාවිතය’’ යන වචන දෙක ඖෂධ සමාගම් විසින් ‘‘ නයාට අදුකොළ’’ මෙන් බැහැර කරන සංකල්පයකි.  එයට හේතුව ඖෂධ ව්‍යාපාරයේ වර්ධනය සදහා ‘‘ සබුද්ධික භාවිතය’’ භාවිතයෙන් ඉවත් කිරීම මූලික කොන්දේසියක් බවට පත්වීමය. එසේ වුවත් නව ඖෂධ පනත මගින් ඊට අදාළ ශක්තිමත් ප‍්‍රතිපාදන සලසා නැත. පනතේ 38 වන වගන්තිය මගින් ඖෂධයක් නිර්දේශ කිරීමේ දී වෛද්‍යවරුන් ඖෂධ නාමය, වෙළද නාමය යන නාම දෙකම සදහන් කළ යුතු බව පමණක් දක්වා ඇත. නමුත් එම වගන්තිය ම`ගින් වෛද්‍යවරුන්ට නිශ්චිත මගපෙන්වීමක් ලබාදීම අවශ්‍යවේ. ඒ අනුව ඖෂධ නාමය පළමුවෙන්ද දෙවනුව වරහන්තුල වෙළද නාමය අවශ්‍යනම් පමණක් නිර්දේශ කළ හැකි බවට සෘජු ප‍්‍රතිපාදනයක් පැනවිය යුතුය. ඊට අමතරව ලෝකයේ දියුණු රටවල මෙන් රෝගියා සතු තමා ලබා ගන්නා ඖෂධයේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් ඖෂධ නාම සහ වෙළ`ද නාම ඉංග‍්‍රීසි කැපිටල් අකුරින් ලිවීම හෝ කොම්පියුටරය ම`ගින් මුද්‍රණය කිරීම අනිවාර්ය කළ යුතුය.

එසේම රෝගියා ඖෂධ නාමයෙන්ම ඖෂධ ඉල්ලා සිටි විට වෙළද නාම මිළදී ගැනීම සදහා බලපෑම් කිරීම, ඖෂධ නාමයෙන් ඖෂධ නොමැති බව ව්‍යාජ ලෙස පැවසීම ආදීය පනත යටතේ වරදක් බවට පත් කළ යුතුය. එසේ නොමැතිනම් වෛද්‍යවරයාගේ අපේක්‍ෂාව ඖෂධ අළෙවිකරු විසින් නිශේධනය කිරීමට ඉඩ සැළසෙනු ඇත. සබුද්ධික ඖෂධ භාවිතය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම සදහා වෛද්‍ය වරුන්ට සහ රෝගීන්ට ඊට අදාළ අධ්‍යාපනය අකණ්ඩව ලබා දිය යුතුයි. නමුත් නව පනත මගින් එම වැදගත් වගකීම ඖෂධ අධිකාරියට පැවරෙන වගන්තියක් ඇතුල් කොට නොමැත. එය පැහැදිලිවම බිබිලේ ප‍්‍රතිපත්ති පාවා දීමකි. ෙඖෂධ සමාගම් වල සහ ඖෂධ සිල්ලර වෙළදුන්ගේ ආක‍්‍රමණශීලී වාණිජ ක‍්‍රියාකාරකම් වලට එරෙහි ප‍්‍රතිමෙහෙයුම් ශක්තිමත් කළ හැක්කේ එම වගකීමට විශාල බරක් තැබීමෙන් පමණි.

සේනක බිබිලේ මහාචාර්යවරයා රෝගීන් වෙත සාධාරන මිලකට ඖෂධ ලබා දීම කෙරෙහි විශාල ප‍්‍රතිපත්තිමය අවධානයක් යොමු කළ බව රහසක් නොවේ. අනාගතයේ පැන නැගිය හැකි වෙළදපල යතාර්ථයන් ඔහු දැන සිටියත් ඒවා නොසලකමින් ෙඖෂධ තොග වෙළදාම රජයේ ඒකාධිකාරයක් බවට පත් කළ යුතු බවට ඔහු බලපෑම් කරන්නේ එම නිසාය. ඒ අනුව නව පනත මගින් ඖෂධ මිල නියම කිරීමේ වගකීම පාරිභෝගික අධිකාරියට පවරා ඇග බේරා ගැනීම ඉතා කණගාටුදායක තත්වයකි. එම තත්වය නිවරදි කිරීම සදහා පනත යටතේ මිල උපදේශන කමිටුවක් පත් කිරීමට සහ එහි ක‍්‍රීයාකාරීත්වයට අදාල ක‍්‍රියා පටිපාටි දක්වමින් ප‍්‍රතිපාදනයක් ඇතුලත් කළ යුතුය. ඒ මගින් තෝරා ගත් බහුලව භාවිතා වන ඖෂධ ලයිස්තුවක මිල දර්ශනය ප‍්‍රදර්ශනය කිරීම අනිවාර්ය කළ යුතු අතර ඖෂධ ලියාපදිංචි කිරීමේ දී මිල සාධකය ද සැලකිල්ලට ගත යුතු බවට ප‍්‍රතිපාදන පැනවිය යුතුය.

කෙසේ වෙතත් අවසාන වශයෙන් ඖෂධ සදහා රජයට මෙන්ම මහජනයා ට දරන්නට සිදුවන පිරිවැය පාලනය වන්නේ ලියාපදිංචියට සහ ආනයනයට මෙන්ම මිල නියම කිරීමට ද අවශ්‍ය පූර්ව කොන්දේසියක් සපුරා ගැනීමෙනි. එනම් ශී‍්‍ර ලංකා ජාතික ඖෂධ සංග‍්‍රහය සහ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුව සකස් කිරීමේ සහ යාවත්ලාලීන කිරීමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරීමෙනි. නමුත් ඒ පිලිබදව පනතේ වචනයක්වත් සදහන් නොවන්නේ අහම්බයකින් යයි සිතිය හැකිද? මෙම පනත ඖෂධ සමාගම් විසින් අත් දෙකම ඔසවා අනුමත කරන බවට චෝදනා එල්ල වන්නේ මෙවැනි මහා පරිමාන සිදුරු නිසා නොවේද? නව ඖෂධ පනතට සේනක බිබිලේ ලේබලය ඇලවීමට බලධාරීන් උත්සාහ කළත් තවත් වැදගත්ම ප‍්‍රතිපත්තියක් ද ඒ තුල නොසලකා හැර ඇත. ඒ දේශීයව ඖෂධ නිපදවීම දිරිමත් කිරීම ස`දහා වන රජය මැදිහත් විමය. මෙම පනතේ මූලික කාර්යභාරය නියාමනය වූවත් ඊට උපදේශනයද ඇතුල් විය යුතුයි.  එමනිසා දේශීය ඖෂධ නිශ්පාදනය දිරිගැන්වීම සදහා උපදේශන ප‍්‍රතිපාදන පනතට ඇතුලත් කිරීම ඉතා වැදගත්වේ. ඒ ස`දහා  යහපත් කර්මාන්ත පුරුදු, පොදු තත්වපාලන යාන්ත‍්‍රණ හදුන්වාදීම සහ තත්ව බි`දවැටීම් කළමණාකරනය ආදියට අදාළ කර්මාන්ත කරුවන්ට උපදේශනය ලබාදීම සදහා නව පනත යටතේ කාර්යාංශයක් ස්ථාපිත කළයුතුය. ඊට අවශ්‍ය සම්පත්  තුන්වන පාර්ශවයකින් කුලී පදනම මගින් ලබාගැනීම සහ එම පිරිවැයෙන් කොටසක් අදාල ප‍්‍රතිලාභීන්ගෙන් ලබා ගැනීම සදහා පනතින් ප‍්‍රතිපාදන සැලසිය යුතුය.

ඖෂධ සමාගම් පැත්තෙන් ගත්විට ඔවුනට අවශ්‍ය වන්නේ නව පනත සම්මත වුවත් එහි තිබෙන සාධනීය ප‍්‍රතිපාදන පවා නොසළකා පරණ පනත යටතේ පවතින තත්වයන් පවත්වාගෙන යාමය. ඒ සදහා නව පනත් සාධනීය ප‍්‍රතිපාදන ප‍්‍රායෝගිව ක‍්‍රියාත්මක කළ නොහැකි තත්වයක් ඇති කළ යුතුවේ. එම අරමුණු ඉටු කර ගත හැකි ආකාරයේ තාක්‍ෂණික දුර්වලතා රාශියක් දැනුවත්ව හෝ නොදැනුවත්ව පනතට ඇතතුලත්ව ඇත. උදාහරණයක් ලෙස පනත යටතේ වරදක් සදහා නීතිමය ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීම සදහා මාස 3ක කාල සීමාවක් පනවා ඇති අතර එම කාලය රසායනාගාර පරීක්‍ෂණ ලැබී මාසයක කාලයක් ලෙස තව දුරටත් සීමාකොට ඇත. ඒ අනුව අප රටේ පවතින පරිපාලන සංස්කෘතිය සහ ක‍්‍රමවේද තුල කිසිදු වැරැද්දකට විරුද්ධව නඩු පැවරීම යනු සිහිනයක් පමණක් වනු ඇත. ඒ අනුව වරද කරුවන්ට රිංගා යාමට ඉඩ සලසන එම වගන්තිය සංශෝධනය කොට එම කාල පරාසයන් පිළිවෙලින් වසරක් සහ මාස 3ක් ලෙස සංශෝධනය විය යුතුයි. ඊට අමතරව වෙනත් කිසිදු පනතක නොමැති ආකාරයට කරුණු 28 ක් සදහා වෙන් වෙන්ව රෙගුලාසි පැනවීම අනිවාර්ය කරන ප‍්‍රතිපාදනයක් පනතට ඇතුලත්කර ඇත. නමුත් රෙගුලාසි පැනවීම අවශ්‍යවන වගන්ති ආශ‍්‍රිතව ඒ සදහා ප‍්‍රතිපාදන සලසා ඇත. සාමාන්‍ය ක‍්‍රමය වන්නේද එයයි. එසේම රෙගුලාසි සෑදීමේ අවශ්‍යතාවය අවම වන ආකාරයට පනත මගින්ම ප‍්‍රතිපාදන සැලසීම හා කාර්ය පටිපාටි සදහා රෙගුලාසි පැනවීම වෙනුවට අධිකාරිය මගින්ම රීති සෑදීම සදහා පනතින් ප‍්‍රතිපාදන සැලසිය හැකිය. එය වැදගත් වන්නේ  පනතේ මූලික දේශපාලන උවමනාව නොසලකා පසුකාලීනව දුර්වල රෙගුලාසි පැනවීම අවම කිරීම සදහාය. සිගරට් පැකට්ටුවේ සෞඛ්‍ය අවවාද මුද්‍රණය කිරීමට අදාල රෙගුලාසි වලට විරුද්ධව සමාගම් වලට උසාවි මගින් නියෝග ලබා ගැනීමට ඉඩ සැලසෙන්නේ එම ආකාරයට පනතේ තිබූ දුර්වලතා නිසාය.

ඒ ආකාරයට විශේෂිතව රෙගුලාසි රාශියක් පැනවීමට ප‍්‍රතිපාදන සැලසීම තුල පනත ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම අපහසුවේ. පවතින පුද්ගලික වෛද්‍ය ආයතන නියාමන පනත ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේද සියල්ල ස`දහා රෙගුලාසි පැනවීමට සිදුවී තිබීම නිසාය. එම වගන්තිය මගින් කරුණු 28කට අදාලව සුවිශේෂී  ලෙස නිශ්චිතව කරුණු දක්වා රෙගුලාසි පැනවීමට නියම කරන බැවින් තවත් ප‍්‍රධාන ගැටළු දෙකක් පැන නගියි. පළමුවැන්න යම් වරදකට එරෙහිව යම් සමාගමක් නීතිය ඉදිරියට ගෙන ගිය විටෙක රෙගුලාසිවල බල පරාසය දක්වා ඊට අදාලව රෙගුලාසි පනවා නොමැති බව තහවුරු කොට නීතියෙන් ගැලවීමට ඉඩ ලැබීමය. දෙවැන්න පැරණි පනත යටතේ පවතින රෙගුලාසි මුල් කාලයේදී අදාළ කර ගැනීමේ ගැටළු මතුවීමය. ඊට අමතරව රෙගුලාසියක් මාස 3ක කෙටි කාලයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සීමා පැනවීම මගින් තවත් ගැටළුවක් ඇති කොට ඇත. ඒ අනුව එම කාලය වසරක් දක්වා දීර්ඝ කළ යුතු අතර සුවිශේෂී බල පරාස සදහා රෙගුලාසි පැනවීම ස`දහා වන වගන්තිය ඉවත් කළ යුතුය. ඒ වෙනුවට අදාළ ප‍්‍රමිතීන් සහ පටිපාටි ආවරණය වන ලෙස පොදු ප‍්‍රමිති සංග‍්‍රහයක් සහ රීති අධිකාරිය ම`ගින් ගැසට් කළ හැක.

ඊට අමතරව විවිධ ක‍්‍රමවේද හරහා ව්‍යාජ ලෙස වෙළද නාම යටතේ නීත්‍යානුකූල නොවන ආකාරයට රට තුලට හොර රහසේ ඖෂධ ගෙන ඒම අද පවතින ප‍්‍රධාන ගැටළුවකි. එය ඉතා ලාභදායී ව්‍යාපරයක් බව වෙළදපල තොරතු දන්නා අය ඉතා හොදින් දනිති. නමුත් එම වරද සදහා සුවිශේෂී දඩුවම් පමුණුවන වගන්තියක් පනතට ඇතුල්වී නැත. එය නිවරදි කිරීම සදහා එම වරදට අඩුතරමින් රුපියල් මිලියනයක දඩයක් සහ වසර 5ක සිර දඩුවම් පමුණුවන ප‍්‍රතිපාදනයක් පනතට ඇතුලත් කළ යුතුය. ඖෂධ මාෆියාව එය වැලැක්වීම සදහා බරපතල මැදිහත්වීමක් සිදුකරන බවට සැකයක් නැතත් රාජිත සේනාරත්න ගරු ඇමතිතුමා ඊට යට නොවන බවටද සැකයක් නැත.

ඊට අමතරව පනතේ තවත් මූලික ප‍්‍රතිපත්තිමය වැරදි කිහිපයක් නිවැරදි කිරීමද ඉතා වැදගත්වේ. පළමුවැන්න රේගු කාර්්‍යය භාරය සහ ඖෂධ අධිකාරියේ කාර්්‍යය භාරය පටලවා ගැනීම නිවරදි කිරීමය. ඒ අනුව වැරදිකරුවන්ට පනවන දඩ මුදල් වලින් ප‍්‍රතිශතයක් වැටලීම් කරන නිලධාරීන්ට ගෙවීමේ ප‍්‍රතිපාදනය ඉවත් කළ යුතුය. ඒ මගින් විශේෂයෙන්ම සිල්ලර ඖෂධ වෙළදුන් පීඩාවට පත්වීම සහ වෙළදපලට අනවශ්‍ය ලෙස පීඩාකාරී බලපෑම් සිදු කිරීමට ද ඉඩ සැලසේ. එම නිලධාරීන්ට අවශ්‍ය සම්පත් සහ වෙනත් දිරිගැන්වීම් ලබාදීමේ වරදක් නැත. දෙවන වරද අධිකාරියේ අරමුදලට විවිධ ආයතන වලින් තෑගි ලෙස තිළිණ ප‍්‍රධානයන් ලබාගැනීමට ඉඩ සැලසීමය. එසේ ඉඩ සලසනවානම් ඖෂධ සමාගම් හා ඔවුන් සමග ව්‍යාපාරික සහයෝගිතා ගිවිසුම් වලට එළඹි සංවිධානහෝ ආයතන, විශේෂයෙන්ම ඖෂධ වල සායනික අත්හදා බැලීම සදහා ඉදිරිපත්වන රාජ්‍ය නොවන සංවිධාන සදහා

ඊට ඉඩ ලබා නොදිය යුතුය. තුන්වනුව ඖෂධයක් ලියාපදිංචිය සදහා ඉල්ලූම් කිරීමෙන් පසුව එම ක‍්‍රියාවලිය අතරමැදදී ඉල්ලූම් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට ඉඩදීමද බරපතල වරදකි. ඒ මගින් ඖෂධයක තත්ව පරීක්‍ෂාවට අදාළ බිදවැටිමක් තිබෙන බව ආයතන අභ්‍යන්තරයෙවන් දැන ගැනීම මගින් ඉල්ලූම්පත‍්‍රය ඉවත්කර ගැවීමට ඉඩ සැලසේ. ඒමගින් සමාගම්වලට තම ඖෂධ ලියාපදිංචියට පෙර අසාදු ලේඛන ගත වීම වලක්වා ගැනිමට ඉඩ සැලසේ.

ඊට අමතරව ඖෂධ වෙළදපල තුල සිදුවන ප‍්‍රභල ආචාර ධර්ම විරෝධී ප‍්‍රචාරණ ක‍්‍රමවේදයක් වැලැක්වීම සදහා ප‍්‍රතිපාදන සැලසීම  රාජිත සේනාරත්න ගරු අමාත්‍යවරයා මුහුණ දෙන ප‍්‍රභල අභියෝගයක් වනු ඇත. එනම් ඖෂධ සමාගම්වල අළෙවි සහකරුවන් වෛද්‍යවරුන් පසුපස හඹා යමින් වක‍්‍ර අල්ලස් දීම හරහා ඖෂධ ප‍්‍රචාරනය කිරීම වැලැක්විමය. නිමල් සිරිපාලද සිල්වා හිටපු අමාත්‍යවරයා පනතේ ප‍්‍රතිපාදනයක් නොමැතිව එම තත්වය වැලැක්වීම සදහා උත්සාහයක් ගත්තද එය ව්‍යර්ථ විය. ඒ අනුව රාජිත සේනාරත්න මැතිතුමාගේ අභියෝගය වන්නේ වෛද්‍යවරුන් සහ රෝගීන් හමුවන කිසිදු ස්ථානයක එසේ ඖෂධ ප‍්‍රචාරණය කිරිම පනත යටතේ වරදක් බවට පත් කිරීමය. ඊට හිලව්වක් ලෙස නව ඖෂධ පිළිබදව තොරතුරු වෛද්‍යවරුන්ට ලබාදීම සදහා වෙනත් ක‍්‍රමවේද හදුන්වාදිමේ වගකීම ඖෂධ අධිකාරියට පැවරිය හැක. නමුත් එය සබුද්ධික ඖෂධ භාවිතයට අදාළ අධ්‍යාපනික වගකිමක් මිස සමාගම්වල ප‍්‍රචාරණ කටයුත්තක් නොවිය යුතුය. ඖෂධ අධිකාරියේ අනුමැතියට යටත්ව සමාගම විසින් පොදුවේ කරනු ලබන විද්වත් දැනුවත් කිරිම් වලට වෛද්‍යවරු සහභාගී වීමේ වරදක් නැත.

මෙම බරපතල වැරදි නිවරදි කිරීමෙන් තොරව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් පියා හරියට ම නොදන්නා දරුවෙකුට නීත්‍යානුකූල පීතෘත්වය ලබාදීමේ වගකීම පමණක් රාජිත සේනාරත්න ගරු අමාතයතුමා ට බාර ගැනිමට සිදුවනු ඇත. එසේම මහමෙරක් සේ විළිලා මී පැටවෙකු වැදීමට වින්නඹුකම් කිරීම පිලිබ`දව සමස්ත වෛද්‍ය පරපුරම මහජනයාගේ අප‍්‍රසාදයට පත්වනු ඇත. එසේ වුවහොත් සේනක බිබිලේ නම් වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ නම විකුණමින් රෝගීන්  පමණක් නොව සමස්ථ සෞඛ්‍ය සේවාවම අත් අඩංගුවේ තබා ගැනීමට මහා ඖෂධ සමාගම් වලට ඉඩ සැළසෙනු ඇත. ඒ සියල්ලට අමතරව ජාතික ඖෂධ අධිකාරිය නමින් ඉදිවන දැවැන්ත ආයතනයකට පත්වන නිලධාරීන් අතලොස්සකගේ නඩත්තු වියදම් වැඩිවීමේ බරද මහජනයා පිට පැවරෙනු ඇත.

පසුවදන –

මෙම ලිපිය සකස් කරන අවස්ථාව වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් පත් කළ විද්වත් කමිටුව විසින් යෝජනා කළ සංශෝදන සහිත පනත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වී තිබී ඇතත් එම සංශෝධිත පනත ප‍්‍රසිද්ධියට පත් නොවීය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන් පසුවත් ප‍්‍රසිද්ධියට පත් කෙළේ සංශෝධනයට පෙර පැවති පනතේ සිංහල පිටපත පමණි. කෙසේ වෙතත් සංශෝධිත කෙටුම් පතෙහි පිටපතක් ඉතා දුෂ්කර ක‍්‍රමවේදයක් හරහා අපට ලබාතත හැකි විය. එහෙත් එහි සිංහල පිටපතක් පොදුජනයාගේ පරිශීලනය සදහා ඉදිරිපත්කෙරී නැත. එම නව සංශෝධනය මගින් නව පනතේ යම් ව්‍යුහාත්මක වෙනස්කම් ප‍්‍රමාණයක් ඇතුල්කොට ඇත. එහෙත් මෙම ලිපිය මගින් මතු කරන ලද සේනක බිබිලේ ප‍්‍රතිපත්ති වලට අදාළ මූලික පැතිකඩවල සිදුවිය යුතු ප‍්‍රභල වෙනස්කම් එම නව සංශෝධන වලද අඩංගු වන්නේ නැත.

අසාදු ලේඛනගත කිරීමේ ක‍්‍රියාවලිය ගත්විට එහි පැතිකඩ ත‍්‍රිත්වයක් ඇත. පළමුවැන්න මිනිස් සිරුරට අහිතකර ප‍්‍රතිඵල සහිත වීම නිසා ඖෂධ නාමයෙන් අසාදු ලේඛනගත කිරීමයි. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකානු ආහාර  සහ ඖෂධ ආයතනයේ අසාදු ලේඛන භාවිතා කළ හැක. ඊට අමතරව විවිධ පර්යේෂණ ආයතනවල දත්ත භාවිතා කළ හැක. උාහරණයක් ලෙස එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පර්යේශණ දත්ත අනුව දැනට ලෝකයේ භාවිතා වන ඖෂධ 400කට අධික ප‍්‍රමාණයක් භාවිතයෙන් ඉවත්කළ යුතුය. එම නිසා රෝදය නැවත නැවත සොයාගැනීම අවශ්‍යවන්නේ නැත. නමුත් අප වැනි රටවල ජාත්‍යන්තරව පළිගත් එම තොරතුරු අනුව ලියාපදිංචිය අවලංගු කොට ඖෂධයක් කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරීමේ ක‍්‍රමවේදයක් නැත. නව පනතේ ඒ පිලිබදව වචනයක්වත් අඩංගු වන්නේ නැත. ඊට අමතරව අසාදු ලේඛනගත කිරීමේ දෙවන ක‍්‍රමය ඖෂධනාමයෙන් අනුමත වී ඇති ඖෂධයක හෝ වෙළද නාමයක ගුණාත්මක තත්වය පිළිගත නොහැකි ආකාරයට දිගින් දිගටම බිදවැටීමය. තුන් වැනි ක‍්‍රමය අහඹු බිදවැටීම නිසා තාවකාලිකව අසාදු ලේඛනයට ඇතුලත් කිරීමය. ඒ කිසිවකට සංශෝධිත පනතේ ප‍්‍රතිපාදන සලසා නැත. එසේ වුවත් නව පනත මගින් සංශෝධනයට පෙර පනතේ පැවති අඩපාඩුකම් තුනක් පමණක් යම් පමණකට නිවරදි කොට අත.

පළමුවැන්න වෛද්‍යවරුන්ට සහ මහජනයාට අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීමේ වගකීම පිළිගැනීමය.  එහෙත් ප‍්‍රායෝගිකව එම වගකීම ඉටුකරන බව සහතික කිරීම සදහා නිශ්චිත ක‍්‍රියාකාරකම් පනත මගින් නිර්දේශකොට නැත. දෙවැන්න මිල කමිටුවක් පත්කිරිමය එහෙත් තෝරා ගත් බහුලව භාවිතාවන ඖෂධ ලයිස්තුවක මිල ලයිස්තු ප‍්‍රදර්ශනය අනිවාර්ය කොට නැත. නිවරදිකොට ඇති තුන්වන අඩුපාඩුව ඖෂධ දේශීය නිශ්පාදනය දිරිගැන්වීම සදහා වන වගකීම පනතට ඇතුලත් කිරීම. එහෙත් උපදේශන වගකීමට එහා යන නියාමන වගකීමක් පවරා ගැනීම මගින් අවුලක් ඇති කොට ගෙන ඇත. පනත ක‍්‍රියාත්මක කිරීමට උත්සහ කිරීමේදී කර්මාන්තයක් නියාමනය කිරීමේ  යථාර්තය ගැඹුරින් අධ්‍යයනය නොකර පවරාගත් එම වගකීම ප‍්‍රායෝගිකව ඉටුකිරීම දුශකරවිය හැකි වනබව පමණක් නොව එම තත්වය  කර්මාන්තයට අහිතකර ලෙස බලපෑහැකි අකාරයද අනාගතයේදී තේරුම්ගත හැකි වනු ඇත. ඒ අනුව මෙම ලිපිය ම`ගින් එල්ල කරන චෝදනා මූලික ප‍්‍රතිපත්තිමය කරුණු වලට අදාලව තවදුරටත් වලංගුවේ.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.

One Response to “නව ඖෂධ පනතේ මෝරුන් රිංගන හිල්”

  1. Dr.K Says:

    වෛද්‍ය වසන්ත බණ්ඩාර
    ජාතියට උපන් රටට යහපතක් කිරීම වෙනුවෙන් කැපවී කටයුතුකරණ ඔබ මේ කර ඇති විග්‍රහය ඉතා අගනේය. එයින් පහත ප්‍රකාශය මා යලි යලිත් කියවුවෙමි

    “මෙම බරපතල වැරදි නිවරදි කිරීමෙන් තොරව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් පියා හරියට ම නොදන්නා දරුවෙකුට නීත්‍යානුකූල පීතෘත්වය ලබාදීමේ වගකීම පමණක් රාජිත සේනාරත්න ගරු අමාතයතුමා ට බාර ගැනිමට සිදුවනු ඇත. එසේම මහමෙරක් සේ විළිලා මී පැටවෙකු වැදීමට වින්නඹුකම් කිරීම පිලිබ`දව සමස්ත වෛද්‍ය පරපුරම මහජනයාගේ අප‍්‍රසාදයට පත්වනු ඇත. එසේ වුවහොත් සේනක බිබිලේ නම් වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ නම විකුණමින් රෝගීන් පමණක් නොව සමස්ථ සෞඛ්‍ය සේවාවම අත් අඩංගුවේ තබා ගැනීමට මහා ඖෂධ සමාගම් වලට ඉඩ සැළසෙනු ඇත. ඒ සියල්ලට අමතරව ජාතික ඖෂධ අධිකාරිය නමින් ඉදිවන දැවැන්ත ආයතනයකට පත්වන නිලධාරීන් අතලොස්සකගේ නඩත්තු වියදම් වැඩිවීමේ බරද මහජනයා පිට පැවරෙනු ඇත”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress