විපක්‍ෂ නායකත්වය
Posted on April 13th, 2015

නලින් ද සිල්වා

එක්තරා ආකාරයකින් ගතහොත් දුෂ්ටගාමිණී සද්ධාතිස්ස ගැටුමේ නව පිටපතක් දැන් ක්‍රියාත්මක වෙයි. දුෂ්ටගාමිණී යනු ගාමිණි අභය රජුට එතුමාගේ විරුද්ධවාදීන් දුන් නමකි. ඒ අතර තිස්සට සද්ධාතිස්ස යන නම පටබැඳිණි. අභය ගාමිණී කුමරුට විරුද්ධ වූයේ එළාර හා ඔහුගේ පුරෝහිතයා හා ආධාරකරුවන් පමණක් නො වේ. තිස්ස නමින් වූ සහෝදරයා ද විරුද්ධ විය. එමෙන් ම අශෝක රජුගෙන් පසු මෙරට ඇති වූ භික්‍ෂු පරපුරේ ඇතැම් භි්ක්‍ෂූන් වහන්සේ ද විරුද්ධ වූහ. කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු ගාමිණී අභය කුමරුට රජකම නො පැවරිණි. රජකමට පත්කරනු ලැබුයේ සද්ධාතිස්ස නමින් ප්‍රසිද්ධ වූ ති්ස්ස ය. 

අභය ගාමිණී කුමරුට කොත්මලේ සිට පැමිණ රජකම ලබාගැනීම සඳහා තිස්ස සමග සටන් කිරීමට සිදුවිය. එහි දී තිස්ස යුද්ධයෙන් පැරදී ගොස් සැඟවණේ පන්සලක ය. රජකම පිළිබඳ සිද්ධිය මහාවංසයේ පැහැදිලි ව විස්තර නො කෙරෙයි. එහෙත් මෙය යක්‍ෂ ගෝත්‍රිකයන් හා විජය –- අශෝක (ඊනියා මෞර්යයන්) අතර වූ ප්‍රශ්නයක් වූ බව සිතාගත හැකි ය. අප රටට ඉන්දියාවෙන් (භාරතයෙන්) බලපෑම් එල්ල වූයේ අද ඊයේ නො වේ. බුදුන් වහන්සේ හා රහතන් වහන්සේ් මෙරටට වැඩම කර අපට ලබා දී ඇතැයි කිවහැකි බුදුදහම හැරෙන්නට අපට භාරතයෙන් හා ඉන්දියාවෙන් ලැබී ඇත්තේ, එල්ල වී ඇත්තේ බලපෑම් හා තර්ජන ය. අවුරුදු දෙදහස් පන්සියකට අධික කාලයක් තිස්සේ අප වෛදිකයන්ගේ බලපෑම්වලට මුළුමනින් ම යටත්නොවී සිටීම ම ආශ්චර්යයකි. මෙරට ඉතිහාසය වෛදිකයන් විසින් සකස් කෙරී ඇත.

අප රටේ පමණක් නොව තායිලන්තයේ ද ඉතිහාසය ලියා ඇත්තේ වෛදික ආක්‍රමණිකයන්ට අවශ්‍ය අන්දමට ය. තායිලන්තයේ රාම බලපෑම බෙහෙවින් දැකිය හැකි ය. එහි ඉතිහාසය ලියැවෙන්නේ දහතුන්වැනි සියවසෙන් පසුව ය. අදත් ඔවුන්ගේ රජවරු රාම නමින් හැඳින්වෙති. තායිලන්ත සංස්කෘතිය යනු මූලික වශයෙන් වෛදික, චීන හා සිංහල බෞද්ධ සංස්කෘතිවල මිශ්‍රණයකි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හා චීන සංස්කෘතියෙහි ආභාසය හේතුවෙන් තායිලන්තයෙහි සංස්කෘත වෛදික සංස්කෘතියෙහි බලපෑම හීන වී ඇති බව පෙනෙයි.

අපේ රටේ ද තායිලන්තය මියන්මාරය කාම්බෝජය ඇතුළු මේ කලාපයේ රටවල ද ඉතිහාසය වෛදික ඉතිහාසයෙන් මුදාගැනීමට කාලය පැමිණ ඇත. එහෙත් එය මහා පරිමාණ ව්‍යාපෘතියකි. අද ඉන්දියාව දේශපාලන වශයෙන් සාක් කලාපීය රටවල් තම ආධිපත්‍යයට යට කර ගැනීමට උත්සාහ කරයි. සංස්කෘතික හා ආර්ථික වශයෙන් ද එසේම ය. අප චීනය සමග සම්බන්ධකම් පැවැත්වීම ඉන්දියාවට දරාගත නොහැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට ඉන්දියාව එකතුවීමට එක් ප්‍රධාන කරුණක් වූයේ ද මේ ඉවසා දරාගැනීමට නොහැකි වීම ය.   

ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූයේ  විජාතික බලවේගවල සහායෙනි. එහි දී ඉන්දියාව හා රෝ ඔත්තු සේවය විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. බටහිරයන් ද සමහ එකතු වූ ඉන්දියාව මහින්ද රාජපක්‍ෂ මහතා දුෂ්ටමහේන්ද්‍ර කෙනකු බවට පත් කළේ ය. මාදුළුවාවේ සෝභිත හිමි, රතන හිමි ආදීහු ඊනියා සාධාරණ සමාජ ඇතිකර පිවිතුරු හෙටක් උදා කිරීම සඳහා විජාතික බලවේග සමග එකතු වූහ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහෝදරයකු නොවුණ ද, එකම පක්‍ෂයේ සහෝදරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෛත්‍රිය පතුරවන සද්ධාමෛත්‍රී කෙනකු බවට පත් කෙරිණි. දුෂ්ටමහේන්ද්‍ර හෙවත් මහින්ද පරාජය කෙරිණි. එහෙත් අභයගාමිණී රජ වූ පරිද්දෙන් මහින්ද ද නැවත බලයට පත්වීම වැළැක්විය නො හැකි ය. අද අප ගෙවන්නේ මෙරට ඉතිහාසයේ තවත් සාංක්‍රමණික කාල පරිච්ඡෙදයකි. මේ අවුරුදු කටේ සාංක්‍රමණික කාලය ගැන හැඳින්වීමක් කිරීම අනවශ්‍ය ය. 

අද මතු වී ඇති විපක්‍ෂ නායක තනතුර සඳහා වූ ප්‍රශ්නය මෛත්‍රිපාල රනිල් කල්ලියේ නිර්මාණයකි. නිමල් සිරිපාල ද සිල්වා මහතා මෛත්‍රිපාල රනිල් කල්ලියේ ඒජන්තයකු පමණකි. ඔහුගේ ඊනියා විපක්‍ෂ නායකකම අද අභියෝගයට ලක් වී ඇත. ඔහු තමාට පිටුපසින් පිහියෙන් ඇනීමක් ගැන දොඩවයි. මළමිනිවලට පිටුපසින් හෝ ඉදිරියෙන් හෝ පිහියෙන් අනින්නේ කවු ද? කතානායක චමල් රාජපක්‍ෂ මහතා කියා ඇත්තේ විපක්‍ෂ නායකකම පිළිබඳ ව සංධානය තීරණයක් ගත යුතු බව ය. එසේ කීමෙන් ඔහු ප්‍රශ්නයෙන් පැන ගොස් ඇත. 

එක් අතකින් විපක්‍ෂ නායක අර්බුදයෙන් පෙන්නුම් කෙරෙන්නේ ඉංගිරිසින් අප මත බලයෙන් පටවා ඇති පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඇති දුර්වල කම් ය. ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කොටසක් ඇමතිකම් දරද්දී තවත් කොටසකට විපක්‍ෂයේ හිඳ ගැනීමට සම්ප්‍රදාය අනුව බාධාවක් ඇති නමුත් නෛතික ව ප්‍රශ්නයක් නැත. ව්‍යවස්ථා සංශෝධනයක දී විපක්‍ෂය යනු කුමක් ද විපක්‍ෂ නායකයා යනු කවු ද, ඔහු තෝරාගනු ලබන්නේ කෙසේ ද ආදිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ නම් අපට සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට නව එකතුකිරීමක්  කළ හැකි වනු ඇත. එහෙත් ඒ අපේ මහජන නියෝජිතයන්ට ඒ පිළිබඳ උනන්දුවක් ඇත්නම් පමණකි.

සංධානයේ මන්ත්‍රීවරුන් 64 දෙනකු විපක්‍ෂ නායකකමට දිනේෂ් ගුණවර්ධන මහතා පත්කරන ලෙස ඉල්ලා කතානායකට ලිපියක් ලබා දී ඇතැයි වාර්තා වෙයි. එහෙත් චමල් රාජපක්‍ෂ මහතා තීරණයක් නොගෙන අද සද්ධාචමල් කෙනකුගේ චරිතය රඟපායි. ඔහු කියන්නේ සංධානය ඒ පිළිබඳ තීරණයක් ගත යුතු බව ය. එසේ නම් සංධානයේ මහාලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද වහාම කතානායකවරයාට ලිපියක් මගින් දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක ලෙස පත්කරන ලෙස දැනුම් දිය යුතු ය. 

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට එසේ කිරීමට නොහැකි නම් ඔහු වහාම කළ යුත්තේ සංධානයේ ඇමතිකම් භාර නොගත් මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් කැඳවා විපක්‍ෂ නායක විය යුත්තේ කවුද යන්න පිළිබඳ එහි දී තීරණයක් ගැනීම ය. එහෙත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩකරන්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ඇතැයි කියන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය අන්දමට ය. ශ්‍රී ල නි පක්‍ෂයේ අද ප්‍රජාතන්ත්‍රවාදයක් නමටවත් නැත. එහි ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මෛත්‍රිපාල සිරිසේන මහතා මගින් ක්‍රියාත්මක වන විජාතික ආධීපත්‍යයකි. එහෙත් ඒ ආධිපත්‍යය බිඳ දමන දිනය වැඩි ඈතක නො වේ. 

ඒ බව ආණ්ඩුව ණය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පරාජය වීමේ සිද්ධියෙන් මනාව පැහැදිලි වෙයි. ලක්‍ෂමන් කිරිඇල්ල හා රවි කරුණානායක මහත්වරුන්ට අනුව නිමල් සිරිපාල මහතා ඒ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට නොයන බව ප්‍රකාශ කර ඇත. එහෙත් ඡන්ද විමසීමකින් පසුව ආණ්ඩුව පරාජයට පත් වී ඇත. මෙයින් කියැවෙන්නේ නිමල් සිරිපාල මහතා අද විපක්‍ෂ නායකකම කරන්නේත් අගමැති යැයි කියන්නා ආණ්ඩුව පවත්වාගෙන යන්නේත්  විධායක ජනාධිපති බලතල යොදා ගනිමින් පමණක් බව ය. 

මෙය මුදල් පණතක් වුවත් නැතත්, රෙගුලාසි පමණක් වුවත් නැතත් ආණ්ඩුව පරාජය වීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට වියදම් කිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමට (ජනතාවගෙන් ණයට ගැනීමට) පාර්ලිමේන්තුව ඉඩ නොදෙන බව ය. මෙහි දී රවි කරුණානායක මහතා කියන කතා පිළිගැනීමට අප සූදානම් නැත. ඔහු කියන්නේ විපක්‍ෂය (ජනාධිපතිගේ විපක්‍ෂය නොව ජනතාවගේ විපක්‍ෂය) ජනතාවට සහන සැලසීමට විරුද්ධ බව ය. එහෙත් ජනතාවගේ විපක්‍ෂය කියා ඇත්තේ ආණ්ඩුවට ණය ගැනීමට පහසුකම් සැපයීමට තමන් සූදානම් නැති බව ය. එයින් පැහැදිලි වන්නේ ජනාධිපතිගේ ඇමතිවරුන් හා ජනාධිපතිගේ විපක්‍ෂය කුමක් කීවත් ජනතාවගේ විපක්‍ෂය ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බව ය. ආණ්ඩුව අද කළ යුත්තේ ඉල්ලා අස්වීම ය. එසේත් නැත්නම් ජනාධිපති කළ යුත්තේ ජනතාවගේ විපක්‍ෂයේ අයකුට ආණ්ඩුව පිහිටුවන ලෙස ආරාධනය කිරීම ය. එහෙත් ඒ දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක නොවන බව අපි දනිමු. 

අනෙක් අතට නිමල් සිරිපාල මහතා ජනාධිපතිගේ විපක්‍ෂ නායක ලෙස දෙන පොරොන්දු වලංගු නොවන බව ද මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි. අප කලින්ම කියා සිටි පරිදි නිමල් සිරිපාල මහතා ආණ්ඩුව සමග එකතු වී ජෝන් අමරතුංග මහතාට විරුද්ධව ජනතාවගේ විපක්‍ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව යටගැසුව ද, ඔහුට මෙහි දී ජනාධිපති අවශ්‍යතාව ජනතාවගේ විපක්‍ෂය මගින් කරගත නොහැකි විය. ඔහු අද ජනතාවගේ විපක්‍ෂය හමුවේ අවලංගු කාසියක් බවට පත් වී ඇත. තමන්ට ඇහුම්කම් නොදෙන විපක්‍ෂයක ඊනියා  නිල නායකත්වය දරමින් සිටින නිමල් සිරිපාල මහතාට ලජ්ජාවක් කියා දෙයක් ඇත්නම් ඔහු කළ යුත්තේ ජනාධිපතිගේ විපක්‍ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වීම ය. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 12

One Response to “විපක්‍ෂ නායකත්වය”

  1. Christie Says:

    Namaste: When you are living in a Colony the decisions are made by the Imperialists. So you or I have no say in who should be the President, Prime Minister or the Opposition Leader. The best example is the present situation in the Island. Sirisena the Coolie was voted by the Indian Empire and everything else follows, Governor Chandrika, Kankani Ranil, Coolie Sirisena and Sinhalaya (subjects of the colony of the Empire) Nimal. Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress