මැතිවරණ ක්‍රමයේ සංශෝධන බල දේශපාලනයේ ගොදුරක් නොවිය යුතුයි. කැෆේ සංවිධානය අවධාරණය කරයි.
Posted on March 19th, 2015

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබද දේශපාලන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන්වීම පිළිබද කැෆේ සංවිධානයේ දැඩි අවධානය යොමුවී ඇත.  මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබදව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු, තර්ක විතර්ක සහ මතවාද අනුව සුදුසු ක්‍රමයක් පිළිබද යෝජනා හතරක් පිළිබද කැෆේ සංවිධානය ද, මැතිවරණ ක්‍රමය පිළිබද විශේෂඥතාවක් දක්වන කණ්ඩායම් ද මේ වන විට කරුණු ඉදිරිපත් කොට ඇත.  එයට සමගාමීව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ සාකච්ඡා ගණනාවක් පවත්වා ඇත.  ඊයේ (මාර්තු 18) දින පැවති සාකච්ඡාවේ දී ද මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබද මුලික එකගතාවක් ඇති කර ගැනීමට නොහැකිවීම කණගාටුදායක තත්වයකි.

 වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මැතිවරණ ප්‍රකාශනයට අනුව මනාප ක්‍රමයෙන් තොර, කේවල හා සමානුපාතික ඡන්ද ක්‍රමයේ සම්මිශ්‍රණයකින් යුතු ඡන්ද ක්‍රමයක් බිහි කිරීමට පොදුවේ මේ රටේ අතිබහුතරයක් වන ඡන්දදායකයින් සිය කැමැත්ත පළ කොට ඇති බව පැහැදිලිය.  නමුත් මේ වන විට දේශපාලන පක්ෂ තම බලය තහවුරු කර ගැනීම සදහා ද,  බල දේශපාලනයේ අරමුණු උදෙසා ද මැතිවරණ සංශෝධන පිළිබද පොරොන්දු අමතක කොට දැමීමට උත්සහ දරමින් සිටී.  හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමට දේශපාලන පක්ෂ කිහිපයක් උත්සහ දරන අතර තවත් පිරිසක් උත්සහ දරමින් සිටින්නේ මහා මැතිවරණයක් පැවැත්වීම සදහා වන කාලය වැඩි කරවා ගැනීම සදහා ය.  මෙම තත්වය බල දේශපාලනයේ අදුරු සහ දුෂ්ඨ වූ අපේක්ෂා සදහා මැතිවරණ ක්‍රමයේ සංශෝධන බිලිදීමට හේතුවන තත්වයකි.දේශපාලන පක්ෂ බොහෝමයක් කේවල හා සමානුපාතික ක්‍රමය අතර 60 ට 40 අනුපාතනයට මහජන නියෝජිතයින් පත් කෙරෙන ක්‍රමයක් පිළිබද පොදු එකගතාවයකින් යුතුව සිටී.  එහි දී සිදුවන සංඛ්‍යාලේඛණ විග්‍රහය, පසුගිය මැතිවරණ ආශ්‍රිතව දේශපාලන පක්ෂ වෙත හිමිවන නියෝජනය පිළිබද තොරතුරු මේ වන විට කැෆේ සංවිධානයේ www.caffesrilanka.org වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කොට ඇත.

 150 ට 75 ක් ලෙස කේවල හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයක් ද, ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් 25 ක් ද සහිතව 250 දෙනෙකුගේ පාර්ලිමේන්තුවක් සදහා වන යෝජනාව ඉදිරිපත් වූවේ ද දේශපාලන පක්ෂ විසින්මය. දැන් එම යෝජනාව වෙනුවට කේවල ක්‍රමයේ සහ සමානුපාතික ක්‍රමයේ 50 ට 50 යෝජනාවක් ඉදිරිපත් කොට ඇත.  ඒ පිළිබදව දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් නොමැත.  විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කරනු ලැබූ සන්ධර්භයක සිට විග්‍රහ කිරීමේ දී පාර්ලිමේන්තුවට අති බහුතර බලයක් හිමි නොවන සහ එපමණටම සුඵතර බලයක් ද හිමි නොවන ක්‍රමයක් ස්ථාපිත කළ හැක්කේ 60 ට 40 ට අනුපාතනයට සැකසෙන මිශ්‍ර ක්‍රමයක් තුලින්ය යන්න කැෆේ සංවිධානයේ අදහසයි.

 එහි දී යම් දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ නියෝජනය අහිමි නොවන තත්වය තහවුරු කිරීම සීමා නිර්ණයේ දී සහ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් වන නිර්ණායකයන් හි දී කටයුතු කිරීම වැදගත් වේ.  එය සිදු කළ යුතු සහ සිදු කළ හැකි ක්‍රියාවකි.  සුඵ දේශපාලන පක්ෂවලට විශේෂයෙන් ප්‍රධාන යම් දිස්ත්‍රික්කයක තෙවන සහ සිව්වන පරිමාවේ බලයක් සහිත කණ්ඩායම් හි නියෝජනය තහවුරු කිරීම එහි දී මුහුණදීමට සිදුවන ප්‍රමුඛ අභියෝගය වේ.  එම අභියෝගය ජය ගත නොහැකි කිසිදු ක්‍රමයකින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණු සාක්ෂාත් නොවන බව පැහැදිලිය.

 50 ට 50 ක්‍රමය තුලින් ජනතා විමුක්ති පෙරමුණ හෝ මුස්ලිම් කොන්ග්‍රසයේ හෝ වතු කම්කරු වෘත්තීය සමිති දේශපාලන ධාරාවේ අභිලාශයන් ඉටු කර දිය හැකි බව බැලූ බැල්මට පෙනේ.  උතුරු නැගෙනහිර පළාත් හි දී ජාතික දේශපාලනයේ නිරත පක්ෂ වෙත ද මේ තත්වයට මුහුණ දීමට සිදුවේ.  50 ට 50 යෝජනාව ක්‍රියාත්මක කරන්නට උත්සහ දරන්නේ නම් කාන්තා නියෝජනය, වෘත්තිකයින් සදහා අවස්ථා විවර කිරීම, තරුණ නියෝජනය තහවුරු කිරීම වඩාත් වැදගත් වේ.  එසේ නොමැතිව, 50 ට 50 මිශ්‍ර ක්‍රමයක් තුලින් මනාප ක්‍රමයේ දුබලතා ජය ගැනීමට උත්සහ දැරීම පහසු නැත.  හොදම පරාජිතයින්ට අවස්ථාවක් ලැබෙනු ක්‍රමය වෙනස් කිරීම නම් පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමති  ලංකා දේශපාලනය නොගැලපෙන තත්වයක් බව අවධාරණය කල යුතු කරුණකි.

 සමානුපාතික ක්‍රමයක් යටතේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක දී නැවත පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් ලබාගත නොහැකි බව ත්, මැතිවරණ ක්‍රමයේ ධණාත්මක සංශෝධනයකට කදිම අවස්ථාව මෙය බවත් අප වටහා ගත යුතුව ඇත.  එම අවස්ථාව බල දේශපාලනයේ ගොදුරක් බවට පත්වී විනාශවීයාම වලක්වා ගැනීමට අප සැමගේ වගකීමක් ද වේ.

 කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය                 2015 මාර්තු 19

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress