එන්න! ඇඹිලිපිටිය මෙන්න! ඝාතකයින්ගේ යුගය ඇරඹෙයි!
Posted on July 11th, 2015

ධර්මන් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ සහ නිරිතදිග තැනිතලාවේ උස් භූමියක් ලෙසට පිහිටි සබරගමුව රක්වාන කඳුවැටිය ආශ්‍රිතව රත්නපුර දිස්ත්‍රික්කය පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 3,239ක භූමිභාගයක පැතිර ඇති රත්නපුර දිස්ත්‍රික්කය දකුණින් ගාල්ල මාතර හම්බන්තොටින්ද උතුරින් කෑගල්ල නුවරඑලිය දිස්ත්‍රික්ක වලින්ද නැගෙනහිරින් බදුල්ල මොණරාගල දිස්ත්‍රික්කවලින් සීමාවී ඇත.
Abilipitiya_LNW

02

රත්නපුර දිස්ත්‍රික්කය ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප 4කට අයත් අතර එය ශ්‍රිපාදය ආශ්‍රිත ප්‍රදේශය කඳුකර තෙත් කලාපය ලෙසද කල්තොටට ඉහළින් වූ කඳුරට සහ රක්වාන වැටියෙන් නැගෙනහිර පෙදෙස කඳුකර වියලි කලාපය ලෙසද ඇහැලියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත ඇතුළත් ප්‍රදේශය පහත රට තෙත් කලාපය ලෙසද කොලොන්න කෝරලයට අයත් විශාල ප්‍රදේශය පහත රට වියලි කලාපය ලෙසද හැදින්වේ. ජවිපෙ දෙවන කැරළි සමයේදී 1988-89දී රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනය මූල කඳවුරක් බවට පත්වී තිබිණි.

කොලොන්න ආසනය මායිමේ තංගල්ල, තිස්සමහාරාමය, දෙනියාය, ඇතුළු ආසන කිහිපයක් පිහිටා තිබූ බැවින් කොලොන්න ආසනයේ ජවිපෙ ක්‍රියාකාරි කටයුතු 1971දී මෙන්ම 1986 සිට 1989 දක්වාද ඉහළ මට්ටමක ගෙන තිබිණි. සූරියකන්ද පිහිටා ඇත්තේ ඇඹිලිපිටියේ සිට කිලෝමීටර් 50ක් පමණ දුරිනි. කොලොන්න ආසනයට ඇඹිලිපිටිය සහ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අයත්ය. ලන්දේසි යුගයේදී කටුවන ලන්දේසි බලකොටුව පිහිටා තිබුණේ මුහුදුකරය සහ කන්ද අතර මායිමක් ලෙසිනි. රජකාලයේදී එම ප්‍රදේශ ආශ්‍රිතව සටන් මධ්‍යස්ථානද පැවතිණි. හැටේ දශකය අවසාන භාගයේදී නව ජනපදිකයින් වශයෙන් ඇඹිලිපිටියේ පදිංචියට පැමිණි බොහෝ දෙනෙකුගේ නිජබිම වූයේ දකුණු පළාතේය.

LukyAlgama

ජවිපෙ දෙවන කැරළි සමයේදි කොලොන්න ආසනයේ ඇඹිලිපිටිය, සූරියකන්ද, උඩවලව, කුට්ටිගල, ගොඩකවෙල ඇතුළු වලව නිම්නය තුළ කැරැල්ලේ ක්‍රියාකාරකම් ඉහළම වර්ධනයක් පෙන්නුම් කරනු ලැබීය. කොලොන්න ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයා වූයේ එජාප ආණ්ඩුවේ සංවිධායකවරයා සහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් 1989 පෙබරවාරි මස මහ මැතිවරණයෙන් පසු ක්‍රීඩා ඇමති වශයෙන් පත්කල නන්ද මැතිව්ය. ඔහු කැළණියේ එජාපයේ හිටපු මන්ත්‍රී සිරිල් මැතිව්ගේ පුත්‍රයෙකි.

කොලොන්න ආසනය රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කල අතර සබරගමු පළාතට අයත් විය. ජවිපෙ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් සබරගමුව සහ බස්නාහිර පළාත්වල දේශපාලන ලේකම්වරයා වුයේ ඩී.එම්. ආනන්දය. එම පළාත් දෙකේ යුධ ලේකම්වරයා වූයේ සමන් පියසිරි ප්‍රනාන්දුය. ජවිපෙ යුධ පුහුණු කඳවුරුද කලක් රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල කන්දේ සහ බුළුතොට හෙල්වැටිය පාමුල අසළ පැවැති අතර අධ්‍යාපන කඳවුරු විශාල සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම වාගේ පැවතිණි.

04

ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය සරසවිවල මෙන්ම පාසැල්වලද දෙවන කැරළි සමය වනවිට ජනප්‍රිය වෙමින් පැවති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ සීවිලි මහා විද්‍යාලය, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය, පැල්මඩුල්ල ගන්කන්ද මහා විද්‍යාලය ඇතුළු පාසැල් කිහිපයක සමාජිකයින්ද සුමන සහ ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයන්හි සාමාජිකාවන් කිහිප දෙනෙක්ද එයට ක්‍රියාකාරිව එක්වී සිටියහ. මිශ්‍ර පාසැල් අතර රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටමින් ඉහළම ස්ථානයක් දිනාගෙන සිටියේ සීවලී සහ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය විසිනි.

කැරළිකරුවන් විසින් නිල නොවන මට්ටමෙන් 1988 මැද භාගය වනවිට කොලොන්න ආසනය ඇතුළු ඒ අවට ප්‍රදේශ සිය අණසකට යටත් කරගෙන සිටියහ. ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තබන ලදී. තුංකමදී හමුදා රථයකට බිම් බෝම්බයක් අටවා පිපිරවීමෙන් හමුදා සෙබළුන් 8 දෙනෙකු මරුමුවට පත්විය. මහගම හත්පෝරුව පොළ දිනයේදී තවත් බිම් බෝම්බයක් පිපිරවීමෙන් හමුදා රථයක සිටි 6 දෙනෙක් මරුමුවට පත්විය. දෙවන කැරැල්ලේ ආරම්භක සමයේදී තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 ජුලි 31වැනිදා වෙඩි තබා ඝාතනය කරන ලද්දේද ඇඹිලිපිටිය කුට්ටිගල පාලම අසළදීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ සහ විශේෂයෙන් කොලොන්න ආසනයේ අරාජික තත්ත්වයට විසදුමක් ලබාගැනීම සඳහා එජාප මන්ත්‍රී නන්ද මැතිව්ගේ ඉල්ලීමක් අනුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1988 ඔක්තෝබර් 4 වැනිදා කොළඹ 7 වෝඩ් පෙදෙසේ අංක 66 පිහිටි සිය පෞද්ගලික නිවසේදී සාකච්ඡාවක් කැඳවා තිබිණි. එයට එජාප මන්ත්‍රී නන්ද මැතිව්, රත්නපුර දිසාපති පී. හතුරුසිංහ, රත්නපුර පොලිස් අධිකාරි සිරිසේන හේරත්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් සේපාල ආටිගල, පොලිස්පති සිරිල් හේරත් ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජවිපෙ භීෂණය මර්ධනය කිරීමේ වගකීම් දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ලක්ෂ්මන් අල්ගම වෙත මුළුමනින් පවරන ලදී. හමුදා අනු කණ්ඩයන් කොලොන්න රෝහලට යාබදවද, සූරියකන්ද කුළුණු පිහිටි ප්‍රදේශයේද, ඇඹිලිපිටිය කොතලාවල හන්දියේ ගංඟා නිම්න සංවර්ධන මණ්ඩලයේ පැරණි කාර්යාලයේද, 1984 ඇඹිලිපිටියේ ගම්උදාව පැවති භූමියේ පිහිටි කාර්යාල සංකීර්ණයේදී සෙවණ කඳවුර ලෙසින්ද ස්ථාපිත විය. කොලොන්න ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ වගකීම කලවාන පොලිස් ස්ථානාධිපතිවන උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත ජයකොඩිට පවරමින් ඔහුට කොලොන්න පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසින් ස්ථාන මාරුවක් ලබාදුන්නේය.

DeathP

කොලොන්න ආසනය හැටේ දශකය දක්වා එජාප බලකොටුවක් වුවද පසුව එය වාමාංශික දේශපාලනයේ සරුබිමක් විය. සමසමාජයේ පී.ඕ. විමලනාග සමගි පෙරමුණ යටතේ තරඟ කර 1970දී කොලොන්න මන්ත්‍රීවරයා විය. නන්ද මැතිව් එහි මන්ත්‍රීවරයා වූයේ 1977දීය. රත්නපුර දිස්ත්‍රික්කයේ එකම විපක්ෂ මන්ත්‍රීවරයා වූයේ 1981 ජනවාරි 12 අතුරු මැතිවරණයෙන් කලවානට පත්වූ සරත් මුත්තෙට්ටුගමය. වසර 1989 පෙබරවාරි මස මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප මන්ත්‍රීන් ලෙස පත්ව සිටියේ රත්නපුරයේ නන්ද එල්ලාවල, නිවිතිගල ජෝන් සෙනවිරත්න, රක්වානේ හින්මහත්තයා ලියනගේය. දුෂ්කර කඳු බැවුම්, රක්ෂිත වනයන් වලින් සමන්විතවූ කොලොන්නේ භූගෝලීය පිහිටීමේ වාසිය ඔස්සේ ජවිපෙ දෙවන කැරැල්ලේ කැරළිකරුවෝ ග්‍රාමීය ගරිල්ලා සටන් කලාව අත්හදා බලමින් සිටියහ. එජාප ආණ්ඩුවට එරෙහි ග්‍රාමීය ජනතාවගේ සහායද කැරළිකරුවන් වෙත ලැබිණි.

Principal

ජවිපෙ දෙවන කැරැල්ල අවසාන වන විට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවූ මුළු පාසැල් සිසුන්ගේ සංඛ්‍යාව 2,327කි. වසර 1989 දෙසැම්බර් 1වැනිදා වන විට ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසැල් 13කින් පැහැරගත් සිසු පිරිස පමණක් 53ක් විය. ඉන් 48 දෙනෙකු කුරිරු වධ බන්ධනවලින් පසු ජීවිතක්ෂයට පත්විය. එම මියගිය ඇඹිලිපිටිය සිසු 48 දෙනා අතරින් මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ සිසුන් වශයෙන් සිටියදී පැහැරගෙන ගොස් අතුරුදහන්වූ සිසුන් 32ගේ ඝාතනයන්ය. පාසැල් සිසුන් ඝාතනය කිරීමට පෙර බොහෝ දෙනෙකු තිරස්ථින වධ බන්ධනවලට ලක්විය. ඔවුන්ට ධර්මචක්‍රය, ස්පොන්ච් කැබලි ගිල්ලවීම, ඇණ, වීදුරු සහ යතුරු ගිලීම, අධෝමුඛ මාර්ගයට කම්බිකටු දමා ඇඟ ඇතුලේ කැරකවීම, ටියුබ් ලයිට් කන්නට දීම, විදුලි ස්ත්‍රික්කයෙන් පිටවල් අයන් කිරීම ආදි වධ බන්ධන ගණනාවකට ගොදුරු විය.

මෙසේ 1989 නොවැම්බර් 11වැනිදා සහ ඒ ආසන්නයේ දිනයන්හි පැහැරගෙන ගොස් 1990 ජනවාරි 24වැනිදා රාත්‍රියේදී සමූහයක් වශයෙන් ඝාතනයට ලක්වූ ඇඹිලිපිටියේ පාසලේ සිසුන් 32 වූයේ අනුර ප්‍රියසමන්, ඉන්දික මල්වත්ත, රසික නලීන් කුමාර ගුණරත්න, කුමාර විජේතුංග, චාමර සුදර්ශන ජයසේන, සුසිල් කුමාර, රුවන් රත්නවීර, ප්‍රභාත් කුමාර, තිලාන් මානෙල්ක ද සිල්වා, චමින්ද රොෂාන්, රවින්ද්‍ර රුක්මාන් පරණවිතාන, ඒ.ජේ. ගුණසිරි, උදේශ් කවින්ද්‍ර සෙල්ලහේවා, ප්‍රසන්න හඳුවල, මහින්දපාල වික්‍රමසිංහ, එච්.පී.බී. පාලිත, වසන්ත ප්‍රියසමන්ත, ඇලෝසියස් ස්ටීවන්, ජී.ඒ. රෝහන, අනුර ජනප්‍රිය, ජී.එච්.ඩී. නිහාල්, පාලිත ලක්ෂ්මන් ගුරුගේ, නිමල් සිසිර කුමාර, චමින්ද විජේකෝන්, ධම්මික කුමාර බැරගම ආරච්චි, ප්‍රදීප් විජේසිංහ, කේ. පියසිරි ඇල්ෆඩ් පාලිත, සනත් ප්‍රියන්ත, ජයසිරි හෙට්ටිගම, වයි වී.ඒ. සුසන්ත වේ.

07

ඇඹිලිපිටිය පාසලේ අතුරුදහන්වූ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් දෙමාපිය සංගමයක් ස්ථාපිත විය. එම සංගමය ආරම්භ වූයේ ඇඹිලිපිටියේ බෝධිරාජාරාමයේදීය. එහි ලේකම්වූයේ චන්ද්‍රපාල සිල්වාය. එමගින් අඛණ්ඩ උද්ඝෝෂණයක් ගෙනගිය අතර ඒ පිළිබදව 1992 පරික්ෂණයක් නාමිකව ආරම්භ කිරීමටද එජාප ආණ්ඩුවට සිදුවිය. එහෙත් එය ආන්දෝලනයකට ලක්වුයේ 1994 ජනවාරි 4වැනිදා සූරියකන්දේ සමූහ මිනී වලකින් කිහිප දෙනෙකුගේ අක්ෂි කොටස් හමුවීමත් සමඟය. මෙම ස්ථානයේ සිරුරු 300ක පමණ ප්‍රමාණයක් වලදමා ඇතැයි කියවිණි. ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් මාතලේ, අංකුඹුර, නිකවැරටිය, චෙම්මනි, මිරුසුවිල්, දුරෙයිඅප්පා ක්‍රීඩාංගනය යන ස්ථානයන්හි හමුවිය.

එවකට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වූයේ දයානන්ද ලොකුගලප්පත්තිය. රත්නපුර බටුහේන මහ විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කල ඔහු 1977 එජාප රජය බලයට පත්වීමත් සමඟම දේශපාලන පලිගැනීම්වලට ලක්වුයේ එවකට ඔහු කුරුවිට ශ්‍රිලනිප බල මණ්ඩලයේ ලේකම්වූ බැවිනි. පසුව චන්ද්‍රිකා වැව ජයන්ති විදුහලේ විදුහල්පති ලෙසට මාරු කරන ලදී. ශ්‍රිලනිප කණ්ඩායම් දෙකකට කැඩී සිරිමා සහ මෛත්‍රී ලෙස වෙන්ව ගොස් පසුව මෛත්‍රීපාල සේනානයක එජාපයට එක්විය. ඒ සමඟම දයානන්ද ලොකුගලප්පත්තිද එජාපයට එක්විය.

Scholers

පසුව රත්නපුර ශ්‍රී පලාබද්දල විදුහලේ විදුහල්පතිවරයා ලෙස ලොකුගලප්පත්ති පත්විය. වසර 1983 ක්‍රියාවට නැගුණු අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා පිහිටවූ ප්‍රථම පර්ෂද පාසැල වූයේ පලාබද්දල විදුහලය. එහි උසස් පෙළ ඉහළ ප්‍රතිඵල ලබාදෙමින් නේවාසිකාගාරයක් පිහිටුවීමටද ඔහු සමත්විය. පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් ලොකුගලප්පත්ති පත්වුයේ ජවිපෙ දෙවන කැරළි සමයේදීය. විදුහල්පති ගේ පුත්‍රයාද මෙම පාසලේම ඉගෙනුම ලැබීය. විදුහල්පති ගලප්පත්ති පෞද්ගලික අයිතියට ඇති රිවෝල්වරයක් ඉනේ ගසාගෙන අතකින් ග්‍රෙනේඩ් බෝම්බයක්ද අතැතිව පාසැලේ අණසක පතුරාගෙන සිටි බවට චෝදනා එල්ල විය.

සිසුන් අතුරුදහන් වීමට සෘජුවම හේතු තුනක් බලපෑවේය. එක් හේතුවක් වූයේ පාසැල් භූමියේ තැනක ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට තෙල් ටැංකි පවා ගෙනවිත් වලදමා පිඹුරුපත් සැකසි තිබිණි. දෙවැන්න විදුහල්පතිගේ පුත් 12වන ශ්‍රේණියේ චමින්ද එම පාසැලේම ශිෂ්‍යාවක් වූ 11වන ශ්‍රේණියේ ඒ පන්තියේ පවිත්‍රා රන්මලීගෙන් ආදරය වරින්වර ඉල්ලා සිටියද එය නොලැබීමෙන් පසු ඔහු විසින් ලියන ලද පෙම්පතක් සිසුන් අතර හුවමාරු වීමය. තෙවැන්න විදුහල්පතිට සිසුන් පිරිසක් විසින් සංවිධානාත්මකව කිහිප වරක් හු තැබීමය. චමින්දගේ පෙම් පුවත හේතුවෙන් පන්තිය ඇතුලේ කණ්ඩායම් දෙකක් බිහිවිය. පවිත්‍රා, ශිරෝමි, තුෂානි අප්සරා එක කණ්ඩායමක විය. තුෂානිගේ නිවුන් සොහොයුරාවූ චාමර සුදර්ශන ජයසේනද අතුරුදහන් වූ සිසුන් 32 අතර විය.

Death_man

පාසැල ආසන්නයේම සෙවණ හමුදා කඳවුර පැවති අතර හමුදා භටයින්ට පාසැල් භූමිය ආගන්තුක ස්ථානයක් නොවූහ. සිසුන් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට ඇඹිලිපිටිය විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක 1989 නොවැම්බර් 20වැනිදා රාත්‍රී 1.30ට ඝාතනය කරන ලදී.

පැහැරගෙන ගොස් රඳවා තබාගනු ලැබූ ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ පාසැලේ සිසුන් 32 සමඟ ඇඹිලිපිටියේ තවත් පාසැල් සිසුන් 16 දෙනා වෙඩිතබා ඝාතනය කර ටයර් දමා පුළුස්සා දමා තිබුණේ උඩවලවේ වනෝද්‍යානයේ තණමල්විල මහාමාර්ගය දෙපසද, කරවිලයායට යන කාරමඩිත්තිය පාරේද සහ පනාමුර පාරේදීය. ඒ 1990 ජනවාරි 24වැනිදා රාත්‍රියේදීය. ඇලුමිනියම් තහඩු ගසන ලද ලොරියකින් අත්පා බදින ලද සිසුන් බිමට බස්සවා ඔවුන් විලාප දෙද්දී මෙම වෙඩි තැබීම් කර තිබුණ බව අසළ මුර මඩුවක අයෙක් පසුව කියා තිබිණි. සෙවණ කඳවුරෙන් එහි සිටි අනුඛණ්ඩයය නික්ම ගියේ ඉන් දින කිහිපයකට පසුවය.

10

සූරියකන්දේ ටෙලිකොම් කුළුණු ස්ථාපිත කිරීමේ නිරතව සිටි ඉංජිනේරුවෙකු විසින් මේ බව ප්‍රථමයෙන් අනාවරණය කළේය. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයට පැමිණි 25 දෙනෙකුගෙන් සමඟ යුත් පිරිසක් බස්නාහිර මහ ඇමතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය යටතේ සූරියකන්ද බලා කොළඹින් අලුයම 5ට පමණ පිටත්විණි. පිරිස සම්බන්ධීකරණය කළේ දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක නිහාල් පෙරේරාය. මාධ්‍යවේදීන් ලෙස සහභාගි වූයේ දයා ලංකාපුර සහ චූලවංශ සිරිලාල්ය.

පැල්මඩුල්ලේ ප්‍රවිත්‍රා වන්නිආරච්චිගේ නිවසින් උදෑසන ආහාරය ගත් පිරිස උදළු, අලවංගු, කූඩ සහ කම්කරුවන්ද සමඟින් සූරියකන්ද බලා පිටත්විය. මහ ඇමතිනී චන්ද්‍රිකාද සූරියකන්දේදී එයට එක්විණි. අවසානයේ වාහන 10ක පමණ ගමන්ගත් 50ක පමණ පිරිසක් එක්වී තිබිණි. පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරි එයට විරෝධය දැක්වුවද එය නොතකා පිරිස සමූහ මිනීවල සොයා ගන්නට තැන තැන ඛනිනු ලැබීය. පස්වරුව වන විට දෙමාපියන් පිරිසක්ද පැමිණි අතර නීතිඥ එස්.ඒ. ප්‍රේමරත්නගේ මැදිහත්වීමෙන් රත්නපුර මහේස්ත්‍රාත් පියසේන රණසිංහද එම ස්ථානයට පැමිණ කැනීම් ආරම්භ කිරීමට මහේස්ත්‍රාත් නියෝගයක් ලබාදුන්නේය. එහිදී මානව අස්ථි හමුවූ අතර ඉන්පසු දින කිහිපයක්ම කැණීම් කරන ලදී. රත්නපුර මහේස්ත්‍රාත් පියසේන රණසිංහ චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ පසු කලෙක අල්ලස් කොමසාරිස්ද විය.

11

ඇඹිලිපිටිය සිසු ඝාතනයට ආදාල රහස් සූරියකන්ද සමූහ මිනීවලෙන් හෙළිකරගැනීමට හැකියාවක් ලැබුවේ නැත. සාමාන්‍ය මිනිසුන්ගේ මරණයක් නොව පාසැල් සිසුන් ඇතුළු පිරිසක් ඝාතනය වී එකම ස්ථානයක සමූහයක් ලෙස වළදමා ඇතැයි යන විශ්වාසයත් දේශපාලනික වශයෙන් ලැබුණු දැවැන්ත ප්‍රචාරයත් නිසා අතිවිශාල පිරිසක් සූරියකන්දට පැමිණියේය. දහස් ගණන් රැස්ව සිටි පිරිස් පවා තම ඥාතීන්ගේ අස්ථි සොයා හැකි පමණින් හෑරිම් කරන්නට වූහ. හැගීම් උත්සන්න වූ ඇතැම් දෙනා හමුවන අස්ථි කොටස් තම අතේ තබාගෙන හඬා වැලපෙන අයුරු ලියුම්කරුට එහිදී දැකගන්නට හැකිවිය. වලෙන් මතුවූ හිස් කබලක් තම අතට ගෙන මාධ්‍යයට පෙන්වමින් වොයිස් කට් දෙන දේශපාලඥයින්ද එහි විය.

සමූහ මිනිවල හාරා සිරුරු කොටස් ගොඩට ගෙන ඒවායේ අන්‍යතාවය සොයා බැලීමේ වගකීම භාරවූයේ රුහුණු අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය නිරිඇල්ලගේ චන්ද්‍රසිරි, කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරි එස්.එම්. කොළඹගේටය. මහාචාර්ය නිරිඇල්ල යුගෝස්ලෝවියාවේ වාර්ගික අර්බුදය හේතුවෙන් මියගිය අයගේ මළසිරුරු 1996දී ගොඩගත් සහ 2000දී නැගෙනහිර ටිමෝරයේ මළසිරුරු ගොඩගත් එක්සත් ජාතින්ගේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් පසු කාලයේ කටයුතු කළේය. දේශපාලන මැදිහත්වීම නොවන්නට කිසිදිනෙක සූරියකන්දේ සමූහ මිනීවල හැරෙන්නේ නැතිබව සත්‍යයකි. එහෙත් අවසාන ප්‍රතිඵලය වූයේ සූරියකන්ද මිනීවල හැරීමේ විද්‍යාත්මක අපේක්ෂා විනාශවී යාමය.

12

සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් තෝරා ගත නොහැකි අයුරින් කවලම්වීම නිසා සූරියකන්දේ මිනීවල හැරීමේ විද්‍යාත්මක අපේක්ෂා විනාශවී ගියේය. මෙවැනි තත්ත්වයක් හමුවේ කැනීම් කිරීම ඵල රහිත බව කියූ අධිකරණ වෛද්‍යවරු කැනීම් අතරමග නවතා දැමූහ. දේශපාලන මැදිහත්වීම හේතුවෙන් මහා ආන්දෝලානාත්මක ලෙස හැරීම ආරම්භ වී පසුව නිවැරදි අනාවරණයකින් තොරව අතරමග නවතා දැමූ සමූහ මිනීවලක් වෙත්නම් එය ශ්‍රී ලංකාවේ සූරියකන්ද මිනීවල පමණි. රත්නපුර මහාධිකරණයේ පැවති නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව ඝාතනය කිරීම් චෝදනා නොව පැහැර ගැනීමේ චෝදනා පමණක් එල්ල වූයේ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි නොමැතිවීම හේතුවෙනි.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ නව රජය 1994දි බලයට පත්වීමත් සමඟම ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදහන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලත් විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව රත්නපුර මහාධිකරණයේදී 1995 නඩු පවරන ලදී. එහි පළමු විත්තිකරු වූයේ විදුහලේ විදුහල්පති වූ ලොකුගලප්පත්තිය. ඔහුගේ පුත් චමින්ද දෙවන විත්තිකරු විය. එවකට ඔහු යුධ හමුදාවට එක්වූ ලුතිනන්වරයෙකි. සෙවණගල යුධ හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බ්‍රිගේඩියර් රෝහණ පරාක්‍රම ලියනගේ, කපිතාන් ජාලිය ධනංජය ඈපා, මේජර්වරුන් වන ගවේෂ් ලියනගේ සහ වජිර විශිෂ්ඨ චාමරසිංහ, කෝප්‍රල් සමරතුංග ආරච්චිගේ සේනාරත්න, සැරයන්වරුන් වන උපුල් චන්ද්‍ර සහ ජැක්සන් කුමාසිංහ යන අය සෙසු විත්තිකරුවන් වූහ.

වසර 1989 ඔක්තෝබර් සහ 1990 ජනවාරි අතර කාලයේදී සිසුන් 25 දෙනෙකු පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරගත කිරීම, සිසුන් අතුරුදහන් කිරීම සහ මරා දැමීම ඇතුළු අධිචෝදනා 80ක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරිණි. රත්නපුර මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර හමුවේ නඩු විභාගය ආරම්භ කළේ 1996 ජනවාරි 26වැනිදාය.

රත්නපුරේ මහාධිකරණයේ නඩුව සඳහා සුවිශේෂි කැපකිරීමක් කරමින් අතුරුදහන්වූ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලද්දේ සබරගමුවේ කීර්තිධර වාමාංශික ක්‍රියාකාරිකයෙකුවූ ජේෂ්ඨ නීතිඥ එම්. ඒ. ජස්ටින්ය. නීතිඥ ප්‍රියංකා ගුණවර්ධන ඒ සඳහා සහාය විය. බොහෝ අවස්ථාවලදී නීතිඥවරුන් වන මහින්ද රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ශ්‍රිලනිප නීතිඥ සංගමයේ සාමාජිකයින් රැසක්ද මහාධිකරණයේදී ලියුම්කරුට හමුවිය.

නඩු තීන්දුව 1999 පෙබරවාරි 10වැනිදා තීන්දුව ප්‍රකාශයට පත්කල අතර ලියුම්කරු, රත්නපුර ජේෂ්ඨ මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනාරච්චි සමඟින් එම අවස්ථාවට එක්වී සිටියහ. නඩු වාර්තාව පිටු 16,000කට ආසන්නය. විදුහල්පතිගේ පුත් චමින්ද සහ බ්‍රිගේඩියර් රෝහණ ලියනගේ සියළු අධි චෝදනාවලින් නිදහස් වූහ. එකම ඇසින් දුටු සාක්කියක්වත් නොමැතිව සිසුන් පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යෑම, නීති විරෝධි ලෙස රඳවා තබා ගැනීමේ අධි චෝදනාවන් 50කට විත්තිකරුවන් 7 දෙනෙකු වරදකරු විය. සිසුන් මරාදැමීමේ අධි චෝදනාවෙන් ඔවුන් නිදහස් කෙරිණි. අධි චෝදනාවන්ට නියම වූ සිරදඬුවම් එකවර ගෙවීයන ලෙස පැනවූ හෙයින් ඔවුන් සියල්ලටම හිමිවූයේ බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඬුවම්ය. රජයේ නීතිඥවරුන්වූ සරත් ජයමාන්න, ශාම්ලාල් රාජපක්ෂ සහ විජිත් මල්ල්ගොඩගේ සහාය ඇතිව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඩී.පී. කුමාරසිංහ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූහ.

13

තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත්කල අතර එහිදී සැරයන් ජැක්සන් කුමාරසිංහ සියළු අධි චෝදනාවලින් නිදහස් කෙරිණි. දස අවුරුදු සිර දඬුවම ස්ථීර කරමින් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූ 2002 ජනවාරි 4වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූහ. වරදකරුවන් වූ විත්තිකරුවන් හමුදා අධිකාරියෙන් ඉවත් කෙරිණි. මේජර්වරුන් වූ ජාලිය ඈපා සහ ගවේෂ් ගිනිගේ කපිතාන් ධූරයට පහත හෙලූ අතර අධිකාරියෙන් ඉවත් කිරීම නිසා ඔවුන්ගේ නමේ ඉදිරියෙන් හමුදා නිලය යෙදීමට නොහැකිය.

සිර දඩුවමින් නිදහස්වූ පසු ඇඹිලිපිටිය විදුහලේ හිටපු විදුහල්පතිවරයාවූ රත්නපුර බටහේනේ පදිංචි දයානන්ද ලොකුගලප්පත්ති පසුකලෙක රත්නපුර වීරගොඩ විහාරස්ථානයේ දේවාලයේ කපුවා බවට පත්විය. එහි විහාරාධිපති වන්නේ අමිතාගොඩ ඉන්ද්‍රරත්න හිමිය.

ඇඹිලිපිටියේ සිසුන් සමරමින් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වන හන්දියේ අහිංසකාරාමය නමින් ස්මාරකයක්ද 1999 දෙසැම්බර් 10වැනිදා විවෘත කරන ලදී. එය ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහගේ නිර්මාණයක් විය. ඉදිකිරීමට භූමිය සහ අරමුදල් ආණ්ඩුව සපයා දෙනු ලැබූවද එහි නඩත්තුව කිසිවෙකු භාරගත්තේ නැත. පසුව එයද නගර නිර්මාණ වැඩසටහන යටතේ ඒ අසළම තබා තිබූ නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ පිළිරුව සමඟින්ම ඉවත් කෙරිනි. සෑම වසරකම ඔක්තෝබර් 27වැනිදා ඇඹිලිපිටියේ සිසුන් ඇතුළු අතුරුදහන්වූවන් වෙනුවෙන් සීදුව රද්දොළුව මංසන්දියේ සමරු වැඩසටහනක් අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් පවත්වනු ලැබේ.

ඇඹිලිපිටිය පාසැලේ සිසුන් 32කගේ ඝාතනය යනු අසූව දශකයේ අග භාගයේදී ඇතිවූ ජවිපෙ දෙවන කැරැල්ලේ ඉතිහාස කථාවේදී එජාප ආණ්ඩු සමයේ ඝාතනය සහ භීෂණයෙන් පෙඟී ගිය තවත් එක් පරිච්ඡේදයක් පමණි.

ධර්මන් වික්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at [email protected] OR Contact 011-5234384)

2 Responses to “එන්න! ඇඹිලිපිටිය මෙන්න! ඝාතකයින්ගේ යුගය ඇරඹෙයි!”

  1. Independent Says:

    අනේ මෙහෙම් තන්හා වක්. අනේ මෙහෙම් ආසාවක්. මෝඩ මිනිසුනි නැතේද මින් සැනනීමක් ?
    පරණ මියගිය ජ වි පෙ කට්ටියට පවා මුන් බය වෙලා ද ?

  2. Independent Says:

    උඩූගම්පොලට සහාය දුන් පොලිස් නිලධාරියෙක් (ASP) මගේ මිතුරෙකි. මොහු සිංගප්පූරුවට පැනගියේය​. ඔහු මිනීමැරීම් සාධාරනීකරනය කරමින් සිටියත් ඉතාම අසහනයෙන් පෙලෙයි. තදබල කතෝලිකයකු නිසා දෙවියන් ඉදිරියේ සමාව ගත්තත් මොහු සැප නොවිඳී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress