දහනවවැනි සංශෝධනය කා සඳහා ද?
Posted on April 26th, 2015

නලින් ද සිල්වා

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති. එම සංශෝධනය සම්මත වන තුරු උපවාසයක යෙදීමට ද උන්වහන්සේ බලාපොරෙත්තු වෙති. සෝභිත හිමියන් ප්‍රසිද්ධියට අකමැති නොවන බව අපි දනිමු. උන්වහන්සේගේ යෝජිත උපවාසය ගැන අපි පුදුම නො වෙමු. උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදයට පක්‍ෂ බැවින් විධායක ජනාධිපති  ධුරයේ බලතල කපා දැමීමට පක්‍ෂව උපවාස කරති. එහෙත් උන්වහන්සේ දෙමළ ජාතිවාදයට කප්පන් දෙන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත්සභා පනත මගින් දෙමළ ජාතිවාදයට දී ඇති බලතල කප්පාදු කිරීමට පක්‍ෂව උපවාස නො කරති. 

මාදුළුවාවේ සෝභිත හිමියන් සමග එදා සිටියෝ ජාතිකවාදීහු ය. අද උන්වහන්සේ සමග සිටින්නේ ඊනියා ලිබරල්වදීන් ය. එසේත් නැත්නම් උන්වහන්සේ සමග පුස් කෑ මාක්ස්වාදීන් බටහිර නියෝජිතයන් වූ ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් ආදීන් දැකගත හැකි ය. කෙසේ වෙතත් උන්වහන්සේට උපවාසයෙන් ලැබෙන ප්‍රසිද්ධිය පිළිබඳව අපට ඊර්ෂ්‍යාවක් නැත. එහෙත් දෙමළ ජාතිවාදය ශක්තිමත් කිරීම සඳහා උපවාසයෙහි යෙදීම පිළිබඳ ව නම් අපට සතුටු විය නො හැකි ය. 

අපි පසුගිය ලිපි කිහිපයකින් ම දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පිටුපස ඇති සිංහල බෞද්ධ විරෝධීන් හඳුන්වාදුන්නෙමු. අද ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් ශ්‍රී ල නි ප පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දහනවවැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා බලපෑම් කරන බව අපි දනිමු. මේ මන්ත්‍රීවරුන්ට කිව හැක්කේ එක් කරුණක් පමණකි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්ද්‍ර දී ඔවුන්ට මීළඟ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදුවනු ඇත. 

දහනවවැනි සංශෝධනය ජනාධිපති හා අගමැති අතර විධායක බලතල බෙදා ගැනීමක් පමණකි. විධායක ජනාධිපතිවරයකු වෙනුවට ක්‍රමයෙන් විධායක අගමැතිවරයකු පත්කර ගැනීම හා සිංහලයන් දෙමළ ජාතිවාදයට යට කිරීම දහනවයේ ප්‍රධාන අරමුණු වෙයි. දහනවය මගින් පාර්ලිමේන්තුවට කිසිම බලතලයක් නො පැවරෙයි. ඒ සඳහා උදාහරණ දෙකක් පමණක් ගෙනහැර දක්වමු. 

දහනවවැනි  සංශෝධනයේ 54 (ආ)   වගන්තිය මෙසේ ය. 2015 අප්‍රේල් මස 22 වන දිනට පෙර පිළිවෙළින් ජනාධිපති ධුරය හා අග්‍රාමාත්‍ය ධුරය දරන තැනැත්තන් එම දිනෙන් පසු, මෙම පනත මගින් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම ධුර දැරිය යුතු වන්නේ ය.”  ජනාධිපති ධුරය සඳහා එය එසේ විය හැකි නමුත් අගමැති ද එලෙස ම තම ධුරය දැරිය යුත්තේ ඇයි? අගමැතිවරයකු පත්කිරීම සඳහා වත්මන් ව්‍යවස්ථාවේ ඇති වගන්තිය දහනවයෙන් ද ඉවත් වී නැත. එය දහනවයේ 42 (4) වගන්තියෙන් තහවුරු වෙයි. ඒ වගන්තිය මෙසේ ය. 

ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය. මේ වගන්ති දෙකෙන් පාර්ලිමේන්තුවට බලය ලැබෙන්නේ කෙසේ දැයි සෝභිත හිමියන් අප කෙරෙහි අනුකම්පාවෙන් වදාරන්නේ ද? අද රනිල් මෛත්‍රිපාලගේ සහයෙන් අගමැතිකම පික්පොකට් ගසා ඇත්තේ මේ වගන්තියටත් ශ්‍රී  ල නි ප නිවට නායකයන්ටත් පින් දෙමිනි. මේ වගන්තියෙන් ජනාධිපතිට අභිමත අයකු අගමැති ලෙස පත්කිරීමට හැකි ය. අවශ්‍ය වන්නේ ජනාධිපතිට මතයක් තිබීම පමණකි. 

පාර්ලිමේන්තුවට බලය පවරන්නේ නම් කළ යුත්තේ ඉහත සඳහන් වගන්ති සංශෝධනය කිරීම ය. ජනාධිපති අගමැති ධුරයට පත්කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් අගමැති ලෙස තෝරාගනු ලබන මන්ත්‍රීවරයකු මිස ජනාධිපතිගේ මතය පරිදි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම අයුරින් දිනාගන්නා අයකු නො වේ. පුද්ගලයකුගේ මතය පමණක් පරිදි අගමැතිවරයකු පත්කරන්නේ කෙසේ ද? අප ඉහත සඳහන් වගන්ති දහනවයෙන් උපුටා දක්වන්නේ ඒ සංශෝධනය මගින් බලතල අගමැති හා ජනාධිපති අතර බෙදා ගැනීමක් මිස පාර්ලිමේන්තුවට බලතල නොලැබෙන බව පෙන්වා දීමට ය. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 26

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress