යහපාලනය සුන්නත්දූලි වී ඇත
Posted on March 24th, 2015

-වෛද්‍ය කේ. සුරන්ප්‍රිය. යුතුකම සංවාද කවය

යහපාලනය සුන්නත්දූලි වී ඇත. ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්ද විය නොහැකිය යන්න වඩාත් ප්‍රකට වූ දේශපාලන උදාහරණයක් මෑත ඉතිහාසයේ නොතිබුනු තරම්ය. දිනෙන් දින වඩ වඩාත් වගකීම් විරහිත ජුගුබ්සාජනක සිදුවීම් සිදුවෙමින් තිබේ. මෙවැනි වෙනසකට ජනතාව සිය චන්දය කෙසේ භාවිතා කළේ ද යන්න දැන් ඔවුන් තුළම මතුවී ඇති ප්‍රශ්නයයි. මෙවැනි පාලනයකින් කිසිසේත් රටට හිතකර දේශපාලන වටපිටාවක් නිර්මාණය නොවන බවට වෙන කවරදාකටත් වඩා ජනතාව විසින් වටහා ගෙන ඇත. රටේ සිදුකල මහා දේශපාලන කුමන්ත්‍රනය නිසා සිදුවුනු වඩාත් සාධනීය වෙනස නම් මෙමවටහා ගැනීම බව දැන් දැන් රට තොට සිදුවන කතා බහින් පැහැදිලි වේ. වෙනසක් ප්‍රාර්ථනය කළ අය දැන් දැන් පශ්චත්තාපයෙන් යුතුව මෙනෙහි කරනුයේ, තමන් විසින් ස්ථාවරව තිබූ රටක් අස්ථාවර කිරීමට දායක වූ බවත්, මේ බල ලෝභී කණ්ඩායම් හුදෙක් තම පැවැත්ම සඳහාම පමණක් හැසිරෙන සුපුරුදු දේශපාලන ක්‍රීඩාවෙහිම නිරත වනපවිටුන් බවය.හෙළ උරුමයත්, ජවිපෙත් දැන් ජනතාව ඉදිරියේ නිරුත්තර වී ඇතිවා පමණක් නොව, ඔවුන් රාජපක්ෂ පාලනය තුළදී මෙන්ම වත්මන් පාලන කාලයේදීද ජනතාව බලාපොරොත්තු වන මැදිහත්වීමක් සිදුකළ නොහැකි බෙලහීන පාර්ශවකරුවන් පමණක් බව මනාව පෙන්වා දී ඇත.

නිමල් සිරිපාල ඇතුඑ ශ්‍රීලනිපමන්ත්‍රී වරුන් දැන් මහ බැංකු අධිපතිවරයා ඉවත් කරව් යනුවෙන් පෙළපාලි යන්නේත්, හෙළ උරුමය විරෝධතා පෙළපාලි යන්නේත්,ඡවිපෙ පොරොන්දු ඉටු කරව් යනුවෙන් රැස්වීම් තබන්නේත් කුමකට ද? රටට ප්‍රකාශ කළ යහපාලනය මිත්‍යාවක් බවත් සිදු වන්නේ ජනතාව ප්‍රාර්ථනය කළ වෙනස නොවන බවත් දැන් ඉතා පැහැදිලිය. ශ්‍රීලනිපය තම පක්ෂ නායකයා වෙත සහහෙළ උරුමය සහ ජවිපෙ තමන් විසින් සහයෝගය දී පත්කර ගත් ජනාධිපතිවරයා වෙත මෙම කරුණු ඉදිරිපත් කොට පහසුවෙන්ම නිරාකරණය කරගත හැකිව තිබියදී පෙළපාලි සහ රැස්වීම් තැබීමට ඔවුනට සිදුවී ඇත්තේ ඇයි? මේ ක්‍රියාවලීන්ගෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයා ඔවුන් සමග එකට තීරණ ගන්නේ නැතිවා පමණක් නොව වෙනත් බලගතු බලවේගයක් විසින් අඩපණ කර ඇති බව නොවේ ද?එම බලවේගයන්ගේ මෙම හැසිරීම ඔවුනට ඝෟජු බලයක්පවා නොලැබී ඇති වටපිටාවකදී බව සැලකීමේදී සැබෑ බලයක් ලැබුනහොත් සිදුවිය හැකි අත්තනෝමතික පාලනය ගැන ඉතා පැහැදිලි තක්සේරුවකට පැමිණීමට රටේ ජනතාව දැනුවත් කළ යුතුය.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයින් විසින් පසුගිය කාලයේදී සිදුකරණ ලද අතොරක් නැති උද්ඝෝෂණ සහ විරෝධතා දැන් සහමුලින්ම නැවතී ඇත. ඒ ඔවුන් ඉල්ලා සිටි සියඵ ඉල්ලීම් ඔවුනට ලැබී ඇති නිසා ද? එසේත් නොමැති නම් එම ඉල්ලීම් කිසිසේත් අව්‍යාජ නොවන,පිටුපසින් සිටිමින් ඔවුන්ව මෙහෙයවන ලද බලවේගයන්ගේ මුඛ්‍ය පරමාර්ථය වූ පැවති රජය පලවා හැරීම සඳහා සිසුන් යොදා ගැනීම පිණිස ඉදිරිපත් වූ තාවකාලික මෙහෙයුමක්ද යන්න, තම පළමු චන්දය භාවිතා කරණ ලද මේ උගත් තරුණ තරුණියන් විසින් සොයා බැලිය යුතුය. තමනටද හොරා වෙනෙකෙකු විසින්තමන්ව මෙහෙයවා ගනු ලැබ ඇතැයි යන්න වටහා ගැනීම තරුණ හදවත් වලට වේදනාකාරී වනවාට සැක නැත. රටක අනාගතයත්, සිය අනාගතයත් යන දෙකම තීරණය කෙරෙන චන්දය වැනි වැදගත් අවස්ථාවකදී ඉතා නිදහස් මනසකින් නිවැරදි නිගමනයට පැමිණිය යුතු අතර, ආවේගශීලීව තීරණ නොගත යුතුය.

ඉදිරි මැතිවරණයේ දී සිරිසේන ජනාධිපතිවරයා සිය සහයෝගය ශ්‍රීලනිප සහ එජාප යන පක්ෂ දෙකටම ලබා දීමට තීරණය කර ඇතැයි ඔහු විසින් සිදු කරණ ලද බොළඳ වගකීම් විරහිත ප්‍රකාශය සම්බන්දයෙන් ශ්‍රීලනිප ඉදිරි පෙළ මවිත වී ඇතිවාටත් වඩා ඉතා අසරණ වී ඇතිවාට සැක නැත. කිසිම ශ්‍රීලනිප සාමාජිකයෙකුට පිළිගත හැකි තත්වයක් නොවූවත් ශ්‍රීලනිප නායකත්වය අද ඇද වැටී ඇති තත්වය දෙස බැලීමේදීඔහුගෙන් මීට වඩා වැඩි පෞරුෂයක් බලාපොරොත්තු වීම විහිලුවකි. මෙය මේ කුමන්ත්‍රනය විශ්ලේෂණය කළ ජාති හිතෛශීන් විසින් බොහෝ කලින්ම නිවැරදිව පෙන්වා දෙන ලදී. ශ්‍රීලනිප ඉදිරි පෙළ, මේ යථාර්තය පැහැදිලිව වටහා නොගත හොත් ශ්‍රීලනිප ඉදිරි දේශපාලන අනාගතය ඉතා අඳුරු වනු නොඅනුමානය. ඔවුන් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ප්‍රශ්න කළ යුතුව ඇත. ඔවුහු ශ්‍රීලනිප බහුතර පසු පෙළ හා එක්ව සිරිසේන ජනාධිපතිවරයා ට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට බල කල යුතුය. නිර්භය නිවැරදි තීරණ ගැනීම ප්‍රමාද නොකල යුතුය. මෙය ශ්‍රීලනිප යට ලැබුනු කදිම අවස්ථාවක් ලෙස සුභවාදීව හසුරුවා ගත යුතුය.

තම නායකයාගේ චින්තනය සහ පෞරුෂය පිළිබඳව හොඳ තක්සේරුවක් ඇති කර ගත හැකි අවස්ථාවක්, තම එංගලන්ත සංචාරය අරභයා ඔහු විසින් සිය පාක්ෂිකයින් ඉදිරියේ පලකළ අදහස් වලින් උදා කර දුන්නේය. සිරිසේන ජනාධිපතිවරයාට සිය ජීවිත කාලයේදී ලැබිය හැකි ඉහලම වාසනාවන් වන, එංගලන්ත රැජින සමඟ පැය භාගයක් මුන ගැසී කථා කිරීමට ලැබීම, රැජින අත් වැසුම් නොමැතිව සාකච්චාවට එක් වීම සහ එංගලන්ත අගමැතිවරයා කාරයේ දොර අසලටම පැමිණීම යනාදිය සාක්ෂාත් කර ගැනීමට ඉඩ ලැබී ඇත. කෙතරම් වාසනාවන්ත පුද්ගලයෙක් ද?ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් අනවශ්‍ය මොහොතක දී, කණ්ඩායම අමතමින් එල්ල කළ පීඩනය ද, යම් තරමකින් හෝ පසු දිනම ඔවුන් ගේ ආපසු ඒමට හේතු නොවිනැයි කිව නොහැකිය. එවැනි කණ්ඩායම් ඇමතීමක් අර්ධ අවසාන පූර්ව වටයේදී නොව ලෝක කුසලානය ලබා ගත් අවස්ථාවකදී සිදු කළේ නම් තේරුම් ගත හැකිය. මෙවැනි බොළඳ නායකයින්ගෙන් රටට හිතැති, එඩිතර තීරණ කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු නොවිය යුතුය.

දැන් රට තුල සිදු වන්නේ විකාරරූපී දේශපාලනරංගනයක් බවත්, ජවිපෙ සහ හෙළ උරුමය එහි නිරූපනය කරනුයේ නොවැදගත් අතාත්වික භූමිකාවක් බවත් දැන් පැහැදිලිය. විජයදාස රාජපක්ෂ සහ විකි ලීක්ස් හරහා එළිදරව් වුනු ජවිපෙ අපකීර්තිමත් මූල්‍ය ගනු දෙනුත් සමග, ඔවුන්ගේ භාවිතාවද අනෙක් කවර හෝ පක්ෂයකට වඩා නොවෙනස් බව රටට ඒත්තු යාම නිසා ඔවුහු බරපතල පිරිහීමකට ලක්ව තිබේ. ඔවුන් සහ විදේශීය කුමන්ත්‍රනකරුවන් වසින් රට ඇද දැමූ අස්ථාවර භාවයෙන් ගොඩ ගැනීමට කිසියම් සාධනීය මෙහෙයක් මෙම පක්ෂ දෙක විසින් ඉටු කරණු ඇතැයි දැන් කිසිවකුන් හෝ පිළිගන්නේ නැත.ඉතිහාසයේ ඔවුනට හිමිව තිබූ පිළිගැනීම දැන් බරපතල සෝදාපාඵවකට ලක්වී හමාරය. ඔවුහු දැන් ජනතාවගේ වෛරයට පාත්‍රවෙමින් සිටිති.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සඳහා රටට හිතැති සියඑ බලවේග ඒකරාශි කිරීම වහාම ආරම්භ කළ යුතුය. මෙහිදී විද්වත් වෳත්තිකයින්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇත. රටේ සිදුවූ කුමන්ත්‍රනය සාර්ථක කර ගැනීමට චන්දය භාවිතා කළ ජනතාවගේ අභිලාශයන්ද වටහා ගනිමින් වඩා පුඑල් වූත්, වඩා විශ්වාසනීය වූත් වඩා ක්‍රියාකාරී වූත් බලවේගයක් ගොඩ නැගිය යුතුය. වෙන කවරදාකටත් වඩා ජනතා හදවත් දිනා ගෙන ඇති මහින්ද රාජපක්ෂ මහතා වටා රොක්වන ජනතාව ශ්‍රීලනිප ය තුලම ගොනුකර ගැනීමට හැකි සෑම බලපෑමක්ම කළ යුතුය. එසේ නොහැකි වන්නේ නම් ශ්‍රීලනිප ය අමතක කොට රට වෙනුවෙන් එකමුතු කළ හැකි කවර හෝ තරාතිරමක සියඑ බල මුඵ ඒකරාශී කර ගැනීමට දෙවරක් සිතා බැලීමට කාලයක් ඉතුරු වීනොමැත. ශ්‍රීලනිප යේ ඉහල පෙලේ නායකයින් තුළ ඇති විචිකිච්චාවට පිළිතුරු දීමට සහ රට මුහුණ පා ඇති සැබෑ අවදානම ඔවුනට අවබෝධ කර දීමට දේශමාමකමහ සඟරුවණ සහ විද්වත් වෟත්තිකයින් ස්වේච්චාවෙන්ම පෙරට ආ යුතු මොහොත එළැඹී ඇත.

පසුගිය මැතිවරණ සියල්ලකදී ම පාහේ බොහෝ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතීඥයින් සහ තවත් බොහෝ වෟත්තිකයින් මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහනය පිණිස තම දායකත්වය ලබා දුන් බව සලකා බලන විට ඔවුන් හට මේ අතිශය තීරණාත්මක පැයේදී පැවරෙන වගකීම වෙන කවරදාකටත් වඩා වැඩිය. ඔවුන්ගේ මැදිහත් වීම දෙයාකාරයකින් වැදගත් වේ. පළමුව මහ ජනතාව අතර විශ්වාසය තහවුරු කර අපේක්ෂාව ඇති කරලීම පෙන්වා දිය හැකිය. දෙවනුව වඩාත්ම වැදගත් සාධකය වනු ඇත්තේ මහජන නියෝජිතයින් ලෙස අපේක්ෂකත්වය ලබා ගැනීම පිණිස වන තරඟයේ දී නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීම පිණිස සහාය වන ස්වාධීන මැදිහත්කරුවාගේ භූමිකාව නිරූපණය කිරීමය. ඔවුන් දැන් පෙරමුණක් ලෙස ඒකරාශී වී මෙම කාර්යයටසහභාගී විය යුතුය. ඔවුන්ව දිරිගැන්වීම පිණිස ශ්‍රීලනිප යේ ප්‍රබුද්ධ දේශපාලන කොටස් වෙත විශාල කාර්ය භාරයක් පැවරී ඇත.

-වෛද්‍ය කේ. සුරන්ප්‍රිය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress