සිංහල බහුතර මතයට විරුද්ධව ජාතික කොඩිය සම්මත වෙයි
Posted on April 28th, 2015

ලංකාව බ්‍රිතාන්‍යයන්ට පවරා දීමට සකස් කරන ලද ගිවිසුම අත්සන් කිරීමට සුළු මොහොතකට පෙර සිංහල රජතුමාගේ රාජකීය කොඩිය යයි නම් දරා තිබූ සිංහ කොඩිය ඉංග්‍රීසි හේවායෙකු විසින් බිම හෙළන ලදහ. නමුත් අස්ගිරි මහා විහාරයේ අනුනායකව වැඩ සිටි වාරියපොල සුමංගල ස්වාමීන් වහන්සේ වහා මැදිහත්ව එම කොඩිය යලි ඔසවන ලද බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. 1815 වර්ෂයේ දී සිංහල රදළයන් විසින් අත්සන් කරනලද ගිවිසුම අනුව මාර්තු මස 02 දින පටන් එංගලන්තයේ මහ රජු ලංකාවේ රජු බවට පත් විය. ඔහු ලංකාවේ සාම්ප්‍රදායානුකූල ආගම ධර්මයත් සිරිත් විරිත් ආදියත් ආරක්ෂා කළ යුතු වන බවට ගිවිසුම අනුව සහතික විය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මේ වගන්ති වලට අකමැති වුවද භික්ෂූන් වහන්සේලා ගේ දැඩි ඉල්ලීම මත ගිවිසුමට එකඟ වූ බව පැවසෙයි. කෙසේ වෙතත් 1948 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් යම් තරමකට මිදුණු නිදහසක්  ලංකාවට හිමි විය.

            1945 දී පමණ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ ප්‍රකාශයක් වූයේ ලංකාවට නිදහස ලැබෙන විට  සිංහලේ රාජකීය කොඩිය වශයෙන් තිබූ සිංහ කොඩිය යළි එසැවිය යුතු බවයි. ඒ අනුව1948 ජනවාරි මස 16 දිනදී මඩකලපු මන්ත්‍රීවරයාව සිටි සින්නලෙබ්බේ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට එම යෝජනාව ඉදිරිපත් කර ඇත.එහිදී ඩී.එස්.සේනානායක මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ අවසන් රජු දෙමළ ජන වර්ගයට අයත් නමුත් සිංහ කොඩිය නිල රාජකීය කොඩිය වශයෙන් පිළිගෙන කටයුතු කළ බැවින් එය එසැවීම කාලෝචිත බවයි. නමුත් නිදහස දිනා ගැන්මේදී දෙමළ ජනතාවටද සම තැන ඉල්වා සිටි  ජී.ජී. පොන්නම්බලම් චෙල්වනායගම් ඇතුළු දෙමල නායකයන් මේ කොඩිය එසැවීමට සපුරා විරුද්ධ වූහ.දෙමල ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඔවුහු ආණ්ඩුකාරවරයාට අභියාචනා ඉදිරිපත් කළහ. මේ පිළිබඳ ප්‍රශ්ණය සමහන් කිරීම උදෙසා ඩී.එස් සේනානායක මහතා මේ දෙමළ නායකයන්ට යම් පොරොන්දුවක් විය. ඒ නම් නිදහස් දින උත්සවයෙන් පසුව නව ලංකාවේ නිල කොඩිය නිර්මාණය කිරීමට කොඩි කාරක සභාවක් පත්කරන බවයි. පොරොන්දු වූ ප්‍රකාරව 1948 මාර්තු මස 06 දින එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වූයේ ජෝන් කොතලාවල ජේ.ආර්.ජයවර්ධන ලලිත රාජපක්ෂ ටී.බී.ජයා සෙනරත් පරණ විතාන ජී.ජී. පොන්නම්බලම් සහ එස්.නඩේසන් යන මහත්වරුය. මෙම කමිටුව 1948 පෙබ 15 ජූනි 12 ජූනි 22 අගෝ 15 හා 23  යන දිනයන්හිදීද 1949 වසරේ මැයි 10 ජූලි 08 නො 22 දෙසැ 9 යන දිනයන්හිදී ද   1950 ජන 20 සහ පෙබ 13 දිනයන් වලදී රැස් වී ඇත.

             එහිදී මහජනතාව වෙත ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරන ලදී. ලංකාව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් වශයෙන් ඩොමීනියන් තත්ත්වය ලබා ඇති බැවින් බ්‍රිතාන්‍ය කතිර කොඩියට වෙනස් වූ රටේ අනන්‍යතාව සහතික කරන ජාතික කොඩියක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන් විය. වසර දෙකක් තිස්සේ 227 දෙනෙකු ගෙන් පමණ මේ පිළිබඳව සාක්ෂි ලබා ගෙන තිබුණි. එහිදී 159 දෙනෙකු සිංහල භාෂාවෙන්ද හැට අට දෙනෙකු ඉංග්‍රීසි භාෂාවෙන්ද යෝජනා ඉදිරිපත්කර ඇත. සකස් කරන ලද නූතන කොඩියට විරුද්ධව කොමිටියේ සාමාජික එස්.නඩේසන් මහතා අදහස් ප්‍රකාශ කරන ලද්දේය. ඔහු තර්ක කලේ මෙම කොඩියේ සිංහයාට පිටතින් ගසන ලද පටි දෙක නිසා සිය ජන වර්ගයන් ගේ අනන්‍යතාව බැහැරට දමා ඇති බවයි. ඔවුන්ගේ ජාතික ජීවිතය සිරගත කිරීම සිදු නොවිය යුතු බව ඔහුගේ  තර්කය විය.( In Our national life We do not Want create Water tight compartments )මෙම කොඩි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් 97 දෙනෙකු ගේ කැමැත්ත වූයේ පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් සම්මත කර ගත යුතු බවයි.ඔවුන් සියල්ල සිංහලයන් වෙති.ටිබෙට් ජාතික එස.මහින්ද හිමියන් ද මේ සිංහ කොඩිය වනා එකල ලියූ කවි පද කීපයක් විය.

දිය නෙත් දහම් රන් පාටින් හෙළිවේය – බිය නැති බවට සිහ රද සළකුණු        වේය

නියමය බලය රන් කඩුවෙන් කිය වේය – මෙය අප සිංහ කොඩියේ තොරතුරු වේය

විජය අබා පැරකුම්බා දෙරජ වරු – නිජය බලෙන් කෙරෙමින් රුපු අඳුරු         දුරු

විජය ලබා නැන්වූවෝ වෙමින් සුරු – දජය මෙන්න නරඹව් තෙපි පපා           ගරු

 

 සිංහල ජනතාව අතරින් කීප දෙනෙකු ශ්‍රීපාද ස්ථානය සහ දළදා කරඬුව කොඩියේ සංකේතය වශයෙන් ගත යුතු බවද  සූර්යා සහ ශ්‍රී පාදය ගත යුතු බවද දක්වා තිබුණි.ඒ. මයාලන් නම් පුද්ගලයෙක් කියා සිට ඇත්තේ කඩුව නැති සිංහයාද වෘෂභ(නන්දි ) රූපයද අඩ සඳ හා තරුවද සහිතව කොඩිය සකස්විය යුතු බවයි. ගරුතර ස්වාමීන් වහන්සේලා ගේ අදහස් කීපයක් ඉදිරිපත් වූ අතර ලංකාව බෞද්ධ රටක් බැවින් බෞද්ධත්වය නිරූපණය වීමක් මෙම කොඩියෙන් සිදු විය යුතු බව අදහස විය. ඇතැම් අය මෙතෙක් පැවති යුනියක් ජැක් කොඩිය සමග සිංහයා යෙදීමටද යේජනා කර තිබුණි. වඩාත්ම වැදගත් කාරණය වශයෙන් සඳහන් කළ හැක්කේ ආනන්ද විදුහලේ ගුරු මග නම් සංවිධානය කියා සිටි මතයයි.ඔවුහු සිංහයා අඩ සඳ තරුව දාගැබ කුරුසිය මෙන්ම කොන් සතරේ පිත්තල පහනද බෝකොළ ද යෝජනා කර තිබුණි. මෙහි අදහස නම් ලංකාව බහුජාතික බහුආගමික රටක් වශයෙන් ඔවුන් පිළිගත් බවයි.

        පසු කාලයක සුන්දරලිංගම් මහතා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ සූර්යා ප්‍රධාන පටි සහිත කොඩිය පිළිබඳ අදහසක් පලුකාමම් සුභ සාධක සංගමය විසින් ඉදි පත් කර තිබුණි.එසේම කාත්තන්කුඩි තරුණ යෝනක සංගමයේ අදහස වූයේ කහ රතු කොළ පසුබිමේ සිංහයා අඩසඳ තරුව සහ වෘෂභ රූපය ඇතුළත් විය යුතු බවයි.හලාවත බිෂොප් වරයා ප්‍රකාශ කර තිබෙන අදහසද ඉතා වැදගත්ය. ඔහු අනෙක් අයට වඩා මේ කොඩියේ ඉතිහාසය සඳහන් කරමින් අගනා ලිපියක් ඉදිරිපත් කර ඇත. එයට අනුව පැරණි සිංහ කොඩිය ඉතිහාසය විසින් ලබා දුන් ජාතික කොඩියක් බවත් නමුත් එය සිංහල කොඩියක් නොවන බවත් කියා තිබුණි.කපුකොටුව දොළපිහිල්ල කැපෙටිපොළ උනම්බුව ආදී උඩරට ප්‍රධානීන් බහුතරයක් සිංහ කොඩියම සම්මත කර ගැනීමට මැලිකමක් දැක්වූහ. ඔවුහු තමන්ගේ උගත් කම දක්වාලමින් සියළු ජන වර්ග නියෝජනයට පටි අවශ්‍ය බව සඳහන් කර තිබීම සැලකිල්ලට ගත යුතුය. මේආකාරයට සාමාන්‍ය සිංහල ජනතාව අතරින් බහුතරයක් පැරණි සිංහල කොඩිය අවශ්‍ය බව ප්‍රකාශ කර සිටි අතර හැට නව දෙනෙකු සිංහයා ඉවත් කර  ජන වර්ග නියෝජනය සඳහා වර්ණ පටි යෙදීම හෝ දම්වැල් මෙන් පටි යෙදීම නිර්දේශ කර ඇත. එයින් 22 දෙදෙනෙකු සිංහලයන් නොවෙති.ඔවුහු සිංහයා යෙදීමට එකහෙලා අකමැති වූහ.මෙයින් තේරුම්ගත යුතුව ඇත්තේ බහුතර සාමාන්‍ය ජනතාවට පවා එදා කොඩිය සකස් කර ගැනීමට තිබූ උනනන්දුවයි. එසේම ඔවුහු තම හෘද සාක්ෂ්‍යට එකඟව සිංහ කොඩිය අනුමත කර තිබුණි. නමුත් සිංහල බහුතරයේ ප්‍රජාතන්ත්‍රීය අදහස් වලට ගරු නොකළ කාරක සබාව සිංහ කොඩියට තැඹිලි වර්ණයෙන් සහ කොළ වර්ණයෙන් යුතු පටි දෙකක් එක්කිරීමට තීරණය කොට සම්මත කර ගෙන ඇත.

                        මෙම කොඩිය පිළිබඳව 1951 මාර්තු මස01 සහ 02 දින පවත්වන්නට යෙදුණු නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසි වාරයේදී කොඩිය වෙනස් කිරීමට එරෙහිව සිංහල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කතා කළහ. මතුගම මන්ත්‍රීවරයාව සිටි විල්මට් ඒ. පෙරේරා මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය.      ගරු කතා නායක තුමනි සිංහල කොඩිය ගැන වාද කරන අවස්ථාවේහිදී සිංහලයෙකු හැටියට මගේ අදහස්  සිංහලෙන් ප්‍රකාශ කිරීම යෝග්‍ය යයි මම සිතමි. සිංහලයන්ගේ මේ කොඩිය ගැන ඈත අතීතයේ සිට පැවත එන ත්‍රිසිංහල කොඩිය වූද නුවර රාජධානියේ කොඩිය වූද මේ කොඩිය ගැන විවේචනයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.එහෙත් මා නගන එකම ප්‍රශ්ණය නම් විලබාවේ කැප්පෙටිපොළ ආදී ශ්‍රේෂ්ට ජාතික වීරයන් මේ ලාංඡනය ආරක්ෂා කිරීමට ඒ වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වුණි නම් මෙරට මහ ජනයා වෙනුවෙන් මේ ගරු සභාවෙහි පෙනී සිටින මැති ඇමතිවරුන් ඒ ශ්‍රේෂ්ඨ ලාංඡනය කෙළසන්නට එහි ඉරි අදින්නට මොන හිතකින් අදහස් කරන්නේද මොන හිතකින් එවැන්නක් අනුමතකරන්නේද යන්න සිංහලයෙකු හැටියටමට නම් නොවැටහේ.

          කථානායක තුමනි 1948 ජනවාරි 16 දා මේ කොඩි ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබූ විවාදයේදී මේ රටේ සිටින්නේ සිංහලයන් පමණක් නොවේ සුළු ජාතීන්ද ඇත කියා මම කීවෙමි. එබැවින් ඒ සුළු ජාතීහු අප කොඩියෙහි යම් කිසි ස්ථානයක් වුවමනා යයි ඉල්ලා සිටිත් නම් සියළු දෙනාටම ගෞරව කල හැකි වෙනම කොඩියක් සකස් කර ගැනීමට ඉඩදිය යුතුය කියා මම එදින කීවෙමි. මා එදා කී දෙය අදද අනුමත කරමි.අපේ කොඩිය නොකෙලෙසා එයට ඉඩ නොදී සුලු ජාතීන් ගේ ද අයිතිවාසිකම් රැකෙන පරිදි ඔවුන්ගේද ගෞරවය ලැබෙන පරිදි වෙනම කොඩියක් සකස් කර ගැනීමට ඉඩ තැබිය යුතුය කියා මා එදා කළ ප්‍රකාශය එක වචනයක්වත් වෙනස් කිරීමට මාගේ බලාපොරොත්තුවක් නැත. එසේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති මේ යෝජනාව නම් මොන විදියකින් වත් පිළිගත නොහැක. එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවාත් හැර අප සියලු දෙනාම එය හෙළා දකිමු. මෙතෙක් කල් පිළිගෙන ගෞරව කල ඒ  සිංහ කොඩියෙහි ඉරි ඇඳ ඊට කෑලි එකතු කර එය කෙලසීම ගැන සිංහලයෙකු වශයෙන් මගේ විරුද්ධත්වය ප්‍රකශ කරනාවත් හැර ඔවැනි යෝජනාවක් ගෙනා ආ ආණ්ඩුවද හෙළා දකිමි.

     විල්මට් පෙරේරා මහාතගේ අදහස් දැක්වීමෙන් අනතුරුව කොඩිකාරක සභාවේ සභාපති බණ්ඩාරනායක මහාතා අදහස් දැක්වූ අතර වැලිමඩ මන්ත්‍රී වරයාව සිටි කේ.වී.ඩී. සුගතදාස මහතා ද සිංහල භාෂාවෙන් දැක්වූ ප්‍රකාශය ඉතා වැදගත් යයි සිතමි.

       අවුරුදු 136 කට ප්‍රථම 1815 මාර්ත 02 වැනිදා අද වැනි දිනක මෙරට ඉංග්‍රීස්න්ට යටත් වීමෙන් පසු පහත දමන ලද සිංහ කොඩිය මේ රටේ ජාතික කොඩිය වශයෙන් නැන්විය යුතුය යන්න කල්පනා කිරීම නොහොත් තීරණ කිරීම සඳහා මේ සභාව රැස්ව සිටින බව කවුරුත් දන්නා කාරණයකි. 1948 පෙබරවාරි 04 දින අපට නිදහස ලැබුණි. එම අවස්ථාවේදී සාධාරණ යුක්තියක් ඉෂ්ට නොවේ යයි යන අදහස මෙරට සුළු ජාතීන් අතර ඇති වූ නමුත් මේ රටේ මහ ජාතිය විසින් සුලු ජාතියේ අයිතිවාසිකම් වලට සාධාරණයක් ඉටු කරන බවට එදා පොරෙන්දු විය. සුළු ජාතීන් වෙනුවෙන් යුක්තිය සාධාරණය එදා මෙන්ම අදත් ඉටු කරන බව මේ යෝජනාව ගැන කල්පනා කරන කාහටත් පෙනී යවා ඇත.තවද කතා නායක තුමනි මෙරට ස්ථීර ජනතාවට එනම් සිංහල ජනතාවට සාධාරණය ලැබෙන පරිදි අප කටයුතු කළ නමුත් හැම අවස්ථාවකදීම ඔවුන්ට වඩා මෙරට සුළු ජාතීන්ට යුක්තිය ඉටු වන පරිදි කටයුතු කරන බව ඇත්තකි.මෙරට අධ්‍යාපනය ගෙන බලමු. මේ හැම එකක්ම සුලු ජාතීන්ට අවාසියක් ලැබෙන අයුරින් නොමැත. ඔවුන්ට වාසි වන පරිදි විසඳා තිබෙනවා පෙනී යනවා ඇත. ජාතික කොඩිය සම්බන්ධයෙන්ද එසේමය. මේ රටට ජාතියට කොඩියක් සකස් කිරීමේ දී සුළු ජාතීන් සමග සහයෝගයක් දැක්වීම ඔවුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම අවශ්‍ය බැවින් කොඩි කාරක සභාව විසින් යෝජනා කර තිබෙන මේ කොඩිය ගරු අග්‍රාමාත්‍ය තුමා විසින් සභාවට ඉදිරිපත් කර ඇත. එය කර තිබෙන්නේ එතුමාගේ පොරොන්දුවක් ඉටු කිරීම පිණිසය.

        මෙම විවාදයේදී දීර්ඝවශයෙන් කරුණු දැක්වූයේ වවුනියා මන්ත්‍රීවරයාව සිටි සී.සුන්දරලිංගම් මහතාය. 1948 දී සිංහ කොඩිය පිළිබඳ අදහස ඉදිරිපත් වූ අවස්ථාවේ සිට එයට එරෙහිව දෙමළ ජනතාවගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළ ආකාරය ඔහු හෙළි කලේය. ඉංග්‍රීසීන් රට භාර ගන්නා විට ලංකාව කොටස් තුනකට බෙදී ගිය රාජ්‍යයක් වශයෙන් තිබූ බව ඔහු කළ ප්‍රකාශය ජේ.ආර්.ජයවර්ධන මහතා ප්‍රතික්ෂේප කලේය. සුන්දරලිංගම් මහතා දිගින් දිගටම ප්‍රකාශ කලේ සිංහ කොඩියට බැහැරින් සුළු ජාතීන් වෙනුවෙන් පටි යෙදීම ඔවුන්ට කළ මදිපුංචිකමක් ලෙසටය.

  .         නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා ජාතික කොඩිය පිළිබඳ විවාදය ආරම්භ කරමින් මූලිකව පවසා ඇත්තේ අවසන් වඩුග දෙමල රජු පවා සිංහ කොඩිය රාජ්‍යයේ කොඩිය වශයෙන් භාවිතා කර ඇති බවයි. එසේම මහා බ්‍රිතාන්‍ය උදාහරණයට ගනිමින් ඔහු ප්‍රකාශ කර සිටි අදහස් මෙසේය. යුනියන් ජැක් කොඩිය සියළුම ඉංග්‍රීසි  රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී යොදා ගත්තද එංගලන්තයේ වේල්සයේ සහ ස්කොට්ලන්තයේ දී එහි අනන්‍යතාවයන් ප්‍රකට කරවන කතිර කොඩිය මකර රුව සහිත කොඩිය සහ සිංහ රුව සහිත කොඩිය යොදා ගන්නා බවයි. ඒ අනුව අවශ්‍ය නම් මෙහි යෝජනා කරන ලද කොඩිය ලංකාවේ ජාතික කොඩිය වශයෙන් පිළිගෙන සිංහ කොඩිය වෘෂභ කොඩිය සහ අඩසඳ හා තරුව සහිත කොඩිය එසැවීමට ඒ ඒ පළාත් වලදී බාධාවක් නොමැති බවයි.( If for instance in England the king himself can use certain flag on certain occasions .then I say there is northing to prevent  the Muslims for instance , using the green flag with the crescent and the star , or the Tamils using the Nandi  flag or the Sinhalese  If they want to using this flag it self.)

       සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව මේ කොඩි කාරක සභාව ඉදිරියේ විවිධ යෝජනා ඉදිරSපත් කරනු ලැබුවද ඩොමිනීයන් තත්ත්වය ලැබූ රටක් වශයෙන් යුනියන් ජැක් කොඩිය ඉවත් කර සිංහයා සහිත නව කොඩියක් භාවිතා කිරීමට එකඟ වීම පැසසුම් කටයුතු බව ඔහුගේ අදහස විය. එය කොඩි කාරක සභාවේ සුදුසුතර තීරණයක් ලෙස සලකන බවද ප්‍රකාශ කර සිටියේය.

         ඩී.එස්.සේනානායක මහතා නිදහස් ලංකාවේ අගමැති වීම සඳහා සීතල බල අරගලයක් විය. එයින් ඔහු ජයග්‍රහණය කරනු ලැබුවද ඒ වන විට ලංකා සමසමාජපක්ෂය ජනතාව අතරට ගොස් කල සංවිධාන කටයුතු වලදී එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහිව ජන මතයක් ඇතිකිරීමට සමත් විය. මැතිවරණයේදී මීරිගම ආසනයට තරඟ වැදුණු ඩී.එස්. සේනානායක මහතා ගේ ප්‍රතිවාදියා වූ ඇඩ්මන් සමරක්කොඩි මහතා සමසමාජ පාක්ෂිකයෙකු විය. ඔහු ජනතාව අතරේ වීරයෙකු වූ  බැවින් ඩී.එස්. ට තර්ජනයක් ඇති විය. මේ අවසථාවේදී හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් රත්නපුරයෙන් මීරිගමට වඩම්මවා තම ජයග්‍රහණයට  දායකත්වයක් ලබා ගැනීමට පවා උනන්දු වී ඇත. ජාතික බලවේග ඔහු විසින් භාවිතා කරන ලද්දේ එසේය.එවැනි තත්ත්වයක් යටතේ සිංහ කොඩිය පිළිබඳ තීරණ ගැනීමේදී ඔහු වඩාත් පරිස්සම් වී ඇත. සමසමාජ පාක්ෂිකයන් ජාතික මතයන්ට ගරු නොකළ පිරිසක් බැවින් සියළු දෙනාට එකඟවිය හැකි එකඟතාවයකට පත්වීම ඔහුගේ අදහස් වී යැයි සිතමි. සුදු අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස ලබා වැඩි කාලයක් ගත නොවී තිබියදී නිදහසේ පරිපූර්ණත්වයට යෑමේ ගමනට කොඩිය බාධාවක් කර නොගැනීමද ඔහුගේ අදහස වී ඇත.

        කෙසේ වෙතත් ඩී.එස්.සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසුව සමසමාජ පක්ෂය තවත් බලවත් විය. අධිරාජ්‍ය විරෝධි හැඟීම් ජනතාව අතරින් කුළු ගැන්වෙන්නට විය. මෙය බ්‍රිතාණය ආණුඩුවට පක්ෂපාත දේශීය නියෝජිතයන්ගේ ද සුදු නිළධාරීන්ගේද කනස්සල්ලට හේතු විය.ඔවුහු නිතරම කැබිනට් මණ්ඩලයට තීරණ ගත හැකි වන ලෙස ඡායා කැබිනට්ටුවක් වශයෙන් ක්‍රියා කළහ.සටකපට බ්‍රිතාන්‍ය නිළධාරියෙකු වන අයිවර් ජෙනිංස් ද මෙහි විය. කොතලාවල මහතාද බණ්ඩාරනායක මහතාද මේ ඡායා කැබිනට්ටුව ඉදිරියට කැඳවූ ඔවුහු පවත්නා තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළහ.  එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිංහලයින් නියෝජනය පිණිස තවත් පකෂයක් සාදා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්කරන සැටියට එහිදී කොතලාවලගෙන් ඉල්වා සිටි බව පැවසෙයි. එහිදී තරමක් කේන්ති ගිය කොතලාවල එය ප්‍රතික්ෂේප කළ නමුත් බණ්ඩාරනායක මහතා කොන්දේසි තුනක් ඉදිරිපත් කොට එම ඉල්ලීම භාරගෙන සිය අභිප්‍රාය වන බලය සඳහා යන ගමනට අවතීර්ණ වූ බව පැවසෙයි. ඒ අනුව විපක්ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ගොඩ නගා ගත්තේය. මේ සාකච්ඡාව සිදු වන අවස්ථාවේ එහි සිටි පොලිස් නිළධාරියෙකු වූ අගලවත්තේ දයාරත්න රාළහාමි  විසින් කළ හෙළිදරව්වක් බැවින්  එය සත්‍ය සිද්දියක් ලෙසට කල්පනා කරමි.මෙයින් අප තේරුම් ගතයුත්තේ කොඩි සිද්දියේදී ඉංග්‍රීසින් යමක් අවබෝධ කරගත් ආකාරයයි. ඒ නම් සිංහලයා මතවාදීව බෙදී ගිය පසු ඔහුගේ ශක්තිය හීන වන බවයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස පක්ෂය යන පක්ෂ දෙක විසින් සිංහලයා දෙකට බෙදා රට පාලනය කිරීම මත එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්විණ. කෙසේ වෙතත් මේ කොඩි කාරක සභාවාර්තාව 1953 දී පාර්ලිමේන්තු සැසි වාර්තා කණ්ඩයට ඇතුළත් කර ලංකාවේ නිල ජාතික කොඩිය ලෙසින් භාවිතා කරන්නට වන. 1978 දී එම කොඩිය ව්‍යවස්ථා ගත විය.අද වන විට සිංහල දෙමළ හා මුස්ලිම් යනුවෙන් රට බෙදීමේ තත්ත්වයකට දේශපාලනය සකස්ව තිබේ. එම තත්ත්වය 1951 දී සම්මතකරගත් ජාතික කොඩියෙන් ආරම්භ වූ බව සැලකිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress