ජාතික ආණ්ඩු ගුළිය
Posted on May 31st, 2015

සඳුන් ජීවන්ත  මව්බිම

සාමාන්‍යයෙන් ගුළි දෙන්නේ වෙද මහත්තුරුන්ය. ඒ ලෙඩ හොඳ කරන්නය. වෙද මහත්තුරුන් ලෙඩ හොඳ කරන්න ගුළි දුන්නාට දේශපාලනඥයන් ගුළි දෙන්නේ ලෙඩ වැඩි කරන්නය.
මේ දවස්වල දේශපාලන ලෝකයේ අන්න ඒ වාගේ ගුළියක් එහා මෙහා වෙමින් තිබේ. මේ ගුළිය තියෙන්නේ මෛත්‍රිපාලගේත්, රනිල්ගේත් සාක්කුවලය. ගුළිය දෙන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ටය.
‘රනිලුයි මෛත්‍රිපාලයි ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට දෙන්න යන ගුළිය මොකද්ද?’
ඒ ගුළිය එසේ මෙසේ ගුළියක් නොව අමුතුම ගුළියකි. බැලූ බැල්මට පේන්නේ මේ ගුළිය ගිල්ලොත් අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි ධූරිංභූත වෙලා යනවා කියලාය.
හැබැයි එහෙම පෙනුණාට ඇත්තටම වෙන්නේ ඒක නොවේ. වැරැදිලාවත් මේ ගුළිය කෑවොත් සිද්ධ වෙන්නේ අවුරුදු හයක් එක දිගට බඩ යන එකය.
‘මොකද්ද අප්පා ඔය අමුතු ගුළිය?’
ගුළිය මොකද්ද කියලා දැනගන්නාතුරු ඉවසීමක් නැති කෙනකු එහෙම අහන්න පුළුවන්ය. එහෙම අහන කෙනකුට කියන්න තියෙන්නේ මේ ගුළියේ නම සර්ව රෝග නිවාරණ ජාතික ආණ්ඩු වශී ගුළිය කියලාය.
මේ දවස්වල මෛත්‍රිපාලත්, රනිලුත් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට මී පැණිත් එක්ක මේ ජාතික ආණ්ඩු ගුළිය ගිල්ලන්නය.
‘මේ ජාතික ආණ්ඩු ගුළිය ගිල්ලොත් මොකද වෙන්නේ?’
ගුළිය ගිල්ලොත් මොකද වෙන්නේ කියලා කියන්න කලින් ගුළිය ගිල්ලන්න හදන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕනෑය.
මේ දවස්වල රනිල් හැම තැනම කියන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුනුත් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදනවා කියලාය. මෛත්‍රිපාලත් කියන්නේ තමන් ජාතික ආණ්ඩුවක් හදනවා කියලාය.
‘රනිල් ඇයි මේ ජාතික ආණ්ඩු කතාවක් හැම තැනම කිය කියා යන්නේ?’
එහෙම අහන කෙනකුට කියන්න තියෙන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න රනිල්ට කොහොමටවත්ම බැරි වීම ඒකට හේතුව බවය. ඉතින් තමන්ට අගමැතිකම ගන්නත්, යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවන්නත් අනෙක් පක්‍ෂවල සහාය ගන්න රනිල්ට අනිවාර්යයෙන්ම සිද්ධ වේ. ඒ වෙනුවෙන් රනිල් ගහන ගැටය වෙන මොකක්වත් නොව මේ ජාතික ආණ්ඩු ගුළියය.
ජාතික ආණ්ඩු ගුළිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගිල්ලලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකුට ඇමැති කටු ටිකක් සූප්පු කරන්න දීලා ඔවුන්ගේ සහයෝගයෙන් තමන් අගමැතිවෙලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන සිහිනය රනිල් මේ දවස්වල දකියි.රාජිත සේනාරත්නට, දුමින්ද දිසානායකට එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනට, එස්.බී. දිසානායකට, ජනක බණ්ඩාරට, එස්.බී. නාවින්නට, පියසේන ගමගේට, විජිතමුණි සොයිසාට, මහින්ද අමරවීරට, පා.ච. රණවකට ඇමැතිකම් දුන්නොත් තමන්ව අගමැති කරන්නත්, යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්නත් මේ අය අත්දෙකයි කකුල් දෙකයි හතරම උස්සන බව රනිල් හොඳටම දනියි. මේ අයගේ සහයෝගයෙන් අද රනිල් අගමැති වෙලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදලා තියෙනවා වාගේ මහ මැතිවරණයෙන් පසුවත් රනිල් අගමැති කරවලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන වැඩපිළිවෙළ දැනටමත් පටන් අරගෙන තිබේ. ජාතික ආණ්ඩු කතාව එළියට එන්නේ එහි ප්‍රතිඵලයක් විදියටය.
මෛත්‍රිපාලගේ සහයෝගයත් මේ ජාතික ආණ්ඩු කතාවට ලැබෙන්නේ ඔහුගේ අරමුණත් රනිල් අගමැති කරවීම නිසාය. මෛත්‍රිපාලට මේ වෙලාවේ ඕනෑ වෙලා තියෙන්නේ මහින්ද අගමැති අපේක්‍ෂකයා වෙන එක වළක්වන්නය. මහින්ද අගමැති අපේක්‍ෂකයා වුණොත් ලොකුම අවාසිය සිද්ධ වෙන්නේ වෙන කාටවත් නොව රනිල්ටය. සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද වේදිකාවට නැග්ගොත් රනිල් අසරණ වේ. මොකද රනිල් මහින්දට අම්බානක බයය. මහින්දට විරුද්ධව ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් නොවුණේ ඒ බය නිසාය. දැන් රනිල් බය වෙලා ඉන්නේ මහින්ද සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා වෙලා එයි කියලාය. එහෙම වුණොත් තමන්ගේ අගමැති සිහිනයත් යූ.ඇන්.පී. ආණ්ඩුවක් හැදීමේ සිහිනයත් බොඳ වෙලා යන බව රනිල් දනියි. රාජපක්‍ෂලා දේශපාලනයෙන් අතුගාලා දානවා කියලා රනිල් මේ දවස්වල බෙරිහන් දෙන්නේ මහින්දට තියෙන බය නිසාය. මහින්දව විනාශ කරන්න රනිල් පාවිච්චි කරන්නේ තමන්ගේ අඹ යාළුවා වන මෛත්‍රිපාලවය.
ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරුන්ගේ සහයෝගය තියෙන්නේ මහින්දට බව දැකපු රනිල් මුලින්ම කළේ ප්‍රාදේශීය සභා හා නගර සභා ටික විසුරුවන්න කියලා මෛත්‍රිපාලට කියපු එකය. මෛත්‍රිපාලත් රනිල්ගේ කීම අහලා ප්‍රාදේශීය සභා හා නගර සභා විසුරුවලා ගමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැති කළේය. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ රනිල්ට අගමැති වෙන්න අවස්ථාව හදලා දෙන්න මෛත්‍රිපාල මහන්සි වෙලා වැඩ කරන්නේ ඔන්න ඔය විදියටය.
ජාතික ආණ්ඩු කතාව රනිල්ව අගමැති කරවන වැඩපිළිවෙළේ එක් අංගයක් වෙන්නේ ඒ අනුවය. මේ ජාතික ආණ්ඩු වැඩේ හරියන්නේ නැති බව තේරුම් ගන්න උදාහරණ ඕනෑ තරම් තිබේ. මෛත්‍රිපාලව දිනවන්න ඔහුත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් එළියට බැස්ස රජීව් විජේසිංහත්, ෆයිසර් මුස්තාපාත් යහපාලන ආණ්ඩුවේ ඔවුන් දැරූ ඇමැති තනතුරුවලින් ඉවත් වුණේ රනිල් එක්ක වැඩ කරන්න බැහැ කියලාය. රනිල් ඒකාධිපතියකු වාගේ වැඩ කරනවා කියලාය.රජීව් හා ෆයිසර් කියන්නේ මහින්දට හිතවත් මන්ත්‍රිවරුන් නොව මෛත්‍රිපාලට හිතවත් මන්ත්‍රිවරුන්ය. මෛත්‍රිපාලව දිනවන්න වැඩ කළ මන්ත්‍රිවරුන්ය. මේ අය පහුගිය දවස්වල තමන් දැරූ ඇමැතිකම්වලින් අස් වෙමින් කිව්වේ අගමැති රනිල් එක්ක එකට වැඩ කරන්න කොහෙත්ම බැහැ කියලාය. සුළුතර ආණ්ඩුවක් තියාගෙන රනිල් රජීව්ලාට, ෆයිසර්ලාට දාපු පාට් ඉවසාගන්න බැරිව ඔවුන් ඇමැතිකම්වලින් අස් වුණා නම් රනිල්ට පාර්ලිමේන්තුවේ හරිහමන් බලයක් ලැබුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයට මොන වාගේ පාට් දායිද කියලා හිතා ගන්නත් බැරිය. ඉතින් රජීව්ට හා ෆයිසර්ට වෙච්ච දේ රනිල් එක්ක ජාතික ආණ්ඩු කෙරුවාව හරි නොයන බවට කදිම සාක්‍ෂියකි. පහුගියදා පවිත්‍රා, ඩිලාන්, සී.බී. හා මහින්ද යාපා ඇමැතිකම්වලින් අස් වුණේ රනිල් එක්ක වැඩ කරන්න බැහැ කියලාය. ඉතින් රනිල් එක්ක ජාතික ආණ්ඩු හදන්න යන අයට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැන් ඇස් පනාපිටම දැකබලා ගන්න පුළුවන්ය.ඉතින් මහ මැතිවරණයෙන් පස්සේ රනිල් එක්ක ජාතික ආණ්ඩු හදන්න කවුරුහරි කතා කරනවා නම් ඒ අයව යවන්න ඕනෑ රත්මලානේ අඳ ගොළු, බිහිරි පාසලටය. දවල් වැටුණු වළේ රෑ වැටෙන්න ඕනෑ නෑ කියලා කියන්නේ කට කහනවට නොවේ.
හැබැයි රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මොන මොන පාට් දැම්මත් මෛත්‍රිපාලට ඕනෑ ජාතික ආණ්ඩුවක් අටවලා රනිල්ව අගමැති කරවලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්නය. ඒ සඳහා බහුතරය හදා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු කුලියට දීමේ වැඩපිළිවෙළක් කියලා මේ ජාතික ආණ්ඩු වැඩපිළිවෙළ හඳුන්වලා දෙන්න පුළුවන්ය.
ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඇත්තටම ආදරේ නම් කරන්න ඕනෑ රනිල්ට අගමැති වෙන්න හා යූ.ඇන්.පී. එකට ආණ්ඩුවක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන් කුලියට දීමේ ජාතික ආණ්ඩු වැඩපිළිවෙළ කානුවට විසි කරලා සන්ධාන ආණ්ඩුවක් හදන්න, සන්ධාන අගමැතිවරයකු හදන්න පෙරමුණ ගන්න එකය.
පහුුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රිපාල ගිහින් රනිල් එක්ක එකතු වුණේ මහින්ද ඔහුට අගමැතිකම දුන්නේ නැති නිසාය. එදා මහින්ද මෛත්‍රිපාලට අගමැතිකම නොදුන්න එක වැරැදි නම් මෛත්‍රිපාල අද මහින්දට අගමැති අපේක්‍ෂකම නොදී ඉන්න එකත් වැරැදිය. මෛත්‍රිපාල අද මහින්දට අගමැති අපේක්‍ෂකකම නොදී ඉන්න එක හරි නම් මහින්ද එදා මෛත්‍රිපාලට අගමැතිකම නොදුන්න එකත් හරිය. බලන් යනකොට මහින්දට බැන බැන මෛත්‍රිපාල කරන්නේත් මහින්ද එදා කරපු දේමය. එදා මහින්ද මෛත්‍රිපාලට අගමැතිකම නොදී මඟ හැරියේය. අද මෛත්‍රිපාල මහින්දට අගමැති අපේක්‍ෂකකම නොදී මඟ හරියි. බලන් යනකොට දෙන්නාම එකය. වෙනසකට තියෙන්නේ මහින්ද මෛත්‍රිපාලට අගමැතිකම නොදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨතමයා වන දි.මු. ජයරත්නට අගමැතිකම දීමත්, මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨතමයා වූ දි.මු. ජයරත්නගෙන් අගමැතිකම ගලවලා එක්සත් ජාතික පක්‍ෂයේ රනිල්ට අගමැතිකම දීමත්ය.
පහුගිය දවසක මෛත්‍රිපාල තවත් ලස්සන කතාවක් කිව්වේය. ඒ තමන් තරම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සේවය කරපු වෙන කවුරුවත් නැහැ කියලාය. ඉන්නවා නම් කියන්න කියලා ඔහු අභියෝගයකුත් කළේය. කතාව ඇත්තය. මෛත්‍රිපාල පහුගිය දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කරපු තරමේ සේවයක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කරලා නැත. ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ පහන් සංවේගය පිණිස මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කළ නොනිමි මෙහෙවරෙන් බිඳක් මෙලෙස සටහන් කිරීමට කැමැත්තෙමි.
1. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් එළියට බැස රනිල් හා එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතු වී විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයාට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම.
2. පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව බිඳ දමා පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති රනිල්ව අගමැති කර යූ.ඇන්.පී. ආණ්ඩුවක් හැදීම.
3. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බලය තිබූ ප්‍රාදේශීය සභා හා නගර සභා විසුරුවා හැර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිම් මට්ටමෙන් අනාථ කිරීම.
4. ඊළඟ මහ මැතිවරණයෙන් පසුව රනිල්ව අගමැති කර යූ.ඇන්.පී. ආණ්ඩුවක් හැදීමට ජාතික ආණ්ඩු යෝජනාවක් ගෙන ඒම.
මේ මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කළ නොනිමි මෙහෙවරෙන් බිඳක් පමණි.
ඉතින් ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් මේ වෙලාවේ තේරුම් ගන්න ඕනෑ ජාතික ආණ්ඩු වැඩපිළිවෙළක් හරහා ඊළඟ මහ මැතිවරණයෙන් පසුව රනිල්ව අගමැති කර යූ.ඇන්.පී. ආණ්ඩුවක් හැදීමට මෛත්‍රිපාලත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිප දෙනකුත් දරන උත්සාහය පරාජය නොකළොත් ඊළඟ අවුරුදු 6 විපක්‍ෂයේ ඉන්න වෙන එක වළක්වන්න බැහැ කියන එකය. මෛත්‍රිපාල මේ වෙලාවේ තේරුම් ගන්න ඕනෑ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම බාර ගත්තා නම් තවදුරටත් රනිල්ගෙ කරේ අත දාගෙන ඉස්සරහට යන්න බැහැ කියන එකය. රනිල් නැතිවම බැරි නම් මෛත්‍රිපාල කරන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකමෙන් අයින් වෙලා ඒක කරන්න පුළුවන් කෙනකුට දීලා යූ.ඇන්.පී. එක දිනවන්න වැඩකරන එකය. එහෙම නොකර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම දරමින් රනිල්ව අගමැති කරන්නත්, යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්නත් දරදිය ඇදීම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට කරන්න පුළුවන් ලොකුම ද්‍රෝහිකමය. මෛත්‍රිපාල මේ ද්‍රෝහිකම කරන එක දැන්වත් නැවැත්තුවේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ ශාපයෙන් ගැළවෙන්න ඔහුට කවදාවත් බැරිවෙන බව නම් සිකුරුය.සඳුන් ජීවන්ත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress