යසනාත් රාවය
Posted on April 5th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

 දියුණු සමාජ වල වෛද්‍යවරුන් පුහුණු කිරීමේදී ඔවුන්ට humanities හෙවත් මානව ශාස්ත්‍ර ඉගෙන ගැනීමට  දිරිමත් කරති. එසේම සෞන්දර්‍යාත්මක විශයන් ඉගෙන ගැනීමටද යොමු කරති. මෙහි අරමුණ රෝගීන් කෙරෙහි වඩා සංවේදී වූ මානුශික වෛද්‍යවරුන් බිහි කර ගැනීමටය​. 

yasanath

අප  ර​ෙට්  සමහර විට සාමාන්‍ය වෛද්‍යවරුන් අතර පමණක් නොව විශේෂඥ වෛද්‍යවරු අතරද සන්නිවේදන කුසළතා ,  සංවේදීභාවයේ ඌණතාවන් දැකිය හැකිය​. එවැනි යුගයක යසනාත් ධම්මික බණ්ඩාර නැමැති සෞන්දර්‍යාත්මක කුසළතා ප්‍රගුණ කල වෛද්‍යවරයෙකු අප අතර සිටීම වාසනාවකි. ඔහු කැළණිය වි.වි. වෛද්‍ය පීඨයේ සහ ජයවර්ධන පුර වි. වි. වෛද්‍ය පීඨයටයේ  පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකි.  කාව්‍ය සහ ගීත රචනයෙහි නිරතව සිටින වෛද්‍ය යසනාත්ගේ නිර්මාණ උත්කෘෂ්ටය​. 

 මේ ඔහුගේ කාව්‍ය සංකල්පනාවකි 

 හේමන්ත නිද්‍රාවෙන් මිදුණු කවියෙකුගේ කවියක්….

ඉදින් කවියට පිටුපා

ලියන්නේ යැයි ගී පද

ගැරහූහ ඔවුන් මට…….

 

එහෙත් එකළ

ගී අංකුර 

ලියලමින් එකිනෙක

ගී ලියන්නට තතනන

තුරුණු කවියෙකුවූ සඳ

කවියෙකිය වෙසෙස් ඔබ

පැසසීය ඔවුන් මට

මා වෙසෙස් කවියෙකු නොවුනද…..

 

කවියේද ගීයේද සියුම් ඉසියුම් 

වෙනස තවමත් නොහැඳින

ලියයි ඔබ ගී පද

නොවේ මැයි ඒ ගී පද

ගැරවූහ ඔවුන් මට…….

 

එහෙත් නොවුනද කවියෙකු

සොඳුරු ගී වැල් පබඳින

නුඹ වෙසෙස් කවියෙකි

නැවත පැසසූහ ඔවුන් මට

මා වෙසෙස් කවියෙකු නොවුනද….

 

ඔවුන් ගැරහූ ගී පදම

එකින් එක ගී වූ සඳ

අසා වියතුන් සභා මැද

අසුවිනැයි සියුම් ඉසියුම් වූ 

ඒ වෙනස

ගීයේද කවියේද

පැසසූහ ඔවුන් මට….

 

ඉදින් දිවියේ හේමන්තයක් සපැමිණ

නේක හැල හැප්පිලි ගැහැට මැද

හේමන්ත නිද්‍රාවකට එළඹුනි

අමතක විය ඔවුනට

මගේ කවි ගී පද…..

 

කාලය කෙමෙන් වියැකින

හේමන්ත නිද්‍රාවෙන් අවදි වින

සොයා අළු දූලි බැඳි කවු ගී

මුසු කළෙමි සුළඟට

පෙර රසික විචාරක හදවත් 

සොයා යන අණ ලැබ….

 

ඇසෙන විට දැන් නැවත

ඒ ගී ම ඒ කවු ම

කවිද නොව ගී ද නොව

ගැරහූහ ඔවුන් මට……

 

හේමන්ත නිද්‍රා කාලයේ

මගේ නිද්‍රාව ගැන දුක ලියූ

අවදි විය යුතු යැයි දෙසමින්

නින්දෙන් කීද්දූ

ඒ නින්ද ගී කවු කෙතට

මහත් පාඩුවකැයි කිවු

ඔවුහුම

ගැරහූහ ඇහැරුණු කළ…..

 

එහෙත් ඒ නිද්‍රාව තුළ සිටි කළ

කියා දුන් පාඩමක් විය මට

ස්වභාවය එය මය

මා උගත් පාඩම….

වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර විසින් කළ නිර්මාණයන් අතර කිදුරු ගීතය – ගීත නිර්මාණ 16 ක් අඩංගු සියුක්ත තැටිය – වර්ෂ 1998, පතන්බිම කාව්‍ය සංග්‍රහය – 1995, හඩ විශාරද ගුණදාස කපුගේ , ඔහුගේ නිර්මාණ සහ සමකාලීන සාහිත්‍ය කලා විමර්ශන – තිඹිරියාගම බණ්ඩාර, මහින්ද කුමාර දළුපොත සමග – 1996, මුරගල -කාව්‍ය සංග්‍රහය -1997, අගුටුමිට්ටාගේ ප්‍රේමය – ගීත රචනා එකතුව – 1998, තෝල්ස්තෝයි ළමා කතාන්දර – 2 (පරිවර්තන)- වර්ෂ 1999, උයන්පල්ලා සහ සදවතිය – ගීත රචනා එකතුව – 2000 ආදිය හැඳින්විය හැක.

 යසනාත් ඔබට ජය​. තව තවත් මෙවැනි නිර්මාණ මගින් මිනිසුන් ගේ සිත් සතන් පහන් කිරීමට හැකිවේවායි පතමි. 

 

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress