19 සම්මත වුණොත් ජනාධිපති පාලනය කරන්නෙත් අගමැති
Posted on April 11th, 2015

– ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි Courtesy Divaina

ජනාධිපතිවරයා සතු විධායක බලතල සංවරණය කිරීමට යෝජිත 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මේ දිනවල පුළුල් කතාබහකට ලක්‌ව ඇති මාතෘකාවකි. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යනු කුමක්‌ද? එයින් ජනාධිපතිවරයා සතු බලතල අඩු කරන්නේ කෙසේද? ජනාධිපති තනතුරට වැඩි බලතල ලබාදීම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සකස්‌ කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පදනම වූ බැවින් එම තනතුරේ බලතල අඩුකිරීම සමස්‌ත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවට බලපාන්නේ කෙසේද? ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි කරන විග්‍රහයකි මේ.
19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගැන ඔබේ අදහස කුමක්‌ද?
මෙම සංශෝධනය තුළින් සුමන්දිරන් මහතා ඇතුළු පිරිසගේ දැක්‌ම මනාව පෙන්නුම් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයෙන් දකුණේ ඡන්දවලින් අවාසිදායක තත්ත්වයක්‌ මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවුණත් ඔහුට ජනාධිපති වීමට හැකිවුණේ උතුරෙන් ලැබුණු බහුතර ඡන්දයෙනුයි. ඒ අනුව උතුරට හිතකර – උතුරට යටත්වුණු ජනාධිපතිවරයෙක්‌ හැටියට මේ ජනාධිපතිවරයා හැඳින්විය හැකියි. එය වඩාත් පැහැදිලි කර ගත හැක්‌කේ මේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය විග්‍රහ කිරීමෙනුයි. එනම් මේ සංශෝධනය තුළින් ජනාධිපති තනතුරේ බලය හීන කර ජනාධිපතිවරයා රූකඩයක්‌ බවට පත් කර තිබෙනවා. මෙය ටී.එන්.ඒ. පක්‌ෂය බලාපොරොත්තු වූ කාරණයක්‌. එනම් විශාල බලයක්‌ සහිත ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කිරීම තුළින් ඔවුන්ගේ අපේක්‌ෂා ඉටුකර ගැනීමට හැකි වාතාවරණයක්‌ ඇතිකර ගැනීමයි.
මේ ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩුවෙන්නේ කොහොමද?

මේ ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වුණොත් ජනාධිපතිවරයා පාලනය කරන්නේත් අගමැතිවරයා විසිනුයි. මේ ව්‍යවස්‌ථා සංශෝධනය නිසා සිදුවන්නේ ව්‍යවස්‌ථාදායකය විධායකයට වඩා බලසම්පන්න වීමයි. මේ සංශෝධනය තුළින් විධායක ජනාධිපති තනතුර 1971 ව්‍යවස්‌ථාවේ සඳහන් සංකේතාත්මක තනතුරකට පත්කිරීමට කටයුතු කර තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයාට පමණක්‌ කිසියම් වරප්‍රසාද ප්‍රමාණයක්‌ හිමිකර දී ඇතත් ඔහුගෙන් පසු පත්වන සෑම ජනාධිපතිවරයකුම පාලනය කරනු ලබන්නේ අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව විසිනුයි.

වර්තමාන ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් පත් වූ පුද්ගලයෙක්‌. ජනමත විචාරණයක්‌ නොපවත්වා එම තනතුරේ බලතල අඩුකරන්න පුළුවන්ද?

මෙම 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නව අගවිනිසුරුතුමා පත්වූ පසු ඉදිරිපත් කරන මුල්ම ව්‍යවස්‌ථා සංශෝධනයයි. එමනිසා මේ අවස්‌ථාව අධිකරණයේ ස්‌වාධීනත්වය හා අධිකරණයේ ශක්‌තියත් නිසිලෙස තුලනය කිරීමට එළඹුණු මහඟු අවස්‌ථාවක්‌ ලෙස මම දකිනවා. මේ අවස්‌ථාව මේ රටේ තීරණාත්මක අවස්‌ථාවක්‌ ලෙස සලකා මේ සංශෝධනය ව්‍යවස්‌ථානුකූලව සිදුකිරීම අධිකරණයේ ස්‌වාධීනත්වය හා එහි ශක්‌තිය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු වෙනවා.

ආණ්‌ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා බව මෙම 19 වැනි ව්‍යවස්‌ථාවෙන්ද තහවුරු කර ඇතත් කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා ලෙස මෙහි නම් කර තිබෙනවා?

මේ සංශෝධනයෙන් ජනාධිපති තනතුර නාමික තනතුරක්‌ බවට පත් කර ඇති බව එයින් පැහැදිලියි. ජනාධිපතිවරයා සතු විධායක බලතල කැබිනට්‌ටුවට බාරදී එහි ප්‍රධානියා ලෙස අගමැති පත්කිරීමෙන් සිදුවන්නේ ආණ්‌ඩුව තුළ ජනාධිපතිවරයාගේ කාර්යභාරය ජනාධිපති නිවසේ වාසය කිරීමත් රාජ්‍ය උත්සවයන්හිදී ජනාධිපති ලෙස මුල් පුටුවේ වාඩිවීමත් පමණක්‌ වීමයි. ඉන්පසු ජනාධිපති තනතුර වෙනුවෙන් ඡන්දයක්‌ පැවැත්වීම පවා මහජන මුදල් වැයකරන ප්‍රයෝජනයක්‌ නැති කටයුත්තක්‌ වන බව මගේ වැටහීමයි. බලතල කිසිවක්‌ නැති පුද්ගලයකු ජන්දයකින් පත්කර ගැනීමෙන් මහජනතාවට කිසිදු ප්‍රයෝජනයක්‌ නැහැ.

හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මේ වනවිට 19 වන ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය නොදෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය මේ සඳහා ලබාගැනීමට හැකිවෙයිද?

හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මේ අවස්‌ථාවේ කරන්නේ අවස්‌ථාවාදී දේශපාලනයක්‌. ඔවුන් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත නොවන නිසා ඔවුන් තම ස්‌ථාවරයන් වරින් වර වෙනස්‌ කරමිනුයි ඉන්නෙ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර කැමැත්ත නොලැබුණොත් මේ ව්‍යවස්‌ථා සංශෝධනය සිදුකරන්නට හැකියාවක්‌ නෑ. එසේ වුවහොත් මහමැතිවරණයක්‌ පැවැත්වීමට සිදුවෙනවා. එවැනි තත්ත්වයක්‌ ඇතිවිය හැකි බවට ඉඟි ලැබෙමින් තිබෙන්නේ දැනටමත් මුදල් පනතකින් ආණ්‌ඩුව පරාද වී ඇති බැවිනුයි.

මේ ව්‍යවස්‌ථා සංශෝධනය සිදුවුවහොත් එයින් පළාත් සභාවලට කෙබඳු බලපෑමක්‌ විය හැකිද?

පළාත් සභා සතු බලතල කේන්ද්‍ර වූයේ ජනාධිපති තනතුර වටායි. ආණ්‌ඩුකාරවරයා ක්‍රියාකරන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා වශයෙනි. ජනාධිපති තනතුරේ බලතල අඩුකිරීම නිසා පළාත් සභා බලවත්වීම අනිවාර්යයෙන්ම සිදුවනවා. මේ ව්‍යවස්‌ථාවෙන් නිරූපණය වන ජනාධිපතිවරයා විධායක බලතල අහිමි පුද්ගලයකු බැවින් ඔහුගේ නියෝජිතවරයා වන ආණ්‌ඩුකාරවරයාට පළාත්සභාවලට නියෝග කිරීමේ හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ.

ජේ. ආර්. ජයවර්ධන මහතා සකස්‌ කළ 1977 ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ පදනම වූයේ ජනාධිපති තනතුරට වැඩි බලතල ලබාදීමයි. එයට එකතු කරන මෙම 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ජනාධිපති තනතුරේ බලතල අඩුකිරීම තුළින් 1977 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව දුර්වලවීමක්‌ සිදුවෙනවද?

මේ ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවට සිදුවන බරපතළ හානිය එයයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ උත්සාහ කරන්නේ ෙ-. ආර්. ජයවර්ධන මහතාගේ ස්‌ථාවරය මුළුමනින්ම වෙනස්‌ කරන්නයි. මට හැඟෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණයකින් අගමැති ධුරයට හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකිවීම නිසා එම බලතල වක්‍රාකාරයෙන් ඔහු අතට ගැනීමටයි ඔහු මේ ක්‍රියාමාර්ගය යොදන්නෙ.

ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 දී ඇති කළ ව්‍යවස්‌ථාවේ විවිධ අඩුලුහුඬුකම් ඇතත් එම ව්‍යවස්‌ථාව කෙටුම්පත් කළේ බුද්ධිමතුන් කිහිපදෙනකු විසිනුයි. එය අලංකාරව ගොනු කරනු ලැබූ ව්‍යවස්‌ථාවක්‌. නමුත් එයට මේ එකතු කිරීමට සූදානම් වන මේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ව්‍යවස්‌ථා සම්පාදනය පිළිබඳ හැකියාවක්‌ නැති පිරිසකගේ අපරීක්‌ෂාකාරී වැඩක්‌. මේක මහ අද්භූත සංශෝධනයක්‌. එක උදාහරණයක්‌ පමණක්‌ මම කියන්නම්. ෙ-. ආර්. ජයවර්ධන මහතා ගේ ව්‍යවස්‌ථාවේ ඇතැම් තැනක ජනාධිපතිවරයා හඳුන්වා තිබෙන්නේ ඔහු ලෙසයි. එහි කිසිතැනක ඔහු හෝ ඇය ලෙස ජනාධිපතිවරයා හඳුන්වා නෑ. නමුත් මේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇතැම් තැනක ජනාධිපතිවරයා ‘ඔහු’ ලෙස හඳුන්වනවා. තවත් තැනක ‘ඔහු හෝ ඇය’ ලෙස හඳුන්වනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අර්ථ නිරූපණය කිරීමේදී ඔහු යන වචනය තුළ ඔහු හෝ ඇය යන අර්ථය අනිවාර්යයෙන්ම තිබෙනවා. නමුත් මේ ව්‍යවස්‌ථා සංශෝධනයේ ‘ඔහු’ යනුවෙන් එක තැනකත් ‘ඔහු හෝ ඇය’ යන්න තවත් තැනකත් ජනාධිපතිවරයා හැඳින්වීමට භාවිත කිරීම නිසා කිසියම් අවස්‌ථාවක ජනාධිපතිවරයා ඉවත්කිරීමට දෝෂාභියෝගයක්‌ ගෙන එන අවස්‌ථාවකදී එම ඉවත්කිරීමට අදාළ තැන ජනාධිපතිවරයා හඳුන්වා තිබෙන්නේ ‘ඔහු’ යන නමින් පමණක්‌ නම් යම්හෙයකින් ජනාධිපතිවරියක්‌ බලයේ සිටින අවස්‌ථාවක ඇය ඉවත්කිරීමට දෝෂාභියෝගයක්‌ ගෙනඑAමට නොහැකි වෙනවා. මෙබඳු අපරීක්‌ෂාරීව යෙදූ යෙදුම් රාශියක්‌ මෙහි තිබෙනවා. එමනිසා මෙම ව්‍යවස්‌ථා සංශෝධනය සිදුවුණොත් එය අලුත් අර්බුද රැසකට හේතුවක්‌ විය හැකියි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

4 Responses to “19 සම්මත වුණොත් ජනාධිපති පාලනය කරන්නෙත් අගමැති”

  1. Dr.K Says:

    ශ්‍රී ලංකාවේ පවතින දේසපාලන අර්බුදයන්ද සුළු ජාතීන් වසයෙන් ශ්‍රී ලංකාව තුල සිටියත් ශ්‍රී ලංකාවෙන් බැහැරව විශාල ජනගහනයක් සහ සම්පත් සහිත ද්‍රවිඩ හා මුස්ලිම් ජාතිකයන්ගේ රට බෙදීමේ නොනවතින ප්‍රයත්නයන්ද හමුවේ ශ්‍රී ලංකාවේ ඒකීයත්වය ආරක්සා කිරීමටනම් මහා ජන චන්දයෙන් පත්කෙරෙන ජනාදිපති ගේ බලතල ආරක්සා කලයුතුය.

    JR අගමැති වශයෙන් පත්වනවිට විපක්ස නායක වුයේ අමිර්තලින්ගම්ය.JR එකල ව්‍යවස්ථාව සකස්කළේ ඉහත කාරනා මුල්කරගෙනය.
    එදා මාමා ගේ ව්‍යවස්ථාව අද බෑනා වෙනස්කරන්නේ රට ගැන සිතා නොව ඔහු ගැන සිතාය .

  2. Christie Says:

    Namaste: Another article and a comment diluting the number of Sinhalese. There are two groups of people in the island. The Sinhalese and the Indian Colonial Parasites. The Sinhalese have a history of more than 40,000 years and they became Buddhist, Muslims and Christians within the last 3000 years. The Indian Colonial Parasites who are mainly Hindus and Hindu Christians arrived in the island within the last 220 years. Jai Hind

  3. Christie Says:

    Namaste: “වර්තමාන ජනාධිපතිවරයාට පමණක්‌ කිසියම් වරප්‍රසාද ප්‍රමාණයක්‌ හිමිකර දී ඇතත් ඔහුගෙන් පසු පත්වන සෑම ජනාධිපතිවරයකුම පාලනය කරනු ලබන්නේ අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව විසිනුයි.”
    This is the most important part of the proposed amendments. This clearly dictates that the Indian Empire will have 6 years from 08.01.2015 to destroy the Sinhalese. Jai Hind.

  4. sarathk Says:

    අප ප්‍රධාන සතුරා හඳුනාගැනීම ඉතාම වැදගත්ය. එනම් රට බෙදීම ඒකායන අරමුණ කරගත් දෙමල බෙදුම්වදියොත් ඔවුනට කෙලින්ම උදව්දෙන විදේශ බලවේගත්ය. මොවුන් ඇස් පනාපිට සිටයි. උපන්ගෙයි මෝඩයෙකු ලෙස දේශපාලනයට පැමිණ මාමගේ සහ බටහිර දේශපාලකයින්ගෙන් සටකපටකම් ඉගෙන අගමැතිකම පික්පොකට් ගැසූ රනිල් භයානක ලෙස රට ප්‍රපාතයට තල්ලු කරමින් සිටින්නේ තම පුද්ගලික බල තණ්හාසයට සහ ඔහුගේ බටහිර නායකයන්ගේ (රුකඩ නටවන්නන් ) ගේ උවමනාවන් ඉටු කිරීමට මිස අන් කවරකටද? මේ සදාකාලික පරාජිතයා දිනු දේශය පවා දීමට ගන්න වෑයම පැරදවීම සියලු දේශප්‍රේමී නායකයින් මේ මොහොතේ රටට දියයුතු ලොකුම ත්‍යාගයයි. මෛත්‍රීපාල මෙහිදී මෝඩ ලෙස තමන්ගේ “නිර්ව්‍යාජ, බල නිර්ලොබී, අවංක, නිර්මල, පොරොන්දු එආකාරයෙන්ම නොපිරිහෙලා ඉටුකරන, ඇති සුපිරිසිදු”, ලොවේ කොහෙවත් නැති දෙසපලකයෙකු ලෙස රනිල් සමග රට පවා දේදෝ යන්න අපට ඇති බලවත් සැකයයි. සිරිසඟබෝ රජකම අත්හැරියේ තමන් ඊට නුසුදුසු නිසාය. අයින්ස්ටයින් ඉස්රයලයේ දේශපාලන ආරාධනාව නොපිළිගත්තේ ඔහු බුද්ධිමත් නිසාය. මෛත්‍රී සහ රනිල්…………? දෙවියන් පය නොගසන තැන මෝඩයෝ බල නැටීම පාපයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress