අසමවාය භාෂිතය
Posted on May 4th, 2015

මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග

කාමරය තුලින් දැන් එන්නේ තදබල නිල්  පැහැති එළියකි. එම එළිය නියොන් එළියටත්  වඩා දීප්තිමත්  ස්වභාවයක් ගෙන  තිබේ. රෝගියා නොකඩවා කථා කළේය. ඔහුට වෛද්‍යවරයාගේ තද රතු පැහැති ටයි පටිය කෙරෙහි යොමු වුයේ මඳ වූ අවධානයකි. තම කතාවට සිත ගත යොමුවී තිබුණු නිසා කාමරයේ සිදුවන විපර්යාසයන් ඔහුගේ ඉන්ද්‍රියන්ට ගෝචර වුයේ නැත. ඔහු අලුත් තර්කයකට බැස්සේය.

“බටහිර විද්‍යාව රේඛීය චින්තනයක් නම් ඒ රේඛීය චින්තනය තුල අපගේ අපගේ චින්තනය පිහිටා තියෙන්නේ කොතනද ?  චින්තනය තුලින් සත්‍ය මතු ක‍ර ගත හැකිද ? ගණිත සමීකරණ උපයෝගී ක‍ර ගනිමින් ආදරය , කරුණාව , මෛත්‍රිය පහදා දෙන්න තමුන්නාන්සේට පුලුවන්ද ? මම අභියෝග කරනවා. කොහෙත්ම කරන්න බැහැ.  ලෝකයේ මුලින්ම බිහි උනේ හැඟීම් නෙවෙයි අසංකීර්ණ චර්යා.ඊට පස්සේ තමයි උත්තරීතර හැඟීම්  බිහිවෙන්නේ. උදාහරණයකට කියනවනම් මුලින්ම බිහි උනේ ආදරය නෙවෙයි ලිංගිකතාව. ඉන්පසු තමයි ආදරය වගේ සංකීර්ණ හැඟීම් රටාවන් පහල වන්නේ.

ලෝකය සුන්දර වන්නේ  කලාවෙන් ද නැතහොත් විද්‍යාවෙන් ද කියලා විද්වතුන් අතර වාදයක් තිබුනා. මුල්ම මානවයන්ගේ භාෂාව උගුරෙන් කරපු ගොරහැඩි ශබ්දයක්. ඒක විකසනය වෙලා සංකේත හඳුන්වන වචන, හැඟීම් එලි දක්වන වචන ඇති උනා. ලිඛිත භාෂාවත් ඒ වගේ.  මුලින් ඉරි  ඇන්දා පස්සේ ක්‍රමක් ක්‍රමයෙන්  විකරණය උණා.  පස් වන  සියවසේ අපි සිගිරි ගලේ  මෙහෙම ලියනවා.

ස්වස්ති අග්බොය්මි ලීමි  නිල්කටොරොළු මලෙකැ – ඇවුණු වැට්කොළ් මල් සෙය්  සැන්දැගැ සිහිවන්නෙය් මහනෙල්වන් රන්වන් හුන්

ඊට ශතවර්ෂ පහළොවකට පස්සේ අපි ලියන්නේ මෙහෙම.

මිහිකත අනුරාගී පත් වසක් රාජයා හාකෙළිත මලය පව්වේගී සඳුන් මල් නදී රොන්ගෙන දකුණු පවන් නම් දූතයෝ ලුම්බිණියේහැසිරෙමි දරත් සේසත් දිමුත් පුල් කුසුම් සල්

මේ කවි කිව්වට මම කිසිම කල්ලියකට අයත් නැහැ. කල්ලිවාදය මම ප්‍රතික්ෂේප කරනවා. එක නිසයි මම තනියම ඇවිද්දේ. කල්ලියකට අසු උනාම තමන්ගේ ස්වාධින චින්තනය කැඩී යනවා, උඩට මතුවන්නේ සාමුහික චින්තනයයි.  බුදුන් දවසෙත්  කල්ලි තිබුනා දෘෂ්ඨිගතිකත්වය මත පදනම් වෙලා.  මේ කල්ලියේ හිටියා  පණ්‌ඩුක, ලෝහිතක, මෙත්තිය, භූම්මජක, අස්‌සජී සහ පුනබ්බසුක යන භික්ෂුන් . මේ අය ගත කලේ කාම භෝගී ජිවිත. නමුත් ඔවුන් පරාර්ථය , මානව ප්‍රේමය, අපිස් ජිවිත ගැන කථා කරා  හරියට ගුරුසියාවේ රිදී 500 ගාස්තුව හැටියට ගත්ත  නීතිඥයා වගේ . උන්නැහේ කතා කරන්නේ මාතෘ ප්‍රේමය ගැන. උන්නැහේ උසාවියේ මෙහෙම කියනව.

සෑම බැම්මකට ම වඩා තද බැම්මක් තමයි රුධිර බැම්ම. මවකුත් දරුවෙකුත් අතර ඇති රුධිර බැම්ම! ඊට වඩා උත්තරීතර බැම්මක් මුළු ලෝක ධාතුවේම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති.මහාධිකරණතුමනි, ඇයගේ ඇකයෙන් දරුවෙක් උදුරා ගැනීමට පුළුවන්ද? දරා සිටිය හැකි ක‍්‍රියාවක්ද එය ? මහාධිකරණ තුමනි, වනයේ සැරි සරන කෲරතර ව්‍යාඝ‍්‍ර ධේනුව පවා සිය දරුවා නැතිවු විට ශෝක ගින්න දරා ගනු බැරිව කෑළෑව දෙවනත් කරනවාලූ.  මේකට අසඩක්ට සරදම් සිනහවක් එනවා. අසඩක් අහනවා තමුන්නැහේගේ  ගාස්තුව කීයද කියලා. අසඩක් දන්නවා මේ පුද්ගලයා ධනය ගොඩ ගහගන්නෙක් කියලා.

ධනය නොවෙයි අපි වැඩිකර ගන්න  ඕනෑ. අධ්‍යාත්මික ප‍්‍රාග්ධනය. ඩෙන්වර්වල හිටපු මගේ යාළුවා කෙන් බ්ලැක්මූවර් සුපිරි ධනවතෙක්. ඒත්  පරාර්ථකාමී චරිතයක්, ධනය හෙව්වා ධාර්මිකව, ඒ  වගේම ධනය දුප්පතුන්ගේ සුභසිද්ධියට වියදම් කළා. නූතන වුණේ පිඬු සිටානෝ. බුද්ධ චරිතයේ හිටපු   අනේපිඬුසිටානෝ අන්තිමට බංකොලොත් වෙලා දුගී බවට පත් වුණා. කෙන් බ්ලැක් මූවර් ඒ  වගේම දුගී වෙයි කියලා මම හිතන්නේ නෑ. මිනිහා ඩොලර් සීයක් පිණට දෙනකොට ඩොලර් දෙසීයක් උපයනවා. ඒ  නිසා බ්ලැක් මූවර්ගේ ආර්ථිකය ස්ථාවරයි. අපේ අවශ්‍යතා අපට පාලනය කර ගන්න පුළුවන් නම් තියෙන සම්පත්වලින් අපේ ලෞකික ආශාවන් පරිපූර්ණ කරගන්න පුලූවන් නම් අපි භාග්‍යවන්ත ධනවතුන්. ඉමෙල්ඩා මාකොස්ට තිබ්බේ කකුල් දෙකයි.  ඇයට  සපත්තු කොච්චර තිබ්බද? මේ ආශාවන්ට කෙළවරක් නැහැ. මේක මිනිසාව මුලාවට පත්කරනවා.

අරණකට පෙම් බැඳී  සත්යාචන්ද්‍රන් ගැන  මට සිහි වෙනවා. අසරණ වූ කුන්තා සහ ඉරණම සොයා ගිය ධාතුර්යා. රේල්පාර ළඟ  සිල්පර කොට අසල  වැටී තිබුනේ  ඔහුගේ සිරුරද ? මල්ලේ තිබු පයිසා හත කොල්ලකෑමට කෙනෙක්  ධාතුර්යා මරා දැම්මාද? වැඩිහිටි වියට එළඹීමට ඉඩ නොදී මල් ගස උදුරා දැම්මේ  ඇයි? ධාතුර්යාගේ නර්තනය කොතරම් අපුරු දසුනක්ද. ඔහු කැරකි කැරකි නටනවා.බඹරයක්  වගේ. එවැනි නර්තනයක් කළ මෙක්සිකෝවේ  කටේමැකෝ ජිප්සි ගැහැණිය. දිග රතු පැහැ ගත් රැලි වැටුණු සාය කරකවමින් ඇය නැටුවා. ප්‍රේක්ෂකයන්ගේ අත්පොලොසන් නාදය මැද ඇය බඹරයක්  වගේ කැරකෙනවා. කිසිම මහන්සියක් ඇයගේ දෙනෙතින් පෙනෙන්නේ නැහැ. මුහුණේ සිනහව පිරිලා. දුප්පත් නමුත් සතුටින් සිටින ජිප්සි ගැහැණිය. නුඹගේ ජීවිතය කොතරම් සුන්දර? ඒ සුන්දරත්වය විනාශ කලේ කවුද? නුඹගේ ළය හරහා ඇන තුබූ  කිරිච්චිය මම දුටුවා. එහි මිට තනා තිබ්බේ ඇත් දළින්. එහි   නයි පෙනයක් කොටා තිබුනා. නුඹව මරා දැම්මේ ප්‍රේමයෙන් පරාද වූ ආදරවන්තයෙක් ද ? ඔහුගේ ඊර්ෂ්‍යාව  නුඹට මරණය ලඟා කර   දුන්නා නොවේද?

මිනිසා යනු කවුරුද? මම හැමදාම හිතන දෙයක්. මිනිසා යනු උත්කෘෂ්ඨ බවෙත්, අධම බවෙත්, කරුණාවන්ත බවෙත්, දුෂ්ඨ බවෙත් සංකලනයක්. අහන්න ක‍්‍රයිට්සර් සොනාටා ධවනිය සත්‍යයට ඔබ බොහෝ සෙයින් කිට්ටු වෙයි. මිනිසුන් ඇතැමිවිට ග‍්‍රහලොවක් වගේ වරෙක කිට්ටු වෙනවා. ඊට පස්සේ කක්ෂය දිගේ ඈතට යනවා. යළිත් යම් කාලයක ආපසු කිට්ටු වෙනවා. මේ ධර්මතාවය අපි හැමෝම අත්දකිනවා. සාමාන්‍ය මිනිස්සු ස්වභාව ධර්මයත් එක්ක ජීවත් විය යුතුයි. අපි ස්වභාව ධර්මය අතික‍්‍රමණය කළොත්?

අපි ලෝකය විනාශ කරගෙන යනකොට විනාශ වී යන ලෝකය අපිව විනාශ කරනවා. මිනිසුන් ගස් කපා හෙළනවා , වනයේ සතා සීපාවා ඉවක් බවක් නැතිව මරා දානවා. ශතවර්ෂ  ගානකට උඩදී සියැටල් මෙහෙම කිව්වා.  සතුන් නොමැති විට මිනිසාට කුමක් සිදුවේද? සියලුම සතුන් නැතිවී ගියහොත් මිනිසුන් ඔවුන්ගේ ආත්මයේ හුදකලා බව නිසාම මිය යන්නේය. සතුන්ට අත්වන ඉරණමටම මිනිසුන්ටත් ඉතා ඉක්නින් මුහුන පෑමට සිදුවේ.මේ සියල්ල එකිනෙකට සම්බන්ධය. ඇත්තෙන්ම සියැටල් නිවැරදියි. සියලුම ජීවින් එකිනෙකා සමග එකිනෙකට සම්බන්ධ  වී පවතිනවා. අපේ ජීවය කැලයේ වෙසෙන මුවා තුලද , ඉහල අහසේ පියාසලන රාජාලියා තුලද,  මහා සාගරයේ පිහිනන තල්මසා තුලද තියනවා. ඒක නොදත් අඥාන මිනිසා පුජනිය ජීවය විනාශ කරනවා.

නමුත් ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ අසීමිතව පරිසරය බදාගන්න කියලා.  එතකොට ඇතිවන්නේ  විකෘතියක්. හරියට ජෛන පුරාණය පුස් කොළ පොතේ එන නන්ධිවර්ධන ජෛනයා වගේ.

අවිහිංසාව උවමනාවටත් වඩා ප‍්‍රගුණ කරපු නන්ධිවර්ධන හිංසක අදහස් යටපත් කළා. අවසානයේදී විශාල සර්පයෙක් නන්ධිවර්ධනගේ මුඛයෙන් එළියට ආවා. ඩික්ටර්පින්, කුරුපුංචේ, සරදියෙල්,රොබින්හුඞ් පොළොවේ පය තියලා ජීවත් වුණා. ඔවුන්ගේ කටවල්වලින් සර්පයින් ආවේ නැහැ. අපිව වට කරලා චෙකා සොල්දාදුවෝ. ගයිදමාක්වරු හරි අපිව වටකරගන ඉන්නවා. එහෙම නැත්නම් මූලධර්මවාදීන්, ආගම්වාදීන් අපව ටිකෙන් ටික ගිලගන්නවා. තස්ලිමා නස්රින් ලජ්ජා පොතේ කියනවා වගේ මනුෂ්‍යභාවයේ හරය සුන් කිරීමට හොඳම ආයුධය තමයි ආගමේ කොඩි එසවීම. ආගම් භේද නිසා මේ පොළොවේ මිය ගිය ගණන මිලියන කීයද? මාක්ස්ගේ න්‍යාය ප‍්‍රායෝගික භාවිතයට යොදාගැනීමට යාමෙන් ආධිපත්‍ය, ඇමරිකන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලෙන් පටවන් ගිහින් විනාශ කරපු ජීවිත සංඛ්‍යාව මිලිනය කීයද?

ඇඞ්ලින් ජයලාල් ආනන්දගොඩට රැුවටුණා. රැුවටුණාද හිතාමතාම රැු වටිල්ලට අහුඋනාද කියලත් මට හිතෙනවා. දඩයම, කුසුමා, ඇලඩින්, ඞී.ආර්. ඕ. මේ ඔක්කොම මා වටා භ‍්‍රමණය වෙනවා.පද්මිණි ගැන මට බයකුත්, තරහකුත් එනවා. කුසුමා වෙනුවට පද්මිණි පළිගන්නවා. සංකීර්ණ ගෑනු චරිතයක්. පද්මිණිව අවබෝධ කරගන්න අමාරුයි. කුසුමා වගේ ආදරයේ ස්මරණය මත ජිවත්වුණු ගෑනු ළමයෙක් ගැන මම දන්නවා. මේ ළමයා ගැන මම කියන්නම්. මේ ළමයා ජීවත්වුණේ බි‍්‍රක්ස්ටන්වල. හිතන්නත් පුදුමයි. එංගලන්තයේ කෙල්ලෙක්, කුසුමා වගේ සම්ප‍්‍රදායික විදිහට විරහ වේදනාවත් එක්ක ජීවිතය ගෙන ගියා කියල කිව්වොත් ඇත්තයි. මේ ගෑනු ළමයාගේ නම බි‍්‍රජට් ගෝගන්. බි‍්‍රජට් ආදරය කළා අයර්ලන්ත තරුණයෙකුට. බි‍්‍රජට් ඉංග‍්‍රීසි, ඬේවිඞ් අයිරිෂ්, ඒත් දෙන්නා හොඳට ගැළපුනා. ඬේවිඞ් බි‍්‍රජට් සමඟ සම්බන්ධය අවුරුදු තුනක් පමණ ගෙනගියා. එහෙත් හදිසියේම බි‍්‍රජට් අත්හැරලා ඩබ්ලින්වලින් කසාදයක් කරගත්තා. බි‍්‍රජට් ගොඩක් දුක් වුණා. එ්ත් ඇඬුවේ නැහැ. එයා බි‍්‍රක්ස්ටන්වල පොඩි කාර්යාලයක වැඩ කළා. ඬේවිඞ් අයින්වීම ගැන බි‍්‍රජට්ගේ දැස්වල දුක මම දැක්කා. ඒත්  එයා පුරුදු විදිහට වැඩකරගෙන, ඬේව්ඞ් ගැන සැමරුම් එක්ක ජීවත් වුණා. ”පුදුම හිතෙන කථාවක් නේද ඩොක්ට?

බි‍්‍රජට් ගෙයි, කුසුම ගෙයි දෙන්න අතර ගොඩක් සමානකම් තියෙනවා. කුසුමා නිමල්ට බැන්නේ, දොස් කිව්වේ නෑ වගේ, බි‍්‍රජට් ඬේවිඞ් ගැන කවදාවත් නරක දෙයක් කිවිවේ නැහැ. සිතින් වේදනාව අත්විඳිමින් ජීවත් වුණා. මොහොමඞ් අලී මැනිලාවලදී ජෝ ෆේ‍්‍රරේසර් එක්ක සටන් කළා. අලි මැනිලාවලදි පිලිපීන කෙල්ලෙක් එක්ක යාළු වුණා. අලිගේ වයිෆ් බිලින්ඩා ඇමරිකාවේ ඉඳන් මැනිලාවලට ආවා. එතකොට අලිට සටන් දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. මට මතක් වෙනව අලි පාකින්සන්ස් රෝගය හැදිල වෙව්ලන අත්වලින් ඔලිම්පික් පහන දැල්වූ අවස්ථාව. සයරේවල ෆයිට් එකේදී මිනිස්සු අලි බූමායේ කිවුවා.  මිනිස්සු අලි වෙනුවෙන් ජයඝෝෂා කළා. මොහොමඞ් අලි  තවමත් අපරාජිතයි.    ජීවිතය සටන කියන රිං එකේ  අපි හැමෝම, සටන් කරනවා. රිතික් රෝෂන්, අක්බාර් වගේ සටන් කරනවා. බෲස්ලී, චක්නොරිස් එක්ක සටන් කරනවා. ග්ලැඩියේටස්ලා කොලෝසියමේ සටන් කරනවා ඩොක්ට හොස්පිට්ල් එකේ සටන් කරනවා. මම ඩොක්ට එක්ක මතවාදීව මෙතන සටන් කරනවා.

නමුත් මරණයෙන් පස්සේ අපේ සටන අවසාන වෙනවා. මරණය ඇතැම් වෙලාවට අපිව සසල කරනවා. කාර් ඇක්සිඩන්ට් එකකින් මව මියගිය පසු කොට්ටේ බදාගෙන හිටපු බිළිදා මගේ හිතේ ඇති කළේ දුකක්. අම්මගේ අවමගුල දවසේ මේ නොදරුවා කොට්ටේ උර උර හිටියා. ඊට අවුරුදු විසි අටකට පස්සේ මම ඒ  කොල්ලා දැක්කා. දැන් තරුණ නීතීඥයෙක්. මිනිහා මම කවුද කියලා දන්නෙ නැහැ. අම්මගේ මරණය මෙයා දැනගන්න ඇත්තේ බහ තෝරන කාලේ වෙන්න ඇති. එහෙත් අම්මා ගැන මතකය කොහෙත්ම නැතුව ඇති. මම ඒ  මුළු දර්ශනයම දැක්කේ බාහිර නිරීක්‍ෂකයෙකු හැටියට. මම මෙහෙම හිතන්නේ මම පිටස්තරයෙක් හැටියට. මම එහෙම K- Pax  ග‍්‍රහලෝකයෙන් ආපු කෙනෙක් කියල මට හිතෙනවා. සමහර විට හොල්මනක් වගේ නිරීක්ෂණය කළා වෙන්න පුළුවන්.

ඩොක්ට හොල්මන්වලට බයද? මම ඇත්තමයි කියන්නේ. හොල්මන් මිනිස්සුන්ට බයයි. මිනිස්සුන්ගේ කෲර කම් නිසා උන් අපිව මගහරිනවා. අපේ ඇහැට පේන්නවත් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි දැක්කාම හොල්මන් බයවෙලා ගල්ගැහෙනවා. පේනවා නේද මනුෂ්‍ය සත්වයා කොච්චර භයානකද කියලා. මිනිහා තුළ තියෙනවා ස්වයං විනාශය සඳහා යොමුවක්. රිචඞ් බර්ටුන් ඇල්කොහොල්වලින් මේ විනාශය ළඟා කර ගත්තා. ජිම් හෙන්ඞ්රික්  ඩි‍්‍රග්ස්වලින්, ජේම්ස් ඞීන් අධික වේගයෙන් වාහන එලවීමෙන්, මර්ලින් මොන්රෝ නිදිපෙති අරං කෙලින්ම දිවිනසා ගැනීමෙන් ස්වයං විනාශයකට පත් වුණා. ස්වයං විනාශ වන ස්විච් එක අපි හැමෝම අභ්‍යන්තරයේ තියෙනවා. සමහරු මේක සක‍්‍රීය කර ගන්නවා. සමහරු මේ ස්විච් එක අල්ලන්නේ නැහැ.

මම එක සැරයක් මේ ස්විච් එක ඇල්ලූවා. ඉන් පස්සේ මට හිතුනා ඇයි  මම  මේ ස්විච් එක සක්‍රිය  නොකරන්නේ   කියලා. මට දැනුනා මරණය තුල තියන ශාන්ත බව. යළි කුරිරු ජිවිතයේ කොටසක් නොවී ඉන් මිදී යාමට ඇති හැකියාව. සදාකාලික නින්ද , මේ සියල්ලම මාව මරණයේ සෙවනැල්ල කරා ගෙනගියා. ජිවිත ආශාව මා කෙරෙන් තුරන් වෙලා. මට අවශ්‍ය වුයේ මරණය තුලින් මගේ විමුක්තිය සොයාගන්න. මගේ අත ගියා මරණයේ  ස්විචය වෙත , එතකොට මට ඇහුනා ෆ්‍රෙඩී   මර්කරිගේ Who Wants Live Forever  ගීතය. දහසකුත් දෙනාගේ කෝරස් නාදයත්  සමඟ. ඒ ධවනිය  මගේ කනේ දෝංකාර දෙන්න පටන් ගත්තා. මම වහාම ස්විච් එකෙන් ඈත් වුණා.

මගේ හිත සිරකරුවෙකුගේ වගේ. පළා යමක් නැහැ.  උතුරු කොරියාවේ මිනිස්සු සාගතය එක්ක ජීවත් වෙනවා. පළායන්න විදිහක් නෑ. සමාජවාදී පරමාර්ථ විකාර කරගෙන මිනිස්සුන්ව පෙන්වනවා.හිර කඳවුරුවල දමලා රටින් පිටවෙන්න බැහැ. මොකක්ද මේ ජිවිතය?  මගේ හිත සිරකරුවෙකුගේ වගේ. පළා යමක් නැහැ.  සාර්ගේ වියගහට බැඳපු මිනිසුන් කඹුරනවා. ස්ටාලින්ගේ ගුලාග් වහල්කඳවුරුවල මිනිසුන් දහදිය වගුරනවා, නැගෙනහිර ජර්මනියේ මිනිසුන් නිදහස හොයාගෙන බර්ලින් තාප්පයෙන් පනින්න හදනවා.  උතුරු කොරියාවේ මිනිස්සු සාගතය එක්ක ජීවත් වෙනවා.පළායන්න විදිහක් නෑ. සමාජවාදී පරමාර්ථ විකාර කරගෙන මිනිස්සුන්ව පෙලනවා. හිර කඳවුරුවල දමලා රටින් පිටවෙන්න බැහැ. මොකක්ද මේ ජිවිතය?  එංගලන්තයේ දුගීන්  ශිත මකාගන්නබ්ලැන්කට් පොරවාගෙන උණු  තේ කෝප්පයක් ගැන සිහින මවනවා. ඇමරිකාවේ සෞක්‍ය පහසුකම් නැති මිලියන ගණනක ජනයා. අඩක් නිරාහාරයෙන් කාලය ගත කරන ළමුන්.   චිකාගෝ වල මමදැක්කා කුණු බාල්දි අවුස්සලා කෑම හොයන මිනිස්සු. අහස උසට ගොඩනැගිලි , අලංකාර විශාල වාහන. අලුත් තාක්ෂණයෙන් යුතු යුද ගුවන් යානයක් නිපදවන්න , යුද නැවක් හදන්න ඩොලර් බිලියන ගණනක් වැය කරනවා.  දුප්පත් මිනිස්සු ගෙවල් නැතුව ශිත කාලේ වෙවුල වෙවුලා අහුමුලු වල පාදඩ බල්ලන් වගේ කාලකන්නි ජිවිත ගත කරනවා.  ඇයි දේශපාලන පරමාර්ථ , ආර්ථික ක්‍රම මගින්මිනිස්සුන්ගේ නිදහස, ජීවත්වීමේ අයිතිය නැති කර දාන්න  ඕනෙද? ඔය විදිහේ කෲර ලක්‍ෂණවලට මිනිහා විඳවන්න සලස්වන්න  ඕනද? මිනිහට විමුක්තිය ඇත්තෙම නැද්ද? අපි සුපිරි මිනිසුන් වූ දවසටවිමුක්තිය ඇති වෙයි.  අපේ වර්ණ දේහ වලින් 90% කට වඩා චිම්පන්සියන්ට සමානයි. 1% -2% තමයි හෝමෝසාපියන්. මේ පරතරය තව අවුරුදු මිලියන දෙක තුනකින් වැඩිවෙලා හොමෝසාපියන්ප‍්‍රතිශතය වැඩිවෙයි. යම් දවසක එය 100% උනාම නිට්ෂේ කිව්ව සුපිරි මිනිහා අප තුළින් බිහිවෙයි. එතකන් අපි අර්ධ සත්ව ගති එක්ක ජිවත්වෙයි.

අපේ ජිවිතත්  ටෲමන් ෂෝ එකවගේ. ජීවිතය පිරිසක් නරඹනවා. අපි හැමෝම පේ‍්‍රක්‍ෂකයෝ සහ නළුවෝ. සමහර වෙලාවට ලෝකය ඉදිරිපිට   අපි නළුවෝ වගේ රඟපානවා. ස්ටැනිස්ලාව්ස්කි,කුර්සෝවා, කොපලා ආදීන්ගේ රංගන රීතිවලටත් වඩා එහාට ගිහිල්ලා අපි රඟපානවා. තවත් රංගනයක් මම දැක්කා . මේක  ස්වභාව ධර්මය තුල වූ රංගනයක්. ස්වභාව ධර්මය තුලත් දයාව කරුණාව තියනවා. මේක පෙන්නුවේ නැෂනල් ජෝග්‍රෝපි චැනල් එකේ. කිඹුලා මුවාව කටින් ඩැහැගන්නවා. එතකොට ලොකු හිපෝ කෙනෙක් කිඹුලට පහරදීල මුවාව බේර ගන්නවා. සත්ව ලෝකයෙත් සහෝදරත්වය, අනුකම්පාව තියෙනවා.

මිනිසා යනු කවරෙක්ද? මම හැමදාම මගෙන් අහනවා. මම හිතන්නේ මිනිහා කියන්නේ උත්තම අධමයෙක්. දේව ගති එක්ක තිරිසන් ගති මිශ‍්‍ර හැඟීම් මත ක‍්‍රියා කරන නැත්තං හැඟීම් තද කරගෙන කටයුතු කරන බලවේගයක්. මට මේ මොනවත් තේරෙන්නේ නැහැ. මට කවදාවත් මිනිහා තේරුම් ගන්න බැහැ. තමාගේ ප්‍රවර්තනය  තමයි හැම මිනිහා ළඟම තියෙන්නේ. තමාගේ පැවැත්මට  ඕන දෙයක් යොදා ගන්නවා. එක අතකට ඒක  වැරදියි කියන්නට  බැහැ. දිවියා උගේ පැවැත්මට හාවා මරං කනවා. හාවා තමාගේ පැවැත්මට උඳුපියළිය ගස  කනවා. මේ විදිහට හැම විටදිම හැම සතෙක්ම තව කාව හරි අනුභව කරමින් තමයි ජීවත්වෙන්නේ. මේක මනුෂ්‍ය ලෝකයේත් තදබල ලෙස වෙනස් වෙන්නෙත් නැහැ. බලන්යනකොට මිනිහත් සත්වයෙක්නේ. මේ අනුව බලන කොට පාවාදීමක් උනත් පරිනාමයේ න්‍යායෙන් සාධාරනීකරණය කරන්න පුළුවන්. හරියට බැලූවහම ජුදාස් ක‍්‍රිස්තුස්ව පාවල දීම උනත් නොයෙකුත් කෝණවලින් අර්ථකථනය කරන්න හැකියි. ජුදාස්ගේ සුභාරංචිය කියන පරණ ග්‍රන්ථයට අනුව   ජුදාස් කි‍්‍රිස්තුස්ව පාවල දීල නැහැ. ඒක කලින් දෙදෙනාම නියම කර ගත් විදිහට කරපු සැලැස්මක්. එහෙනං ජුදාස් බෙල්ලේ වැල දා ගත්තේ ඇයි කියලා මට හිතුනා. මේ ගැන හිතන්න ගියාම කෙළවරක් නැතුව සිතිවිලි ගලාගෙන එනවා. ඒත්  එක දෙයක්  කියන්න  ඕන. ඩොක්ට දන්නවද  ජුදාස්ට තිබ්බේ රතු පාට කොන්ඩය. මේක මම කියෙව්වේ මරියෝ ෆූසෝ ගේ පොතක වෙන්න  ඕන.

පාවාදීම් අභ්‍යාවකාශයේ අඳුරු විශ්වයෙත් වෙනවා. එලිගන්ස් ස්කයිවෝකර්, ඔබ්වැන්කනෝබිව පාවලා දීලා කෲර විශ්ව අධිරාජ්‍යාට එක් වුණා. තමාගේ පුතා ලූක් ස්කයිවෝකර්ස්ටත් දුව ප‍්‍රින්සස් ලීයාටත් ද්‍රෝහි වුණා. ඔවුන්ව මරා දමන්න පවා උත්සහ ගත්තා. අපි පය ගහලා ඉන්න පොළවෙත් කොතෙක් පාවාදීම් වෙනවද? කම්කරු පන්තිය පාවාදුන්නා කියයි, නිර්ධන පන්තියේ සටන පාවාදුන්න කියයි. මේ වගේ නිමක් නැති පාවාදීම් ගැන කථාවෙනවා මගේ කන් දෙකට ඇහිල තියෙනවා. ඩොක්ට දන්නවද සතුරෙක්ට කවදාවත් පාවා දෙන්න බැහැ. පාවා දෙන්න පුළුවන් මිතුරෙකුට විතරයි.මේක කිව්වේ ජුලියානෝ ද සිසිලියන්. බලං යනකොට කතාව ඇත්ත.

චාලි ගලගොඩ සුද්දා කරපු පාවාදීම් ගැන නිතරම කථා කළා. චාලි යුද්දේ කාලේ හමුදාවට බැඳිලා නට්සිවාදයට විරුද්ධව සටන් කරන්න ඉස්මයිලියාවට, ඉතාලියේ කැසිනෝවලට ගියා. එල් තාග් කඳවුරේදී සුදු කෝප‍්‍රල්ලා දෙන්නෙක් බීලා වෙරි වෙලා හිටපු චාලිගේ හොම්බ පොඩි කළා. හමේ පාට නිසා චාලිට සාධාරණය ඉෂ්ඨ වුණේ නැහැ. නට්සිවාදයට විද්ධව සටන් කිරීම පැත්තකට දාලා චාලි ගලගොඩ සටන් කලේ සුද්දගේ අධිරාජ්‍යවාදයට විරුද්ධවයි. කන්ද උඩරට පාවා දුන්නේ ඇයි? හොඳට ඉතිහාසය හදාරණකොට පේනවා එතන තිබුණේ පාවා දීමට වඩා පොඩි හින් නූල් වැඩක්. වඩිග රජ අයින් කරන්න සුද්දගෙන් උදවු අරගෙන පස්සේ සුද්දට පහර දෙන විදිහේ සැලැස්මක්. ඒත්  ඇහැලේපොළලගේ සැලැස්ම  අසාර්ථක වුණා. 1815 යටත් වෙලා අවුරුදු දෙකකින් කැරලි ගැහුවේ ඇයි?මේකේ සැඟවුණූ යමක් තියනවා කියලා ඩොක්ටට හිතෙන්නේ නැද්ද? ඇයි උඩරට කරැුල්ලෙන් පස්සේ ඇහැලෙපොළ නිළමේ මුරුසියට පිටුවහල් කලේ. කැප්පෙට්ටිපොළට කළා වගේ හිස ගසා දාන්න තිබුනණේ. මම හිතන්නේ ඇහැලේපොළව පාවා දෙන්නෙකු හැටියට ඉතිහාස ගත කරන්න  ඕන නිසා සුද්දා ඇහැලේපොළ නිළමෙව මුරුසියට යැව්වා. බැරිවෙලා හරි හිස ගසා දැම්මනං ඇහැලෙපොළ නිළමෙ ජාතික වීරයෙක් වෙනවා. මේවා ගැන ගවේෂණය කරනකොට හිතෙන්නේ නැද්ද ඇහැලේපොළ නිළමේ ළඟ රහස් සැලැස්මක්  තිබ්බා කියලා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගෙන් අවසන් වෙච්ච සිංහල රජ පෙළපත නැවත උට්ඨානයකට පත් කරන්න.? ඩොක්ට තිස්ස වෛද්‍ය විද්‍යාව එක්ක හැප්පුන නිසා ඉතිහාසය හදාරන්න වෙලාවක් නොතිබෙන්න ඇති.

මම ඇලක්සෙන්ඩර් පෝප් ගේ කවි කියවනවා. මහා හයියෙං, මුළු ලෝකයටම ඇහෙන්න. අකමැති කෙනෙක් කන් දෙකේ ඇඟිලි ගහ ගනියි. ඩොක්ට කවි කියවන්නේ නැද්ද? කියවන්න කියවන්න වර්ඞ්ස්වත්, කීට්ස් එහෙම නැත්තං මහගමසේකරගේ හරි ජයවඩු විතානගේ කවි වත් කියවන්න. කවිය තුළින් ලෝකය ගොඩනගමු. පැබිලෝ නෙරුඩාගේ අදහසක් මම සාමාන්‍ය ව්‍යාවහාරයෙන් කියනවා. එ්ක කාට තේරෙයිද කාට නොතේරෙයිද කියලා මට හිතාගන්න බැහැ. මොකද මගේ හිත මෝහ පටලයකින් වැහිලා. මට පාර පේන්නේ නැහැ. ඩොක්ටට පාර පේනවද? පේනවනම් මට අත්වැල අල්ලන්න. සමහර විට අසත්‍ය සත්‍ය වෙනවා. ක්ලින්ටන් මොනිකා ගැන බොරු කිව්වා. ගොබෙල්ස් ප‍්‍රාතිහාරජනක ආයුධ ගැන බොරු කිව්වා,  බොරුවත් බලනකොට සත්‍යයේ කොටසක්.සත්‍ය කණ්නාඩියට නොපෙනෙන පාර අසත්‍ය කණ්නාඩියට පේනවා. අපි ඔහොම යං. යං කිව්වාට යං කියන වචනයේ අර්ථ ගණනාවක් තියෙනවා. යං එහෙමනම් යං කියන්නේ පෝල් යංටද. ඩොක්ට පෝල් යං ගැන අහලා තියෙනවාද? අර ලව් ඔෆ් ද කොමන් පීපල් කියන්නේ. දැන් අපි බලමු විටෙක කියන වචනය. දැන් මම කිව්වොත් විටෙක රොජර් විටෙක බුලත් විටෙක රස බලයි කියලා. ඒක අන්තර්ජාතික ප්‍රකාශනයක් නොවෙයිද? මම අමුතුවෙන් වචන නිර්මාණය කරනවා නේද ? අමුතු වචන මගේ මනසට  එනවා.

පරිගණක    තාක්ෂනයේත් එක්ක  කොපමණ  අලුත් වචන හැදුනද. ඩොන්ගල් එක , රවුටර් එක යනාදී වශයෙන්.   දැන් ළමයි සෙල්ලම් කරන්නෙත් කොම්පියුටරෙන්. ඩෙල්ටා ෆෝස්, කමාන්ඞ් ඇන්ඞ් කොන්කර්, ග්රෑන්ඩ්  තෙෆ්ට් ඔටෝ වගේ මිනී මරණ පරිගණක ක්‍රීඩා.පොඩි කාලයේ ඒ  වගේ  කම්පියුටර් ගේම් කරන කොල්ලා ලොකු උනහම මිත්‍යාව  මොකක්ද යථාර්ථය මොකක්ද කියලා හිතාගන්න බැරුව අතරමං වෙනවා.  කොම්පියුටර් එකේ ගේම් එක පැරදුනොත් ආපහු ගේම් එක රී-ස්ටාර්ට් කරන්න පුළුවන්. නමුත් ජීවිත ගේම් එක වැරදුනොත් ආපහු රී-ස්ටාර්ට් කරන්න පුළුවන්ද?එහෙම ක්‍රමයක්   තියෙනවානම් මම ආපහු ජීවිත ගේම් එක මුල ඉඳන් පටන් ගන්නවා. මට ටයිම් මැෂින් එකක් තියෙනවානම් ආපහු පස්සට ගිහිල්ලා ජීවිතය මුල ඉඳන් ආරම්භ කරනවා. එතකොට වැරදිච්ච තැන් පටස් ගාලා හදාගන්න පුළුවන්.   මට මේ හිතෙන ඒවා  ඇත්තටම කරන්න පුළුවන්ද? ඇයි බැරි විද්‍යාව දියුණු වෙනකොට කරන්න බැරි මොනවාද? අපි විද්‍යාවට බනිනවා. විද්‍යාවේ ප‍්‍රතිලාභ භුක්ති විඳිනවා. විවෘත ආර්ථිකයට බනිනවා. විවෘත ආර්ථිකයේ ප‍්‍රතිලාභ ගිලිනවා. එහෙම වංක නොවී අපි විද්‍යාව වඩාත්  සංවර්ධිත කළහොත් අපිට ඒ ඉල්ලකයට ලඟා වෙන්න බැරි නැහැ.

සංවර්ධනයත් සමගම  ශිෂ්ඨත්වය අප කෙරෙන් ගිලිහි යනවද ? ශිෂ්ඨ බවෙත් අශිෂ්ට බවෙත් වෙනස මොකක්ද? අශිෂ්ට බව තීරණය කරන මිනුම් දණ්ඩ මොකක්ද? උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හෙලන් විවාහකයි. ඇය පැරිස් එක්ක පැනලා ගියා. චැටර්ලි ආර්යාව උයන්පල්ලා එක්ක වරදේ බැඳුනා. රයන්ගේ දියණිය මේජර් ඩූරියන් සමඟ සහවාසයේ යෙදුනා. මේ අය අශිෂ්ට පාපකාරී තැනැත්තියන්ද? ඔවුන් තුළ මානව ගුණාංග තිබ්බේ නැද්ද? ඔවුන්ව පුටුවල බැඳ ගිල්ලවිය යුතුද? පණ පිටින් ගිනිමැලයට විසිකළ යුතුද? කවුද ඔවුන් ගැන විනිශ්චය දෙන්නේ? අපි අවසාන විනිශ්චය එනතුරා සිටිමු. අවසන් විනිශ්චය, අවසන් විග්‍රහය අවසන් තීරණ මේ සියල්ල අපට දෙන දණ්ඩනද?

අවසන් විනිශ්චයට ඔබ බයද? මා තුළ බයක් නැහැ. මේජර් ඩූරියන් ෂෙල් ෂොක් පීඩාවට ගොදුරුවෙලා ඇස් වහගන්නවා. මේසයකට තට්ටුකරන හඬ පවා ඇහෙන්නේ පියඹා එන කාලතුවක්කු උණ්ඩයක් වගේ. ධූලී අතරින් උණ්ඩය ඇදී එනවා. සුළං කපාගෙන එන හඬ ඇහෙනවා හරියට විසිල් හඬක් වාගේ. බිම පතිත වන උණ්ඩය පුපුරා යන්නේ කළු පස් වටේට විසි කරමින්. යළිත් ධූලි ජාලාවක් මැවෙනවා. මේ කාමරයෙන් එපිට ලෝකයක් නැහැ. මුළු ලෝකයම මේ කාමරය තුළ තියෙන්නේ. ඉන් එහා ගැඔුරු ආගාධයක්. ලෝකය සීමා සහිත වෙලා. මුළු විශ්වය මේ කාමරය තුළ සිරවෙලා. අපේ සිතුවිලි, අපේ හැඟීම්, අපේ ඉරණම මේ කාමරය තුළ ගොනු කරලා තියෙනවා. අපි සිරකරුවෝ. නෙල්සන් මැන්ඩෙලා, රුඩොල්ෆ් හෙස්  වාගේ දීර්ඝකාලීන හිරකරුවෝ. සමහර විට ගැළවීමක් ඇත්තේම නැහැ. අපි අපේ විමුක්තිය වෙනුවෙන් නානා ප‍්‍රකාර දේ කරනවා. ආගම් පස්සේ, දේශපාලනය පස්සේ, කලාව පස්සේ, ශුන්‍යතාව   පස්සේ මෙයාකාරයෙන් විවිධ දේවල් පස්සෙන් දුවනවා. සමහරක් විට මේවායින් විමුක්තිය ලැබුවා කියලා තාවකාලික හීන ලෝකවල ගැලී ඉන්නවා. ඒක   යම් ආකාරයකට යථාර්ථයට පිටුපෑමක්.

යථාර්ථයත් දෙකට කැඩිලා. ඉරානයේ සමලිංගික සේවනය මරණීය වරදක්. අවුරුදු 15 ක නව යෞවන වියේ පසුවෙච්චි ගැටයෙකු ළඟදී ඉරානයේ එල්ලා මැරුවා. ඉරානයේ කාන්තාවන්ට නිදහසක් නැහැ. තනිපංගලමේ පාරේ යන්න බැහැ. ඔළුව වහගෙන ඉන්න  ඕන. සංස්කෘතික පොලීසිය නිතරම චෙක් කරනවා කාන්තාවන් නීතියේ විදිහට මුළු ශරීරයම ආවරණය කරගෙනද කියලා. මේවා මානව අයිතිවාසිකම් උල්ලංගණයක් බව බටහිර රටවල් කියනවා. බටහිර ලෝකයේ දැක්ම අනුව ඉරානය කියන්නේ සාමුහික හිර ගෙයක්. මිනිස්සුන්ට අදහස් පල කරන්න, විවේචනයට  ඉඩක් නැහැ.ඇමරිකාවේ බහු භාර්යා සේවනය බරපතළ වරදක්. එකට  අහුවෙච්චි මිනිස්සු හිරෙත් යවනවා.   ඒත් ඉස්ලාම් ලෝකයේ එක බිරිඳකට වඩා සිටීම ලොකු වරදක් නොවෙයි. ඩොක්ටට හිතෙන්නේ නැද්ද මේ ලෝක දෙක අතර මතවාදී ගැටුමක් තියෙනවා කියලා මිනිසා ජීවත් විය යුත්තේ කෙසේද යන්න ගැන.

මිනිසෙකු රළු වන්නේ  හදවත තවනා පියොවුරු නැති නිසා බව කව් සිළුමිණ කවියා පැවසුවා මෙහෙම.  පුරා අනුරා ඇති පියොවුරු දිදී ළෙහි මා සැරහූවන් පෙරදවස් හිද නොතද වේ කුම්සේ.  වාජිඩ් බෝග්රා වැඩ කලේ පකිස්ථාන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ.  ඔහට හිට්යා ලස්සන බිරිඳක්. අසල්වැසියන් ඔහුට ඉර්ශියා කළා රුවැති බිරිදක් සිටීම නිසා.  ඇයගේ දෙනෙත් වල ලස්සනකියලා නිම කරන්න බැහැ. ඇය පර්සියාවේ සුල්තාන් කෙනෙක්ගේ බිසවක් වගේ.   ඇයගේ රන් හංසයන් ඔහුව කුල්මත් කළා. නමුත් මේ සතුට පැවතියේ සුළු කාලයයි. ඔහුගේ රූමත් බිරිඳ ආගාසාෆි  දරු ප්‍රසුතියේදී මිය ගියා. වාජිඩ් බෝග්රා ලෝකයේ තනි උනා. වෙනදා සන්තෝසයෙන් පාරේ දකින මිනිසා නෙවෙයි ඊට  පස්සේ හිටියේ. ඔහු රෑබෝ වෙනකම් කාර්යාලේ වැඩ කළා.පොඩි වැරැද්දකදී උනත් පියන්ට කඩා පැන්නා. වැඩ ප්‍රමාද කරන කන්තෝරුවේ ලියන්නන්ට තදින් අවවාද කරලා ලියුම් ගැහුවා. මේ කලේ තමයි කාන්තාවන්ගේ ඇඳුම ගැන සංස්කෘතිකදෙපාර්තමේන්තුව තදින් ක්‍රියා කරන්න පටන් ගත්තේ.  කාන්තාවන්ගේ තනපටි පිළිබඳව පකිස්ථානයේ ඉස්ලාමික කවුන්සලය අවධානය යොමු කරා.  නොයෙකුත් වර්ණයෙන් යුතු තනපට, තට්ටුඇල්ලූ තනපට, විවිධ වර්ගයේ කුෂන් කරන ලද තනපට , විනිවිද පෙනෙන තනපට , සිහින් තනපට , සිනිදු තනපට ආදී අශික්ෂිත තනපට නිෂ්පාදනය, ප්‍රවාහනය , ළඟ තබාගැනීම, ඇඳීම මෙන්ම    ආනයනය කිරිම අලෙවි කිරිමද   නොකළ යුතු බවත්  ,මෙවැනි තනපටි වර්ග පකිස්ථානයේ නිෂ්පාදනය කිරිමත් නොමනා ක‍්‍රියාවක් බවත්   ඉස්ලාමික කවුන්සලයේ අදහස උනේ.වාජිඩ් බෝග්රා මේ අදහස අනුමත කල පමණක් නොවේ මේ නීති රීති කඩන්නන්ට දැඩි දඬුවම්   කල යුතු බව කියා සිටියා. ආගා සාෆි  ගේ පහස නොලැබී යාම නිසා ඔහු සිටියේ විශාල කියා ගතනොහැකි අසහනයකින්. ඔහු සෑම රාත්‍රියකම ආගා සාෆි  ගේ පුන් පියයුරු සිහිනෙන් දැක්කා. රන් පැහැති සිනිදු රණ හංසයන් කෙරෙහි ඔහු තුල තිබු ආශාව  එන්න එන්නම වැඩි උණා. ඒ ආශාවදැඩි  වන්න දැඩි වන්න ඔහු සිටියේ තිසර පටි නීති තද කල යුතුයි කියන ස්ථාවරයේ.  හදවත තවනා පියොවුරු නැති නිසා වාජිඩ් බෝග්රා රළු නරුමයෙකු බවට පත් උණා.

මට හිතෙන්නේ මිනිස්සු අනුන්ගේ සදාචාරය පාලනය කරන්න කැමතියි. තමන් රහසෙන්  වැරදියි කියන දේවල් කරලා අසල්වැසියාගේ සදාචාරය හොයනවා.  තමන් කැමති සංගීතය අනුනුත් අහන්න ඕන කියලා හිතන, තමන්ට ප්‍රිය  පොත් පත්, පත්තර විතරක් අනික් හැම දෙනාම කියවන්න  ඕන කියලා කියන. සංස්කෘතික පොලිසි ඇති කරන්න  ඕන කියන, ටේප් පටි අතේ තියාගෙන ගැහැණුන්ගේ සායවල් , ගවුම් වල උස පළල මනින්න හදන තලිබාන්වාදය කරපින්නාගත් කුහක සදාචාරය  පෙන්වන්නන්  ,  උපතේ සිට මරණය දක්වා මිනිසුන්ගේ හැසිරීම, චින්තනය මේ හැම දෙයක්ම පාලනයකට යටත් කරන්න උත්සාහ කරන උන්මන්තකයෝ අපේ රටේ නැද්ද? උන්ට තියෙන්නේ මොකක්ද? භින්නෝන්මාදයද එහෙමත් නැත්තං ක්ෂිප්තතාවයද, නැත්තං ද්වි   ධ්‍රැව විශාදයද මට තේරෙන්නේ නැහැ. ඒත්  මට එකක් තේරෙනවා උන්ට හදවතක් නැහැ.  හදවත නැති මිනිස්සු කොහොමඳ මිනිස්සුන්ට, සමාජයට ආදරය කරන්නේ. උන් රහසිගතව සමාජයට වෛර කරනවා. ඒ වෛරය බාහිරට පෙනෙයි කියලා බයක් තියෙනවා. ඒ නිසා එම වෛරය වසන් කරන්න සදාචාරය, සංස්කෘතිය හරහා නීති ගෙනල්ලා මිනිස්සුන්ව පෙළනවා. ඇයි මතකද මධ්‍ය කාලින යුරෝපය විද්‍යාව යටපත් කරලා අවිද්‍යාව පැතිරුවේ ආගමේ නාමයෙන්. පූජකයන්ට බලය තිබ්බා මිනිස්සුන්ගේ ජීවිතය හෝ මරණය තීරණය කරන්න. තමන්ගේ මතවාදයට පටහැනි අදහසක් දැරුව මිනිහෙක් හිටියොත් ඒ  මිනිහගේ හිස ගසා දැම්මා. නැතිනම් හිර කළා. බෘනෝ බවර්, ගැලිලියෝ මේ අයගේ ඉරණම තීරණය කළේ පල්ලිය. මධ්‍යකාලින ගැහැනුන් දඩයම ඊට වඩා කෲරයි. බලන්න ඩාවින්ච් කෝඞ් එක.දැනුම තිබ්බ ගැහැනු සාතන් එක්ක සම්බන්ධතා පවත්වනවා කියලා මරලා දැම්මා. එහෙමත් නැත්තං තමන්ගේ විකෘති පරපීඩක කාමාශාව තෘප්තිමත් කරගන්න මේ ගැහැනුන්ව හිර කරලා වධයට ලක් කළා. ඔවුන්ව ගිනිමැල ගහලා ගින්නට දැම්මා. ඒ ගැහැනු වේදනාවෙන් කැ ගහන හඬ ඇසුණු පුජකයන්ට ලිංගික උත්තේජයන් ඇති උණා. පරපීඩක කාමයෙන් බරිත වූ   පුජකයන් අසරණ ගැහැණුන්ගේ විලාප අසමින් ස්වයං වින්දනයේ යෙදුනා.

මානව නිදහස තරම් වටින දෙයක් තියෙනවද ඩොක්ට.? නිදහස වෙනුවෙන් ඉතිහාසය පුරා මිනිසුන් සටන් කළා. මෝසෙසස්, ස්පාටකස්, වොෂින්ටන්, ගාන්ධි, මැන්ඩෙලා මේ ඔක්කෝම එක අරමුණක් නිසා නේද ජීවිත කැප කරලා සටන් කළේ. නියුරම්බර්ග් හිර ගෙදර හිටපු නට්සි හිරකාරයෙක් වන රුඩොල්ෆ් හෙස් තමන්ගේ බිරිඳට මෙහෙම ලියනවා. ” චීන ජාතිකයන් කුරුල්ලන් නිදහස් කරන එකේ අරමුණ දැන් මට තේරෙනවා..” කියලා. නමුත් ඔහු ප්‍රමාදයි. ඔහුගේ නට්සි පක්ෂය චෙකස්ලෝවෙකියාවේ , පෝලන්තයේ නිදහස හිර කරන විට රුඩොල්ෆ් හෙස්  මේ සත්‍ය තේරුම් ගත්තේ නැහැ.  සමහරු හිතනවා නිදහස නිරපේක්ෂ නැත කියා.  ලෝකයේ සැදී ඇත්තේ පාර්ශව දෙකකින් පමණයි. හොඳ සහ නරක. මේ දෙක අතර අතරමැදි යමක් නැද්ද ? සමහරු ලෝකය දකින්නේ සුදු කළු හෝ හරි වැරදි වශයෙන් . ජෝජ් බුෂ් කිව්වා   Either you are with us or against us  ඉන් අතර මැදි යමක් ඔහු දුටුවේ නැහැ. අහෝ ඔහු දැනසිටියා නම් ප්ලේටෝගේ බහුරූපේක්ෂී ප්‍රභාවක් තුලින් ඇදෙන Phaedo  සංවාදය සහ සොක්‍රටීසියානු උත්ප්‍රාසය මගින් ප්‍රතිවාදියා දමනය කිරීම. නමුත් ඔහු විශ්වාසය තැබුවේ Drone ප්‍රහාර කෙරෙහි පමණයි.

අපි අනෙකාට සවන් නොදීම මේ ගැටුම් වලට හේතුව කියා මට හිතුනා. අජීවී වැග්න ට පවා අපට සවන් දිය හැකියි. මම මේ අත්දැකීම ලැබුවා  ලන්ඩන් ප්ලැනටේරියම් එකට නුදුරින් තියනවා මැඩම් තුසෝඞ් Wax Musium එක. ඒ මියුසියම් එකේ රිචර්ඩ් වැග්න ගේ ඉටි පිළිමයක් තියෙනවා. ඒ පිළිමය මට රිද්මයානුකූලව ස්වර නිකුත් කරනවා. දෑස පියාගත්තාම මට වැග්නට සවන් දෙන්න පුළුවන්.සිත මෝහනය කරන වැග්න ගේ සංගීතය , හිට්ලර් පවා වැග්නට වශී වුණා. මට ඇසුනා වැග්න ගේ   Die Walküre. වැග්නට  මගේ කර්ණ ශංකය හරහා මතු වෙන්න පුළුවන්නම්, සාතන්ට  ඩේමියන් තෝන් හරහා මතු වෙන්න අමාරු නැහැ ඩොක්ට.

බයිබලයේ හෙළිදරව්ව කොටසේ 13 පරිච්ෙඡ්දයේ මෙහෙම තියෙනවා. ”යුදෙව්වන් සයනායී කන්දට පැමිණි විට ධූම කේතුවක් දර්ශනය වනු ඇත. ශුද්ධ වූ රෝමයේ ආගමනයත් සමඟ ඔබ හා මා මිය යනු නියතය. සත් සමුදුර හරහා ඔහු පැමිණ වෙරළේ දෙපස සේනා සංවිධානය කොට මිනිසුන් එකිනෙකා කා කොටා ගැනීමට යොමු කරන අතර අවසානයේ එක් මිනිසක්වත් භූමියේ ඉතිරි නොවනු ඇත.” මේ කියන්නේ අන්ත ක්‍රිස්තු  ගැන. දැන් යුදෙව්වන් ඊශ‍්‍රායලයට පැමිණිලා. ශ‍්‍රද්ධ වූ රෝමයේ ආගමනය කියන්නේ Europian Union  එකේ ඇති වීම, දැන් කාලය ඇවිල්ලා ඩොක්ට දැන් කාලය ඇවිල්ල. ඩේමියන් තෝන් මව, පියා, සහෝදරයා මේ හැම දෙනෙක්ම විනාශ කරලා තමන්ගේ අරමුණට ගියා. ඒත් අන්තිමේදී පැරදුනා. ලූක් 6.35 කියනවා තමන්ගේ සතුරන්ට ප්‍රේම  කරන්න කියලා…..  අපි මොකද කරන්නේ අපි  ඩේමියන් තෝන් ට ප්‍රේම  කරමු.

 

අපි ජොයිස් මයර්ස්ට සවන් දෙමු. විනාඩි පහක් ඇස් වහගන්න ඩොක්ට මම කියන දේවල් සටහන් කර ගන්න එක මොහොතකට නවත්වන්න. ඔය පෑන මේසය උඩ තියලා ජෝයිස්ට සවන් දෙන්න. දැන් ඇහෙනවා නේද ඇගේ කටහඬ. ඇය ඔබගේ හදවතට කථා කරනවා. තනි වෙච්ච වෙලාවලට මම ඇස්වහගෙන ජෝයිස් මයර්ස්ට සවන් දෙනවා. ජෝයිස් මයර්ස් සහ මයිකල් මයර්ස්, ආලෝකය හා අඳුර.ජෝයිස් ආලෝකයේ දේව දුතිකාව. මයිකල් මයර්ස් අඳුරින් එන ඝාතකයා. හැලොවීන්  වෙස්මූණ දාගෙන මිනිස් ගොදුරු හොයනවා. ෆෙඞී කෘගර් නැත්තං ජේසන් වගේ, මොවුන් පතුරවන්නේ බය. බය කිව්වාම ඩොක්ට විවිධ ආකාරයේ බය තියනවා. මේක යථාර්ථවාදී බයක්. තමන්ගේ පැවැත්ම පිළිබඳ බයක්. ඒ බය නිසා මිනිස්සු තව බිය උපදවන දේ කරනවා.  ස්ටාර්ලින් ලක්‍ෂ ගණනක් ගුලාග් කඳවුරුවල ගාල් කරනවා, ලින්ඩන් ජොන්සන් වියට්නාමයට නේපාම් දානවා. බුෂ් කෲස් මිසයිල ගහනවා.

මේ මිනිස්සු නිතරම ඉන්නේ ආතතියෙන්. ඔළුව හරියට යකාගේ කම්මල වගේ. විලී වොන්කාගේ චොක්ලට් කර්මාන්ත ශාලාවේ දැති රෝද වගේ කැරකෙනවා. මනුෂ්‍යත්වය එක් කල ජීවිත අමනුෂත්වය  විසින් වෙන් කරනවා. මේක හැන්ක් ස්නෝ කීප වතාවක් කිව්වා. Married By The Bible Divorced By The Law කියලා. මේ බය නිසා මිනිසා වෙන් වෙලා. කැලි කෑලිවලට වෙන් වෙලා ශාරීරිකව එ් වගේම අධ්‍යාත්මිකව. විද්‍යාත්මකව මේ බය අයින් කරන්න විද්‍යාඥයන් මහන්සි වුණා. අයිසෙක් නිව්ටන් උත්සහ ගත්තා Phylospoher’s Stone එක හොයන්න. යකඩ රත්තරන් බවට හරවන, දීර්ඝායුෂ ලබා දෙන මේ Phylospoher’s Stone  එක මිථ්‍යාවක් වෙන්න ඇති. හැරී පෝටර් කථාවෙන් මේ ගැන කියනවා. ඒත්  අද වෙනකන් මේ ගල හොයාගන්න බැහැ.

මට හිතෙන හැටියට නිදහස් මෙසනාරීන්ගේ සංගමය මේ ගැන දන්නවා. චර්චිල්, හෙන්ඩි‍්‍ර ෆ්‍රෝඞ් මේ අය සෑම දෙනෙක්ම නිදහස් මෙසනාරීන්. මේ අයට ඉංග‍්‍රිසියෙන් කියන්නේ Freemasonry කියලා.සමහරු කියන හැටියට මේ අය වඳින්නේ සාතන්ට. ඒත් මම හරියටම ඒ ගැන කියන්න දන්නේ නැහැ. ඒක වසර ගණනක් තිස්සේ අපු  රහස් සංවිධානයක්. Opus Dei කියන රහස් සංවිධානය වාගේ.ඩාවින්චි කෝඞ් එකේ මේ වගේ රහස් සංවිධාන ගැන කියනවා. ඇයි යටි බිම් ගත සංවිධාන ලෝකයට අවශ්‍ය. සත්‍ය, අසත්‍ය, යුක්තිය, අයුක්තිය අතර බල අරගලය තියනකොට එක කොට්ඨාශයක් නීතිගත සංස්ථාවක් වෙනකොට අනෙක රහස් සංවිධානයක් බවට පත් වෙනවා. බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින් අකුණු ඇති වෙන කොට ජනිත වෙන විද්‍යුතය ගැන පරීක්‍ෂා කරන කොට පල්ලියෙන් විරෝධතා ආවා. අකුණු ඇති කරන්නේ දෙවියන් පවුකාරයන්ට දඬුවම් කිරීමට, දෙවියන්ගේ දණ්ඩනය පරික්‍ෂණවලට ලක් කිරීම මිනිසාට නුසුදුසුයි කියලා. බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින්ව ශාරීරිකව ඝාතනය කරන්න ඉඩක් මේ අන්තවාදීන්ට තිබුණා නම් එ්කත් කරලා. මේ අනුව කවුද කියන්නේ මිනිසා යනු අති  සුන්දර හා වඩාත්ම ස්ථායී සත්ත්වයා කියල ? මිනිසා ස්වාභා දහමේ බිහිසුණු සත්වයා විය නොහැකිද ?

(මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress