කොට්‌ඨාස ක්‍රමයට ඡන්දය තිබුණොත් බේරුවල පැරදිලා මමත් ගෙදර – අමාත්‍ය රාජිත සේනාරත්න
Posted on March 14th, 2015

බුලිත ප්‍රදීප් කුමාර Courtesy Divaina

අමාත්‍ය රාජිත සේනාරත්න මේ දිනවල රටේ අවධානයට ලක්‌ව ඇත්තේ ශ්‍රීලනිපය හා එජාපය අතර තිබෙන මතවාද නිරාකරණය කරන මැදිහත්කරුවෙක්‌ ලෙසටය. ස්‌වාධීන මතවාද ඉදිරිපත් කිරීම අතින්ද ඔහු ප්‍රකටය. පවතින දේශපාලන වාතාවරණය පසුබිම් කරගෙන ‘දිවයින’ මේ සාකච්ඡාව ඔහු හා කරනු ලැබුවේ රජය තුළ පවතින යම් යම් විසංවාද පැහැදිලි කර ගන්නටය.

ප්‍රශ්නය – මේ ආණ්‌ඩුවට අද රටේ විවිධ විවේචන තියනවා. සමහරු කියනවා මේකට යහපාලන ආණ්‌ඩුව කියලා. තවත් සමහරු කියනවා නියම යූ. ඇන්. පී. ආණ්‌ඩුවක්‌ කියලා. සමහරු කැඳහැලියක්‌ කියලත් කියනවා. මේක ඇතුළෙම ඉන්න මධ්‍යස්‌ථ නිදහස්‌ මතධාරී දේශපාලනඥයෙක්‌ විදියට ඔබ මේ ආණ්‌ඩුව දකින්නේ කොහොමද?

පිළිතුර – මේවා පෙරමුණු ආණ්‌ඩුනේ. පෙරමුණු ආණ්‌ඩුවල එකතුවෙලා ඉන්න හැම දේශපාලන කණ්‌ඩායමකටම තියනවා තමන්ට අනන්‍ය දේශපාලනයක්‌. ඒ වගේම අපි එකතුවෙලා ඉන්නවා පොදු පරමාර්ථයකට. අපේ පොදු පරමාර්ථය තමයි දින සියයේ සම්මුතිය. දින සියයේ වැඩපිළිවෙල. මෙතන ඉන්න පක්‍ෂවලට වෙනස්‌ වූ විවිධ මත තිබුණාට ඔක්‌කොම පොදු පරමාර්ථයට එකඟයි. අපි ඒ සඳහා ඉදිරියට යන්න නොයෙකුත් කමිටු හදලා තියනවා. ඒ වැඩපිළිවෙල ආණ්‌ඩුවේ ක්‍රියාත්මක කරන උත්තරීතර මණ්‌ඩලය තමයි අපේ කැබිනට්‌ මණ්‌ඩලය. එහි කටයුතු අධීක්‍ෂණය කරන්න ජාතික විධායක සභාව ඉන්නවා. පක්‍ෂ නායකයන්ගෙන් සැදුම්ලත්. ඊටත් උඩින් තියනවා උපදේශක මණ්‌ඩලයක්‌. ජාතික විධායක සභාව තමයි තීන්දු ගන්නේ. ඒ තීන්දු ක්‍රියාත්මක කරන්නේ කැබිනට්‌ මණ්‌ඩලය. ඒක තමයි මේ ආණ්‌ඩුව. හැමදාම පෙරමුණු ආණ්‌ඩුවල විවිධ මත දරන අය ඉන්නවා. නමුත් පොදු වැඩපිළිවෙලක්‌ මත හැමෝගෙම එකඟත්වය මත රජය ඉදිරියට යනවා.

ප්‍රශ්නය – ඇයි මේ ආණ්‌ඩුවට අද ජනතාව යූ. ඇන්. පී. ආණ්‌ඩුවක්‌ය කියලා විවේචන ගේන්නේ?

පිළිතුර – ඒක වැරදියිනේ. ඔය කතාව ගෙනෙන්න ප්‍රධාන වරද කරගත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය. දින සියයේ වැඩසටහන යූ. ඇන්. පී. වැඩපිළිවෙළක්‌ කියල එයාලා අර්ථකථනය කළා. කර ගත්තා. නමුත් මේක යූ. ඇන්. පී. වැඩසටහනක්‌ නොවෙයි. මේකේ යෝජනා හදන්න ජාතික විධායක සභාවේ හා උපදේශක සභාවේ පක්‍ෂ ඔක්‌කොම එකතු වුණා. ජවිපෙ, දෙමළ ජාතික සන්ධානය, හෙළ උරුමය, ශ්‍රී ලංකා, යූ. ඇන්. පී. මේ ඔක්‌කොගෙම අදහස්‌ මෙතන අන්තර්ගතයි. ආණ්‌ඩුව ඇතුළේ එජාප බහුතරයක්‌ හිටියට මේ වැඩපිළිවෙලේ අන්තර්ගත කරුණු ඔක්‌කොම එයාලගේ නොවෙයි. මේක ලේඛනගත කළෙත් හෙළ උරුමයේ අශෝක අබේගුණවර්ධන, මෙතන තියෙන්නේ වැඩිපුරම මේ රටේ ප්‍රගතිශීලීන්ගේ වාමාංශික කඳවුරේ යෝජනා. එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්‍ෂය ලොකු ලිබරල් වැඩපිළිවෙලක ඉඳල මේකට එකතු වුණා. ආන්න ඒකයි. මේක යූ. ඇන්. පී. යෝජනා තියන වැඩපිළිවෙළක්‌ නොවෙයි.

ප්‍රශ්නය – ජාතික විධායක සභාව හා එහි කටයුතු යථාර්ථයක්‌ වීමට නම් සියලු පක්‍ෂ ඊට පැමිණිය යුතුයි. ඇයි සෝභිත හාමුදුරුවන්ව මේ රැස්‌වීම්වලට කැඳෙව්වේ නැත්තේ.

පිළිතුර – ජාතික විධායක සභාවට උන්වහන්සේ නැහැ. උන්වහන්සේ ඉන්නේ ජාතික උපදේශක සභාවේ. ජාතික විධායක සභාවේ ඉන්නේ පක්‍ෂවල නායකයෝ විතරයි. උපදේශක සභාව පත් කළේ ජාතික විධායක සභාවටත් ආණ්‌ඩුවටත් උපදෙස්‌ දෙන්න.

ප්‍රශ්නය – හරි මම අහන්නේ උපදේශක සභාවේ කටයුතු, රජයේ කටයුතු අද සෝභිත හාමුදුරුවෝ පවා විවේචනය කරනවා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ උපදෙස්‌ පිළිගන්නේ නැහැ කියන එකද?

පිළිතුර – ඇයි එහෙම කියන්නේ.

ප්‍රශ්නය – උපදෙස්‌ පිළිගන්නවා නම් උන්වහන්සේ මේ තරම් රජයේ කටයුතු විවේචනය කරන්න ඕන නැහැනේ. රජයේ අලුත් ව්‍යවස්‌ථා සංශෝධනය ගැන මැතිවරණ ක්‍රමය ගැන, රජයේ ආයු කාලය ගැන, ඊළඟ මැතිවරණය ගැන, ජනාධිපතිවරයා එජාපය හා එක්‌ව හංසයා ලකුණෙන් ඡන්දය ඉල්ලිය යුතුයි කියන කාරණාව ගැන උන්වහන්සේ තුළ ලොකු විවේචන තියනවා.

පිළිතුර – මම කිව්වනේ මේක පෙරමුණු ආණ්‌ඩුවක්‌. එක එක කණ්‌ඩායම් දරන මත වෙනස්‌. නමුත් අපි වැඩ කරන්නෙ එකඟ වුණා වැඩපිළිවෙලකට අනුව. එතනදී උන්වහන්සේ දරන සමහර මත සමග මමත් එකඟයි. ජනාධිපතිතුමත් එකඟයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් එකඟයි. මැතිවරණ ක්‍රමය වෙනස්‌වීම ගැන අපි ඔක්‌කොම උන්වහන්සේගේ මතය සමග ඉන්නවා. මේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කරල තමයි ඊළඟ මැතිවරණය පවත්වන්න ඕන. ඉතින් දින 100 තුළ කියන්නේත් ඒකනේ. විවේචන නෑ. අපි උන්වහන්සේ සමග එකඟයි. මේ කියපු පොරොන්දු වුණ ඔක්‌කොම දින 100 ඇතුළේ කරන්න ඕන. දින 100 කියන එක එහේ මෙහේ වුණාට ප්‍රශ්නයක්‌ නෑ.

ප්‍රශ්නය – නමුත් එජාප නායකයා, ජවිපෙ නායකයා සමහර කණ්‌ඩායම් කියනවානේ 23 පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියලා. ඒකට මොකද කියන්නේ.

පිළිතුර – මේ රජය පිහිටුවන්න දායක වුණ හැමෝම දන්නවා. ඒ අය ආවේ දින 100 න් ආණ්‌ඩුව විසුරුවන්න නොවෙයි. දින 100 ඇතුළේ පොරොන්දු වුණ වැඩ ටික ඉවර කරන්න. පොරොන්දු ඉටුකරන්න. නමුත් එකම පනතක්‌වත් අදාළ දින වකවානුවලට හරි දිනයට එළියට ආවේ නැහැනේ. එහෙව් එකේ විසුරුවාහරින එක විතරක්‌ මැතිවරණ විතරක්‌ දින 100 න් කරන්න කියලා බල කරන්න කාටවත් බෑ.

ප්‍රශ්නය – නමුත් දැන් දින 100 න් දින 60 ක්‌ ගෙවිල ඉවරයි. තව තියෙන්නේ දින 40 යි. කොහොමද 60 කින් නොකරපු දේවල් 40 න් කරන්නේ. ජනතාවට විශ්වාස නැහැ.

පිළිතුර – ඉතිරි ඔක්‌කොම කරල ඉවර වෙනවා. යම් ප්‍රමාදයක්‌ වුණොත් ඒ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් විතරයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ස්‌වාධීන කොමිෂන් සභා, මන්ත්‍රීවරුන්ගේ විනය පද්ධතිය, විගණන පනත, තොරතුරු දැනගැනීමේ පනත ආදී සියල්ල කෙටුම්පත් හදල ඉවරයි. ඒක කරන්න පුළුවන්. ටිකක්‌ කල් ගියොත් යන්නේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට විතරයි.

ප්‍රශ්නය – ඇයි මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධයෙන් මතුවෙලා තියන ප්‍රශ්නය මොකක්‌ද?

පිළිතුර – එහෙම ප්‍රශ්නයක්‌ නැහැ. සමහරු හිතනවා මේක දින 100 ඇතුළේ කරගන්න බෑ කියලා. කුඩා පක්‍ෂවල බියක්‌ තියනවා තමන්ගේ නියෝජනය 5% වත් නැතිවෙයි මේ ක්‍රමයෙන් කියලා. ඒක නිසා තර්ක විතර්ක යනවා. අපි කිව්වා එහෙම පාඩුවක්‌ වෙන්නේ නැහැ… මේ මිශ්‍ර ක්‍රමයෙන් අර සමානුපාතික ක්‍රමයේ ප්‍රතිඵලයම ලැබෙයි කියලා. අපි පෙන්නලා දුන්නා. පාර්ලිමේන්තුව නියෝජනය කරන ආසන සංඛ්‍යාව වෙනස්‌ වෙනවා තමයි. ඒකට අපි අලුත් ගණිත මිණිත ක්‍රම අනුව පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ගණන් හදලා අලුත් “සීමා නිර්ණයක්‌” කරන්න ඕන. ඒක කරන එක ඉස්‌සර වගේ අමාරු නෑ. චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ඒක කරන්න පුළුවන්. කොච්චර ජනගහණයක්‌ද කොච්චර භූමි ප්‍රමාණයක්‌ද කියලා අපි ගණන් හදනවා. මේවා ලොකු දේවල් නොවෙයි.

ප්‍රශ්නය – හැබැයි මේකට දින 100 පනීවි නේද?

පිළිතුර – නැහැ. අවශ්‍ය නැහැ එච්චර කාලයක්‌. මේ කාලපරිච්ඡේදය හොඳටම ඇති මේක කරන්න.

ප්‍රශ්නය – මේ දින 100 තුළම මේක කරන්න පුළුවන් නම් මොකටද මේ තරම් ලොකු විසංවාදයකට යන්නේ.

පිළිතුර – අවශ්‍ය නෑ තමයි. අපි අද මේක කතා කළා. අපි පෙන්නලා දුන්නා පුංචි පක්‍ෂවලට පාඩුවක්‌ වෙන්නේ නැහැ කියලා. ජනතා විමුක්‌ති පෙරමුණ එතකොට කිව්වා දිනේෂ් ගුණවර්ධන කමිටුවේ යෝජනාව ගැනයි කතා කරන්නේ කියලා. අපි කිව්වා ඒකත් බොහොම හොඳයි. මේ අපේ යෝජනාව ඊට වඩා හොඳයි කියලා. ප්‍රශ්නයක්‌ නෑ.

ප්‍රශ්නය – මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ මතය මොකක්‌ද?

පිළිතුර – හොඳයි…… එයාලා කියන්නේ මේ සියලු යෝජනා ක්‍රියාත්මක විය යුතුයි කියලයි. එයාල හොඳ තැනක ඉන්නවා.

ප්‍රශ්නය – දැන් රටම විධායක අගමැති කෙනෙක්‌ ගැන කතා කරන්න පටන් අරන්..

පිළිතුර – නැහැ. එහෙම එකක්‌ නැහැ. විධායක අගමැති කෙනෙක්‌ ලෝකෙත් නැහැ. මෙහෙත් නැහැ. මේවා මේ ඔයාලා පත්තරවල ලියන දේවල්නේ.

ප්‍රශ්නය – නිකන් පත්තරවල ලියන්නේ නෑ ඇමැතිතුමා. රටේ දේශපාලන කතිකාව විධායක අගමැති කෙනෙක්‌ ගැන කතා කරනවා.

පිළිතුර – අපි නම් ඒ ගැන කිසිම සාකච්ඡාවක්‌ කරල නෑ. ඔයාලයි පත්තරවල තිබුණා. අපි කරන්නේ ජනාධිපති ක්‍රමයේ තිබෙන විධායක බලතල සියල්ල ඉවත් කරන යෝජනාවක්‌. එතකොට අගමැති කෙනකුට මොකටද ඒ බලතල. එහෙම එකක්‌ නෑ. අපි කතා කරලත් නෑ.

ප්‍රශ්නය – ඔබතුමාම පසුගිය දිනවල ප්‍රකාශයක්‌ කළා එහෙමනම් දැන් ඉන්න ජනාධිපති අගමැති කරන්න ඕන කියලා.

පිළිතුර – එක්‌සත් ජාතික පක්‍ෂය කියනවා මුළු ජනාධිපති ක්‍රමයම අහෝසි කරන්න කියලා. ඔය බලතල අහෝසි කරනවා නම් අපි කිව්වා මොකටද ජනාධිපති කෙනෙක්‌. ඔව්. අපි ඒ ක්‍රමයම අහෝසි කරමු කියලා. වරදවා ගන්න එපා. මේ අපි කතා කරන්නේ දැන් ඉන්න ජනාධිපතිතුමාගේ ධුර කාලයට පස්‌සේ ඊළඟට වෙන දෙයක්‌ ගැනයි. මේ ඉන්නේ ජනතා ඡන්දයකින් බලය ලබපු ජනාධිපති කෙනෙක්‌. මෙයාට මුකුත් කරන්න කාටවත් බෑ. ධුර කාලය ඉවර වුණාට පස්‌සේ ඊළඟට ජනාධිපති ධුරයක්‌ නෑ. ඊළඟට පුළුවන් මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඊළඟ අගමැතිකමට තරග කරන්න. ඒකයි මම කිව්වේ. එහෙම නැතුව විධායක අගමැතිවරු පත් කරන්න නොවෙයි.

පිළිතුර – ඔබේ ප්‍රකාශයෙන් ලොකු ඇවිස්‌සීමක්‌ වුණා. හරියට දිමි ගොට්‌ටකට ගලක්‌ ගැහුවා වගේ.

පිළිතුර – කිසිම ඇවිස්‌සීමක්‌ නෑ, මම ඒක කිව්වේ මධ්‍යම කාරක සභාවේදී. එතකොට මගේ ප්‍රකාශයෙන් ප්‍රශ්නය නිවුණා.

ප්‍රශ්නය – එක්‌සත් ජාතික පක්‍ෂය සමග දැන් ශ්‍රීලනිපයට තියනවා නේද මතවාදී ගැටුම්. ඔබ එතන මැදිහත්කරුවෙක්‌ද?

පිළිතුර – දින 100 ට ශ්‍රීලනිපය එකඟ වුණා. වචනයක්‌ වචනයක්‌ පාසා එකඟ වෙනවා කිව්වා. දැන් පහර ගහනවා. එතකොට මේක විහිළුවක්‌ වෙනවානේ. මේ ජනතාව මේ ලියවිල්ලට එකඟතාව පළ කරල තියනවා. ශ්‍රීලනිපයට බෑ ඒකට විරුද්ධ වෙමින් ඒකත් සමග රජයක්‌ එක්‌ක යන්න. මේක මෛත්‍රීපාල සිරිසේනගේ වැඩසටහන. දින 100 වැඩපිළිවෙල එයාගේ. එයා ශ්‍රීලනිපයේ සභාපති. නායකයා. ශ්‍රීලනිපය කොහොමද නව නායකයාගේ ලියවිල්ල විවේචනය කරන්නේ. මේක තේරුම් ගන්න ඕන. ශ්‍රීලනිපය මෙයින් හොඳ පාඩමක්‌ කියල දීල තියනවා සාමය සහ අරගලය එකට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. සාමය සඳහා අරගලය. ඒක තමයි මේ වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙතන හිතන්න ඕන. මැද තැනකට එන්න ඕන.

ප්‍රශ්නය – මැතිවරණ ක්‍රමය වෙනස්‌ වෙලා පරණ ක්‍රමයට හා මිශ්‍ර ක්‍රමයකට ගියොත් පුංචි පක්‍ෂවලට අවාසියි කියන මතය රටේ තහවුරු වෙලා තියනවා. ජවිපෙ වගේ පක්‍ෂයත්a මේ ගැන බයක්‌ ඇති.

පිළිතුර – අන්න එතනනේ වැරැද්ද තියන්නේ. මේ යෝජනා කරන ක්‍රමය ආවොත් ඇත්තටම මටත් පාඩුයි. බේරුවල කියන්නේ එජාපයට බර ආසනයක්‌. ඒ ආසනය තුළින් මම එජාපයත් එක්‌ක ඡන්දය මේ යෝජිත ක්‍රමය යටතේ ඉල්ලුවොත් කෙලින්ම මම ගෙදර. එජාප අපේක්‍ෂකයා පාර්ලිමේන්තු යාවි. නමුත් මම කතා කරන්නේ මම ගැන නොවෙයි රට ගැන හිතලයි. රට වෙනුවෙන් කතා කරන එක මුලට දාන පක්‍ෂත් මේවා ගැන හිතන්න ඕන. මොකද බේරුවල ආසනය එජාපය දිනුවට දිස්‌ත්‍රික්‌කයේම මනාප වලින් ඔන්න රාජිත සේනාරත්නත් පාර්ලිමේන්තු යනවා. ඒක තමයි ආසන ක්‍රමයයි සමානුපාතික ක්‍රමයයි මිශ්‍රිතව මැතිවරණ ක්‍රමය සකස්‌ වුණාම තිබෙන විශේෂත්වය. පුංචි පක්‍ෂ ඒක නිසා බය වෙන්න නරකයි. මම ලෑස්‌තියි පැරදිලා ගෙදර ඉඳලා හරි මේ ක්‍රමය රටට ගෙනල්ලා රටට හොඳක්‌ කරන්න.

ප්‍රශ්නය – ඔබටත් ඔබේ බේරුවල ආසනයේ ප්‍රශ්න තිබෙනවා. ශ්‍රීලනිපය ඇතුළෙත්, පියල් නිශාන්ත මන්ත්‍රීවරයා ඔබට අභියෝග කළා.

පිළිතුර – ඔය හීන දකින මිනිස්‌සු මට අභියෝග නොවෙයි. එයා බලාගෙන ඉන්නේ බේරුවල සංවිධායක වෙන්න. බැරි තැන දැන් මහින්ද රාජපක්‍ෂ පක්‍ෂයේ රජ කරල එයාගෙන් සංවිධායකකම ගන්න බලන් ඉන්නවා, හීන……

ප්‍රශ්නය – මේ යන විදියට තව ටික දිනකින් ශ්‍රීලනිපය දෙකඩ වේවි නේද?

පිළිතුර – නැහැ. ඔය වගේ අර්බුද තිබුණ ඉස්‌සරත්. මහින්දව ගෙනල්ලා කවදාවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මේ රටේ මැතිවරණ දිනන්න බෑ. ඒ මොකද සුළු ජන ඡන්ද ඔවුන්ට දෙන්නේ නෑ. සුළු ජාතීන් මහින්ද තරහ කරගෙන ඉවරයි. එයත් එක්‌ක ගියොත් ශ්‍රීලනිපයටත් අනාගතයක්‌ නෑ.

ප්‍රශ්නය – ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මෙවර ජයග්‍රහණය කළේ මේ රටේ සුළු ජාතික ඡන්ද නිසා කියන එක ඔබ පිළිගන්නවද?

පිළිතුර – නෑ. ඒවත් යම් පමණකට ලැබුණ තමයි. නමුත් මතක තියාගන්න. මේ රටේ තරුණ තරුණියෝ 18 ලක්‍ෂයකට අලුතින් ඡන්ද බලය ලැබුණා. අලුත් තරුණ තරුණියෝ ඡන්දය දුන්නේ මෛත්‍රීට. ඒකයි ජයග්‍රහණයේ රහස. ඔවුන්ගේ බලාපොරොත්තුව ඔහු.

බුලිත ප්‍රදීප් කුමාර

One Response to “කොට්‌ඨාස ක්‍රමයට ඡන්දය තිබුණොත් බේරුවල පැරදිලා මමත් ගෙදර – අමාත්‍ය රාජිත සේනාරත්න”

  1. ranjit Says:

    No one is interested in double tongue rattle snake or his lectures. This snake will definitely lose his seat and be sent home by the Beruwala people for sure. This is the traitor who left the S.L.F.P.party and supported the candidate who contested the S.L.F.P. party boss Mahinda Rajapksa. This power hungry Hora Detuwa should be put in jail for corruption before others. We must find out how a simple Dentist become so rich in a very short time.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress