නීතිය දේශපාලනික වීම වැරදි පරමාදර්ශයක්‌ ආරම්භ කිරීමකි
Posted on May 21st, 2015

ජනිත සෙනෙවිරත්න Courtesy Island

රජයේ සංස්‌ථා හා මණ්‌ඩල අධ්‍යක්‌ෂ මණ්‌ඩල සඳහා පැමිණීම ඇතැම් නිලධාරීන් ප්‍රතික්‌ෂේප කර ඇත. ටෙන්ඩර් මණ්‌ඩල, තාක්‌ෂණ ඇගයීම් කමිටු ආදිය සඳහා සහභාගිවීම ඇතැම් රජයේ නිලධාරීන් ප්‍රතික්‌ෂේප කර ඇත්තේ නිකරුනේ සිරගතවන්නට බැරි බව පවසමිනි.

අධිකරණය ලබා දුන් තීන්දු කිහිපයක්‌ හා ඒ හා බැඳුණු දේශපාලනමය කාරණා සම්බන්ධයෙන් නැවත වරක්‌ සමාජයේ බරපතළ කතාබහක්‌ ඇතිවී තිබේ.

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හා සම්බන්ධ කාරණා මෙන්ම ගෝඨාභය රාජපක්‌ෂ හිටපු ආරක්‌ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් ද, සාම්පූර්හි බැර කර්මාන්තපුරයක්‌ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට්‌ නිවේදනයකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්a අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කිරීම ගැනද මේ කතාබහ ඇතිවී තිබේ.

ගෝඨාභය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව පොදු රාජ්‍ය මණ්‌ඩලය වෙත කරුණු දක්‌වන බවට හා ඒ සම්බන්ධයෙන් පවතින තත්ත්වය නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා බලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයා එසේ ප්‍රකාශ කරද්දී අධිකරණය ස්‌වාධීනව කටයුතු කරන බවත් පසු ගිය රජය මෙන් නඩු තීන්දු දීමට රජය ඇඟිලි නොගසන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා තනතුරෙන් ඉවත් කිරීමට පළාත් සභා මන්ත්‍රීන් පිරිසක්‌ ගත් උත්සාහයට එරෙහි අධිකරණ තීන්දුව, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ආදිය මගින් පැහැදිලි වන්නේ රජය දැන් අධිකරණයට ඇඟිලි නොගැසීම බවත් ස්‌වාධීනව ක්‍රියා කිරීමේ අයිතිය තහවුරු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්‌ෂ මූලික අයිතිවාසිකම් පෙත්සමේ අතුරු තහනම් නියෝගය ගැන සඳහන් කරමින් අගමැතිවරයා පසුගියදා ආන්දොaලනාත්මක ප්‍රකාශ කීපයක්‌ම සිදු කළේය.

ගෝඨාභය රාජපක්‌ෂ මූලික අයිතිවාසිකම් පෙත්සම සමග තවත් විවිධ නීති තර්ක ගණනාවක්‌ සමාජයේ සාකච්ඡාවට බඳුන්වී ඇත. ගෝඨාභය රාජපක්‌ෂ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී පොලිsස්‌ මූල්‍ය අපරාධ අංශය විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිවේදීන් තර්ක ඉදිරිපත් කරන ලදී. මෙහිදී පුද්ගල නිදහස සම්බන්ධයෙන් විවිධ තර්ක ඉදිරි පත් විය. යම් සැකයක්‌ තිබූ පමණින් යම් පුද්ගලයකු අත්අඩංගුවට ගත හැක්‌කේ ඔහු අධිකරණය හැරයාමට, නීතියෙන් වසන්වීමට හෝ එහි සාක්‌ෂි වෙනස්‌ කිරීමට හෝ සාක්‌ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති අවස්‌ථාවන්හි බවත් එසේ නොමැතිව සෑම අවස්‌ථාවකම අත්අඩංගුවට පත් කිරීම සුදුසු නොවන බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.

මේ අතර ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට්‌ නිවේදනයක්‌ අභියෝගයට ලක්‌කරමින් ඉදිරිපත්ව තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළ අතර ඒ අනුව අදාළ ගැසට්‌ පත්‍රය තාවකාලිකව අත්හිටුවන ලදී.

ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ බැර කර්මාන්ත ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩමක්‌ රජයට යළි පවරා ගත් බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ1913/19 දරණ අති විශේෂ ගැසට්‌ පත්‍රය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ අතුරු නියෝගයක්‌ නිකුත් කළේය.

එම සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ සලකා බලමින් රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ හා උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ විසින් මෙම අතුරු නියෝගය පනවන ලදී.

ඇමරිකා ඩොලර් බිලියන 4 ක්‌ වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ තම ව්‍යාපෘති අමාත්‍ය මණ්‌ඩල හා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබියදීත් වත්මන් ජනාධිපතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක්‌ නැතිව අත්තනෝමතිකව අදාළ ගැසට්‌ නිවේදනය මගින් හිටපු ජනපතිවරයා මුදාහැරි ඉඩම් යළි පවරාගත් බවද පෙත්සම්කරුවෝ එහිදී කියා සිටියහ.

මෙය දකුණු කොරියාව,ජපානය, ඕස්‌ටේ්‍රලියාව හා බ්‍රසීලය එක්‌ව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක්‌ බව පැවසේ. අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන අටසියයක්‌ පමණ යොදවා ඉදිකිරීම් කළ පසුව මෙලෙස එම ඉඩම් රටේ නීතියට පිටින් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැනටමත් අදාළ රටවල් රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමින් විරෝධය පළකර ඇත. ඇතැම් තානාපතිවරුන් මේ සම්බන්ධයෙන් රජයට ලිත දැනුම් දීම් කර තිබේ.

මේ දිනවල පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය දේශපාලන ක්‌ෂේත්‍රයේ මෙන්ම ජනතාව අතරද ප්‍රබල මාතෘකාවක්‌ වී තිබේ. පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සම්බන්ධයෙන් විපක්‌ෂය චෝදනා කරන්නේ මෙය දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සඳහා උපයෝගී කරගන්නා යාන්ත්‍රණයක්‌ බවය.

පසුගිය රජය සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී නැඟුණු බරපතළ චෝදනාවක්‌ වූයේ වංචා හා දූෂණ සම්බන්ධයෙනි. එම නිසා එම තත්ත්වය උපයෝගී කරගෙන මෙලෙස පසුගිය රජයේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් ක්‍රියා කරනු දැකිය හැක. කෙසේ වෙතත් ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල කරමින් සිට ඔවුන් ඊට වඩා බෙහෙවින් සුළු කාරණා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම තුළ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් යම් විවේචන එල්ලවීම ස්‌වභාවිකය.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට එල්ල වී ඇති තවත් චෝදනාවක්‌ වන්නේ ඒ සඳහා පැමිණිලි ඉදිරිපත්වීම කැබිනට්‌ අනුකමිටුවක්‌ හරහා පමණක්‌ සිදුවීමය. මේ නිසා කොතරම් විශාල වංචාවක්‌ සම්බන්ධයෙන් වුවත් ඊට Rජුව පැමිණිලි කළ නොහැක. මේ කොට්‌ඨාසයට පැමිණිලි ඉදිරිපත් කළ හැක්‌කේ අදාළ කමිටුව මගින් පමණක බැවින් ඊට දේශපාලනික මුහුණුවරක්‌ ලැබී තිබේ. එම නිසා වහාම කළයුත්තේ මෙය සාමාන්‍ය පරිදි පැමිණිලි භාරගෙන විමර්ශනය කරන ස්‌ථානයක්‌ බවට පත් කිරීමය. එසේම මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට මූල්‍ය ක්‌ෂේත්‍රයේ ප්‍රවීණයන් උපදේශකවරුන් ලෙස හෝ බඳවා ගත යුතුය. එසේ නොමැතිව සාමාන්‍ය පොලිස්‌ නිලධාරීන්ට මෙවැනි භාරදූර කටයුතු පැවරීම තුළ එම කටයුතු නිසි ආකාරයට සිදු නොවීමත් වැරදිකරුවන් ගැලවී යාමත් සිදුවේ.

පොදු දේපළ සම්බන්ධයෙන් වන අර්ථ දැක්‌වීම ගැනද සමාජයේ දැඩි කතාබහක්‌ මතුව තිබේ. රජයේ සියලු ආයතන හා දේපළ, පොදු දේපළ යටතට ගැනෙන්නේ නම් බරපතළ තත්ත්වයක්‌ වන්නේ පොදු දේපළ වරදකට ඇප ලබාදිය නොහැකි බැවිනි. එසේ ඇප ලබාදිය හැක්‌කේ විශේෂිත අවස්‌ථාවල පමණි.

දැන් පවතින තත්ත්වය අනුව රජයට අයත් ආයතන සමග කරන මූල්‍ය ගනුදෙනු සමබන්ධයෙන් පවා මේ යටතේ පියවරගත හැකි බව විරුද්ධ පක්‌ෂවල මතයයි. විරුද්ධ පක්‌ෂ පවසන්නේ රාජ්‍ය බැංකු වලින් ණය ලබාගෙන නොගෙවා සිටීම, ලංගම බස්‌රථයක්‌ හා සම්බන්ධ අනතුරු ආදියට පවා පොදු දේපළ පනත යටතේ අවශ්‍ය නම් පියවර ගත හැකි බවය. මේ තත්ත්වය ගැන රජය අවධානය යොමුකළ යුතුය. එසේ නොවුනහොත් ඇතැම් පිරිස්‌ මේ තත්ත්වය විහිළුවකට ගනු ඇත. පොදු දේපළ සම්බන්ධයෙන් ගන්නා තීරණවලදී පොලීසියට සුවිශාල වගකීමක්‌ තිබේ. එය තේරුම් ගෙන පොලිස්‌ නිලධාරීන් කටයුතු කළ යුතුය.

අනෙක්‌ අතට රජයේ නිලධාරීන්ට මේ ආකාරයට දඬුවම් ලබාදීම තුළ වැරදි කරන්නට බියක්‌ ඔවුන් තුළ ඇතිවීම සිදුවේ. එය රට පැත්තෙන් හොඳ වුවත් දැන් සිදුව ඇත්තේ ඔවුන් නිල ලියවිලිවලට පවා අත්සන් තබන්නට බිය වීමය. එසේම මහා භාණ්‌ඩාගාර නියෝජිතයන් ලෙස නිල බලයෙන් සහභාගිවිය යුතු රජයේ සංස්‌ථා හා මණ්‌ඩල අධ්‍යක්‌ෂ මණ්‌ඩල සඳහා පැමිණීම ඇතැම් නිලධාරීන් ප්‍රතික්‌ෂේප කර ඇත. ටෙන්ඩර් මණ්‌ඩල, තාක්‌ෂණ ඇගයීම් කමිටු ආදිය සඳහා සහභාගිවීම ඇතැම් රජයේ නිලධාරීන් ප්‍රතික්‌ෂේප කර ඇත්තේ නිකරුනේ සිරගතවන්නට බැරි බව පවසමිනි. නිල බලයෙන් අධ්‍යක්‌ෂ මණ්‌ඩල තනතුරු හිමිවන රජයේ සේවකයන් රැකෙන පරිදි නව ක්‍රමවේදයන් ගෙන ආ යුතුව තිබේ. කවර හෝ අතපසුවීමකින් බන්ධනාගාර ගතවන්නට රජයේ සේවකයකුට සිදු වුවහොත් එය ඔවුන්ගේ වෘත්තීය දිවියේ අවසානයයි. එසේම අපේ සමාජය තුළ පවා එවැනි අවස්‌ථාවල ගොඩනැගෙන මතවාද අතිශය දරුණුය. මේ නිසා මේ තත්ත්වය සියලු අංශ විසින් තේරුම්ගෙන දූෂිතයන්ට පමණක්‌ දඬුවම් දෙන ක්‍රමවේද සෑදිය යුතුය. එසේ නොමැතිවීම තුළ රටේ සංවර්ධනයට ඉදිරි ගමනට බාධාවන් ඇතිවේ.

කෙසේ වෙතත් මහජන දේපළ ගසා කෑ කිසිදු තරාතිරමක පුද්ගලයකු ආරක්‌ෂා කරන ලෙස මේ රටේ යුක්‌තිය අගයන කිසිවකු කිසි ලෙස ඉල්ලා සිටින්නේ නැත. කුමන රජයක්‌ පැවතියද එවැනි වැරදි කළ පුද්ගලයන්ට දඬුවම් කළ යුතුය. එසේම ඒවාට දේශපාලන මුහුණුවරක්‌ නොලැබෙන පරිදි කටයුතු කිරීමද රජයේ වගකීමකි. මේ ප්‍රශ්නවලට දේශපාලන මුහුණුවරක්‌ ලැබීම තුළ සිදුවන්නේ සැබෑ වැරදිකරුවන්, වංචාකාරයන් නීතියෙන් ගැලවී යාමය. ඔවුන් ජනතාව අතරේ වීරයන් වීමය. එම නිසා මේ තත්ත්වය වළක්‌වාගෙන නිසි ක්‍රමවේදයකට මේ කාරණා සිදුකිරීමේ වගකීමද අවසානයේ ඇත්තේ රජයටය.

රටේ නීතියට පිටින් විල්පත්තු හා මඩු ප්‍රදේශවල ජාතික වනෝද්‍යාන එළිපෙහෙළි කරමින් අක්‌කර සිය ගණනක මුස්‌ලිම් ජනාවාස ඇති කෙරමින් තිබේ. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ආණ්‌ඩුවේ ප්‍රබලම ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ටය. එහෙත් ඔහුට එරෙහිව නිසි පියවර නොගැනීම සමාජයේ දැඩි කතාබහට ලක්‌ව තිබේ. වර්තමාන රජයේ අයට පවා චෝදනා එල්ල වී තිබේ නම් ඔවුන්ට එරෙහිව නිසි පරීක්‌ෂණ පවත්වා දඬුවම් දීමේ ක්‍රමවේදයක්‌ නිර්මාණය කළවිට රටේ නීතිය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක්‌ ඇති වේ.

ජනිත සෙනෙවිරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress