ප්‍රාථමික ප්‍රශ්නය කුමක් ද?
Posted on March 24th, 2015

නලින් ද සිල්වා

පදනම් ආයතනයේ පැවති ශ්‍රී ල නි පක්‍ෂ සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් කතා කිහිපයක් ම කියා ඇත. එලිසබෙත් වින්ඩ්සර් හෙවත් එංගලන්තයේ හා යටත්විජිතවල රැජින මේස් නැතිව තමන්ට අතට අත දීම, ඩේවිඩ් කැමරන් තම මෝටර් රථය ළඟට ම පැමිණ අතට අත දීම වැදගත් නොවන්නේ යැයි කිව හැක්කේ කාට ද?

එහෙත් අපට වැදගත් වන්නේ සිංහලත්වයට විරුද්ධව කටයුතු කර ඇති ඉංගිරිසි රජ පවුලේ අයට හා ඉංගිරිසි අගමැතිවරුන්ට අතට අත දීම නො වේ. රාජ්‍ය තන්ත්‍රික වශයෙන් ඒ කළ යුතු ය. අපේ ප්‍රශ්නය එය නො වේ. මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනත් ප්‍රාථමික කතාවක් අර සංවිධායකවරුන්ට කියා ඇත. එය අතට අත දීමේ ප්‍රතිඵලයක් යැයි අපි නො කියමු. 

මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුව මෙරට ඇතැම්හු ප්‍රාථමික ප්‍රශ්නයක් කරගහ ගෙන ක්‍රියා කරති. මේ රටේ ජීවත්වන්නේ සිංහලයන් පමණක් නො වේ යැයි ද, දෙමළ ජනයාගේ ප්‍රශ්නය සංකීර්ණ ප්‍රශ්නයක් යැයි ද, එයට නිසි පිළිතුරක් නොදී ප්‍රාථමික ප්‍රශ්නය සටන් පාඨ බවට පත්කර ගතහොත් තවත් යුද්ධයක් ඇති වීම වැළැක්විය නො හැකි යැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා පදනම් ආයතනයේ දී කියා ඇතැයි වාර්තා වෙයි. 

සිංහලයන්ගේ ඡන්දයෙන් පමණක් ශ්‍රී ල නි පක්‍ෂයට මැතිවරණයකින් ජයගත නොහැකි බවත් බණ්ඩාරනායක මහතා 1951 දී ශී්‍ර ල නි ප ආරම්භ කිරීමේ දී පක්‍ෂයේ සමලේකම් වරුන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා නියෝජනය වන පරිදි තුන්දෙනකු පත්කළ බවත් මෛත්‍රිපාල සිරිසේන පදනම් ආයතනයේ දී පවසා ඇත. අද ඉන්දීය රෝ ඔත්තු සේවයේ ඒජන්තයන් සිටින පදනම් ආයතනයේ දී මෙවැනි අදහස් සිරිසේන මහතාගේ සිතට ඒම පුදුමයක් නො වේ. එහෙත් අපට ප්‍රශ්නයක් වෙයි.

මෙරට විසඳීමට ඇති ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය කුමක් දැයි මෛත්‍රිපාල සිරිසේන මහතා දන්නේ ද? එහි ප්‍රාථමික කතාව පැත්තකින් තබන්න. ප්‍රශ්නයක් විසඳීමට පෙර ප්‍රශ්නය කුමක් දැයි දැනගත යුතු ය. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද? පළමුවෙන් ම මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ ප්‍රශ්නය කුමක් දැයි කියන්නේ ද? ඉන්පසු මෙරට දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශ කවරේ දැයි කියන්නේ ද? අඩු තරමෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී තමන්ට ඡන්දය ලැබුණු පළාත්, දිස්ත්‍රික්ක, මැතිවරණ බල ප්‍රදේශ  ආදිය පදනම් ආයතනයේ පරිගණක යොදා ගෙන වුව විශ්ලේෂණය කිරීමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය දත්ත හා නිගමන ලබාගත හැකි ය. මෙරට දෙමළ ජනයහාගෙන් 50%කට වඩා ජීවත්වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිටත බව කීම නිවැරදි ය.

මෙරට දෙමළ ජනයාට ඊනියා ප්‍රාථමික නොවන ප්‍රශ්නයක් ඇත්නම්, ඒ ප්‍රශ්නය උතුරු හා නැගෙනහිර පළාත් එක්කර බලය බෙදා දීමෙන් විසඳන්නේ කෙසේ ද? එවිට ඒ පළාත්වලින් පිටත ජීවත්වන දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේ ද? ඒ නොවිසඳෙන්නේ නම් එවිට ඔවුන්ට ද ඇතැයි කියන ප්‍රශ්නය විසඳීමට මෝදි, කැමරන්, වින්ඩ්සර් ආදීන්ට හෝ මෙරට පඬියන්ට හෝ යෝජනා තිබේ ද? මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රාථමික ප්‍රශ්න ගැන නොවෙහෙසනවා විය හැකි ය. එහෙත් අපට නම් වැදගත් වන්නේ ප්‍රාථමික හෙවත් මූලික ප්‍රශ්න ය. 

අප රටේ ප්‍රශ්නය දෙමළ ජනයාට සිංහලයන් විසින් අසාධාරණයක් කරනු ලැබීම ද? එසේ නම් ඒ අසාධාරණය කුමක් ද? දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් දැයි චැනල් ෆෝ ආයතනයවත් තවමත් කියා නැත. මෙරට සිටින පඬියන් එයට පිලිතුරක් දීමට ගන්නා උත්සාහය සාර්ථක වී නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහලයන් දෙමළ ජනයාට අසාධාරණයක් කර ඇතැයි සිතන්නේ නම් ඒ බව නොවළහා සිංහල ජනතාවට කිව යුතු ය. එසේ නොවේ නම් ඒ මහතා සිතන ප්‍රාථමික නොවන ප්‍රශ්නය කුමක් දැයි හෙළිදරවු කළ යුතු ය. එවිට අපට සිරිසේන මහතා සහ දෙමළ ජාතිවාදීන් අතර වෙනසක් ඇත්නම් ඒ කුමක් දැයි දැනගත හැකි වනු ඇත. 

දෙමළ ජාතිවාදයට කප්පන් දීමට සිංහල දේශපාලනඥයන් බලයෙන්, උපක්‍රමයෙන්, දැනුමෙන් (ඊනිය විද්‍යාත්මක දැනුමෙන්) ආදී වශයෙන් එකඟ කරවා ගැනීම ඉංගිරිසින්ගේ ප්‍රතිපත්තිය වී ඇත. ඉංගිරිසිහු 1833 සිට ම සිංහලත්වය නැසීම සඳහා දෙමළ ජාතිවාදය බෞතීස්ම කර යොදා ගනිති. දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වන්නේ සිංහලත්වයට මෙරට හිමි තැන අහිමි කිරීමට ය. ඉංගිරිසි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ද පිටින් ගොස් පිහිටුවා ඇති ඊනියා ජාතික විධායක සභාවට මෛත්‍රිපාල සිරිසේන මහතා කියා ඇත්තේ ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කරන බව ය. එය කරන්නේ කෙසේ ද? ඊනියා ජාතික විධායක සභාවට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ක්‍රියා කළ හැකි ද? ව්‍යවස්ථාවේ තුන්වැනි උපලේඛනයෙහි ජාතික ගීයේ වචන හා සංගීතය පැහැදිලි ව ම සඳහන් කර ඇත. 

රටක ජාතික ගීය එක්කෝ රටේ බහුතරයක් කතාකරන භාෂාවෙන් විය යුතු ය. එසේත් නැත්නම් යටත්විජිතවාදයෙන් නිදහස ලැබූ රටක නම්   නිදහස වෙනුවෙන් අනුපමේය සේවයක් කළ ජනවර්ගයේ භාෂාවෙන් විය යුතු ය. ඉන්දියාවේ ජාතික ගීය බෙංගාලි බසින් ගැයෙන්නේ ඉන්දීය නිදහස් සටනට බෙංගාලි ජනවර්ගය විසින් කෙරුණු සේවය අගය කෙරෙමිනි. ලංකාවේ බහුතරය සිංහල පමණක් නොව පෘතුගීසීන්ගේ කාලයේ සිටම නිදහස වෙනුවෙන් සටන් කර ඇත්තේ ද සිංහලයන් ය. විශේෂයෙන් ම 1815න් පසුව ඉංගිරිසින්ට විරුද්ධව නිදහස වෙනුවෙන් සටන් කර ඇත්තේ සිංහලයන් පමණකි. මෙරට ඩේවිඩ් කැමරන්ලාගේ එලිසබෙත් වින්ඩ්සර්ලාගේ මුතුන් මිත්තන් විසින් හෙළනු ලැබ ඇත්තේ සිංහලයන්ගේ ලේ ය. මේස් දැම්මත් නොදැම්මත් ඔවුන්ට ඇත්තේ ලේ තැවරුණ දෑත්  ය.   

නිිදහස් සටන වෙනුවෙන් දෙමළ ජනයා කර ඇත්තේ කුමක් ද? එදත් අදත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් කර ඇත්තේ සිංහල ජාතිකත්වයට එරෙහිව සිංහල සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීම සඳහා ඉංගිරිසින්ට සේවය කිරීම ය. එවැන්නන්ගේ බසකින් ජාතික ගීය ගැයීම කැප්පෙටිපොළ නිළමගේ සිට මහින්ද රාජපක්‍ෂ දක්වා රටේ ස්වෛරීභාවය වෙනුවෙන් කටයුතු කළ නායකයන්ටත් එයටත් වඩා නිදහස වෙනුවෙන් ලේ හෙළුෑ රණවිරුවන්ටත් නිගා කිරීමකි. 

දෙමළ ජාතිවාදයට කප්පන් නුදුන්නහොත් නැවතත් යුද්ධයක් ඇති වන බව කියන්නේ කවු ද? ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ඇමතිවරුන් ද? නැත්නම් ඔත්තු සේවා ඒජන්තයන් ද? එසේත් නැත්නම් ඩේවිඩ් කැමරන් ද? එයින් ගම්‍ය වන්නේ ප්‍රභාකරන් ආයුධ අතට ගැනීම යුක්ති යුක්ත බව ද? ප්‍රභාකරන් ආයුධ අතට ගත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය වෙනුවෙන් සිංහල ජාතිකත්වයට එරෙහි ව ය. එය පිටුපස ඉන්දීය රජය, රෝ ඔත්තු සේවය, එංගලන්ත රජය, ඔවුන්ගේ එම් අයි 6 ඔත්තු සේවය, සහ වෙනත් බටහිර රටවල් විය. අපට ප්‍රභාකරන් පරාජය කිරීමට හැකි වූයේ ඒ සියල්ලන්ට ම විරුද්ධව කටයුතු කිරීමෙනි. එසේ කිරීම නිසා ම ඔවුහු සියල්ලෝ ම එකතු වී මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවූහ. අපට දැන් කළ යුතුව ඇත්තේ දෙමළ ජාතිවාදය හා ඒ සමග දෙමළ බෙදුම්වාදය පැරදවීම ය. 

අද විධායක බලතල අහෝසි කිරීමට හෝ කප්පාදු කිරීමට හෝ කතා කරන්නෝ දෙමළ ජාතිවාදීහු ය. ඔවුන් එය කරන්නේ ද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙනි. ඔවුන්ට අවශ්‍ය විධායක බලතල අගමැතිට ලබා දී සිංහලත්වයට පහර දීම ය. මේ ඒ සඳහා අවස්ථාව හෝ සුදුසු කාලය හෝ නො වේ. දෙමළ ජාතිවාදය පරාජය කරන තුරු විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය වෙයි.  විශේෂයෙන් ම නී්‍යානුකූල ව පත් නොවූ අගමැතිවරයකුට විධායක බලතල නොපැවරිය යුතු ය.

නලින් ද සිල්වා        

2015 මාර්තු 22

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress