සංකේතය
Posted on June 23rd, 2015

පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග

සේලයින් බෝතලයක් අතින් ගත් හෙදිය එය මහත කම්බියක් බඳු වූ  යකඩ ධාරකයේ වූ කොක්කක එල්ලුවාය​. ඉන්පසු සේලයින් බටය අතැතිව වින්සන්ට් ලංකාතිලක ගේ අතේ මැණික්කටුවේ ශිරාවක් පාදා ගැනීමේ උත්සහයක නියැළුනාය​. කිහිප වරක් වින්සන්ට් ලංකාතිලකගේ මැණික්කටුවට දකුණු අතේ ඇඟිලි වලින් සෙමෙන් පහරදී ශිරාවක් පාදා ගැනීමේ අසාර්ථක උත්සහයක යෙදුණු හෙදිය වෛද්‍යවරයා ඇමතුවාය​.

 ඩොක්ටර් වේන්ස් ඔක්කොම ඇකිළිලා වගේ , වේන් එකක් හොයා ගන්න අමාරුයි”

මට කැනියුලා එකක් දෙන්න වෛද්‍යවරයා සහායක හෙදියකට කීවේය​. සහායක හෙදිය කැනියුලාවක් ගෙන එනු පිණිස මඳක් ඈතින් තිබූ යකඩ තට්ටුවක් කරා ගියාය​.

                          ***********************************************************************

අවන්හල පාළුය​. ඇමතිවරයා සහ ගෝලයන් ද පිටත්ව ගොසිනි.  බාර්මන් සහ වින්සන්ට් ලංකාතිලක හැරුණු කොට  වෙන කිසිවෙකු අවන්හලේ දක්නට නොමැත​. දැන් වේලාව පස්වරු එක පසුවී විනාඩි විසි හයකි. දාලියාට දුරකථන ඇමතුමක් දීමට වින්සන්ට් ලංකාතිලකට අවශ්‍ය වී ඇත​. දැන් ටෙල් අවිව් හි වේලාව රාත්‍රී නවය හමාරට ආසන්නය​. මේ වෙලාවේ දාලියා නිවසේ සිටීද ?

අද සවස වින්සන්ට් ලංකාතිලක  පැරිස් නගරය බලා පියාසර කරනු ඇත​.  ඔහුගේ ගුවන් යානය ඇත්තේ සවස හතයි දහයටය​. එතෙක් පැය කිහිපයක් නිදා ගැනීමේ අවශ්‍යාතාවක් ඔහුට ඇති විය​.  නිව් යෝර්ක් කෙනඩි ගුවන් තොටුපලට යාමට ලෙමොසීන් රථයක් පිළියෙල කිරීමට විධාන කල ඔහු විවේක ගැනීම සඳහා තම කාමරය වෙත ගියේය​. 

හෝටලයේ කාමරයට ගොස් කිහිප විටක්ම දාලියාට දුරකථන ඇමතුම් දුන් නමුත් දාලියා ගෙදර නොසිටියාය​. අවසානයේදී උත්සහය අත් හල වින්සන්ට් ඇඳේ වැතිර දෑස් පියාගත්තේය​. නිමේශයක් තුලදී  ඔහු සිහිනයක් දිටීය​.

කරුනානායක සේතන් සමග කථා කරමින් සිටියේය​. සේතන් ඔහුගේ මාමා කෙනෙකි. සේතන් ඉරිගේෂන් කන්තෝරුවට පැමිණීනිම ගැන කරුනානායක සිටියේ අසතුටින් බව පෙනේ. අලව්වේ සිට පැමිණි  සේතන් මාමා නොකඩවා කථා කරයි. ඒ අතරවාරයේ ඔහුගේ කාර්‍යාලයේ වූ අනෙකුත් ඉංජිනේරුවන් සේතන් මාමාගේ කථාවට සවන් දෙයි දැයි කරුණානායක නොසන්සුන් වෙයි.

 ” ඉතින් මාමේ හවස් වෙන්න කලින්  ගියොත් නේද හොඳ ” කරුණානායක සේතන් මාමා පිටත් කිරීමට මාන බලයි. ”  අලව්වට යන්නත් එපැයි”

සේතන් මාමාට යාමක් ගැන නිනව්වක් නොමැත​.

“පුතේ උඹ ගම් පලාතේ කාලෙකින් ආවෙත් නැහැ උඹලගෙ අම්මා උඹව නොවිඳින දුක් විඳලා තමයි විස්ස විජාලෙ යැව්වේ. ඉඳහිට හරි ඇවිත් ඒ නාකි ගෑණිගේ මූණ බලලා පලයන් පුතේ”

අලව්වේ ගමේ ඉස්කෝලේ ඉගෙනගත් කරුණානායක ශිෂ්‍යත්වය සමත් වී මධ්‍යා මහා විද්‍යාලයයේ ඉගෙනුම සඳහා එයි. එහිදී හොඳින් ඉගෙනීමේ කටයුතු කළ කරුණානායක පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයට තේරේ. විශ්ව විද්‍යාලයේ අධ්‍යනය ද නිම කල ලැබූ ඔහු දැන් වාරිමාර්ග ඉංජිනේරුවරයෙකි.

ඔහු හමුවේ දැන් බැරෑරුම් ප්‍රශ්නයක් තිබේ. තමන් ගේ අතීතය ඔහු පසුපස හඹා එයි. සේතන් මාමා අතීතයට අයත් වූ සංකේතයකි. මේ සංකේත බැහැර කරන්නේ කෙසේද යන්න ඔහු බරපතල  ලෙස සිතයි. උසස් මධ්‍යම පන්තික සිහිනයක් දකින කරුණානායක පැරණි සංකේත,  සිහිනය කරා යාමට ඇති මාර්ගය අවහිර කරන මාර්ග බාධක ලෙස දකියි.

“සේතන් මාමා දැන් යන්න” ඔහු නිර්ධය ලෙස කියයි. පසුම්බියෙන් නෝට්ටු කීපයක් ගන්නා ඔහු මහළු ගැමියා අත තබයි.

සිහිනය අතරමග දී යම් අයෙකු දොරට තට්ටු කලේය​. වින්සන්ට් ලංකාතිලක  දෑස් ඇරියේය​. ජේ.එෆ්.කේ ගුවන් තොටුපළට යාමට ලෙමොසීන් රථයේ රියදුරා පැමිණ සිටියි.

වින්සන්ට් ලංකාතිලක  හැකි ඉක්මනින් ඇඳ පැලඳ ගත්තේය​. ඔහු අත තිබුනේ කුඩා ඇඳුම් බෑගයක් පමණි. ඔහු එය රියදුරා අතට දුන්නේය​. හෝටලයේ කාමරය භාර දීමට ඔහුට තව අඩ පැයක් ගත විය​. ඉන්පසු  ඔවුන් ඉක්මනින් ගුවන් තොට බලා ගියහ​.

නිව් යෝර්ක් නගරයේ ක්වීන්ස් කෝරළයේ  ජමෙයිකානු බොක්කේ පිහිටා තිබෙන . ජේ.එෆ්.කේ ගුවන් තොටුපළට යාමට රියදුරාට ගත වූයේ විනාඩි තිස් පහක පමණ කාලයකි. ටර්මිනල් අංක එකේ දී ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලියකියවිළි  පරික්‍ෂාවට සහ ගමන් බෑගය පරික්‍ෂා කොට භාර ගැනීම සඳහා ජේ.එෆ්.කේ  බලධාරීන්ට සහ  එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවාවේ කාර්‍ය මණ්ඩලයට තවත් පැය එකහමාරක පමණ කාලයක් ගත විය​. මේ කාලය තුලදී වින්සන්ට් ලංකාතිලක  තරමක් නොසන්සුන් වූවද ගුවන් යානාවට ගොඩවූ වහාම ඔහු දිගු හුස්මක් ගත්තේය​.

එයාර් ෆ්‍රාන්ස්  අංක -9 දරණ බෝයිං 777-200 ගුවන් යානය තව විනාඩි හතලිස් හයක්  ඇතුලත  නිව් යෝර්ක් හි ජෝන් එෆ්  කෙනඩි ගුවන් තොටුපලේ සිට උතුරු අත්ලාන්තික් සාගරය හරහා  ප්‍රන්සයේ චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළ බලා පියාසර කිරීම අරඹනු ඇත​.  ගුවන් ගමන සඳහා ගතවන කාලය පැය හයයි විනාඩි හතලිහකි. වින්සන්ට් ලංකාතිලක  ගුවන් යානයේ සේවිකාවක් අමතා සිසිල් කල ලොරීනා වීදුරුවක් ගෙන එන ලෙස ඉල්ලා සිටියේය​. ලොරීනා වීදුරුව පානය කල වහාම යළි ඔහුට තද නිදිමතක් ඇති විය​.

රාත්‍රී ආහාරයද ප්‍රතික්‍ෂේප  කල වින්සන්ට් මුළු ගුවන් ගමනාගමන කාලය පුරා නිදාගත්තේය​. යළි ඔහු අවදි වූයේ ගුවන් යානය ප්‍රන්සයේ  චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළට ගොඩ බාන බවට කල නිවේදනයත් සමගය​.

පැරිස් වේලාව උදෑසන අට පසුවී විනාඩි හතරකි. විනාඩි දොලහක් ඇතුලත ගුවන් යානය ගොඩබාන ලදින් අවශේෂ මගීහු ගුවන් යානාවෙන් පිට වීම සඳහා තමන් ගේ මළු සූදානම් කර ගත්හ​. නමුත් වින්සන්ට් ලංකාතිලක කිසිදු කලබලයක් නොපෙන්වා තම ආසනයේ සන්සුන්ව සිටියේය​.  බිස්නස් පන්තියේ සියළුම මගීන් පිටවී ගිය පසු ඔහු ආසනයෙන් නැගිට ගුවන් යානයේ පිටවන ද්වාරය වෙත ගියේය​.

ගුවන් යානයේ දොර අසල සිටි උසැති ගුවන් සේවිකාව පිටව යන වින්සන්ට් ලංකාතිලක  දෙස බලා  Merci de voyager avec Air France : Passez une bonne journée Monsieur

කීවාය​. වින්සන්ට් ලංකාතිලක  ඊට පිළිතුරු වශයෙන්  Merci, j’ai passé un agréable voyage කීවේය​. ඉක්බිති ඔහු පිටවීමේ ටර්මිනලය වෙත ගියේය​.

තම ඇඳුම් බෑගය Baggage carousel  නොහොත් ගමන් මළු තීරුවෙන් හඳුනාගෙන අතට ගත් වින්සන්ට්  පිටවීමේ කවුන්ටරය වෙත පා තැබීය​. ඔහුගේ ලියකියවිලි වල ගැටළුවක් නොවූ හෙයින්  ප්‍රන්සයට ඇතුළු වීමට ප්‍රන්ස ආගමන විගමන නිලධාරීන් ඔහුට අවසර දුන්නෝය​.

වින්සන්ට් ලංකාතිලක චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපලේ ටැක්සි සේවය ලබා ගත හැකි ඇල්ෆා ටැක්සි සමාගමේ කවුන්ටරයක් වෙත පැමිණ ටැක්සියක් ඇණවුම් කලේය​. ඔහුගේ ඉල්ලීම විනාඩි කීපයක් ඇතුලත ඉටු කරනු ලැබීය​. කළු පැහැති සිට්‍රන් වාහනයකින් පැමිණි ටැක්සි රියැදුරෙක් (ඔහු ඇල්ජීරියන් ජාතිකයෙකි) වින්සන්ට් ලංකාතිලක ගේ ගමන් මල්ල වාහනයට පැටවීය​.

ටැක්සි රියැදුරා එතරම් විනීත නොවන ස්වරයකින් මහත්මයා ඔබට යා යුත්තේ කොහාටදැයි විමසුවේය​. වින්සන්ට් ලංකාතිලක ආංගලීය රටකින් පැමිණි පුද්ගලයෙකු බව ඉවෙන් මෙන් වටහා ගත් ටැක්සි රියැදුරා ඔහු ඇමතුවේ ඉංග්‍රීසි බසිනි. කිසිවක් නොදෙඩු වින්සන්ට් ලංකාතිලක තමාට යා යුතු හෝටලයේ ලිපිනය ලියූ කාඩ්පතක් රියැදුරාට දුන්නේය​. එහි ලියා තිබුනේ මෙයයි:      Hotel Jules:   51 Rue la Fayette, 75009 Paris, France.

මඳ සිනාවක් මුවගට නඟා ගනිමින් ටැක්සි රියැදුරා යළි කාඩ්පත වින්සන්ට් ලංකාතිලක අතට දුන්නේ මෙම ලිපිනය සොයා ගැනීම සවස් යාමයේ ජෙන්ලීයින් බියර් බොනවා වැනි පහසු ක්‍රියාවක් බව පෙන්වීමට විය හැකිය​. ටැක්සි රියැදුරා ඝෝෂා සහිත අරාබි සින්දු සහිත කැසට් පටයක් වාදනය කරමින් පැරීසියේ මං මාවත් හරහා රථය ධාවනය කලේය​. තම මගියා අරාබි සින්දු ප්‍රිය කරන්නෙකු බව ඔහු වැරදි නිගමනයකට පැමිනියේය​. සංගීතය අමතක කර දැමීමට වෙර දැරූ වින්සන්ට් තම වොලට්ටුව හැර ගැස්ටන් ගැලිඔන් ගේ දුරකථන අංකය ලියූ කොල කැබැල්ල සෙව්වේය​.

ඔහුට ගැස්ටන් ගැලිඔන් අවසන් වරට හමු වූයේ මීට වසර හතරකට පමණ පෙර පැන්ටීන් සුසාන භූමියේ පැවති ජාන් බ්‍රයෝන් ගේ අවමගුල් උත්සවයේදීය​. ජාන් බ්‍රයෝන්  භූමිදානය කොට ඔවුන්  Parc Départemental de la Bergère  වෙත පැමිණ උද්‍යානයේ බංකුවක වාඩිවී ජාන් බ්‍රයෝන්  ගැන බොහෝ දේ කථා කලහ​. ජාන් බ්‍රයෝන්  ගේ චිත්‍ර සහ දිනපොත් අඩංගු පෙට්ටි යක්  තමා භාරයට ගත් බව  ගැස්ටන් ගැලිඔන් එහිදී වින්සන්ට් ලංකාතිලකට පැවසීය​. නමුත්  වින්සන්ට්  ඒ සම්බන්ධයෙන් කිසිවක් කීවේ නැත​. එදින වින්සන්ට් සහ ගැලිඔන් රාත්‍රී ආහාරය ගත්තේ ජාන් බ්‍රයෝන්  ගේ ප්‍රියතම මිතුරියක වූ වල්මාගේ නිවසේදීය​. එහිදී ජාන් බ්‍රයයෝන්  ගේ චිත්‍ර සහ දිනපොත් අඩංගු පෙට්ටිය ගැන ගැස්ටන් කිසිවක් කීවේ නැත​. 

වල්මාගේ නිවසේදී ඔවුන් රිසි සේ වයින් පානය කළහ​. වෙරිමත් වූ ගැලිඔන් ජාන් බ්‍රයෝන් ගේ ප්‍රියතම ගීතය වූ පැට්‍රික් ෆිඕරි ගායනා කරන ස්ටෙෆනී ගීතය ඉතා ලයාන්විතව ගායනා කලේය​. ජාන් බ්‍රයෝන් මතක් වීම නිසා වල්මා ගැලිඔන් ගේ හිස ළයට තද කරගෙන කඳුළු සැලුවාය​.

එදින රාත්‍රියේ වින්සන්ට් නව දිල්ලිය බලා පියාසර කලේය​. ඔහුගේ බිරිඳ නෙරන්ජලී ඉන්දියාවේ කෙටි සංචාරයකට පැමිණ  සිටින්නීය​. ​නෙරන්ජලී ඉන්දියාවට පැමිණියේ නාඩි වාක්‍යය​ක් ඇසීමේ අදහසින් බව වින්සන්ට් දනියි.නාඩි වාක්‍යය​ අසන්නාගෙන්ම ලබා ගන්නා තොරතුරු වක්‍ර ආකාරයෙන් යළි ලබා දී සිදු කරන ප්‍රෝඩාව ගැන  වින්සන්ට් ලංකාතිලක දැන සිටියද ඔහු ඊට බාධා නොකලේ ය​.

බීමත්ව සිටි ගැලිඔන් ද වින්සන්ට් ලංකාතිලක ගුවන් තොටුපළට ඇරලවීම සඳහා පැමිනියේය​. ගුවන් යානයට නැගීමට පෙර වින්සන්ට් ලංකාතිලක ගැලිඔන්ට සමු දුන්නේය​. පසු කාලයක ගැලිඔන්  ජාන් බ්‍රයයෝන්  ගේ චිත්‍ර රහසේ විකුනා යූරෝ හැට දහසක් පමණ ලබා ගත් බව වින්සන්ට් හට ආරංචි විය​. මේ මුදල් වලින් එක ෆ්‍රැන්කුවක් වත් ගැලිඔන්  වල්මාට නොදුන්නේය​. මෙවැනි අපූරු චරිතයක් අද සවස වින්සන්ට් ලංකාතිලකට යළි මුණ ගැසෙනු ඇත​.

ජුල්ස් හෝටලයට පැමිණි වහාම වින්සන්ට් ලංකාතිලක කලේ ගැස්ටන් ගැලිඔන් හට දුරකථන ඇමතුමක් දීමයි.දුරකථනට පිළිතුරු දුන්නේ ගැලිඔන් නොව ඔහුගේ පටිගත කරන ලද කට හඬයි. ගැලිඔන්  ගේ ස්වර තැපෑලට (Voice mail)  පණිවිඩයක් තැබූ වින්සන්ට් තමා අද දින පැරීසියට පැමිණි බවත් ජුල්ස් හෝටලයේ නැවතී සිටින බවත් සඳහන් කලේය​. එසේම අද සවස ගැස්ටන් ගැලිඔන්  හමු වීමට අදහස් කරන බවත් දැන්වීය​. ඉන් පසු ඔහු ජුල්ස් හෝටලයේ තමාට නියමිත වූ කාමරයට ගියේය​.

ගැස්ටන් ගැලිඔන් හොර රහසේ විකුනනා ලද ජාන් බ්‍රයෝන්  ගේ චිත්‍ර හෝ ඒ සඳහා ලබා ගත් මුදල් ගැන වින්සන්ට් ලංකාතිලකට ආශාවක් නොමැත​. ඔහුට අවශ්‍ය  ජාන් බ්‍රයෝන්  ගේ  දින පොත් වලට සිදු වූ දේ පිලිබඳව දැන ගැනීමටයි. එම දින පොත් වල ජීවිතය පිලිබඳ තමා සොයමින් සිටි දාර්ශනික පැහැදිලි කිරීමක් ඇති බව වින්සන්ට් විශ්වාස කරයි. එය ස්පිනෝසාගේ ලේඛන අලුතින් සොයා ගැනීමක් බඳු විය හැකිය​.

ජාන් බ්‍රයෝන්  ගේ චිත්‍ර  වින්සන්ට් ලංකාතිලක හට එතරම් බලපෑමක් නොකලේය.  ඇරත් ජාන් බ්‍රයෝන්  චිත්‍ර ඇඳීමේදී වඩාත්ම ලං වූයේ ඇන්ඩ්‍රේ ඩිරේන් ගේ චිත්‍ර ෙෙශලියයි. නමුත්  ජාන් බ්‍රයෝන් ඇඳි එක් චිත්‍රයක් වින්සන්ට් ලංකාතිලක අතිශයින්ම ප්‍රිය කලේය​. කානී , මොලී සහ බියන්කාගේ රූ සටහන් වූ කුඩා චිත්‍රයට තමා ඇදී ගිය හේතුව  වින්සන්ට් ලංකාතිලක  නොදනියි. කානි රන් පැහති විද්‍යුත් ගිටාරයක්  අල්ලාගෙන සිටියි. මොලී සහ බියන්කා ඔහු ගේ දෙපසින්  කානිට තුරුලු වී සිටිති. කානිගේ මුහුණ පින්තාරු කොට තිබෙන්නේ ක්‍රිශ්ණාගේ මුහුණට සමානවය​. විනාශ වී යාමට ප්‍රථම ඔවුන් සිටියේ නේපාලයේ තමන් ගේම  ක්‍ෂේම භූමියකයි. මෙම  චිත්‍රය පැරණි සංකේතයකි. එම චිත්‍රයත් ගැස්ටන් ගැලිඔන් විකුණා දැමුවේදැයි දැන ගැනීමේ අවශ්‍යතාවක වින්සන්ට් හට ඇති විය​.

කාමරයට ගිය වින්සන්ට් ලංකාතිලක උණු වතුරින් නා ගත්තේය​. රාත්‍රි  ආහාරය ද නොගත් නිසා ඔහුට ක්‍ෂුධාව දැනුනි. හෝටල් කාමරයේ වූ දුරකථනයෙන් හෝටලයේ කළමනාකරු ඇමතූ ඔහු තම කාමරයට වයින් බෝතලයක් සමග  කෑමට යමක් එවන ලෙසට ඉල්ලා සිටියේය​. පැය භාගයක් පමණ  ගතවූ විගස සේවිකාවක් රතු වයින් බෝතලයක් , croissants හතරක් සහිත පිඞානක් , Quiche Lorraine  යනුවෙන් හඳුන්වන චීස් , කුකුල් මස්  සහ එළවළු අඩංගු savory pie එකක් සහ  Soupe à l’oignon  වශයෙන් නම් කල ප්‍රන්ස ලූණු සුප් එකක්ද ගෙන ආවාය​. ආහාර මනා ලෙස මේසයේ තැබූ  සේවිකාව වින්සන්ට් ලංකාතිලකට bon appétit කියා  හිස පහත් කොට  ආචාර කරමින් කාමරයේ දොර වසා පිටත් වූවාය​.

වින්සන්ට් ලංකාතිලක හොඳින් ආහාර ගත්තේය​. නමුත් ඔහු  Soupe à l’oignon  එකට අතවත් තැබවේ නැත​. ආහාර ගෙන අවසන් වෙත්ම කාමරයේ දුරකථනය නාද විය​. ඒ ගැස්ටන් ගැලිඔන් විය හැකිය​. ගැලිඔන් ගේ කටහඬ ඇසීමේ අපේක්‍ෂාවෙන් ඔහු දුරකථන රිසීවරය අතට ගත්තේය​. නමුත් කථා කලේ ගැස්ටන් ගැලිඔන් නොව දාලියා ඇලෝනිය​. දාලියා ඊශ්‍රායෙලයේ සිට ඔහුව අමතයි. වින්සන්ට් ලංකාතිලක හදිසියේම පැරිස් ඒම දාලියාට ප්‍රෙහේලිකාවකි. දාලියා අස්වැසූ වින්සන්ට් ලංකාතිලක ඇයට යලි දුරකථන ඇමතුමක් දෙන බවට පොරොන්දු විය​.

දුරකථන ඇමතුමෙන් පසු වින්සන්ට් ලංකාතිලක ඇඳේ වැතිරී  ඊ. එල් ෙඩාක්ෙටරොව් ගේ  Ragtime නැමැති නවකථාව  කියවීය​.. එය 1900 කාලයේ නිව් යෝර්ක් නගරයේ සිදුවන කථා පුවතකි.  අප්‍රිකානු ඇමරිකානු පියානෝ වාදකයෙකු මුහුණ දෙන වාර්ගික පීඩනය ගැන ලියූ කතාවකි.  වින්සන්ට් ලංකාතිලක නවකථාවෙන් අඩක් පමණ කියවන විට යලි දුරකථනය නාද විය​. මෙවරද ඔහු ගැස්ටන් ගැලිඔන් අපේක්ශාවෙන් රිසීවරය අතට ගත්තේය​. ඒ  කටහඬ  හෝටලයේ කළමනාකරුගේය​. අමුත්තන් දෙදෙනෙකු වින්සන්ට් ලංකාතිලක හමු වීම සඳහා පැමිණ ඇති බව හෝටලයේ කළමනාකරු දැනුම් දුන්නේය​. මඳක් වික්ශිප්ත වූ වින්සන්ට් ලංකාතිලක අමුත්තන් දෙදෙනා  තම කාමරයට එවන ලෙස ඉල්ලා සිටියේය​. ඔවුන් කවරුන් විය හැකිද ? ගැලිඔන් සහ ඔහුගේ මිතුරෙක් ?

සුළු වේලාවක් තුලදී අමුත්තන් දෙදෙනා වින්සන්ට් ලංකාතිලක ගේ හෝටල් කාමරයේ ද්වාරය ඉදිරිපිට පෙනී සිටියහ​. දොර ඇරිය වහාම වින්සන්ට් අමුත්තන් දෙදෙනා හඳුනා ගත්තේය​.  නමුත් අමුත්තන් අතර ගැස්ටන් ගැලිඔන්  සිටියේ නැත​. ජූඩ් සහ කරුනානායක  ඔහු දෙස සිනා සෙමින් බලා සිටියි.

 වින්සන්ට් පැරිස් ආවා කියලා මැසේජ් එකක් අවා  ජූඩ් කීවේය​.

කොහොමද දැන ගත්තේ  ?  වින්සන්ට් ලංකාතිලක විමසීය.

 ජූඩ් පිලිරතුරක් නොදුන්නේය​. ඔහු වින්සන්ට් දෙස සිනාසෙමින් බලා සිටියි.

දාලියා ?  වින්සන්ට් ඇසීය​.

ජූඩ් සිනහසෙමින් හිස සැලුවේය​.

දාලියා බොරුවට කලබල වෙනවා” මෙසේ පවසමින්  ඔහු ජූඩ් සහ කරුනානායකට තම කාමරයේ වූ සෙටියේ වාඩි වන ලෙසට අතින් සන් කලේය​.

 කරුනානායක කවදද පැරිස් ආවේ ? ඔහු විමසීය

මම ස්කොල් එකකට ආවා” කරුනානායක කීවේය​.

මුළු ඩිපාර්ට්මන්ට් එකෙන්ම මාව තමයි සිලෙක්ට් උනේ ” කරුනානායක ගර්වයකින් පවසයි.

ඔහු තමා මීට කලින් තමා ගිය රටවල් ගැන කියයි. නමුත් අලව්ව ගැන නිරුත්තරය.

 සේතන් මාමා එහෙම කොහොමද ?  වින්සන්ට්  අසයි

වින්සන්ට් ට අපේ සේතන් මාමා  තාමත් මතකයි. මතකද අපි පේරා ඉන්නකොට අපේ ගමේ ගියා . එතකොට සේතන් මාමා අපිට රා අරගෙන ආවේ”   කරුනානායක  මුහුෙණ් ඉරියව් වෙනස් කරගනිමින් කියයි

 මම ලඞදි සේතන් මාමාව හීනෙන් දැක්කා  වින්සන්ට්  පැවසීය

අපි එක්ක සේතන් මාමා රා බීපු එකද දැක්කේ කරුනානායක විසභාග  සිනහවකින් මුව සරසාගෙන අසයි.

වින්සන්ට් නිහඬය​. ජූඩ් ඔවුන් දෙදෙනා දෙස බලා සිටියි.

කරුනානායක ගේ මුහුණ වරදකාරී බවින් පිරී යයි.

 සේතන් මාමා ගිය මාසේ මැරුණා. වැඩ නිසා මට  මළ ගෙදරවත් යන්න බැරි උනා”

උසස් මධ්‍යම පන්තික සිහිනයට යාමේදී කරුණානායකගේ  මාර්ගයට බාධා කල එක් සංකේතයක් වියැකී ගොස් තිබේ.සේතන් මාමා මිනිසෙකු නොව සංකේතයක් බවට පත් වීම ගැටළුවකි. මිනිසෙකුගේ උන්නතිකාමය ඉහල යන විට ඔහු දකින්නේ සංකේතය​.

සේතන් මාමා ද සංකේතයකි

      (පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග)

One Response to “සංකේතය”

  1. Independent Says:

    බොරුවට ජාතිය ආගම ගැන කෑගැහුවාට බොහෝ දේසපාලුවන්ට තම මව්බිම සංකේතයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress