ගමක අසිරිය
Posted on March 11th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

 අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා. 

 ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා, රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා. 

 මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට සොකරි නටපු නිසා ගමේ ඈයො බස්නායකට කීවේ සොකරියා කියලා. සොකරියා ඒ කලේ ඉඳන් මන්ත්‍රීතුමාගෙ පස්සෙම වැටිලා හිටියා. දැන් සොකරියාට ජයයි.

 බෙන කොස් ගහේ හොඳ ගෙඩියක් පැහිලා, මම සරම කැහැපොට ගහගෙන කොස් ගහට නැගලා ගෙඩිය කැඩුවා , ගෙඩිය බිම වැටෙන සද්දෙට අල්ලපු වැටේ සීතා අක්කා පිළිකන්නෙන් ඔලුව දාලා බැලුවා. සීතා අක්කා මගේ දිහා බලලා හිනා උනා. මමත් හිනා උනා. සීතක්කා ඇදගෙන හිටියේ කොට චීත්තයක් , ඒකට සීතා අක්කාගේ කලවා දිහා හිටන් පෙනුනා. 

 සීතා අක්කාට ගමේ අය කිව්වේ පන්සල් සීතා කියලා. එකට හේතුව සීතා අක්කා නිතරම පන්සලට ගිය නිසා. පන්සලේ රතනසාර හාමුදුරුවෝ සීතක්කව තියගෙන්න ඉන්නවා කියලත් ගමේ කතාව ගියා. ඔය කතා වලට මම කට දාන්න ගියේ නැහැ. එත් දවසක් මම කරුවල වැටුණු වෙලාවක පන්සල් වත්ත මැදින් එනකොට දැක්කා ආවාස ගෙයි ඉදන් සීතා අක්කා එනවා . රතනසාර හාමුදුරුවෝ සරමක් ඇඳගෙන ඒ එක්කම එලියට අවා. දෙන්නම මාව දැක්කත් මම ඒ අය නොදැක්ක ගානට හිමීට ගියා. හාමුදුරුවෝ මට “විජේරත්න බන්ඩා ළමයෝ” කියලා කතා කලා. මම හාමුදුරුවෝ ලඟට ගිහිල්ල වැන්දේ යන්තමට වගේ. සරමක් ඇදගෙන ඉන්න කෙනෙක්ට පසඟ පිහිටවලා වඳින්න බැහැනේ. 

 රතනසාර හාමුදුරුවෝ මට කවදත් සලකනවා ගමේ උගතා කියලා. හාමුදුරුවෝ මට පරණ ‘දෙසතිය’ සඟරා මිටියක් ආවාස ගෙට ගිහිල්ලා අරගෙන ආවා. හාමුදුරුවෝ දන්නවා මම පොත් පත්තර සඟරා කියවන්න කැමතියි කියලා. මම සඟරා මිටිය අරගෙන පන්සල් වත්තෙන් එලියට බහිනකොට සීතා අක්කා නුග ගහ අස්සෙන් මතු උනා. “මල්ලියේ කරුවලයි උඹත් එක්ක යන්න බලාන මම නුග ගහ යට හිටියා” කියලා සීතා අක්කා කිව්වා. අපි කතා බහක් නැතිව ගුරු පාර දිගේ ඇවිදගෙන ගියා. පන්සලේ පින්කමක් ගැන තොරතෝංචියක් නැතිව සීතා අක්කා කියවනවා. මම ඒවාට වැඩිය ඇහුම්කන් දුන්නේ නැහැ. පන්සලේ පින්කමක් තිබ්බොත් මිනිසුන්ගෙන් සමාදම් එකතු කරනවා. පන්සලට කුඹුරු ඉඩම් තියනවා. ඒත් පන්සලට යමක් ගියොත් මිසක් පන්සලෙන් මිනිසුන්ට හාල් ඇටයක දෙයක් ලැබුනේ නැහැ.

 අපි අල්ලිසාගේ කඩේ පාස් කරනකොට පැට්‍රොල්මැක්ස් එලියන් අපිව හඳුනා ගත්ත කොටරන්ජියා ඔලොක්කුවට කැස්සා. ඌ හිතන්න ඇති මම සීතක්කව කොහේ හරි අවලම් ගමනක ගෙනිච්චා කියලා. කඩේ හිටිය තේගිස් ඇහුවා “බෑරක්ද” කියලා මම කිව්වා “නැහැ ගෙදර යන ගමන්” කියලා. ඊට පස්සේ තේගිස් මොකුත් ඇහුවේ නැහැ ඒත් සීතා අක්කා දිහා හොඳට බැලුවා. කඩේ බඩු ගන්න ඇවිත් හිටපු සෙනෙහෙලතා ඒ එක්කම බඩු මල්ලක් අරගෙන කඩෙන් එලියට බැස්සා. අපිව දැකපු සෙනෙහෙලතා ලෙන්ගතුව හිනාවෙලා පිල්ලෑව පාරෙන් යන්න ගියා. සීතා අක්කා සෙනෙහෙලතා දිහා බලලා රැව්වා. “ලස්ප්රේ පැකට් එකට ආගමට ගිය හැත්ත ” සීතා අක්කා කිව්වේ සෙනෙහෙලතාට ඇහෙන්න එක්ක වෙන්න ඇති.

 පහුගිය අවුරුද්දේ ගමට පාස්ටර් කෙනෙක් අවා; ඇවිත් නැවතුනේ කරුපයියගේ ගෙදර , කරුපයියා හින්දු , ටික දවසකින් කරුපයියා වහලේ පිදුරු ගලවලා වහලට ටකරන් දැම්ම . කවුරුත් කිව්වේ පාස්ටර් කරුපයියාට වහලේ හදන්න සල්ලි දීල කියලා. ඒ එක්කම පාස්ටර් කරුපයියාගේ වත්තේ පොඩි මඩුවක් ගැහුවා. එකේ බිත්ති බැන්දේ මැටි වලින්. උන බම්බුවක ගහපු කුරුසයක් මඩුව ඉස්සරහ හිටවලා තිබ්බා. ඉරිදා උදේට කරුපයියා සහ පවුලේ උදවිය යාඥා කරන්න පටන් ගත්තා. ගමේ වෙන කවුරුවත් ආවේ නැහැ. මාස දෙක තුනකින් විතර පොල් ගහකින් වැටිලා ඔත්පල වෙච්ච්ච හරමනිස්ගේ පවුලයි ළමයි හතරදෙනයි යාඥා කරන්න මඩුවට ආවා. ඒ අයට නයට කඩෙන් බඩු දෙන්න කියලා පාස්ටර් තේගිස්ට කිව්වා. කඩේ බිල මාසේ අන්තිමට බේරුවේ පාස්ටර්. හරමනිස්ගේ පවුලයි ළමයි හතරදෙනයි අහේනියක් නැතුව ජීවත් වෙනවා දැක්ක ගමේ සමහරු යාඥා මෙහෙයුමට එන්න පටන් ගත්තා ඒ අයට පාස්ටර් ටකරන්, සැමන් ටින්, ලක්ස්ප්රේ වගේ දේවල් දුන්නා. දැන් පාස්ටර්ට සැහෙන අනුගාමිකයන් ගානක් අපේ ගමේ ඉන්නවා. 

 රතනසාර හාමුදුරුවෝ පාස්ටර්ට ගෝරියක් දැම්මා, ගමේ අය ආගමට හරවනවා කියලා. වෙද මහත්තයා , විතාරණ ඉස්කෝලේ මහත්තයා එහෙමත් ආවා. හාමුදුරුවෝ මඩුව කඩන්න හැදුවත් ගමේ සමහර අය ඒකට ඉඩ දුන්නේ නැහැ. එදා පොලිසියේ මහත්තුරුත් අවා. ඊට පස්සේ රතනසාර හාමුදුරුවෝ මොකුත් නොකියා ගියා. එයින් පස්සේ පාස්ටර්ට කාගෙන් වත් කරදයක් ආවේ නැහැ. 

 මෙහෙම මාස හයක් විතර යනකොට දරමඩුවේ රත්නපාල දවසක් පාස්ටර්ට ඔලුව පැලන්න ගහලා කියලා ආරංචියක් ආවා. බලනකොට ඇත්තටම රත්නපාලයා පාස්ටර්ට ගහලා. පාස්ටර් ඔලුව රෙදි පටි වලින් වෙලාන හිටියේ. පස්සේ මට සේකර කතාව කිව්වා. පාස්ටර් යාඥාවලට ආපු රත්නපාලගේ බාල දුව අනාත කරලා. වැඩේ රත්නපාල දැනගන්නකොට කෙල්ලගේ බඩට මාස දෙකයිලු. දැන් කෙල්ල ලමයව හදාගෙන ඉන්නවා. පාස්ටර් ගෙදරට අවශ්‍ය කළමනා අරගෙන දෙනවා. දැන් පාස්ටර් කරුපයියා ගේ පවුලගේ අක්කත් එක්ක එළිපිටම ජීවත් වෙනවා. යාඥාවලට එන ගැටිස්සියන්ගේ ඇඟපත එහෙමත් අත පත ගානවත් කියලයි ගමේ අය කිව්වේ. එත් පාස්ටර්ගෙන් ලැබෙන ටකරන් , සැමන් ටින් , ලක්ස්ප්රේ නිසා ගමේ අය ඉවසුවා. නැත්තම් ගමේ එවුන් මෙලහකට පාස්ටර්ට ගල් ගහලා එළවලා.

 අපේ ගම ගැන හිතනකොට මට ඉස්සර මහා කලකිරීමක් දැනුනා. අර්ධ වැඩවසම් නොදියුණු ගමක සිදුවන විපරීත. සුනිල් සාන්තගේ සින්දු වල ගම ගැන මවන්නේ හරිම සුන්දර පින්තුරයක්. වෙලේ ඔලු පිපිලා , මනස්කාන්ත වෙල්යාය . කුඹුරු වල වැඩ කරන ගොවියෝ, ඇඹුල ගේන ගෙවිලියන්. ඒත් සැබෑ ගම කොච්චර වෙනස්ද? අපේ ගම් වල කුහකකම, ඉරිසියාව වැහි වැහැලා. මිනිහෙකුට හරි යනවට තව මිනිහෙක් කැමති නැහැ. මම විශ්ව විද්‍යාලෙට තේරුනාම ගමේ මිනිසුන්ගේ ඇස් වල කටු ඇනුනා වගේ උනා. ඒ කලේ අම්මා මට තේ උගුරක් වත් පිට ගෙදරකින් බොන්න එපා කියල කීවා, වසක් විසක් වත් දමයි කියලා. මම උපාධිය පාස් වෙලා රස්සාවක් නැතිව තැපැල් කන්තෝරු වල ගාටන කොට ගමේ ඈයෝ මට හිනා උනා. මට වෙලාවකට මහණ වෙන්නත් හිතුනා. එත් අපේ පන්සලේ වෙන අධ්‍යාත්මික පරිහානිය දැක්කම මට ඒ අදහසත් එපා උනා. මම ගමේ උගතා ඒත් මට වඩා මිනිස්සු ඔලුව පාත් කරන්නේ ජෙෂ්ටෙවත් නැති සොකරියාට. මොකද සොකරියා මන්ත්‍රීගේ හෙන්චයියා. මට හිතුනා ගමෙන් පිටවෙලා කොහේ හරි යන්න. නමුත් මට තේරුනා එකත් හරි යන්නේ නැති වග.

 ගුණදාස අමරසේකර මහත්තයාගේ ‘කරුමක්කාරයෝ’ නවකතාව කියවනකොට මට මතක් වෙන්නේ අපේ ගම. කසිප්පු දාවිත් පවුල මැදපෙරදිග යවලා දැන් දුව එක්ක ඉන්නවා. දුවට තාත්තගෙන් ළමයෙකුත් ලැබිලා. මුලදී- මුලදී ගමේ ඈයෝ අහගෙන ඉන්න බැරි විදියේ කයි කතන්දර කිව්වා. පස්සේ- පස්සේ මිනිස්සු ඒක වැඩිය ගානකට ගත්තේ නැහැ. මිනිසුන්ගේ අධ්‍යාත්මික පැත්ත ගොඩනංවන්න හිටපු රතනසාර හාමුදුරුවෝ, පාස්ටර් එහෙම ගමේ මිනිසුන්ටත් වඩා කාම තෘෂ්ණාවේ ගැලිලා. මිනිසුන්ට විමුක්තියක් තිබුනේ දාවිත් පෙරාපු කසිප්පු වලින්. ඒත් රෑට රෑට කසිප්පු බීගත් පිරිමි තම තමන්ගේ ගැනුන්ගේ තොල් පොටවල් පැලෙන්න ගැහුවා, හැලි වලන් පොඩි කරා, ළමයි-ගෑනු ගෙවල් වලින් පන්න ගත්තා.

 යමක් කමක් කියවන නිසා මට ගම ගැන දැනුනේ පිළිකුලක්. ඒත් පස්සේ- පස්සේ මට වැටහුනා වෙනස්වෙන ලෝකේ ගමත් වෙනස් වෙනවා කියලා. අපි පොඩි කාලේ පන්සලේ හිටියේ ධර්මරුචි හාමුදුරුවෝ. සිල්වත්කමින් අගතැන්. මේ හතර කෝරලේවත් හිටියේ නැහැ ඒ වගේ ධර්මය දන්න සිල්වත් හාමුදුරුවෝ කෙනෙක්. උන්නාන්සේ අපවත්වෙලා කාලෙකට පස්සේ තමයි රතනසාර හාමුදුරුවෝ පන්සලට වැඩියේ. රතනසාර හාමුදුරුවෝ වැඩියට පස්සේ පන්සල කඩා වැටුනා. ඒ එක්කම ගමත් වැටුනා. දැන් මම මේ හැම දෙයක් ගැනම බලන්නේ උපේක්ෂාවෙන්. නිතර පන්සල් නොගියට මම බන පොත් බලනවා . ලෝක ස්වභාවය ගැන මට දැන් තේරෙනවා. විශ්ව විද්‍යාලේ ඉන්න කලේ දේශපාලනය කරට අරගෙන කරපු වනිගරත්න නොහොත් ‘ජූතකයා’ දීපු එංගල්ස්ගේ පොතක තිබුන දෙයකුත් මට මතක් උනා. “පදාර්ථයේ පැවැත්ම රඳා ඇත්තේ නිරන්තරව සිදුවන වෙනස්වීම මතයි” අපේ ගමත් වෙනස්වීම නමැති ප්‍රවාහයට මුහුණ දෙනවා.

 මට දැන් ලොකු බලාපොරොත්තු නැහැ. එළවුලු ටිකක් වවාගෙන පොල් ටිකක් කඩේට විකුනලා කොස් ගෙඩියක් , දෙල් ගෙඩියක් කාලා මමයි අම්මයි කොහොම හරි ජීවත් වෙනවා. හම්බ වෙන්නේ නැති රස්සා පස්සේ මම දැන් දුවන්නේ නැහැ. පොතක් පතක් කියවනවා, මම නිතර දෙවෙලේ දකින ගම ගැන මෙනෙහි කරනවා, ගමේ වෙනස්වීම්, විපරීත දැන් මට වටහා ගන්න පුළුවන්. 

 වෛද් රුවන් එම් ජයතුංග

4 Responses to “ගමක අසිරිය”

  1. Dr.K Says:

    මා සාහිත්‍ය විචාරකයෙක් වත් නවකතා කෙටිකථා තොගවසයෙන් කියවන්නේක්වත් නොවන්නේය. එහෙත් ගමක අසිරිය වශයෙන් ලියවී ඇති මේ කෙටිකතාව ගැමි පරිසරයෙන් එලියට ඇවිත් දුරු රටක ජිවත් වන මගේ සිත ගත්තේය. රුවන් එය මනස්කාන්ත ලෙස ගොණුකර මා සිත තුළ නිදිගතව තිබූ ගමේ අසිරිය යළි මතු කළේය. රෝස මලේ සුවඳ ලෙස අපි අපේ ගම තුල ඇති අසිරිය මනසින් අත්වින්දද එහි සැබෑ තත්ත්වය රෝසමල කටු රොත්තකින් වටවී ඇතිවා මෙන්ම ගමේ සැබෑ තත්ත්වයද කටුක බව මොනවට පැහැදිලි කරන්නේය. ස්තුතියි.

  2. sarathk Says:

    කෙතරම් අපූරු කෙටිකථාවක්ද ? ලංකාවෙන් පිට වූ පසු කෙටිකථා කියවීමේ අවස්ථාව අහිමිවිය. ඔබේ නිර්මාණ හැකියාවට මගේ ප්‍රණාමය.

  3. . Says:

    දොස්තර K මහතාට සහ සරත් මහතාට : ඔබලාගේ වදන් මට දිරිමත් කිරීමක් වේ. – වෛද්‍ය රුවන් එම් ජයතුංග

  4. Christie Says:

    Namaste: Karupaiya an Indian colonial parasite is the cause of the effects of the village. The villagers lost their land to the Indian colonial parasites like Karupaiya. (who is this Engel the economist or the socialist?). Welost ourland to the Indian colonial parasites. Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress