19 ට පෙර 20 ගත යුතු ය
Posted on April 27th, 2015

නලින් ද සිල්වා

මාතෘකාව දුටු විගස ම මගේ අංකගණිත දැනුම ගැන ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන්නෙක් සිටියි. වාසනාවකට ඔහු සිටින්නේ කැනඩාවේ ය. එහෙත් එයින් කියැවෙන්නේ එවැන්නන් ලංකාවේ නැති බව නො වේ. සිංහල බෞද්ධයන්ට නිරවුල් ව පැහැදිලි ව කල්පනා කිරීමට නොහැකි බව මා තේරුම් ගෙන බොහෝ කල් ය. අප රටේ ව්‍යාකූලත්වයට එක් හේතුවක් වන්නේ ද එය ය. ඇතැම් සිංහල බෞද්ධයෝ අභිධර්මය දනිති. ඇතැම්හු විසුද්ධි මාර්ගය ද තේරුම් කර දෙති. එහෙත් ඔවුහු මා යන්න බොරුවක් බව  නො දනිති. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට ඔවුහු අහස්යානය, දුරථනය, පරිගණකය බොරු දැයි අසති.

කාලෝ ෆොන්සේකා මහතා වැනි අබෞද්ධ සංස්කෘතියක හැදී වැඩුණු අයකු එසේ ප්‍රශ්න කිරීම පුදුමයක් නො වේ. අභිධර්මය විසුද්ධි මාර්ගය ගැන වැටහීමක් ඇති  සිංහල බෞද්ධයෝ ද ඒ ප්‍රශ්න අසති. ඔවුහු අදාළ පොතපත කියවා ඇතත් කල්පනා කර පුරුද්දක් නැත්තෝ වෙති. මා යනුවෙන් පවතින්නකු ඇතැයි යන්න මුසාවක්, මායාවක් බව ඔවුහු නො දනිති. එසේ ගැනීම ම අවිද්‍යාව බවත් එය ම අපේ සසර ගමනට හේතුවන බවත් අවිජ්ජා පච්චයා සංකාරා යනුවෙන් පටිච්චසමුප්පාදය වනපොත් කර ඇති ඔවුහු නො දනිිති. වනපොත් කරන්නෝ පොත් වන කරති. ඔවුහු කල්පනා නො කරති.  

මම ගෙදර යමි යන්න රහතන් වහන්සේට අනුව වෑරදි ය. මා යනුවෙන් කෙනකුවත් ගෙදර යනුවෙන් තැනක්වත් යෑම යනුවෙන් ක්‍රියාවක්වත් නැත , එහෙත් අප වැනි පෘථග්ජනයෝ ඒ එසේ යැයි ගනිති. ඒ අනුව ක්‍රියා කරති. ඒ අනුව අපට ගෙදර යෑමට ද පුළුවන. එයින් වැඩ ගනිති. එහෙත් රහතන් වහන්සේට අනුව ඒ සියල්ල වැරදි ය. අහස් යානය ආදිය අපට ප්‍රයෝජනවත් වුවත් ඒ සංකල්පයෙන් අපට වැඩ ගත හැකි වුවත් ඒ වැරදි ය. අපි එය තේරුම් නො ගනිමු. ඒ සංකල්ප සියල්ල අපේ නිර්මාණ බවත් රහතන් වහන්සේට අනුව ඒ වැරදි බවත් අපි කල්පනා නො කරමු. ඒ වෙනුවට පටිච්චසමුප්පාදය පාඩම් කර ගනිමු. 

සිංහල බෞද්ධයනට වියුක්ත ව සිතීම ඉතාම අපහසු ය. වියුක්ත යන්නෙන් මා අදහස් කරන්නේ සිතෙන් මවා ගැනීමට නො හැකි අදහස් සංකල්ප ප්‍රවාද ආදිය ය. මවා ගැනීම යනු සිතීම නො වේ. සරල රේඛාව යන්න වියුක්ත සංකල්පයකි. පළලක් හෝ ඝනකමක් හෝ නොමැති සරල රේඛාවක් සිතෙන් මවා ගන්නේ කෙසේ ද? එහෙත් සිංහල බෞද්ධයන්ගෙන් අති විශාල පිරිසක් කියනු ඇත්තේ තමන් සරල රේඛා සිතෙන් මවාගෙන ඇත පමණක් නොව සරල රේඛා ඇඳ ඇති බව ය. පඬියන් වීමට කැමති අය කියනු ඇත්තේ තමන් සන්නිකර්ෂණ වශයෙන් සරල රේඛා ඇඳ ඇති බව ය. පළලක් නැති තැන සන්නිකර්ෂණ වශයෙන් පළලක් තිබිය නොහැකි බව ඔවුන්ගේ පඬි මනසට නො තේරෙයි. 

මේ සියල්ල කීවේ 19වැනි සංශෝධනයට  පෙර 20වැනි සංශෝධනය ගෙන ඒමට නොහැකි යැයි තර්ක කිරීමට ඉදිරිපත් විය හැකි පඬියන් වෙනුවෙනි. 19 යනු ජනාධිපති විධායක බලතලවලින් කොටසක් අගමැතිට ලබාදීමට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකි. 20 වැනි සංශෝධනය යනු පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයකි.   අද කළ යුත්තේ එහි අංක මාරු කර අද 20 යනුවෙන් හැඳින්වෙන්න පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ය. අද වඩා වැදගත් වන්නේ මැතිවරණ ක්‍රමය ලබන මැතිවරණයට පෙර වෙනස් කිරීම ය.

අද මැතිවරණ දුෂණ බොහොමයකට හේතුව පවත්නා සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙයි. 13 වැනි සංශෝධනයෙන් පළාත්සභාවලට දී ඇති බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීම දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමකි. අද රට ඒකීයභාවයේ රඳවා ගෙන ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය මගිනි. 13 වැනි සංශෝධනයෙන් කෙරෙන්නේ සන්ධීය රාජ්‍යයක් ඇතිකිරීමට මග පෑදීම ය. 13 සංශෝධනය නොකර විධායක ජනාධිපති බලතල කප්පදු කිරීම රට බෙදීමකට මග පාදයි. එබැවින් පළමුව කළ යුත්තේ 13 සංශෝධනය කර පොලිස් බලතල ඉඩම් බලතල ආදිය පළාත්සභාවලට අධිකරණයෙන් නොව ව්‍යවස්ථා සංශෝධනයකින් ම අහිමි කිරීම ය. එහෙත් මැතිවරණ දූෂණ අවම කිරීම සඳහා කේවල හා සමානුපාත මිශ්‍ර ක්‍රමයකට මැතිවරණයකට පෙර යා යුතු ය. එහි දී පහත සඳහන් කරුණු ද ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. මේ සියල්ල ඉදිරිපත් කරන්නේ හෙට අනිද්දා පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ ය යන්න උපකල්පනය කරමිනි. එහෙත් එය වෙනස්වීමට ඉඩ ඇත.

නීති විරෝධීව අගමැති ලෙස පත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා වහාම අගමැති ධුරයෙන් පහකිරීමට මෛත්‍රිපාල  සිරිසේන මහතා පාර්ලිමේන්තුව හා එක් ව ක්‍රියා කළ යුතු ය. හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඔහු අගමැති කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටින තාක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 20 වැනි සංශෝධනයක් ඇතිව හෝ නැතිව හෝ ඉදිරිපත් නොකළ යුතු ය. සිංහල බෞද්ධ විරෝධියකු වූ රනිල් වික්‍රමසිංහ මහතාට බලතල දීම ප්‍රජාතන්ත්‍රවාදය  තහවුරු කිරීමක් නොව දෙමළ ජාතිවාදය ශක්තිමත් කිරීමකි. (රෝ ඔත්තු සේවයේ අවශ්‍යතා ඉටු කරන ජාතික හෙළ උරුමය කොන්දේසි විරහිත ව 19 ට පක්‍ෂ වෙයි. ඒ පක්‍ෂය ද අද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියි. දෙමළ ජාතික සංධානය අනුව යමින් ජාතික හෙළ උරුමය තම නම දෙමළ ජාතික උරුමය ලෙස වෙනස් කිරීම කාලෝචිත ය.) 

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත්සභාවලට දී ඇති බලතල කප්පාදු කළ යුතු ය. විශේෂයෙන් ම ඉඩම් හා පොලිස් බලතල ව්‍යවස්ථා සංශෝධනයකින් පළාත්සභාවලට අහිමි කළ යුතු ය. මීළඟ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුත්තේ 13 කප්පාදු කිරීමට ය. පළාත්සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතලවලට අත නොතැබිය යුතු ය. පළාත් සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතල අඩුකිරීම විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දීමකි. අද 19 පිටුපස ඇත්තේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ ජාතිවාදී බලවේග ය. අද වනවිට ජාතික හෙළ උරුමය ද ඒ ගණයට වැටී ඇත. මාදොළුවාවේ සෝභිත හිමියන් ඒ ගණයට වැඩම කර බොහෝ කල් ය. 

ඊනියා 20 වැනි සංශෝධනයකට අද විජාතික බලවේග කැමතිවන්නේ 19 ට ශ්‍රී ල නි පක්‍ෂයේ සහය ලබාගැනීමට ය. මෛත්‍රිපාල සිරිසේන මහතා මගින් ඉදිරිපත් කරන මේ ගැටයට ශ්‍රී ල නි පක්‍ෂය හසු නොවිය යුතු ය. අවශ්‍ය නම් 20 එනම් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, 19ට, එනම් විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීමට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ බාධාවක් නැත. මීළඟ මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට ජනතාවගෙන් බහුතරය කැමති වනු නොඅනුමාන ය. එබැවින් 19ට පළමු 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. මේ සංශෝධනවල අංක මාරු කිරීම අහස පොළොව ගැටළන ප්‍රශ්නයක් නො වේ.  මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුත්තේ මිශ්‍ර ක්‍රමයට මැතිවරණ පැවැත්වීමේ දී යම් දිස්ත්‍රික්කයකින් අනුපාත ක්‍රමයට කණ්ඩායමකින් හෝ පක්‍ෂයකින් හෝ මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට නම් අදාළ කණ්ඩායම හෝ පක්‍ෂය හෝ අදාළ දිස්ත්‍රික්කයෙහි වලංගු ඡන්දවලින් 5%ක්වත් ලබාගෙන තිබිය යුතු ය හා කේවළ ක්‍රමයට මන්ත්‍රින් තේරීමේ දී බල ප්‍රදේශයකින් වලංගු ඡන්දවලින්  5%කට අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්‍ෂකයන්ගේ ඇප රාජසන්තක කළ යුතු ය යන කොන්දේසිවලට යටත් ව ය. 

අද රටේ විද්‍යුත් ජනමාධ්‍ය තැන ලබාදෙන්නේ ඔවුන්ට අළෙවි කිරීමට හැකි අදහස් ඉදිරිපත් කරන දේශපාලනඥයන්ට ය.  ඊනියා සුළු පක්‍ෂ අපේක්‍ෂයන්ට තමන්ට රටේ හිමි ව ඇති ජනපදනම ඉක්මවා යන ආකාරයෙන් විද්‍යුත්මාධ්‍යවල කාලය ලැබෙයි. එය මුළුමනින් ම වැරදි යැයි නො කියමි. එහෙත් දේශපාලන පක්‍ෂවල හෝ සංවිධානවල හෝ නොවන්නන්ට, විශේෂයෙන්ම අළෙවි කළමනාකරුවන් නොවන්නන්ට ද යම් අවස්ථාවක් ලබා දිය යුතු ය. 

ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගැයිය යුත්තේ සිංහල භාෂාවෙන් පමණකි. එය වෙනත් බසකින් ගයන්නන්ට දැඩි දඬුවම් දීමට හැකි වන පරිදි පනතක් සම්මත කර ගත යුතු ය. එක් භාෂාවකට වඩා කතාකරන ජනයා සිටින රටක ජාතික ගීය ගැයිය යුත්තේ කිනම් බසකින් ද යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කළ නමුත් එය සිංහලයන්ගේ අවධානයට යොමු නො විණි. ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේ දී ප්‍රශ්නයේ මුළට යෑමට සිංහලයන් දක්වන මැළිකම හේතුවෙන් අපට යමක් සාකච්ඡා කිරීමට ඇති ඉඩකඩ ද නැති වී යයි. 

ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් වූ ඉහත සඳහන් සියල්ල හා තවත් කරුණු හෙට අනිද්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් වෙනත් තලයක සාකච්ඡා කිරීමට සිදුවෙයි.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 26

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress