මුල් ගල පමණක් තියා මධ්‍යම අධිවේගයේ මහා වංචාවක්.. බිලියන 30ක් මාටියා ගහලා.. [Video]
Posted on August 4th, 2015

lanka C news

මුල් ගල පමණක් තියා මධ්‍යම අධිවේගයේ මහා වංචාවක්.. බිලියන 30ක් මාටියා ගහලා.. [Video]පාතාල කල්ලි අද ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම්කරුවන් බවට පත්ව ඇතැයිද ඒ හේතුවෙන් ලෝකයේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත් වූ කොළඹ නගරය චිකාගෝවක් බවට පත් වෙමින් ඇතැයිද ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා මේ බව පෙන්වා දුන්නේ කොළඹ 10, ඩාලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති එජනිස මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ  විමල් වීරංවශ මහතා මෙසේද පැවසීය.

‘පාතාල කල්ලි මේ මැතිවරණ ව්‍යාපාරයේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාලනඥයින්ගේ ප‍්‍රධාන මෙහෙයුම්කරුවන් බවට පත්වීම අද රටට ඉතා විශාල තර්ජනයක් වී තිබෙනවා. 2009 මැයි 18 වැනිදා ලැබූ යුද ජයග‍්‍රහණයෙන් පසුව මේ රටේ භීෂණයක් තිබුණේ නැහැ. ඉන් පසුව කොළඹ පාලනය කරපු භයානක පාතාල කල්ලි මර්දනය කිරීම සිදු වූ බවත් මේ රටේ ජනතාව දන්නවා. පාතාල කල්ලි නායකයන් 08 දෙනෙකු රටින් පැන ගියෙත් ඒ තත්වයට මුහුණ දෙන්න බැරිව. ජනවාරි 08 වැනිදායින් පසු ඒ පිරිස යළි ගෙන්වා ගෙන තිබෙනවා. ඒ අයව ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරවල ප‍්‍රධාන චරිත බවට පත්කරගෙන තිබෙනවා. දැන් මේ එකිනෙකාට විරුද්ධ පාතාල කල්ලි වෙඩි තියාගන්න පටන් අරන් තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ ලෝකයේ වේගයෙන්ම දියුණු වූ නගරය බවට පත් වූ කොළඹ නගරය අද ‘චිකාගෝවක්’ බවට පත් වෙමින් තිබෙනවා. අපට පෙනෙනවා, පිටකොටුවේ ගමන් බෑග්වල දමා තිබෙන මළමිනී. අද පිටකොටුව ‘මෝචරියක්’ බවට පත් කොට තිබෙනවා.  හිරේ සිටින ඇතැම් පාතාල නායකයන් තමන්ගේ ගෝලයන් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලබාදීලා ඔවුන්ව හිරේ සිට මෙහෙයවමින් සිටිනවා.

අපි බලාපොරොත්තු වෙනවා, සවිස්තර වාර්තාවක් සමගින් මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිලි කරන්න. ගෙවීගිය මැතිවරණ ඉතිහාසය සලකා බලන්න. පසුගිය මැතිවරණවලදී පාතාල කල්ලි ළග තබාගත්තා කියලා කිසිදු දේශපාලනඥයකුට චෝදනා එල්ල වූයේ නැහැ. අපේ ආණ්ඩුව පැවැති කාලයේ එවැනි චෝදනා තිබුණේ නැහැ. පාතාලය හා ගනුදෙනු තිබුණු යුගය අවසන් කරලා තිබියදී තමයි නැවත මේ පාතාලයට පණ දෙමින් තියෙන්නේ. මේක ඉතාම භයානක තත්වයක්. මහජනතාවට, ව්‍යාපාරිකයන්ට මෙවැනි මරාගන්නා වටපිටාවක් කොහෙත්ම හිතකර වෙන්නේ නැහැ.

මුදල් ඇමති කරුණානායක මහත්තයා මේ සිදුවීම සිදුවෙලා තත්පර ගණනක් තුළ එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මත පටවන්න හැදුවා. ඒ වගේම විනාඩි කිහිපයකින් තම ෆේස්බුක් පිටුවේ ඒ බව සඳහන් කරලත් තිබුණා. මොකක්ද මේ හදිසිය? රවී කරුණානායක මහතා එදා මේ සිදුවීම සිදු වුණු තැන ඉදලා තිබෙනවා. විනාඩි ගණනකට පෙර ඔහු වෙන පාරකට ගිහින් තිබෙනවා. එතකොට තමයි ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් පැමිණ රවී කරුණානායක මහතාගේ පත‍්‍රිකා බෙදීමේ ව්‍යාපාරය මෙහෙයවපු පාතාල කල්ලි නායකයා ඇතුළු පිරිසට වෙඩි තබා ඇත්තේ. වෙඩි තැබීමට විනාඩි කිහිපයකට පෙර වෙන තැනකට ගිය රවී කරුණානායක මහත්තයා වෙඩි තැබීමෙන් පසුව එම ස්ථානයට පැමිණ අඩනවා, දොඩනවා, වැලපෙනවා, පසුව රෝහලට යනවා. එතුමාට ඒ හැකියාව තිබෙනවා. ඒ වගේම ඍෂිවර නුවණක් තිබෙනවා වගේ ඒ සිදුවීම ඒ මොහොතේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත පටවනවා.

එදාම රවී කරුණානායක මහත්තයා මාධ්‍ය හමුවක් තියලා කියනවා ‘ලබන 09 වැනිදා – 12 වැනිදා වන විට කුරුණෑගල රැලියකදී බෝම්බයක් පුපුරවලා අපිව අල්ලයි’ කියලා. එක පැත්තකින් පාතාල කල්ලි ගෙන්වාගෙන, තමන්ගේ මැතිවරණ මෙහෙයුම් කටයුතුවලට ඔවුන්ව යොදවාගෙන, භීෂණකාරී තත්වයක් නිර්මාණය කරවලා, එහි වගකීම මහින්ද රාජපක්‍ෂ පිට පටවලා මේ කරන්න හදන දේ බුද්ධිමත්ව තේරුම් ගන්න.

අපි මේ රටේ ආරක්‍ෂක අංශවලින්, පොලීසියෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලනවා ‘මේ පාතාලය ළග තියාගෙන ඉන්න මැරවර දේශපාලනඥයන් නිරායුද කරන්න ’ කියලා. අපි දන්නවා පොලිස්පතිතුමා නීතිය ඉතා  ඕනෑකමින් ක‍්‍රියාවේ යෙදවීමට සූදානමින් සිටිනා අයකු බව. ඒ නිසා අපි එතුමාගෙනුත් ඉල්ලා සිටිනවා, ‘කවර බාධක තිබුණත් මේ රටේ නැති කරපු පාතාලයට යළි හිස ඔසවන්න දෙන්න එපා’ කියලා.

පසුගිය සෙනසුරාදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ කාර්යාලයේ හිටපු සැකකටයුතු පුද්ගලයකු පරීක්‍ෂා කරන විට ඔහු පැන ගොස් තිබුණා. ඔහු පැන ගොස් තිබුණේ ඔහුගේ ඉනේ පිස්තෝලයක් සගවා ගෙන සිටි නිසයි. ඔහු පැමිණ තිබූ යතුරුපැදියේ තිබුණේ ව්‍යාජ අංකයක් කියා සෙයාගෙන තිබෙනවා. මෙහෙම වාතාවරණයක් අද දේශපාලන කරළිය තුළ මතුව තිබෙනවා.

‘අද ටයිකෝට් දාගෙන පාතාලේ මැරයන් හුරතල් කරනවා’

යහපාලනය කියන වචනය තොරම්බල් කරලා බලයට ආපු මේ මහත්වරු අද ටයිකෝට් දාගෙන පාතාලේ මැරයන් සුරතල් කරනවා. මේ ‘වැදගත්’ මහත්වරු අද පාතාලය තමන්ගේ දේශපාලනයේ වැදගත් උපාංගයක් බවට පාතාලය පත්කොට ගෙන තිබෙනවා. සිරගතව සිටින 600කට ආසන්න පිරිසක් ඔවුන්ගේ ප‍්‍රචාරක කටයුතුවලට නිදහස් කර ගැනීමේ සූදානමක් පවත්නා බව, සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමා මීට පෙර පෙන්වා දුන්නා.

එජාපයට ස්වෙච්ඡවෙන් පත‍්‍රිකාවක් බෙදන්න යන්න එන පිරිසක්වත් නැහැ. අද ගම්වල පති‍්‍රකාවක් බෙදන්න ගමේ මිනිස්සු නැහැ. පිටින් මිනිස්සු ගෙනල්ලා දවසට රුපියල් 1500.00 බැගින් දීලා එජාපය අද පති‍්‍රකා බෙදන්නේ. අපි ගම්වල ජනතාවගෙන් ඉල්ලනවා, ‘ගමේ එජාප පත‍්‍රිකා බෙදන කෙනා ගමේ කෙනෙක්ද කියලා බලන්න’ කියා. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය තුළ සිටි පුද්ගලයා පිළිබඳවද පූර්ණ පරික්‍ෂණයක් සිදු කරන්න කියලාත් අපි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

‘රනිල්ගේ අධිවේගය’

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද අධිවේගී මාර්ගයක වැඩ කටයුතු ආරම්භ කරනවා. අපි සියල්ල සූදානම් කරලා තිබූ අධිවේගී මාර්ගයක වැඩ කටයුතු ‘බොහොම වෙහෙසකර මාස 07-08ක කාලයකින් පසුව’ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද පටන් ගන්නවා.

අපේ කාලයේ මේ මාර්ගයට නම තබා තිබුණේ ‘උතුරු අධිවේගී මාර්ගය’ කියලා. ඔවුන් නම වෙනස්කර තිබෙනවා. ‘මධ්‍යම අධිවේගී මාර්ගය’ කියලා . අපට රනිල් වික‍්‍රමසිංහ මහත්තයලා එල්ල කළ විවේචනය තමයි ‘මෙම මාර්ග ඉදිකිරිමේදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින්  කොන්ත‍්‍රාත් සමාගමක් තෝරා ගැනීම වැරදියි’ කියන එක. අපි අහනවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගෙන් ‘අද ඔබතුමා මුල්ගල් තබන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරිකිරිමේ කොන්ත‍්‍රාත්තුව ලබාදුන් සමාගම තෝරා ගත්තේ තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින්ද?’ කියලා. නැහැ. ඒ විතරක් නොවෙයි, අධිවේගී මාර්ගයක් ඉදිකරන විට ඒ පිළිබඳව සෙයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරනවා. ඒ වගේම තාක්ෂණ කමිටුවකුත් පත් කරනවා. කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ප‍්‍රධාන කමිටුව තමයි, එම ව්‍යාපෘතියේ වැදගත්කම හා අවශ්‍යතාව පෙන්වා දෙන්නේ. තාක්‍ෂණ කමිටුව විසින් වැය වන මුදල්, ඉදිකරන ක‍්‍රමවේදය, පාරිසරික වාර්තා ආදිය ලබා දෙනවා. ඉන්පසුව තමයි කොන්ත‍්‍රාත් සමාගම පිළිබඳව එකගතාවකට එන්නේ. ලබාදෙන ණය මුදල් අනුමත වෙන්නත්  ඕනේ. උදාහරණයක් ලෙස චීනයේ

‘එක්සීම් බැංකුවෙන්’ නම් ණය ගන්නේ එම බැංකුව කොන්ත‍්‍රාත් සමාගමට එම මුදල් ලබාදිය යුතුයි. මෙතැන මේ කිසිදු ක‍්‍රමවේදයක් අනුගමනය කරල නැහැ.

අපේ ආණ්ඩුවට මේ අය චෝදනා කළේ එක්සීම් බැංකුවෙන් ණය ගන්නවා කියලානේ. ඒවා දැන් මේ අයට මතක නැහැ. නමුත් මෙතැන මෙම ව්‍යාපෘතියට අදාළ ණය මුදල දෙනවා කියලා බැංකුවකින් නිසි පරිදි අනුමැතිය ලැබිලත් නැහැ. අදාළ කොන්ත‍්‍රාත්කාර සමාගම තෝරාගෙන තියෙන්නෙත් කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවෙයි.

‘අග‍්‍රාමාත්‍ය ලේකම්ගේ සුරතල් කමිටුව’

අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා යටතේ හදාගත් සුරතල් කමිටුවකින් තමයි, මේ මාර්ගයට අදාළ සියලූ තීරණ අරගෙන තියෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරී මහත්වරුන් දන්නවා, ‘මේක වැරදියි’ ’කියලා. නමුත් ඔවුන් අසරණ වෙලයි ඉන්නේ. ණය මුදල් පවා නිසි පරිදි අනුමත නොවී තිබියදී කොහොමද මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ?

මේ අධිවේගී මාර්ගයේ කඩවත -මීරිගම දක්වා යන කොටස කි.මි 32යි. මංතීරු 04යි. ඉදිකිරිමට ගිවිසුමක් අත්සන්කර තිබෙනවා. මින් කි.මි  12ක් ඉදි කෙරෙන්නේ කෙන්ක‍්‍රීට් කණු මත. මුළු දිගින් 1/3කටත් වැඩියෙන් කොන්ක‍්‍රීට් කණු මත ඉදි කරන මේ  පිටත වටරවුම් මාර්ගය මංතීරු 04කට අඩු කළාම වැය වන උපරිම මුදල කි.මි. 1කට රුපියල් බිලියන 4.8ක් කියලයි ඔවුන් කියන්නේ. අපේ ආණ්ඩුව කාලයේ ඇස්තමේන්තුව සමග සසදා බලන්න. අපි මේ ආකාරයට කොන්ක‍්‍රීට් කණු මත දිවෙන මෙම මාර්ගයේ කිලෝ මීටරයක් සඳහා වැය වන උපරිම මුදල ලෙස දක්වා ඇත්තේ රුපියල් බිලියන 4.7ක්. මේ අය පස් පුරවන ප‍්‍රමාණය වැඩි කරලා කොන්ක‍්‍රීට් කණු මත දිවෙන දුර අඩු කරලා ඉදි කිරිම් සිදුකරන විට වියදම, කි.මි. 1කට wimal-Wee25%කින් පමණ අඩු විය යුතුයි. නමුත් එසේ වෙලා නැහැ.

අනෙක් අතට අද ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල, බොරතෙල් මිල 60%කින් පමණ අඩු වෙලා තිබෙනවා. ඒ වෙනස්කම් පවා මේ අය සලකා බලා නැහැ. ඒ විතරක් නොවෙයි රතු අලි පැටියා ඇතුළු මේ පට්ට කෙබර ගහපු අය කීවේ, ඉහත වට රවුම් මාර්ගයෙන් අපේ ආණ්ඩුව 20%ක පමණ කොමිස් මුදලක් ලබාගන්නවා කියලනේ. එහෙම ගත්තොත් අද රුපියල් බිලියන 115-120කට ඉදිකරන්න පුළුවන් මාර්ගයකට  තමයි රුපියල් බිලියන 150කට කොන්ත‍්‍රාත්තුවක් දීලා තියෙන්නේ. ඒ අනුව රුපියල් බිලියන 30-35ක් කාගේ අතටද යන්නේ?

කෝ මේ අනුර කුමාර දිසානායක මහත්තයා? මේ මාර්ගය හදන්නේ රත්තරන්වලින්ද, ප්ලැටිනම්වලින්ද කියලා කියන්න එතුමාට වෙලාවක් නැති වෙලාද?

මේක තමයි ‘දෙවැනි මහ බැංකු කොල්ලය.’ ඇයි මේ සියලූ ක‍්‍රමවේද පසෙකලා දඩිබිඩියේ මේ මාර්ගයේ ඉදිකිරිම් පටන් ගන්නේ? ඔවුන් දන්නවා, ‘ඡුන්දය පරදිනවා ඒ හින්දා දැන්ම මාටියා ගහ ගත්තේ නැත්නම් වැඩක් නැහැ’ කියලා. මොන රටේද ණය දෙන ආයතනයේ ‘ණය දෙන බවට සහතිකයක්’ නොමැතිව ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ? දැන් පැහැදිලියි යහපාලන මහත්වරුන්ගේ සුපේෂල ශික්‍ෂාකාමී බණ පදයි, ටයිකෝට් දාගෙන කරන මේ මං කොල්ලයයි අතර වෙනස. ඒ නිසා ලබන 17 වැනිදාට මේ හොර නඩය පරද්දලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය දිනවන්න කියලා අපි ඉල්ලා සිටිනවා’

– අනුරුද්ධ බණ්ඩාර

39,114 Viewers

2 Responses to “මුල් ගල පමණක් තියා මධ්‍යම අධිවේගයේ මහා වංචාවක්.. බිලියන 30ක් මාටියා ගහලා.. [Video]”

  1. Ananda-USA Says:

    Mahinda gey gala uputa

    Ranil thama gala hitawa

    Katha horakan karana

    Mey hora agamathi pannawamu wadi kalina!

  2. ranjit Says:

    Wimal as always the best.His service to the nation should be appreciated by all peace loving citizens. He always stood against the evil conspirators to Motherlanka. He is best man to give answers to JVP murderers and UNP thugs like John,One shot,Champaka,Rajithaya and other scavengers in the UNP. Keep it up Wimal a true son of Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress