දහනවය ගැන නොකී දේ
Posted on May 5th, 2015

නලින් ද සිල්වා

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වන විට බොහෝ අය බොහෝ දේ කියා ඇත. අප කාලය වෙබ් අඩවිය මගින් ද පුවත්පත් සාකච්ඡා මගින් ද ඇතැම් දේ කියා ඇති නමුත් ඒ කිසිවක් ජනතාවට දැන ගැන්වීමට සැලැස්වීමට නොහැකි විය. එයට මූලික හේතුව බොහෝ ජනමාධ්‍යවේදීන් අපට වඩා බුද්ධිමත් වීමත් අප කියන දේ වල්පල් ලෙස එතුමන් විසින් නිගමනය කෙරුණු ලැබීමත් ය.

ඒ උතුමෝ අපේ අදහස්වලට ප්‍රචාරයක් ලබා නො දුන්හ. එහෙත් ඉරිදා රිවිර පුවත්පතෙන් ඉඩ ලැබෙන පරිදි මේ සටහන් කර තැබීමට කැමැත්තෙමු. බොහෝ පඬිවරුන් මේ අදහස් පසුගාමී අන්තගාමී ජාතිවාදී ලෙස හඳුන්වනු ඇත.   

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඊනියා සාධාරණ සමාජයවත් අතුරලියේ රතන හිමියන්ගේ ඊනියා පිවිතුරු හෙටක්වත්් ඇතිකිරීමට නොවන බව අපි දිගිට ම කීවෙමු. සංශෝධනයේ අරමුණ දෙමළ ජාතිවාදීන්ට කප්පන් දීමත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන තවදුටත් අඩු කිරීමත් රනිල් වික්‍රමසිංහ මහතාට විධායක බලතල හැකිතාක් හිමිකර දීමත් ය. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වූ සංශෝධනයක් නොව මූලික වශයෙන් ජනාධිපතිගේ විධායක බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට නොව  අගමැතිට ලබාදීමටත්, දහහත්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාදායක සභාව නැවත ඇතිකර ඊනියා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, මහින්ද රාජපක්‍ෂ මහතා නැවත ජනාධිපති ධුරයට තරග කිරීම වැළැක්වීමටත්, සිංහලයාට මෙරට හිමි සුවිශේෂත්වය නැතිකිරීමටත්, එමගින් රට ආපසු 1833ට ගෙන යෑමටත්, සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඊළමකට පාර කැපීම සඳහාත්, රනිල් වික්‍රමසිංහ මහතා බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාවට මෛත්‍රිපාල මගින් පික්පොකට් ගැසූ අගමැතිකම නීත්‍යානුකූල කරගැනීමටත් ගෙනෙන ලද සංශෝධනයකි. රනිල් වික්‍රමසිංහ මහතාට අද තිබෙන තත්ත්වය අනුව ජනාධිපතිවරණයකින් ජයගෙන ජනාධිපති විය නො හැකි ය. ඔහුට අද පවත්නා තත්ත්වය යටතේ මැතිවරණයකින් ජයගෙන අගමැති වීමටවත් නො හැකි ය. ඔහු අගමැති වී ඇත්තේ පික්පොකට් ගැසීමෙනි. 

යම් අයුරකින් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයකින් ජයෆෙන ජනාධිපති වීමේ හැකියාව තිබිණි නම් කිසි දිනෙක දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවනු ඇත. බටහිරයන්ට අවශ්‍ය හැකි ඉක්මනින් රනිල් වික්‍රමසිංහ මහතාට විධායක බලතල ලබාදීමට ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ බව නොදන්නවා නො වේ. ඔහු පසුගිය දිනෙක එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකයන් අමතා ප්‍රකාශ කර තිබුණේ බටහිරයන් තමන්ට කරන බලපෑම් ගැන ඒ නායකයන්ට අවබෝධයක් නැති බවත් බටහිරයන් තමන්ට වඩා රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන බවත් ය. බටහිරයන්ට අවශ්‍ය සිංහලයන්ට මෙරට හිමි සුවිශේෂ තත්ත්වය නැතිකර දෙමළ ජාතිවාදයට රට පාවාදීමට ය. 

දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කෙරුණේ සොභිත හිමියන් පවසන පරිදි මෛත්‍රිපාල සිරිසේන මහතා ස්වකැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට සූදානම් වූ නිසා නො වේ. ඔහුට එය නොකර බැරි ය. ඔහුට ඊනියා පොදු අපේක්‍ෂකත්වය ලැබුණේ යම් ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ය. ඒ ගනුදෙනුවට අනුව විධායක බලතල අගමැතිට හිමිකර දිය යුතු ය. අද සිදුවන්නේ ඒ ගනුදෙනුව ය. ඒ ගනුදෙනුව තවමත් අවසන් වී නැත. රනිල් වික්‍රමසිංහ මහතා තව තවත් විධායක බලතල ලබාගැනීමට උත්සාහ කරනු ඇත. මීළඟ මැතිවරණයෙන් පසු ඒ ක්‍රියාවලිය නැවතත් ආරම්භ කෙරෙනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය සඵල විපක්‍ෂයක් නැති පාර්ලිමේන්තුවක් ඇති කර ඒකාධිපති අගමැතිවරයකු වීමට ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා බලලෝභී නොවන දේශපාලනඥයෙක් නො වේ. ඔහු බලලෝභී නොවන්නකු නොවන බව පෙන්නුම් කෙරෙන්නේ ඔහු අගමැති වීමට ඇල්ලූ පොරයෙනි. ඒ පොරය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග විය. මෛත්‍රිපාල සිරිසේන මහතා සියල්ල අත්හැරීමට සූදානම් බෝසතකු නම් කළ යුතුව තිබුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ යහපත සඳහා අගමැති පොරයෙන් ඉවත්වීම ය. එහෙත් ඔහු එසේ නො කෙළේ ය. තමාට අගමැතිකම නොලැබීමේ පළිය ගැනීමට ඔහු විවිධ ඔත්තු සේවාවල අනුග්‍රහයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු විය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම පික්පොකට් ගැසීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා යොදා ගත්තේ ය. බටහිරයන්ගේ සැලැස්ම පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වූයේ අගමැතිකම පික්පොකට් ගසා විධායක බලතල තම අතට ගැනීම ය. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්තිවලට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීරණය නොවෙන්නට අගමැතිට තව තවත් විධායක බලතල අයිති වීමට ඉඩ තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා ඒ බලතල ද කෙසේ නමුත් ලබාගැනීමට අනාගතයේ දී උත්සාහ දරනු ඇත. ඔහුගේ මල්වට්ටිවලට අත ගසන්නෝ රටට අයහපතක් ම කරති.

අද වන්දිභට්ටයන් ක්‍රියා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බලලෝභී නොවන ජනාධිපතිවරයකු ලෙස මතයක් නිර්මාණය කර හැකිනම් ඉතිහාසයට එක් කිරීමට ය. බලලෝභී නොවන දේශපාලනඥයන් සිටින්නේ යැයි මම නො සිතමි. අද රජකම අත්හැර වනගත වන වෙස්සන්තරලා සිරිසඟබෝලා දැකිය හැකි නො වේ. දේශපාලනඥයන්ට තරම් හොඳට නළුවන්ට රඟපෑමට නො හැකි ය. තමා සමග අගමැති ධුරයට තරග කර ඒ නොලැබුණු හේතුවෙන් ශ්‍රී ල නි පක්‍ෂය අතහැර ගොස් පක්‍ෂයට විරුද්ධව ක්‍රියා කිරීමට තරම් බලලෝභී වූ මෛත්‍රිපාල සිරිසේන මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ද හැඳින්වෙන්නේ බලය අත්හැරීමට එකඟ වූ ශ්‍රීමතාණන් කෙනකු ලෙස ය. මෛත්‍රිපාල සිරිසේන මහතා බලය අත් හැරි පුද්ගලයකු නො වේ.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නොවන විපක්‍ෂය ද ප්‍රශ්නයට අතගැසුයේ සුද්දන් අපට උගන්වා ඇති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නමින් මිස රට ජාතිය ආගම පැත්තෙන් නො වේ. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් පොලිස් වැනි බලතල පළාත්සභාවලට අහිමි කිරීමෙන් පසුව පමණක් විධායක ජනාධිපති බලතලවලට අත නොතැබිය යුතු ය යන්න ඉදිරිපත් කිරීමට ඔවුන්ට නො හැකි විය. 

ඕනෑම පනතක සංක්‍රමණීය විධිව්ිධාන වැදගත් වෙයි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ 54 වැනි වගන්තිය අනුව එය සම්මත  වීමෙන් පසු දිනයේ සිට ද  සිටින ජනාධිපති හා අගමැති ඒ තනතුරුවල රැඳී සිටිති. එහෙත් ඇමතිවරුන් සම්බන්ධයෙන් එවැන්නක් නො කියැවෙයි. ජනාධිපති රැඳී සිටීම තේරුම් ගත හැකි ය. නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීම කළ නො හැකි ය. එහෙත් අගමැති දිගින් දිගට ම රැඳී සිටිය යුත්තේ ඇයි? දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තමන්ගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්කර ගත  හැකි ය. අද රනිල් වික්‍රමසිංහ මහතා දි මු ජයරත්න මහතා අගමැති ව සිටිය දීම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරයෙන් අගමැතිකම පික්පොකට්් ගැසුවේ මේ වගන්තිය අනුව ය. ඒ වගන්ති සංශෝධනයකින් තොරව දහනවයට ඡන්දය නොදෙන බව කීමට විපක්‍ෂයට හැකි කමක් තිබුණත් මට දැනගැනීමට ඇති ආකාරයට ජී එල් පීරිස් මහතාගේ ඊනියා විශාරද භාවය හේතුවෙන් එය අත්හැර දමා ඇත. ජී එල් පීරිස් මහතා ද ඊනියා බලලෝභී නොවන දේශපාලනඥයෙක් ද?  

ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව තිබුණේ ඉතා පෞද්ගලික හා ජනවාර්ගික හේතු මත ඉදිරිපත් කෙරුණු දහනවවැනි සංශෝධනයට පක්‍ෂ නො වීම ය. අඩුම වශයෙන් ඉහත සඳහන් සංශෝධන දෙක මත ඔවුන්ට තීරණයක් ගැනීමට තිබිණි. අදත් පාර්ලිමේන්තුවට නොව ජනාධිපතිට  අගමැති තේරීමේ හා පත්කිරීමේ බලය හිමිවෙයි.

ඊනියා ස්වාධීන කොමිෂන් සභා වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ස්වාධීන වීමට නම් ඒවාට මියගිය අය පත්කළ යුතු ය. ජීවත්ව සිටින මිනිසුන්ට මතවාද වේ. ඔවුහු ඔවුන්ට උගන්වා ඇති ආකාරයට සිතති. මේ ඊනියා කොමිෂන් සභාවලට පත්කෙරෙනු ඇත්තේ අගමැතිගේ හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විපක්‍ෂ නායකයාගේ සිත් දිනාගත් පුද්ගලයන් ය. ඔවුන්ට බලපෑම් ඇති නොකෙරෙනු ඇත්තේ සුද්දන්ගේ කසිකබල් පොත්වල පමණකි. පොතෙහි කුමක් තිබුණත් ප්‍රායෝගික ව ගත්කල ප්‍රජාතන්ත්‍රවාදය යනු කුණුහරුපයක් පමණකි. සංධානයේ නායකයන් මේ කොමිෂන් සභාවල එල්ලුණේ එල්ලෙන්න වැළක් නොතිබූ හෙයින් ද? ඔවුන්ට ද රට ජාතිය ආගම අමතක වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ද?

නලින් ද සිල්වා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress