“වෙනස සැපද? සරත් විජේසූරියට සැපයිලු” -සරත් විජේසූරිය මහතාට පිළිතුරක්
Posted on July 6th, 2015

-ලසන්ත වික්‍රමසිංහ යුතුකම සංවාද කවය www.yuthukama.com

‘වෙනස සැපද?… නැතුව’ යන මැයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් රාවය පුවත්පත සපයා තිබූ ලිපියට යුතුකම සංවාද කවය වෙනුවෙන් ලසන්ත වික්‍රමසිංහ මහතා සැපයූ පිළිතුරයි මේ. 

මෙය පසුගිය ඉරිදා රාවය (2015-07-05) පුවත්පතේද පළ වී තිබිණ.

‘වෙනස සැපද?… නැතුව’ යන හිසින් යුතුව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පසුගිය සතියේ රාවය පුවත්පතට ලිපියක් සපයා තිබුනි. ඒ මහතාගේ ලිපියට පාදක කොට ගෙන තිබුනේ වෙනස සැපද යන මැයෙන් යුතුකම සංවාද කවය විසින් පැවැත්වූ සංවාදශීලී සම්මන්ත්‍රණයයි.

මහින්ද රාජපක්ෂ බලයේ සිටියේ නම් මෙවැනි සම්මන්ත්‍රණ පැවැත්වීමට මේ රට තුළ ඉඩ නොලැබෙන බවත්, ඒ සඳහා ශාලාවක් නොලැබෙන බවත් පවසන සරත් විජේසූරිය මහතා සම්මන්ත්‍රණයට පෙර දින කී දෙනෙක් සුදු වෑන්වලින් පැහැර ගෙන යාවිදැයි ප්‍රශ්න කරයි. මර බිය ජනිත කර පළිනොගනීවිදැයි අසයි. සරත් විජේසූරිය මහතා මහින්ද රාජපක්ෂ යුගය පිළිබද මෙවන් භීතියක් මතු කරන්නේ කවර කාරණා පදනම් කර ගෙනදැයි ඔහු පෙන්වා නොදෙයි. ඔහුට අමතකව ඇති ඉතා සරල කාරණයක් නම්, ඔහු විසින් මෙම ලිපිය ලියා පළ කරන රාවය පුවත්පත ඉතා තදින් පසුගිය රජය විවේචනය කළ බවය. එහි ප්‍රධාන කතෘව සිටි වික්ටර් අයිවන් මහතා විවිධ මාධ්‍යය ඔස්සේ සිය අදහස් පල කළ බවය. සරත් විජේසූරිය මහතාට වික්ටර් අයිවන් මහතා පුද්ගලිකව මුණ ගැසී ඔහුද ජීවත් වූයේ තමා මෙන් මර බියෙන්දැයි අසා දැන ගත හැකිය. පෙර එජාප රජයන් හා චන්ද්‍රිකා රජය තමාට පුද්ගලිකව හිංසා පීඩා කළද, මහින්ද රාජපක්ෂ රජය එසේ නොකළ බව වික්ටර් අයිවන් මහතා රාවය පුවත් පතට ලියා තිබුනි. වික්ටර් අයිවන් මහතා ලියූ පෑන අහිංසකද කෘතිය බැලුවේ නම් මාධ්‍යවේදීන් මර්දනය කෙසේ වෙතත් මර්දනයේ නාමයෙන් බටහිර රටවලට වීසා ලබා ගත් ආකාරය නම් විජේසූරිය මහතාට දැන ගැනීමට තිබුනි.

සරත් විජේසූරිය මහතා වැන්නවුන් මෙසේ “මර බියෙන්” අදහස් පළ නොකර සිටීමට ඇති හේතු මොනවාදැයි විමසා බලනු වටියි. එවක රජය පිළිබද සාධනීය විවේචනයක් මෙරට සිටිනා බුද්ධිමතුන් අතින් සිදු නොවූ බව සැබෑවකි. ඊට හේතුව මර්දනය නම්, සුදු වෑන් තර්ජනය නම්, එවක රජයේ සිටියවුන්ගේ බිරින්දෑවරුන්ගේ උපන් දිනය පිළිබඳ පවා ඉතා උනන්දුවෙන් පරීක්ෂණ කෙරෙන මෙවන් කලෙක, එකල මහත් ඝෝෂාවක් වූ සුදු වෑන් සිද්ධි පිළිබද පරීක්ෂණ නොපැවැත්වෙන්නේ ඇයි? එයට හේතුව ඒවා පට්ටපල් බොරු වීම නොවේ නම් වෙන කුමක්ද? එවැනි බොරු සමාජගත කිරීමට දායක වූ සරත් විජේසූරිය වැන්නවුන් අද ඒවා ගැන පරීකෂණ පවත්වන්න යයි හඬක් නොනගා යළි යළි එම මුසාවන් සමාජගත කිරීමට නිරර්ථක උත්සාහයක නියැළීමෙන් හෙළි වන්නේ ඔවුන්ගේ ව්‍යාජත්වයයි.

සිරිසේන ජනපතුමා නිතර මුසා බස් දොඩන බව අපි සැවොම දනිමු. “ඇමරිකාවේ බකිංහැම් මාළිගයෙන්” ගෙනා අශ්වයින්, රාජපක්ෂ පුතුනට ගෙනා හෙලිකොප්ටර්, මහින්ද රාජපක්ෂ සඳහාම ගෙන්වූ වෙනම සුඛෝපභෝගී ගුවන් යානය, මහින්ද රාජපක්ෂ මහතාට අයත් හෝටල් ගැන ඔහු කිහිප විටකදීම ප්‍රසිද්ධියේ බොරු කියා තම තත්වය බාල්දු කර ගන්නා ලදී. නායකයා එලෙස හැසිරෙන මෙම යහපාලන කණ්ඩායම තුළ බොරු කීම තව දුරටත් පාපයක් ලෙස නොහැඟෙන තරමට එය සාමාන්‍යකරණය වී තිබේ. ඒ ප්‍රවාහයට අසුවන සරත් විජේසූරිය මහතාද ඇඟට පතට නොදැනී මුසා බස් දොඩයි. බොරු කීමට ඇති ලැජ්ජාව ඔවුන් වෙතින් අතුරුදන් වී තිබේ.

සුදු වෑන් සිද්ධිය සහ මර්දනය පිළිබද මුසාබස් සමාජගත කරන ලද්දේ එකල සිරිසේන මහතාගේ වචනයෙන්ම පවසනවා නම් “විපක්ෂයේ දේශපාලන කුහකයන්” විසිනි. බුද්ධිමතුන් නිහඬව සිටීම එසේ වැරදි අදහස් සමාජගත කෙරුමට අනුබල සැපයීය. ඔවූහූ නිහඬව සිටියේ මර්දනයක් නිසා නොව මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ හැකි බවක් නොපෙනුනු එකල, දැනට තමා ලබන හෝ අනාගතයේදී ලැබේවි යයි සිතන වරප්‍රසාද අහිමී වේ යන උදරාර්ථය පදනම් කොට ගත් නිසාය. කලක් නිදා සිටි සරත් විජේසූරිය මහතා වැන්නවුන් එක්වරම නින්දෙන් අවදි වූවාක් මෙන් අදහස් දක්වන්නට පටන් ගත්තේ පසුගිය ජනාධිපටිවරණය කට ළඟට ආ විට පමණි. එවිටද රාජ්‍ය බලය තිබුනේ මහින්ද රාජපක්ෂ රජය වෙතය. සරත් විජේසූරිය මහතාම මවන බිල්ලාට අනුරූපව සිතුවහොත් අද මෙසේ ලිපි ලියන්නට ඔහු ඉතිරි වී සිටිය නොහැක.

එකල සිය උදරාර්ථය උදෙසා නිහඬව සිටි බොහෝ බුද්ධිමතුන්ට සිය බඩගෝස්තරවාදී නිරුවත වසා ගැනීම සදහා මර්දනය යන්න අපූරු සළුවක් විය. හැම එකාම මර්දනයක් ඇති බව පවසද්දී ඒවා ඇත්තම ලෙස පිලිගැනීමට සරත් විජේසූරිය මහතා වැන්නවුන් පෙළඹුනා විය හැකිය. ගමක එකෙකු හොල්මනක් දුටු විට ඒ බව ප්‍රචාරය වී තව කිහිප දෙනෙකුම හොල්මන් දකින බවට පුවත් අපි නිතර රූපවාහිනීයෙන් දකින්නෙමු. ඉන් පසුව ඒ ගමට යන උගතුන් පවසන්නේ ඒ හොල්මන් නොව. එය මාස් හිස්ටීරියා නම් මානසික රෝගී තත්වයක් බවයි. නමුත් අවම වශයෙන් එහිදී හොල්මන් දුටු පුද්ගලයන් කිහිප දෙනෙක්, ඒ අය විසින් කරන හොල්මන පිළිබද විග්‍රහයක් පවතියි. නමුත් මේ සුදු වෑන් පිළිබද කතාවේදී එසේ “සුදු වෑන්කරණයට” ලක් වූ පුද්ගලයෙක් හෝ ලක් ලක් කළ පුද්ගලයෙකකු හෝ පිළිබඳ කිසිදු සාක්ෂියක් නැත. එසේ නම් සරත් විජේසුරිය මහතා එවන් මර්දන හොල්මනක් දුටුවේ නම් ඔහුද මාස් හිස්ටීරියා තත්වයකට ගොදුරු වී ඇත්දැයි අපට විද්‍යානුකූල සැකයක් හට ගැනීම වැළැක්විය නොහැකිය.

එකල සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බව සැබවි. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය විය. එයට සම්බන්ධ වූවන් පිළිබද එකල රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් හැන්සාඩ් වාර්තාවලින් ලබා ගත හැකිය. එවක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වූ එජාප මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා 2008 ජුලි 8 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා විසින් මෙහෙයවන ලද විශේෂ කණ්ඩායමක් මඟින් එම ප්‍රහාරය සිදු කළ බවය. පොද්දල ජයන්ත වැනි අයට පහර දෙනු ලැබුනි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් විය. මහින්ද රාජපක්ෂ රජය ඒවාට සම්බන්ධ වූ වැරදි කරුවන් සොයා ඔවුනට දඬුවම් දීමට අසමත් විය. නමුත් ඛේදජනක රැවටීම වන්නේ මේවාට සැක කෙරෙන පුද්ගලයන් බවට එකල විපක්ෂ කඳවුර විසින්ම නම් කළ පුද්ගලයන් සරත් විජේසූරිය මහතාට සැපට දැනෙන මේ වෙනස සඳහා ආරම්භක රහසිගත අවස්ථාවේ සිටම සම්බන්ධ වී සිටීමය. සරත් විජේසූරිය මහතා වෙනස සඳහා කලඑළි බසින්නේ ඔවුනට බොහෝ කලකට පසුවය. එකල යම් භීතියක් සරත් විජේසූරිය මහතාට වී නම් අද ඒ භීතිය වඩාත් තදින් අපට දැනිය යුත්තේ ඉහත අපරාධවලට සම්බන්ධ යැයි පැවසූ පුද්ගලයන් අද සිටින්නේ සරත් මහතා මෙන්ම ඊනියා යහපාලන පිළේ බැවිනි.

මෙරටට අවංකව කෙරෙන හරවත් සංවාදයක් අවශ්‍යය. එවැනි හරවත් සංවාදයකට දායක විමට ඇති අවස්ථාව සහ වගකීම සරත් විජේසූරිය මහතා යළිත් වරක් මඟ හැර ඇති බව අපට කණගාටුවෙන් වුවත් සටහන් කර තැබීමට සිදුවේ. ඔහුගේ ලිපිය තුළ එම සම්මන්ත්‍රණය තුළ ඉදිරිපත් කළ එකදු කරුණකටවත් පිළිතුරක් සපයා නැත. ඔහු කළ යුතුව තිබුනේ සම්මන්ත්‍රණයට සහභාගී වී හෝ එම කතාවන්ට අන්තර්ජාලය ඔස්සේ හෝ සවන් දී, ඒ ඔස්සේ තර්ක කිරීමයි.

ඇතැම් නූගත් අසංවර මිනිසුන් තමන් සිතන දෙයට මදක් හෝ වෙනස් අදහසක් පවසන්නාට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිනවා මිස අදාළ කරුණු අරඹයා කිසිදු සාකච්ඡාවකට එළැබෙන්නේ නැත. අවාසනාවකට මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ මුළු ලිපිය පුරාම දිස් වන්නේ ඒ අවියත් ස්වභාවයයි. ඔහු කරන්නේ සම්මන්ත්‍රණයට සම්බන්ධ සියළු දෙනාට “ජාතිවාදියා” යන කුණුහරුපයෙන් දමා ගැසීම පමණි. කුණු හරුපෙන් බනින්නාට පෙරළා කුණුහරුපයෙන් පිළිතුරු දීමට අප පෙළඹෙන්නේ නැත.

මෙම සම්මන්ත්‍රණය තුළ දැක්වූ කුමන අදහස ජාතිවාදීදැයි එතුමාට පෙන්වා දිය හැකිද? මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ අස්ගිරි මහාවිහාරීය කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි, මොහාන් සමරනායක මහතා, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා සහ ගෙවිදු කුමාරතුංග මහතා මින් පෙර හෝ ජාතිවාදී අදහස් දක්වා තිබේද? එසේ නම් ඒ මොනවාද? මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළ යුතුකම සංවාද කවයේ වෙබ් අඩවියේ හෝ ජාතිවාදී අදහසක් පළ වී ඇති බව මහාචාර්ය සරත් මහතාට පෙන්වාදිය හැකිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී පලා යාමෙන් සරත් විජේසූරිය මහතා කුණුහරුප කාරයකුගේ තත්වයට පත් නොවනු ඇති බව අපි විශ්වාස කරමු.

වත්මන් රජය යටතේ ඇති සැප කිහිපයක් ඔහු පෙන්වාදෙන්නට තැත්කරයි. ඒවායෙන් මූලික වශයෙන් කියවෙන්නේ වත්මන් පාලනය තුළ රාජ්‍ය නිලධාරීන්ට ලැබුනු නිදහසත්, නීතියේ ආධිපත්‍ය සුරැකීමත් පිළිබඳවය. දවල් සිහිනයක් රසවිදිමින් සිටින සරත් විජේසුරිය මහතා සිය ඇස් කන් හැර වට පිට බලන්නෙකු නොවන බව පෙනේ.

මෙවසර ජනවාරි 29 වන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සියළුම රජයේ නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින පූර්ව අවසරයකින් තොරව මාධ්‍යය වෙත අදහස් දැක්වීම ආයතනික සංග්‍රහය යටත් ඔවුනට විරුද්ධව විනයානූකූල පියවර ගැනුමට සිදු වන බව අවධාරණය කර සිටියේය. පෙබරවාරිය 18 දින ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ පළමු ජන රැළියෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම මහජන නියෝජිතයන්ට එම පක්ෂයේ පූර්ව අනුමැතියකි තොරව මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කළේය. එක් අතකින් තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන සිහින මාළිඟාවන් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුවට විජේසුරිය මහතා වැන්නවුන් දායක වෙද්දි මහජන නියෝජිතයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ මානව හිමිකම පවා උල්ලංගණය කරන්නට තැත් දැරිමේ වෙනසද ඒ මහතාට සැපදැයි අපි නොදනිමු.

රටක ප්‍රජාතන්ත්‍රවාදය රඳාපවතින්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන බල කණු තුන උඩය. ජනවාරි අට වෙනිදා මෙරට ජනතාව විසින් විධායකය ඡන්දයෙන් තෝරා පත් කරන ලදී. ඉන් පසුව එදා මෙදා තුර ලෝකයේ ජනාධිපතිවරණයකින් පත් වූ එකම අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය. අගමැති මෙන්ම කැබිනට් මණ්ඩලය පත් කිරීමද සිදු වන්නේ ව්‍යවස්ථා විරෝධිව සහ සදාචාර විරෝධීවය. වෙනස් ලෙස පත්වූ අගමැති තුමා තමන් මුලසුන දරන රැස්වීමකදී විපක්ෂ නායකවරයා කවරෙක්දැයි තෝරනු ලබයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෑ මොර දෙමින් ඒකාධිපතිත්වය කරා යන චෞරයන්ට නම් මේවා සැප විය හැකිය.

ව්‍යවස්ථාදායකයට එසේ පා පහරක් එල්ල කළ අත්තනෝමතික විධායකය මීළඟට අධිකරණයට එල්ල කළේ පෑන් පහරකි. හිටපු අගවිනිසුරුතුමා හිටලා නැතැයි කියා සිරිසේන ජනපතිතුමා කොළයක අත්සන් තැබීය. ඒ යහපාලන කෝළමේ ඊළඟ නාටකීය ජවනිකාව වූයේ එම මෙහෙයුමට සහය දැක්වූ නීතිඥ සංගම් සභාපති උපුල් ජයසූරිය මහතා අදාළ සිද්ධියෙන් දින කිහිපයකට පසු ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කොට ඔහුට ඉහළින් ම කෘතගුණ” සැලකීමයි. වෙනස සැපද පෝස්ටරය දැක උත්ප්‍රාසජනක සතුටක් සහ දැඩි කම්පාවක් ඇති කරගත් සරත් විජේසූරිය මහතාට තමන්ද දායකය වූ වෙනස මඟින් ජනතා පරමාධිපත්‍ය බලය මහ දවල් කෙළෙසන විට සැපක් දැනුනේ කෙසේදැයි අපි නොදනිමු.

ප්‍රජාතන්ත්‍රවාදය මහ දවාලේ අමු නිරුවතින් කෙළෙසද්දී සරත් විජේසූරිය වැනි අය කරන්නේ ඒ හෙළුව ජනතාවගෙන් වසන් කිරීමට නූල් පටක් හෝ සොයා ගැනීමට තැත් කිරීමයි. රෝහණ විරසිංහට, නීලා වික්‍රමසිංහට ගුවන් විදුලිය තුළ ඉඩ ලැබීම වැනි ඉතා ක්ෂුද්‍ර කාරණා ඉදිරිපත් කිරීමයි. වෙනසේ සැපෙන් මුසපත්ව සිටින ඒ මහතාට රජයේ උසස් නිලධාරීන්ට නීතියට හා තම හෘද සාක්‍ෂියට අනුව වැඩ කිරීමේ අවස්ථාව මේ රජය විසින් ලැජ්ජා සහගත ලෙස අහිමි කොට ඇති බව නොපෙනේ. කරුංකා හා තඹ තොගයක් රේගුවෙන් නිදහස් කිරීමට ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු කළ බලපෑම ගැන මාධ්‍ය වාර්තා පළ වී සති දෙක තුනක් ඇතුළත ශ්‍රි ලංකා රේගු අධ්‍යක්‍ෂවරයාට ඉල්ලා අස්වීම, මෙන්ම පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්සුක් මහතා ද ඇමතිවරයා සමග වූ ‘නො එකඟතාවක්’ හේතුවෙන් ඉල්ලා අස් වී ගෙදර යාමද සරත් මහතාගේ සැපතට බාධාවක් වී නැත.

වෙලේ සුදා විසින් නම කියූ පසුවවත් දුමින්ද සිල්වාව ආසාවට එක් දිනකට හෝ අත් අඩංගුවට නොගන්නේ මන්දැයි විජේසූරිය මහතාට කල්පනා නොවේ. සත්ගුණවත් මර්වින් සිල්වා මහතා යහපාලනයේ කොටස් කරුවෙකු වීම වෙනසේ සැපයක් ලෙස විජේසූරිය මහතා ඔහුගේ මීලඟ ලිපියෙන් පෙන්වා දුනහොත් අපි පුදුම නොවෙමු.

වෙනසේ සැප හොඳින්ම දැනෙන්නේ ඒ මහතා ලියූ දෙයින් නොව, ඔහු නොලියූ දෙයිනි. පසුගිය රජයට එල්ල කළ බරපතලම චෝදනාව වූයේ මුල්‍ය දූෂණයන්ය. කළින් ආණ්ඩුවේ තිබුනා යැයි කියූ සොරකම් මේ ආණ්ඩුව තුළ නැති නිසා වෙනස සැප යැයි කීමට ඒ මහතාට අමතක වූවා විය නොහැකිය. දින දෙසීයක් නික්මීමට මත්තෙන් ඔහුට එසේ කීමට නොහැකි වී ඇත. රටේ ආර්ථිකයට විශාල පාඩුවක් සිදු කළ මහබැංකුවේ බැදුම්කර හොරකම නිසා සරත් මහතාට හොරකම් අඩුවීමේ සැපක් ගැන සඳහන් කළ නොහැකිය. රනිල් වික්‍රමසිංහගේ රජය ආරම්භ වන්නේ රටේ මහ බැංකුවෙන්ම හොරකම් කිරීමෙනි. එය එසේ මෙසේ හොරකමක් නොව, වසර 30 ක් පුරා ප්‍රතිලාභ ලැබෙන හොරකමකි. මේ මහා මුල්‍ය දූෂණය මහ බැංකුවේ සිදු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා තමන් යටතට (ක්‍රම සම්පාදන අමාත්‍යංශයට) ගෙන තිබියදීය. තමන් විසින්ම තෝරා පත්කළ මෙරට පුරවැසියෙකුද නොවන මහ බැංකු අධිපතිවරයෙකු යටතේය. ඒහෙත් සරත් විජේසුරියලාට රනිල් මිස්ට ක්ලීන්ය, වෙනස සැපය.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

www.yuthukama.com

One Response to ““වෙනස සැපද? සරත් විජේසූරියට සැපයිලු” -සරත් විජේසූරිය මහතාට පිළිතුරක්”

  1. ranjit Says:

    I have never seen people lying like this in my life specially intellectuals and current politicians. This is too much. People do not know what to believe in this circumstances. UNP is the main culprit in lying. Awamangalaya,Rajithaya,Kiriella,Harrison,One shot were among the famous liars in politics today. People should not believe everything they utter. these liars have never proved anything up to date regarding corruption in the previous Govt. People should not believe the words of these politicians but see from their own eyes who has done more work to the country and uplift the people’s livelihood etc. We all know how we suffered for thirty long years.We were not able to walk freely because of bombs here and there planted by LTTE terrorists. Children didn’t attend schools,No late night shows,parties,weddings etc. Only funerals could be seen in those days. Those days are gone now.Thanks to our war heroes we have a free country to live but these western paid liars are spreading unbelievable lies across the country to disable the country again to the satisfaction of foreign enemies of our land.

    Sarath Wijesooriya is nothing but a coward and a liar who has no fan base except few like him to follow. See what has happened to Yahaplana stalwarts? within six months Yahapalanaya has broken in to pieces which nobody can repair. Sobithaya is retiring from politics fed up of Sira. Rathanaya has divorced Champaka. Rajithaya has got married to Chandrika and the best man is Arjuna. Sira has become a lone wolf with no one to follow him. This is dirty politics.
    We need a strong leader to rule our country.We need a leader who has a vision not a leader who take revenge from his Opponents. We need a leader who can stand up to foreign pressure. We need a leader who has Charisma,Vision,strength and stamina to lead. We need a man like Mahinda our former President of Sri Lanka as our leader to live in peace and harmony for all races.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress