ජේ.ආර්.ගේ ආණ්ඩුව දණ ගැස්සවූ ලංකාවේ එකම හාමුදුරුවෝ
Posted on July 18th, 2015

ධර්මන් වික්‍රමරත්න

 ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දේශපාලන විරෝධයපෑම පිළිබදව රැඩිකල්වාදී සම්ප්‍රදායක් බෞද්ධාගමේ බහුලව පැවැතියේය. මෙරට දේශපාලනයේ භික්ෂූන්ගේ කාර්යභාරය ඉමහත්ය. බෞද්ධ භික්ෂූහු බහුතරයම වාගේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සතුරු ආකල්පයක් දැක්වූහ. එමෙන්ම වෙනත් විරෝධය පෑමේ අරගලවලදී භික්ෂූහු වැදගත් සාධකයක් බවටද පත්විය.

Dharman Wickremaratne

ශ්‍රී ලංකාවේ 19වැනි සියවසේ සිදුවූ ගොවිජන කැරළි පිළිබදව ඉතාම කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ බෞද්ධ භික්ෂූන් එම අරගලයට සහභාගිවීමය. පාරම්පරික මතය වූයේ භික්ෂූන් භාවනාවෙහි යෙදෙමින් ශ්‍රමණ ජීවිතයක් ගතකල යුතු බවය. ලන්දේසි පාලන කාලය තුළදී පවා ඔවුනට එරෙහිව සටන් කරන්නට කැරළිකාර භික්ෂූහු ක්‍රියාශීලි වූහ. එමර්සන් ටෙනන්ට් ලියා ඇති පරිදි 1816 කැරැල්ල සහ 1818 කැරැල්ලේ ක්‍රියාකාරි නියෝජිතයෝ වූයේ භික්ෂූහුය. ඉහගම රතනපාල හිමි එහි ප්‍රමුඛත්වයක් ගත්තේය. ආණ්ඩුකාර බ්‍රවුන්රිග් වාර්තාකල අන්දමට ඉහගම හිමි තම සිවුරු ඉවත දමා අවි අමෝරාගෙන විශාල පිරිසකගේ පෙරමුණ ගනු ලැබීය. ඉහගම හිමි සහ පිළිමතලාව ඇතුළු රාජ්‍ය සිරකරුවන් 24 දෙනෙකු එකල මොරිෂස් දිවයිනට දඬුවමක් ලෙස පිටුවහල් කල අතර ඒ පිළිබදව ලියා ඇති යුරෝපීය වාර්තාවක සඳහන් වන්නේ සියකරුවන් අතර සිටි බුද්ධිමත්ම පුද්ගලයා ඉහගම හිමි බවය. සත් කෝරලේදී 1793දී උපන් ඉහගම හිමි, මල්වත්ත විහාරයේදී පැවිදි වූයේ සත් හැවිරිදි වියේය.

DharmanM02

ආනන්ද හිමිගේ විවිධ අවස්ථාවන්(වමේ සිට) 1978දී, 1986 අගොස්තු 1වැනිදා අත්අඩංගුවට පත්ව දින 40කින් නිදහස්වූ අවස්ථාවේදී, 1998දී සහ 2015 ජුලි මසදී.

 

උඩරට පෙදෙස්වල බොහෝ කැරළි වල මූලිකයා වූයේ භික්ෂුවකි. අඹගොල්ලේ හිමි 1818දී හිරබාරයට ගන්නා අවස්ථාවේදී ඔහුට මරණීය දඬුවම දිය යුතුයැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිර්දේශ කළේය. රත්මලේ හිමි 1823දී නුවර කලාපීය පෙදෙසේ කැරළි මෙහෙයවන ලදී. එම වසරේදීම මාතලේ තවත් කැරැල්ලක් ඇතිවූයේ කහවත්තේ හිමිගේ ප්‍රධානත්වයෙනි. උඩරට ස්වාධීනත්වය යළි පිහිටුවීම සඳහා 1834 සම්බන්ධවූයේ දොඹාවේ හිමි සහ කට්ටකුඹුර හිමිය. උඩරට 1848 කැරැල්ලට පෙර 1812 කාලයේදී පැවති කැරළි මෙහෙය වූයේ චන්ද්‍රජෝති සීලවංශ සරණංකර හිමි නොහොත් බෙන්තොට හිමි විසිනි. කැරැල්ල අසාර්ථක වීමෙන් පසු බරපතල වැඩ සහිතව වසර 14ක සිරදඬුවමක් කොළඹදී ලැබීය. කුඩාපොල හිමි සිවුරු පිටින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව මගින් මරා දමන ලද්දේ 1848 අගෝස්තු 26වැනිදාය.

dharmanM03

ජනතා සටන් වලදී ආනන්ද හිමිට අයෝමය ශක්තියක් 1985 සිට 1990 දක්වා ලබාදුන් යතිවරුන් කිහිපදෙනෙක්(වමේ සිට) බටපොල අනෝමදස්සී නාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි සහ ආචාර්ය විලේගොඩ අරියදේව හිමි.

ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූහු රටතුළ බහුජන ව්‍යාපාරවලටද හැමවිටම අනුකූලතාවය දක්වා ඇත. නිදසුනක් ලෙස 1935 සමසමාජ පක්ෂය පිහිටුවීමෙන් පසු අධිරාජ්‍ය විරෝධී ප්‍රතිපත්තීන් වලට එරෙහිව බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියෝ අදහස් පලකල අතර නාරවිලි ධර්මරත්න සහ දුම්බර පාලිත හිමිවරුන් ගොවි ජනතාව අතර වැඩ කළේය. මෙකල ඉතාම විශිෂ්ඨ දේශපාලන භික්ෂූව වූයේ උඩකැන්දවල සිරි සරණංකර හිමිය. සමසමාජ පක්ෂය 1940දී දෙකඩ වූ අවස්ථාවේදී සරණංකර හිමි කොමියුනිස්ට් පක්ෂයට එක්වුහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට කල කථාවක් නිසා උන් වහන්සේ 1942 සිට 1944 දක්වා දෙවන වරටද සිර දඬුවමක් වින්දේය. කැළණි විද්‍යාලංකාර පිරිවෙනේ 40 දශකයේදී අධ්‍යාපනය ලැබූ රැඩිකල් ඉන්දිය භික්ෂුන් වන ආනන්ද කෞශල්‍යාණ හිමි සහ රාහුල සංස්ක්‍රින්තාන හිමිවරුන්ගේද බලපෑම ලාංකීය භික්ෂූන්ටද ග්‍රහණය විය.

dharmanM04

ආනන්ද හිමියන් සමීපව ඇසුරකල දේශපාලන නායකයින් කිහිපදෙනෙක්(වමේ සිට) එජාප නායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ශ්‍රිලනිප නායිකා හිටපු අගමැතිනී සිරිමා බණ්ඩාරනායක, මඑපෙ නායකවන මහරගම මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක.

භික්ෂූන් දේශපාලනයට සම්බන්ධ වීමට එරෙහිව ඩී.එස්.සේනානායක සහ ආර්. ජී. සේනානායක 1946 ජනවාරියේදී වාග් ප්‍රහාර එල්ල කල අතර කිරත්තුඩුවේ ප්‍රඥාසාර හිමි එයට 1946 පෙබරවාරි මස පිළිතුරු දුන්නේ භික්ෂූන් සහ දේශපාලනය යන සුප්‍රකට විද්‍යාලංකාර ප්‍රකාශනයෙනි. එහි මෙසේද සඳහන් විය. “අද ලෝකයේ මනුෂ්‍යයින්ගේ යහපත පිණිස කරන හැම වැඩ පිළිවෙලක්ම දේශපාලනයට අයත්යැයි අප විශ්වාස කරමු. රටවැසියන්ගේ යහපතට හේතුවන යම් වැඩපිළිවෙලක් ඇත්ද එහි නම දේශපාලන හෝ කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය…. එමෙන්ම රටවැසියන්ගේ දියුණුවට බාධාවන කරුණුවලට විරුද්ධව ක්‍රියා කිරීමද භික්ෂූන්ට අයත් බව අප පිළිගනිමු.”

dharmanM05

වසර 30ක් මුළුල්ලේ ආනන්ද හිමියන්ගේ ජනතා සටන්වලට ක්‍රියාකාරිව දායකවූ ප්‍රකට වාම ක්‍රියාකාරිකයෙකු වූ ගලගම ධම්මරංසි හිමියන් 2015 සහ 1985දී.

එජාප ආණ්ඩුව 1977 ජුලි 22වැනිදා පැවති මහ මැතිවරණයෙන් හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් හිමිකරගත් අතර මැතිවරණ ජයග්‍රහණයෙන් පසු වහාම දින කිහිපයක් යන තෙක් විරුද්ධ පාක්ෂිකයන්ට පහර දෙන්නට එජාප පාක්ෂිකයින්ට ඉඩ ප්‍රස්ථාව දුන්නේය. බලයට පැමිණ සති දෙකක් තුළදී විරුද්ධ පක්ෂයට හිතවත් පුවත්පත් සමාගමක් වන ටයිස්ම්ස් ඔෆ් සිලෝන් රජයට පවරා ගත්තේය. මාධ්‍යවේදීන්ට දඩුවම්කල හැකි ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය වෙනස් කළේය. විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය 1980 ඔක්තෝබර් 16වැනිදා සම්මත කල යෝජනාවක් මගින් අහෝසි කරන ලදී. දිස්ත්‍රික් සංවර්ධන සභා 1981 මැතිවරණය ඡන්ද දුෂණ සිදුකල අතර යාපනය පුස්තකාලයට ගිනිතබා විනාශ කරන ලදී.

dharmanM06

එජාප ආණ්ඩුවේ ගොවි ජල බද්දට එරෙහිව අනුරාධපුර දිස්ත්‍රික් ගොවි නියෝජිතයින් කැකිරාවේදී 1985දී දැනුවත් කරමින්.ආනන්ද හිමියන් සහ ප්‍රවීණ වාමාංශික නායකයෙකුවූ නිහාල් පෙරේරාද මෙහි සිටී.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නිල කාලය 1983 ජුලි මස අවසන් වීමට නියමිතව තිබියදී එය ජනමත විචාරණයක් මගින් නිල කාලය තවත් වසර 6කින් ව්‍යවස්ථානූකූලව දික්කර ගන්නා ලදී. කළු ජූලිය 1983 ජුලි මස ඇරඹුණ අතර එහිදී ද්‍රවිඩ ජාතිකයින් දහස් ගණනක් මරමුවට පත්විය. එයට මුවාවී 1981 ජුලි 31වැනිදා ජනතා විමුක්ති පෙරමුණ 1988 මැයි 10වැනිදා දක්වා තහනම් කර තිබිණි.  හයවන ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු නියෝජනය 1983 අගෝස්තු 8වැනිදා අහිමි කරන ලදී.

සාධාරණ අයිතීන් පතා සමාකාමි උද්ඝෝෂණ වල යෙදුන කම්කරුවන්, ගොවීන්, භික්ෂූන්, සරසවි සිසුන්, රාජ්‍ය සේවකයින් ඇතුළු සියළු බලවේගයන් එජාප ආණ්ඩුවේ රාජ්‍ය සහ නිල නොවන කණ්ඩායම් යොදා මර්ධනය කරන ලදී. කැළණි සරසවියට කඩා වැදුණු ආණ්ඩුවේ මැරවරයින් සිසුන්ට නිරතුරුව පහර දෙනු ලැබිය. එසේ 1978 මාර්තු 16වැනිදා කැළණි සරසවියට පැමිණ එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමයට සහාය දුන් මැරයකු වූ ක්‍රිස්ටෝපල් ජයතිලක ප්‍රතිප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්විය. මෙහි චෝදනාව එල්ල වූයේ බද්දේගම සමිත හිමියන්ටය. නඩුව අවසානයේදී සමිත හිමි නිදහස් විය. කැළණියේ 1978 මාර්තු 19වැනිදා පැවති ක්‍රිස්ටෝපල්ගේ අවමඟුල් උත්සවයටද ජනාධිපති ජයවර්ධන සහභාගි විය.

dharmanM07

එජාප ආණ්ඩුවේ 1987 මැයි 1 රැස්වීම් තහනම කඩමින් නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ සටන්කාමී මැයි රැළියේ මුළසුන හොබවන ආනන්ද හිමියන්. රැස්වීම අමතමින් සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමිය.

දිනකට රුපියල් 10කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් 1980 ජුලි 15වැනිදා වැඩ වර්ජනයක් දියත් කල අතර වර්ජකයින් 40,356ක් සදහටම ගෙදර යවා ඒ වෙනුවට එජාපයට සම්බන්ධ පිරිස් පත්කර ගැනීමෙන් ලක්ෂ 3කට අයත් දරු පවුල් අනාථ විය.

එජාප ආණ්ඩුව මගින් බිහිකරන බව පැවසූ ධර්මිඨ සමාජයේ සංස්කෘතික පරිහානිය පිළිබදව නිදහසේ අදහස් ප්‍රකාශකල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 1982 ජුලි 21වැනිදා කොළඹ සමස්ත ලංකා බෞද්ධ සමිති ශාලාවේ පැවති රැස්වීමකදී කථා කරමින් සිටියදී ඉතා නින්දිත ලෙස ශාරීරික වශයෙන් මැර ප්‍රහාරයකට ලක්කර අසළ කානුවකට ඇද දමන ලදී. ගම්පහ සාම විහාරයේ අධිපති ආචාර්ය දරමිටිපොල රතනසාර හිමියන් මානව හිමිකම් පිළිබදව පැවිදි හඬ සංවිධානයෙන් රැස්වීමක් සංවිධානය කර තිබියදී පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පොල විසින් එය තහනම් කරන ලදී. පසුව ආචාර්ය රතනසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් පැවරූ අතර එහිදී ඔහුට පෞද්ගලිකව වන්දි ගෙවීමට උඩුගම්පොලට නියෝග කළේය. රජය එම වන්දිය අතින් ගෙවා පොලිසියේ උඩුගම්පොලට උසස්වීමක් ලබා දුන්නේය. එජාපයට එරෙහිව අදහස් දැක්වූ මහනුවර ගැටඹේ රාජෝපණාරාමයේ විහාරාධිපති ලබුදූවේ සිරිධම්ම හිමියන්ට එරෙහිව එම විහාරස්ථානය වටා කටු කම්බි ගැසීය. ප්‍රවීණ වාම නායිකාවක් වන විවියන් ගුණවර්ධනට 1983 මාර්තු 8 කාන්තා දිනයේදී කොල්ලුපිටිය පොලිසිය තුළදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බිමදමා ප්‍රහාරයක් එල්ල කල අතර පසුව එයට එරෙහිව විවියන් ගුණවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවාය. එහිදී ඇයගේ මානව හිමිකම් කැඩී ඇතැයි තිරණය කල අතර වන්දියක් පෞද්ගලිකව ගෙවීමට පොලිස් පරික්ෂකට නියෝග කෙරිණි. එජාප ආණ්ඩුව මගින් වන්දිය ගෙවා පොලිස් පරික්ෂකට උසස් විමක් දෙන ලදි. නන්දා මාලනී ඇතුළු කලාකරුවන් රැසකගේ ගීත වාරණයට ලක්විය.

dharmanM08

එජාප ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියාකාරකම් නතර කරන්නැයි බල කරමින් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙසේ නිවසට පෙලපාලියක් මගින් දහස් සංඛ්‍යාතික පිරිසක් සමඟ ආනන්ද හිමියන් පැමිණි අවස්ථාවකදී.

මේ සියළු කරුණු කාරණා වලට එරෙහිව අසූව දශකයේ මැද භාගයේ එනම් 1985 සිට 1990 දක්වා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව දණ ගැස්ස වූයේ තිදෙනෙකි. පළමුවැන්නා වූයේ ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෞම්‍යමුර්ති තොන්ඩමන්ය. දින 21ක වතු කම්කරු වැඩ වර්ජනයක් මෙහෙයවා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ගැනීමට ඔහු සමත් විය. දෙවැන්නා වූයේ දින 29ක අඛණ්ඩ හෙදි වැඩ වර්ජනයක් මෙහෙයවා ඉල්ලීම් ලබා ගැනීමට සමත්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. එම කාලය තුළ එජාප ආණ්ඩුවට එරෙහිව සියළු කැරළිවල බලකොටුව වූයේ නාරාහේන්පිට අභයාරාමය වේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එම ආණ්ඩු විරෝධි සහ ජනතාවාදී සියළු අරගලයන්ට නායකත්වය ලබාදී ජේ.ආර්. ආණ්ඩුව දණ ගැස්සවූ ලංකාවේ එකම හාමුදුරුවෝය. තෙවැන්නා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරය. ජවිපෙ දෙවන කැරැල්ල මගින් ජේ.ආර්. ආණ්ඩුවට විකල්පයක් ලෙස පුංචි ආණ්ඩුවක්ද වසර කිහිපයක් නිල නොවන මට්ටමින් ගෙන ගිය විජේවීර අවසානයේ 1989 නොවැම්බර් 13 වැනිදා ඝාතනයට ලක්විය. ඔහු සමඟම දෙවන කැරැල්ල අවසානයේදී මරණයට පත්වූ සංඛ්‍යාව 41,813කි.

dharmanM09

රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමය තහනම් සංවිධානයක් ලෙසින් ගැසට් නිවේදනය කල එජාප ආණ්ඩුව 1986 අප්‍රේල් 2වැනිදා සංගමයේ මූලස්ථානයට සීල් තැබූ අවස්ථාව.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ලියුම්කරුට ප්‍රථමයෙන් හමුවූයේ 1984 ජනවාරි 15වැනිදාය. දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකු වශයෙන් සෞඛ්‍ය, කම්කරු, උසස් අධ්‍යාපන විෂයන් වාර්තා කිරීම් භාරව සිටියේ  ලියුම්කරුය. පසු කාලයේ ජවිපෙ ලේකම් උපතිස්ස ගමනායක, මධ්‍යම කාරක සභිකයින් වූ ගාමිණී විජේගුණසේකර, ගාමිණි ජයලත්, ප්‍රනාන්දුපුල්ලේ තංගරාජා මෙන්ම බොහෝ දේශපාලන ක්‍රියාකාරිකයින් ආනන්ද හිමිට හඳුන්වා දුන්නේ ලියුම්කරුය. උන් වහන්සේ අසූව දශකය අවසන් වන තෙක්ම වසර 6ක් වෘත්තීය කටයුතු සඳහා නිරතුරුව හමුවිය.

ආනන්ද හිමියෝ සමඟ එකල සිට අද දක්වාම වසර 30ක් මුළුල්ලේ ආනන්ද හිමියන්ගේ ජනතා සටන්වලට ක්‍රියාකාරිව දායකවූ තැනැත්තා වන්නේ ප්‍රකට වාම ක්‍රියාකාරිකයෙකු වූ ගලගම ධම්මරංසි හිමියන්ය. මාතර කැකණදුරදී 1962 පෙබරවාරි 20 උපන් ධම්මරංසි හිමියෝ කොළඹ සරසවියේ උපාධිධාරියෙකු වශයෙන් පිටවුයේ 1984දීය. නාරාහේන්පිට හත්බෝධිය විහාරාධිපති වශයෙන් 1980 සිට කටයුතු කරන උන් වහන්සේ නරවැල්පිට පියරත්න සහ ධම්මරත්න හිමියන්ගේ ශිෂ්‍යයෙකි. ශ්‍රී ලංකාවේ විවෘතකල ඊශ්‍රාලයේ  සම්බන්ධීකරණ කාර්යාලය වසා දැමීමට සිදුවූයේ ධම්මරංසි හිමියන්ගේ නායකත්වයෙන් මොප්සි සංවිධානය ගෙන ගිය දිගු අරගලය හේතුවෙනි.

dharmanM10

ජවිපෙ දෙවන කැරැල්ලේ ඝාතනයට පත්වූ සහ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අභයාරාමයට පැමිණ ආනන්ද හිමියන්ට සිය දුක්ගැනවිලි පවසන අවස්ථාවක්.

එකල ආනන්ද හිමියන්ට දේශපාලන, සමාජීය සහ වෘත්තීය සමිති අංශ සඳහා සහාය දුන් සමීපතමයන් වූයේ පිළිවෙලින් අද ජීවතුන් අතර නැති දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක නිහාල් පෙරේරා, මහාචාර්ය ජගත් වික්‍රමසිංහ සහ රජයේ මුද්‍රණාලයේ හෙක්ටර් ෆැන්සිස්ය. ආනන්ද හිමියන්ගේ සහායක හිමිවරුන් වූයේ 2006 පෙබරවාරි 06 වැනිදා කැළණියේදී අපවත්වූ අපරැක්කේ වජිරවංශ හිමි සහ 2000 ඔක්තෝබර් 7වැනිදා කොළඹ පුරහල පිටියේ චන්ද්‍රිකා ජනාධිපතිනියට මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේදී එයට මැදිවී අපවත්වූ පුංචි බොරැල්ලේ ශ්‍රී සුමංගලාරාමයේ සරණතිස්ස හිමිය.

එජාප ආණ්ඩුව ලෝක බැංකු උපදෙස් අනුව ගොවින්ගෙන් ජලබදු අයකිරීමට තීරණය කල අතර ජලබදු නොගෙවන ලෙස ගොවින්ගෙන් ඉල්ලමින් ආනන්ද හිමියෝ 1984දී ජලබදු විරෝධී පෙරමුණ පිහිටුවා ගත්තේය. ගොවීන් ජලබදු නොගෙවීම නිසා ආණ්ඩුව ගොවීන්ට අධිකරණයේ නඩු පැවරූහ. නීතිඥයින් සමඟ ගොවීන් වෙනුවෙන් අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල උසාවි ගණනාවකට ගිය ආනන්ද හිමියෝ ඒ වෙනුවෙන් තර්ක කලහ. පසු කාලයේ විජය කුමාරතුංගද මෙයට එක්විය. ගොවීන් ජලබදු නොගෙවීම නිසා නඩු ගොඩගැසුනු අතර ජල බදු නොගෙවා හිරගෙවල් පුරවමු යන සටන් පාඨය ඔස්සේ අරගලය දියත් විය. නඩු දිනයන්හි උදෑසන බොහෝ උසාවි අසළ පිකටින් උද්ඝෝෂණ පැවැත්විණි. අවසානයේ ගොවීන්ට ජලබදු ගෙවීමේ ආණ්ඩුවේ නියෝගය අත්හිටුවිණි. ඕනෑම පොදු වැඩකට රට වටා ගිය වාහන වූයේ ආනන්ද හිමිගේ හයි හුන්ඩායි මෝටර් රථයද නිහාල් පෙරේරාගේ 58 ශ්‍රී 1498 ජිප් රථය බව තවමත් මතකය. ධම්මරංසි හිමි, කාන්තා ශක්තිහි රෝහිණී වීරසිංහද, කලංසූරියද පොඩි අප්පුහාමිද නිහාල් පෙරේරා සමඟ රටපුරා ආනන්ද හිමියන් සමඟ ජනතා සටන් වලට එක්වූ රැහේ සඟයන් වූහ. සහායකයින් වුයේ කොස්වත්තේ ජයතිස්ස සහ වත්තල ප්‍රේමරත්නය.

dharmanM11ශ්‍රී ලංකාවේ සිටින 30,821 හෙදියන්ගෙන් සියයට 78ක් ආනන්ද හිමියන්ගේ සංගමයේ වර්තමානයේද සාමාජිකයින්ය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් 1943 ජනවාරි 26වැනිදා උපත ලැබීය. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගැමි ගොවි පවුලක තෙවැන්නා වශයෙනි. පවුලේ සාමාජිකයින් සංඛයාව සිව් දෙනෙකි. පත්බේරිය ධම්මාලෝක නාහිමිගේ ශිෂ්‍යයෙකු ලෙස 1952දී පැවිදි දිවියට ඇතුල්වූ ආනන්ද හිමි මාලිගාකන්ද විද්දෝදය පිරිවෙනේ ආදි ශිෂ්‍යයෙකි. නාරහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරයේ විහාරාධිපතිය.

එක්සත් පොදු හෙද සේවා සංගමයේ අනුශාසකයෙකු වශයෙන් 1966 මාර්තු 24වැනිදා පත්විය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 1969 නොවැම්බර් 5වැනිදා පිහිටුවමින් එහි සභාපතිවරයා විය.  එමගින් 1976 මැයි 11 වැනිදා හෙද සේවා ඉතිහාසයේ මුල්වරට වර්ජනයක් දියත් කල අතර එය පැවතුනේ දින එකහමාරක් පමණි. වසර 102ක් පැරණි වහල් මුරසේවා ක්‍රමයට එම සටනින් තිත තැබිණි. හෙදියන් නව සංගමය වටා රොක්වීමට එය ප්‍රබල හේතුවක් විය. වර්තමානයේ හෙදියන් 30,821ක් සිටින අතර ඉන් සියයට 78ක් මෙම සටන්කාමී වෘත්තීය සමිතියට අයත්ය. දශක 4කට ආසන්න කාලයක් හෙදියන්ගේ අයිතීන් ලබා ගනිමින් හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල ආනන්ද හිමි විවිධ අවමන් වලට නොසැලී නොබියව මුහුණ දුන්හ.

dharmanM12

ජීවිත 31,229ක් අහිමි කරමින් 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවු සුනාමි ඛේදවාචයේදී සිය ඥාතීන් අහිමිව හඬා වැලපෙන දරුවන් පිරිසක්. මෙහිදී හෙදි බලකායක් මගින් එම ප්‍රදේශ වලට ගිය ආනන්ද හිමියෝ මාස 3ක පමණ කාලයක් නොමිලේ සෞඛ්‍ය සායන පැවැත්වූහ.

වසර 05ක් නිහඬව සිටි හෙදියන් අවසානයේ ඉල්ලීම් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලමින් 1986 මාර්තු 18 සහ 19 යන දෙදින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකලේය. රජය මාර්තු 19 වැනිදා නිවේදනයක් එක් කරමින් හෙදියන් සේවය අතහැර යන ලෙස නිවේදනය කළේය. ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව දණ ගැස්සවීමේ වෙඩි මුරය එල්ල කළේද 1986 දින 26ක අඛණ්ඩ ඓතිහාසික මහා වැඩ වර්ජනය මගිනි. එමගින් ඇද වැටුණු ලාංකීය වෘත්තිය සමිති ව්‍යාපාරයට නව ජීවයක් ලැබිණි. වැඩ වර්ජනය දිනපතා රටට ගෙන ගියේද මාධ්‍යවේදියෙකු  ලෙස ලියුම්කරුය. මහ රෝහල් 25න් 22කද මූලික රෝහල් 20න් 12කද දිස්ත්‍රික් රෝහල් 08න් 03ක වැඩ මුළුමනින් අඩපණ කිරීමට වර්ජනය සමත් විය. වසර 1986 වන විට හෙදියන් සිටියේ 6,909ක් පමණි. ඉන් 6683ක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් වූහ.

රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමය තහනම් සංවිධානයක් ලෙසින් ගැසට් නිවේදනය කල එජාප ආණ්ඩුව 1986 අප්‍රේල් 2වැනිදා අභයාරාමයේ පිහිටි සංගමයේ මූලස්ථානයට සීල් තැබීය. බැංකු ගිණුම් තහනම් කළේය. හෙද හෙදියන් ලැගුම්ගත් හෙද නේවාසිකාගාරවල විදුලි බලය විසන්ධි කෙරිණි. ජලය කපා හැරිණි. අනතුරුව එක රැයින් කොළඹ සහ පිට පළාත් ප්‍රධාන රෝහල්වල හෙදියන් දහස ගණනක් පොලිසි යොදා නේවාසිකාගාර වලින් ‍එලියට ඇද දමන ලදී. රටපුරා ජනතාව හෙදි සටනට සහාය දුන් අතර තහනම් කල හෙදි සංගමය වෙනුවට සුජාතා කුලඟන සංසදය පිහිටවූ ආනන්ද හිමියෝ සටනට උපාය උපක්‍රම අනුගමනය කරමින් මුහුණ දුන්හ. හෙදියෝ රටපුරා නගර ගණනාවකම කඳවුරු බැද ගත්හ. කැට අතින් ගත් වර්ජිත හෙදියන් සිය අවනඩුව ආණ්ඩුවට එරෙහිව හැම නගරයකම ජනතාවට කියා සිටියහ. වර්ජනය 1986 මාර්තු 18 වැනිදා ආරම්භ වී අප්‍රේල් 17වැනිදා ජයග්‍රාහීව අවසන් විය. එවකට හෙදි සංගමයේ නායකයන් වූ රාගම මැණිකේ විජේසූරිය, කොළඹ තමරා ජයතිලක, කළුබෝවිල රාණි සෙල්ලහේවා, ගාල්ලේ බොරලැස්ස, හොරණ දයා පෙරේරා, පුංචි බොරැල්ලේ ලලිතා පීරිස්, ගාල්ලේ ඉහළගමගේ ඇතුළු පිරිස කල කැපකිරීම් තවමත් ලියුම්කරුට මතකය.

dharmanM13

ආනන්ද හිමියන් ඇතුළු සභාපති මණ්ඩලයක නායකත්වය  ඇතිව ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුව බෝගහ අසළ 1987 ජුලි 28වැනිදා පැවති දැවැන්ත සත්‍යග්‍රහය. මෙහිදී පොලිසිය කල වෙඩි තැබීමකින් එම ස්ථානයේදීම 21 දෙනෙකු මිය ගියේය.

වරෙක හෙදි සංගමයේ සභාපති ආනන්ද හිමියන් සරදමට ලක් කරමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ හාමුදුරුවෝ නමක් හෙදියන්ගේ සංගමයක සභාපතිකම් කරන්නේ ඇයිදැයි යන්නය. එම ප්‍රකාශයට විරෝධය පලකරමින් බටපොල අනෝමදස්සී නාහිමිගේ නායකත්වයෙන් සිය ගණනක් පිරිස ජනාධිපති ජයවර්ධනගේ හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදුනහ. භික්ෂූන් ඇතුළු පිරිස විසුරුවා හරින්නට  පොලිසිය උත්සාහ ගත්හ. පොලිස් ප්‍රහාරයක් එල්ලවූ බටපොල හිමියන් ඇද වැටුණහ.

මෙසේ භික්ෂූන්ට පහරදීමට එරෙහිව සහ ඒ පිළිබදව පරික්ෂණයක් පවත්වන මෙන් ඉල්ලමින්  1986 ඔක්තෝබර් මස 10 වැනිදා භික්ෂූන් 7 නමක් කොළඹ තුන්මුල්ල හන්දියේ බුදු පිළිමය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹූහ. දෙවන දිනය වන විට එහි රැස්වූ දහස් ගණන් පිරිස් මාර්ග අසළ රොක්වී උද්ඝෝෂණය කරමින් උපවාසයට සහාය දැක්වූහ. දෙවන දින රාත්‍රී 11.20ට එහි ට්‍රක් රථ තුනකින් පැමිණි කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් ගපූර්ගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් උපවාස කල භික්ෂූන් 7 දෙනා උස්සා ට්‍රක් රථයට දමාගෙන මොරටුව සහ දෙහිවල සුසාන භූමියට ගොස් දැමූහ. එසේ ගලගම ධම්මරංසි හිමිගේ නායකත්වයෙන් උපවාස කල භික්ෂූන් වූයේ සරණතිස්ස හිමි, වජිරවංශ හිමි, කිතලගම ප්‍රඥ්ඥාසාර හිමි, අඟුණකොලපෑලැස්සේ නාභිත හිමි, නාරන්දෙනියේ නාලක හිමි සහ නාවිමන ධර්මපාල හිමිය.

dharmanM14

නාරාහේන්පිට අභයාරාමයට කඩා වැදී පොලිසිය මගින් 1987 මැයි 1වැනිදා තැබූ වෙඩි තැබීම්වලින් දෙදෙනෙකු මරමුවට පත්වූ අතර ඒ පිළිබදව රජයේ රස පරික්ෂක නිලධාරින් එම ස්ථානයන් පරික්ෂා කළ අයුරු.

මැයි දිනය ශ්‍රී ලංකාවේ තහනම් කල 1987දි එජාප රජයේ මැයි දින තහනම කඩ කරමින් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් මැයි දිනය අභයාරාමයේ පැවැත්විමටද ආනන්ද හිමියන් සමත්වූහ. අභයාරාමය ඇතුළට පැමිණ පොලිසිය කල වෙඩි තැබීමෙන් ලෙස්ලි ආනන්ද කිරිබත්ගොඩ සහ කිත්සිරි මෙවන් රණවක ඝාතනයට පත්වූහ. ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියානු අගමැති රජිව් ගාන්ධිගේද සහභාගිත්වයෙන් එජාප ආණ්ඩුව අත්සන් කිරීමට එරෙහිව 1987 ජුලි 28වැනිදා කොටුව බෝගහ අසළ 20,000කට ආසන්න ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේද මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝය. එහිදී එම පිරිස විසුරුවා හැරීමට ආණ්ඩුව කල වෙඩි තැබීමකදී 21 දෙනෙකු එම ස්ථානයේම මිය ගියෝය.

එමෙන්ම ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදීන් විසින් 1987 ජනවාරි 01වැනිදා කොටි බලය යාපන අර්ධද්වීපයේ තහවුරු කිරීමෙන් පසු නැගෙනහිර පළාතේ සිංහලයින් සිය ගණනක් මරා දැමූ අතර දහස් ගණනක් සිංහලයින් පලවා හරින ලදී. එසේ පැමිණි සිංහල පවුල් සිය ගණනක් කොටුව දුම්රිය ස්ථානයේ දින කිහිපයක්ම යෑමට තැනක් නොමැතිව අනාථව සිටියදී එම පවුල් 147කට අයත් 737 දෙනෙකු  මාස 3ක පමණ වාසස්ථානය වූයේද නාරාහේන්පිට අභයාරාමයයි. ඔවුන් යළි ඥාතීන්ගේ නිවෙස් බලා යන තෙක්ම සිංහල ව්‍යාපාරිකයින්ගේ අනුග්‍රහයෙන් ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමටද ආනන්ද හිමියන් පෙරමුණ ගත්හ. එයට කලින් 1983 ජුලි කලබලවලින් අනාථ වූ ද්‍රවිඩ ජාතික පවුල් 68ක 300කට ආසන්න පිරිසක් මාස ගණනාවක් ගත කළේද අභයාරාමයේදීය.

dharmanM15 එජාප ආණ්ඩුවට එරෙහිව 1986 සිට 1987 දක්වා රටපුරා ඇතිවෙමින් පවතින විරෝධතා සමනය කිරීමට ජනාධිපති ජයවර්ධන දරණ උත්සාහය ඉන්දියාවේ කාටුන් ශිල්පියෙකුගේ ඇසින්

පිටකොටුවේ බස්නැවතුම්පොළේදි 1987 අප්‍රේල් 21වැනිදා කාර් බෝම්බයක් පිපිරී 112ක් මියගිය අවස්ථාවේදී ජනතාවට ආරක්ෂාව ලබාදෙන්නැයි ඉල්ලමින් 2,000ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් සහ ආනන්ද හිමිගේ නායකත්වයෙන් කොටුවේ සිට ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙස නිවසට ගොස් පොලිස් කඳුළු ගෑස් මධ්‍ය යේ එය වටලා  විරෝධය පෑමටද ආනන්ද හිමියෝ සමත්වූහ. පසුව ජනාධිපති ජයවර්ධනට පැමිණ ඒ සඳහා ක්‍රියාකරන බවට පොරොන්දුවක්ද ලබාදීමට සිදුවිය.

ආණ්ඩු විරෝධී අරගල හේතුවෙන් ආනන්ද හිමියන් රටේ කැළඹිලි සිදුකරන බවට චෝදනාකර හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනිමට 1986 අගෝස්තු 1වැනිදා අභයාරාමයට වාහන 3කින් පැමිණි පොලිස් අධිකාරි ගෆූර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට පන්සල අවට ප්‍රදේශ වල ජීවත් වන මැල්වත්ත සහ මහවත්තේ තරුණ සහ වැඩිහිටි සිය ගණනක් පිරිස් විරෝධය දක්වා එය වලකන ලදී. පසුව නීතිඥ ප්‍රින්ස් ගුණසේකර මගින් භාරවූ ආනන්ද හිමියන් ජයවර්ධන ආණ්ඩුව විසින් දින 40ක් වරාය පොලිසියේ  සහ වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබා ගන්නා ලදී. පසුව ඒ පිළිබදව නීතිඥ බාල තම්පෝගේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ගෙන ගිය විරෝධයේ හේතුවෙන් නිදහස් කිරීමට රජයට සිදුවිය.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඝාතනය කිරීමට 1986 අප්‍රේල් 6 වැනිදා අභයාරාමයට මැර පිරිසක් විසින් බෝම්බද දමා ගසන  ලදී. පිටතින් පැමිණි මැරයින් විසින් එසේ සිදුකර ඇතැයි චෝදනාකල ගමේ ප්‍රබලයින් වූ අභයාරාම පටුමගේ පියසේන නොහොත් කාක්කාද, මැල්වත්තේ උපාලිද, මහවත්තේ චන්ද්‍රරේද, නාරාහේන්පිට සුදු අයියාද ආනන්ද හිමියන් හමුවීමට පැමිණ කියා සිටියේ යළි කිසි දිනෙක එසේ වීමට ඉඩ නොතබන බවය.

ආනන්ද හිමියන් අයත් වන්නේ උඩවලකන්දේ සරණංකර හිමි, කොටගම වාගිෂ්වර හිමි, මැදගොඩ සුමනතිස්ස හිමිගේ පරපුරටය. ලාංකිය ප්‍රගතිශීලි ව්‍යාපාරයට නාරාහේන්පිට අභයාරාමය ක්ෂේම භූමියකි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කල්ප වෘක්ෂයකි.(ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected])

තව කොටසක් ලබන සතියේ…                                                                                                                                                                      

 

ඡායාරූප විස්තර

  1. ධර්මන් වික්‍රමරත්න විසිනි.
  2. ආනන්ද හිමිගේ විවිධ අවස්ථාවන්(වමේ සිට) 1978දී, 1986 අගොස්තු 1වැනිදා අත්අඩංගුවට පත්ව දින 40කින් නිදහස්වූ අවස්ථාවේදී, 1998දී සහ 2015 ජුලි මසදී.
  3. ජනතා සටන් වලදී ආනන්ද හිමිට අයෝමය ශක්තියක් 1985 සිට 1990 දක්වා ලබාදුන් යතිවරුන් කිහිපදෙනෙක්(වමේ සිට) බටපොල අනෝමදස්සී නාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි සහ ආචාර්ය විලේගොඩ අරියදේව හිමි.
  4. ආනන්ද හිමියන් සමීපව ඇසුරකල දේශපාලන නායකයින් කිහිපදෙනෙක්(වමේ සිට) එජාප නායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ශ්‍රිලනිප නායිකා හිටපු අගමැතිනී සිරිමා බණ්ඩාරනායක, මඑපෙ  නායකවන මහරගම මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක.
  5. වසර 30ක් මුළුල්ලේ ආනන්ද හිමියන්ගේ ජනතා සටන්වලට ක්‍රියාකාරිව දායකවූ ප්‍රකට වාම ක්‍රියාකාරිකයෙකු වූ ගලගම ධම්මරංසි හිමියන් 2015 සහ 1985දී.
  6. එජාප ආණ්ඩුවේ ගොවි ජල බද්දට එරෙහිව අනුරාධපුර දිස්ත්‍රික් ගොවි නියෝජිතයින් කැකිරාවේදී 1985දී දැනුවත් කරමින්.ආනන්ද හිමියන් සහ ප්‍රවීණ වාමාංශික නායකයෙකුවූ නිහාල් පෙරේරාද මෙහි සිටී.
  7. එජාප ආණ්ඩුවේ 1987 මැයි 1 රැස්වීම් තහනම කඩමින් නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වූ සටන්කාමී මැයි රැළියේ මුළසුන හොබවන ආනන්ද හිමියන්. රැස්වීම අමතමින් සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමිය.
  8. එජාප ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියාකාරකම් නතර කරන්නැයි බල කරමින් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙසේ නිවසට පෙලපාලියක් මගින් දහස් සංඛ්‍යාතික පිරිසක් සමඟ ආනන්ද හිමියන් පැමිණි අවස්ථාවකදී.
  9. රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමය තහනම් සංවිධානයක් ලෙසින් ගැසට් නිවේදනය කල එජාප ආණ්ඩුව 1986 අප්‍රේල් 2වැනිදා සංගමයේ මූලස්ථානයට සීල් තැබූ අවස්ථාව.
  10. ජවිපෙ දෙවන කැරැල්ලේ ඝාතනයට පත්වූ සහ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අභයාරාමයට පැමිණ ආනන්ද හිමියන්ට සිය දුක්ගැනවිලි පවසන අවස්ථාවක්.
  11.   ශ්‍රී ලංකාවේ සිටින 30,821 හෙදියන්ගෙන් සියයට 78ක් ආනන්ද හිමියන්ගේ සංගමයේ වර්තමානයේද සාමාජිකයින්ය.
  12. ජීවිත 31,229ක් අහිමි කරමින් 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවු සුනාමි ඛේදවාචයේදී සිය ඥාතීන් අහිමිව හඬා වැලපෙන දරුවන් පිරිසක්. මෙහිදී හෙදි බලකායක් මගින් එම ප්‍රදේශ වලට ගිය ආනන්ද හිමියෝ මාස 3ක පමණ කාලයක් නොමිලේ සෞඛ්‍ය සායන පැවැත්වූහ.
  13. ආනන්ද හිමියන් ඇතුළු සභාපති මණ්ඩලයක නායකත්වය  ඇතිව ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුව බෝගහ අසළ 1987 ජුලි 28වැනිදා පැවති දැවැන්ත සත්‍යග්‍රහය. මෙහිදී පොලිසිය කල වෙඩි තැබීමකින් එම ස්ථානයේදීම 21 දෙනෙකු මිය ගියේය.
  14. නාරාහේන්පිට අභයාරාමයට කඩා වැදී පොලිසිය මගින් 1987 මැයි 1වැනිදා තැබූ වෙඩි තැබීම්වලින් දෙදෙනෙකු මරමුවට පත්වූ අතර ඒ පිළිබදව රජයේ රස පරික්ෂක නිලධාරින් එම ස්ථානයන් පරික්ෂා කළ අයුරු.
  15.  එජාප ආණ්ඩුවට එරෙහිව 1986 සිට 1987 දක්වා රටපුරා ඇතිවෙමින් පවතින විරෝධතා සමනය කිරීමට ජනාධිපති ජයවර්ධන දරණ උත්සාහය ඉන්දියාවේ කාටුන් ශිල්පියෙකුගේ ඇසින්.

One Response to “ජේ.ආර්.ගේ ආණ්ඩුව දණ ගැස්සවූ ලංකාවේ එකම හාමුදුරුවෝ”

  1. ranjit Says:

    May LORD BUDDHA protect this great son of Motherlanka from treacherous evil traitors within and from abroad to our homeland who are planning to destroy the unity and freedom of the Sinhala Buddhists in this country. This article should be read by every citizen who have forgotten what evil UNP Govts in the past did to our Sinhala heroes who fought against the Imperialist and the local traitors.

    Don’t be misled by bogus promises and their unforgiven lies. Ranil/Chandrika/Sira trio who has close relationship with America and India is trying to destroy the Sinhala Identity and break the Sinhala nation in to different enclaves like in Gaza. Sinhalese should not buy their fairytale stories and give their valuable vote to these Imperialist friendly UNPer’s for few green bucks. People must realize what their end game is and what will happen if they come to power. We will not have a country to call home if Green and Red took over our paradise nation. Think wisely of your future as well as your homeland not the stomach of yours and give your vote to the man who brought us freedom and peace for all of us to live and that is M A H I N D A. Ananda Himi is one of the true Sinhala heros who are among the supporters of this great human being.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress