ඉසාගේ කතාව
Posted on April 17th, 2015

මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙන් -වෛද්ය රුවන් එම් ජයතුංග

මගේ ජීවිතය ගලා යන්නේ ඉසා විසින් හෙළි කල දර්ශනයට වෙන්නත් පුළුවන්. ඉසාගේ කථාව අසා නැති කෙනෙක් ඉන්නවනම් කරුණාකර අත ඔසවන්න. හොඳයි මම කියන්නම්. ඉසා වඩුවෙක්. ඔහු කියත, යත්ත ,මිටිය අරගෙන ලී භාණ්ඩ හැදුවා. ඒ වගේම ඔහුමිනිසුන්ගේ සිත් සතන් වලට අමුතු අදහස් දැම්මා. මිනිසුන්ට නව බලාපොරොත්තුවක් ගෙනාවා. මානව ප්රේමය, සමානාත්මතාවය ගැන කිව්වා. සාධාරණත්වය ගැන කිව්වා. සාමය ගැන කිව්වා. මිනිසුන් ඉසා වටා එක් වන්නට පටන් ගත්තා. මිනිස්සු ඔහුට කිව්වේ දේවපුත්රයා කියලා. මිනිසුන් ඉසා පසුපස ගිය නිසා සම්ප්රදායානුකූල ආගම් කටයුතු කල පුජකයන්ට පහර වැදුනා. ඔවුන්ගේ හොර බොරු වංචා නිරාවරණය උණා. ඔවුන්ගේ ආදායම බලාගෙන සිටියදී අඩු වෙන්නට පටන් ගත්තා. මේ නිසා සට කපට පුජකයන් එකතුවී ඉසාට විරුද්ධව කුමන්ත්රණය කළා. ඔවුන් ආණ්ඩුවට ගතු කීවා ඉසා දේශපාලන වියාපාරයක් පටන්ගෙන ආණ්ඩු පෙරලන්න යනවා කියලා. ආණ්ඩුව නිතරම ජනතාව පෙළන නිසා නිතරම ඉන්නේ සැකයෙන්. ඒ නිසා හැම අලුත් අදහසක්ම දැක්කේ ආණ්ඩු විරෝධී දේවල් හැටියට.ඔවුන් ඉසාව අත් අඩංගුවට ගන්න කතිකා කර ගත්තා.

ඉසාගේ බිරිඳ මග්දලේනා. ඇය බුද්ධිමත් ප්රයෝගික කාන්තාවක්. ඇය නුදුරු කාලයේ විය හැකි අණතුර තේරුම් ගත්තා. ඇය ඉසාට කීවා පළා යන්න කියලා. නමුත් ඉසා ඒකට කැමති උනේ නැහැ. බියසුල්ලෙක් වගේ පැන යන්නේ කොහොමද ? ඇය ඔහු සමග රට ඉඳිඋයනේ ගිමන් හරින කොට ඇය ඔහුටමේ අණතුර ගැන පහදා දුන්නා. ඔවුන් ඔබව මරා දමාවි ඇය ඔහුගේ ඔඩොක්කුවේ හිස තබාගෙන හිස් අහස දෙස බලාගෙන කිව්වා. මේ දේශයෙන් පළා යන්න, ඔවුන් අන්ධ වෙලා ඔවුන්ට ඔබගේ වටිනාකම තේරෙන්නේ නැහැ. මට ඒක කරන්න බැහැ මම මේ දේශය දාලා කොහෙවත් යන්නේ නැහැ ඉසා කිව්වේ ස්ථිර හඬින්. මට යම් අනතුරක් උනොත් ඔබ මේ දේශයෙන් යන්න, මගේ නුපන් දරුවා සමග ඔබ මෙහෙන් පිට විය යුතුයි ඔහු ඇයගෙන් ඉල්ලා සිටියා.

මග්දලේනා කතා කලේ නැහැ. ඇයබොහෝ වෙලාවක් ඔහුගේ ඔඩොක්කුවේ තබාගෙන කඳුළු සැලුවා. අවාසනාව ඔවුන් සොයා ආවේ ඉතා ඉක්මනට. එක අඳුරු රාත්රියක ඉසාව අත්අඩංගුවට ගත්තා. ඔහුව ගෙන ගියා කඳවුරට. කඳවුරේදී සොල්දාදුවන් ඔහුට කස පහර දුන්නා. ඉසාගේ පිට පැලී ලේ ආවා , නමුත් ඔවුන් පහර දීම නැවත්තුවේ නැහැ. දිගටම පහර දීම කරගෙනගියා. මුගුරු වලින් ඔහුගේ හිසට , මුහුණට , ඇසට, පහර දුන්නා. ඉසාගේ හිස පුපුරලා ලේ ආවා, ඇස ඉදිමුනා ලේ බැහැලා , පිට කස පහරට ඉරි තැලිලා. නමුත් තවමත් පහර දෙනවා. ඔහුගේ ශරීරය දුර්වලයි , ඔහුට එවැනි දරුණු පහරදීමක් ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත්නායක පුජකතුමා වදකයන්ගේ අතට මුදල් දීලා ඉසාට හොඳටම පහර දෙන්න කීවා. ඒ නිසා වදකයන් නොනවත්වාම ඔහුට පහර දුන්නා.

පහර දීම නිසා ඉසා සිහි නැතිව ගියා. වදක සෙබළුන් ඉසා වෛද්යවරයෙක් ලඟට ගෙන ගියා. සෙබළුන් කිව්වේ ඉසාගේ ශරීරයේ වූ තුවාල අත්අඩංගුවෙන් පැන යාමට තැත් කරද්දී ආරක්ෂක තාප්පයෙන් බිමට වැටී සිදුවූ තුවාල කියලයි. වෛද්යවරයාද ක්රමයේ වහලෙක්. ඔහු අනුමත කළා සෙබළුන් කි දෙය. ඔව්තුවාල සිදුවී ඇත්තේ පැන යාමට තැත් කරද්දී. ඉසාට සුළු ප්රතිකාරයක් දී විනිසුරුවරයා වෙත ඉදිරිපත් කළා නඩු විභාගයට. ඔහුට මහජන කැළඹිලි ඇති කිරීම, සාමය කඩ කිරීමට තැත් කිරීම චෝදනා ඉදිරිපත් කොට තිබුනා. විනිසුරුවරයාගේ හෘදය සාක්ෂිය කිව්වා මේ මිනිසා නිර්දෝශියි කියලා. නමුත් වෘත්තිය ඉනිමගේ තව උඩට නැගීමට අපේක්ෂාවෙන් සිටි විනිසුරුවරයා පාලකයන්ගේ ප්රධාන පුජකයන්ගේ අපේක්ෂාවන් සතුටු කල යුතුයි. ඒ නිසා ඔහු තීන්දු කළා ඉසා වැරදිකරු බවටත් ඔහුවකුරුස ගසේ ඇන ගසා මරා දැමීමටත්.

පහර දීම නිසා අඩපනව සිටි ඉසා මෙලෙස කුරුස ගසේ ඇන ගසා දැමුණා. අසරණ මග්දලේනා කුරුස ගස පාමුල වැළපෙනවා. ඉසාගේ ශරීරයෙන් ගලන ලේ බින්දු මග්දලේනගේ මුහුනටත් වැටෙනවා. නමුත් ඉසා ශාන්තව මරණයටමුහුණ දෙනවා. මග්දලේනා ගේ කුසේ ඉසාගේ දරුවා. තවම කවුරුවත් ඒ ගැන දන්නේ නැහැ. ඉර බැස ගියා සුළඟ තද උණා. ඉස තවම කුරුස ගසේ පණ අදිනවා. මග්දලේනා කුරුස ගස පාමුල කඳුළු සලනවා. සොල්දාදුවන් ඇයට අව්යක්ත විහිළු කරනවා. වේදනාවෙන් වදයට ලක් වී සිටින ඉසාට ඔච්චම් කරනවා. අහස ආලෝකමත් කරගෙන මහා අකුණක් පුපුරා ගියා.ඒ සමගම ඉසාගේ පණනල සැඟවුනා. සොල්දාදුවන් මළකඳ කුරුසයෙන් බා මිනිය මග්දලේනාට දුන්නා වළ දැමීමට.

ආණ්ඩුව සහ පුජකයන් හිතුවේ ඉසාගේ මරණින් පසු මේ වියාපාරය ඉවරයි කියලා. නමුත් මිය ගිය ඉසා ජිවත්ව සිට ඉසාටත් වඩා බලවත් උණා. මිනිසුන්දහස් ගණනක් ඉසාගේ දර්ශනය කරා යොමු වෙන්නට පටන් ගත්තා. මුලදී පුජකයන්ගේ උපදෙස් මත ආණ්ඩුව මේ ආගමික වියාපාරය තහනම් කළා. ඔවුන් රාජ්ය මාධ්ය හරහා මේ දර්ශනය මිත්යා ව්යාජ කුමන්ත්රණකාරී දර්ශනයක් බව කියා සිටියා. නමුත් ඒ ප්රචාරයන්ට හැකියාවක් ලැබුනේ නැහැ මහජන ගඟ නැවැත්වීමට. ඔවුන් මේ දර්ශනය පසුපස යන මිනිසුන් තොග ගන්නේ අත්අඩංගුවට ගත්තා. සත්ය අනුගාමිකයන් මරා දැමුවා නමුත් වියාපාරය තව තවත් මහජනයා අතර පැතිර ගියා.

අවසානයේදී ආණ්ඩුව සහ පුජකයන් තව කුමන්ත්රණයකට අත ගැසුවා. ඔවුන් සාමුහික එකඟතාවයකට ආවා ඉසාගේ දර්ශනය පිළිගන්න, නමුත් එය ඔවුන්ගේ වාසියට හරවගන්න , ඔවුන්ගේ පැවැත්මට අවශ්ය විදියට ඔහුගේ දර්ශනය වෙනස් කරන්න ඔවුන්ට අවශ්ය උණා. ඔවුන්ගේ කණිෂ්ඨ පුජකයන් ඉසාගේ දර්ශනයේ නව දේශකයන් කරලාඉසාගේ වියාපාරය ක්රමක් ක්රමයෙන් ඔවුන්ගේ අතට ගත්තා.ඊට සමගාමිව ඉසාගේ සැබෑ බැතිමතුන් සහ සැබෑ ගෝලයන් ශාරීරිකව සහ මතවාදීව විනාශ කළා. මේ විනාශයට මග්දලේනා සහ ඇයගේ පුතාද ගොදුරු උණා. ඉසා මරා දැමීමට මුල් වූ පුජකයන් ඉසාගේ දර්ශනයදඩමීමා කරගෙන දේශපාලනික සහ ආගමික මුලයෙන් යුතු වූ බලය සහ මුදල් ගලා එන යෝධ ව්යාපාරික ජාලයක් ගොඩනැගුවා. මතුපිටින් ඉසාගේ මානව හිතවාදී දර්ශනය ඔවුන් ප්රචාරය කලත් ඊට අභ්යන්තරයෙන් තුබුණේ හාත්පසින්ම වෙනත් දෙයක්. ඔවුන් ඉසාගේ දර්ශනය ඉදිරියට දමාගෙන දුර්වල රටවල් අල්ලා ගත්තා වැසියන් කුරිරු ලෙස මරා දැමුවා. ඔවුන් මරා දැමුවේ ඉසාගේ දර්ශනයනොඅදහන මිත්යා දෘෂ්ටිකයන් කියලා. ළමයින් වහලුන් බවට පත් කොට විකුණා දැමුවා. ඒ දේශවල තිබු ස්වභාවික සම්පත් මංකොල්ල කෑවා. අල්ලාගත් වහලුන්ට විකෘති කල ඉසාගේ දර්ශනය වැළඳ ගැනීමට බල කළා.

ඉසා ජිවත්ව සිටියා නම් මේ අපරාධ එකක්වත් අනුමතකරන්නේ නැහැ. ඉසාගේ නාමයෙන් ඔවුන් කරේ ජන සංහාර. ඒ අතර විශාල වශයෙන් මේ විකෘති කුරිරු ව්යාපාරයට අති මහත් ධනස්කන්දයක් ඇදී ආවා. වියාපාරයේ පුජකයන් , නිලධාරීන් සහ ඉන් යැපෙන්නන් ජිවත් වුයේ ඉසා කියූ අල්පේච්ඡ ලෙසට නෙවෙයි. ඉතාකාමභෝගී විදියට. මෙම විශාල ආගමික සහ දේශපාලන ව්යාපාරික ජාලයේ හිස් බව සහ අකටයුතු විවේචනය කල බුද්ධිමතුන් පණ පිටින් ගිනි ගසා මරා දැමුවා. සිරගත කළා. කාලයක් යනවිට මිනිසුන්ට ඉසාගේ සැබෑ මානව හිතවාදී දර්ශනය කුමක්ද පවිටු ආත්මාර්ථකාමී පුජකයන් විසින් උදරපෝෂණය තකා එක කල ව්යාජ දර්ශනය කුමක්ද යන්න හිතා ගන්න බැරි උණා. අදත් මිනිසුන් වල්මත්ව ඉසාගේ සැබෑ දර්ශනය සොයනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress