ඩිලාන්ගේ තර්කය
Posted on March 11th, 2015

නලින් ද සිල්වා

ඩිලාන් පෙරේරා යනු බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකි. ඔහුගේ පියා මාෂල් පෙරේරා වෙයි. ඔහු, එනම් පියා, සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාරයා ය. මාෂල් පෙරේරා ආණ්ඩුකාරයා ලෙස පත්කරනු ලැබුයේ මෛත්‍රීපාල සිරිසේන විසිනි. මාෂල් පෙරේරාලා බදුල්ලට ගියේ අවුරුදු කීයකට පෙර දැයි නො දනිමි. බදුල්ලට මුලින් ගියේ ඩිලාන් පෙරේරාලාගේ පරම්පරාව ද නැත්නම් නිමල් සිරිපාල සිල්වාලාගේ පරම්පරාව ද යන්න ද නො දනිමි. ඒ කෙසේ වෙතත් ඩිලාන්ලා වාමාංශිකයෝ ය. ඔවුන්ට මහජන පක්‍ෂය සමග ද චන්ද්‍රිකා කුමාරතුංග සමග ද සම්බන්ධකම් වෙයි.

මේ සම්බන්ධකම් අපට නොසලකා හැරිය නො හැකි ය. ඩිලාන් පෙරේරා චන්ද්‍රිකාගේ පැකේජය වෙනුවෙන් වැඩ කළේ ය. ඔහු මංගල සමරවීරලා සමග එක පිළේ සිටියේ ය. සුදු නෙළුම් ගෙන තවලම් ගියේ ය. ඔහුගේ දේශපාලනය ගලා එන්නේ දෙමළ ජාතිවාදය ඔස්සේ ය. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියක නැත. ඔහුගේ දේශීයත්වයක් පිළිබඳ ව කිව හැකි දෙයක් නැත. ඔහු දහතුනට පක්‍ෂය. එහෙත් මහින්ද රාජපක්‍ෂ බලයට පත්වීමෙන් පසු ඔහු මහින්දට පක්‍ෂ විය. එහි දී ඔහුට විකල්පයක් නො තිබිණි. 
ඩිලාන් පෙරේරාට පසුගිය දා ශ්‍රී ල නි පක්‍ෂයේ තනතුරක් ද ලැබිණි. ඔහු එහි මාධ්‍ය ප්‍රකාශක වෙයි. ඔහුට ද මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂයේ බොහෝ නායකයන්ට මෙන් ම අප්‍රියෙල් 23 වැනි දාට කලින් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ කඩිමුඩිය වෙයි. එහෙත් එ ජා පක්‍ෂයට අවශ්‍ය අප්‍රියෙල් 23 වැනි දාට පසු මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවේ ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ය. මේ අවුල කෙසේ විසඳෙනු ඇද්දැයි අපි බලා සිටිමු. 
ඩිලාන් පෙරේරා කියන්නේ වැදගත් වන්නේ දින සියය නොව දින සියයේ දී කිරීමට පොරොන්දු වූ වැඩ බව ය. ඒ පොරොන්දු වූ වැඩ දින සියයකින් කිරීමට බැරි නම් තව දින සියයක් වුවත් ගැනීමට ඔහු විරුද්ධ නැත. රාජිත වැදගත් වන්නේ දින සියය නොව වැඩ සියය යැයි කියන විට ද ඒ අදහස වෙයි. මෙය ඉන්දියාවේ මතය බව ද සිතාගත හැකි ය. ඩිලාන්ලාට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ අය ලෙස ඉන්දියාවත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බාධාවක් නැත. 
ජාතික ආණ්ඩුව නමින් විජාතික ආණ්ඩුවක් අප්‍රියෙල් 23 වැනි දාට පෙර හෝ පසුව හෝ පිහිටුවීමට අපි විරුද්ධ වෙමු. ශ්‍රී ල නි පක්‍ෂයට එ ජාතික පක්‍ෂය සමග කිසිම ඇයි හොඳයි කමක් තිබිය හැකි නො වේ. ඩිලාන් දින සියය සම්බන්ධයෙන් ගෙනෙ තර්කයට අමතර ව තවත් තර්කයක් ගෙනැවිත් ඇත. ඔහු කියන්නේ මහින්ද රාජපක්‍ෂ තමා අගමැති අපේක්‍ෂක ලෙස නම්කරන ලෙස තවමත් පක්‍ෂයෙන් ඉල්ලා නැති බව ය. එබැවින් මේ අවස්ථාවේ දී ශ්‍රී ල නි පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද ඉදිරිපත් කිරීම ගැන සලකා බැලිය නොහැකි යැයි ඩිලාන් තර්ක කරයි. ඩිලාන්ට අනුව මහින්ද තමන් අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ යුතු බවට ඉල්ලීමක් කිරීමෙන් පසු ඒ ගැන සලකා බැලිය හැකි ය. 
ඩිලාන්ගේ තර්කයෙහි වැදගත් කමක් වෙයි. මෙතෙක් මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයන් කියා සිටියේ අගමැති තනතුරක් වෙනුවෙන් අපේක්‍ෂකයන් නම් නොකරන බව ය. එහෙත් දැන් ඩිලාන් කියන්නේ එසේ කිරීමට හැකි බවත් ඒ සඳහා පළමුව මහින්ද රාජපක්‍ෂ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු බවත් ය. මහින්ද ඉල්ලුම් පතක් ඉදිරිපත් කිරමෙන් පසු ශ්‍රී ල නි ප අගමැති තනතුරකට අපේක්‍ෂකයන් ඉදිරිපත් නොකරන්නේ යැයි කීම සදාචාර විරෝධී දේශපාලන කුහක කමක් වනු ඇත. 
එහෙත් එවැනි තනතුරක් සඳහා තමා ම ඉදිරිපත් වීම ද එක්තරා අතකින් ගතහොත් සදාචාර විරෝධී ය. තනතුරක් සඳහා යම් කිසිවකුගේ නම බොහෝ විට යෝජනා කර ස්ථිර කරන්නේ වෙනත් අය ය. අද වන විට මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානයේ අගමැති අපේක්‍ෂක කරන ලෙස විවිධ පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආදියෙන් මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂ ශාඛාවලින් ද ඉල්ලුම් කෙරී ඇත. අද අමුතුවෙන් මහින්ද රාජපක්‍ෂ තමන් වෙනුවෙන් ඉල්ලුම් පත් එවිය යුතු ම නැත. ශ්‍රී ල නි පක්‍ෂය අද කළ යුත්තේ පක්‍ෂ සම්මේලනයක් කැඳවා අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන්නේ කවු දැයි තීරණයක් ගැනීම ය.    
නලින් ද සිල්වා
2015 මාර්තු 11

2 Responses to “ඩිලාන්ගේ තර්කය”

  1. Christie Says:

    Namaste: Gomin you thinking of what is happening in the well we have dug for majority of us non Indians. We are fighting among ourselves while the Emperor is rolling his way here after the win in the last election. Any fights between the Kankani and the Coolie are not a problem for the Emperor. The governor will look after things. As you say what India need is a parliament where the non Indians will have 2/3 majority. Jai Hind

  2. Christie Says:

    The above comment is with the with the wrong article.

    Namaste: 100 day joke is for the fools like me, President elected is for six years and Emperor is well aware of it. Indian imperialists next job is to deny the non Indian majority 2/3 majority in the parliament. Looking at the behavior of the non Indians in the island the Emperor has achieved it and with the proposed changes it will be sealed. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress