ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය
Posted on May 9th, 2015

නලින් ද සිල්වා

අප ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි සීකිමය වෙන ම රටක් විය. එහෙත් දැන් එය ඉන්දියාවේ වෙන ම ප්‍රාන්තයකි. ලංකාව නාමිකව නිදහස් රටකි. එහෙත් අපේ බොහෝ කටයුතු මෙහෙයවනු ලබන්නේ ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව විසිනි. මහින්ද හිමියෝ මෙරට නිදහස වෙනුවෙන් කටයුතු කළහ. එහෙත් අපට තවමත් පූර්ණ නිදහස දිනාගැනීමට නොහැකි වී ඇත. 

ඉංගිරිසින්ට මෙරට යටත් වීමෙන් පසුව නිදහස් සටනක් මෙන් ම ඊනියා නිිදහස් සටනක් ද විය. ඊනියා නිදහස් සටන ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබූ ඉංගිරිසි අධ්‍යාපනයක් ලත් පිරිසකගේ කටයුත්තක් විය. ඉංගිරිසින්ගේ අධ්‍යාපනය මුල දී ඉංගිරිසි මාධ්‍යයෙන් දෙනු ලැබුව ද පසුව එය සිංහලෙන් හා දෙමළෙන් ද දෙනු ලැබිණි. මේ අධ්‍යාපනය ලැබුවෝ සිංහල බෞද්ධ විරේා්ධීහු වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඉංගිරිසින් වෙනුවෙන් අනෙක් අය පාලනය කිරීම ය. 

මේ අය කොංග්‍රස් සංගමය නමින් සංවිධානයක් පිහිටුවා තමන්ට ඉංගිරිසින් වෙනුවෙන් අනෙක් අය පාලනය කිරීමට ඇති සුදුසුකම් ගැන ඉංගිරිසින්ට පෙත්සම් ගැසූහ. ඔවුන්ගේ ඊනියා නිදහස් සටන ඒ පෙත්සම්වලට සීමා විය. 1931 දී සර්වජන ඡන්දය ලැබුණේත් 1948 දී සීමිත නිදහසක් ලැබුණේත් ඔවුන්ට ය. අදත් මූලික වශයෙන් රට පාලනය කෙරෙන්නේ ඔවුන්ට අවශ්‍ය අන්දමට ය. 

1815න් පසු මෙරට සෑබෑ නිදහස් සටනක් ද ඇති විය. එය කැප්පෙටිපොළ නිළමේ. වීර පුරං අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ආදීන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය. එය ජාතික ව්‍යාපාරයක් විය. දහනවවැනි සියවසේ අගභාගයේ දී මොහොට්ටිවත්තේ හුණානන්ද හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ ද අනගාරික ධර්මපාලතුමා ඇතුළු ගිහි නායකයන් ද නායකත්වය දුන්නේ මේ ජාතික ව්‍යාපාරයට ය. එය සැබෑ නිදහස් සටනක් විය. 

ඇස් මහින්ද හිමියන් එකතු වූයේ මේ ජාතික ව්‍යාපාරයට හා නිදහස් සටනට ය. එහෙත් ඒ නිදහස් සටනට අවාසනාවකට ජනතාව සහභාගි නො වූහ. ජනතාව ධර්මපාලතුමා ප්‍රතික්‍ෂෙප කර තිබිණි. ඔවුන් පෙත්සම් කරුවන් විසින් මුළා කර තිබිණි. පෙත්සම් කරුවෝද ජනමාධ්‍ය හිමියෝ ද එකම කුලකයකට අයත් වූහ. එකල ලේක්හවුසිය ධර්මපාලතුමාට තදින් පහර දුන්නේ ය. එතුමා අවසානයේ දී රට අත්හැර ඉන්දියාවට ගියේ ය. ජාතික ව්‍යාපාරය අඩපණ වී තිබිණි. මහින්ද හිමියෝ ඒ බව අවබෝධ කර ගත්හ.  ඇස්ගෙඩිවලට හෙණ ගහල ද සිහලුන්ගේ වැනි කවි පද උන්වහන්සේ අතින් ලියැවුණේ එබැවිනි. 

ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ ඇතැම් පිරිස් පසු කලෙක මහින්ද හිමියන් පිළිබඳ සැක උපදවන කතා ප්‍රචාරය කළහ. උන්වහන්සේ ගිහියකු ලෙස ලංකාවට පැමිණියේ ජර්මන් භික්‍ෂූන් වහන්සේ නමක සමග ජර්මන් නැවක ය ආදී වශයෙන්  ප්‍රචාර කරමින් මේ උගත්තු (ඔවුන්ගෙන් ඇතැමකු විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යනංශවල සේවය කළ අතර ඇතැම්හු වෛද්‍ය පීඨයෙහි ද සමාජ විද්‍යා අධ්‍යයනංශවල ද සේවය කළහ) මහින්ද හිමියන් නට්සිවාදියකු ලෙස හැඳින්වීමට උත්සාහ කළහ. මෙරට ඉංගිරිසි අධ්‍යාපනය විසින් රටට ජාතියට හා ආගමට කෙරෙන අපරාධය තවමත් බොහෝ දෙනකුට නො තේරෙයි. 

කෙසේ වෙතත් මහින්ද හිමියන්ගේ ද දායකත්වය ලැබුණු ජාතික ව්‍යාපාරයට මෑත කාලයෙහි කොටින් පරාජය කිරීම සඳහා ජනමතයක් ගොඩනැගීමට හැකි විය. එහෙත් අද නැවතත් ජාතික ව්‍යාපාරය තාවකාලික පසුබැසීමකට ලක් වී ඇත. ඒ පසුබැසීම නවතා ජයග්‍රහණය කරා යොමු වීමට මහින්ද හිමියන්ගේ නිදහස් සටන් කවි අපට මේ යුගයේත් ආධාරයක් ම වනු ඇත. 

නලින් ද සිල්වා    

2015 මැයි 09

4 Responses to “ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය”

  1. Dr.K Says:

    පසුගිය ජනවාරි 8 දා ජනදිපතිවරණයේදී ලක්ෂ 58 ක් පෙළ ගැසුනේ ශ්‍රී ලංකාවේ සැබෑ නිදහස අගයන පිරිසය. ප්‍රතිවාදීන් විසින් එවකට ජනාදිපතිව සිටි මහින්ද වෙත නගන ලද දහසකුත් මුදල් දුෂණ චෝදනාවල සත්‍ය අසත්‍ය තාවට වඩා මහින්ද විසින් එදා රටට තර්ජනයක්ව තිබු ද්‍රවිඩ ත්‍රස්තවාදය හා විදේශිය කැණහිල්කම් වලින් රට නිදහස් කිරීම අගය කලෝය. අදත් ඔවුන් මහින්ද වටා එක්රොස් වෙමින් කෑ මොර දෙන්නේ ඒ ලැබූ නිදහස ආරක්‍ෂා කරගැනීමටය.

  2. Independent Says:

    නිදහස් හඬින් මුලු රට හඬනගන්නට​
    උදහස් සතුරු සෙන් එඩි මන් මඬින්නට​
    නිදහස් සිහල බල නංවා තබන්නට​
    අදහස් කරව් තරුණෙනි අද පටන් සිට​

  3. Independent Says:

    කියුම පෙනුම හෙට බුදු වෙන බෝසත්තූ
    කෙරුම හරිම හරියට අර දෙව්දත්තූ
    මෙහෙම දෙපිට වෙස්මුහුණක් බැඳගත්තූ
    අයම තමයි අද ලක්මව්ගේ පුත්තූ – Ven s Mahinda

    මෙවැනි පුතුන් හඹමින් පස්සෙන් යන්නේ
    සුවෙනි හොඳින් මුන් ගේ දිවි ගත වෙන්නේ
    දුකෙනි සිහල කවියක් රට වෙනුවෙන්නේ
    බියෙනි ලියමි නැද්දෝ එය පලවෙන්නේ – Independent

  4. Christie Says:

    “ඇස් ගෙඩිවලට හෙනගහලද සිහලුන්ගේ”

    ඇස් මහින්ද හිමි

    This is what I remember from one of his books that was part of the Curriculum before Banda fed us Sinhala.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress