සමාන ශක්ති හා සමාන ස්කන්ධ
Posted on March 19th, 2015

  නලින් ද සිල්වා   

 ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා කිසි දිනෙක බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන්නෙන් මා කියන දෙය බිඳහෙළීමට කිසිදු තර්කයක් කිසිදු සාධකයක් කිසි දිනෙක ගෙන ආවේ නැත. එයට ප්‍රධාන හේතුව මා කියන දෙය ඔහුට අවබෝධ නොවීම යැයි සිතිය හැකි ය.  මා අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ලියූ ලිපි නොකියවා ලිපි කිහිපයක් පමණක් හරි අවබෝධයකින් තොරව නොකියවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු අමාරුවේ වැටුණේ ය. මගේ දැක්ම මට තේරෙන බුදුදහම මත පදනම් විය. එය ද අවුරුදු ගණනක් තිස්සේ විකාශය වූවකි. එහෙත් අමරතුංග මහතා සිතන්නේ මා ගැලවීම සඳහා අවසානයේ දී බුදුදහම වැරදි අර්ථකථනයක් සහිත ව යොදාගත් බව ය.

 මගේ දර්ශනය නැවතත් මා සඳහන් කරන්නේ අමරතුංග මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට බෝධි ධනපාල මහතා ද ඒ නිවැරදි ව වටහා නොගත් බැවිනි. මා සඳහන් කරන්නේ නිරීක්‍ෂකයාගෙන් තොරව වාස්තවික ව පවත්නා ලෝකයක් නැති බව ය. 1986 තරම් ඈතක දී පළකළ මගේ ලෝකය කෘතියෙහි මූලික තේමාව එයයි. අප එකිනෙකාට එකිනෙකාගේ වූ ලෝක ඇත. ඒ ඒ ලෝක යනු එකිනෙකා විසින් අවිද්‍යාව (අවිජ්ජා පච්චයා සංඛාරා) හේතුවෙන් නිර්මාණය කෙරෙන දැනුම ය. ඒ ඊනියා ලෝකයක් පිළිබඳ දැනුමක් නො වේ. එකිනෙකාගේ ලෝකය  යනු එකිනෙකාගේ දැනුම ය. බුදුන් වහන්සේ මේ බඹයක් පමණ වූ සිරුරෙහි ම ලෝකය පැනවූහ. ලෝකය යනු දැනුම ය. නිරීක්‍ෂකයාගෙන් තොරව ලෝකයක් පවතින්නේ යැයි බුදුන් වහන්සේ ඒකාන්ත ව දේශනා කළ ස්‍රත්‍රයක් සංදර්භය සහිත ව හැකිනම් ගෙනහැර දක්වන මෙන් ඊනියා වාස්තවික බෞද්ධයන්ගෙන් ඉල්ලමි.

 අප පෘථග්ජනයන් එකිනෙකා ලෝක නිර්මාණය කරන්නේ යම්කිසි චින්තනයක් මත පදනම් ව (චින්තනය ද අපේ නිර්මාණයක් වෙයි) යම්කිසි සංස්කෘතියකට සාපේක්‍ෂ ව ය. ඒ දැනුම නිර්මාණය කෙරෙන්නේ පෘථග්ජන වූ සත්්ත්වයන්ගේ මනසෙනි. මනස ද මනසෙහි නිර්මාණයක් බව මම බොහෝ අවස්ථාවල සඳහන් කර ඇත්තෙමි.  දැනුම, එනම් අපේ පෘථග්ජන දැනුම, කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකි ය. ඒ ප්‍රත්‍යක්‍ෂ වන සෘජු දැනුම් හා ප්‍රත්‍යක්‍ෂ නොවන වක්‍ර දැනුම් ය. ප්‍රත්‍යක්‍ෂ ද කොටස් දෙකකට බෙදිය හැකි ය. ඒ මනසින් පමණක් නිර්මාණය කෙරෙන සෘජු දැනුම් හා මනස පංචෙන්ද්‍රියන් උපයෝගී කරගනිමින් නිර්මාණය කරන සෘජු දැනුම් යනුවෙනි. පෘථග්ජනයන්ගේ සෘජු ප්‍රත්‍යක්‍ෂ දැනුම් සියල්ල බොරු ය. මුසා ය. අවශ්‍ය නම් මායාකාරී ය.

 ප්‍රත්‍යක්‍ෂ නොවන වක්‍ර දැනුම් යනු වියුක්ත සංකල්ප, ප්‍රවාද ආදිය යොදා ගෙන නිර්මාණය කෙරෙන දැනුම් ය. සෘජු ප්‍රත්‍යක්‍ෂ දැනුම් තේරුම් කර දීම  සඳහා මෙම වියුක්ත කතන්දර නිර්මාණය කෙරෙයි. මේ කතන්දර හුදෙක් හිතළු ය. ඒ හිතළුවලින් ලබාගන්නා නිගමන නැවතත් සංයුක්ත සෘජු ප්‍රත්‍යක්‍ෂ සංසන්දනය කර යම් සාර්ථකත්වයක්් පෙන්වන හිතළුවලට ප්‍රවාද යැයි කියනු ලැබෙයි. මේ හිතළු ප්‍රත්‍යක්‍ෂවලටත් වඩා බොරු ය. එබැවින් ඒවාට පට්ටපල් බොරු යැයි කියමු.

 මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් නම් සෘජු ප්‍රත්‍යක්‍ෂවල ද සංකල්ප ඇති බව ය. සංස්කරණය කෙරුණු සංකල්පවලින් තොර දැනුමක් නැත. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්ත ප්‍රවාද ය. ඒ පට්ටපල් බොරු ය. බටහිර විද්‍යාවේ කෙරෙන ප්‍රධාන වරදක් නම් වියුක්ත ප්‍රවාදවලින් නිගමනය කෙරෙන කරුණු සංයුක්ත ප්‍රත්‍යක්‍ෂ සමග සංසන්දනය කිරීම ය. එයට අමතරව ඌනිතවාදය,  උද්ගමනය, සාධාරණීකරණය ආදී සංයුක්තයට පිටින් යන කරුණු ද වෙයි. එ සියල්ල පට්ටපල් බොරු වෙයි. අමරතුංග මහතාත් ධනපාල මහතාත් ඌනිතවාදයෙහි හිරකරුවෝ වෙති. ඔවුන් සියල්ලෙහි ප්‍රවාදයක් (Theory of everything) ගැන කතාකරන්නේ ඔවුන් වැනි ම වූ බටහිර  හිරකරුවන් අනුගමනය කරමිනි.

 කෙසේ වෙතත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බවට මා ඉදිරිපත් කළ කිසිවකට  අමරතුංග මහතා හෝ ධනපාල මහතා හෝ පිළිතුරක් දී නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මා බටහිර විද්‍යාව නොදන්නා බව කීම ය. එමගින් මගේ තර්ක කෙරෙහි අවිශ්වාසයක් දැනවීමට ඔවුන් කටයුතු කරනවා විය හැකි ය. එහෙත් එය ද තර්කානුකූල නො වේ. මගේ බටහිර විද්‍යාව පිළිබඳ දැනුම වැරදී යැයි සිතමු. එනම් ඔවුන් කියන ආකාරයට මා ක්වොන්ටම් භෞතිකය හා සාපේක්‍ෂතාවාදය නොදන්නේ යැයි සිතමු.

 එහෙත් එපමණකින් සෘජු දැනුම් හා වක්‍ර දැනුම් බොරු හා පට්ටපල් බොරු යැයි මා කියන්න වැරදි යැයි ඔවුන්ට නිගමනය කළ හැකි ද? එය කිනම් තර්කයට එකඟ ද? මොවුන් තර්ක කිරීමටවත් නොදන්නා බව පැහැදිලි ය. එහෙත් අප ඔවුන් කියන දෙයට පිළිතුරු දෙන්නේ  ඔවුන් බටහිර විද්‍යාව නොදන්නා බව පෙන්වා දීම සඳහා ය. මොවුන් දෙදෙනාට අමතර ව දැන් ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා ද ඔවුන්ට එකතු වී සිටියි. මට ධර්මවර්ධන මහතා කිසි දිනෙක මුණ ගැසී නැත. ඔහු කැනඩා ජාතික පර්යේෂණ මණ්ඩලයේ   (?) ක්වොන්ටම් භෞතික විද්‍යා අංශයේ ද මොන්ට්‍රියල් විශ්වවිද්‍යාලයේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා අංශයෙහි ද සේවය කරන්නේ යැයි කියැවෙයි. ධර්මවර්ධන මහතා ද තම මාර්තු 11 වැනි දින පළ වූ  ලිපියෙන් ඉදිරිපත් වී සිටින්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නට පිළිතුරු දීමට නොව E=mc*2 සමීකරණය පිළිබඳ  මගේ ඊනියා නොදැනුම හෙළිදරවු කිරීමට ය. ඒ මහතාගේ ඊනියා හෙළිදරවුව ගැන කතාකිරීමට පළමු අපි ඒ සමීකරණය පිලිබඳ ධනපාල මහතා මාර්තු 04 වැනි දින දැක්වූ අදහස තවදුරටත් විග්‍රහ කරමු.

 ධනපාල මහතා  එහි මෙසේ කියා ඇත.   නලින් ද සිල්වා මහතා E=mc*2  බව සඳහන් කරමින් මෙවැනි ද්විත්වයක් නොමැති බව කියයි. සිල්වා මහතා ගේ මතය අනුව එක ම ශක්තියක් (E) ඇති මූල අංශු දෙකකට එක ම ස්කන්ධයක් (m) තිබිය යුතු ය. මෙය සම්පූර්ණයෙන් වැරැදි ය. එක ම ශක්තියක් ඇති ඉලෙක්ට්රොනයක්, ප්රොටෝනයක් (proton) සහ ෆොටෝනයක් (photon) වෙනස් ස්කන්ධයන් ඇති අංශු බව ද, ෆොටෝනයට ස්කන්ධයක් නැති බව ද අපි දනිමු.”

 මගේ මතය අනුව එකම E ශක්තියක් ඇති මූල අංශු දෙකකට එකම ස්කන්ධයක් තිබිය යුතු බව ධනපාල මහතා කියයි. ධනපාල මහතා මගේ ප්‍රකාශවලට තමන් කැමති අර්ථකථන දෙයි. මූල අංශු දෙකක් නොව අංශු දෙකක් යම් අවස්ථිති සමුද්දේශ රාමුවක එකම ශක්තියකින් යුක්ත නම් ඒ අංශු දෙකට එකම ස්කන්ධයක් තිබිය යුතු ය. එය වැරදි යැයි ධනපාල මහතා කියන්නේ ද? පැහැදිලි ව ම E=mc*2  සමීකරණයෙන් කියන්නේ එය නො වේ ද? යම් අවස්ථිති සමුද්දේශ රාමුවක අංශු දෙකක ශක්ති සමාන නම් ඒවාහි ස්කන්ධ ද සමාන වි යුතු ය. ඒ එසේ නොවේ නම් E=mc*2 සමීකරණයෙන් කියැවෙන්නේ කුමක් ද?

 ධනපාල මහතා අවස්ථිති සමුද්දේශ රාමු යන්න අමතක කරයි. විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය ඉගෙන ගන්නා සිසුවකු පළමුවැනි වසරේ දැනගන්නා ප්‍රධාන ම කරුණ නම් යමක් මනින්නේ යම් රාමුවක බව ය. යම් නිරීක්‍ෂකයකුට  සාපේක්‍ෂව බව ය. ධනපාල මහතාට සමුද්දේශ රාමු නැත. එය එසේ වූයේ ඇයි ද යන්නට මම හිතළු පිළිතුරු දීමට ඉදිරිපත් නො වෙමි. ධනපාල මහතා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි ඉගෙන ගන්නා කාලයෙහි චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා ද එහි ආචාර්යවරයකු ව කටයුතු කර ඇත. අද දෙදෙනාම කැනඩාවේ විවිධ ආයතවල සේවය කරති.

 පැහැදිලිව ම ධනපාල මහතා කියන්නට තැත් කරන්නේ ගුරු ධර්මවර්ධන මහතා කියන  දෙයකි. එහෙත් ධනපාල මහතාට එය නිරවුල් ව පැවසිය නො හැකි ය. ඔහු මූල අංශු ගැන කියන්නේ කුමක් ද? මූල අංශු දෙකකට, උදාහරණයකට ප්‍රෝටෝනයකට හා ඉලෙක්ට්‍රෝනයකට, එකම අවස්ථිති සමුද්දේශ රාමුවක එකම ශක්තියක් තිබේ යැයි ඔහු කියන්නේ ද? ඒ එසේ නම් අදාළ ප්‍රෝටෝනයට හා අදාළ ඉලෙක්ට්‍රෝනයට එකම ස්කන්ධයක් තිබිය යුතු ය. ඒ එසේ නොවේ නම් එනම් ප්‍රෝටෝනයේ හා ඉලෙක්ට්‍රෝනයේ ශක්ති එකම සමුද්දේශ රාමුවක සමාන නොවේ නම් අදාළ ප්‍රෝටෝනයට හා ඉලෙක්ට්‍රෝනයට එකම ස්කන්ධයක් නැත.  එක ම ශක්තියක් ඇති ඉලෙක්ට්රොනයක්, ප්රොටෝනයක් (proton) සහ ෆොටෝනයක් (photon) වෙනස් ස්කන්ධයන් ඇති අංශු බව ද, ෆොටෝනයට ස්කන්ධයක් නැති බව ද අපි දනිමු.”  ධනපාල මහතා කරුණාකර මේ වාක්‍ය පැහැදිලි කරන්නේ ද?

 අපි ලබන සතියේ දී ධර්මවර්ධන මහතා ප්‍රකාශ කරන දෙය ඔහු උපුටා දක්වමින් ම සලකා බලමු. ඔහු ෆෝටෝනයේ ස්කන්ධය ගැන ,කියන දේ වැරදි බව ඔහු ඉදිරිපත් කරන සූත්‍ර භාවිතාවෙන් ම පෙන්වමු. එමෙන් ම අප ෆෝටෝනයකට ස්කන්ධයක් නියම කරන්නේ කෙසේ ද යන්න ද ඒ සූත්‍ර ආශ්‍රයෙන් ම පැහැදිලි කරමු.

 නලින් ද සිල්වා

2015 මාර්තු 18

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress