ඇගේ වෛරය
Posted on April 1st, 2015

නලින් ද සිල්වා

පසුගිය දා රණවිරුවන්ගේ මෑණිවරුන්ගේ හා භාර්යාවන්ගේ රැස්විමක දී චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ වෛරය දෝරේ යෑමට සලස්වා ඇත. අද අම්මලා ගැන කතාකිරීම ජනප්‍රිය වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අම්මලා ගෙදර බුදුහු වෙති. එහෙත් ඉඳහිට දේවදත්ත පුතුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැකිය හැකි ය. මේ දේවදත්ත පුත්තු ඇතැම් අවස්ථාවල බෝධිසත්ව චරිත රඟ දක්වති.

චන්ද්‍රිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට සැලකූ ආකාරය සුනේත්‍රාගෙන් අසා දැනගත හැකි යැයි සිතමි. එහෙත් චන්ද්‍රිකා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය, පක්‍ෂ කාර්යාලයේ උරුමය ආදිය සම්බන්ධයෙන් සැමියා සමග එක් වී මවට විරුද්ධව උසාවි ගිය බව ප්‍රසිද්ධ කරුණකි. 

චන්ද්‍රිකා කියා ඇත්තේ මහින්ද දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව ඊනියා යුද්ධය (ඒ යුදධයක් නොව ත්‍රස්තවාදයකට එරෙහිව කරන ලද මෙහෙයුමකි. ඒ යුද්ධයක් නම් ජ වි පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මෙහෙයුම් ද යුද්ධයක් විය යුතු ය) විකුණන් කන බව ය. ඇය ඒ බව කියන්නේ රණවිරුවන්ගේ මෑණිවරුන් හා භාර්යාවන් පිරිසකට ය. ඇය නොකියන කතාව නම් ඒ රණවිරුවන්ට ඇය සේනාධිනායක ලෙස කටයුතු කරද්දී කොටින් පරාජය කිරීමට නොහැකි වූ බව ය. එහෙත් ඇය කියනු ඇත්තේ ඇගේ කාලයේ දී ඊනියා යුද්ධයෙන් 75%ක් ජයගෙන තිබූ බව ය. ඇගේ ගණිතය පිළිබඳ දැනුම විජය කුමාරතුංග ඇගේ සාමාන්‍ය පෙළ සහතිකය බලා දැනගත් බවට කතාවක් ඇත. එහෙත් අපි ඒ ගැන කතා නො කරමු. 

චන්ද්‍රිකා නොකියන කරුණ නම් රණවිරුවන්ගේ කැපකිරීම අධිශ්ඨානශීලී බටහිරට හා ඉන්දියාවට නොනැමෙන දේශපාලන නායකත්වයක් නොමැතිව ගඟට ඉණි කැපීමක් වන බව ය. අදාළ රැ්ස්වීමේ සිටි මවක නැගිට තම පුතා මිය ගියේ චන්ද්‍රිකාගේ කාලයේ බවත් එහෙත් ඒ මරණයෙන් රටට වැඩක් නොවූ බවත් නොකීම චන්ද්‍රිකාගේ වාසනාවක් යැයි අපට කිව නොහැක්කේ එතැනට කැඳවන ලද කාන්තාවන්ට ආරාධනය කළේ කවුදැයි අප නිච්චියට ම නොදන්නා බැවිනි.

එහෙත් චන්ද්‍රිකා නම් මහින්ද බැලීමට එන ජනයා ගෙන්වන්නේ කවුදැයි නිච්චියට ම දන්නී ය. ඇයට අනුව ඒ සියල්ලන්ම බත් පැකට්ටුවට හා වෙනත් දේට පැමිණෙන අය ය. මහින්ද ඔවුන් ගෙන්වා අඬවා ගන්නා බව ද චන්ද්‍රිකා දන්නී ය. ඇය මේ සියල්ල දැනගත්තේ දෙව්දත් පුතුන්ගෙන් දැයි අපි නො දනිමු. අද දෙව්දත් පුත්තු පීචං ප්‍රබුද්ධයෝ වෙති. ඔවුහු ඊනියා පීචංලා ලෙස ප්‍රබුද්ධයන්ට අභියෝග කරති. සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහති. එමගින් ප්‍රබුද්ධයෝ වෙති. පීචං ප්‍රබුද්ධයෝ මෙරට සමාජයේ ගෞරවයට පාත්‍ර වෙති.

චන්ද්‍රිකාට අනුව ඇය මැතිවරණයකින් පරාජය වී නැත. ඇය මෙරටින් එංගලන්තයට පලා ගිය කාන්තාවකි. අනූවේ දශකයේ මුල ඇය මෙරටට ගෙන්වා ගත්තෝ වික්ටර් අයිවන්ලා රාජිත සේනාරත්නලා ආදීහු ය. ඒ ජාතිකත්වයේ පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට ය. එහෙත් ජාතිකත්වයේ පක්‍ෂයට දර්ශනයක් ඇත. එය කවන්ධයක් නො වේ. ඒ දර්ශනය ඇත්තේ පක්‍ෂ නායකයන්ට නොව පක්‍ෂ සාමාජිකයන්ට ය. සිංහල ජාතිකත්වය උඩ සිට පහළට නොව පහළ සිට උඩට ක්‍රියාත්මක වන බව නොදන්නා පඬියෝ ශ්‍රී ල නි පක්‍ෂයට සිරසක් නැතැයි කියති. එහෙත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ කෙරෙන දැයින් පෙනී යන්නේ සාමාජිකත්වයේ සිරස  ක්‍රියාත්මක වන බව ය. ශ්‍රී ල නි ප විසුරුවා හැර තමන්ට හිතවත් පක්‍ෂයක් ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කර ගැනීමට උනන්දුවක් දක්වන්නෝ ශ්‍රී ල නි පක්‍ෂය කඩා වැටෙන බවට අමන අනාවැකි කීියති. 

චන්ද්‍රිකා මෙරටට ආනයනය කරනු ලැබුයේ එ ජා පක්‍ෂයට විරුද්ධව රැල්ලක් ඇති ව තිබූ කාලයක ය. ඒ රැල්ල මතින් ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කර සන්ධීය රාජ්‍යයක් ඇතිකිරීම අයිවන්ලාගේ හා රාජිතලාගේ අරමුණ විය. ඇයට තෙවැනි වරටත් ජනාධිපති වීමේ වුවමනාව නොතිබුණා නො වේ. එහෙත් ඇයට එය කරගත නොහැකි විය. මහින්ද ජනාධිපති වීමෙන් පසුව ද ඇය පක්‍ෂ නායකත්වය අත් නොහැර මාස ගණනක් (දින සියයට වැඩි ය) එල්ලි සිටියා ය.පසුව කර කියා ගැනීමට දෙයක් නොමැතිව එංගලන්තයට ගියා ය. එබැවින් ඇයට මැතිවරණයකින් පරාජය වීමේ අවස්ථාව ගිලිහී ගියේ ය. එහෙත් අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශය ශ්‍රී ල නි පක්‍ෂයට අහිමි වූ බව නම් අපි දනිමු. ඒ සම්බන්ධයෙන් ද ඇය කියනු ඇත්තේ එසේ වූයේ මහින්ද නිසා බව ය. ඇගේ වෛරයට සීමාවක් නැත. 

නලින් ද සිල්වා 

2015 අප්‍රේල් 01 

One Response to “ඇගේ වෛරය”

  1. Christie Says:

    Namaste: She is another Governor of the Indian Empire like her father. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress