මහපොළව ගිනියම් කරමින් බුද්ධිමතුන් දඩයම ඇරඹේ-ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 54 කොටස
Posted on July 6th, 2015

ධර්මන් වික්‍රමරත්න

Dharman Wickremaratne

මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 පමණ වේ. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ලියුම්කරු එම බොහෝ සිද්ධීන් සියසින් දුටු  අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ  ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 30 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය

ජවිපෙ දෙවන කැරැල‍්ලේ මුල් අවධියට වඩා 1988 මුල් භාගය වනවිට වඩාත් වේගවත්ව සහ සාර්ථක ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට හැකිවිය. ඒ ජවිපෙ සන්නද්ධ අංශයවූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට අලුතින් එක්වූ නව ‍බලවේගයන්හි ක්‍රියාකාරිත්වයයි. ඔවුන් හැකියාවන් සහ දක්ෂතාවයන් අතර ඉහළම තැනක් ගත්තද දේශපාලන දැක්ම අතින් අතිශය දුර්වල පුද්ගලයින් පිරිසක් විය. අත්දැකීම් සහ දේශපාලන පරිණත බව පැරණි සාමාජිකයින්ගෙන්  දැකගත හැකි වූවද නව සාමාජිකයින්ගේ  දේශපාලන දෘෂ්ඨියේ නොමේරු බව නිසා ජවිපෙ පිරිහීමේ ලක්ෂණ ඇරඹිණි. එහෙත් එය ජවිපෙ විසින් නොසලකා හරින ලදී. අවසානයේ එය ජවිපෙ දෙවන කැරැල්ල විප්ලවීය අවසානයක් දක්වා ගෙන යෑම වෙනුවට බරපතල ව්‍යවසනයකින් කෙරවල වීමට හේතු විය.

DW02ජවිපෙ මගින් වෙඩිතබා මරා දැමූ කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ ඔහු විවාහ වූ දිනයේදී.

එජාප ආණ්ඩුව 1988 ආරම්භය දක්වා ප්‍රයත්න ගනු ලැබුවේ ජවිපෙට එරෙහිව ආරක්ෂාකාරි පියවරයක් අනුගමනය කර එය හසුරුවා ගැනීමටය. ඒ සදහා සාර්ථක වැඩපිලිවෙලක් නිර්මාණය කලද එය සාර්ථක නොවීය. ජවිපෙ විසින් ආරක්ෂක භටයින් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව 1989 ප්‍රහාර එල්ල කරන තෙක් ජවිපෙට එරෙහිව සැබෑ ලෙසම සටන් කළේ පුද්ගලයින් ‍දෙදෙනෙකි. ඒ කර්නල් ලකී අල්ගම සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පල පමණි. කර්නල් ලකී අල්ගම ජවිපෙ භීෂණයට වඩා දැඩි ප්‍රති භීෂණයක් මුදා හරිමින් ප්‍රථමයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේද පසුව දකුණු පලාතේද ජවිපෙ දැඩිව මර්ධනය කළහ.

DW03. Colomboඝාතනයට ලක්වූ ‍කොළඹ සරසවි උපකුලපති ස්ටැන්ලි විජේසුන්දරගේ දේහය රැගෙන යන ඔහුගේ පුත් ශාලිත ඇතුළු ඥාතීන්.

          සරසවි පිවිසුමට 1987 සුදුසුකම් ලැබුවේ 31,079කි. ඉන් සරසවියට ඇතුල්කර ගත්තේ 6,143කි. එය 1986 ඇතුලත් කර ගත් ගණනටද වඩා 65ක අඩුවීමකි. එමෙන්ම 1988 සරසවි පිවිසුමට සුදුසුකම් ලැබුවෝ 34,490ක් සිටියද ඉන් සරසවියට ඇතුලක් කර ගත්තේ 4,636කි. මෙය තවත් විශාල වශයෙන් අඩුවීමක් වූ අතර වැඩියෙන්ම අසාධාරණය ලක්වූයේ ග්‍රාමීය පවුල්වල දූ දරුවන්ය. මෙය 1982 පස්ස දොරෙන් ක්‍රියාවට නැගූ අධ්‍යාපන ධවල පත්‍රිකාව අනුව වක්‍රවාකාරව සිදුවූවකි.

වසර 2015 වන විට පාසැල් කේෂේත්‍රයේ සිසුන් 4,004,091 සහ ගුරුවරු 223,347  සිටි අතර අධ්‍යාපන ධවල පත්‍රිකාවේ හකුලාගත් කොටස් යළි ක්‍රියාත්මක කරමින් 2015 ජනවාරි 29වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පාසැල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම නීතිගත කරමින් චක්‍රලේඛනයක්ද නිකුත් කළේය. අධ්‍යාපනය අයිතියක් නොව වෙළෙඳ භාණ්ඩයක් බව තහවුරු කරමින් මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඉංජිනේරු උපාධි පාඨමාලා පිරිනැමීමේ බලයද 2015දී නීතිගත කර ති‍බේ.

DW04.මොරටු උපකුලපති මහාචාරය චන්ද්‍රරත්න පටුවතවිතාන ජවිපෙ මගින් සිදුකල ඝාතනය ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය ලෙසින් වාර්තා කල අයුරු.

          දෙවන කැරැල්ලේදී සිදුවූ බරපතල වැරදි කිහිපයක් අතර පුද්ගල ඝාතන ත්‍රස්තවාදය, රාජ්‍ය දේපල විනාශ කිරීම විය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි මස ක්‍රියාත්මක වීමත් සමඟම ජවිපෙ වටා රොක්වූ බොහෝ දෙනෙකු කටයුතු කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමඟය. අවශ්‍ය පුද්ගල ඝාතන සඳහා යොදා ගැනීමට ඔවුන් ඉතා ලෙහෙසි පහසු විය. ජවිපෙ මගින් මරාදැමූ සංඛ්‍යාව 6,577කි. ඔවුන් අතර එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් සහ හිතවතුන් 2,645, සාමාන්‍ය සිවිල් පුරවැසියන්  1,663, ඔත්තුකරුවන් සහ ඔත්තුකරුවන් යැයි සැකකල 702, රජයේ සේවකයින් 487, පොලිස් භටයින් සහ නිළධාරින් 342, හමුදා භටයින් නිළධාරින් 15 සහ හමුදා භටයින් 202, සරසවි සහ පාසල් සිසුන් 187, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකයින් 117, පොලිස් පවුල් සාමාජිකයින් 93, විදුහල්පතිවරුන් 52, භික්ෂූන් 30, වෛද්‍යවරුන් 16, නීතිඥයින් 14,  කලාකරුවන් 8, උප කුලපතිවරුන් 2,   කතෝලික පූජකවරුන් 2 අයත් විය.

DW05. The killerඋපකුලපති මහාචාර්ය විජේසුන්දර වෙඩි තබා ඝාතනය කල ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්ද.

කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ මොරටු සරසවියේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානද ජවිපෙ මගින් ඝාතනය කරන ලදී. එයට හේතුව වූයේ සරසවිවල සිසුන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව නිසි පියවරක් ඔවුන් නොගත් හෙයින් බව දන්වා තිබිණි. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වඩාත්ම බලවත්ව තිබුණේ පේරාදෙණිය, ජයවර්ධනපුර සහ රුහුණු සරසවියන්හි විය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ රහසිගත කටයුතු කටයුතු වෙනුවෙන් පෙරමුණ ගත්තේ හිල්ඩා, අක්බාර් නෙල්, මාර්සා, යන පිරිමි නේවාසිකාගාරයන්ද භික්ෂු නේවාසිකාගාරය වන ඒ4ය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ අධ්‍යාපන කඳවුරු පැවති අතර ජයවර්ධනපුර සරසවියේ සටන් සරඹ පුහුණුවීම්ද පැවැත්විණි.

ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ රටේ ප්‍රබල ජාතික ප්‍රශ්න පිලිබදව සාමාන්‍යයෙන් කථාකල ශිෂ්‍ය සංගමයක් විය. මහජන මුදලින් ‍ඉගෙන ගන්නා සරසවි සිසුන් මහජන ප්‍රශ්න වෙනුවෙන්ද අරගල කල යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තුළද අවධාරණය කළේ එම සංගමයයි. කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාලයන්හි බොහෝ පක්ෂ සහ කණ්ඩායම්වල සෙසු නියෝජිතයන් බොහෝ විට පෙනී සිටියේ අධ්‍යාපන කේෂේත්‍රයේ සහ ශිෂ්‍ය සුභසාධනයට අදාල ගැටළු සඳහා පමණි.

DW06.

අත්අඩංගුවට ගත් සරසවි සිසු පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන අයුරු.

මෙම කාලය තුළ සරසවි ශිෂ්‍ය මර්ධනය ඇරඹී තිබිණි. ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව සියළු විශ්ව විද්‍යාල විසුරුවා හැර ඒවා විවෘත විශ්ව විද්‍යාල බවට පත්කරන බවට ප්‍රකාශ කර තිබිණි. 1986 මහාචාර්ය බාලසූරියගේ වාර්තාව මගින් නිර්දේශ කළේ වෛද්‍ය උපාධිය හැර අනෙක් සෙසු උපාධි දිස්ත්‍රික්කයේ පාසැල් තුළ ලබාගැනීමට අවස්ථාව සැකසීමය. හමීඩි වාර්තාව 1987දී සරසවියේ පළමු වසරේදී සහතිකයක් ලබා ඉවත්වීමට හැකි යෝජනාවක් ගෙන ආවේය. කිංස්ලි සිල්වා 1987 ඉදිරිපත්කල වාර්තාව මගින් යෝජනා කළේ උසස් පෙල සරසවිවලට බදවා ගැනීමේ ලකුණු ඉහළ දැමූ අතර දිස්ත්‍රික් පදනම අහෝසි කිරීමටය. එහෙත් මේ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ ලබා නොදුන්නේය.

DW07ඝාතනයට ලක්වූ කොළඹ වෛ‍ද්‍ය පීඨයේ සරසවි සිසු ත්‍රීමාගේ දේහය සුසාන භූමිය කරා රැගෙන යමින්. වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නන්දදාස කෝදාගොඩද මෙහි වේ.

කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ මොරටුව සරසවියන්හි එජාප ආණ්ඩු හිතවාදී සහ ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගම් වෙත උපකුලපතිවරුන්ගේ නිල නොවන සහාය ලැබුණු බවට ජවිපෙ චෝදනා කළේය. ජවිපෙ සහ ජවිපෙ හිතවාදී සරසවි සිසුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි පරිපාලන අංශ විසින් ලබාදෙන ලද තොරතුරු මත බව ජවිපෙ කියා සිටියහ. ශිෂ්‍ය මර්ධනයට සහාය දීම සම්බන්ධයෙන් කොළඹ සහ මොරටුව සරසවි පාලකයින්ට ඔවුන්ගෙන් චෝදනා එල්ල විණි.

 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබදව ප්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙක් විය. කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාරයෙකු වශයෙන් 1947දී සේවට බැදුනු ඔහු එහි අංශ ප්‍රධාන තනතුරට 1978දී පත්විය. ඉන් වසර 5කට පසු ජීව රසායන විද්‍යාව පිළිබදව මහාචාර්ය ධූරයට පත්වූ අතර ‍කොළඹ සරසවියේ උපකුලපතිවරයා වශයෙන් 1979දී පත්විය.  පොදු රාජ්‍ය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති තනතුරට 1983දී පත්වූ මහාචාර්ය විජේසුන්දර කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් කොලේජ් හවුස්හි සිය කාර්යාලය තුළ සිටියදී  1989 මාර්තු 8වැනිදා පෙරවරු 10.10ට ඝාතනයට ලක්විය.

DW08.

එජාප ප්‍රබල ක්‍රියාකාරිකයෙකුවූ හක්මන බෙංගමුවේ ඉඩම් හිමි වැවිලිකරුවෙකුවු  බී.ආර්. ජයසේකර  1988 අප්‍රේල් 26වැනිදා ජවිපෙ විසින් ඝාතනය කර ගසක බැද පුළුස්සා දමා තිබූ අන්දම. ඔහුගේ ඡායාරූපයක් කොටුව තුළ දිස්වේ.

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදී සිය පෞද්ගලික ගුවන්යානයත් සමඟ උඩුගුවනේදී 1983දී අතුරුදහන් වූ උපාලි විජේවර්ධනගේ වැඩිමහල් සොහොයුරිය වූ අනෝජා ‍විජේසුන්දර සමඟ අවාහ වූ මහාචාර්ය විජේසුන්දර වෙඩිතබා ඝාතනය කළේ  ලයනල් රණසිංහ නොහොත් ගාමිණී නොහොත් මහින්දය. පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා, මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂයේ මහාලේකම් නන්දලාල් ප්‍රනාන්දු ඇතුළු 41 දෙනෙකු මරා දැමූ බවට පො‍ලිසිය ඔහුට චෝදනා කළේය. හොරණ ජීවත්වූ පහළ මධ්‍යම පාන්තික දූගී පවුලක ඉපදුන ලයනල් රණසිංහ ජවිපෙට එක්වූයේ 1978දීය.

ජවිපෙ පූර්ණ කාලීනයෙකු වශයෙන් 1981දී එක්වූ ලයනල් පසුව කැකිරාවේ සිය මවගේ සහෝදරියට අයත් හේනේ ගොවියෙකු වශයෙන් ජවිපෙ 1983 තහනමින් පසු කටයුතු කළේය. සංවර්ධන සභා ඡන්දය පැවති 1981දී ඔහු ජවිපෙ අපේක්ෂක අබේසිංහගේ මැතිවරණ ව්‍යාපාරයට ක්‍රියාකාරි දායක විය. යළි සිය නිවසට 1984දී එන ඔහු බ්‍රහස්පතින්දා සහ ඉරිදා පො‍ලේ එලවළු වෙළෙන්දෙක් බවට පත්විය. අනතුරුව 1986 දක්වා ඊගල් පෞද්ගලික ආරක්ෂක සමාගමක සිකියුරිටි ගාඩ්වරයෙකු ලෙස මාස තුනක් සහ හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකු ලෙස සිය ජීවිකාව කරගෙන ගි‍යේය. ජවිපෙ ක්‍රියාකාරිකයෙකුවූ බටගොඩ ගමගේ ජයවර්ධන හමුවීමෙන් පසු 1986 මැද භාගයේදි ජවිපෙ දේශපාලනයට යළි එක්වූ ලයනල් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය යටතේ 1986 දෙසැම්බර් මසදී බඹරකන්දේදී දින 5ක් සහ සමනල කන්දේදී 1987 අප්‍රේල් 1වැනිදාද වැඩිදුර යුධ පුහුණුව ලැබීය. එමෙන්ම පසු කාලයේදී හුන්නස්ගිරිය කන්දේ සහ නුවරඑළිය සීතාවක ප්‍රදේශයේ ජවිපෙ යුධ පුහුණු කඳවුරුවලදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයින්ට යුධ පුහුණුවද ලබාදුන්නේය.

DW09.

මාතර ඌරුගමුවේ මුරුතගස්පිටියේ පදිංචි ස්කාගාර සංස්ථාවේ සේවයකල තිදරු පියෙකු වූ සුගත් සමරසේකර(45) දෙවිනුවර වලස්ගල හීන්දැලිය වැව අසළදී 1988 දෙසැම්බර් 9වැනිදා ජවිපෙ මගින් ගසක ගැටගසා ඝාතනය කර තිබූ අන්දම.

මහාචාර්ය විජේසුන්දර ඝාතනය කිරීමට ලයනල්ට සහාය වූයේ බෙනට් සහ ජයන්ත විසිනි. එකල පුංචි බොරැල්ලේ නවාතැනක සිටි ලයනල් 1988 මැයි 8 වැනිදා උදෑසන 7ට දෙල්කදදී බෙනට් හමුවූ අතර කොළඹ සරසවි උපකුලපතිවරයා අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදීමට සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට මුල්වී ක්‍රියාකල අයෙකු බැවින් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නේය. විජේරාම හන්දියේදි හමුවු තවත් තරුණයෙකු යතුරු පැදියකින් පැමිණියේ බවුන් පේපර් කොලයක ඔතා තිබූ ආයුධ දෙකක් සමඟය. එක් ආයුධයක් වූයේ 9 මි.මීටර් පිස්තෝලයක් සහ රිවෝල්වර‍යකි. පිස්තෝලයට පතුරම් 8ක්ද රිවෝල්වරයට පතුරොම් 6ක්ද විය. විජේරාම වෙල අසලට ගොස් පිස්තෝලය අහසට අල්ලා ඔහු වෙඩිල්ලක් තබා එය පරික්ෂා කළේය.

DW10මව් පෙ‍රමුණේ මංගල මහා සමුළුව  1991 පෙබරවාරි 19 කොළඹ නව නගර ශාලාවේදී  පැවති අවස්ථාවේ පැමිණි සිව්දරු මවක් වූ හම්බන්තොට දුරුවගේ කුසුමාවතී 1989 දෙසැම්බර් 1 එජාප ආණ්ඩුව මගින් පැහැරගෙන අතුරුදහන් කල සිය සැමියා වූ බණ්ඩාරගේ පියදාස(36) ගේ සිද්ධිය පැහැදිලි කරමින්. 

පසුව විජේරාම හෝටලයකින් තේ බී පිස්තෝලය ලයනල් ඉනේ ගසාගත් අතර අනෙක් තරුණයා රිවෝල්වරය ඉනේ ගසා ගත්තේය. පසුව ලිපිගොනු කවරයක්ද අතැතිව කොළඹ සරසවියේ කොලේජ් හවුසියට ඇතුල්වූ ලයනල් සහ අනෙක් තරුණයා තරප්පුව දිගේ උඩට ගොස් උඩුමහ‍ලේ කාමරයට එක් අයෙකු එබී බැලුවේය. පසුව කාමරයේ සිටි අයෙකු ඉවතට යන තුරු සිට කාමරයට ඇතුල්වී මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් තැබීය. කිසිදු ශබ්දයක් පිටතට ඇසු‍නේ නැත. ඇසිල්ලකින් උඩු මහලෙන් බිමට බැසගත් දෙදෙනා අනතුරුව යතුරු පැදියෙන් පලා ගියේය. හදිසියේ කාමරයට ආ අයෙකු උපකුලපතිවරයා වෙඩි වැදී ඝාතනයට ලක්වී ඇති අයුරු දුටු අතර වහාම ඔහු, මහාචාර්ය විජේසුන්දරව රෝහලට යැවූ අතර පොලිසිය සරසවිය වටකර සෝදිසි කළේය. වෙඩි තැබූ ලයනල් උදෑසන 10.30වන විට සිය තාවකාලික නවාතැන වූ පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට පැමිණ තිබිණි.

කොළඹ 7 බෞද්ධාලෝක මාවතේදී බිල්ලෙකු බවට පත්වූ කැරළිකරුවෙකුගේ මඟ පෙන්වීම අනුව ලයනල් රණසිංහ 1989 මාර්තු 14වැනිදා පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත්තේය. හංවැල්ලේදී ඔහු 1989 ඔක්තෝබර් 4 වැනිදා ඝාතනයට පත්වන විට 27 හැවිරිදිය.

මොරටු සරසවියේ උපකුලපතිවරයා වූයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය පටුවතවිතාන ජවිපෙ මගින් ඝාතනය කළේ 1989 සැප්තැම්බර් 14වැනිදා උදෑසනය.  මොරටු සරසවියේ උපකුලපති මහාචාර්ය විලී මෙන්ඩිස් 1988 සැප්තැම්බර් 15වැනිදා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට මහාචාර්ය පටුවතවිතාන මහතා පත්වූයේ 1988 දෙසැම්බර් 5වැනිදාය.

DW11. Front view of colombo university college houseකොළඹ සරසවි උපකුලපතිවරයා ඝාතනය ක‍ළේ සරසවියේ මෙම කොලෙජ් හවුස් ගොඩනැගිල්ලේ උඩුමහලේදීය.

මොරටු සරසවි උපකුලපතිවරයාද වෙඩිතබා ඝාතනය කළේ සිය කාර්යාලය තුළදීය. එහිදී සරසවි ආරක්ෂක නිළධාරි ආර්.පී.කේ. රණවීරද වෙඩි වැදීමෙන් මරුමුවට පත්විය. වෙඩි තැබූ පුද්ගලයින් ආපසු පලායන ගමනේදී එතනට එ‍මින් සිටියදී ආරක්ෂක නිළධාරියාට එම තත්වයට මුහුණ පෑමට සිදුවිය. යතුරු පැදියකින් පැමිණ මෙය සිදුකල අතර එම යතුරුපැදියේම නැගී ඔවුන් පලා ගි‍යෝය. ආදී ආනන්දයෙකු වූ මහාචාර්ය පටුවතවිතානගේ බිරිඳ ඩොරති වූ අතර දරුවන් දෙදෙන දිල්රුක්ෂි සහ චතුර විය.

ජවිපෙ දෙවන කැරැල්ලේදි ඝාතනය වූයේ මහාචාර්යවරුන් වන ස්ටැන්ලි විජේසුන්දර සහ පටුවතවිතාන පමණක් නොවේ. තවත් බොහෝ ග්‍රාමීය බුද්ධිමතුන් සහ උගතුන් ඝාතනය වු පිරිස අතර විය. කැරැල්ල වර්ධනය වන විට දේශපාලනයේ තැන තුවක්කුවට හිමිවූ අතර තුවක්කුවට අණ දීමට දේශපාලනයට නොහැකි විය. අරගලයේ වර්ධනය සහ සතුරාගේ ශක්තියද ජනතා ප්‍රතිචාරයද අදියරෙන් අදියර වි‍ශ්‍‍ලේෂණය කිරීමට සැලැස්මක් නොවීය. දේශපාලන විරුද්ධවාදින් නොවන උගතුන් සහ බුද්ධිමතුන් ඝාතනය කිරීමේ සම්ප්‍රදාය ක්‍රමානුකූලව තහවුරුවූ බැවින් එය පැති කිහිපයකින් දෙවන කැරැල්ලට ප්‍රබල අවාසිදායක තත්ත්වයන් ගෙන ආවේය.  

වසර 1986/90 ජවිපෙ දෙවන කැරළි සමයට අදාළ ඔබ දන්නා ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected] තව කොටසක් ලබන සතියේ…

One Response to “මහපොළව ගිනියම් කරමින් බුද්ධිමතුන් දඩයම ඇරඹේ-ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 54 කොටස”

  1. Christie Says:

    JVP the Sinhala terrorists financed by Indian Empire. Sinhalese killing Sinhalese financed by Indian Empire. I knew Patu when he was a young lecturer @ Katubedda. He was killed by Indian interests using JVP terrorists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress