මාසික ප්රගති සමාලෝචන රැස්වීම
Posted on June 4th, 2015

වෛද් රුවන් එම්. ජයතුංග

මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තමා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා අමනාප කරගත් බව විජේවර්ධනට සිතිණි. ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් වලදි සංඛ්‍යාලේඛණ අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ඉදිරියේ ප්‍රශස්ථ ගායනාවක යෙදුන සකළසූරිය ඉදිරිපත් කළ විගඩම් නාටකය තව දුරටත් බලා සිටීමට නොහැකිව ඔහුගේ කටහඞ ප්‍රාණවත් විය. 

මුලින්ම විවාදය ඇති වූයේ විජේවර්ධන හා සකළසූරිය අතරය. කෙමෙන් කෙමෙන් සකළසූරිය දළ බිඳ ගනිත්ම ඔහුගේ සහායට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ඉදිරිපත් විය. ඉන් පසුව මත ගැටුම ඇතිවූයේ මන්ත්‍රීවරයාත් විජේවර්ධනත් අතරය. අනෙකුත් නිළධාරින් මන්ත්‍රීවරයා උදහස් වී ද යන සැකයෙන් තම ටයි පටි වල ගැට ලිහිල්කර ගත්හ. ඇතෙමෙක් යටි සිතින් විජේවර්ධනට සහ මන්ත්‍රීතුමා අතර ලියලන ඝට්ඨනය තමන්ගේ වාසිය සඳහා යොදා ගන්නේ කෙසේදැයි සිතූහ. තවත් සමහරෙක් විජේවර්ධන මෝඩයෙකු බවත් මන්ත්‍රීතුමා කියන සෑම දෙයක්ම හිස නමා පිළිගැනීමෙන් තොරව ඔහු හා වාදයට යාමෙන් විජේවර්ධන කළේ ගලේ හිස ගසා ගත් බවත් තරයේ විශ්වාස කළහ. අතලොස්සක් පමණ වූ කොටසක් පමනක් මෙම ජවනිකාව දෙස බලා සිටියේ විජේවර්ධන කෙරෙහි හට ගත් අභිමානයෙනි. කොන්ද කෙළින් තබාගත් නිළධාරින් තවත් ඇති බවට ඔවුහු ප්‍රත්‍යක්ෂ කළහ. 

නිළධාරින්ගේ බහුතරය මන්ත්‍රීවරයාට සර් කියමින් හිස සහ කඳ පහත් කරමින් කථා කළ නමුදු විජේවර්ධන ඇතුළු නිළධාරි තුන් හතර දෙනෙක් පමණක් ශරීරය සෘජුව තබා ගනිමින් දේශපාලඥයාට මන්ත්‍රීතුමා ලෙස ඇමතූහ. මෙය මන්ත්‍රීවරයාගේ සිත් නොගත්තේය. තවද විජේවර්ධන දුටු මුල් දිනයේම ඔහුගේ සිතට යම් අප්‍රසන්නතාවක් දැනුණු අතර එය කෙලෙස මතුවීද යන්න ඔහු නොදත්තේය. එහෙත් එම අප්‍රසාදය සඳහා දැන් හේතුකාරක ඇති බවට ජනතා නියෝජිතයා විසින් අවබෝධ කරගන්නා ලදී.

“සර් වැඩ සටහන හොඳට කෙරුනා. ඒත් සමහර නිළධාරින් නම්‍යශීලි නැති වීම ටිකක් වැඩකරගෙන යන්න බාධාවක්. ˜ සකළසූරිය විසින් සතියකට පසුව දුරකථනයෙන් තමන්ට පවසන ලද්දේ විජේවර්ධන ගැන බව මන්ත්‍රීවරයාට වැටහිණි. කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමේදී අනවශ්‍ය ප්‍රශ්න​ මතු කිරීම, ඇතැම් විට මුදල් රෙගුලාසි මත ගෙවීම් නොකිරීම නිසා තම හිතවත් ව්‍යාපාරිකයන් නෝක්කාඩු කී අවස්ථා තිබුණි. එසේම ඔවුන් මැතිවරණ සඳහා කරන ලද වියදම් ඇතුළු අනෙකුත් කැපකිරීම් සීමා රහිතය. 

“සකලේ මගෙ මිනිසුන්ට අසාධාරණ වෙන්න ඉඩ තියන්න එපා˜ මන්ත්‍රීතුමා සකලසූරියට කීවේ බංගලාවට ගෙන්වාගෙනය. එය කියන විට මුදල් ගෙවීම පමා වීම නිසා මුහුණ ඇඹුල් කරගෙන සිටි කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු සිටියහ. 

“අපි අපේ දුප්පත් චන්දදායකයන්ට සේවය කරන්න ඕන. මම මේ ගමන යන්නේ දහසකුත් එකක් බාධා මැද . මේ නිළධාරිවාදය අපි හොඳින් හරි නරකින් හරි කඩන්න ඕන.˜ එසේ කියමින් මන්ත්‍රීවරයා තම අතේ තිබුණු බෝතලයෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ වීදුරු පිරවීය. 

” සර් මේකයි ප්‍රශ්නේ. අපේ සමහරු හිතන්නේ තාමත් බලයේ ඉන්නේ පාරාද වෙච්ච පක්ෂය කියලා. මේ මිනිස්සු නිතරම ඔබතුමා විවේචනය කර කර ඉන්නවා මිසක් වැඩක් හරියට කරන්නේ නැහැ.˜ සකළසූරිය බයාදු ලෙස මන්ත්‍රීතුමාගේ මුහුණ බලමින් කීවේය. අනතුරුව තම වීදුරුවේ තිබූ මදුවිත කටට හලා ගත්තේය. 

එකෙනෙහින් ම මන්ත්‍රීවරයාගේ මුහුණේ මතුවූයේ යක්ෂාවේෂ වූ බැල්මකි. 

“මේකලා දන්නේ නැහැ මගේ හැටි. මට බුලට් දෙක තුනයි යන්නේ. මුන්ගේ කුණවත් හොයන්න හම්බවෙන්නේ නැහැ” මන්ත්‍රීවරයා ගෙරවීය. 

මන්ත්‍රීවරයා කෝපවූයේ දැයි සකළසූරියට සිතුණි. වහාම කළ යුත්තේ ඔහුව අස්වැස්ස වීමය. ඉන් පසුව තමාගේ සැලැස්ම ක්‍රියාවට නැංවිය යුතුය. ඒ සඳහා සුදුසු යමක් ඔහුට එකවරම ඔළුවට ආවේ නැත. 

“සර් මේකයි වැඩේ. අපි කලබල නොවී මේ කට්ටිය ගැන ඇහැ ගහගෙන ඉමු. මේ අය බෝධිසත්වයින් නෙවෙයිනේ. මගෙත් මිනිසුන් ඉන්නවා. මොකක් හරි වැරුද්දක් අහුවෙච්ච හැටියේම වැඩේ දෙමු නැගිටින්න බැරි වෙන්න.˜ සකළසූරිය කීවේ සූක්ෂ්ම දඩයක්කාරයෙකුගේ විලාසයෙනි. 

කාර්‍ය්‍යාලයේ තමා බලවත් වූවද විජේවර්ධන ඇතුළු කිහිපදෙනෙකු තමා නොතකා ක්‍රියා කිරීම පිළිබඳව සකලසූරියට ඇති වූයේ කෝපයකි. ඒ හැර තමාට නිතරම කේලාම් සපයන පිටකන්ද හා සැමුවෙල් යන දෙදෙනා ඉදිරියේ විජේවර්ධන තමන්ව හෑල්ලූකොට මන්ත්‍රීගේ පන්දමා ලෙස හැඳින්වීම නිසා විජේවර්ධනට වැඩක් දියයුතු බව නොයෙක්වර හැගී තිබුණි. විජේවර්ධන මන්ත්‍රීතුමා සමග පැටලීම වනාහී දෙවියන් විසින් තමා වෙත එවන ලද ත්‍යාගයකි. එබැවින් අව්ව වේලෙන්නට පෙර පිදුරු ටික වේලා ගත යුතුය. 

විජේවර්ධන විශ්ව විද්‍යාලයයේ සකළසූරියට වඩා වසර දෙකකින් පමණ කනිෂ්ඨය. විජේවර්ධන විශ්ව විද්‍යාලයේදී නිහඩ චරිතයක් විය. ඔහු නොකඩවාම දේශණ වලට ගිය අතර හොඳින් ඉගෙනීමේ කටයුතු කළේය. එහෙත් සකළසූරිය ඊට ප්‍රතිවිරුද්ධ චරිතයක් වූ අතර විශ්වවිද්‍යාලයයේ දී ශිෂ්‍ය අරගල වලදී නායකත්වය ගත්තේය. ඉගෙනීමේ කටයුතු වලට වඩා ශිෂ්‍ය අරගලයන්ට ඔහු සිසුන්ව යොමු කළේය. එසේම තම ජනප්‍රියතාව උපයෝගි කරගෙන ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂයක අනුග්‍රහයද ලබා ගැනීමට සමත් විය. ඒ නිසා ඔහුට තම වෘත්තීයේ ඉහලට නැගීමට හැකි වූයේ අන්‍යයන්වද පහලට හෙළමිනි. 

පැවැත්ම සඳහා ජීවියා පරිසරයට අනුකූලව හැසිරිය යුතුයි. මෙම ශුද්ධ  නීතිය කඩකරන්නන් ඉබේම වඳ වී යනු ඇත යන්න සකළසූරිය ඇදහුවා පමණක් නොව  ඒ අනුව තම වෘත්තීය ජීවිතයද ගොඩගා ගත්තේය. සකළසූරියගේ හැඳින්වීම අනුව විජේවර්ධන   අයත් වන්නේ ඩයිනෝසරයන්ගේ යුගයටය. එහෙත් කාර්‍ය්‍යාලයයේදී විජේවර්ධනට සුවිශේෂී ගරුත්වයක් ඇති බවත් එවැනි ගෞරවයක් තමන්ට නැති බවත් ඔහු පසක් කළේය. විජේවර්ධනව දුෂ්කර ප්‍රදේශයකට මාරු කළ හැකිනම් සටනින් අඩක් දිනාගත හැකි බව සකළසූරියට වැටහිණි. 

මන්ත්‍රීවරයා උදහස් වීම ගැන විජේවර්ධන තුළ ඇති කළේ මිශ්‍ර හැගීම්ය. මන්ත්‍රීවරයා පිස්සු බල්ලෙකු බව ඔහු දැන සිටියේය. අට වැන්නට පමණක් උගත්, බුද්ධිමත් බවක් අසලකින්වත් නොගෑවුණු ජරා ජීර්ණ වූ දේශපාලන මඩ ගොහොරුවේ නිෂ්පාදනයක් වූ මන්ත්‍රීවරයා ඉදිරියේ තව දුරටත් ආත්ම අභිමානය පාවා දීම කළ නොහැකි දෙයකි. උපාධිධාරි නිළධරයන් අඳ බාල දේශපාලඥයා ඉදිරියේ දීන වන අයුරු ඔහු බලා සිටියේ කලකිරීමෙනි. මුලදී කසිප්පු පෙරා, මුදල් හම්බ කළ පසුව මුදලාලි කෙනෙකු බවට පත් වූ මේ මිනිසා කැළැවේ ගස් කැප්පවිය. මුදල් යහමින් විසි කිරීම නිසාත් මැර බලය නිසාත් ඔහුට පාර්ලිමේන්තුව දක්වා යාමට හැකි විය. ප්‍රදේශය සංවර්ධනය කිරීම පිණිස තීරණ ගන්නේ මෙවැනි මිනිසුන් නම් එවැනි රටකට යන කලදසාව කුමක් විය හැකිද යන්න විජේවර්ධනට සිතුන අවස්ථා එමටය. ටයි පැළඳගත් නිළධරයන් පිරිවරාගෙන සුදෝ සුදු කොකෙකු සේ දිස් වන මන්ත්‍රීවරයා හිස් වචන පවසන අතර බණ දේශණාවකට සවන් දෙන්නාක් මෙන් නිළධරයන් එකත්පස්ව ඔහුට සවන් දෙති. සෑම දෙයකටම එහෙයි කියනවා මිස මන්ත්‍රීවරයාගේ මුග්ධ අදහස් වලට අභියෝග කරන්නෙක් නොවීය. 

“මට එක වෙලාවකට හිතෙනවා මේවා ඔක්කෝම දමලා ගහලා පිටරටකට යන්න විමලේ.˜ විජේවර්ධන පැවසුවේ කළකිරීමෙනි. විමලසිරි හා තවත් කිහිපදෙනෙකු හැර තමාගේ හිතේ පවත්නා පීඩනය පැවසීමට කෙනෙකු නැත. සමහරු බලා සිටින්නේ කටින් යමක් වැටෙන තෙක්ය. එය වඩාත් ඔප මට්ටම් කොට සකළසූරියගේ කනේ තැබීමට ඔවුහු නොපැකිල ඉදිරිපත් වෙති.

“ඕවා ගනන් ගන්න එපා. ලංකාවේ කොතනත් මේ ප්‍රශ්ණ තියෙනවා.˜ විමලසිරි අස්වැසුම් බස් කීය. 

“මට දැන් හිතෙනවා ගිය අවුරුද්දේ නිවි සීලන්ඩ් ජොබ් ඔපර් එක ආපු වෙලාවේ ඒක ගත්තේ නැතුව මම කළේ මොඩකමක් කියලා….˜ තමන්ගේ රටට සේවයක් කරන්න ඕන කියලා හිතාගෙන හිටියේ. ඒත් ඒකට සුදුසු වාතාවරණයක් නැත්නම් කරන්න තියෙන හොඳම දේ තමයි වෙන අතක් බලා ගන්න එක.” විජේවර්ධනගේ ස්වරයේ කළකිරීමක් දැක ගත හැකිවිය.

” අපට රට හදන්න බැහැ විජේ. නිළධාරි හැටියට අපට තියෙන්නේ මුං කරන හැම ගොං පාට් එකකටම කරබාගෙන අත්වැල අල්ලන්න. අපි සාධාරණය, අසාධාරණය ගැන කථා කරන්න ගියොත් කියන්නේ අපි විරුද්ධ පාක්ෂිකයන් කියලා. ඒ පක්ෂය බලයට ඇවිල්ලා කරන තෘණ භක්ෂක ක්‍රියාවක් අපි විවේචනය කළොත් ඒ අය ඒට කියයි අපි බී පක්ෂයේ එහෙයියලා කියලා. ඒ නිසා හොඳම දේ තමයි රට යන අතට අපිත් යන එක”

 විමලසිරි පවසන්නේ ප්‍රායෝගිකවාදියෙකු සේය. විමලසිරිගේ කථාවෙන් පසු විජේවර්ධන  ගේ හිතේ පීඩනය මදක් අඩු විය. එහෙත් ඔහු පිළිතුරු වශයෙන් කිසිවක් නොකීවේය. හිස් බැල්මකින් විමලසිරි දෙස බලා සිටියා පමණි‚. 

කාර්‍ය්‍යාලයයේ පවතින්නේ උදාසීන ගතියකි. සකළසූරිය රැස්වීමකට යන බව කියමින් නිළ රථයේ නැගී උදෑසනම පිටවී ගොසිනි. දුරකථනය වරින් වර නාද වේ. ඒ අතර පිටකන්ද විජේවර්ධනගේ කාමරය අසලින් ඒ  මේ අත යන්නේ සවස සකළසූරියගේ තැබීමට සුදුසු යමක් අහුලා ගැනිමටය. 

“සර්, තේ ගෙනාවා.˜ මහළු කාර්යාල සහයකවරයා විජේවර්ධනට තේ කෝප්පය පිළිගන්වමින් කීවේය. මහළු සේවකයා දෙස දයාවෙන් බැලු විජේවර්ධන  ඔහුව ඇමතීය. 

“හබෑටම පීටර් දැන් මෙතන අවුරුදු කීයක් වැඩද?˜ 

මහළු සේවකයා බුලත් කහට බැඳි දත් පෙන්වමින්  මඳ  සිනා පෑවේය. 

“අවුරුදු තිස්පහක් වෙනවා සර්”

 අවුරුදු තිස් පහක් මෙවැනි කාර්යාලයක සිත එකලස්ව තබාගෙන පීටර් වැඩ කිරිමට හැකිවූයේ කෙසේද? සෑම දෙයක්ම උපේක්ෂාවෙන් බැලීමට සමත්වූ නිසාද? පීටර්ගේ සේවා කාලය තුළ මෙම කාර්යාලයට නිළධරයන් සිය ගණන් එනන්ට ඇති. ඇතමෙක් ඛෙලි කැපිළි, පන්දම්, වන්දිභට්ටයන් හමුවේ පළා ගියහ. සමහරු ඊට එදිරිව ගොස් කළු ගලේ ඔළුව ගසා ගත්හ. තවත් සමහරක් කොඳු නාරටි ඉවත් කොට පරිසරයට අනුවර්ථනය වූහ. මේ වර්ග තුනටම අයත් නොවන මේ සේවකයා ගැන විජේවර්ධනට ඇතිවූයේ ගෞරවයකි. ඉහළ අධ්‍යාපනයක් නැතත් පීටර්ගෙන් ඉගෙන ගැනීමට යමක් ඇත්තා සේය. 

“සර් ධනසේන මහත්තයා ඇවිල්ලා එකවුන්ටන් ලඟ කෑගහනවා˜ විජේවර්ධන ගේ කාමරයට කලබලයෙන් පැමිණි මාධවී පැවසුවාය. 

“කවුද ධනසේන කියන්නේ?.  විජේවර්ධන තරුණියන්ගෙන් ඇසුවේ විමතියෙනි. 

“සර් මන්ත්‍රීතුමාගේ සෙකට්‍රි, කන්ට්‍රැක්ටස්ලාට පේමන්ට් කලේ නැහැ කියලා බනිනවා˜ ඇය තැතිගත් ස්වරයෙන් පැවසුවාය. 

විජේවර්ධන පුටුවෙන් නැගිට්ටේ ගණකාධිකාරී වෙන යාමටය. ප්‍රශ්ණයේ කෙළවරක් නැත. එය විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයට එයි. කළ යුත්තේ කුමක්ද? පහරට පහර දීමද, පහර වළක්වා ගැනීමද? නැතහොත් පහර කා බිම ඇද වැටිමද? 

“විමලේ සකළසූරිය උදෙන්ම මාරු උනේ මේක සෙට් කරලද කියලා හිතෙනවා, කවුද මේ ධනසේන කියන හාදය? විජේවර්ධන විමළසිරිගෙන් විමසුවේ තව ස්වල්ප වේලාවකින් තමාට මුහුණ දීමට සිදුවන ප්‍රතිවාදියා කවරෙක්දැයි දැනගැනීමටය. 

“මෑන් රිටායඩ් පොලිස් සාජන්ට් කෙනෙක්. දැන් මන්ත්‍රී සෙකටී්‍ර හැටියට වැඩ කරනවා. මන්ත්‍රීට එන ඉංග්‍රීසි ලියුම් ට්‍රාන්ස්ලේට් කරන්නයි,  ඒවාට උත්තර ලියන්නයි මිනිහව තියාගෙන ඉන්නේ. නොම්බර එකේ බේබද්දා. සමහරු කියනවා මිනිහා තමයි මන්ත්‍රීට පගා එකතු කරන  ඒජන්ට් කියලා. කෝකටත් පරිස්සමෙන් දන්නේ නැද්ද මේ යක්කුංගේ හැටි.? වැඩේ ෂේප් කරලා දාන්න, පැටලෙන්න යන්න එපා.˜ විමලසිරි අවවාදාත්මක විලාශයෙන් පැවසීය. 

විජේවර්ධන ගණකාධිකාරිගේ කාමරයට යන විට එතැන ගාලගෝට්ටියකි. මන්ත්‍රීගේ ලේකම් උස් හඩින් ගණකාධිකාරිට බනිමින් සිටියේය. අසරණ ගණකාධිකාරි තුෂ්නිම්භූතව කිසිවක් කියාගත නොහැකිව තමාට පිහිට වන්නැයි හැගෙන බැල්මකින් විජේවර්ධන දෙස බැලීය. 

“මොකද මිස්ට සිගේරා ප්‍රශ්නේ ? විජේවර්ධන අමුත්තා මගහැර ගණකාධිකාරිගෙන් විචාලේය. 

“සර් මෙතන පේමන්ට් ගෙවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. කන්ට්‍රැක්ටස්ලා එග්රිමන්ට්ස් අනුව වැඩ කරලා නැහැ. අපි පේමන්ට් කළොත් ඔඩිට් ක්වෙරි එකක් එන්න පුළුවන්.˜ ගණකාධිකාරි තැතිගත් ස්වරයෙන්ම පැවසීය. 

“කොන්ත්‍රාත්කාරයෝ එග්‍රිමන්ට් එක උල්ලංඝනය කරලා තියෙනවා නම් කොහොමටවත් ගෙවීම් කරන්න බැහැනේ.˜ විජේවර්ධන ඉංග්‍රීසි භාෂාවෙන් අමුත්තාටත් ඇසෙන සේ ගණකාධිකාරිට කීවේය. 

“මෙතන එග්ග්‍රිමන්ට් උල්ලංඝනය වෙලා නැහැ මිස්ටර්. මම තමයි මන්ත්‍රීතුමාගේ සෙකට්‍රි. කොන්ත්‍රාත්කාරයෝ මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න වියදම් කරනවා.  ඒ අයගේ වැඩ වලට ගෙවීම් කරන්න ඕන. මෙතන යන්නේ වෙන ගේමක්. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීගේ රූකඩ වගයක් ඉන්නවා මේ ඔෆීස් එකේ, අපේ මන්ත්‍රීතුමාගේ වැඩ බකල් කරන්න.  ඒවා කොහෙද අපි ඉන්නකං. මේවා අපේ ගම් පළාත්. අපිට මේ ගැන කැක්කුමක් තියෙනවා. ජරාව දුන්නානම් ඔක්කෝම ගෙවීම් අනුමත කරලා මෙලහකට.˜ අනාරාධිත අමුත්තා අප්‍රසන්න ස්වරයකින් විජේවර්ධන දෙස බලා පැවසීය. 

විජේවර්ධන මොහොතක් ධනසේන හෙවත් මන්ත්‍රීගේ ලේකම් දෙස තියුණු බැල්මක්ම හෙලීය. අභූත චෝදනාව ඔහු තුළ ඇති කළේ කැළඹීමකි. නොදැනුවත්වම ඔහුගේ මිට මෙලවිණි. මේ අවස්ථාවේ තමාට ඇති විකල්ප කවරේද  විජේවර්ධන  පරිඝණකයක් මෙන් දත්ත විශ්ලේෂණය කළේය. වේගවත් පහරක් මන්ත්‍රීගේ ලේකම්ගේ මුහුණට එල්ල කිරීම, අනතුරුව බැහැපිය බල්ලා ඔෆීස් එකෙන් එළියට යැයි කියමින් කමිස කරින් අල්ලා දොට්ට  දැමීමද? මෙය ක්‍රියාත්මක කළ හොත් මොහොතකට තමා වීරයෙකු වනු ඇත. සකළසූරියද බලා සිටින්නේ මෙවැනි අවස්ථාවක් එන තෙක්ය. අනතුරුව මන්ත්‍රී ඇතුළු ඔහුගේ චක්ගෝලයන් අවි අමෝරා එනු නිසැකය. පසුදා පුවත්පත් මෙලෙසම වාර්තා කරනු ඇත.

“මන්ත්‍රීගේ ලේකම්ට පරිපාලන නිළධාරියා පහර දෙයි ” 

ඉන් පසු විනය පරීක්ෂණ ඇතුළු දහසකුත් ක්‍රියාමාර්ග. දෙවැනි විකල්පය කුමක්ද? ධනසේනට තමාගේ කණගාටුව ප්‍රකාශකොට ඔහු ඉදිරියේ සිගේරාට මඳක් දෝෂාරෝපණය කරමින් ගෙවීම් කරන ලෙස බලපෑම් කිරීම. විගණන පරීක්ෂණ වලදී උත්තර දිය යුත්තේ ගණකාධිකාරිය. එහෙත් ස්වං දෝෂාරෝපණයක් සිත පුරාම ජනිත වී ඇති හෙයින් දෙවැනි විකල්පය කෙරෙහි සිත යොමු නොවීය. 

මා කළ යුත්තේ කුමක්ද? වහාම කාර්යාලයට ගොස් අස්වීමේ ලිපිය ලියා ගෙදර යාමද? එමගින් තමා පරාජිතයෙකු වන බව විජේවර්ධනට හැගුනේය. එසේනම් මෙම අවස්ථාවේදී ගතයුතු පියවර කුමක්ද? එසමගින්ම මහළු පීටර්ගේ රුව ඔහුගේ සිතේ ඇදිණි. ඔව් මේ අවස්ථාවේදී උපේක්ෂාව හැර අන් විකල්පයක් නැත. 

“මේ මහත්තයා,  විජේවර්ධන සන්සුන් ස්වරයෙන් මන්ත්‍රීගේ ලේකම් ඇමතීය. අපට ප්‍රශ්නේ තේරෙනවා. අපි පේමන්ට් එක කොහොම හරි කරමු. මේ කොන්ත්‍රාත්කාරයින්ට කියන්න ඇවිල්ලා මාව හම්බවෙන්න කියලා. එග්ග්‍රිමන්ට් එකේ අඩුපාඩු බලලා රජයටත් පාඩු නොවෙන්න ඒ අයටත් පාඩු නොවෙන්න ක්‍රියාමාර්ගයක් ගමු. සාකච්ඡාවෙන් විසඳාගන්න බැරි ප්‍රශ්නයක් නැහැනේ. 

විජේවර්ධනගේ ප්‍රකාශයත් සමග අමුත්තා ගේ මුහුණේ ස්වරූපය වෙනස් විය. 

“නෑ, සර්, දන්නැද්ද මේ කන්ට්‍රැක්ටස්ලා උදේ හවස ඇවිල්ලා මන්ත්‍රීතුමාට කරදර කරනවා ඉතුරු වැඩ කරගෙන යන්න සල්ලි නැහැ කියලා. ඉතිං   ඒ  මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි “

“අපි මොනවා හරි කරන්න බලමු. ˜ අනිවාර්‍ය්‍යයෙන්ම අපි බලමු මොනවා හරි කරන්න. නීති උල්ලංඝනය කරන්නේ නැතුව යමක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.විජේවර්ධන පැවසුවේ මේ ප්‍රශ්නයට මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය නොකොට ගත හැකි ක්‍රියාමාර්ගයක් අවංකවම ගතයුතු යයි සිතමිනි. 

“සර්ට තරහා ගියාද දන්නේ නැහැ. මම ටිකක් හයියෙන් කථා කළාට. දන්නැද්ද මම හිටපු පොලිස්කාරයෙක්නේ.˜ අමුත්තා තම කණගාටුව ප්‍රකාශ කළේය. 

“ඕවා සුළු දේවල් මිස්ටර් ධනසේන˜ මෙවර විජේවර්ධන අමුත්තාට ඔහුගේ නමින්ම ආමන්ත්‍රණය කළේය. 

“යං මගේ ඔෆීස් එකට, අපි තේ එකක් බීලා කථා කරමු”

 කාර්යාලයයේ සියළුම දෙනා තුෂ්නිම්භූතව බලා සිටිති. ඇවිලීමට ගිය යුද්ධයක් කිසිදු වෙඩිල්ලක් පත්තු නොකරම නිමා වූවා සේය. ඇතමෙක් සැනසිලි සුසුම් හෙලුහ. තවත් සමහරෙක් යුද්ධයක් සිදු නොවිම නිසා අපේක්ෂාභංගත්වයට පත්වූහ. සකළසූරියගේ ගිරා පෝතකයන් වල්මත් වූවා සේය. 

මහළු සේවකයා නිහඩව කොරිඩෝවේ මකුළුදැල් කඩමින් සිටියි. අමුත්තා සමග තම කාමරය වෙත යමින් සිටි විජේවර්ධන මහළු සේවකයා ඇමතීය. 

“පීටර් අපි තව තේ එකක් බොමුද? හොඳට කිරි දාලා මේ මහත්තයාටයි මටයි තේ දෙකක් ගේන්න “

“පීටර් හදන තේ බිව්වම දවල්ට නොකා උනත් ඉන්න පුළුවන්˜ මහළු සේවකයා විජේවර්ධනගේ නියෝගය සහ ප්‍රශංසාව භාර ගත්තේ බුලත් කහට බැඳුණු දත් පෙන්වන මද සිනහවෙනි. 

“පීටර්, පීටර්˜ ධනසේන සමග තමන්ගේ කාමරයට යමින් විජේවර්ධන තොල් මතුලේ. මහා පීටර් රජතුමාටත් වඩා ශ්‍රේෂ්ඨයි. ලබන මාසේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට පීටර්වත් ගෙනියන්න පුළුවන් උනොත් මන්ත්‍රීට මුහුණ දෙන හැටිත් ඉගෙන ගන්න පුළුවන්, ඔහු සිතුවේය. පසුගිය ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසු මේ දක්වා තමන් තුල වර්ධනයව පැවති පීඩනය සහ අසහනකාරී ගතිය ක්‍රමයෙන් අඩුවී යන බවක් විජේවර්ධනට දැනුණි. මොහොතකට පෙර තමාව ප්‍රකෝප කළ අමුත්තා නෙරෙහි විජේවර්ධන තුල දැන් ඇත්තේ උපේක්ෂා සහගත හැගීමකි. තම රාජකාරි අසුනේ සෘජුව ඉඳගත් විජේවර්ධන අමුත්තාටද අසුන්ගන්නා ලෙස කාරුණිකව ආරාධනා කළේය. 

වෛද් රුවන් එම්. ජයතුංග

One Response to “මාසික ප්රගති සමාලෝචන රැස්වීම”

  1. SenaD Says:

    Dr RMJ,
    I hope you would consider publishing a book incorporating your short stories and essays as they are replete with insightful commentary.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress