අත කැඩුණොත්… “සබ්බේ සංඛාරා අනිච්චා”
Posted on June 8th, 2015

සඳුන් ජීවන්ත  මව්බිම

සියලු සංස්කාර ධර්ම නැසෙනසුලුය. ගෞතම බුදුන් දේශනා කළේ එහෙමය. සදාකාලිකව නොනැසී පවතින කිසිම දෙයක් මේ විශ්වයේ නැත. ලෝක ධර්මතාව ඒක නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් ඒ ධර්මතාවෙන් ගැලවිලා ඉන්න බැරිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් කවදා හරි දවසක සබ්බේ සංඛාරා අනිච්චා කියන බුදු වදනට අනුගත වෙන්න සිද්ධවෙන එක කාටවත් වළක්වන්න බැරිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ සිද්ධ වෙමින් තියෙන්නේ ඒ විනාශයද කියලා හිතෙන්නේ යූ.ඇන්.පී. ආණ්ඩුවත්, එහි අගමැති රනිල් වික්‍රමසිංහත් ආරක්ෂා කරන්න මෛත්‍රිපාල මහන්සි වෙන තරම දැක්කාමය.
ඇත්තම කිව්වොත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව භාරගෙන තියෙන්නේ රනිල් වික්‍රමසිංහය. රනිල් එහි උප කොන්ත්‍රාත්කරු ලෙස බඳවාගෙන තියෙන්නේ මෛත්‍රිපාලය. ඒ අනුව මේ දවස්වල මෛත්‍රිපාල යස අගේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ උප කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටියි. එහි පළමු හා ප්‍රධානම පියවර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනප්‍රියම නායකයා වන මහින්ද රාජපක්ෂව දේශපාලනයෙන් අතුගාලා දැමීමය. මහින්දව එහෙම අතුගාලා දාලා තමන්ගේ අඹ යාළුවා වන රනිල්ට ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ අගමැති වෙන්න පාර කපලා දීමය.
මහින්දට අගමැති අපේක්ෂකකම නොදෙන්න මෛත්‍රිපාල පහුගිය දවස්වල අපූරු හේතුවක් හොයාගෙන තිබුණේය. ඒ මහින්ද අගමැති වුණොත් තමන්ව මරලා ජනාධිපති වෙයි කියන එකය. මෛත්‍රිපාල සන්ධාන මන්ත්‍රිවරුන්ට කියලා තිබුණේ මහින්ද අගමැති වුණොත් මහින්දට ජනාධිපති වෙන්න තියෙන්නේ බුලට් එකක දුර කියලාය. මෛත්‍රිපාල කියන විදියට ඔහුට අද තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුවෙලා තිබේ. මෛත්‍රිපාල මේ නොකියා කියන්නේ තමන්ට රටේ ආරක්ෂාව තියා අඩුම තරමේ තමන්ගේ ආරක්ෂාවවත් සලසා ගන්න බැහැ කියලාය. රටේ ජනාධිපතිට තමන්ගේ ආරක්ෂාවවත් සලසා ගන්න බැරි නම් ඒ ජනාධිපති ජනතාවට ආරක්ෂාව සලසන්නේ කොහොමද කියලා කවුරුහරි ඇහුවොත් මෛත්‍රිපාලට දෙන්න උත්තරයක් තියෙනවාද කියලා අප නම් දන්නේ නැත. රටේ ආරක්ෂාව තියා තමන්ගේ ආරක්ෂාවවත් සලසා ගන්න ජනාධිපතිට බැරි වෙන තරමට ආරක්ෂක තත්ත්වය පිරිහී යද්දී, උතුරේ හා නැඟෙනහිර කොටි සෙවණැලි හොල්මන් කරද්දී දේශපාලන තිරය පිටුපස අලුත්ම ආරංචිය මහින්ද ඊළඟ මහ මැතිවරණයට තරග කරන එක සියයට සියයක්ම ෂුවර් කියන එකය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොලැබුණොත් මහින්ද පොදු ජන එක්සත් පෙරමුණෙන් හරි වෙනත් දේශපාලන සන්ධානයකින් හරි මහ මැතිවරණයට තරග කරන එක දැන් කාටවත් නතර කරන්න බැරිය.
“මහින්ද වෙනම ඉල්ලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදෙනවා නේද?”
කවුරු හරි එහෙම අහන්න පුළුවන්ය. එහෙම අහන කෙනකුට මුලින්ම කියන්න තියෙන්නේ 1988න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කවදාවත් තනියෙන් ඡන්දය ඉල්ලලා නැහැ කියලාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අන්තිම වතාවට තමන්ගේ පක්‍ෂ ලාංඡනය වූ අතෙන් ඡන්දය ඉල්ලුවේ 1988 මහ මැතිවරණයේදීය. මේ යන්නේ 2015 අවුරුද්දය. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවුරුදු 27කින් තමන්ගේ පක්‍ෂ ලාංඡනය වන අත ලකුණෙන් ඡන්දය ඉල්ලලා නැත. ඇත්තම කිව්වොත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට දැන් තමන්ගේ පක්‍ෂයේ ලකුණ මොකද්ද කියලාවත් මතක නැත. 94දී චන්ද්‍රිකා බලයට ආවේ පුටුව ලකුණ යටතේ පොදු ජන එක්සත් පෙරමුණෙන් ඡන්දය ඉල්ලලාය. දාහත් අවුරුදු එක්සත් ජාතික පක්‍ෂය පාලනය පෙරළුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අත ලකුණෙන් ඉල්ලලා නොව පොදු ජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණෙන් ඉල්ලලාය. අත නැති වුණා කියලා එදා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට කිසිම අවුලක් තිබුණේ නැත. එදා හැමෝම එකතු වුණේ චන්ද්‍රිකා වටේය. අත පැත්තකට දාලා පුටුවෙන් ඉල්ලපු චන්ද්‍රිකා 62%ක ඡන්ද ප්‍රතිශතයක් අරන් විධායක ජනාධිපති පුටුවේ වාඩි වුණාය. 99දී දෙවැනි පාරටත් චන්ද්‍රිකා ජනාධිපති වුණේ පුටුවෙන් ඉල්ලාය.
බුලත් කොළය එන්නේ 2004දීය. 1994 ඉඳන් 2004 දක්වා අවුරුදු 10ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ජයග්‍රහණය ගෙනාවේ අත නොව පුටුවය. 2004දී බුලත් කොළය ආවාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ පුටුව අමතක කර බුලත් කොළය වටා එකතු වූහ. 2004න් පස්සේ තිබ්බ හැම ඡන්දයකදීම බුලත් කොළය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට පක්‍ෂයේ නම හෝ ලාංඡනය එච්චර වැදගත් නැහැ කියන එක හොඳින්ම ඔප්පු කරමිනි. එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට අලියා ඕනෑ වුණාට ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් එකම ලකුණකට කොටුවෙලා ඉඳලා නැත. ඔවුහු 1994 සිට 2004 දක්වා අත අමතක කර පුටුව ළං කර ගත්හ. 2004 සිට 2014 දක්වා පුටුව අමතක කර බුලත් කොළය ළං කර ගත්හ. එහෙම බලනකොට පේන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්් අවුරුදු 10කට වරක් ඔවුන්ගේ ලකුණ මාරු කරන බවය. එතකොට 2015 කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් ලකුණ මාරු කරන්න ඕන අවුරුද්දය.
“1994 ඉඳන් අවුරුදු 10ක් ගියාම 2004දී පුටුව වෙනුවට බුලත් කොළය ආවා වගේ 2004 ඉඳන් අවුරුදු 10ක් ගියාම 2015දී බුලත් කොළය වෙනුවට වෙන ලකුණක් එයිද?”
පේන්න තියෙන විදියට නම් 2015 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට එකතු වෙන්න සිද්ධ වෙන්නේ බුලත් කොළය වටා නොව වෙනත් ලකුණක් වටාය. ඒක සමහර විට පුටුව වෙන්න පුළුවන්ය. එහෙම නැත්නම් වෙනත් අලුත්ම ලකුණක් වෙන්න පුළුවන්ය.
පොදු ජන එක්සත් පෙරමුණේ නායකයා වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්‍ෂය. ලේකම් හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්නය. ඉතින් මහින්දට පොදු ජන එක්සත් පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන එක සුළු දෙයකි.
94දී දාහත් අවුරුදු යූ. ඇන්. පී. ආණ්ඩුව ගෙදර යැව්වේ චන්ද්‍රිකා පොදු ජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වෙලාය. මෙදා 2015දී මේ සුළුතර යූ. ඇන්. පී. ආණ්ඩුව ගෙදර යවන්න මහින්ද පුටුවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වෙනතුරු ගම්වල ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ මඟ බලාගෙන සිටිති.
අද ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගෙන් 95%ක්ම ඉන්නේ මහින්ද එක්කය. ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රිවරුන්ගෙන් 90%ක්ම ඉන්නේ මහින්ද එක්කය. පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන් 90%ක්ම ඉන්නේ මහින්ද එක්කය.

මේ අයට මෛත්‍රිපාලව කොච්චර එපා වෙලාද කියනවා නම් මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයෙන් පන්නා දැමීමේ යෝජනාවක් පහුගිය සතියේ පැවැති ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සමුළුවේදී සම්මත විය. බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒ දිස්ත්‍රික් සමුළුවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන් 90%ක්ම සහභාගි වී සිටියහ. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සන්ධානයේ ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරුන් 234 දෙනාගෙන් 178 දෙනෙක්ම සහභාගි වී සිටියහ. මේ සියලු දෙනාම අත් දෙකම උස්සා එක හ¾ඩින් කියා සිටියේ මෛත්‍රිපාලව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ කියලාය. මහ පොළොවේ යථාර්ථය ඔන්න ඕකය. ඔය තත්ත්වය තේරුම් ගන්නේ නැතිව දේශපාලනය කිරීම අමු විහිළුවකි.
කොහොම වුණත් දැන් තියෙන තත්ත්වය අනුව ඊළඟ මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අති බහුතරයකගේ සහයෝගය ඇතිව මහින්ද පොදු ජන එක්සත් පෙරමුණෙන් හෝ වෙනත් දේශපාලන පක්‍ෂයකින් තරග වදිනු ඇත. මහින්ද සමඟ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, සමසමාජ පක්‍ෂය, පිවිතුරු හෙළ උරුමය ආදී දේශපාලන පක්‍ෂ ගණනාවක් එකතුවීමට නියමිතය. එහෙම වුණොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය අලියා ගිල්ල දිවුල් ගෙඩිය වාගේ වනු ඇත. රනිල්ව අගමැති කරන්න සහාය දෙන යූ.ඇන්.පී. හිතවාදී දේශපාලන කණ්ඩායමක් ලෙස මෛත්‍රිපාලගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යම් පිරිසක් බුලත් කොළයෙන් තරග කරනු ඇත.
එහෙම වුණොත් 1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුන්වැනි තැනට ඇද වැටුණා වාගේ 2015 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුන්වැනි තැනට ඇදවැටෙනු නියතය. මොකද මෛත්‍රිපාල ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකට නොව විසිදෙකට කැඩී ගියත් කමක් නැහැ මහින්ද එන්නේ නැත්නම් කියන මතයේය. හැබැයි මෛත්‍රිපාල තේරුම් ගන්න ඕනෑ වැදගත්ම දේ වන්නේ තමන්ව එපා කියලා ඡන්දය දුන් ලක්‍ෂ පනස් අටේ නායකයා වෙන්න උත්සාහ කිරීම හිල් කූඩෙන් වතුර අදිනවා වාගේ වැඩක් බවය.
ඊළඟ මහ මැතිවරණයේදී මෛත්‍රිපාලගේ නායකත්වයෙන් තරග කරලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුන්වැනි තැනට ඇද වැටුණාම මෛත්‍රිපාලට පක්‍ෂ නායකත්වය අනිවාර්යයෙන්ම මහින්දට භාරදෙන්න සිද්ධ වේ. ඒ නිසා මහින්ද මොකෙන් ඉල්ලුවත් මහින්ද වටා එකතු වෙන්න ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් කිසිම සැක සංකාවක් තියාගන්න ඕනෑ නැත. මෛත්‍රිපාල හංසයාගෙන් ඉල්ලලා දිනලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ගත්තා නම් මහින්දට පුටුවෙන් ඉල්ලලා දිනලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය ගන්න බැරිකමක් නැත. ඉතින් රනිල් හා යූ.ඇන්.පී. ආණ්ඩුව පන්නන්න නම් මේ වෙලාවේ කරන්න ඕනෑ මහින්දව ශක්තිමත් කරන එකය. මහින්ද ඉල්ලන පක්‍ෂයත් එක්ක එකතුවෙලා මහින්දව දිනුම් කණුව වෙත අරන් යන එකය. මහින්ද දින්නාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය අරන් රනිල්ට කඩේ යන කුම්භාණ්ඩයන් ටික ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් එළවලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කෙළින් කරන්න පුළුවන්ය.
ඇත්තම කිව්වොත් මේ උදාවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ක්ලීන් කරන්න ඕනෑ අවස්ථාවකි. ඉතින් ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් හරියට එකතු වෙලා මහින්දව දිනෙව්වොත් යූ.ඇන්.පී. එකට ආණ්ඩුවක් හදලා දීලා රනිල්ට අගමැතිකම අරන් දීලා රනිල්ගෙන් ඇමැති කටු ටිකක් අරන් සූප්පු කරන්න ආශාවෙන් ඉන්න සෙට් එක ගෙදර යවන්න පුළුවන්ය. රනිල්ව අගමැති කරලා රනිල්ගෙන් යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් අරන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, පාක්‍ෂිකයනුත් පාවා දුන් අයව දේශපාලනයෙන් විශ්‍රාම යවන්න පුළුවන්ය. අප්පච්චි මළා කියලා මහින්දව පණපිටින් වළලන්න හැදූ අයව දේශපාලන කනත්තට යවන්න පුළුවන්ය.

සඳුන් ජීවන්ත

3 Responses to “අත කැඩුණොත්… “සබ්බේ සංඛාරා අනිච්චා””

  1. Kumari Says:

    Thanks for this. It is now time for MR to form a coalition and get ready for elections. We need to keep the country together.

    Somebody must keep a close tab on the electoral lists as they could be stuffed with bogus names and ID cards. This lot is capable of lot of underhand work.

  2. Christie Says:

    Namaste: Our objective should be to unite the Sinhalese and fight Indian Imperialism and Colonialism. Indian Epire is the problem, not only for us but for a lot of people in the former British-Indian Empire.

  3. Independent Says:

    මහින්ද වෙනම පක්‍ෂයක් හදන්නේ නැතිව ශ්‍රි ල නි ප යේම එල්ලී සිටින්නේ ඇයි ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress