දැන් මොකද රටට වෙන්නේ – 7 අර්බුදය අද නොවේ හෙට?
Posted on March 14th, 2015

ජනිත සෙනෙවිරත්න Courtesy Divaina

රට යළිත් දේශපාලනික වශයෙන් බරපතළ අර්බුද රැසකට පත්වන ලකුණු පෙන්නුම් කරමින් තිබේ. ඒවා පහසුවෙන් විසඳිය හැකි මට්‌ටමේ ඒවාද නොවේ.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යනු රටේ සියලු දෙනාටම අතිශය වැදගත් ලියවිල්ලයි. රටේ නීතිය, මහජන අයිතිවාසිකම්, රටේ පැවැත්ම ආදී සියලු දේ තීරණය වන්නේ එමගිනි. එවැන්නක්‌ රටටම හොරෙන් හදිසි පනතක්‌ ලෙස කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නට ඇති හදිස්‌සිය තේරුම් ගත නොහැකිය. එය මහජන අදහස්‌ සඳහා ඉදිරිපත් කර මහජන අදහස්‌ ඒ සඳහා ලබාගත යුතුමය. ඊට මහජන විරෝධයක්‌ ඇත්නම් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්‌කරන්නට අවස්‌ථාව මහජනතාවට තිබිය යුතුය. ඇතැම් විට මෙය ජනමත විචාරයකින් සම්මත කරන්නට පවා සිදුවනු ඇත. දහඅට වන ව්‍යවස්‌ථා සංශෝධනය මීට පෙරද මෙලෙස සම්මත කරගන්නට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කළද ඔහුට තුන් වැනි වාරයේ ජනාධිපතිවරණය ජයගන්නට නොහැකි විය. එසේම එහි අඩුපාඩු රැසක්‌ද විය. හදිසියේ සිදුකළ වෙනස්‌කම් අසාර්ථක විය. මේ ආකාරයට බලහත්කාරයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කඩිමුඩියේ ගෙන එන්නට යැම බරපතළ සැක උපදවන කටයුත්තකි. තමන්ට බලය ලැබේ යෑයි සිතා සිදුකළ සියලු ව්‍යවස්‌ථා සංශෝධන අපේ රටේ අසාර්ථක විය. එහෙත් කලින් පවතී ස්‌වාධීන කොමිෂන් සභා යළි ඇතිකිරීම වැනි දේ කඩිනමින් සම්මත කරගන්නට සියලු පාර්ශ්වවල සහය ලැබෙනු ඇත.

දැනට ඇති තත්ත්වය අනුව මැතිවරණ ක්‍රමයේ සංශෝධන හා විධායක ජනාධිපති ක්‍රමයේ සංශෝධන එකවර වෙනස්‌ නොකරන්නේ නම් ඊට සහය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දැනටමත් ප්‍රකාශ කර තිබේ. එක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණය ඉක්‌මන් මහා මැතිවරණයකට යැමය. මේ නිසා මේ පාර්ශ්ව දෙක අතර ගැටුමක්‌ ඇතිවන තත්ත්වයක්‌ මේ වන විට නිර්මාණය වී තිබේ.

අප්‍රේල් 23 දා රජය විසුරුවන්නට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇති එකම විකල්පය වන්නේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමය. එක්‌සත් ජාතික පක්‌ෂය සතු මන්ත්‍රී සංඛ්‍යාව හතළිස්‌ ගණනක්‌ බැවින් එයින් සිදුවන බලපෑමක්‌ද නැත. එසේ කළහොත් වෙනත් අගමැතිවරයෙක්‌ පත්කර රජය පවත්වාගෙන යැම ජනාධිපතිවරයාට කළ හැක. ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයෙන්ම වුවත් අවශ්‍ය නම් පුද්ගලයකු සොයාගැනීම අපහසු නොවන්නේ දේශපාලනයේ එවැනි දේ සුලබ නිසාය. කෙසේ වෙතත් අගමැතිවරයා ඉල්ලා අස්‌වුවහොත් ඔහුගේ ඇමති මණ්‌ඩලයටත්, ඔහු විසින් පත්කළ සියලුම සංස්‌ථා හා මණ්‌ඩල සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂ මණ්‌ඩලවලටත් සිදුවන්නේ ඉල්ලා අස්‌වී ගෙදර යන්නටය. එවිට ඉදිරි මහමැතිවරණය එක්‌සත් ජාතික පක්‌ෂයට මුහුණදීමට සිදුවන්නේ පෙර විපක්‌ෂයේ සිටි ආකාරයටම සම්පත් රහිතවය.

එසේත් නැතිනම් ජනාධිපතිවරයාට තමන් නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ අයකු ඒ සඳහා පත්කර පැහැදිලි බහුතරයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ ගෙන යා හැක. ජනාධිපතිවරණයේදී උදව් ලබාගත් නිසා එවැනි තීරණයකට එක්‌වරම ජනාධිපතිවරයාට යා නොහැකි වුවත් දිගින් දිගටම ජනාධිපතිවරයාට බලපෑම් එල්ලවන්නේ නම් ඔහුද කිසියම් අවස්‌ථාවක දේශපාලන තීන්දුවක්‌ ගනු ඇත.

අනෙක්‌ අතට යම් ලෙසකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි තේමාවක්‌ හෝ පොරොන්දුවක්‌ යටතේ මහා මැතිවරණයකට යන්නට එක්‌සත් ජාතික පක්‌ෂය කටයුතු කළහොත් එයද මේ මොහොතේ එතරම් ඵලදායි නොවනු ඇත්තේ පවතින තත්ත්වය මත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විධායක බලතල හෝ ජනාධිපති ධුරයේ වරප්‍රසාද භාවිත නොකරන තරම් වන නිසා මහජනතාව තුළ විධායක ජනාධිපති ධුරයට විරෝධයක්‌ ඇතිකිරීමද පහසු නොවේ. මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා එම බලතල භාවිතා කළ ආකාරය ගැන යම් මහජන විරෝධයක්‌ පැවතියද, අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එය භාවිත කරන ආකාරය අනුව එයින් කිසිදු අහිතකර බලපෑමක්‌ තිබේදැයි යන ප්‍රශ්නය ඇතිවේ.

අනෙක්‌ අතට රට තුළ ඇතිව තිබෙන සුළු ජාතීන්ගේ බලපෑම් හා සුළු ජාතික පක්‌ෂවල කේවළ කිරීම් හමුවේ, එවැනි බලපෑම් හා යම් යම් ජාත්‍යන්තර තත්ත්වයන් හමුවේ ස්‌ථාවර රටක්‌ සඳහා විධායක ජනාධිපති දුරයක්‌ අවශ්‍ය බවට ජනතාව සිතන්නටද පුළුවන. මේ නිසා සියලු දේශපාලන පක්‌ෂ වර්තමාන තත්ත්වය හොඳින් අධ්‍යයනය කර තීන්දු තීරණ ගත යුතුය.

අනෙක්‌ අතට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා එක්‌සත් ජාතික පක්‌ෂය සම්බන්ධ කරගෙන ඉදිරි මහා මැතිවරණයට පෙර පිහිටුවන්නට යෝජනා වූ ජාතික ආණ්‌ඩුව ගැනද තවමත් අවසන් තීරණයක්‌ නොමැත. එහෙත් ඒ සඳහා වැඩිම විරෝධය ඉදිරිපත්ව ඇත්තේ එක්‌සත් ජාතික පක්‌ෂයෙනි. කෙසේ වෙතත් අවසන් තීරණය ජනාධිපතිවරයා සතුය.

මේ සියල්ල අතරේ 1978 දී විධායක ජනාධිපති ධුරය ඇති වූ අවස්‌ථාවේ අගමැතිවරයා කෙලින්ම ජනාධිපතිවරයා වූවා සේ, එය ආපස්‌සට කැරකෙන මේ අවස්‌ථාවේ ඉදිරි මහමැතිවරණයෙන් පසු වර්තමාන ජනාධිපතිවරයා විධායක අගමැතිවරයා ලෙස ව්‍යවස්‌ථා සංශෝධනයකින් පත් කළ යුතු බවටද යෝජනාවක්‌ ඉදිරිපත්ව තිබේ. රාජිත සේනාරත්න ඇමැතිවරයාද මීට සමාන යෝජනාවක්‌ පසුගිය දිනවල යෝජනා කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පසුගිය සතියේ ඉන්දියානු රූපවාහිනි නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක්‌ දෙමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඉන්දීය ධීවරයන් ඇතුළුවීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ට වෙඩි තැබුවහොත් ශ්‍රී ලංකා නාවික හමුදාව සාපරාධී වගකීමෙන් නිදහස්‌ වන බවට කළ ප්‍රකාශය මේ වන විට විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ. එම සාකච්ඡාවේදී අගමැතිවරයා මෙසේ වෙඩි තැබීම උපමා කරන්නේ තමන්ගේ නිවසට අයුතු ඇතුළුවීමක්‌ කරන අයෙකුට වෙඩි තැබීමේ නිදහස නිවැසියන්ට ඇති බව පවසමිනි. මේ ප්‍රකාශය ඉන්දියානු දේශපාලනඥයන්ගේ දැඩි විවේචනයට භාජනය විය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙම ධීවර ප්‍රශ්නය අද ඊයේ ඇරඹි එකක්‌ නොවේ. එය ශතවර්ෂ ගණනාවක අතීතයකට හිමිකම් කියන්නකි. එය පසුගිය කාලයේ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ නාවික හමුදාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුලු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණද ඔහු කිසි විටෙක ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවුණු ධීවරයන්ට වෙඩි තැබීමට නොගියේය. රනිල් වික්‍රමසිංහ මහතා පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් ලොවම පිළිගන්නා නායකයෙකි. එවැන්නකුගෙන් මෙවැනි ප්‍රකාශයක්‌ බොහෝ දෙනා බලාපොරොත්තු නොවීය. අනෙක්‌ අතට දකුණු ඉන්දීය දේශපාලනයේ විශාල ඡන්ද ප්‍රමාණයක්‌ හිමිවන්නේ ධීවර ප්‍රජාවට වීම සහ මෙන්ම දකුණු ඉන්දියාවේ බලපෑම මත පසුගිය කාලයේ පවා ඒ ඒ ඉන්දීය රජයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී අසරණ වූ ආකාරය ගැන මීට වඩා අප අවධානය යොමු කළ යුතුය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියූ කතාව සත්‍යයකි. අනිත් අතට එය ඔහුගේ මෙරට ඡන්ද පදනම ශක්‌තිමත් කරන ප්‍රකාශයකි. එහෙත් ඉන්දියාව තරහ කර ගැනීමද සුදුසු නැත.

කලකට පෙර ප්‍රේමදාස අගමැතිවරයා ඉන්දිරා ගාන්ධි හා ඇගේ පුතනුවන් වූ රජිව් ගාන්ධි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක්‌ නිසා ඉන්දියාව අපට පාඩම් ඉගැන්වීය.

මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා වරක්‌ එවකට විපක්‌ෂ නායිකාව වූ සුෂ්මා ස්‌වරාඡ් ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවක උතුරේ සංචාරය කිරීමෙන් පසු ජනාධිපතිවරයා පැවැත්වූ භෝජන සංග්‍රහයකදී උතුරේ ආරක්‌ෂක හමුදා අඩුකිරීම ගැන විමසූ අවස්‌ථාවේ ශ්‍රී ලංකා හමුදාව ඉන්දියාවට එවන්න දැයි ප්‍රසිද්ධියේ විමසීම නිසා ගැටලු ඇතිවිය. අවසානයේ ඒවාට වන්දි ගෙවන්නට ඔහුටම සිදුවූයේ බලයද අහිමි කර ගනිමිනි. මේ කරුණු සියල්ල අතරේ වර්තමාන රජය සම්බන්ධයෙන් ඉන්දියාවේ බලපෑම මෙන්ම එයින් ලබාගත හැකි ප්‍රයෝජන ගැනද සිතිය යුතුය.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවට අතිශය වැදගත්ය. ඉන්දීය අගමැතිsවරයකු නිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණියේ වසර 27 කට පසුවය.

පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය අපේ රටට දීර්ගකාලීන වශයෙන් අංශ කීපයකින් හානිදායකය. මේ වන විට චීනය මේ ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාව සමඟ බරපතළ ගැටුමකට ගොස්‌ තිබේ. චීනය පවසන්නේ මෙහි පරිසර ප්‍රශ්න තිබුණ නම් එය ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ ප්‍රශ්නයක්‌ මිස චීනයේ ප්‍රශ්නයක්‌ නොවන බවත්, මෙය මූල්‍ය ගනුදෙනුවක්‌ බවත් ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන්නට වුවද සුදානම් බවත්ය. මේ අතර පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය නවත්වන්නේ ඉන්දියානු බලපෑම මත බව චීනයේ අදහස වී තිබේ. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය සමයේ සිදුකළ විවිධ ප්‍රකාශ මෙන්ම ඒ සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ විවිධ කොටස්‌ අතර ඇති ප්‍රතිවිරුද්ධතා ප්‍රශ්නය තවදුරටත් අවුල් කර තිබේ.

ඉන්දියාව අපට අතිශය වැදගත් අසල්වැසියාය. පසුගිය රජය වැඩ වරද්දාගත්තේ ඉන්දියාව තරහ කර ගැනීමෙනි. චීනයද අපගේ දීර්ඝ කාලීන මිතුරෙකි. අනෙක්‌ අතට ශ්‍රී ලංකාවට වැඩිම ණය ආධාර ලබාදුන් රටකි. මේ ණය ආධාර ලබාදී ඇත්තේ ජාත්‍යන්තර සම්මුතීන් අනුවය. ඒ නිසා කවුරුන් බලයේ සිටියත් ඒ ඒ රටවල් අතර ගනුදෙනුවලින් අපි ගත්තේ නැත කියා ගැලවී යා නොහැක. අනෙක්‌ අතට කවර අඩුපාඩු තිබුණත් පසුගිය කාලයේ චීන ණය ආධාර නොලැබෙන්නට මේ තරම් ඉක්‌මනින් රටේ සංවර්ධනයක්‌ සිදුකරන්නට බැරිය. අනෙක්‌ අතට අද ලෝකයේ චීනය සියලු අංශවලින් ලබා ඇති දියුණුව සැලකීමේදී චීනය තරහ කරගෙන ඉදිරි ගමනක්‌ සිතිය නොහැක. මේ නිසා මේ ප්‍රශ්නය ඉතාම ප්‍රවේශමෙන් විසඳා ගත යුතුය.

මහ බැංකු අධිපතිවරයාට එල්ලවී ඇති චෝදනාව බරපතලය. මේ චෝදනාවෙන් නිදහස්‌ වීම නව රජයට දීර්ඝකාලීනව අතිශය වැදගත්ය. ඒ සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පියවර ගැනීම කළයුතු වන්නේ අගමැතිවරයාට හා රජයට ඉන් දීර්ඝ කාලීන චෝදනා එල්ලවීමට ඉඩ ඇති නිසාය. කිසි දිනෙක දුෂණ චෝදනා එල්ල වී නැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමා යටතේ පවතින ආයතනයක සිදු වූ මෙවැන්නක්‌ නිසා නමට හානි කරගත යුතු නැත.

මේ වන විට ආණ්‌ඩුවේ ප්‍රබල සාමාජිකයන් වන හෙළ උරුමයත්, ආණ්‌ඩුව ගෙන එන්නට සුවිසල් කාර්යභාරයක්‌ සිදු කළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියනුත් පවසන්නේ මැතිවරණ ක්‍රමය හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යන දෙකෙහිම සංශෝධන සිදු නොකර මහා මැතිවරණයකට නොයා යුතු බවය. ඒ අතරේ අර්ජුන රණතුංග ඇමතිවරයා පවසන්නේ මේ රජය තවත් වසර පහක්‌ පවත්වාගෙන යායුතු බවය.

ආසන ක්‍රමයට මහා මැතිවරණය පවත්වා එයින් පත්වන පාර්ලිමේන්තුවේ සංයුතිය විකෘති තත්ත්වයක්‌ වුවද ඇතිකළ හැකිය. ශ්‍රි ලංකාවේ ඡන්දදායකයා අතිශය හැඟීම්බරය. මේ නිසා අසන මට්‌ටමින් පවත්වන ඡන්දයකදී මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක්‌ ඇතිවන බව පෙනේ.

මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වර්තමාන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ නායකත්වය අනුගමනය කරන ක්‍රියා කලාපය අනුව ඔහු අනිවාර්යයෙන්ම පක්‌ෂයක්‌ පිහිටුවීම හෝ පවතින පක්‌ෂයකට හෝ සන්ධානයකට සම්බන්ධවීම වැළක්‌විය නොහැක. එවිට ආසන ක්‍රමයට පැවැත්වෙන මැතිවරණයකදී හෝ සමානුපාතික ක්‍රමයට පවත්වන මැතිවරණයකදී සැලකිය යුතු ආසන ගණනක්‌ හිමිකර ගන්නට ඔහු සමත්වනු ඇත්තේ තවමත් ඔහු වටා සාමාන්‍ය ජනතාව සිටින බැවිනි.

ජනප්‍රිය පුද්ගලයන්ට ඡන්දය දීමේ පුරුද්දක්‌ ශ්‍රී ලාංකිකයා සතු බැවින් ජනප්‍රිය පිරිසක්‌ ඒකරාශී කරගෙන ආසන මට්‌ටමින් තරගකරවීම හරහා සැලකිය යුතු ආසන ප්‍රමාණයක්‌ දිනාගන්නට ඔහුට හැකියාව තිබේ. ප්‍රධාන පක්‌ෂ දෙකෙන් තරග නොකර බහුතර ආසන ගණනක්‌ දිනාගත නොහැකි වුවද ඇතැම් විට මීළඟ රජය පිහිටුවන පක්‌ෂය තීරණය කරන්නා බවට ඔහු පත් වුවහොත් එය පුදුමයක්‌ නොවේ. හම්බන්තොට, ගාල්ල, මාතර, මොනරාගල, කෑගල්ල, රත්නපුර වැනි දිස්‌ත්‍රික්‌ක ඔහුට ඡන්ද පදනම අතින් ඉතාම හිතකරය.

ආසන මට්‌ටමින් මැතිවරණ පවත්වන විට ප්‍රතිඵලය සිතනවාට වඩා වෙනස්‌වීමට ඉඩතිබේ. මහරගම ආසනය උදාහරණයට ගත්විට දිනේෂ් ගුණවර්ධන හා විඡේදාස රාජපක්‌ෂ අතර සටනේදී කවරෙක්‌ ජයගනීදැයි සිතිය නොහැක. කඩුවෙල ආසනයේදී සුසිල් ප්‍රේමජයන්ත, සුජීව සේනසිංහ, විමල් වීරවංශ අතර සටන තීරණාත්මක වනු ඇත. කෝට්‌ටේ ආසනයට හර්ෂ ද සිල්වා, උදය ගම්මන්පිල වැනි අය අතර දැඩි තරගයක්‌ පවතිනු ඇත. කැස්‌බෑව වැනි ආසන සඳහාද දැඩි තරගයක්‌ පවතිනු ඇත. මේ නිසා ගෙයින් ගෙට ගොස්‌ ජනතාව දැනුවත් කිරීම වැනි දේ මගින් ජනතාවට Rජු බලපෑමක්‌ ආසන මට්‌ටමින් කළ හැක. ඇතැම් විට අවසන් මොහොතේ හෝ ස්‌වාධීනව හෝ යම් පක්‌ෂයකින් ඉදිරිපත්වන යහපත් පුද්ගලයකුට පාර්ලිමේන්තුවට පිවිසෙන්නට ආසන ක්‍රමය නිසා හැකිවනු ඇත.

මේ අතර ඉදිරි මහ මැතිවරණය ආසන මටමින් හා සමානුපාතික මට්‌ටමින් මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට නියමිත ක්‍රමවේදය සඳහා මේ වන විට ප්‍රධාන පක්‌ෂ අතර යම් එකඟතාවයක්‌ ඇති වී තිබේ. ඒ අනුව ආසන මට්‌ටමින් මන්ත්‍රීවරු 134 ක්‌ පත් කර ගැනේ. ඒ අලුතින් නිර්ණය කෙරෙන ආසන 125 හා බහු මන්ත්‍රී ආසන සඳහා නවයක්‌ද, සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් 66 ක්‌ද , ජාතික ලැයිස්‌තුවෙන් 25 ක්‌ද ලෙස මන්ත්‍රීවරු 225 ක්‌ පත්කර ගැනීමටය. කෙසේ වෙතත් මෙය අවසන් තීරණය නොවේ.

අපේ රටේ තරුණ පරපුර ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් කවර තීරණයක්‌ ගනීදැයි අවිනිශ්චිතය. දැන් දැන් බොහෝ තරුණ තරුණියන් දීර්ඝ කාලීනව එකම දේශපාලන පක්‌ෂයකට සම්බන්ධ නොවීමත්, පවත්නා තත්ත්වය මත අවශ්‍යතාව අනුව ඡන්දය දීමත් දැකිය හැක. මේ නිසා ඔවුන්ට හිමි ඡන්ද ලක්‌ෂ විස්‌සක පමණ ප්‍රමාණය ආකර්ෂණය කරගන්නට ප්‍රධාන පක්‌ෂ නිසි ක්‍රමවේදයක්‌ ඇති කරගත යුතුය. අනෙක්‌ අතට අපේ රටේ ඇතැම් ජනතාව ජාතිවාදීව සිතීමද ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵලයට සුවිසල් බලපෑමක්‌ කරනු ඇත.

ආණ්‌ඩු වෙනසත් සමග එතෙක්‌ නිසි අයුරින් පවත්වාගෙන ගිය අපේ රටේ ඇතැම් ආයතන මේ වන විට අතිශය කනගාටුදායක තත්ත්වයකට පත්ව තිබේ. ලංකා සතොස, ලක්‌සල සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව ඊට හොඳම උදාහරණයන්ය. වසා දැමීමට තිබූ රාජ්‍ය ආයතන වූ මේ ආයතන තුනම එම තත්ත්වයෙන් ගොඩගෙන මෙරට පුද්ගලික අංශය හා කරට කර තරග කරමින් රජයේ ආයතන ලෙස පවත්වා ගෙන ගියේ සෙසු රාජ්‍ය ආයතන සඳහා පවා ආදර්ශයක්‌ වන ආකාරයෙනි. එහෙත් අද වන විට ඒවායේ තත්ත්වය යළිත් ආපස්‌සට ගමන් ගනිමින් තිබේ. එයින් කනගාටු දායකම තත්ත්වයට මුහුණ දෙමින් සිටින්නේ ලංකා සතොසය. අත්‍යවශ්‍ය භාණ්‌ඩ අඩු මිලට ලබාදෙමින් විශාල පිරිසකට රැකියා ලබාදෙන අතරම විශාල ලාභයක්‌ද ලබමින් රජයට බරක්‌ නොවී ලංකා සතොස පසුගිය රජය යටතේ පවත්වාගෙන ගියේ පුද්ගලික අංශයේ සෙසු සුපිරි වෙළඳසල් පරදවමිනි. අද වන විට ලංකා සතොස අලෙවිසල් බොහොමයක ඇතැම් භාණ්‌ඩ හිඟය. ඇතැම් භාණ්‌ඩ විකිණීම සීමා කර තිබේ.

එක්‌තරා මුස්‌ලිම් ඇමතිවරයෙක්‌ ලංකා සතොස හරහා අසීමිත ලෙස මුදල් හම්බකරමින් සිටී. අද ලංකා සතොස සියලු මිලදී ගැනීම් කරනු ලබන්නේ මේ ඇමතිවරයාගේ සහෝදරයෙක්‌ මුලිකත්වය ගන්නා සමාගමකිනි. එම සමාගම පසුගිය කාලයේ ඉන්දියාවට කරුන්කා ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන්ද චෝදනා ලත් සමාගමකි. එම ඇමති සහෝදරයා සහ පිරිස සතුව සමාගම් කීපයක්‌ විවිධ නම් වලින්ද පවතී. ඒ මිල ගණන් කීපයක්‌ ඉදිරිපත් කර තරගකාරීත්වය පෙන්වීම සඳහාය. ඒ සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා වැඩි මිලටය. මේ හරහා දිනපතා රුපියල් මිලියන ගණනින් අදාළ සමාගම උපයමින් සිටී. අද වන විට සතොස ආයතනය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්‌ඩ මිලදී ගන්නේ බොහෝදුරට මේ සමාගම හරහාය. සෙසු ආයතනවලින් ඉදිරිපත් කරන භාණ්‌ඩ, තත්ත්වය හෝ වෙනයම් හේතු පවසා ප්‍රතික්‌ෂේප කෙරේ. එසේම අදාළ සමාගමෙන් ඉදිරිපත් කර ඇති මිල ගණන් වලට මිලදී ගන්නේ කොටසක්‌ පමණි. එහි වැඩිම කොටස මිලදී ගන්නේ එම සමාගමෙන්ම වැඩි මිලටය. උදාහරණයක්‌ ලෙස සීනි මිලදී ගැනීමේදී කිලෝවක්‌ රුපියල් 74 බැගින් ටොන් 175 ක්‌ එම සමාගමෙන් මිලට ගන්නට මිල ගණන් කැඳවා තිබියදී අවසානයේ තවත් ටොන් 1300 ක්‌ එම සමාගමෙන්ම මිලදී ගන්නේ ඊට වඩා වැඩි මිලටය. මෙහි හාස්‍යජනකම සිද්ධිය වන්නේ අදාළ සමාගම එම තොග ලබන්නේ තත්ත්වයෙන් පහළ බවට පවසමින් අදාළ ටෙන්ඩර් කමිටුව ප්‍රතික්‌ෂේප කළ ආයතනවලින්ම වීමය.

මේ වන විට ලංකා සතොසට පරිප්පු තොග වැඩිමිලට මිල දී ගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබේ. මේ නිසා මේ චෝදනා පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වීම ආණ්‌ඩුවේ පැවැත්මට හොඳය. එසේ නොවුණහොත් එම චෝදනා අවසාන වශයෙන් ආණ්‌ඩුවේ ගිණුමට බැරවෙන බව දැනගත යුතුය.

ජනිත සෙනෙවිරත්න

2 Responses to “දැන් මොකද රටට වෙන්නේ – 7 අර්බුදය අද නොවේ හෙට?”

  1. NeelaMahaYoda Says:

    ජනිත සෙනෙවිරත්න

    තමන්ගේ නිවසට අයුතු ඇතුළුවීමක්‌ කරන අයෙකුට වෙඩි තැබීමේ නිදහස නිවැසියන්ට ඇති බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කීම නීතිය විකුර්ති කිරීමක් පමනි. වෙඩි තැබීමේ නිදහස නිවැසියන්ට ඈත්තේ එවන්නෙකුගෙන් තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඈතිඋවහොත් පමනි .

  2. Christie Says:

    Namaste: Emperor has spoken. He first met Chandrika the governor. Coolie Sirisena has been appointed for six years. No problema. Kankani might say this and that but he is living in the housing provided by the Emperor. Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress