19 පැරදවිය යුත්තේ ඇයි?
Posted on April 19th, 2015

නලින් ද සිල්වා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු තවත් ව්‍යවස්ථා සංශෝධනයක් නො වේ. එය සිංහලයන්ගේ මිනී වළ කපන සංශෝධනයකි. බැලූ බැල්මට එහි ඇත්තේ ජනාධිපතිගෙන් විධායක බලතල අගමැතිට පැවරීම ය. ඒ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කඩිමුඩියේ ය. ඊනියා දින සියයේ වැඩසටහනෙන් රනිල් වික්‍රමසිංහ උනන්දුවක් දැක්වූයේ ද 19 වැනි සංශෝධනයට හා අමතර ව උතුරු සහ නැගෙනහිර පළාත්වල අධිආරක්‍ෂිත කලාප දෙමළ ජනයාට පවරා දීමට ය.

ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කරන ලද්දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 19 වැනි සංශෝධන කෙටුම් පනත නො වේ. තවත් සංශෝධන කිහිපයක් එයට අමුනා තිබිණි. පාර්ලිමේන්තුවේ දී ඒ ගැන ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ දී රනිල් කියා සිටියේ පාර්ලිමේන්තුවට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඒ සංශෝධන ගැන කතා කළ හැකි බව ය!

ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ව එ ජා ප රනිල්ට උපදෙස් දෙන සමසමාජ ජයම්පති වික්‍රමරත්නට අනුව මේ සංශෝධනය මෛත්‍රිපාල හෝ රනිල් හෝ සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නක් නොව පොදුවේ ජනාධිපති කවුරු වුවත් අගමැති කවුරු වුවත් ඉදිරිපත්  කෙරෙන්නකි. එහෙත් ඔහුගේ කසිකබල් ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදයට හා පට්ටපල් බොරු විද්‍යාවට හසු නොවන කරුණ නම් මෛත්‍රිපාල යහපාලනයට මුවා වී දෙමළ ජාතිවාදය වෙනුවෙන් බලයට පත් වූ බවත් රනිල් නීති විරෝධීව පත් වූ පික්පොකට් අගමැතිවරයකු බවත් ය. සංශෝධනයේ අරමුණ දෙමළ ජාතිවාදය වෙනුවෙන් රනිල්ට තව තවත් බලතල ලබාදීම ය. එහි පිටුපස බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද ඇත. කෙසේ වෙතත් සිංහල විරෝධී මාක්ස්වාදී ජයම්පතිට දෙමළ ජාතිවාදයට තව තවත් කප්පන් දීම ප්‍රශ්නයක් නො වේ. මෛත්‍රිපාල පෞද්ගලික ව තම බලතල කපා දමන ව්‍යවස්ථා සංශෝධනයට අකමැති වුවත් විජාතික බලවේගවලට ඇති බිය නිසා එයට සහාය දෙයි. ඔහු ද අද දෙමළ ජතිවාදයේ යටහත් සේවකයෙකි.

බටහිර රටවල් ද ඉන්දියාව ද විශ්වාසය තබන්නේ රනිල් කෙරෙහි පමණ ය. ඒ බව තමන් හමු වූ සංධාන නායකයන්ට මෛත්‍රිපාල පවසා ඇත. එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් කරන දෙයක් නැත. දෙමළ ජාතිවාදයට රට පාවාදීම සඳහා රනිල් ට අවශ්‍ය වගන්ති කිහිපයක් වෙයි. ඔහු කුල්ලෙන් හෝ පොල්ලෙන් හෝ ඒ වගන්ති සම්මත කර ගැනීමට උත්සාහ දරයි. ඔහුගේ බලපොරොත්තුව තුන්වැනිවර කියවීමේ දී හෙවත් කාරක සභා අවස්ථාවේ දී තමන්ට අවශ්‍ය සංශෝධන සම්මත කර ගැනීමට ය. 

පනතක වැදගත් ම අවස්ථාව දෙවැනිවර කියවීම ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය පනතක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ගෙනෙන පනතකි. එය දෙවැනිවර කියවීමේ දී  තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් ලබාගත යුතු ය. යම් අයුරකින් තුනෙන් දෙකේ ඡන්දය ලැබුණහොත් 19 වැනි සංශෝධනය කාරක සභා අවස්ථාවට යොමු කෙරෙනු ඇත. ව්‍යවස්ථා සංශෝධන පනතක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන සංශෝධන ගැන කාරක සභා අවස්ථාවේ දී කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් නො වේ. එය රනිල්ගේ වාසියට ම හේතු වනු ඇත. ඔහු ස්ථාවර නියෝග 37 –- 40 යටතේ ක්‍රියා කිරීමට යෝජනා කරනු ඇත. දැන් තිබෙන තත්ත්වය යටතේ විපක්‍ෂ නායකකමට කෙනකු පත්නොකළ කතානායක රනිල්ගේ යෝජනාව අනුමත කරනු ඇත. 

එහි භයානකකම ඒ ගෙනෙන සංශෝධන ගැන එවිට කරුණු විමසිය යුත්තේ නීතිපතිගෙන් පමණක් වීම ය. නීතිපති සංශෝධන අනුමත කළහොත් ඒ කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කෙරෙනු ඇත. එපමණක් නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්  පිළිබඳ ව ගෙනෙන සංශෝධන ගැන කාරක සභා අවස්ථාවේ දී කටයුතු කරන්නේ කෙසේ ද යන්න ස්ථාවර නියෝගවල පැහැදිලි ව සඳහන් නොවන බැවින් ඒ සංශෝධන තුනෙන් දෙකේ බහුතරයක් නොමැතිව සාමාන්‍ය බහුතරයකින් වුව ද සම්මත කර ගැනීමට හැකි වනු ඇත. එවිට රනිල්ට අවශ්‍ය සංශෝධන සාමාන්‍ය බහුතරයකින් සම්මත වනු ඇත. 

මේ භයානක තත්ත්වයෙන් මිදිය හැක්කේ 19 වැනි සංශෝධනය කාරක සභා අවස්ථාවට යොමු නො කිරීමෙනි. ඒ සඳහා කළ යුත්තේ එක ම එක දෙයකි. එනම් දෙවැනි වර කියවීමේ දී 19 වැනි සංශෝධනයට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් ලබා නො දීමෙනි. ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල ගැත්තන් නොවන මන්ත්‍රීවරුන්ට හා සංධානයේ අනෙක් මන්ත්‍රීවරුන්ට ඒ කළ හැකි ය. ජාතිය මේ අවස්ථාවේ දී ඔවුන්ගෙන් බලාපොරොත්තුවන්නේ ද එය ම ය.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 19   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress