අගමැතිකම නැති වෙයිද?
Posted on July 19th, 2015

සඳුන් ජීවන්ත Courtesy Mawbima

‘බලු වලිගේ ඇද උණ පුරුකේ දාලාවත් අරින්න බැහැ’සිංහලයන්ට මේ ප්‍රස්තා පිරුළ මතක් වෙන්නේ කවදාවත් කරන්න බැරි දෙයක් ගැන කියන්න ඕනෑ වුණාමය. බලු වලිගය හැම වෙලාවේම තියෙන්නේ කොම්බුව වාගේ රවුම් වෙලාය. කොම්බුව වාගේ රවුම් වෙලා තියෙන බලු වලිගය කෙළින් කරන්න කියලා හිතාගෙන උණ පුරුකේ දැම්මාම වෙන්නේ උණ පුරුකට දාපු වෙලාවට විතරක් කෙළින් වෙලා තිබීමය. බලු වලිගය උණ පුරුකෙන් අයින් කරපු ගමන් ආපහු තිබුණු විදියටම කොම්බුව වාගේ රවුම් වේ.

පල්ලේවත්ත ගමරාලලාගේ මෛත්‍රිපාල යාපා සිරිසේනත් ඒ වාගේ බලු වලිගයක්ද කියලා කවුරු හරි ඇහුවොත් දෙන්න ඕනෑ උත්තරය මෛත්‍රිපාල පහුගිය අඟහරුවාදා කරපු කතාවෙන් මුළු රටටම පෙන්නුවේය. බලු වලිගය කෙසේ වෙතත් මෛත්‍රිපාල ඒ කතාවෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ඔප්පු කරලා පෙන්නුවේ තමන් තවමත් අලි වල්ගයක් බවය.

මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අලි වල්ගයක් කරන්න බව පහුගිය අඟහරුවාදා මෛත්‍රිපාල කරපු කතාවෙන් හොඳටම පැහැදිලි වුණේය. අඟහරුවාදා කරපු කතාවෙන් මෛත්‍රිපාල තමා හිටන් ඉන්නේ කා එක්කද කියන එක සක්සුදක් සේ මුළු රටටම පෙන්නුවේය.
මාස ගණනක් පැවැති නිහඬතාව බිඳිමින් මෛත්‍රිපාල කළේ තමන්ගේ ගේ ඇතුළේ බෝම්බයක් පුපුරුවා ගන්නවා වාගේ වැඩකි. ඇත්තම කිව්වොත් මෛත්‍රිපාල කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමැති ගේ ඇතුළට බලෙන් ඇවිල්ලා බෝම්බයක් පුපුරවා ගැනීමය.
‘මොකද්ද මේ මෛත්‍රිපාල නටපු නාඩගම?’

ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයකුට එහෙම හිතුණොත් කියන්න තියෙන්නේ මෛත්‍රිපාල මද කිපුණු අලියකු වෙලා කියලාය. අලියන්ට මද කිපුණු විට කරන්න ඕනෑ ලොකු කඹයකින් බැඳලා දාන එකය. අලි රංචුවේ නායක අලියා වුණත් මද කිපිලා නම් අනිවාර්යයෙන්ම බැඳලා දමන්න සිදුවේ.
මද කිපුණු අලියකු වාගේ හැසිරෙමින් මෛත්‍රිපාල කරපු කතාව දේශපාලන පාපෝච්චාරණයක් කියලා කිව්වොත් නිවැරැදිය.
තමන්ගේ කතාවේදී මෛත්‍රිපාල වැඩි කාලයක් ගත්තේ මහින්දට පහර ගහන්න හා රනිල් වෙනුවෙන් තමන් කළ කැපකිරීම් ගැන කියන්නය. අතරමඟදී මහ බැංකු වංචාව ගැනත් වචන කිහිපයක් මෛත්‍රිපාලගේ කටින් එළියට පැන්නේය.

මෛත්‍රිපාල තම කතාවේදී අවධාරණය කරන එක් කාරණයක් වන්නේ මහින්ද පරදිනවා කියන එකය. මහින්ද පරදිනවා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරදිනවා කියන එකය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරදිනවා කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පරදිනවා කියන එකය. මෙහෙම කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වන මෛත්‍රිපාලය. සන්ධානයේ නායකයා සන්ධානය පරදිනවා කියලා ප්‍රසිද්ධියේ කියනවා නම් එහෙව් නායකයකු තවදුරටත් නායකත්වයේ තියාගෙන ඉන්න අයට ගහන්න ඕනෑ මඩු වලිගෙන්ය.

මෛත්‍රිපාලගේ මේ ජුගුප්සාජනක පාවාදීමේ ප්‍රකාශය කර පැයක් යන්න කලින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වේ මෛත්‍රිපාලගේ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලොකු හානියක් කියලාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවලා මෛත්‍රිපාල ගැන තීන්දුවක් ගන්න ඕනෑ කියලාය. ජනක බණ්ඩාර තෙන්නකෝන් කියන්නේ රාජපක්‍ෂ හිතවාදියකු නොවේ. ජනක මෛත්‍රිපාල හිතවාදියෙකි. හැබැයි දැන් මෛත්‍රිපාලගේ හිතවතුන්ටත් මෛත්‍රිපාලව එපා වෙලා තිබේ.

තමන් මහ මැතිවරණයේදී මධ්‍යස්ථව ඉන්නවා කියලාත් මෛත්‍රිපාල කිව්වේය. හනිමූන් ගිය දවසේ රෑ මනාලිය තමන් කන්‍යාභාවය ආරක්‍ෂා කරගෙන ඉන්නවා යැයි කීමත් මෛත්‍රිපාලගේ කතාවත් අතර වැඩි වෙනසක් නැත. පක්‍ෂ නායකයාගේ වගකීම වන්නේ මැතිවරණයකදී පක්‍ෂයට නායකත්වය දීලා පක්‍ෂය ජයග්‍රහණය කරවන එකය. හැබැයි මෛත්‍රිපාල සිරිසේන නමැති මේ අපූරු පක්‍ෂ නායකයා කියන්නේ තමන් පක්‍ෂය දිනවන්න මැදිහත් නොවී පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවා කියලාය. ඡන්ද කාලයේදී ඇල් වතුරත් නිවලා බොනවා කියලාය. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා පරණ සිංහල කියමනක් තිබේ. ඒ කියමන මොඩිෆයි කරලා අපට කියන්න තියෙන්නේ ඡන්දෙට නැති නායකයන් කොස් ඇට තළන්නද කියලාය.

මෛත්‍රිපාල තමන්ගේ කතාවේදී කියන තවත් වැදගත් කාරණයක් වන්නේ තමන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ කියන එකය. නායකයකුට තමන්ගේ කණ්ඩායම කන්ට්‍රෝල් කර ගන්න බැරිවීම නායකයාගේ පෞරුෂයේ ප්‍රශ්නයකි. එය දෝරෙ ගලා යන ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අර්ථ දක්වන්න බැරිය.

අනෙක් කාරණය, මෙතෙක් කල් අප හිතන් හිටියේ මහින්දත් එක්ක ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයගෙන් 90%ක පරණ පිරිසක් කියලාය. හැබැයි මෛත්‍රිපාල පහුගිය අඟහරුවාදා ඔහුගේ ශ්‍රී මුඛයෙන්ම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 99%ක්ම ඉන්නේ මහින්ද එක්ක බවය.

මහින්දට නාමයෝජනා දෙන්න තමන් බලවත් සේ විරුද්ධ වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 99%ක් මහින්දට නාමයෝජනා දෙන ලෙස තමන්ට බල කළ බව මෛත්‍රිපාල කිව්වේය. පරක්කු වෙලා හරි මෛත්‍රිපාල දේශපාලන යථාර්ථය තේරුම් ගත්ත එක ලොකු දෙයක්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ තමන්ට තියෙන සැබෑ තත්ත්වය මෛත්‍රිපාල තේරුම් ගෙන ඇති සැටියකි. ඉතින් උෟව මහඇමැති හරින් ප්‍රනාන්දු කිව්වා වාගේ ලැජ්ජා නහර කපලා නම් මෛත්‍රිපාලට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයේ ඉන්න පුළුවන්ය. ලැජ්ජා නහර කපලා නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයෙන් අයින් වෙලා නිර්පාක්‍ෂික, ස්වාධීන, මධ්‍යස්ථ ජනාධිපතිවරයකු වෙන්න පල්ලේවත්ත ගමරාලලාගේ මෛත්‍රිපාල යාපා සිරිසේනට කාලෝ අයන්තේය.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හේතුවද මෛත්‍රිපාලගේ කතාවේදී ඔහුගේ කටින් එළියට පැන්නේය. මෛත්‍රිපාල හදිසියේම පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙන්නේ රනිල්ගේ සුළුතර ආණ්ඩුව පෙරළලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවක් හදයි කියලා බය වෙලාය. මහින්ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා රනිල්ව එළවලා සන්ධාන ආණ්ඩුවක් හැදීමේ කුමන්ත්‍රණයක් තිබූ නිසා තමන් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව මෛත්‍රිපාල තමන්ගේ කතාවේදී බොහොම පැහැදිලිව කිව්වේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා වන මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හැදෙන්න යන විට ඒක වළක්වන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. අබුද්දස්ස කාලෙට ලබුත් තිත්ත වෙනවා කියන්නේ මෙන්න මේවාටය.

සන්ධාන මන්ත්‍රිවරුන් රනිල්ව එළවලා සන්ධාන ආණ්ඩුවක් හදන්න යන වෙලාවේ මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවලා රනිල්ව ආරක්‍ෂා කළා වාගේ යූ.ඇන්.පී. එක පරදවලා සන්ධාන ආණ්ඩුවක් හදන්න සන්ධාන පාක්‍ෂිකයන් පුල පුලා බලා ඉන්න මේ වෙලාවේ මෛත්‍රිපාල හදිසියේම කතාවක් කරමින් කිව්වේ මහින්ද පරදින බවය. මෛත්‍රිපාල එදා වාගේම අදත් ඉටු කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක් බව කියන්න තවත් සාක්‍ෂි සාධක ඕනෑ නැත.
ඉදිරි මහ මැතිවරණයේදී මොන පක්‍ෂය දින්නත් කමක් නැහැ යැයිද මෛත්‍රිපාල කිව්වේය. තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් මොන පක්‍ෂය දින්නත් කිසිම අවුලක් නැතැයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයාය. ඇත්තටම මෙහෙම කෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දැරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් ලැජ්ජා වෙන්න ඕනෑය.

තමන්ගේ කතාවේදී මෛත්‍රිපාලගේ කටින් එළියට පැන්න තවත් කාරණයක් වන්නේ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියය. රනිල්ගේ හොඳ නම රැක ගන්න නම් මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්න ඕනෑ යැයි තමන් රනිල්ට කිව්ව බව මෛත්‍රිපාල තමන්ගේ කතාවේදී සඳහන් කළේය. රනිල් කියන්නේ මහ බැංකු අධිපති කිසිම වරදක් කරලා නැහැ කියලාය. එහෙනම් මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්න කියලා මෛත්‍රිපාල කියන්නේ ඇයි? ඒකෙන් ඔප්පු වෙන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී වංචාවක් වෙලා තියෙනවා කියන එකය. එතැනදීත් මෛත්‍රිපාලට ඕනෑ වෙලා තිබුණේ රනිල්ව ආරක්‍ෂා කර ගන්නය. මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්න කියන්න කියලා මෛත්‍රිපාල රනිල්ට කිව්වේ රනිල්ගේ ‘හොඳ නම’ රැක ගන්නය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා රනිල්ගේ ‘හොඳ නම’ ආරක්‍ෂා කර ගන්න උත්සාහ කළේ ඔන්න ඔය විදියටය.

මෛත්‍රිපාල තමන්ගේ කතාවේදී කියපු වැදගත්ම කාරණය වන්නේ මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියලා කියපු එකය. රටේ ජනතාව මහින්දව අගමැති කරන්න ඕනෑ කියලා කියනවා නම් මෛත්‍රිපාලට මහින්දට අගමැතිකම නොදී ඉන්න බැරිය. මෛත්‍රිපාලම කියන විදියට ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලා යනවා නම් තමන් කැමැති පුද්ගලයකු අගමැති කර ගන්න ජනතාවට ඉඩ තියෙන්න ඕනෑය. තමන් කැමැති කෙනකු අගමැති කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අයිතිය තියෙන්න ඕනෑය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සතු ඒ අයිතියට බාධා කරන්න මෛත්‍රිපාල කටයුතු කළොත් මෛත්‍රිපාලට සිද්ධ වෙන්නේ දෝරෙ ගලායන ප්‍රජාතන්ත්‍රවාදයේ ගිලිලා නැහෙන්නය.

හැබැයි මෛත්‍රිපාල මේ දවස්වල කියන කතා වැඩිය ගණන් ගන්න ඕනෑත් නැත. මෛත්‍රිපාල පහුගිය කාලයේ කිව්වේ තමන්ව කපලා ගඟේ මූදේ දැම්මත් මහින්දට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලාය. හැබැයි අන්තිමේදී මහින්ද නොමිනේෂන් අස්සන් කළේය. මහින්දට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා පස්සේ මහින්දට නොමිනේෂන් දීලා ලැජ්ජාවෙන් බේරෙන්න මෛත්‍රිපාල කිව්වේ පක්‍ෂයේ 99%ක් මහින්ද ඉල්ලපු නිසා තමන් අකැමැති වුණත් මහින්දට නොමිනේෂන් දෙන්න සිද්ධ වුණා කියලාය. ඉතින් අගෝස්තු 18 වැනිදාට මෛත්‍රිපාල මෙන්න මෙහෙම කතාවක් කිව්වොත් අපට කියන්න තියෙන්නේ පුදුම වෙන්න එපා කියලාය.

‘මම පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ මහින්දට අගමැතිකම දෙන්න. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 99%ක් කිව්වා මහින්දට අගමැතිකම දෙන්න කියලා. ඉතින් මම ඒකට අකැමැති වුණත් බහුතරයේ තීරණයට එකඟ වෙන්න මට සිද්ධ වුණා. බහුතරයේ කැමැත්ත නිසයි මම මහින්දව අගමැති කළේ. ඒත් මම මහින්දට සම්පූර්ණයෙන් විරුද්ධයි…’

සඳුන් ජීවන්ත

2 Responses to “අගමැතිකම නැති වෙයිද?”

  1. Ratanapala Says:

    Now not a cat is worried about what this spineless lily livered gutter snipe ‘likes or not’! The traitor has exposed himself and confessed in front of the nation naked. What more can he do to the nation let alone to the image he so tried hard to cultivate – Maithri Palanayak!

    He has joined Gay Boy Ranil’s Red Lipped Brigade which includes others like Avamangala, Akila Viraj Kariyawasam, Sujeewa Serasinghe etc etc. Now he can go to the Gay Taylor – Avamangala and get him a skirt and top made to suit his transmutation.

  2. NAK Says:

    What an Idiiot he is,he not only covered up for the thieves,but declaired that in public. Now he wants the country to believe is his ‘Maithree palanayak’ which, going by what has happened in the past few months, we can surely do with out.
    I think Sri Lanka,after all we have gone through,deserves better than this scum bag and sooner we get rid of him the better.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress