ශ්‍රී ල නි පක්‍ෂය බිඳ වැටෙන්නේ නැහැ
Posted on April 7th, 2015

නලින් ද සිල්වා

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දා රණවිරුවන්ගේ මැණිවරුන් හා භාර්යාවන් පිරිසකට මහින්ද රාජපක්‍ෂ මහතා බැලීමට එන අය ගැන තමා නිශ්චිතව ම දන්නා බව කියා ඇත.  ඇයට අනුව ඒ සියල්ලන්ම බත් පැකට්ටුවට හා වෙනත් දේට පැමිණෙන අය ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් ගෙන්වා අඬවා ගන්නා බව ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර ඇත.මිය . ඇය මේ සියල්ල දැනගත්තේ දෙව්දත් පුතුන්ගෙන් දැයි අපි නො දනිමු. අද දෙව්දත් පුත්තු පීචං ප්‍රබුද්ධයෝ වෙති. ඔවුහු ඊනියා පීචංලා ලෙස ප්‍රබුද්ධයන්ට අභියෝග කරති. සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහති. එමගින් ප්‍රබුද්ධයෝ වෙති. පීචං ප්‍රබුද්ධයෝ මෙරට සමාජයේ ගෞරවයට පාත්‍ර වෙති.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට අනුව ඇය මැතිවරණයකින් පරාජය වී නැත. ඇය මෙරටින් එංගලන්තයට පලා ගිය කාන්තාවකි. අනූවේ දශකයේ මුල ඇය මෙරටට ගෙන්වා ගත්තෝ ඇතැම් ජඩමාධ්‍යවේදියෝ හා ඇතැම් ඇමතිවරු  ආදීහු ය. ඒ ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට ය. එහෙත් ඇයට ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට නොහැකි විය.  ඇය පැකේජය ගෙනාවා ය. මංගල සමරවීර මහතා වැන්නන් සමග සුදු නෙළුම් රැගෙන තවලම් ගියා ය. ඒ කිසිවකින් ශ්‍රී ල නි පක්‍ෂය වෙනස් කිරීමට නොහැකි වූ ඇය නැවතත් එංගලන්තයට ගියා ය. තමා සිංහලයකු වීම ගැන ලජ්ජාවන්නේ යැයි කියන පුතකුගේ අදහස් අගය කරන චන්ද්‍රිකා කුමාරතුංග කිසිම අයුරකින් ශ්‍රී ල නි පක්‍ෂයට ගැලපෙන තැනැත්තියක් නො වේ.  

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරටට ආනයනය කරනු ලැබුයේ එ ජා පක්‍ෂයට විරුද්ධව රැල්ලක් ඇති ව තිබූ කාලයක ය. ඒ රැල්ල මතින් ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කර සන්ධීය රාජ්‍යයක් ඇතිකිරීම ඉහත සඳහන් ජඩමාධ්‍යවේදීන්ගේ හා ඇමතිවරුන්ගේ අරමුණ විය. ඇයට තෙවැනි වරටත් ජනාධිපති වීමේ වුවමනාව නොතිබුණා නො වේ. එහෙත් ඇයට එය කරගත නොහැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව ද ඇය පක්‍ෂ නායකත්වය අත් නොහැර මාස ගණනක් (දින සියයට වැඩි ය) එල්ලි සිටියා ය.පසුව කර කියා ගැනීමට දෙයක් නොමැතිව එංගලන්තයට ගියා ය. එබැවින් ඇයට මැතිවරණයකින් පරාජය වීමේ අවස්ථාව ගිලිහී ගියේ ය. එහෙත් අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශය ශ්‍රී ල නි පක්‍ෂයට අහිමි වූ බව නම් අපි දනිමු. ඒ සම්බන්ධයෙන් ද ඇය කියනු ඇත්තේ එසේ වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා නිසා බව ය. ඇගේ වෛරයට සීමාවක් නැත. 

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙවර ලංකාවට පැමිණියේ මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට ය. එය ඇගේ අවශ්‍යතාවක් පමණක් නො වී ය. කැමරන්ගේ ද ඔබාමාගේ ද මෝදිගේ ද අවශ්‍යතාව වූයේ එය ය. දෙමළ ජාතිවාදීන්, මුස්ලිම් අන්තවාදීන්, විදේශීය ඔත්තු කරුවන් හා ඔවුන්ගේ නියෝජිතයන් , සාධාරණ සමාජයේ හා පිවිතුරු හෙට භික්‍ෂූන් වහන්සේලා, සයිබර් අවකාශයේ නොමග ගිය තරුණයන්, ඊනියා රාජ්‍ය නොවන පඬියන් ඇතුළු සිංහල විරෝධී පඬියන් එකතු කරගෙන විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවී ය. එහෙත් විජාතික බලවේග තම ක්‍රියා මාර්ගය අවසන් කර ඇත. ඔවුන්ට අවභ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනයෙන් සම්පුර්ණයෙන් ම ඉවත් කිරීම ය. 

රාජපක්‍ෂ මහතා පරාජය කිරීම හා දේශපාලනයෙන් ඉවත්කිරීම යනු ශ්‍රී ල නි පක්‍ෂය පරාජය කිරීම හා දේශපාලනයෙන් ඉවත් කිරීම ය. එනම් ජාතිකත්වය දේශපාලනයෙන් ඉවත් කිරීම ය. ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීමට බැව් අපි කීවෙමු. එයින් අදහස් කෙරෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය දේශපාලනයෙන් ඉවත් කිරීම ය. රනිල් වික්‍රමසිංහ මහතා ඊනියා ජාතික ආණ්ඩුව පිළිබඳ තම අදහස ඉතා පැහැදිලිව පළමුව රාජකීය විදුහලේ සිසුන් ඉදිරියේ ප්‍රකාශ කළේ ය.ඔහුට අවශ්‍ය විපක්‍ෂයක් නොමැති පාර්ලිමේන්තුවක් ය. එනම් ශ්‍රී ල නි පක්‍ෂය නොමැති පාර්ලිමේන්තුවක් ය. 

ශ්‍රී ල නි පක්‍ෂය නොමැති පාර්ලිමේන්තුවක් සඳහා ක්‍රියා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නො වේ. විදේශීය ඔත්තු සංවිධානවල මෙහෙයවීමෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයෝ ද ඒ සඳහා කටයුතු කරති. ජනාධිපතිකම, ඇමතිකම්, විපක්‍ෂ නායකකම හා වෙනත් තනතුරු දරන ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන නායකයෝ පක්‍ෂය හා එමගින් සිංහල ජාතිකත්වය දේශපාලනයෙන් ඉවත්කිරීම සඳහා ශ්‍රමය කුලියට දෙති. එහෙත් ඔවුන්ට එ කළ හැකි නො වේ.

මේ අතර ශ්‍රී ල නි පක්‍ෂය කඩා බිඳ තමන් ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමට උත්සාහ දරණ පිරිසක් ද වෙයි. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දෙති. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය බිඳ වැටෙන තෙක් බලා සිටිති. අපට අමතක කිරීමට නොහැකි කරුණක් නම් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධව ඔවුන් ඊනියා සාධාරණ සමාජයක් බිහිකිරීමට අසාර්ථක උත්සාහයක් ගත් බව ය. එයට ඇතැම් දාර්ශනිකයන්ගේ ආධාරය ද ලැබෙයි.        

ඔවුන්ගේ ඊනියා දර්ශනයෙහි සංගත බවක් නැත. ඔවුන් කියන්න් ශ්‍රී ල නි ප දර්ශනයක් නැති කමෙන  විසිරී යන බව ය. එහෙත් ඔවුහු සිංහල ජාතිකත්වය නො හඳුනති. ජාතිකත්වයේ පක්‍ෂයට දර්ශනයක් ඇත. එය කවන්ධයක් නො වේ. ඒ දර්ශනය ඇත්තේ පක්‍ෂ නායකයන්ට නොව පක්‍ෂ සාමාජිකයන්ට ය. සිංහල ජාතිකත්වය උඩ සිට පහළට නොව පහළ සිට උඩට ක්‍රියාත්මක වන බව නොදන්නා පඬියෝ ශ්‍රී ල නි පක්‍ෂයට සිරසක් නැතැයි කියති. එහෙත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ කෙරෙන දැයින් පෙනී යන්නේ සාමාජිකත්වයේ සිරස  ක්‍රියාත්මක වන බව ය. ශ්‍රී ල නි පක්‍ෂයේ සිරස ජාතිකත්වයක් ඇති එහි සාමාජිකයන් හා එහි අනුගාමිකයන් මිස නායකත්වය නො වේ.  ශ්‍රී ල නි ප විසුරුවා හැර තමන්ට හිතවත් පක්‍ෂයක් ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කර ගැනීමට උනන්දුවක් දක්වන්නෝ ශ්‍රී ල නි පක්‍ෂය කඩා වැටෙන බවට අමන අනාවැකි කීියති.

කරලියැද්ද මහතා තම ඇමති ධුරයෙන් ඉවත් වීමෙන් පෙන්නුම් කරන්නේ කුමක් ද? ඒ මහතා කියා තිබුණේ ඇමතිකම දරමින් තමන්ට ගමට යෑමට නොහැකි බව ය. මෙයින් කියන්නේ සිංහල ජාතිකත්වය උඩ සිට පහළට නොව පහළ සිට උඩට ක්‍රියාත්මක වන බව ය. ශ්‍රී ල නි පක්‍ෂය පවතින්නේ එහි සාමාජිකත්වය, අනුගාමිකයන් හා ආධාරකරුවන් නිසා මිස නායකයන් නිසා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය සිරසෙන් ද හදවතින් ද ඇඟෙන් ද යටත්විජිත විරෝධී වෙයි. එ ජා ප යටත්විජිත ගැති වෙයි. පක්‍ෂ දෙක අතර ප්‍රධාන වෙනස ද එයයි. ජනවේග කල්ලියේ රාජිත සේනාරත්න මහතා ඒ බව නො දනියි. අද ඇමති එස් බී දිසානායක මහතාට පවා තමා රඟදැක්වීමක් කරන බවට පක්‍ෂ සාමාජිකයන් ඉදිරියේ රඟ පෑමක් කිරීමට  සිදු වී තිබේ. 

බණ්ඩාරනායක මහතා 1951 දී ආරම්භ කළේ ලිබරල් පක්‍ෂයක් මිස ජාතිකත්වයේ පක්‍ෂයක් නො වේ. එය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කරනු ලැබුයේ මෙරට ජනතාව විසින් ය. පක්‍ෂය අද දෙකට කැඩී ඇත. එහෙත් බිඳ වැටී නැත. පක්‍ෂය දෙකඩ කළෝ ඔත්තු සේවාවලට සේවය කළ නිවට නායකයෝ ය. පක්‍ෂ සාමාජිකත්වය හා අනුගාමිකත්වය වැඩිකල් නොගොස් නිවට නායකයන් පළවා හරිනු ඇත.   

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 05

One Response to “ශ්‍රී ල නි පක්‍ෂය බිඳ වැටෙන්නේ නැහැ”

  1. Christie Says:

    Namaste: බණ්ඩාරනායක මහතා 1951 දී ආරම්භ කළේ, he was financed by Indian Imperialists. The first major and direct intrusion in to the local politics by Indian Imperialists lead by Jawaharlal Nehru the Second Emperor. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress