විසුරුවන්න ඇයි බය?
Posted on May 22nd, 2015

සඳුන් ජීවන්ත -මව්බිම

“පාර්ලිමේන්තුව විසුරුවන්න ආණ්ඩුව ඇයි මෙච්චර බය?”
මේ ප්‍රශ්නයට හරි උත්තරය මොකද්ද කියලා අප්‍රේල් 24 වැනිදා ඉඳන් කල්පනා කළත් හරිම උත්තරය ලැබුණේ පහුගිය 17 වැනිදාය.
මෛත්‍රිපාලට ජන වරම ලැබුණේ අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න වුණත් තවමත් පාර්ලිමේන්තුව විසුරුවලා නැත.

පාර්ලිමේන්තුව විසුරුවන එක කල් දාන්න දහසකුත් එකක් හේතු කියන්න මෛත්‍රිපාලත්, රනිලුත් පහුගිය දවස්වල නොගත් උත්සාහයක් නැත. අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන එක කල් දාගත්තේ දහනවයේ එල්ලිලාය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන දවස පරක්කු කරලා මෛත්‍රිපාලත්, රනිලුත් පාර්ලිමේන්තුව විසුරුවන දවස කල් දමා ගත්හ. දැන් 20ක් ගැන කියමින් ආපහු පාර්ලිමේන්තුව විසුරුවන දවස කල් දාගන්න උත්සාහ කරති. 19 හා 20 ගේනවා කියලා මෛත්‍රිපාලත්, රනිලුත් ජනතාවට පොරොන්දු වුණේ දින 100 ඇතුළතය. දින 100න් කරනවා කියපු දේවල්වලින් ප්‍රධානම පොරොන්දුවවත් දින 100ක් තුළ කරගන්න බැරිවුණු යහපාලන ආණ්ඩුව දැන් 20 ගැන කියමින් ආණ්ඩුව විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන එක කල් දාමින් සිටියි.

හැබැයි ඇත්තටම මෛත්‍රිපාලත්, රනිලුත්, මේ දෙන්නාගේ යහපාලන ආණ්ඩුවත් මහ මැතිවරණයකට යන්න බය මොකද කියලා හොයලා බැලුවාම පේන්න තියෙන්නේ තවමත් යූ.ඇන්.පී. එක ඉන්නේ මහ මැතිවරණයක් දිනාගන්න පුළුවන් තත්ත්වයක නොවන බවය. ඉතින් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව හොරගල් අහුල අහුලා ඉන්නේ යූ.ඇන්.පී. එකට මහ මැතිවරණයක් දිනන්න පුළුවන් අවස්ථාව එනතුරුය.

20 වැනි සංශෝධනයක් ගැන කියමින් ඒ ගැන බොරුවට රණ්ඩු වෙමින් මෛත්‍රිපාලත්, රනිලුත් කරන්නේ ජනතාවට කොළේ වහලා ගැහිල්ලකි. හැබැයි පහුගිය 17 වැනිදා පොළොන්නරුවේදී ඤාාාාාාව් කියමින් මෛත්‍රිපාලගේ බළලා මල්ලෙන් එළියට පැන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඇයි බය කියන ප්‍රශ්නයට ඇත්ත උත්තරය ජනතාවට අවබෝධ කර දෙමිනි.

“පළාත් පාලන ඡන්දය කල් දාන්න කියලා මට සමහරු කියනවා. නගර සභාවල, ප්‍රාදේශීය සභාවල කාලය දැන් ඉවරවෙලා තියෙන්නේ. මට ඒවායේ කාලය දික් කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඒවායේ කාලය දික් කරන්න නම් මට මගේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කරන්න වෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. මම ප්‍රාදේශීය සභාවල, නගර සභාවල කාලය දීර්ඝ කරන්නේ නැහැ.”

“මම පරම්පරාවෙන් ශ්‍රී ලංකාකාරයෙක් නොවෙයි. මගේ අම්මා තාත්තා එක්සත් ජාතික පක්ෂයේ.”
පහුගිය 19 වැනිදා පොළොන්නරුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව අමතමින් මෛත්‍රිපාල පළාත් පාලන ආයතන විසුරුවා හරින්න තමන් ගත් තීරණය සාධාරණීයකරණය කළේ ඔන්න ඔය විදියටය. පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරන එක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි කියන මෛත්‍රිපාල ඊළඟට කිව්වේ තමන් පරම්පරාවෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවෙයි කියලාය. තමන්ගේ අම්මා හා තාත්තා එක්සත් ජාතික පාක්ෂිකයන් කියලාය.

පොළොන්නරුවේදී මෛත්‍රිපාලගේ කටෙන් එළියට පැනපු මේ කාරණා දෙකෙන් අද දේශපාලන පොරපිටියේ ඇති උත්තර නැති ප්‍රශ්න ගණනාවකට උත්තර ලැබේ.
පළමු ප්‍රශ්නය පාර්ලිමේන්තුව විසුරුවන්න පරක්කු වෙන්නේ ඇයි කියන එකය. ඇත්තම කිව්වොත් පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම යූ.ඇන්.පී. එකට කජු කනවා වාගේ වැඩක් නොවේ. මහ ඡන්දය දිනන්න නම් යූ.ඇන්.පී. එක මුලින්ම කරන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම තුළ දුර්වල කිරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම තුළ දුර්වල කරන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමිවෙලා තියෙන ප්‍රාදේශීය සභා ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැති කරන්න ඕනෑය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමිවෙලා තියෙන නගර සභා ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැති කරන්න ඕනෑය. මේ ප්‍රාදේශීය සභා ටිකයි, නගර සභා ටිකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගලවා ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමේ දුර්වල කරන්න පුළුවන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිලා ටික කන්ට්‍රෝල් කරගත්තොත්, ඔවුන්ට තියෙන බලය නැති කළොත් යූ.ඇන්.පී. එකට ගම අල්ලන්න පුළුවන් කියලා රනිල් හිතයි. ප්‍රාදේශීය සභා, නගර සභා ටිකේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැලෙව්වොත් යූ.ඇන්.පී. එකට ගමේ බලය ගන්න පුළුවන් කියලා මෛත්‍රිපාලත් හිතයි.

මෛත්‍රිපාලටත් ඇත්තටම ඕනෑ වෙලා තියෙන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් යූ.ඇන්.පී. එක දිනවන්නය. රනිල්ව අගමැති කරවන්නය. ඊට පස්සේ ඒ යූ.ඇන්.පී. ආණ්ඩුවේ ඇමැති කටු ටිකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ට හිතවත් තුන් හතර දෙනකුටත් සූප්පු කරන්න දීලා ජාතික ආණ්ඩු හොද්ද කාල් ගාන්න පුළුවන් කියලා මෛත්‍රිපාල හිතයි. ඉතින් රනිල්ව අගමැති කරන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරද්දලා යූ.ඇන්.පී. එක දිනවන්න ඕනෑය. ඒකට ගමේ බලය යූ.ඇන්.පී. එකට අරන් දෙන්න ඕනෑය. ගම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න ඕනෑය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රිවරුන් දුර්වල කරන්න ඕනෑය. තමන් පරම්පරාවෙන් ශ්‍රී ලංකාකාරයකු නොවන බවත්, අම්මා, තාත්තා යූ.ඇන්.පී.කාරයන් බවත් මෛත්‍රිපාල තමන්ගේ කටින්ම කියන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වුණා කියලා මෛත්‍රිපාලට හිතේ දුකක් නැත. හිතේ දුකක් ඇති වෙන්නේ පරම්පරාවෙන්ම ලැබෙන දෙයක් නැති වුණොත්ය.

“මේ ගෙවල් ‍ෙදාරවල්, ඉඩකඩම් අපේ තාත්තාගෙන්, මුත්තාගෙන්, මී මුත්තාගෙන් පැවතගෙන ඒවා. මේවා පිට එවුන්ට අයිති වෙන්න දෙන්න බෑ. මෙව්වා ආරක්ෂා කොරගන්න ඕන.”

අපේ සීයලා මෙහෙම කියනවා මම අසා ඇත්තෙමි. ඔවුන් එහෙම කියන්නේ ඒවා පරම්පරාවේ උරුමය නිසාය.
“පුතේ… මේ ඹ්ඡ්ච් ඊඍ එක ආරක්ෂා කොරගන්න ඕන.”
අපේ සීයලා එහෙම කියන්නේ නැත. මොකද ඹ්ඡ්ච් ඊඍ පරම්පරාවෙන් පැවැතගෙන එන ඒවා නොවේ. ඉතින් අන්න ඒ වාගේ මෛත්‍රිපාලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පරම්පරාවෙන් ලැබුණු දායාදයක් නොවේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වුණා කියලා දුක් වෙන්න දෙයක් නැත. මෛත්‍රිපාලගේ අම්මා, තාත්තා එක්සත් ජාතික පාක්ෂිකයන් නිසා ඇත්තම කිව්වොත් මෛත්‍රිපාලට පරම්පරාවෙන් ලැබෙන උරුමය එක්සත් ජාතික පක්ෂයය. මෛත්‍රිපාල යූ.ඇන්.පී.කාරයන්ගේ ඡන්දවලින් ජනාධිපති වුණේ ඒ උරුමය නිසාය. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි වී තිබූ ප්‍රාදේශීය සභා ටික විසුරුවා, නගර සභා ටික විසුරුවලා යූ.ඇන්.පී. එකට බලයට එන්න පාර හදලා දෙන්න මෛත්‍රිපාල උත්සාහ කරන්නේ ඒ පාරම්පරික යූ.ඇන්.පී. උරුමය අමතක කරන්න බැරි නිසා විය යුතුය.

ප්‍රාදේශීය සභා හා නගර සභාවල කාලය අවුරුද්දක් දක්වා දීර්ඝ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නෛතික විධි විධාන තිබේ. හැබැයි මෛත්‍රිපාල කියන්නේ ඒවායේ කාලය දීර්ඝ කරන්න තමන් විධායක බලතල පාවිච්චි කරන්නේ නැහැ කියලාය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පෙරළලා රනිල්ට අගමැතිකම දීලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න මෛත්‍රිපාල තමන්ගේ විධායක බලතල කිසිදු හිරිකිතයක්්, ලැජ්ජාවක් නැතිව පාවිච්චි කළේය. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තු බලය පැහැරගෙන බහුතරයක් නැති රනිල්ට හා යූ.ඇන්.පී. එකට බලය අරන් දෙන්න මෛත්‍රිපාල දෙපාරක් හිතුවේ නැත. එහෙව් මෛත්‍රිපාල අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ප්‍රාදේශීය සභා හා නගර සභාවල කාලය වසරකින් දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් කියලා කියයි. මේවාට කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බැරිය. අප්පච්චි මළාම අම්මා අලුතෙන් කසාද බඳින බාප්පාගෙන් ගෙදර ළමයින්ට ආදරයක්, සෙනෙහසක් ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අද මුහුණ දෙන්නේ අප්පච්චි නැති වීමේ අවාසනාවන්ත තත්ත්වයටය.

ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වුණු විදියට පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව දවසින් දවස වැඩේ කල් දාන්නේ ඔන්න ඔය විදියට යූ.ඇන්.පී. එකට මැතිවරණය දිනන්න තියෙන බාධක ටික අයින් වනතුරුය. රනිල්ට ඊළඟට අගමැති වෙන්න තියෙන ලොකුම බාධකය වූ ගමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගලවා දාන්න මෛත්‍රිපාල කටයුතු කළ නිසා දැන් රනිල් හිතන් ඉන්නේ ගේම ගොඩ කියලාය.

රනිල්ට දැන් අගමැතිකමට තියෙන ඊළඟ බාධකය මහින්දය. දැන් රනිල්ට ඕනෑ වෙලා තියෙන්නේ මහින්දව ගෙදර තියන්නය. මොකද මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වෙලා ආවොත් තමන්ට කෙළවෙන බව රනිල් දනියි. ඉතින් දැන් රනිල්ට ඕනෑ රනිල්ගේ වචනයෙන්ම කියනවා නම් රාජපක්ෂලා දේශපාලනයෙන් අතුගාලා දාන්නය. ඒකට රනිල්ගේ උදව්වට එන්නේ මෛත්‍රිපාලය. මෛත්‍රිපාල කියන්නේ මහින්දව අගමැති අපේක්ෂකයා කරන්න බෑ කියලාය. මහින්දව අගමැති අපේක්ෂකයා කරන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසියක් කියලාය.

මහින්දව අගමැති අපේක්ෂකයා කරන එක අවාසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොව රනිල්ට කියලා ඕනෑම කිරිසප්පයකුට තේරෙයි. හැබැයි ඒක මෛත්‍රිපාලට තේරෙන්නේ නැත. තේරෙන්නේ නැතිද නැත්නම් නොතේරෙනවා වාගේ හොරට ඉන්නවාද කියලා දන්නේ නැත. කොහොම වුණත් රනිල්ව අගමැති කරවන්න නම් මහින්දව ගෙදර තියන්න ඕනෑ කියන එක නම් මෛත්‍රිපාලට හොඳටම තේරිලා තියෙන බව මේ දවස්වල කරන කියන දේවල්වලින් හොඳටම පැහැදිලි වෙයි.

ඉතින් මහින්දව ගෙදර තියනවා වාගේම මහින්දව අගමැති කරන්න ඕන කියලා කෑ ගහන අයව රිමාන්ඩ් කරන එකත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වෙලා තිබේ. කෝටි 5,000ක් හොරා කෑ බවට චෝදනා එල්ල වෙලා තියෙන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යස අගේට මහ බැංකුවේ වැඩ කරද්දී සතොසෙන් ලක්ෂ 52ක බඩු ණයට අරගෙන ඒ ණය ගෙවා දැමූ ජොන්ස්ටන් ප්‍රනාන්දු රිමාන්ඩ් වෙන්නේ ඒ අනුවය. හෙට අනිද්දා වන විට තමන්වත් ඇතුළට දාන්න ආණ්ඩුව සැලැසුම් කරමින් සිටින බව විමල් වීරවංශ පහුගියදා ප්‍රසිද්ධියේම කිව්වේය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න යහපාලන ආණ්ඩුව කළ කුමන්ත්‍රණය ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව නිසා අසාර්ථක වුණේය. මහින්දට සහාය දෙන දේශපාලනඥයන් රිමාන්ඩ් කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පරක්කු වීමට තවත් ප්‍රබල හේතුවකි. මහින්දට සහාය දෙන අය රිමාන්ඩ් කරලා මහ මැතිවරණයකට ගියාම තමන්ට ලේසියෙන්ම මහ මැතිවරණය දිනන්න පුළුවන් කියලා රනිල් හිතනවා විය යුතුය.

මහ මැතිවරණය කල් දාන්න අනෙක් හේතුව මහින්දට තියෙන බයය. ඇත්තම කිව්වොත් මේ මොහොත වන විට මෛත්‍රිපාලගේ අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කන්ට්‍රෝල් එක ගිලිහිලා ඉවරය. මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙලා ඉන්නේ නමට විතරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගෙන් 90%ක්ම ඉන්නේ මහින්ද එක්කය. පාක්ෂිකයන් ගත්තත් එහෙමය. ඉතින් දැන්ම පාර්ලිමේන්තුව විසිරෙව්වොත් මේ අය හැමෝම මහින්ද එක්ක එකතු වෙයි කියලා මෛත්‍රිපාලට ලොකු බයක් තිබේ. ඉතින් මහ මැතිවරණය නමැති කනත්ත ළඟින් යන්න ඉර පායනකම් ඉන්නේ ඒ නිසාය. මහ රෑ කනත්ත ළඟින් ගියොත් මහින්ද නමැති මහසෝනා තමන්ගේ ඔළුවටම ගහන බව මෛත්‍රිපාල දනී.

පාර්ලිමේන්තුව විසුරුවා දැමීම දවසින් දවස කල් දමද්දී අද රටේ වැඩ සිද්ධ වෙන්නේ දෙමළ ඩයස්පෝරාවට ඕනෑ විදියටද කියලා හිතෙන්නේ විජයග්‍රහණයේ සැමරුම නතර කිරීමත් එක්කය. අද යුද ජයග්‍රහණය සමරන එකට යහපාලන ආණ්ඩුව තිත තියලා තිබේ. විජයග්‍රහණයේ සැමරුම අහෝසි කර බෙදුම්වාදය පැරැදවූ දිනයක්ද මොකද්ද එකක් සමරනවා පහුගිය දවස්වල දැකගන්න තිබිණි. අද යහපාලන ආණ්ඩුවට උතුරේ හා නැඟෙනහිර කන්ට්‍රෝල් එක නැතිවෙලා තිබේ. කොටි සැමරුම් තහනම් කරන්න අධිකරණ නියෝග ගන්න සිදුවන තරමට අද යහපාලන ආණ්ඩුව අසරණ වෙලා තිබේ. ඒත් උතුරේ සහ නැඟෙනහිර කොටි සැමරුම් නවත්වන්න යහපාලන ආණ්ඩුවට බැරි වුණේය. මහින්දගේ කාලයේ නම්, ගෝඨාභයගේ කාලයේ නම් මේවා මෙහෙම වුණේ නැත. වෙල්ලමුල්ලිවයික්කාල්වල කොටි සැමැරුම් තිබුණේ නැත. කොටි කොඩි එසැවුණේ නැත.

ඉතින් මේ හැම විනාශයකින්ම රට බේරාගන්න නම් මහ මැතිවරණයකට යන්න ඕනෑය. ඩිලාන් පෙරේරා ඇමැතිතුමා කියපු විදියට මේ පිනා ආණ්ඩුවත් පිනා අගමැතිත් ගෙදර යවන්න ඕනෑය.

සඳුන් ජීවන්ත

One Response to “විසුරුවන්න ඇයි බය?”

  1. Christie Says:

    ඉන්දියන් ජඩයෝ අපිට වැඩේ දීල අපි අපි කෙලගන්නව බලාගෙන හොඳ සුදියෙන් ඉන්නව.
    “ඉතින් මේ හැම විනාශයකින්ම රට බේරාගන්න නම් මහ මැතිවරණයකට යන්න ඕනෑය. ඩිලාන් පෙරේරා ඇමැතිතුමා කියපු විදියට මේ පිනා ආණ්ඩුවත් පිනා අගමැතිත් ගෙදර යවන්න ඕනෑය”
    සිරිසේන පිනා යවන්න ඉන්දියානු ජඩවාදීන් ඉඩක් තියන්නෙ නෑ. ඉතින් තව අවුරුදු හයක් යනකොට මේ පිලිකාවෙන් සින්හලයො මැරිල ඉවරයි කියල තමයි මට හිතෙන්නෙ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress