විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතාවට දුන් පොරොන්දුවට පයින් ගසයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසියක් නෑ: පොඩ්ඩක් ට්‍රිම් කර තියා ගැනීමේ කුමන්ත්‍රණයක්: අද ගැසට් කරයි. UNPය සිතූ පරිදි වැඩ නොවෙයි !
Posted on March 16th, 2015
  • රතනගේ ‘ඒකාධිපති බලතල අහෝසිකරන දූෂණයට වැට බඳින ජන රැල්ල’ කුණු කාණුවේ .

  • සිරිසේන මහජනතාවට දුන් පොරොන්දු පත්‍රයේ දැක්වෙන්නේ පැහැදිලිව මෙසේය.. දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ…. යන වගන්තිය අනුව අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය ‘වෙනුවට‘ කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් යැයි පැහැදිලිව දක්වා ඇත. දැන් සිදුකරන්නට යන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික කොටස් කිහිපයක් ඉවත් කිරීම පමණි. මෙය සම්පූර්ණයෙන්ම ජනතාවගේ ඇසට වැලි ගැසීමකි…

  • ජාතික හෙළ උරුමය ජනතාවට දුන් පොරොන්දු වලට පයින් ගසා විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමට දත කන්නේ ඇයිදැයි අප කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ චම්පික රණවක තව වසර 5 කින් රජ වෙනවා යැයි කව්දෝ නක්ෂත්‍රකාරයෙක් ඔහුට ලබා දී ඇති ලණුවක් නිසා මේ මෝහ ඉංජිනේරුවා විධායක ජනාධිපති ධූරය අහෝසි වනවාට විරුද්ධ වී ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතාවට දුන් පොරොන්දුවට පයින් ගසා ජනාධිපති ක්‍රමයේ ඉතාමත් අවම සංශෝධනයන් පමණක් සිදුකළ යුතුයැයි ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පැවැති ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පක්ෂ නායක රැස්වීමේදී දැඩි ස්ථාවරයක සිටි අතර සවස පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී ද ජාතික හෙල උරුමයේ චම්පික රණවක ජනතාවට දුන් පොරොන්දු වලට පයින් ගසන ප්‍රතිපත්තියක සිටිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ඡන්දය දුන් 62 ලක්ෂයක ජනතා අභිලාෂයන්ට පිටු පෑ බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.

ජා.හෙ.උරුමය සහ ශ්‍රීලනිපය කියා සිටියේ ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා නොව ජනාධිපතිවරයා විය යුතු බවත්, පාර්ලිමේන්තුවේ සහ අගමැතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ක්‍රියා නොකළ යුතු බවත්, කැබිනට් මණ්ඩලය රැස්විය යුත්තේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතුව බවත් ඇමැති මණ්ඩලය පත් කළ යුත්තේද ජනාධිපතිවරයා විසින් බවත් ය. එනම් පෙර ලෙසම ඒකාධිපති ජනාධිපති ධූරයක් වෙනුවෙන් මිස පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයකට මේ තක්කඩි පක්ෂ දෙක විරුද්ධ වී තිබේ.

යෝජිත සංශෝධනයේ අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපති වරයා සිදුකළ යුතු පත්වීම් සම්බන්ධයෙන් දෙදෙනා අතර එකඟතාවයක් සිදුනොවන්නේ නම් යලි එය කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි කියැවෙන සංශෝධනයට හෙවත් ඒකාධිපතියෙක් බිහිවීම වලක්වන සංශෝධනයටද හෙළ උරුමට සහ ශ්‍රීලනිපය විරුද්ධ වී තිබේ.

වසර හතරහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි වීම, ජනාධිපතිවරයාගේ මුක්තිය සීමා කෙරෙන වගන්ති වන ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරිය හැකි වීම‍, කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම, ජනාධිපතිවරයාට දෙවතාවකට වඩා ධූරය දැරීමට නොහැකි වීම ආදී සං‍ශෝධන වලට ශ්‍රීලනිපය සහ ජාහෙඋරුමය එකඟ වුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන මූලික කාරණාවක් වන ආණ්ඩුවේ නායකයා පාර්ලිමේන්තුවේ නායකයා වන අගමැතිවරයා විය යුතුය යන්න වෙනුවට ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා ලෙස නම් කිරීම ආදී දුෂ්ඨ ඒකාධිපතිත්වයක් යලි බිහි කෙරෙන යෝජනා වෙනුවෙන් ජාතික හෙළ උරුමය පෙනී සිටීම නින්දා සහගත ය.

එපමණක් නොව අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ අනුමැතිය මත ජනාධිපති වරයා ක්‍රියා කළ යුතුය යන්නට හෙළ උරුමය සහ ශ්‍රීලනිපය දැඩි සේ විරුද්ධ වීමේදී ජනාධිපති මෛත්‍රී කියා සිටියේ අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංගද  සමග ඉදිරි දින 3 තුලදී සාකච්ඡා කර ඊට විසඳුමක් ලබා ගත හැකි බවයි. ඊටද ජාතික හෙළ උරුමය සහ ශ්‍රීලනිපය ඉතාමත් පි‍ලිකුල් ලෙස විරුද්ධ වෙමින් කියා සිටියේ ඒ තිදෙනාගේ සාකච්ඡා එකඟතා පිලිගැනීමට තමන් බැඳී නොසිටින බවයි.

මෙහිදී ඉතා අසරණ වූ ශ්‍රීලනිප සභාපතිවරයාද වූ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විධායක ජනාධිපති බලතල අහෝසි නොකරන මෙම අදහස් පසුපස තමන් සිටින බවට රාවයක් පවතින නමුත් එය අසත්‍යයක් බවත් තමන්ට ද අවශ්‍ය ජනතාවට පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවයි. තම ධූර කාලයේදී පමණක් ස්වල්ප බලතල ප්‍රමාණයක් තිබුනාට ප්‍රශ්නයක් නැතත් ඉන්පසුව විධායක ජනාධිපති ධූරය අහෝසි විය යුතු යැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත් නිමල් සිරිපාලගේ ශ්‍රීලනිපය පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමකි. ඔවුන් මෙවැනි ස්ථාවරයක සිටීම පුදුමයට කාරණයක් නොවුනද ජාතික හෙළ උරුමයට ඩබල් ගේම් ගැසීමට අයිතියක් නැත.

පසුගිය ජනාධිපතිවරණයේදී නොවැම්බර් 12 වෙනිදා අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මුත්තයියා පිටියේ පැවැති ආරම්භක රැලියේ සේයාරුවක් මෙහි දැක්වේ. එහි පසුපස සඳහන් ප්‍රධාන සටන් පාඨය කුමක්දැයි අද හොඳින් කියවන ලෙස හෙළ උරුමයේ නායකයන්ට කිව යුතුය.ඒකාධිපති බලතල අහෝසිකරන දූෂණයට වැට බඳින ජන රැල්ල විය. ඒකාධිපති බලතල ‘අහෝසි කරනවා‘ මිස ඒකාධිපති බලතල ‘අවම කරනවා‘ හෝ ‘තොඳොල් කරනවා‘ යැයි එහිදී ජනතාවට පවසා නැති බව කිව යුතුය. අනෙක් අතට එම රැස්වීමේ දී අතුරලියේ රතන හිමියන් පැහැදිලිව කියා සිටියේ තමන්ගේ පිවිතුරු හෙටක් සංවිධානය විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් ගැන කතා නොකරන නමුත් අනෙක් පිරිස් එවැන්නක් සිදුකර ඊට එහා යනවා නම් ඒ ගැන තමන් විරුද්ධ නොවන බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයේදී මහජනතාවට දුන් පොරොන්දු පත්‍රයේ දැක්වෙන්නේ පැහැදිලිව මෙසේය.. දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ….යන වගන්තිය අනුව අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය ‘වෙනුවට‘ කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් යැයි පැහැදිලිව දක්වා ඇත. දැන් සිදුකරන්නට යන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික කොටස් කිහිපයක් ඉවත් කිරීම පමණි. මෙය සම්පූර්ණයෙන්ම ජනතාවගේ ඇසට වැලි ගැසීමකි…

මෙම සංශෝධනය දැන් අද රාත්‍රී ගැසට් කිරීමට නියමිතය. ජනතාවට දුන් පොරොන්දුව විකෘති කරමින් ජනාධිපතිවරයා හෙට පාරේ බැස යන්නේ කෙසේද? ඔහුට ඔහුගේ නායකත්වය දරණ ශ්‍රීලනිපයේ මතය හදා ගන්නට නොහැකිද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රී බලයට ගෙන ආවේ ජාතික හෙළ උරුමය පමණක් නොවේ. තවත් සංවිධාන 48 ක් ඊට එකතු විය. ඒ කිසිවෙක් අද පරාජයට පත් කළ ශ්‍රීලනිප මතයට ගොට්ට අල්ලන ජාතික හෙළ උරුමයේ අවස්ථාවාදී මතයේ සිටින්නෝ නොවෙති.

ඒ සියළු බලවේග යලි අවදි වී, ජාතික හෙළ උරුමයත් පරාජිත ශ්‍රීලනිපයක් එකතුවී ගහන්නට හදන දුෂ්ඨ තුරුම්පුව පරාජය කිරීමට පෙරමුණ ගත යුතුය.

පසු සටහන – 
ජාතික හෙළ උරුමය ජනතාවට දුන් පොරොන්දු වලට පයින් ගසා විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමට දත කන්නේ ඇයිදැයි අප කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ චම්පික රණවක තව වසර 5 කින් රජ වෙනවා යැයි කව්දෝ නක්ෂත්‍රකාරයෙක් ඔහුට ලබා දී ඇති ලණුවක් නිසා මේ මෝහ ඉංජිනේරුවා විධායක ජනාධිපති ධූරය අහෝසි වනවාට විරුද්ධ වී ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress