විග්නේස්වරන් හා සම්බන්දන්
Posted on March 30th, 2015

නලින් ද සිල්වා

රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. බටහිරට ගැතිකම් කරන පාලකයෝ ඉන්දියාවට ඕනෑ එකක් කරගැනීමට  ඉඩ දී බලා සිටිති. කරගියා ගැනීමට දෙයක් නොමැතිව සිටි රනිල් හදිසියේ චණ්ඩියකු වීමට සිතා උතුරේ දෙමළ ජනතාවට ඇසෙන්නට ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන්ට වෙඩි තබන බවට ප්‍රකාශ කළේ ය.

එහෙත් ඉන්දියාවෙන් කරන ලද තරවටු හමුවේ රනිල් සියල්ල හකුළා ගත්තේ ය. අද ඔහු සිටින්නේ ඉන්දීය ධීවරයන්ට අවශ්‍ය ආකාරයට අපේ මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ දෙන බයාදු පාලකයකු ලෙස ය.

රනිල් හා ඔහුගේ පක්‍ෂයේ සෙස්සෝ ජනාධිපතිවරණයකින් පසු නීති විරෝධීව බලය පික්පොකට් ගැසීමට පෙර චීනයට විරුද්ධ වූහ. ගමේ හන්දියේ කෑගසන චණ්ඩි මෙන් ඔවුහු චීනයට කරන දේ ගැන කියවූහ. බලය පික්පොකට් ගැසූ විගස වරාය නගරයෙහි හෙවත් පෝට් සිටියෙහි වැඩ නැවැත්වීමට තීරණය කළහ. අප ද සිතුවේ රනිල් සිරිසේන චීන විරෝධී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ය. එහෙත් වරාය නගරයේ වැඩ යම් දිනයක ආරම්භ කරන බව අපි දැන සිටියෙමු. 

එහෙත් නීති විරෝධී පාලකයන්ට චීන විරෝධයක්වත් නැති බව අපි දැන් දනිමු. ඔවුන්ට ඇත්තේ චීන භීතිකාවකි. පාලකයෝ චීනයට බිය වෙති. නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා තවමත් සිතා සිටින්නේ තම නායකයන් ගැම්මක් ඇති මහා පුරුෂයන් බව ය. ඔහු සිතන්නේ වරාය නගර වැඩ අවසන් බව ය. එහෙත් රනිල් සිරිසේනට වරාය නගරයේ වැඩ නැවත ඇරඹීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. බොරු පරිසර වාර්තාවක් ඉදිරිපත් කර ඒ අනුව වැඩ ඇරඹිය හැකි යැයි මෛත්‍රිපාල කියනු ඇත. අත්දැකීම් නොමැති අජිත් පෙරේරා තවමත් යෙදී සිටින්නේ විශ්වවිද්‍යාලයීය දේශපාලනයක ය.

රනිල් හා මෛත්‍රිපාල සියළු විදේශ රටවලට බය වන අතර ලංකාවේ ද දෙමළ ජාතික සංධානයට බය වෙති. අද විග්නේස්වරන් ආණ්ඩුවට තර්ජනය කරයි. පලාලේ හා සාම්පුර් අවට අධිආරක්‍ෂිත කලාප බෙදාදුන් රනිල් හා සිරිසේනට අද විග්නේස්වරන් කියා සිටින්නේ වහාම ඉතිරි ආරක්‍ෂිත කලාප ඉඩම් ද බෙදා දෙන ලෙස ය. දෙමළ ජාතික සංධානය දෙමළෙන් ජාතික ගීය ගයයි. අද උතුරේ සිදුවන්නේ කුමක් දැයි අපි නො දනිමු. ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියක් ගැන කතාකරන නීති විරෝධී පාලකයෝ  සිංහලයන්ට උතුරේ තොරතුරු වසන් කරති. ඊනියා රාජ්‍ය නොවන ආයතනවල පඬියෝ නොඇසූ කන් ඇතිව සිටිති. 

විග්නේස්වරන් ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. දෙමළ ජාතික සංධානය ප්‍රතිපත්තියක් ලෙස ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. ඔවුහු හයවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිති. එහෙත් විග්නේස්වරන් තම දෙමළ ජාතිවාදය ප්‍රසිද්ධියේ පළකරමින් ව්‍යවස්ථාවට විරුද්ධ වෙයි. එසේ වුවත්් මෛත්‍රිපාල උතුරු පළාතේ මහා ඇමතිට බය ය. විග්නේස්වරන්ට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටීම මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය වී ඇත.

මේ කරුණු ටික අප මතක් කරන්නේ සම්බන්දන් විපක්‍ෂ නායකයා ලෙස පත්කිරීමට ජාතිකත්වයට විරුද්ධ පිරිසක් කටයුතු කරන පසුබිමක ය. මෙරට විපක්‍ෂ නායකයා අඩුම තරමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන එය වෙනුවෙන් පෙනී සිටින අයකු විය යුතු ය. එහෙත් සම්බන්ධන් හා දෙමළ ජාතික සංධානය පැහැදිලි ව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ය, ඔවුහු බුදුදහම රැකීම සම්බන්ධයෙන් ඇති ව්‍යවස්ථාව වැනි ව්‍යවස්ථාවලට විරුද්ධ වන්නේ වෛරයෙනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබදීමට ඔවුහු විරුද්ධ වෙති. සම්බන්දන් විපක්‍ෂ නායකයා වී තමා සහභාගි වන උත්සවවල දී ජාතික ගීය ව්‍යවස්ථා විරෝධීව දෙමළෙන් ගායනා කරන ලෙස බලකරනු ඇත. එවිට බයාදු ආණ්ඩුව කරන්නේ කුමක් ද යන්න පැහැදිලි ය.

අප සම්බන්දන් විපක්‍ෂ නායකයා ලෙස පත්කිරීමට විරුද්ධ වන්නේ ඔහු දෙමළ වීම නිසා නොව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජාතිකත්වයට විරුද්ධ දෙමළ ජාතිවාදියකු නිසා ය. සුද්දෝ ද 1815 දී අඩුම තරමෙන් ගිවිසුමක් අත්සන් කර මෙරට සිංහල නීති රීති අනුව  පාලනය කිරීමට පොරොන්දු වූහ. එහෙත් දෙමළ ජාතිවාදීහු ජාතිකත්වයට විරුද්ධව දෙමළ ජනයා සංවිධානය කරති. සම්බන්දන් ද දෙමළ ජාතිවාදයෙකි. රනිල් සිරිසේන දෙමළ ජාතිවාදයට බිය වී සම්බන්දන් විපක්‍ෂ නායකයා කර ගැනීමට උත්සාහ කරනු ඇත. එහෙත් සෙස්සන් එසේ කළ යුතු ද? 

නලින් ද සිල්වා

2015 මාර්තු 30 

3 Responses to “විග්නේස්වරන් හා සම්බන්දන්”

  1. Independent Says:

    රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. – සම්පූර්න ඇත්ත​.

  2. Independent Says:

    හමුදාවෙන් පවත්වාගෙන ගිය උ/නැ ආයතන ඩයස්‌පෝරාවෙන් ඩැහැගනීද?

    සමන් ගමගේ

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැ`දවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය….

    ත්‍රිවිධ හමුදාව ව්‍යාපාරික මට්‌ටමින් ක්‍රියාත්මක විය යුතු නැති බවට රජය දරන මතය අනුව මෙම තීරණය ගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ ‘දිවයින’ට පැවැසීය.

    මේ අනුව ඉදිරියේදී ටෙන්ඩර් මගින් අදාළ ආයතන පිටස්‌තර පුද්ගලයන්ට ලබාදෙන අතර එහිදී එම ආයතන ලබා ගැනීමට විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව දැනටමත් ක්‍රියාත්මක වී සිටී.

    එම කටයුතු සඳහා ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද වාර්තා වේ.

    ඩොනල්ඩ් ඥානකෝන් නමැත්තා මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේ උතුරේදී රජයේ ප්‍රබලයකු මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

    ත්‍රිවිධ හමුදාව උතුරු ප්‍රදේශයේ ස්‌ථානගතවී සිටින තැන්වලින් ඉවත් කිරීම හා මෙම ආයතන ටෙන්ඩර් මගින් ලබා ගැනීමේ විදේශගත ඩයස්‌පෝරාවේ අරමුණ වී තිබෙන බවද සඳහන් වේ.

    මේ අතර උතුරේ¨ හමුදා ස්‌ථානගතව සිටින තැන්වලින් වහා ඉවත්විය යුතු බවට උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරම් මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශයක්‌ද කර තිබේ.

  3. Independent Says:

    ඉතාලියේ පැලර්මෝ නගර සභාව ඊළාම්වාදීන්ට නතුවේ

    කීර්ති වර්ණකුලසූරිය

    ඉතාලියේ පැලර්මෝ මහ නගර සභාව කොටි ක්‍රියාකාරීන්ගේ පාලනයට නතුවී ඇත.

    පැලර්මෝ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු කොටි ක්‍රියාකාරීන් බවද අනාවරණය වී තිබේ.

    මෙම නගර සභාව කොටි පාලනයට නතුවීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා පැවැත්වීමට අවසර දී තිබේ.

    පැලර්මෝ නගර සභාවේ ක්‍රියා කලාපය ගැන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙතෙක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත. පැලර්මෝ නගරයේ ඊළාම්වාදීන් 2,000 ක්‌ පමණ සිටින බව අනාවරණය වී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress