19 පැරදවීම අවුරුදු තෑග්ගකි
Posted on April 11th, 2015

නලින් ද සිල්වා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ඡන්ද විමසීම අවුරුද්දට සතියකට පමණ පසුව කෙරෙනු ඇති බව වාර්තා වෙයි. එහෙත් එය එසේ ම වේදැයි අපි නො දනිමු. රටට දේශපාලන නොනගතයක් හෙවත් සාංක්‍රමණික කාලයක් උදා කර ඇති මේ වකවානුවේ කිසිම දෙයක් නිශ්චිත ව සිදුවේ යැයි කීමට නො හැකි ය. ඉතා පැහැදිලි ව ම මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ල නි පක්‍ෂ මෙහෙයවිය නො හැකි ය. පක්‍ෂයේ වැඩ කටයුතු සිදුවන්නේ ඔහුට අවශ්‍ය අන්දමට නො වේ. ඔහුට සැපයිය හැකි නායකත්වයක් නැත. නිමල් සිරිපාල නම් ඊනියා විපක්‍ෂ නායකයා ගැන කියනුම කවරේ ද? 

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දිගින් දිගට ම ශ්‍රී ල නි පක්‍ෂයේ ස්ථාවරය වූයේ ව්‍යවස්ථාව සමග මැතිවරණ ක්‍රමය ද සංශෝධනය විය යුතු බව ය. ඒ ස්ථාවරයෙහි අරමුණ කුමක් වුවත් ශ්‍රී ල නි පක්‍ෂයට අද ඒ ස්ථාවරයෙන් පිට පැනීමට නො හැකි ය.  පසුගිය සමයෙහි චන්ද්‍රිකාගේ වෛරය දහස් ගුණයකින් වැඩි වුවත් ඇයට ද ඒ ස්ථාවරයෙන් පිට පැනිය නො හැකි ය. ඇය ඉන් පිට පැන්නත් ඇය කියන දෙයක් සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ බල්ලකුවත් තුට්ටුවකටවත් මායිම් නොකරන බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂය යනු ඇයට දෑවැද්දට ලැබුණු බූදලයක් නොවන බව ඇය තේරුම් ගත යුතු ය. කෙසේ වුවත් ඇයත් ඇගේ සැමියාත් ශ්‍රී ල නි පක්‍ෂයට කලක දී ද්‍රෝහි වූහ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ය. මෙහි ඇත්තේ ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. සිංහල ජාතිකත්වය නැසීම ඒ පිටුපස වෙයි. දෙමළ ජාතිවාදීහු එකල විධායක ජනාධිපති ක්‍රමයට පක්‍ෂ වුවත් අද එයට විරුද්ධ වෙති. විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නට කොටි සංවිධානය (දෙමළ ත්‍රස්තවාදය) පරාජය කළ නොහැකි වන බව බටහිරයෝ ද දෙමළ ජාතිවාදීහු ද දනිති. එහෙත් මාදුළුවාවේ සෝභිත හිමියෝ නො දනිති. රතන හිමියන් දනිතත් මහින්ද ආපසු ජනාධිපති වේය යන භීතියෙන් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීමට එකඟ වෙති. 

විධායක බලතල යම් ප්‍රමාණයක් ජනාධිපතිගෙන් ඉවත්කර අගමැතිට පැවරීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ ය. අගමැති යනු රනිල් ය. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ජීවත්වන පුද්ගලයෙකි. ඔහු හැසිරවෙන්නේ බටහිර චින්තනයෙනි. ඔහු දැනටමත් මෛත්‍රිපාල ද සමගින් සාම්පුර් කඳවුර ඉවත්කර ඇත. පලාලේ අධිආරක්‍ෂිත කලාපයේ ඉඩම් බෙදා දී ඇත. ජාතික හෙළ උරුමය ද ඒ ක්‍රියා අනුමත කරයි. අගමැතිට තව තවත් බලය දුන්නොත් කුමක් සිදුවීමට ඉඩ ඇත් ද? රටේ ආරක්‍ෂාව ජාතික හෙළ උරුමය ද ඇතුළු සිංහල විරෝධී යමපාලකයන්ට ප්‍රශ්නයක් නො වේ.  

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අගමැතිට හිමි වීමට නියම ව තිබූ ඇතැම් කරුණු සංශෝධනයෙන් ඉවත් කෙරෙන බව රනිල් කියයි. එසේ කෙරුණත් නැතත්, මැතිවරණ ක්‍රමය වෙනස් කළත් නැතත්, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා නොව දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි විරහිත ව විරුද්ධවීම සිංහල ජාතිකවාදීන්ගේ යුතුකම වෙයි. සංශෝධනයට තුනෙන් දෙකේ බහුතරය අහිමි කිරීම ජාතියට දෙන අවුරුදු තෑග්ගක් වනු ඇත.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 11

6 Responses to “19 පැරදවීම අවුරුදු තෑග්ගකි”

  1. sarathk Says:

    ලංකා දූ පුතුනි අප මෙය දත යුතුය
    නිම විය යුතුය මෙම යමපාලන රජය
    රැකගන්නට අපේ හෙළ බොදු රට සමය
    පෙරමුණ ගැනුම අප හැම සතු යුතුකමය

    ඉහත කවිය මවිසින් මීට අවුරුදු ගණනාවකට ඉහත දී ආචාර්ය නලින් විසිනි සංස්කරණය කල “කාලය” සඟරාවේ පලකරන ලද කවි පන්තියක පළමු කවියේ සුළු වෙනස් කිරීමකි (අනෙත් කවි මතකයෙන් ගිලිහී ඇත). එදා මම එම කවි පන්තිය ලීවේ අධර්මිෂ්ට ජේ. ආර්. ගේ අති දුෂ්ට ජඩ පාලනය කෙරෙහි ඇතිවූ අධික කේන්තිය මුල්කරගෙනය. මෙම යමපාලනය නිසා යලිදු වස්කවි සිතුවිලි මතුවෙමින් පවතියි.

  2. Dr.K Says:

    ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ අන්තනෝමතික ප්‍රතිපත්තීන්ද සුළු ජාතීන් වසයෙන් ශ්‍රී ලංකාව තුල සිටියත් ශ්‍රී ලංකාවෙන් බැහැරව විශාල ජනගහනයක් සහ නොයෙකුත් සම්පත්ද සහිත ද්‍රවිඩ හා මුස්ලිම් ජාතිකයන්ගේ රට බෙදීමේ නොනවතින ප්‍රයත්නයන්ද හමුවේ ශ්‍රී ලංකාවේ ඒකීයත්වය ආරක්සා කිරීමටනම් මහජන චන්දයෙන් පත්කෙරෙන ජනාදිපති ගේ බලතල ආරක්සා කලයුතුය.

    JR අගමැති වශයෙන් පත්වනවිට විපක්ස නායක වුයේ අමිර්තලින්ගම්ය.JR එකල ව්‍යවස්ථාව සකස්කළේ ඉහත කාරනා මුල්කරගෙනය.
    එදා මාමා ගේ ව්‍යවස්ථාව අද බෑනා වෙනස්කරන්නේ රට ගැන සිතා නොව ඔහු ගැන සිතාය . දෙශප්රේමි මත්‍රිවරුන් මේගැන සිතාබැලියයුතුය.

  3. Christie Says:

    Namaste: Indian Empire got its biggest New Year Gift on 8th January 2015. Jai Hind

  4. sarathk Says:

    අප ප්‍රධාන සතුරා හඳුනාගැනීම ඉතාම වැදගත්ය. එනම් රට බෙදීම ඒකායන අරමුණ කරගත් දෙමල බෙදුම්වදියොත් ඔවුනට කෙලින්ම උදව්දෙන විදේශ බලවේගත්ය. මොවුන් ඇස් පනාපිට සිටයි. උපන්ගෙයි මෝඩයෙකු ලෙස දේශපාලනයට පැමිණ මාමගේ සහ බටහිර දේශපාලකයින්ගෙන් සටකපටකම් ඉගෙන අගමැතිකම පික්පොකට් ගැසූ රනිල් භයානක ලෙස රට ප්‍රපාතයට තල්ලු කරමින් සිටින්නේ තම පුද්ගලික බල තණ්හාසයට සහ ඔහුගේ බටහිර නායකයන්ගේ (රුකඩ නටවන්නන් ) ගේ උවමනාවන් ඉටු කිරීමට මිස අන් කවරකටද? මේ සදාකාලික පරාජිතයා දිනු දේශය පවා දීමට ගන්න වෑයම පැරදවීම සියලු දේශප්‍රේමී නායකයින් මේ මොහොතේ රටට දියයුතු ලොකුම ත්‍යාගයයි. මෛත්‍රීපාල මෙහිදී මෝඩ ලෙස තමන්ගේ “නිර්ව්‍යාජ, බල නිර්ලොබී, අවංක, නිර්මල, පොරොන්දු එආකාරයෙන්ම නොපිරිහෙලා ඉටුකරන, ඇති සුපිරිසිදු”, ලොවේ කොහෙවත් නැති දෙසපලකයෙකු ලෙස රනිල් සමග රට පවා දේදෝ යන්න අපට ඇති බලවත් සැකයයි. සිරිසඟබෝ රජකම අත්හැරියේ තමන් ඊට නුසුදුසු නිසාය. අයින්ස්ටයින් ඉස්රයලයේ දේශපාලන ආරාධනාව නොපිළිගත්තේ ඔහු බුද්ධිමත් නිසාය. මෛත්‍රී සහ රනිල්…………? දෙවියන් පය නොගසන තැන මෝඩයෝ බල නැටීම පාපයකි.

  5. Independent Says:

    කවුරුත් දන්නා සතුරා පහසුවෙන් පැරදිය හැක​.
    මිතුරා ලෙස එන සතුරා අඳුනාගන්න​.

  6. Senevirath Says:

    ප්‍රභාකරන් මරාදැමූ මිනිහාත් ඒ මළවුන් නැගිටවීමට කටයුතුකරන මිනිහාත් එකිනෙකාට නොපෑ හේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress